Divaina - මහ කැලෑවේ චේ ඇතුළු කණ්‌ඩායම ගස්‌වල පොතු - හතු කමින් සටනක

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අපට බැරි වුණා බොලීවියානු හමුදාවේ ශක්‌තිය තක්‌සේරු කරගන්න

* තිස්‌ස ගුණතිලක * රොහාන් ඩිරෙක්‌ස්‌

che1ලාහිගුරා 'එල් වූරෝ' කඳුකර ප්‍රදේශයේදී චේ ගුවේරා අත්අඩංගුවට ගෙන කැප්ටන් ගැරි ප්‍රාඩෝගේ අණින් කෙළින්ම රැගෙන ආවේ එම ගමේ පිහිටි කුඩා පාසල් කාමරයටය. කියුබානු විප්ලවය ජයග්‍රාහී ලෙස අවසන් කර ලෝකයටම එය ව්‍යාප්ත කිරීමේ චේ ගේ සිහිනය අරුණෝදයේදීම බිඳ වැටුණි. එතරම් ඉක්‌මනින් සරලව බොලිවියාවේ විප්ලවය පරාජය වීමට බලපෑ විවිධ හේතු පිළිබඳ විවිධ අදහස්‌ ඉදිරිපත්ව ඇත. එහෙත් මගේ ඉලක්‌කය වූයේ ඒ පිළිබඳ වඩාත් සත්‍යට ලංවිය හැකි තොරතුරු දැනගැනීමට නම් බොලිවියානු විප්ලවයේදී චේ ගුවේරා අසලින්ම සිටි පුද්ගලයකු හමුවීමයි.

සැන්ටා කෘස්‌ වලදී ඊට අවශ්‍යම කරන චරිතය මට හමුවිය. බොලිවියානු විප්ලවය පිළිබඳ ඔහුගේ අත්දැකීම් සජීවී එකකි. චේ ගුවේරා අත්අඩංගුවට පත්වීමෙන් පසු සිදු වූ සිදුවීම්වල ඇසින් දුටු සාක්‍ෂි පිළිබඳ තොරතුරු මඳක්‌ පසුවට තබා මා දැන් ඔබව රැගෙන යන්නේ එම තොරතුරු හෙළි කළ චේ ගේ සමීපතමයකු වෙතය. ඔහු බොලිවියාවේදී චේගේ ගරිල්ලන් අතර සිටි ඔස්‌ලෝ චාටෝ පෙරේදොය.

ඒ ඓතිහාසික කියුබානු විප්ලවය සිදු වී ගෙවී ගිය සත් වසකට පසු උදා වූ නොවැම්බර් මාසයේ තුන්වැනි දිනයයි. බොලිවියාවේ ලා පාස්‌ නගරයට අමුත්තකු පැමිණියේය. මැදිවයසේ පුද්ගලයෙකුගේ ශරීරයකින් යුතු වැඩි කතාබහක්‌ නැති ඔහුගේ මුවේ නිතර දැල්වුණු සුරුට්‌ටුවක්‌ විය. බොලිවියාවේ ලා පාස්‌ නගරයේ සාමාන්‍ය හෝටලයක නවාතැන් ගෙන ඔහු හැසිරුනේ ව්‍යාපාරිකයකු ලෙසය. උරුගුවේ රටේ ඇමෙරිකානු සමාගමට සේවය කරන තමන් ඇඩොල්ෆොa ගොන්සාලේස්‌ නමින් හඳුන්වාගත් ඔහු ඒ බව සනාථ කළ හැකි හැඳුනුම්පත්, ගමන් බලපත්‍ර ආදී සියල්ල සකසාගෙන තිබිණ. මේ නිසා ඔහු පිළිබඳ එම හෝටලයේ සිටි කිසිවකුට සැක සංකාවක්‌ ඇතිවුණේ ද නැත. එසේ සැක උපදවා ගැනීමට හේතුවක්‌ තිබුණේ ද නැත. ඒ අතර ටික දිනක්‌ ලා පාස්‌ නගරයේ ගත කළ මේ අමුත්තා හදිස්‌සියේම නගරයෙන් අතුරුදන් විය. එහෙත් ඔහුට කුමක්‌ වූයේ ද කොහේ අතුරුදන් වූයේ ද කියා නගරයේ සිටි එක්‌ නිශ්චිත පුද්ගලයකු හැර කිසිවකු දැන සිටියේ නැත.


che2

ඒ සිදුවන සියල්ල පිළිබඳ මනා අවබෝධයෙන් සිටි පුද්ගලයා චාටෝ පෙරේදොaය. වෙස්‌වලාගෙන බොලිවියාවේ ලා පාස්‌ නගරයට පැමිණි චේ ගුවේරා එම නගරයෙන් අතුරුදන් වීමත් ඉනික්‌බිති ඉදිරි වැඩ කොටස සිදුකිරීමටත් චේ ගුවේරාට උදව් කළේ චාටෝ පෙරේදොaය. දැන් මා සිටින්නේ එම සුවිශේෂී පුද්ගලයා ඉදිරියේය. මම ඔහුට යෝජනා කළේ චේ ගුවේරා ව්‍යාපාරිකයකු ලෙස ලා පාස්‌ නගරයෙන් අතුරුදන් වූ තැන් සිට ඔහු දන්නා කතාව ආරම්භ කරන ලෙසය.

che6

"උරුගුවේ ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි චේ ගුවේරා ලා පාස්‌ නගරයෙන් හිටි හැටියේ අතුරුදන් වුණත් කව්රුවත් මේ පුද්ගලයා කොහේ ගියා ද මොනවා වුණා ද කියල හෙව්වේ නෑ. එහෙම හොයන්න සැක හිතෙන දෙයක්‌ චේ ගේ හැසිරීමේ තිබුණෙත් නෑ.

මට චේ ගුවේරාව මුලින්ම හමුවෙන්නෙ ඔහු බොලිවියාවට පැමිණෙන්න වසරකට කලින්. ඒ 1965 වසරේ. මම රුසියාවේ ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටියේ. වසරකට වරක්‌ එන අධ්‍යාපන නිවාඩුවේදී අපි පුරුදු වෙලා හිටියා ඒ කාලය යුරෝපීය රටක ගතකරන්න. අපේ අරමුණ වුණේ යුරෝපීය රටක ගතකරන මාස දෙකක නිවාඩු කාලය තුළ මොකක්‌හරි තාවකාලික රැකියාවක නිරත වෙලා මුදලක්‌ හම්බකර ගැනීම. එදා ඒ නිවාඩුවට මම ඇවිත් හිටියෙ මැඩ්රීඩ්වලට.

හරියට ම 1965 පෙබරවාරි මාසයේ. මේ කාලයේ තමයි අප්‍රිකානු - ආසියානු රටවල සමුළුව ඇල්ජීරියාවේදී පැවැත්වීමට යෙදිල තිබුණේ. කියුබාව නියෝජනය කරමින් ඇල්ජීරියාවේ පැවැත්වෙන අප්‍රිකානු ආසියානු සමුළුවට සහභාගි වීමට යන අතරතුර අර්නොර්වෝ චේ ගුවේරා මැඩ්රිඩ්වල එක්‌ දිනක්‌ නැවතී හිටියා.

මම ඒ වෙනකොට මැඩ්රිඩ්වලට ආගන්තුකයි. හැබැයි ඔබ කියන දවස වෙනකොට ලතින් ඇමෙරිකාව පැත්තෙ ඉඳන් ආව සංචාරකයෙක්‌ සමඟ මම බොහොම කුළුපඟ මිතුරුකමක්‌ ගොඩනඟාගෙන තිබුණා. ඔහු සංචාරකයෙක්‌ වුණත් වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්‌. ඒ දිනයේ ඔහුට පැවරිල තිබුණා විශේෂ රාජකාරියක්‌. ඒ රාජකාරියේ වැදගත්ම කොටස වුණේ මැඩ්රිඩ්වල නැවතී සිටින කියුබානු විප්ලවයේ පුරෝගාමී අර්නෝස්‌ටෝ චේ ගුවේරාගේ ඡායාරූප ගැනීම.

checgha

එය යෙදී තිබුණු දිනට පෙර දින රාත්‍රියේ මම ඔහු සමඟ කතා කළා. පසුදා චේ ගුවේරාගේ ඡායාරූප ගැනීමට යන ගමනේදී මා ද කැටුව යැමට හැකි දැයි මම ඔහුගෙන් විමසුවා. ඔහු අප අතර ගොඩනැඟී පැවති විශ්වසනීය මිත්‍රත්වය උඩ ඊට එකඟ වුණා.

අපි පසුවදා උදෙන්ම චේ නැවතී සිටි හෝටලයට ගියා. ඒ යන විටත් තවත් මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් විස්‌සක්‌ පමණ චේ ගුවේරා හමුවීමේ බලාපොරොත්තුවෙන් එම හෝටලයට ඇවිත් තිබුණා.

ඒ තමයි මම මුලින්ම චේ ගුවේරා දුටු පළමුවැනි වතාව. ඊට පස්‌සෙ දෙවැනි වතාවට මට ඔහුව හමුවුණේ මොස්‌කව්වලදී." එසේ කියමින් මඳ විරාමයක්‌ ගත් ඔහු කල්පනා කළේය.

ලුමුම්බා සරසවියේ අධ්‍යාපනයෙන් පසු චාවෝ පෙරේදොa බොලිවියාවට පැමිණියේ එක්‌ ඓතිහාසික කාර්යයකට අත ගැසීමටය. චේ ගුවේරා බොලිවියාවෙ ගොඩනැඟූ ජාතික විමුක්‌ති හමුදාවට විශේෂිත සාමාජිකයන් සොයා දීම එම කාර්යය විය. කෙසේ වෙතත් චාවෝ පෙරේදොa ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය නියමාකාරයෙන් අවසන් කළ බවත් ඔහු මට මේ සාකච්ඡාවේදී හෙළි කළේ නැත. නමුත් ඔහු චේ ගුවේරාගේ විප්ලවයට සම්බන්ධ වූයේ ඇයි ද යන්න පැහැදිලි කරමින් යළි කතා කළේය.

che3

"ඒ කාලෙ අපි තරුණයි. අපි හැමෝම ඒකාධිපතිවාදයට විරුද්ධව සටන් කරපු අය. අපිට අවශ්‍ය වුණේ මේ ලෝකය වෙනස්‌ කරන්න. කස්‌ත්‍රොa සහ චේ එක්‌ව කියුබානු විප්ලවය ජයගත්තම අපේ ඒ වුවමනාව තවත් වැඩි කළා. ඒත් එක්‌කම චේ ගුවේරා අපිට විප්ලවයේ සංකේතය වුණා.
චේ ගුවේරාගේ දින පොතේ ලියා තිබෙනවා බොලිවියානු විප්ලවයේදී සමාජවාදී රටවලින් පුද්ගලයන් කීපදෙනෙක්‌ ඔහුගේ කණ්‌ඩායමට සම්බන්ධ වෙනව කියල. බොලිවියාවට පැමිණි චේ ගුවේරාට ඔවුන්ව සොයාදීමයි මගේ ප්‍රමුඛ කාර්ය වුණේ. පෝලන්තය, රුමේනියාව සහ සෝවියට්‌ දේශය යන රටවලින් ඔවුන් සොයා ගැනීම මට එදා ඒ තරම් දුෂ්කර කටයුත්තක්‌ වුණේ නෑ.

අපේ ආරම්භය ලා පාස්‌ නගරයට ආසන්නව ඇති මොන්ටානා කඳුවැටියයි. මොන්ටානාවල තමයි අපි පළමුවැනි ගරිල්ලා කඳවුර පිහිට වූයේ.

බොලිවියාවේ මේ ගම්මානවලින් විප්ලවයේ ආරම්භය ගැනීම චේ ගුවේරා අරගත්ත වැරදිම තීන්දුවක්‌ කියල විවේචනයක්‌ තියෙනවා. ඒත් ඇත්තටම අපට අවශ්‍ය කරල තිබුණේ එම ස්‌ථානවල ගරිල්ලා පුහුණු කඳවුරු ඇති කිරීම පමණයි. අපේ අරමුණ වෙලා තිබුණේ වෙනත් ස්‌ථානවලින් සටන පටන් ගන්න."

චාවෝ පෙරේදොa එසේ පැහැදිලි කළේ ඔහුගේ මේසය මත දිගහැර තිබූ බොලිවියානු සිතියමේ නිශ්චිත තැන් පෙන්වමිනි. ඉනික්‌බිතිව ඔහු යම් කල්පනාවක නිරතවිය. කියුබානු විප්ලවයෙන් පසු චේ ගුවේරා බොලිවියාව තෝරා ගැනීම පිළිබඳව කතා කරමින් ඔහු යළි හඬ අවදි කළේය.

"මම දන්න දේ අනුව ඇත්තටම චේ ගුවේරා බොලිවියාවට ආවේ බොලිවියාවෙ රජය සමඟ සටන්කර සමාජවාදී රජයක්‌ නිර්මාණය කරන අදහසින් පමණක්‌ම නොවෙයි. චේ ට අවශ්‍යව තිබුණෙ බොලිවියාව හරහා ඇමෙරිකානු ව්‍යාප්තවාදයට අභියෝග කිරීමට. බොලිවියාව වටා ඇති මුළුමහත් ලතින් ඇමෙරිකානු රටවල්වල සමාජවාදී ව්‍යාපාර එකමුතු කර සීඝ්‍රයෙන් පැතිර යමින් තිබූ ඇමෙරිකානු ව්‍යාප්තවාදය අඩපණ කිරීම. ඒ සඳහා බොලිවියාව තෝරාගත්ත චේ හිතුවේ ඒ වෙනකොට බොලිවියාවේ සමාජවාදී දේශපාලන සංවිධානවල යම් වර්ධනයක්‌ ඇතිව ඇති කියල. නමුත් එම තක්‌සේරුව වැරදි තීරණයක්‌ වුණා.

හොඳින් පුහුණුව ලැබූ ගරිල්ලා භටයන් විසි දෙනකුට වුණත් සාමාන්‍ය ජනතාවගේ සහාය ඇතිව ආණ්‌ඩුවක්‌ පෙරළන්න පුළුවන්. නමුත් ඒ සඳහා ගැලපෙන රට ප්‍රදේශ සහ ජනතාව තෝරා ගැනීම වැදගත්. චේ ගුවේරා හිතුවෙ එහෙම. ඒත් අපිට බැරිවුණා බොලිවියාවෙ සාමාන්‍ය ජනතාවගෙ හදවත හරි හැටි දිනාගැනීමට. බොලිවියාවෙ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයෙ සහයෝගයත් අපට අහිමි වුණා. චේ හිතුවෙ කියුබානු විප්ලවයේ අත්දැකීම් එක්‌ක ඒ උණුසුම පහසුවෙන් බොලිවියානු ජනතාවගෙ සහාය විප්ලවයට ලබාගැනීමට. නමුත් එම තක්‌සේරුවත් වැරදුණා. සිදුවුණේ බලාපොරොත්තු වූ දේ නෙවෙයි. බොලිවියානු ජනතාව කැමති වුණේ නෑ විදේශිකයෙක්‌ ඇවිත් මේ මාර්ගය හරි මාවත කියා පෙන්වමින් නායකත්වය ගන්නවට.

මේ නිසා චේ ගුවේරාට සිදුවුණේ ජනතාවගෙ අවම සහායක්‌වත් නොලැබෙන තත්ත්වයක්‌ තුළ සටන ඉදිරියට ගෙනියන්න. මේ අසීරු තත්ත්වය යටතේ චේ ඇතුළු කණ්‌ඩායම බොලිවියාවේ මහ වනාන්තර තුළ ගත කළේ දුෂ්කර ජීවිතයක්‌.

බොහෝ අවස්‌ථාවල ඔවුන්ට කෑම පවා තිබුණේ නෑ. ගස්‌වල පොතු, හතු ජාති ඇතැම් විට කෘමීන් පවා ඔවුන් ආහාරයට ගෙන තිබුණා. ඇත්තටම ස්‌ථානය තෝරා ගැනීමේදී නිවැරදි තීරණයක්‌ ගැනීමට නොහැකි වූ බව චේ ඔහුගේ දිනපොතෙත් සටහන් කර තිබෙනවා." එසේ කියූ චාවෝ පෙරේදොaගේ සියුම් දෙනෙත් යළිත් කල්පනා ලෝකයක නිමග්න වනු පෙනුණි. පුස්‌තකාලයක්‌ බඳු ඔහුගේ කාමරයේ බිත්තියක එල්ලා තිබුණ අර්නොස්‌ටෝ චේ ගුවේරාගේ ඡායාරූපය දෙස බලා සිටි ඔහු යළි කතා කළේ පරාජිත ස්‌වරූපයෙනි.

"අපි එක වැරැද්දක්‌ කළා. අපිට බැරිවුණා බොලිවියානු හමුදාවෙ ශක්‌තිය හරි හැටි තක්‌සේරු කරගන්න. චේ ගුවේරා බොලිවියාවට ආව බව දැනගත්ත දවසෙ ඉඳන් බොලිවියානු හමුදාව ක්‍රියාත්මක වුණා."

ලබන සතියේදී චේ ගුවේරා අත්අඩංගුවට ගත් හමුදා භට කණ්‌ඩායමේ ජෙනරාල් ගැරී ප්‍රාඩෝ හමුවෙමු

 

che4

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles