Divaina - කැළණි විහාරයේ චිත‍්‍ර ඇන්ද අසිරිමත් සිත්තරාගේ වැළලීගිය කතා මෙන්න... සොයිලියස් මෙන්ඩිස් පිළිබඳ මිණිබිරියක් කියන කතාව

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

kelani500i

* එතුමන්ට අපි කිව්වේ කැලණියේ සීය කියලා
* අන්තිම දවස් කීපය රෝහල්ගතව ප‍්‍රතිකාර ගත්තා
* බුදු සිරිත චිත‍්‍රයට නගපු මට අන්තිමට වඳින්න බුදු පිළිමයක්වත් නෑ කියල දුක්වුණා.
* ජේ.ආර්. ජයවර්ධන මහත්තයගේ මඟුල් පෝරුව හදලා තියෙන්නෙ සීයා

kelani500ii

 

මල්කාන්ති කරුණාරත්න මහත්මිය විසින් හෙළි පෙහෙළි කොට අප හා පැවසීමට සැරසෙන මෙම සිරිමත් අතීතයත්, ඇයත් අතර සමීප ඥාතීත්වයක් ඇත. මව් පාර්ශ්වයට උරුමකම් කියන එම ඥාතීත්වයට අනුව ඇය විසින් නෑකම් කියනු ලබන්නේ මෙරටින් බිහිවූ ලෝ ප‍්‍රකට චිත‍්‍ර ශිල්පියකු සම්බන්ධවය. මෙම වෑයම එම අසිරිමත් සිත්තරාණන් පිළිබඳව ඇය විසින් පවසන ”අතීත” විත්ති ”වර්තමානය” පිණිස ලියා තැබීමය. ඒ අනුව ගත්කල එම අතීත කතාව අප හමුවේ පවසන මල්කාන්ති කරුණාරත්න මහත්මිය පිළිබඳව කෙටියෙන්ම හඳුන්වා දිය හැක්කේ සොයිලියස් මැන්ඩිස් නම් අසිරිමත් සිත්තරාණන්ගේ මිණිපිරියක් ලෙසය.

solis6ඉකුත් දිනක ඓතිහාසික කැලණිය රාජ මහා විහාරස්ථානයේ පැවැති එක්තරා උත්සවයක් පිණිස සහභාගී වූ ආරාධිතයන් අතරට ඇය ද එක්ව සිටියාය. සොයිලියස් මැන්ඩිස් මහතා විසින් සිතුවමට නගන ලද කැලණිය රාජමහා විහාර සිතූවම් ඡායාරූප ගත කොට මුද්‍රණය කරන ලද ”උරුමයක අරුමය” නම් ග‍්‍රන්ථය ජනගත කිරීම පිණිස සංවිධානය කොට තිබූ එම උත්සවය අතරතුර මෙම ලිපිය සැකසීම පිණිස මූලික අඩිතාලම සකස් විය. මෙම කතාබහ සිදුවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව අපගේ කතාබහට ආරම්භයක් ලබා ගනිමින් ඇය විසින් සිය කටහඬ අවදි කරන ලද්දේ සොයිලියස් මැන්ඩිස් නම් අසිරිමත් සිත්තරා ජාතියෙන් සමුගැනීමට දින කීපයකට පෙර රෝහල්ගතව ප‍්‍රතිකාර ලබාගත් අවස්ථාවක් සිහිපත් කරමින්ය.

”සීයා මිය පරලොව ගියේ 1975 අවුරුද්දේ. ඒ වෙද්දි ඒ ඇත්තන්ට වයස අවුරුදු හැත්තෑ අටයි. මියයන්න සතියකට දෙකකට කලින් සීයව රෝහල් ගත කරනව. මගේ අම්මා සීයව බලන්න කියල රෝහලට යද්දි අම්මත් එක්ක මමත් යනවා. මාරවිල ශාන්ත ආනා කියන පෞද්ගලික රෝහලේ තමයි නෙවාසිකව ප‍්‍රතිකාර ගත්තේ. මට දැනුත් හොඳට මතකයි... එදා සීයා අපේ අම්මත් එක්ක කිව්ව

” විහාරස්ථාන ගණනාවක බුද්ධරූප දහස්  ගාණක් ඇන්ද මට අත් දෙක එකතු කරලා වඳින්න බුද්ධ රූපයක්වත් මේ ඉස්පිරිතාලෙ නෑ” කියල. මට මතක හැටියට ඒ පාර අපේ අම්මා ගිහිල්ල ඒ බව රෝහල් කාර්ය මණ්ඩලයට කිව්ව. නමුත් ඒ ඉල්ලීම ඉට වුණේ නෑ. නමුත්... නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නේ සොයිලියස් මැන්දිස් කියලා දැනගත්තට පස්සේ වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලය සියලූ දෙනාම සීයට හොඳින් සැලකුව. රැක බලා ගත්ත. එහෙම දින කීපයක් නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතරතුර තමයි එතුමා මිය පරලොව ගියේ...”

මෙරට විහාර සිතුවම් කලාව පිණිස අනුපමේය මෙහෙයක් සිදු කළ යුග පුරුෂයකු වූ සොයිලියස් මැන්ඩිස් මහතාගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳ මෙනෙහි කරමින් කතාව ආරම්භ කළ මල්කාන්ති කරුණාරත්න මහත්මිය ඉන් අනතුරුව අප හා සඳහන් කර සිටියේ සොයිලියස් මැන්ඩිස් මහතා ජීවතුන් අතර සිටියදී ගත කළ නිවුණු නිරහංකාර දිවි පෙවෙත පිළිබඳ විස්තරයක්ය. දිගු කලක් ගුරු සේවයේ රාජකාරි කොට මේ වන විට විශ‍්‍රාම සුවයෙන් පසුවන මල්කාන්ති කරුණාරත්න මහත්මිය විසින් ඇසින් දුටු දෙයත් ඉන් එපිට ඉතිහාසය පිළිබඳ වැඩිහිටියන්ගෙන් අසා දැනගත් යම් යම් දෙයත් ඊට ඇතුළත්ය.

”සීයා මිය යනකොට මට අවුරුදු 17යි. අපි කවුරුත් එයාව ඇමතුවේ ”කැලණියේ සීය” කියල. අපිට උඩ පරම්පරාවේ අපේ වැඩිහිටියන් කිව්වෙ ”කැලණියේ අයියා” කියල. අවුරුදු 18 ම කැලණි විහාරයේ සිතුවම් ඇන්ද හින්දා තමයි පවුලෙ උදවිය එහෙම ආමන්ත‍්‍රණය කළේ. මගේ ආච්චිත් එක්ක පවුලේ 9යි. පිරිමි හය දෙනයි ගැහැනු තුන්දෙනයි. ”කැලණියෙ සීයට” පස්සෙ ඉපදුනු සහෝදරයව ඒ කාලෙම ශාසනයට පූජා කරල තියෙනව. උන්වහන්සේගේ පැවිදි නම සුමනසාර. ආයුර්වේදය ඉගෙන ගන්න කියල තමයි ඒ කාලේ කැලණියෙ සීයව මාවිල කුසුමාරාමයට පිටත් කරල යවල තියෙන්නෙ. එතැනදි තමයි එතුමට චිත‍්‍ර කලාව පිළිබඳ ඇල්මක් උනන්දුවක් ඇති වෙන්නේ. ඒක කොච්චර ද කියනව නම් සීයගෙ ගුරුන්නාන්සේ වන මොරගල්ලෙ මෙමෝනිස් සිල්වා කියන පුද්ගලයාට එයාගේ නංගිව විවාහ කරල දෙනව. ඒ තමයි මගේ ආච්චි. මාදම්පේ මහවැව පිහිටි මහගෙදරට ඒ කාලේ ඔය කවුරු කවුරුත් යනව එනව. එතකොට අපි පුංචි ළමයි. කැලණියේ සීය ගත කළේ අවිවාහක ජීවිතයක්. ඒ කාලෙත් වැඩි කතාබහක් නෑ. කට කොනකින් හිනා වෙනව. එච්චරයි. ඒ කාලේ කැලණියෙ සීයට පාපැදියක් තිබුණා. එතුමා ගමනක් බිමනක් යද්දි ඇන්දෙ සුදු සරමයි කෝට් එකයි. පාපැදියෙන් තමයි ගමන බිමන. මගේ ආච්චිගේ සහෝදරියකගේ දුවක් විවාහ වීම නිමිත්තෙන් මඟුල් පෝරුව හැදුවේ කැලණියෙ සීය. මට හොඳට ඒ සිද්ධිය මතකයි. ඒක හරිම ලස්සනට හැඩවැඩ දාලා හදපු මඟුල් පෝරුවක්. එදා ජයමංගල ගාථා කියන්න මමත් හිටිය. දැන් අපේ වැඩිහිටි පරම්පරාවේ කවුරුවත් ජීවතුන් අතර නෑ. ඒ අයගෙන් මුනුපුරු මිනිපිරියන් වෙච්ච අපිටත් දැන් අවුරුදු හැට හැත්තෑවක් වෙනව...”

solis1ඉතිහාසයක් හාරා ඇවිස්සිය යුතුතේ එම ඉතිහාසයෙන් වර්තමානයට ආලෝකයක් ලැබේ නම් පමණක්ය යනුවෙන් කියමනක් ඇත. මෙම කතාබහ සිදුවන්නේ එම යථාර්ථය මත හිඳිමින්ය. මෙරට බිතු සිතුවම් කලාවේ පුනරුදය පිණිස තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් කැප කළ සොයිලියස් මැන්ඩිස් මහතා පිළිබඳ ඉතිහාසයේ සඳහන් ඇතැම් සාවද්‍ය කරුණු කීපයක් නිරවද්‍ය කිරීමට ද මල්කාන්ති කරුණාරත්න මහත්මියට අවශ්‍ය විය. මතු පරපුරේ යහපත පිණිස ඇය විසින් එම කරුණු කාරණා නිවැරදි කරන ලද්දේ මේ ආකාරයෙන්ය.

”සොයිලියස් මැන්ඩිස් කියන කලාකරුවාගේ නිර්මාණ කටයුතු පිළිබඳව අමුතුවෙන් මම විස්තර කරන්නෙ නෑ. මේ රටේ බොහෝ දෙනෙක් එතුමන්ගේ හැකියාව ගැන දන්නවා. එතුමන් ජාතියට ඉතිරි කරල ගිය ”මහා කලාගාරය” එහෙමත් නැත්නම් කැලණිය රාජ මහා විහාරයේ බිතුසිතුවම් නොදැකපු කෙනෙක් මේ ලංකාවෙ නැතුවත් ඇති. ඒ විතරක් නෙමේ රට පුරා තවත් විහාරස්ථාන ගණනාවක එතුමා ඒ කාලේ චිත‍්‍ර ඇඳලා තියෙනව. නමුත් මම දැකලා තියෙනව අහල තියෙනව බොහෝ තැන්වල එතුමන්ව හඳුන්වන්නේ සෝලියස් මෙන්ඩිස් කියල. ඒක වැරදියි. ”සොයිලියස්” තමයි එතුමගේ නිවැරදි නම. මම හිතනව ඉදිරියටවත් නියම නමින් එතුමන්ව හඳුන්වනව නම් හොඳයි කියල. ඒ වගේම තමයි එතුමන්ගේ ගුරුතුමා, මෙමෝනිස් සිල්වා කියන්නේ එතුමගෙ ගුරුතුමා වගේම නෑකමට මස්සිනා. සොයිලියස් මෙන්ඩිස් මහතාගේ නංගිව තමයි එයා විවාහ කරගන්නේ. මම දැකලා තියෙනවා ඔය කියන කරුණු දෙක බොහෝ තැන්වල වැරදියට සඳහන් වෙලා තියෙනව. ඒ වගේම තමයි තවත් සමහරු අහනවා සොයිලියස් මැන්ඩිස් නිර්මාංශිකයි නම් සිතුවම් ඇඳීමේ අමුද්‍රව්‍යයක් ලෙස බිත්තර පාවිච්චි කළේ ඇයි කියල. ඒක වෙන්නේ මෙහෙමයි... මට මතක කාල වකවානුව ගත්තත් ඉන් එපිට අපේ අම්මලා තාත්තලා කියලා දුන්නු කරුණුවලට අනුවත් එතුමා මස් මාළු බිත්තර පමණක් නෙමෙයි උම්බලකඩ කෑල්ලක්වත් කවදාවත් ආහාරයට අරන් නෑ. හැබැයි ඒ කාලේ මට මතකයි පාපැදියෙන් මාදම්පේ නගරයට ගිහිල්ලා සති දෙක තුනකට වතාවක් ලොකු කරවල කූරියෙක් දෙන්නෙක් ගෙදර ගේන එක කැලණියෙ සීයගෙ පුරුද්දක්... ගෙදර ඇතිකරපු බල්ලන්ට කන්න දෙන්න තමයි එහෙම කරන්නේ. ඒ වගේම කතාවක් තමයි බිත්තර සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙත්. සිතුවම් ඇඳීම පිණිස බිත්තර සාරු යොදාගත්තු බව ඇත්ත. නමුත් එතුමා බිත්තර බින්දෙ නෑ... ඒකට වෙන කෙනෙක්ව තමයි යොදව ගෙන තියෙන්නෙ...”

කැලණියෙ සීයා පිළිබඳව මම අහපු තවත් කතාවක් තියෙනව. ඒක මෙරට හිටපු ජනාධිපතිවරයෙක් සම්බන්ධ එකක්. ජනාධිපතිතුමා තමයි ජේ. ආර්. ජයවර්ධන මහත්තයා. එතුමාගෙ විවාහ උත්සවය සඳහා කැලණියෙ සීය තමයි මඟුල් පෝරුව හදල තියෙන්නෙ. නමුත් ඔය මොනව කරත් සිද්ධිය අපේක්ෂා කරපු කෙනෙක් නෙමෙයි එතුමා. තමන්ගේ දේපළ පවා අන්තිමට අනුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න තරම් පරිත්‍යාගශීලී හිතක් තමයි එතුමාට තිබුණේ. පවුලේ අනිත් සාමාජිකයන් ගත්තත් බොහොම දැහැමි ජීවිත තමයි ඒ හැමෝම ගත කළේ.

විසිවන සියවස තුළ මෙරට බිතුසිතුවම් කලාවේ පුනරුදයක් ඇති කළ මෙම අසිරිමත් සිත්තරා ජාතියෙන් සමුගත් දිනය ලෙස සටහන්ව ඇත්තේ වර්ෂ 1975 සැප්තැම්බර් මස 01 වන දිනය. මිය යෑමට මත්තෙන් සිය පෞද්ගලික ධනය වියදම් කොට ගිරිරාජ විද්‍යාලය නමින් අඳ ගොළු බිහිරි දරුවන්ගේ යහපත පිණිස විදුහලක් ඉදිකරන සොයිලියස් මැන්ඩිස් මහතා එය රජයට ප‍්‍රදානය කරන අතර එතුමන්ට අයත් බිංගිරිය ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් ද ඒ වෙනුවෙන් ප‍්‍රදානය කොට ඇත. සෝමපාල නම් අතවැසියකුගේ සෙවන රැකවරණය මැද ජීවිතයේ සැඳෑ සමය ගත කළ මෙම අසිරිමත් සිත්තරාණන්ගේ අවසන් කටයුතු සිදු කරනු ලබන්නේ විශාල පිරිසකගේ සෝසුසුම් මැද ඔහු උපන් මාදම්පේ මහවැව ප‍්‍රදේශයේ දීය.

සැබෑ මිනිසුන් මියගිය ද ඔවුන් පිළිබඳ මතකය යුග යුග ජීවත් වන්නේය. ජාතිය පිණිස තම යුතුකම් ඉටු කරන ලද මිනිසුන්ගේ නාමාවලිය තුළ සොයිලියස් මැන්ඩිස් නම් මුනිවර කලාකරුවාගේ නාමය සටහන් වන්නේ ඒ අර්ථයෙන්ය. එම පරපුරෙන් පැවත එන මල්කාන්ති කරුණාරත්න මහත්මිය ඇතුළු තවත් මුනුපුරු මිනිපිරියන් රාශියක් තම මුතුන් මිත්තන් ඉතිරි කර ගිය අභිමානවත් ඉතිහාසය නැවත නැවතත් සිහිපත් කරමින් රට හමුවේ පවසා සිටින්නේ එම අරුමැති ඉතිහාසයේ උදාරම් කතාවය..

* රුවන් ජයවර්ධන

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles