Divaina - සංචරණ බාධා දුරු කරන ගුවන් පාලම් සහ අධිවේගී මාර්ගය

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 highway

 

 

 කුෂාන් සුබසිංහ
 
කොරෝනා පොකුරු නිසා සංචරණ සීමා දැන් රටට හොඳට පුරුදුය. ඒත් මීට පෙරද නොනිල සංචරණ සීමා නම් රටේ තිබුණි. සංචරණ සීමා ඉවත් වූ වහාම ඒ නොනිල සංචරණ බාධක යළි පැනනගී. තදාසන්න ප‍්‍රදේශවල කාර්ය බහුල වේලාවන්හි පැන නගින මාර්ග තදබදය ඒ නොනිල සංචරණ බාධාය. ඒ වේලාවට ද නුගේගොඩට, කොහුවලට, දෙල්කඳට, පෑලියගොඩට, ටවුන්හෝල්වලට මිනිසකු යන්නේ අත්‍යවශ්‍යම රාජකාරියකට පමණි. ගියොත් එන්නට පැය නොව වරු කිහිපයක් ගතවේ. කොළඹ ආශි‍්‍රත මතු නොව නුවර, ගාල්ල, මාතර ද එසේය.
 
 අසීමිත වාහන තදබදය එසේ රටේත් ජනතාවගේත් සංවර්ධනය හූරාගෙන කන වෙස්වළාගත් යක්‍ෂයකු මෙන් විශාල වෙමින් පවතී. සංචරණ සීමා පැනවූයේ කොරෝනා පොකුරු මර්දනයට මෙන්ම ඒ සංචරණ සීමා මධ්‍යයේ ද නොනිල සංචරණ බාධා එනම් මාර්ග තදබදය අවම කිරීම පිණිස තවත් පොකුරක් බිහිවිය. ඒ ගුවන් පාලම් ඉදිකිරීමේ පොකුරකි. මේ ගුවන් පාලම් හය එක පොකුරක් නොවුවත් ඒවා ඉදිකිරීම ආරම්භ කිරීම එක පොකුරකට සිදුවිය. ආශ්චර්යයකි. ගුවන් පාලමක් ඉදිකිරීමත් විශේෂත්වයක් වන අපේ වැනි රටක එකවර ගුවන් පාලම් 6ක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු පිළියෙල කිරීම ආශ්චර්යයක් නොවන්නේ කෙසේද? එමතුද නැත ඒ ආශ්චර්යය එතනින් නොනැවතී ජනතාවගේ බලාපොරොත්තුවලට පොල්ල නොතියා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයකි. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කිලෝමීටර් 16.4ක් දිගට අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට ද එදිනම මුල පුරන ලදී.
 
 අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 07 වැනිදා සිදුවූ මෙම දැවැන්ත මාර්ග සංවර්ධනය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ මාර්ග සංවර්ධනයේ නොමැකෙන පරිච්ෙඡ්දයක් වනු ඇත. මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාත් මේ කර්තව්‍යයේ කේන්ද්‍රස්ථානය නිරූපණය කරයි. ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලංසාද ඒ මහතාගේ මහා කර්තව්‍යයට සහායට සිටී.
 
 highway2අධිවේගී මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි මේ රටේ ජනතාවට ඇත්තේ මහත් කෘතගුණ පූර්වක හැඟීමකි. ඒ කෘතගුණ පූර්වකත්වය දෙවැනි වන්නේ තිස් වසරක යුද්ධය නිම කිරීමට පමණක් බවද කියමු. පළමු අධිවේගී මාර්ගය වන දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන කාලයේ ඊට නොයෙක් ආඩපාලි කියූ විපක්‍ෂයේ දේශපාලනඥයෝ අද පහසුවටත් ඉක්මනටත් ඒ ඔස්සේ එහෙ මෙහෙ යන්නේ එදා එසේ කියූ කට කොහේ හංගාගෙන දැයි ප‍්‍රශ්න කළ යුතුව ඇත.
 
 ගුවන් පාලම් සංස්කෘතිය අප රටේ ඇරැඹෙන්නේ 1998 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය යටතේය. ඒ රාගම ගුවන් පාලමයි. එවකට මහා මාර්ග ඇමැති ඒ. එච්. එම්. ෆවුසිය. එදා මෙදාතුර ගුවන් පාලම් රැසක් මහා මාර්ග ඇමැතිවරුන් කිහිප දෙනකු යටතේ ඉදිවිය. ඒත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහා මාර්ග ඇමැතිවරයා අවධියේ ගුවන් පාලම් 6ක් එක පොකුරට ඉදිකරන්නට මුල පිරීම රටේ මාර්ග පද්ධතියේ නව ප‍්‍රවණතාවයක් වේ.
 
 මෙසේ ඉදිකිරීමට නියමිත ගුවන් පාලම් වන්නේ කොහුවල ගුවන් පාලම, ගැටඹේ ගුවන් පාලම, විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලම, උත්තරානන්ද මාවතේ ගුවන් පාලම සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය සහ බේරේ වැව මතින් බාලදක්‍ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ඉදිකෙරෙන ගුවන් පාලම් වේ. අප ඉහතින් සඳහන් කළ විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමත් උත්තරානන්ද මාවතේ ගුවන් පාලමත් යන ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා ද ගුවන් පාලමක් ඉදිකෙරේ. ගුවන් පාලම්් හයක් ලෙස එය සඳහන් වන්නේ එවිටය. මේ ගුවන් පාලම් තුන සඳහා පමණක් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 5270ක් වේ. ශී‍්‍ර ලංකා රජය ඒ සඳහා මුදල් පිරිවැය දරන අතර කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම හංගේරියානු රජයේ මූල්‍යාධාර මත ඉදිකෙරේ. කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ පිරිවැය රුපියල් මිලියන 2200කට පමණ ඇස්තමේන්තු කර ඇත. පාලමේ දිග මීටර් 297 කි. පළල මීටර් 9.4 කින් සහ මංතීරු දෙකකින් යුක්ත වේ. කොළඹ - හොරණ ප‍්‍රධාන මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් මෙම ගුවන් පාලම ඉදිකිරීමට නියමිතය. කාර්ය බහුල අවස්ථාවන්හිදී පැයකට වාහන හයදහසකට අධික ප‍්‍රමාණයක් කොහුවල මංසන්ධියෙන් එහා මෙහා ගමන් කරන බව නිරීක්‍ෂණය කර ඇත.
 
 ඉදිකිරීමට නියමිත ගුවන් පාලම් අතරින් අගනුවරින් බැහැර මහනුවර ඉදිකෙරෙන ගුවන් පාලම ගැටඹේ ගුවන් පාලම වේ. මහනුවර නගරයට ඍජු සම්බන්ධතාවයක් ලබා දෙන මාර්ග ජාලයේ කේන්ද්‍රස්ථානයක් වන ගැටඹේ මංසන්ධිය මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ති‍්‍රක්ක එකිනෙකට සම්බන්ධ කරන්නේය. සාමාන්‍ය වැඩ කරන දිනයන්හි වාහන පනස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් මෙම මංසන්ධිය හරහා ගමන් කරන බව වාර්තා වේ. එසේම රථවාහන තදබදය නිසා සිදුවන ගමනාගමන ප‍්‍රමාදය පැය 1ක් විනාඩි 35ක් ලෙස ගණන් බලා ඇති අතර එමගින් දිනකට මගී පැය 225ක් අපතේ යන බවට ඇස්තමේන්තු කර ඇත.
 
 ඉදිකෙරෙන ගැටඹේ ගුවන් පාලම යනු ඒ මහා අපරාධයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට පහළ වන සංවර්ධනයේ පාලමක් වනු ඇත. මීටර් 374ක දිගින් යුතුවන ගැටඹේ ගුවන් පාලමේ පළල මීටර් 12.9 කින් යුතුවේ. රුපියල් මිලියන 7734ක් එනම් කෝටි 773ක් ලෙස එහි පිරිවැය ඇස්තමේන්තු කර ඇත.
 
 කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් 03 - විනිසුරු අක්බාර් මාවත හරහා ද, ශී‍්‍ර උත්තරානන්ද මාවත හරහා ද, බාලදක්‍ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත යා කරමින් සාදන ගුවන් පාලම් ද, ඇතුළුව ගුවන් පාලම් 03 කින් සමන්විතය. මෙහිදී විනිසුරු අක්බාර් මාවත සහ ශී‍්‍ර උත්තරානන්ද මාවතේ පවතින දුම්රිය හරස් මාර්ග 02 හේතුවෙන් සහ එහි දුම්රිය ගේට්ටු දිනකට 84 වතාවකට වඩා වැසීම හේතුවෙන් පැය 03කට වඩා සිදුවන ගමනාගමන අවහිරය සඳහා ප‍්‍රධාන වශයෙන් ඉදිකරනු ලබන ශී‍්‍ර උත්තරානන්ද මාවතේ ගුවන් පාලමත්, විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමත් හඳුන්වාදිය හැක. මේ මගින් දැනට මැලේ වීදිය හරහා ධාවනය වන වැඩි රථවාහන ප‍්‍රමාණයක් අනාගතයේදී එම මාර්ගයේ පවතින මාර්ග තදබදය හේතුවෙන් මෙම ඉදිවන ගුවන් පාලම් මගින් ගමන් කරවීමට යෝජනා වී ඇත. දැනට උත්තරානන්ද මාවතේත්, විනිසුරු අක්බාර් මාවතේත් පිළිවෙළින් 13,507ක් සහ 16,459 ක වාහන සංඛ්‍යාවක් ගමන් කරන අතර, මෙම වාහන සඳහා ද අනාගතයේදී වැඩිවන වාහන සංඛ්‍යාව මගින්ද සිදුවන වාහන තදබදය ද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සැලසුම් කොට ඉදිකිරීමට යෝජිත ඉහත ගුවන් පාලම් 03 මගින් අඩු කිරීමට සැලසුම් කර ඇති අතර, විනිසුරු අක්බාර් මාවතේ ඉදිවන ගුවන් පාලමත්, බාලදක්‍ෂ මාවත හා චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත සම්බන්ධ කරමින් ඉදිවන ගුවන් පාලමත් මගින් වටරවුම් මාර්ගයක් අනාගතයේ දී නිර්මාණය වන අතර, මේ මගින් කොළඹ නගරයේ කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශය ආශි‍්‍රතව පවතින වාහන තදබදය අවම කිරීමට යෝජිතයි. ශක්‍යතා වාර්තා අනුව විනිසුරු අක්බාර් මාවතේත්, ශී‍්‍ර උත්තරානන්ද මාවතේත් වර්තමානයේ පවතින දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන වාහන තදබදය නිසා රටට අහිමිවන මුදල රු. මි. 150කට අධික බව සොයා ගෙන ඇති අතර, මෙලෙස අපතේ යන මුදල මෙම ගුවන් පාලම් මගින් ඉතිරි කරගත හැක.
 
 

highway3

සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මාර්ග තදබදය අවම කිරීමේ සංකල්පය යටතේ මෙම ගුවන් පාලම් ඉදිකෙරේ. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේම ”මාර්ග ජාලය සංවර්ධනය” කිරීමේ උපාය මාර්ගය යටතේ කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා අධිවේගී මාර්ගය ඉදිකෙරේ. මංතීරු හතරකින් සමන්විත යෝජිත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කාලය වසර 3ක් සහ සමාගම මගින් කරන මෙහෙයුම් සහ නඩත්තු කාලය වසර 15 කි. චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙම ව්‍යාපෘතිය සිදුකරනු ඇත.
 
 වර්ෂ 2025 දී මෙම අධිවේගී මාර්ගය නිසා රුපියල් මිලියන 6060ක ඉතිරියක් රටට අත්වනු ඇති බවට ගණන් බලා ඇත. ඒ වාහන පිරිවැය අඩු වීමෙන් සහ කාලය ඉතිරිවීමෙන් අත්වන ප‍්‍රතිලාභ ලෙසය. එසේම එම වර්ෂය වන විට මිලියන 6080ක වාර්ෂික ආදායමක් ද එමගින් අපේක්‍ෂා කෙරේ. අතුරුගිරියේ සිට නව කැලණි පාලම දක්වා මිනිත්තු 15 කින් යාමට හැකිවනු ඇතැයි ඔබ මීට පෙර කවදාවත් නොසිතන්නට ඇත. එහෙත් මෙකී යෝජිත අධිවේගී මාර්ගය හේතුවෙන් ඔබට කාර්ය බහුල වේලාවකදී වුවද මිනිත්තු 15කින් එම නගර අතර ධාවනය කිරීමට හැකි වනු ඇත. බත්තරමුල්ල පරිපාලන අගනුවර වෙත හා පාර්ලිමේන්තුව වෙත කොළඹ නාගරික ප‍්‍රදේශයේ සිට ප‍්‍රවේශ වීමට මෙම මාර්ගය මහත් ප‍්‍රයෝජනවත් වේ.
 
 එමෙන්ම අධිවේගී මාර්ග ජාලය සම්බන්ධ කරමින් නව කැලණි පාලම ව්‍යාපෘතියට සහ පිටත වටරවුම් මාර්ගයට ප‍්‍රවේශය සැපයේ. වරාය ප‍්‍රවේශ කණු මත දිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිමවීමත් සමඟම මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය හා කොළඹ වරාය නගරය අධිවේගී මාර්ග ජාලය සමග සම්බන්ධ කෙරේ. මාර්ගය ඉදිකිරීම නිසා බලපෑමට ලක්වන දෙමටගොඩ, වනාතමුල්ල සහ මීතොටමුල්ල යන ප‍්‍රදේශවල 1100ක් පමණ වන පවුල් සංඛ්‍යාවක් වෙත නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද මහල් නිවාස ලබාදීමටත් එමගින් ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීම මගින් සමාජ සංවර්ධනය සඳහා දායක වීමටත් අපේක්‍ෂිතය. තවද, මෙම අධිවේගී මාර්ගය කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයක් වන බැවින් පවත්නා ජල මාර්ග, ගංවතුර මට්ටම, පරිසරය හා සත්ව ගමන් සඳහා එහි බලපෑම අවම වේ. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් කාලය හා එහි මෙහෙයුම් කාලය තුළ මධ්‍යම පරිසර අධිකාරියේ සීමාවන් හා මාර්ගෝපදේශයන්ට අනුව පරිසරය ආරක්‍ෂා කර ගැනීම සඳහාත් පරිසරයට සිදුවන අවහිරතාවයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහාත් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට නියමිත වේ. තවද, යෝජිත අධිවේගී මාර්ගය ආශි‍්‍රතව පරිසර හිතකාමී කලාපයක් කි‍්‍රයාත්මක කිරීමට ද නියමිතය. එමෙන්ම මෙම මාර්ගය ඔරුගොඩවත්තේදී නව කැලණි පාලමට සම්බන්ධ වන අතර අතුරුගිරියේදී පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ වේ. ඒ අතරතුර පහත අන්තර් හුවමාරු එනම් බේස්ලයින් මාර්ගයට පිවිසුම සහිත දෙමටගොඩ අන්තර් හුවමාරුව, රාජගිරිය අන්තර් හුවමාරුව, කොස්වත්ත අන්තර් හුවමාරුව, හෝකන්දර අන්තර් හුවමාරුව ඉදිකිරීමට ද නියමිතය. ගුවන් පාලම් සහ නව අධිවේගී මාර්ගයක පෙර ලකුණු යනු සංවර්ධනයේ පෙර මග සුබ වන බවය. කොරෝනා පොකුරුවලට දොස් කියමින් ඒවායේ ඇලී ගැලී සිටියහොත් රටක් ඉදිරියට යන්නේ නැත. අවශ්‍ය වෙන්නේ එම වසංගත වලින් බේරී රට ආපස්සට නොව ඉස්සරහට ගෙන යන ව්‍යාපෘතීන්ය.
 
 

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles