Divaina - චේ මිහිදන් කළ රහස් මෙහෙයුම හෙළිවෙයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

che

වලෙග‍්‍රන්දා ඉහළ අහසේ තැනින් තැන ඝන කළු වලාවන්ගෙන් පිරී තිබිණි. ඒ වලාකුළු අතරින් මතුවුණ කුරුමිණියකු සේ වූ හෙලිකොප්ටරය කෙමෙන් කෙමෙන් යෝධ බත්කූරකු මෙන් වලෙග‍්‍රන්දා මහ රෝහල අසලට ගොඩබෑවේය. ගරිල්ලන්ගෙ සිරුරු රැගත් හෙලිකොප්ටරය වලෙග‍්‍රන්දා මහ රෝහල අසලට ඇවිස්සුණු කඩි ගුලක් මෙන් ළඟා වනවිට බොලිවියානු හමුදාව ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කරමින් තිබිණි. ඊට හේතුව සටනේදී පලා ගිය ගරිල්ලන්ගෙන් චේගේ සිරුර ලබාගැනීම සඳහා කිනම් හෝ ප‍්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇතිය යන සැකය නිසාය. නමුත් එවැන්නක සේයාවක් පවා සිදු නොවුණා මෙන්ම සටන් පැවති කඳුකර ප‍්‍රදේශයෙන් එම දින දෙකේදී වෙඩි හඬක් පවා ඇසුණේ නැත.

කෙසේ නමුත් චේ ගුවේරාගෙ සිරුර වලෙග‍්‍රන්දාවලට රැගෙන ආ පසු වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවී තිබිණ. ඒවා පිළිබඳ ඉතිහාසයේ වරින් වර තොරතුරු අනාවරණය වුවද නිශ්චිතවම එදා සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීම මගේ ඊළඟ අභිප‍්‍රාය විය. ඒ සඳහා මට නැවතත් මඟ පෙන්වූයේ වලෙග‍්‍රන්දා චේ සංස්කෘතික මධ්‍යස්ථානයේ සිටින මේ සංචාරයේදී මට මුලින්ම මුණගැසුණු මරියා ය.

එදා චේගේ සිරුර රැගෙන පැමිණි හෙලිකොප්ටරය ගොඩ බෑ ස්ථානයට මා කැඳවාගෙන යෑමට ඇය එකඟ වූවාය. හෙලිකොප්ටරය ගොඩබට ස්ථානය අද පතොක් වැනි ශාක විශේෂයක් වවා ඇති උiානයක් සේ දිස්විය. ගරිල්ලන්ගෙ සිරුරු මෙම ස්ථානයට ගෙනා පසු ගිලන් රථයකින් බොලිවියානු හමුදාව එම සිරුරු ද වලෙග‍්‍රන්දා රෝහලට රැගෙන ගියෝය. පසුව චේ ගුවේරාගෙ සිරුර මෝචරියේ සිමෙන්ති බංකුවේ තැබූ ඔවුන්ට අවශ්‍ය වූයේ එය සෝදා පිරිසිදු කිරීමටය. සුසානා ඔසී නම් හෙදිය මේ කතාවට සම්බන්ධ වන්නේ එම අවශ්‍යතාවයේදීය. සුසානාඔසී නම් හෙදිය වෙනදා මෙන්ම එදින ද වලෙග‍්‍රන්දා රෝහලේ සේවා මුරයේ යෙදී සිටි දිනයකි. ඒ චේ ගේ සිරුර සෝදා පවිත‍්‍ර කරන ලෙස බොලිවියානු හමුදාව අණ කළේ ඇයටය. ඇය හමුදාවේ නියෝගය රාජකාරියක් නොව යුතුකමක් මෙන් සිතා ඉතා හොඳින් ඉටුකළේ මියගොස් සිටින්නේ කවුරුන්ද යන අනන්‍යතාව හමුදාව විසින් හෙළි කළ පසුවය.

දැන් මා මරියා සමඟ පැමිණ සිටින්නේ එදා චේ ගුවේරාගේ ප‍්‍රාණය නිරුද්ධ වූ සිරුර රෝහලේදී සෝදා පවිත‍්‍ර කළ හෙදිය වන සුසානා හමුවීමටය. නමුත් අවාසනාවක තරම නම් මා වලෙග‍්‍රන්දාවලට ඇය හමුවීමට පැමිණි පෙර දිනයේ ඇය හදිසි අනතුරකට ලක්වීමෙක් එක්තැන් වී සිටියාය. එය ද අපේ හමුවීම සඳහා බාධාවක් නොකරගත් මම ගිලන් සයනයේ සිටියදීම ඇය හා කතා කරන්නට වූයෙමි. ඇය ද ඊට විරුද්ධ නොවූයෙන් මම ඇගේ මතකය 1967 ඔක්තෝබර් 08 වැනිදා දක්වා රැගෙන යන ලෙස කීවෙමි.

che2ඒ දිනය මට මතකයි. එකවරම ගිලන් රථවලින් මළ සිරුරු කිහිපයක්ම රෝහලට රැගෙන ආවා. සාමාන්‍යයෙන් මෙහෙම එකපාරට මළ සිරුරු රැගෙන ඒමේ විශේෂත්වයක් නෑ. නමුත් ඒ සිරුරු ගෙන ආවේ විශාල හමුදා සෙබළුන් පිරිසක්. ඔවුන් සමඟ කැමරා ආම්පන්න ගත්ත තවත් පිරිසක් ඉන්නවා මම දැක්කා.

ඒ අවස්ථාවේ තමයි හමුදා සෙබළෙක් ඇවිත් මට කිව්වෙ ඒ තිබෙන මළ සිරුරු වලින් එක සිරුරක් සෝදා පිරිසිදු කිරීමට අවශ්‍ය බවත්” එය ඉක්මනින් කර දෙන ලෙසත්. මම රෝහලේ මෘත ශරීර තිබෙන කුටියට යනකොට දැක්කා සිමෙන්ති බංකුවක් මත මළ සිරුරක් තබා තිබෙනවා. තවත් මළසිරුරු කිහිපයක් බිම තැනින් තැන තබා තිබුණා. ඒ සිරුරු හැම එකකින්ම රුධිරය ගලා ගොස් අපවිත‍්‍ර වෙලයි තිබුණේ. ඒ වගේම ඒ මියගොස් සිටි සෑම කෙනෙක්ගෙම රැවුල කොණ්ඩ වැවිල කිලිටි පෙනුමක් තිබුණේ.

ඒ මළ සිරුරරු ළඟත් හමුදා සෙබළෙක් හිටියා. ඔහු මට කිව්වා සිමෙන්ති බංකුවේ තිබෙන මළ සිරුර සෝදා පවිත‍්‍ර කරන ලෙස...

හමුදා සෙබළාගේ ඉල්ලීම පරිදි සුසානා ඔසී සිමෙන්ති බංකුව මත තිබූ මළ සිරුර සෝදා පිරිසිදු කරන්නට” වුවද මේ තමන් පිරිසිදු කරන්නේ බොලිවියානු පාලන තන්ත‍්‍රය සසල කළ චේගුවේරා නමැති ගරිල්ලා නායකයාගේ මළ සිරුර බව නොදත්තාය. නමුත් එම කාර්යය අර්ධයක් සම්පූර්ණ කිරීමටත් පෙර එම ස්ථානයේ සිටි සොල්දාදුවකු මියගොස් සිටින පුද්ගලයා කව්රුද යන්න වග ඇයට පැහැදිලි කළේය.

‘‘ඒ අවස්ථාවේදී තමයි මම ඕනකමින් එම සිරුර දිහා බැලූවේ. දින ගණනාවක් නොකා නොබී හිටියා වගේ ඔහුගේ ශරීරය කෙට්ටුවෙලා තියෙනවා මම දැක්කා. හැබැයි මුහුණ පුරා රැවුල වවා තිබුණ ඔහුගේ පෙනුම දිස්වුණේ ජේසුස් වහන්සේගෙ වගේ. ඒ නිසා මම වටහාගත්තා මේ මියගොස් සිටින්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව. ඔහුගේ සිරුර දැක ගැනීමට එදා හමුදාවේ නිලධාරීන් වගේම ගමේ මිනිස්සුත් ගොඩක් ඇවිත් හිටියා.

වයස අවුරුදු 86 වන සුසානා දැන් ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින්නීය. ගිලන් සයනයේ සිට වුවද ඇය මා සමඟ අතීතාවර්ජනය කළේ මහත් අභිරුචියෙනි. ඇය සඳහන් කළේ චේගේ සිරුර දැක ගැනීමට පැමිණි බොහෝ මිනිසුන් දුක දරාගත නොහැකිව හැඬූ බවකි. ඒ අතර සිටි සමහර මිනිසුන් ගෞරවනීය සිහිවටනයක් ලෙස චේගුවේරාගේ හිසෙන් කෙස් රොදක් කපාගෙන රැගෙන ගොස් තිබේ. මේ සිදුවීමෙන් පසු සුසානාගේ ජීවිතය ද බොහෝ සෙයින් වෙනස් විණි. ඒවන විට ඇයට පැවැති නිතර රෝගීවන ස්වභාවය ද කුමන හෝ හේතුවක් මත නිට්ටාවට සුව වූ බව ඇය කීවාය. අදටත් වලෙග‍්‍රන්දා නගරයේ දේවස්ථානයට යන සෑම වාරයක් පාසාම චේගුවේරාගේ නමින් ඉටිපන්දමක් දැල්වීමට සුසානා අමතක නොකරන්නීය.

 

che4

රොහාන් -චේගුවේරා මිහිදන් කළ ස්‌ථානයේදී

che1

කැණීම් සිදුකළ අයුරු....


che1

මෘතදේහයන් රැගත් හෙලිකොප්ටරය පැමිණි ස්‌ථානය අද....

 

‘චේගුවේරා කියන්නේ ඇත්තටම ශුද්ධ චරිතයක්..."

ඇයට චේ ගැන ඇත්තේ එවැනි ගෞරවයකි. සුසානාගේ මතකය පරිදි එදා චේගුවේරාගේ මළ සිරුර සෝදා පිරිසිදු කළ පසු සිරුර එම්බාම් කර ෆෝමලින් විද දින දෙකක් බොලිවියානු ජනතාව හමුවේ මෘත ශරීරය ප‍්‍රදර්ශනය කිරීමට බොලිවියානු හමුදාව ක‍්‍රියා කර තිබිණි.

ඒ අතරතුර ඔක්තෝබර් 10 වැනිදා රාත‍්‍රියේ ලාපාස් නගරයේ සිට වලෙග‍්‍රන්දා රෝහලේ චේගුවේරාගේ සිරුර බාරව සිටින හමුදා නිලධාරියාට වැදගත් පණිවුඩයක් ලැබිණි. චේගුවේරාගේ ඇගිලි සලකුණු ගෙන මෘත ශරීරයේ දෑත් කපා විගසින් ලාපාස් වලට එවන ලෙස එමගින් සඳහන් විණි. කෙසේ නමුත් ඒ වන විට චේගුවේරාගේ ඇඟිලි සලකුණු සසඳා බැලීමට ඇඟිලි සලකුණු ලබාගත හැකිව තිබුණේ ආජන්ටිනාවෙනි. පැවැති වාතාවරණය අනුව ආජන්ටිනාවෙන් ඇඟිලි සලකුණු ගෙන්වා ගැනීමට කාලය ගත වන නිසාත් යම් හෙයකින් ෆිදෙල් කස්ත්‍රෝ චේගේ මරණය ප‍්‍රතික්‍ෂේප කළොත් එය තහවුරු කිරීම සඳහාත් හොඳම විසඳුම ලෙස බොලිවියානු ආරක්‍ෂක අංශවලට පෙනුනේ චේ ගේ දෙඅත් කපා තබා ගැනීමයි. ලාපාස් නගරයේ සිට පැමිණි විශේෂ පණිවුඩය පිටුපස වූ අරමුණ එයයි.

චේගුවේරාගේ මෘත දේහය අතුරුදන් වෙයි

සාමාන්‍ය ජනතාවට චේගේ සිරුර දැක බලා ගැනීමට සැලැස්වීමෙන් බොලිවියානු හමුදාව බලාපොරොත්තු වූ අරමුණට වඩා සිදුවූයේ ඊට හාත්පසින් වෙනත් දෙයකි. ගරිල්ලා සටන් පැවැති කාලයේදී බොලිවියානු ජනතාවට ගරිල්ලන් කෙරෙහි කැමැත්තක් නොතිබුණ ද චේගේ මළ සිරුර දුටු බොහෝ දෙනා තුළින් ඒ අකැමැත්ත පහව ගියේ ක්‍ෂණයකිනි. චේගේ මුහුණ දුටු ගම්මු හඬා වැළපුණේ ජේසුස් වහන්සේ නැවත ඉපිද තමන් වෙනුවෙන් මරණය ළඟාකර ගත්තා වැනි හැඟීමකිනි. නමුත් දින දෙකක් රෝහලේ පැවැති චේගේ මළ සිරුර දෙඅත් කපා දැමූ පසුදා (ඔක්තෝබර් 11 වැනිදා) හිමිදිරිය වන විට අතුරුදන්ව තිබිණි.

බොලිවියානු හමුදාවේ නිලධාරීන් කිහිපදෙනකුට පමණක් රහසක් නොවූ එය තවත් වසර ගණනාවක් යන තුරු මුළු ලෝකයටම රහසක් ලෙස පැවතිනි. නමුත් 1997 වසරේදී එය තවදුරටත් රහසක් නොවන ලකුණු පහළ වූයේ බොලිවියානු විශ‍්‍රාමික හමුදා ජෙනරාල්වරයකු වන මාරියෝ වර්ගාස් සලින්නාස් කළ හෙලිදරව්වකිනි.

එදා වලෙග‍්‍රන්දා රෝහලින් අතුරුදන් වූ චේගේ මළ සිරුර වලෙග‍්‍රන්දා ගුවන් තොටුපළේ කෙළවරක රහසිගත අයුරින් මිහිදන් කළ බව ඔහු හෙළිකළේය. එම රහසිගත මෙහෙයුමට තමන්ද සම්බන්ධ වූ බව මාරියෝ වර්ගාස් ප‍්‍රථම වරට මාධ්‍ය හමුවේ කීවේය. ඒ වනතෙක් චේගේ සිරුර මිහිදන් කළේ ද නැතිනම් විනාශ කර දැමුවේද යන්න ෆිදෙල් කස්ත්‍රෝ හෝ දැන සිටියේ නැත.

බොලිවියානු හමුදාව චේගුවේරාව ඝාතනය කළ රහස් මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන්ට එය අනාවරණය කිරීම තහනම් කර තිබීම තිස් වසරක් එය ලෝකයෙන් සඟවා තැබීමට හේතු වූයේය.

නමුත් විශ‍්‍රාම ගිය පසු ජෙනරාල් මාරියෝ කළ ප‍්‍රකාශයත් සමග එවක බොලිවියානු ජනාධිපතිවරයා වූ ගොන්සාලෝ ලෙසෝඩා හට තවදුරටත් නිහඬව සිටීමට නොහැකි විය. චේ හිතවාදීන් සහ ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට පවා ඔහුට සිදු විය.

එහි ප‍්‍රතිඵලය වූයේ ජෙනරාල්වරයා හෙළි කළ තොරතුරු අනුව එම ස්ථානයේ කැණීම් ආරම්භ වීමයි. බොලිවියානු පරීක්‍ෂණ කණ්ඩායම් වලට අමතරව මෙම කැණීම් කටයුතු සඳහා කියුබාව ද සම්බන්ධවිය. 1997 වසරේ සිදු වූ මෙම කැණීම්වලදී හරියටම එම වසරේ ජුනි 28 වැනිදා සමූහ මිනීවළක සාධක සොයාගැනීමට ඔවුන් සමත්විය. පසුව එම සොයා ගැනීමෙන් දින තුනකට පසු ජෙනරාල්වරයාගේ ප‍්‍රකාශය සනාථ කරමින් චේගුවේරාගේ බවට සැක කළ හැකි අස්ථි කොටස් සමූහයක් සොයා ගැනීමට එම ගවේෂණ කණ්ඩායම සමත් වුණේය.

ඒ සමගම චේගේ සිරුර සමග මිහිදන් කළ තවත් ගරිල්ලා භටයන් 13දෙනකුගේ අස්ථි කොටස් එම සමූහ මිනීවළෙන් ගොඩ ගැනිණ. ඉන් දින 12 කට පසු” එනම් 1997 ජුලි 07 වැනිදා බොලිවියානු රජය නිල ප‍්‍රකාශයක් කරමින් අනාවරණය කළේ අර්නස්ටෝ චේගුවේරාගේ අස්ථි කොටස් හමුවූ බවය.

කෙසේ නමුත් ජෙනරාල් මාරියෝ වර්ගාස් චේගුවේරා මිහිදන් කළ ස්ථානය අනාවරණය කිරීමට වසර තුනකට පෙර ඇමරිකාවේ වෙසෙන ගුස්ටාබෝ විලොල්දො නම් පුද්ගලයෙක් චේගුවේරාගේ හිසකෙස් බව සඳහන් කළ හිසකෙස් ස්වල්පයක් ප‍්‍රසිද්ධ වෙන්දේසියකට ඉදිරිපත් කර තිබිණ.

ඔහු චේගුවේරා අත්අඩංගුවට ගත් මෙහෙයුමේ සිටි සාමාජිකයකු බව ඒ වන විට ඔහු සනාථ කර තිබුණේය. මේ නිසා එම කෙස් රොද ස්වල්පය එදා ඇමරිකානු ඩොලර් ලක්‍ෂයකට අලෙවි විය. ඔහු ප‍්‍රකාශ කළේ ද අර්නස්ටෝ චේගුවේරාගේ සිරුර බොලිවියාවේ මිහිදන්ව ඇති බවය. සීමා මායිම් නොමැතිව මිනිසුන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී හිඳ” එය පූර්ණ කිරීමට මියෙන තුරුම සමාජවාදී අරගලයක නිරත සෑබෑවීරයෙකු රහසින්ම මෙලොවින් තුරන් කළ රහස එසේ හෙළිවුයේ එළිසිණි.

තිස්ස ගුණතිලක
රොහාන් ඩිරෙක්ස්

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles