Divaina - සාහිත්‍ය කලා ලෝකයේ පුරා දශක හතරක්‌ බැබළුණු සෝම තාරකාව නිවී යයි

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පාලිත සේනානායක

somaපුරා දශක හතරක්‌ මෙරට සාහිත්‍ය ලෝකය නේක වර්ණයෙන් ඒකාලෝක කළ සෝම තාරකාව නිවී ගියේය. 1966 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබ ඇරඹූ සිය ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර මෙරට ගම් දනව් සිසාරා පතුරුවා ජන හදවත් නිවා පසුගිය නව වැනිදා අලුයම ඔහු දැයෙන් සමුගත්තේය.

ඔහුගේ ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර පිළිබඳ මේ වන විටත් බොහෝ දේ ලියෑවී කියෑවී තිබුණද සෝමවීර සේනානායකයන් අපේ ගමේ වීරයකු බවට පත්වන්නේ ඔහු සිය ප්‍රථම නවකතාව ලිවීමත් සමගය. 'ආදරයට බය මිනිස්‌සු' ලොකු අයියාගේ පළමු නවකතාව අපේ ගමේ කෙනෙකු ලිවූ මුල්ම නව කතාව විය. ඉනික්‌බිති අඹු සැමියෝ, මවකගේ ගීතය, එක්‌ටැම් ගෙවල්, මතු දවස, ඉරහඳ පායන ලෝකය, යශෝරාවය, මැණික්‌ නදිය ගලා බසී සහ බලදේවගේ ලෝකය ඔහු අතින් ලියෑවෙන විට ඔහු තුළ වූ දැවැන්ත නිර්මාණ ප්‍රතිභාව මෙරට සාහිත්‍ය කලා ක්‌ෂේත්‍රය පුරා පැතිරී හමාරය. ඔහු 'බලදේවගේ ලෝකය' නිර්මාණය කළ අවදියේ සිට වෘත්තීය පුවත්පත් කලාවේ නිරතවූවකු මෙන්ම ඔහුගේ සමීප ඥාතියකු ලෙස ඔහු ඇසුරේ රැඳෙන්නට මට අවකාශ ලැබිණ. සෝමවීර සේනානායකයන් වඩාත් යොමුව සිටියේ පුවත්පත් විශේෂාංග අංශයට බැවින් ඔහු ඇසුරේ ගුරුහරුකම් ලැබීමට මම භාග්‍යවන්තයෙක්‌ වීමි. නවකයන් නිවැරදි මගෙහි යොමු කරවන්නට ඔහු සිය අත්දැකීම් උපයෝගී කරගත්තේය. 1999 වසරේ දිනක වත්මන සඟරාව සඳහා ලිපියක්‌ ලිවීමට ඔහුගෙන් වේලාවක්‌ වෙන්කරගත් මම කාර්යාලයේ වාහනය ප්‍රමාද වීම නිසා ඔහුගේ නිවසට යන විට මඳක්‌ පමාවිය. සාකච්ඡාව ඇරඹීමට පෙර මට ඔහුගේ අත්දැකීමකට සවන් දීමට සිදුවිය.

soma1"ලේක්‌හවුස්‌ එකේ මම වැඩකරන කාලෙ විශේෂාංග ලිපියක්‌ සඳහා සාකච්ඡාවක්‌ කරන්න මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයගෙන් වෙලාවක්‌ ඉල්ල ගත්ත. කාර්යාලයෙන් වාහනයක්‌ නොලැබුණ හින්ද මම නුගේගොඩ පීටර්ස්‌ ප්ලේස්‌ එකට යන විට ටිකක්‌ පරක්‌කු වෙලා. පරණවිතාන මහත්තය පුටුවක වාඩිවෙලා ඇස්‌දෙක පියාගෙන ඉන්නවා. මම 'සර්' කියලා කතා කළා.

"ආ.. ඔහේ ආවද"

"ඔව් සර්... කාර්යාලයෙන් වාහනයක්‌ හම්බ වුණේ නෑ. බස්‌ එක ටිකක්‌ පරක්‌කු වුණා"

"ඇයි ඔහේට බයිසිකල් පදින්න බැරිද?"

පරණවිතාන මහත්තය ඇස්‌ දෙක පියාගෙනම මගෙන් ඇහැව්ව. බයිසිකලයක්‌ පැදගෙන හරි වෙලාවට පැමිණීමේ වැදගත්කම මම අවබෝධ කරගත්තෙ එදා."

අත්දැකීම් ඇසුරෙනුත් නිවැරදිව අභීතව අපක්‍ෂපාතීව කටයුතු කිරීමෙනුත් සෝමවීරයන් සමාජයට ආදර්ශයක්‌ විය. අපේ රටට රූපවාහිනියේ ආගමනයත් සමග නවකතාකරණයෙන් ඔහු හෙළි කළ සාරවත් ජීවන දෘෂ්ටිය රූප මාධ්‍යයට නැගුවේය. දේශීය නව කලා සම්ප්‍රදායකට අත්පොත් තැබූ පළිඟු මැණිකේ, මැණික්‌ නදිය ගලා බසී, මවකගේ ගීතය, යශෝරාවය, දූදරුවෝ වැනි ටෙලි නාට්‍ය රැසක්‌ රචනා කරමින් නිවසේ ආලින්දයට ඔහු ජීවිතය රැගෙන ආවේය.

කාලය හා යුගය විසින් සියල්ල උඩු යටිකුරු කරද්දීත් සෝමවීරයෝ ඒ මහා ප්‍රවාහය හමුවේ නොසැලී සිය නිර්මාණ මෙහෙවර එයට එරෙහිව උඩුගම් බලා මෙහෙයවූහ. "වෙනත් රටවල ටෙලි නිර්මාණ කලාව පහළම තැනකින් පටන් අරගෙනයි ඉහළට ගියේ. අපේ රටේ මේ කලාව ඉහළම තැනකින් පටන් අරන් පහළටම ගියා." අපේ රටේ වර්තමාන ටෙලි නිර්මාණ කලාව පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය සමග පැවති සාකච්ඡාවකදී ඔහු සිත් වේදනාවෙන් කතා කළේය. ටෙලි නාට්‍ය රචනය පිළිබඳ එදා අප අතර පැවති එම සාකච්ඡාව ඔහුගේ නිර්මාණ ජීවිතයේ ඇරඹුම දක්‌වාම ගලා ගියේය.

"මේ කලාව අපට දායාද කළේ අපේ ආතා. මාත් එක්‌ක ගමේ පන්සලට ගිහින් මං ලවා සිල් ඇත්තන්ට ජාතක පොත කියෙව්ව ආතා කොළඹ ඇවිත් ටවර් හෝල් එකෙන් නාට්‍ය බලල ඒවා හිතේ තියාගෙන ගෙදර ගිහින් මටත් ගමේ අයටත් චරිත දීල නාට්‍ය හැදුවා. අපේ තාත්ත ළඟ තිබුණු ග්‍රැමපෝනයෙන් පැරණි ගීත අහන්න මට අවස්‌ථාව ලැබුණා. සමහර පැරණි ගීත අඩංගු එච්. එම්. වී තැටි මට ගෙනත් දුන්නේ ඒ කාලේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ රැකියාව කළ පොඩි බාප්පා. ආතා හදපු නාට්‍යත් ග්‍රැමපෝනයෙන් අහපු ගීතත් මගේ ලේඛන කලාවට බලපෑවා."

ටෙලි නාට්‍ය රචනයත් සමගම පෙති ගෝමර චිත්‍රපටයේ තිර රචනය ලිවීමෙන් චිත්‍රපට තිර රචනා කලාවට අවතීර්ණ වූ සෝමවීරයන් සිය 12 වැනි චිත්‍රපට තිර රචනය ලෙස ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරීස්‌ අධ්‍යක්‌ෂණය කළ අම්මාවරුණේ චිත්‍රපටයේ තිර රචනය ලියමින් සිනමාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නියෑලුණේය.

"මගේ තිර රචනා ජීවිතයේ නොමැකෙන සිහිවටනය ලෙස්‌ටර් මහත්තය සමග වැඩ කිරීමයි."

ගිරය ටෙලි නාට්‍යය පිළිබඳ අප සෝමවීරයන් සමග කළ කතා බහක දී ඔහු සඳහන් කළේය. ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරීස්‌ සිනමාවේදියාණන් සහ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් පිළිබඳ සෝමවීරයන් සිය මතක අවදි කළේ දැඩි අභිරුචියකිනි.

"චරිත තුනක්‌ ටෙලි නාට්‍යයට සංගීතය නිර්මාණය කළේ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන්. ඒක කරන්න අපි පේරාදෙණියට ගියා. එදා රෑ මමත් තිලක්‌ ගුණවර්ධනයනුත් අමරදේවයනුත් නිදාගත්තෙ එකම කාමරයක. නින්දට වැටුණු ගමන් තිලක්‌ ගොරවන්න ගත්තා. අපි දෙන්නම එළිවෙනකම් හිටියෙ අවදියෙන්. උදේ නැගිටපු තිලක්‌ 'නින්ද නම් ෂෝක්‌ නේද'යි අපෙන් ඇහුවා. අපි කතා නැතිව ඉන්නැද්දි 'ෂෝක්‌ ෂෝක්‌' කියාගෙනම මිනිහ එළියට ගියා. ඔහු දෙස බලා සිටි අමරදේවයන් 'ගෙරවිල්ලට රිද්මයක්‌ තිබුණ නම් එළිවෙනකන් වුණත් අහගෙන ඉන්න තිබුණා' යෑයි කීවේ එළිවෙන තුරු නොනිදා සිටීමට සිදුවීමටත් වඩා තිලක්‌ගේ ගෙරවිල්ලට රිද්මයක්‌ නොමැතිවීම ගැන කනගාටුවෙන්."

නොයෙක්‌වර අප මුණගැසුණු විට අප උපන් ගමේ අතීත සිදුවීම් සහ වර්තමාන සමාජ සිදුවීම් පිළිබඳ ඔහු කළ කතා බහ අප පුදුමයටත් සතුටටත් පත්කළේය. ඩී. එස්‌. සේනානායක පරපුර සමග අපේ ඥාතිත්වයක්‌ ඇතැයි වරක්‌ සිය නිවසේ දී ඔහු මා සමග පැවසීය.

"ඩී. එස්‌. සේනානායක මහත්තය අපේ ළඟම ඥාතියෙක්‌ කියලයි ආතා කියන්නෙ. එතුමාගේ පියාගේ පියාත් අපේ ආතගේ ආතත් එක කුස උපන් සහෝදරයෝලු. ආතගෙ ආත බෝතලේ වලව්වෙ අයට නොගැළපෙන තක්‌කඩිකම් කළ හින්ද පවුලෙන් පලවා හැර තිබෙනවා. ඔහුගේ නම නෝනිස්‌ සේනානායක. අපේ නම්වලට නෝනිස්‌ නාමය ඇවිත් තියෙන්නේ එහෙමයි."

දේශපාලනය පිළිබඳ උනන්දුවක්‌ නැත්තේ මන්දැයි එවැනි අවස්‌ථාවක මම ඔහුගෙන් ඇසුවෙමි.

"ඔය ප්‍රශ්නය දවසක්‌ ටී. බී. ඉලංගරත්නයනුත් මගෙන් ඇහුවා. ඒ ළසඳා නවකතාව ගැන ලිපියක්‌ ලියන්න සාකච්ඡා කරන්න ගිය වෙලාවක. ඒ වෙනකොට ඉලංගරත්න ඇමතිවරයෙක්‌. දේශපාලනය ගැන මගෙ කිසිම උනන්දුවක්‌ නෑ කියල මම කිව්වා. මම මේ ඔබතුමා ළඟට ආවෙත් ඇමැතිවරයෙක්‌ ළඟට එන හැඟීමෙන් නෙමෙයි ලේඛකයෙක්‌ ළඟට එන හැඟ මෙන් කියල මම කිව්වම බොහෝම හොඳයි කියල ඔහු හිනාවුණා."

දේශපාලනය පිළිකෙව් කළ සෝමවීරයන් අපක්‌ෂපාතීව සිය අදහස්‌ නිරවුල්ව ප්‍රකාශ කරමින් නිර්මාණකරණයේ නියෑලුණේය. බෞද්ධ දර්ශනය සමග අත්වැල් බැඳගත් සාහිත්‍ය නිර්මාණ කාර්යයෙහි පුරෝගාමී මෙහෙවරක නියෑලුණු සෝමවීර සේනානායකයන් මෙරට ධර්ම සාහිත්‍ය කලා විෂයෙහි සිදුකරනු ලැබූ සේවය වෙනුවෙන් ශ්‍යාමෝපාලීවංශික මහා නිකායේ අස්‌ගිරි පාර්ශවීය සංඝ සභාව 2002 වසරේදී ධර්ම සාහිත්‍ය කලා චූඩාමණී ගෞරව නාමය ඔහුට පිරිනැමුවේය.

නවකතාකරණයෙන් රූපවාහිනී මාලා ටෙලි නාට්‍ය රචනයටත්, ජනකතා සහ ජාතක කතා ඇසුරෙන් පාරමිතා සහ සිත නිවන කතා ලෙස ඒකාංග ටෙලි නාට්‍ය රචනයටත්, ඉන් අනතුරුව චිත්‍රපට තිර කතා රචනයටත් පිවිසි සෝමවීරයන් බෞද්ධ ධර්ම සාහිත්‍ය කලා විෂයෙහි නිර්මාණ රැසක්‌ බිහි කළේය. සිය ජීවිත කතාව වන අපි තවමත් සංසාරේ කෘතිය දශක හතරක්‌ ඉක්‌ම වූ ඔහුගේ සාහිත්‍ය කලා නිර්මාණ චාරිකාවේ අවසන් මංසලකුණ විය.

එම කෘතියේ අවසන් සෝදුපතත් රැගෙන ඔහු ගංගොඩවිල විශ්වවිද්‍යාලය අසල පිහිටි අප නිවසට පැමිණියේය.

"ඔක්‌කොම හරි..." සිය සුපුරුදු අවිහිංසක සිනහවෙන් මුව සරසාගත් ඔහු අවසන් සෝදුපත මේසය මත තබා ආලින්දයෙන් ඈත පෙනෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වහළ දෙස බලා සිටියේය.

"මගේ විශ්වවිද්‍යාල ජීවිතයත්, නිර්මාණ ජීවිතයත් පටන් ගත්තෙ මෙහෙන්. හැට ගණන්වල විඡේරාම හංදියේ මම මුද්‍රණාලයකුත් පටන් අරගෙන තිබුණ. නුපුරුදු දේවල් කරන්න ගිහිං බංකොලොත් වුණා. පුරුදු කලාව මිසක්‌ අපට වෙන දෙයක්‌ හරි යන්නේ නෑ"

ඔහු සෙමින් නිවසේ පියගැටපෙළ බැස්‌සේය. පසුදා උදයෙන්ම ඔහු ගියේ එදා කුඩා දරුවකු ලෙස ජාතක පොත හිසින් ගෙන තම ආතා සමග ගිය තම උපන්ගම වූ කුඩගම පන්සලේ ඔහුගේ බාල සොහොයුරු වෛද්‍යාචාර්ය පැරකුම් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ගම්වාසීන්ගේ ද උපකාර ඇතිව ඉදිකරන චෛත්‍යයේ කොත පැළඳවීමටය. තම ගතට දැනුණු කිසියම් අපහසුතාවක්‌ නිසා කොත පැළඳවීම සිය බාල සොහොයුරාටම පැවරූ සේනානායකයෝ ආපසු ආහ.

හෘදයාබාධයක්‌ වැළදී පසුදින රාත්‍රියේ ඔහු රෝහල් ගත කෙරිණි.

කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී ජීවිතය යන්ත්‍රයකට බාර කොට දින කිහිපයකින් යළි පියවි සිහිය ලද විගස 'මල්ලී, අපේ පොතේ වැඩ කොහොමදැයි ඔහු මගෙන් විමසා සිටියේය. ජීවිතය දිනාගත් මිනිසකුගේ රූපකාය ඒ මොහොතේ මම ඔහු වෙතින් දුටුවෙමි.

දෛවයේ තීරණයට කිසිවකුටත් පිටුපෑ නොහැකි බව දැඩි සේ විශ්වාස කළ සෝමවීරයෝ නිහඬ මුවින් හා නිසල දෙනතින් ඊට අවනත වූහ.

soma2

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles