Divaina - වසංගතය හමුවේත් දිනපතා වැයෙන දළදා තේවා හඬ...!

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

dalada

සමන්තී වීරසේකර


මහනුවර ශ‍්‍රී දළදා මාලිග පරිශ‍්‍රය ජනශුන්‍ය පරිසරයක් බවට පරිවර්තනය වී තිබුණද, දිනපතා අලූයම, දිවා සහ සන්ධ්‍යා යාමයේ වැයෙන තේවා හඬ සෙංකඩගල පුර පුරවරයම රැව්දෙන්නේය. බුදුරජාණන් වහන්සේගේ මෛත‍්‍රිය කරුණාව, දයාව මතින් ගලාඑන ආරක්ෂාව ජන සිත්සතන් වෙත නිරායාසයෙන් ඇතුළු වන්නට ඒ දළදා තේවා හඬ බෙහෙවින්ම ඉවහල් වන්නේය. උන්වහන්සේ වෙත ගොස් මල්පහන් දැහැත් පූජා කරන්නට හෝ පහන් සුවඳ කූරු දල්වා ආලෝකය සුවඳවත් බව දසත පතුරුවන්නට බැතිමතුන්ට අවස්ථාවක් නොලැබුණද, මේවන විට පැතිර ඇති වසංගතයෙන් තම තමන් හා තම තමන්ගේ හිතෛෂින් රැකදෙත්වා යන්නට නුවරවැසියන් නිරතුරුව ප‍්‍රාර්ථනා එක්කරන්නේ දළදා හිමි වෙත පූජෝපහාර සිදුකරන බවට ඇඟවෙන තේවා හඬත් ඝාණ්ටාර හඬත් රැව්දෙන මොහොතටය.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් ශ‍්‍රී දළදා වහන්සේ වැඩ හිඳිනා ශ‍්‍රී දළදා මාලිගාව මූලික කරගනිමින් වාර්ෂිකව මංගල්‍ය හතරක් පැවැත්වෙයි. අලූත් සහල් මංගල්‍ය, අලූත් අවුරුදු මංගල්‍ය, ඇසළ පෙරහැර මංගල්‍ය හා කාර්තික මංගල්‍ය ලෙසින් නම් ලද මේවා පිළිවෙළින් පැවැත්වෙන්නේ දුරුතු, බක්, ඇසළ හා උඳුවප් පුන් පොහෝ දිනයන්හිදීය. මේ සිව් මංගල්‍ය අතරින් මෙරට පමණක් නොව ලෝකවාසී ජනතාවගේද වැඩි අවධානයට පාත‍්‍රව තිබෙන්නේ ඇසළ පෙරහැර මංගල්‍යයයි.

අලි ඇතුන් සමඟ උඩරට කලා ශිල්පීන් දහස් ගණනක් පුරා දින 11 ක් මහනුවර නගරයේ සියලූ වීදී ආවරණය වන පරිදි රැඟුම් දක්වන ඇසළ පෙරහැර මංගල්‍යය නරඹන්නට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවරට පැමිණෙති. ඇසළ පෙරහැර මංගල්‍යයට අමතරව තවත් පෙරහැර දෙකක් වාර්ෂිකව දළදා මාළිගාව මගින් සංවිධානය කරයි. ඒ වෙසක් හා පොසොන් උදාව නිමිත්තෙනි. දිවයිනේ වෙහෙර විහාර කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යයන්හි ආරම්භය සිදුවන්නේ අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාල පෙරහැරිනි. එය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පොසොන් මාසයේදීය. කොවිඞ්-19 අර්බුදයත් සමඟ මෙවර පෙරහැර මංගල්‍ය කෙසේ පවත්වන්නට සිදුවේද යන කාරණය සම්බන්ධව මේ වන විට දියවඩන නිළමේතුමන් ප‍්‍රමුඛ බස්නායක නිළමේවරුන්ද සාකච්ඡා කරමින් සිටිති.

මේ අතර වාරයේ පසුගිය වෙසක් පුන් පොහෝදා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහැර පැවැත්විණි. වෙනදා අලි ඇතුන්ද උඩරට වෙස් නර්තන කණ්ඩායම්ද සමඟ දළදා මාලිගා චතුරස‍්‍රයේ ගමන් ගන්නා වෙසක් පෙරහැර දළදා මැඳුරෙන් පිටතට හෝ නොපැමිණ දළදා සමිඳුන් වැඩසිටින මාලිගය වටා ගමන් ගෙන නිමා කරන්නට දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා පියවර ගෙන තිබිණි. දළදා තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේත් දියවඩන නිළමේතුමන් හා ශ‍්‍රී දළදා මාලිගාවේ රාජකාරිකරුවන් ද තේවාභාර වාදන ශිල්පීන් කිහිප දෙනෙකුද පමණක් සහභාගි වූ මෙවර වෙසක් පෙරහැර පැය දෙකක පමණ කාලයකදී නිමාවට පත්වුණත් පෞරාණික චාරිත‍්‍ර සියල්ල ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ කිරීමට දියවඩන නිළමේතුමන් පියවර ගෙන තිබුණේ මෙය දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව සිදු කෙරෙන්නාවූ පූජෝපහාරයක් නිසාය.

දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදු කෙරෙන පුදපූජා කිසිම මොහොතක අතපසු කරන්නේ නැහැ. අදත් තේවා භාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දළදා වහන්සේට පුදසත්කාර කරනු ලබන්නේ එදා ආනන්ද තෙරුණ් ජීවමාන බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළ ආකාරයටයි. ඉංග‍්‍රීසින් උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට සටන් කළ අවස්ථාවේ වාරියපොළ සුමංගල අනුනාහිමියෝ දළදා වහන්සේ වැඩම කරගෙන ගොස් වනගතව උන්වහන්සේට ඇප උපස්ථාන කළා. උඩරට රාජධානිය 1815 දී ඉංග‍්‍රීසි පාලනයට යටත් වීමෙන් පසු ශ‍්‍රී දළදා මාළිගාවේ වැඩසිටි දළදා වහන්සේ උදෙසා මහසංඝරත්නය පෙර පරිදිම පුදපූජා සිදු කළා. උඩරට නිදහස් සටන ආරම්භ වීමත් සමඟ 1818 සිට 1828 දක්වා දස වසරක් ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන්නට ඉංග‍්‍රීසින් ඉඩ නොදුන් නිසා මාලිගාව අභ්‍යන්තරයේ පෙරහැර කරන්නට භික්ෂූන් වහන්සේට සිදු වුණා. පසුව 1915 මුස්ලිම් කෝලාහලය නිසා පෙරහැර පැවැත්වීම ඉංග‍්‍රීසින් අත්හිටෙව්වා. එදත් මාලිගාව අභ්‍යන්තරයේ පෙරහැර කරන්නට මහ සංඝරත්නයට සිදුවුණා. 1989 භීෂණ සමයේ පෙරහැර කරන්න සුදුසු පසුබිමක් තිබුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණින් පෙරහැර නොකරන ලෙස තර්ජන තිබුණා. මේ නිසා එදා දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පෙරහැර ගමන් කළේ දළදා මාලිගා චතුරස‍්‍රයේයි.

ශ‍්‍රී දළදා මාලිගාවේ බෞද්ධ කටයුතු කාර්යාංශයේ කේ. මීගහකුඹුර මහතා පවසයි.

ශ‍්‍රී දළදා මාලිගාවෙන් පිටතට නොපැමිණ පෙරහැරක් අවසන් වරට පවත්වා තිබෙන්නේ 1915 මුස්ලිම් කෝලාහල සමයේදීය. වසර තුනක් පමණ එලෙස පැවැත්වූ පෙරහැර පිටතට පැමිණ තිබෙන්නේ 1919 වසරේදීය. එලෙසින් දළදා මාලිගාව අභ්‍යන්තරයට පමණක් සීමාවී පෙරහැර පවත්වා වසර 100 කට පසු මෙවර වෙසක් පෙරහැර දළදා මැදුරෙන් පිටතට නොපැමිණ දළදා සමිඳුන් වැඩසිටින මාලිගය වටා පමණක් පැවැත්වීම සුවිශේෂත්වයකි. අලි ඇතුන් සහ නර්තන ශිල්පීන් නොමැතිව පෙරහැර එසේ පැවත්වුවත් ඒ හා බැඳුණු සම්ප‍්‍රදායික පිළිවෙත් අකුරටම ඉටු කරන්නට දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හොබවන මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමත් දියවඩන නිළමේතුමනුත් වගබලා ගනිති.

පෙරහැර ආරම්භ කිරීමට ප‍්‍රථම සිරිත් පරිදි ශ‍්‍රී දළදා මාලිගාවේ උඩමළුවේ රාජකාරී කරන වට්ටෝරු රාළ, ගෙපරාළ, හක්ගෙඩි අප්පු, කත්තියන රාළ ඇතුළු කණ්ඩායමත් විදානේවරුත් තේවා දියවඩන නිළමේතුමන්ට වැඳ නමස්කාර කරලා ආශිර්වාදය ලබා ගන්නවා. පෙරහැරට සම්බන්ධ වන ගජනායක නිළමේ, පෙරමුණේ රාළ වැනි අයත් නිළමේතුමන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා නමුත් මාලිගාව අභ්‍යන්තරයේ පෙරහැර පවත්වන විට ඔවුන්ගේ සම්බන්ධයක් පෙරහැරට නොමැති නිසා ඒ අය නිළමේතුමන් බැහැදකින්න පැමිණෙන්නේ නැහැ. ඉහළවෙළ, උඩුවෙල, මාලගම්මන හා මොළගොඩ පරම්පරාවන් විසින් තමයි දළදා මාලිගාවේ තේවා පනික්කි ධුර හොබවන්නේ. ඒ අය අතරින් කිහිප දෙනෙකු පමණයි අභ්‍යන්තර පෙරහැරට සම්බන්ධ වෙන්නේ. ගන්ධ කුටියෙන් පෙරහැර කරඬුව පිටතට වෙසක් පෙරහැරේදී වැඩම කරනු ලැබුවේ තේවාභාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේයි. නිළමේතුමන් කරඬුව වැඩම කරනවා නම් උඩරට නිළමේ ඇඳුමින් සැරසී එය කළ යුතුයි. කවිකාර මඩුවේ ආලත්ති අම්මාවරු දළදා වහන්සේට ප‍්‍රශස්ති ගායන කරත්දී තමයි පෙරහැර කරඬුව පිටතට වැඩම කරන්නේ. මෙවර පහළ මළුව පෙරහැර කරඬුව වැඩම කළේ තේවාභාර නායක හිමි විසිනුයි. තේවාභාරව කටයුතු කරන වාදන ශිල්පීන් වට හේවිසිය වාදනය කරනවා. සාමාන්‍යයෙන් බදාදා නානුමුර මංගල්‍යය අවස්ථාවේදී සිදුකරන වාදනය තමයි කරඬුව වැඩමවත්දී කරන්නේ. උඩුවියන් හා පාඩඩ මතින් පෙරහර කරඬුව වැඩසිටින මාලිගය වටා තෙවිටක් ප‍්‍රදක්ෂිණා කොට යළිත් ගන්ධ කුටියට වැඩම කර එහි තැන්පත් කරනවා. මෙවර වෙසක් පෙරහැරේදී මේ සියල්ල මාළිගාව අභ්‍යන්තරයේ සිද්ධ කළා... මීගහකුඹුර මහතා පැවසුවේය.

එදායින් පසු ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වූ සමයේ පවා පෙරහැර වීදි සංචාරය කළේය. පසුගිය වසරේ අපේ‍්‍රල් මස මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ පෙරහර පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලූ මතුවුණත් දැඩි ආරක්ෂාව යටතේ පෙරහැර මංගල්‍යය විචිත‍්‍රවත් ලෙස සංවිධානය කෙරිණි. කොරෝනා මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයට කුමන ආකාරයේ බලපෑමක් කරාවිද යන්න තවමත් ප‍්‍රශ්නාර්ථයකි. ඉකුත් 2020 වසරේ ඇසළ පෙරහැර මංගල්‍ය ද චාරිත‍්‍රානුකූලව වීථි සරමින් පැවැත්වුවද එය ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව කොරෝනා වෛරසය විසින් වළක්වාලනු ලැබීය. මෙලෙස ඇසළ පෙරහැර මංගල්‍යයත් එලෙස පවත්වන්නට සිදුවේද යන ගැටලූවට විසඳුම් ලැබෙන්නේ කොරෝනා වෛරසය ඉදිරියේදී පාලනය වන ආකාරය අනුවය.

ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී දළදා මාළිගයේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා කියා සිටියේ , මේ වන විට සියලූ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවය. සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද සම්බන්ධයෙන් ඉකුත් වසරටත් වඩා මෙම වසරේ අවධානය යොමු කළ යුතු වාතාවරණයක් ඇතිව තිබෙන බැවින්, රජයේ තීරණ මත මෙවර පෙරහැර පැවැත්වීමට සිදුවන බවද දියවඩන නිළමේවරයා කියා සිටියේය.

කොවිඞ් 19 පළමු රැල්ල සමයේ අද මෙන් කිසිදු බැතිමතෙකුට දළදා මාලිග පරිශ‍්‍රයට ඇතුළු වීමට අවසර ලැබුණේ නැත. අනතුරුව සීමා සහිත පිරිසකට දළදා සමිදුන් වැඳපුදා ගැනීමේ අවස්ථාව හිමි වූයේ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද පිළිබඳව දැඩි අවධානය යොමු කරමිනි. ඉකුත් සිංහල අලූත් අවුරුද්දෙ අලූත් සහල් මංගල්‍යයද සුළු ජන පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූයේ සියලූ චාරිත‍්‍ර වාරිත‍්‍ර ආරක්ෂා කරමිනි.

නැවත දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙන්නේ සංචරණ සීමා ඉවත් කිරිමෙන් පසුව දළදා මාලිගයෙන් දැනුම් දුන් පසුවය. පෙරහැර මංගල්‍යයන්ට සූදානම් වීම සඳහා මාලිගයේ කාර්ය මණ්ඩලය විශාල පරිශ‍්‍රමයක් දැරිය යුතු බැවින්, කාර්ය මණ්ඩලය ද සෞඛාරක්ෂිත බව තහවුරු කර ගත යුතුය. එහෙයින් බැතිමතුන් පැමිණෙන විට ඒ සියලූ කරුණු සිහි තබා ගත යුතු වන බවද නිලංග දෑල දියවඩන නිළමේවරයා කියා සිටියේය.

නිරන්තරයේන් රතන සූත‍්‍ර දේශනය දසතම රැව්දෙන ශ‍්‍රී දළදා මාලිග පරිශ‍්‍රය අදටත් බුදුගුණයේ මහිමයෙන් ආරක්ෂිතව ඇත. මෙම බිම උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කරගැනීම ජනතාවගේත් බැතිමතුන්ගේත් වගකීම වන්නේ, මුළුමහත් ජනතාවගේ අපේක්ෂා මුදුන්පමුණුවා ගන්නටත් පෙරලා ජනතාව උපද්‍රවයන්ගෙන් රැක ගැනීමටත්, ජීවමාන දළදා සමිඳුන්ගේ පිහිට හිමිවන බව සැබෑ අත්දැකීමක් වන නිසාය.
 

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles