Divaina - ඔබේ ළඟම මිතුරා රහස් පරික්ෂකයෙක්... ප්‍රවේශමෙන්... ඉන්දියාවේ රහස් පරික්ෂකයොත් ලංකාවට ඇවිත්..

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

rahas

* රණවිරු කර්නල් මුතාලිෆ් ද විශිෂ්ට රහස් පරික්ෂකයෙක්..
* රජයේ ආයතන, පෞද්ගලික ආයතන මේ කොතැනක වුවද රහස් පරීක්ෂකවරු සිටිය හැක...

 

මිත‍්‍ර ශ‍්‍රී කරුණානායක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

රහස් පරීක්‍ෂකයෙකු යැයි කී සැණින් පොතපත කියවා රස විඳ ඇති බොහෝ දෙනෙකුට එක්වරම සිතේ මැවෙන්නේ ෂර්ලොක් හෝම්ස් උන්නැහේවය. ඔහු තම සහායක දොස්තර වොට්සන් මහතා සමග කළ රහස් වික‍්‍රමයන් ගැන කුඩා දරුවන් පවා දනී.

ලොව පරසිදු ලේඛක සර් ආතර් කොනන්ඩොයිල් විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත චරිතයක් වුවද ෂර්ලොක් හෝම්ස් යනු දැනට සිය වසරකට අධික කාලයක් පුරා කුදුමහත් පාඨකයාගේ සිතේ රජ කරන වීරයෙකි. බැස්කර්විල් හි රුදුරු බල්ලා, විරූපී මුහුණක් ඇති යාචකයා, අඟුටුමිටි ගෝත‍්‍රිකයා, උමතු දොස්තර, බැලරට් හි නිධානය වැනි රහස් පරීක්‍ෂක කතා කියවා ඇඟ ලොම්

දැහැගන්වාගෙන නැති අයෙක් මෙලොව ඇත්නම් ඌ වැඩකට නැති එකෙක් බව මම කියමි. ෂර්ලොක් හෝම්ස් මෙන්ම තවත් රසවත් වීර මනඃකල්පිත චරිත සිය ගාණක් අපට රහස් පරීක්‍ෂක නව කතාවල, චිත‍්‍ර කතාවල, කාටුන්වල, චිත‍්‍රපටවල සහ ටෙලි නාට්‍යවලට දැක ගන්නට හැක.

උප දන්නා 007 හෙවත් ජේම්ස් බොන්ඞ් ද දක්ෂ මනඃකල්පිත රහස් පරීක්‍ෂකයෙකි. ඔහු සිනමාවට වීරයෙකි. ලයිසන්ට් ටු කිල් හෙවත් මිනී මරන්නට බලපත‍්‍ර පවා ඇති බොන්ඞ් වෙලාවකට ඩබල් ඒජන්ට් කෙනෙක් හෙවත් ද්විත්ව ඔත්තු කාරයෙකි. මෙවන් චරිත අදටත් අප අතර ඇති අතර ඔවුන් ගැන ඉදිරියේදී කතා කරමු. රිප් කර්බි, ජෙරී මේසන්, ඩිටෙක්ටිව් කොනන්, ජෙසිකා ජෝන්ස්, සෑම් සහ මැක්ස්, ඩික් ට්රේසි යනු ජාත්‍යන්තර නව කතා සහ සිනමා සාහිත්‍යයේ අති ජනප‍්‍රිය රහස් පරීක්‍ෂක චරිත අතරින් කීපයක් පමණක් වන අතර විශ්වයේම ළමුන්ගේ සදාතනික වීරයෙක් වන ප‍්‍රංශ ජාතික තෑන් තෑන් හෙවත් අප කවුරුත් ආදරය කරන තරුණ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියා වන ටිං ටිං ද මෙවැනි මනඃකල්පිත වීර චරිතයකි. නිතර ඔහුගේ සහයට ස්නෝවි නම් බලූ කුක්කා, කුකුල් කේන්තිකාර කපිතාන් හැඩොක් නම් නාවුකයා මහාචාර්ය කැල්කියුලස් සහ හැමදාම වැඩ අනාගන්නා තොම්සන් සහ තොම්ප්සන් නැමැති පෞද්ගලික රහස් පරීක්‍ෂකයන් දෙදෙනාද මෙහිදී සිහිකළ යුතුමය.

සිංහල සාහිත්‍යයටද රහස් පරීක්‍ෂක කතා එතරම් දුලබ නොවේ. කෝන්ගොඩ වික‍්‍රමපාලයන්ගේ අති භයානක වික‍්‍රමයන් අපි කුඩා කල කියෙව්වේ ඇඟ හිරිගඩු මතුකර ගනිමිනි. නවකතා චක‍්‍රවර්තී ඩබ්ලියු. ඒ. සිල්වා ශූරීන්ගේ කෘතීන් කීපයකම අපට රහස් පරීක්‍ෂකයන් සහ රහස් වික‍්‍රමයන් ඇස ගැසේ. ටෙරන්ස් ගෝඨාභය, රහස් පරීක්‍ෂක වික‍්‍රම සහ ඉන්ස්පෙක්ටර් ශ‍්‍රීනාත් වැනි කල්පිත චරිත ගැනත් යන්තම් මට මතකය. හැත්තෑව සහ අසූව දශකයේ වත්වූ තරුණ සිත් වලට රිංගා එහි රහසේ ජීවත්වන්නට සමත් වූ ජේමිස් බණ්ඩා නම් වීර රහස් පරීක්‍ෂකයාගේ චරිතය හෙළ පාඨකයාට ගෙනා ඞීමන් ආනන්දයන් ගැන කතා නොකළොත් එය මහත් අසාධාරණයකි. ඞීමන් ආනන්දයන් බාල කරදහි කොල සහිත ඉතා සීමිත පිටු ගණනකින් ඉතා රසවත් සහ භයානක භාෂාවකින් ලස්සන වර්ණවත් පිටකවරයකින් යුතුව තම රහස් පරීක්‍ෂක කතා පාඨකයාට ඉදිරිපත් කළ අතර ඒවා තරුණ බාල රැඩිකල් නව යෞවනයන් ආදරයෙන් පිළිගත්තද උගත් වැදගත් යයි සිතා සිටි එක්තරා පිරිසක් ඞීමන් ආනන්දගේ පොත් අළුයම ළුෑ කෙළ පි`ඩක් මෙන් ඉවත දමනන්ට තරම් අසාධාරණ විය. ඔවුන් තැකුවේ ඒවා පහත් පෙළේ කතා පොත් වශයෙනි. මේ හේතුව නිසාම කුඩා අප මිතුරන්ගෙන් හෝ ලොකු අයියලාගෙන් ලැබෙන ඒ පොත් කියවනු ලැබුයේ පාසල් පොතක් හෝ ෆයිල් කවරයක් අස්සේ සඟවා ගනිමිනි.

වරක් මිහිර පත්තරය අස්සේ සඟවාගෙන මා ඞීමන් ආනන්ද ‘‘ශූරීන්ගේ’’ පොතක් කියවමින් සිටියදී අපේ තාත්තාගේ අතටම අසුවුණ අතර (මට මතක අන්දමට ඒ ”වවුලා’’ නැමැති පොතයි.) මට හොඳටම බැන වැදී තරවටු කළ තාත්තා ඊට දින කීපයකට පසු ඇලෙක්සැන්ඩර් ඩුමා විසින් රචිත කේ. ජී. කරුණාතිලකයන් විසින් සිංහලට පෙරළුෑ අලූත්ම අලූත් මොන්ත ක‍්‍රිස්ත සිටුවරයා පොත් කට්ටලයම ගෙනත් දුන් අයුරු තාම මතකය. මා එම පොත් එක හුස්මට කියවා අවසන් කළ අතර තාත්තා පසුදාම කොහෙන්ද මන්දා ඞීමන් ආනන්දයන්ගේ පොත් තුනක් මට ගෙනත් දී හෙමින් ටොක්කක්ද ඇන්න අයුරු ඊටත් හොඳින් මතකය.

නව යොවුන් පාසල් සිසුන් වන අපි එකල පන්ති කාමරයේදී ද හොරෙන් එවන් ඞීමනයන්ගේ පොත් අනන්තවත් කියවූ අතර ඩග්ලස් සර්, අමරසිරි සර් සහ අපට නැටුම් ඉගැන්වූ සුරූපී සුජානි මිස් වැනි අයද අප සමග වරින්වර ඒවා හුවමාරු කරගත් රසවත් අතීතයක් තිබුණි. පාසලින් කට්ටි පැන මරදාන ඔලිම්පියා එකේ දහයයි තිහට බෲස්ලීගේ ෂෝ එක බලා යළි පාසලට එන අපි සමහරදාට ඩාලි පාරේ ගාමිණී හෝල් එක ඉදිරිපිට ඇති පරණ පොත් කඩ පේළියෙන් ඞීමන් ආනන්දගේ පොතක් දෙකක් එහි මුදලාලිට හොරෙන් බ්ලාස් කරගෙන එන්නේ හරියට ඒ පොතේ රහස් පරීක්‍ෂක 007 බණ්ඩා, ඇමෙරිකාවෙන් රුසියාවට ගොස් ක්‍රෙම්ලීනයේ රහස් ලිපිගොනුවක් උස්සන්නා වැනි හැඟීමෙනි. අපි සිංහලෙන් රහස් පරීක්‍ෂකයා කියා කීවාට වෙනත් රටවල කියන්නේ ගවේෂණාත්මක නිලධාරියා හෙවත් ප‍්‍රයිවෙට් ඉන්වෙස්ටිගේටර් (Private investigator) කියාය. බොහෝ රටවල ජාතික මට්ටමේ රහස් ඔත්තු නිලධාරීන් සහ රාජ්‍ය මට්ටමේ රහස් ඔත්තු සේවා ක‍්‍රියාත්මක වෙයි. ඉන්දියාවේ රෝ, රුසියාවේ කේජීබී, අමෙරිකාවේ සීඅයිඒ වැනි ආයතන ඒවාට උදාහරණයි. ශ‍්‍රී ලංකාවේ නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොහොත් රහස් පොලීසියයි. මේවාට අනුබද්ධිතව බුද්ධි අංශ, මූල්‍ය අපරාධ අංශ සහ නොවිසඳුණු අපරාධ ඒකක වැනි ආයතනද ඇත.

ලෝක පෞද්ගලික රහස් පරීක්‍ෂක සේවයේ පියා කවුදැයි සොයා යද්දී අපට මුලින්ම හමුවන්නේ පැරීසියේ විසූ එයුජින් ෆ‍්‍රැන්සුවා විදොක් (Eugène François Vidocq) නම් ප‍්‍රංශ ජාතික සොල්දාදුවායි. ඔහුට කළු පැල්ලම් සහිත අඳුරු ඉතිහාසයක් තිබූ අතර අපරාධකාරයෙක් වශයෙන් දඬුවම් පවා විඳි අයෙකි. කෙසේ වෙතත් 1833 දී ඔහු වාණිජ්‍ය සහ කර්මාන්ත තොරතුරු සපයන කාර්යාලය. ("Le Bureau des Renseignements Universels pour le commerce et l’Industrie''[2] ("The Office of Universal Information For Commerce and Industry'') නමින් පෞද්ගලික රහස් ඔත්තු සේවයක් ආරම්භ කොට ඇත. එහි ඔත්තු සොයා යන්නන් ලෙසට ඔහු කුළී පදනම මත සේවයට බඳවා ගෙන ඇත්තේ විවිධ වැරදි වලට දඬුවම් විඳ (සිරගතව සිට) නිදහස්ව එළියට ආ අපරාධකරුවන්ය. ප‍්‍රංශ රජය සහ නීතිය ක‍්‍රියාවට නංවන ආයතන මෙම රහස් ඔත්තු සේවය වසා දැමීමට කොතෙක් උත්සුක වුවද ඔහු වසර දහයක් මෙම ආයතනය ඉතා රහසේ පවත්වාගෙන ගොස් තිබුණි. ඔහු කර ඇත්තේ පෞද්ගලික අංශ වල සහ ධන කුවේරයන්ගේ මූල්‍ය වංචා අක‍්‍රමකතා ගවේෂණය කර ඒවා නිසි අයට අල්ලා දීම හෝ මහ පරිමාන වංචාකරුවන්ගෙන් විශාල මුදල් කප්පම් ගැනීමයි. කෙසේ වෙතත් බොරු මවා පෑම් මිනිසුන් මුලා කිරීම් සහ විවිධ අක‍්‍රමිකතාවයන් හේතුවෙන් ප‍්‍රංශ පොලීසිය ඔහුව අල්ලා ගන්නා අතර වසර තුනක සිර දඬුවමකින් පසු එළියට පැමිණ තම කටයුතු යළි ආරම්භ කරයි. විදොක් දක්‍ෂ නව නිපැයුම්කරුවකුද වන අතර ඔහු සොයා ගත් දේත් ඔහුගේ යහපත් සහ අවකල් ක‍්‍රියාවන් ගැනත් පොත් පවා ලියැවී ඇත.

1850 දී ඇලන් පින්කර්ටන් Allan Pinkerton යන අය විසින් පින්කර්ටන් ජාතික රහස් පරීක්‍ෂක සේවය Pinkerton National Detective Agency නමින් පෞද්ගලික රහස් ඔත්තු සේවයක් අරඹා ඇති බවට වාර්තා ඇත.

1852 දී එංගලන්තයේ විසූ චාල්ස් ෆ්‍රෙඞ්රික් ෆීල්ඞ් Charles Frederick Field යන අය විසින් ද නීත්‍යානුකූල අයුරින් රහස් සහ තොරතුරු සොයන කාර්යාලයක් ආරම්භ කරන අතර ඔහු එක්සත් රාජධානි මෙට්‍රොපොලිටන් පොලීසියට කාලයක් සේවය කොට විශ‍්‍රාම ලැබූ උසස් නිලධාරියෙකි.

rahas2

 

අද වන විට ඇමරිකාව රුසියාව, එංගලන්තය, ප‍්‍රංශය ඇතුළු වෙනත් යුරෝපා රටවල සහ ආසියාවේත් ජාත්‍යන්තතර මට්ටමේ රහස් සහ තොරතුරු සොයා දෙන පෞද්ගලික රහස් ඔත්තු සහ ගවේෂණාත්මක සේවා සපයන පෞද්ගලික ඒජන්සි අනන්තවත් ඇත. ඔවුන් කරන්නේ ලොව ඕනෑම රටකින් ඕනෑම පුද්ගලයෙක් ඉල්ලා සිටින තොරතුරක් රහසක් අභිරහසක්, නඩු නිමිත්තක්, සාක්‍ෂියක් නැතිවූ භාණ්ඩයක් හෝ ඒ පිළිබඳ තොරතුරක් හැකි අයුරින් සපයා දීමයි. ඒ සඳහා ඔවුන් අය කරන ගාස්තුව ඉතා ඉහළය. සපයන සේවය අනුවද එම මුදල උච්ඡාවචනය වෙයි.

අප රටේ වැඩි දෙනෙක් නොදන්නා එහෙත් අව්‍යශ අය නම් හොඳින්ම දන්නා International Counterintelligence Services (ICS) හෙවත් ”ජාත්‍යන්තර ප‍්‍රති-බුද්ධි සේවය’’ එවන් ජාත්‍යන්තර ආයතනයකි. 1967 පටන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ලොව පුරා ව්‍යාප්තව විහිදී කටයුතු කරන මෙම ආයතනය යටතේ හොඳින් පුහුණුව ලද නිලධාරීන් දහස් ගාණක් සේවය කරයි. ඔවුන් අතර මනා අවි පුහුණුව ලැබූ විශ‍්‍රාමික හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් බුද්ධි අංශ නිලධාරීන් ජනමාධ්‍යවේදීන් වෛද්‍යවරුන් නීතිඥයින් සහ නීතිවේදීන් පූජකයින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල නිලධාරීන් පූර්ණ කාලීනව සහ අර්ධ කාලීන ස්වෙච්ඡා සේවකයන් ලෙස මෙහි සේවය කරනු ලබයි. මෙම ආයතනයට බඳවා ගැනීමේදී අදාළ පුද්ගලයාගේ අතීතය, පවුල් පසුබිම, අධ්‍යාපනය, සේවා පළපුරුද්ද සහ අත්දැකීම් මනාව නිරීක්‍ෂණය කරන අතර ආයතනික රහස් සහ සොයා ගන්නා තොරතුරු දිවි හිමියෙන් රැකීමට ඔහු බැඳී සිටින බවට ගිවිසුමක් ඇති කරයි.

අපරාධ සුලමුල, මිනීමැරුම් සහ භයානක අපරාධ, මූල්‍ය වංචා, අවිආයුධ විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ, පවුල් හබ, දික්කසාද සඳහා සාක්‍ෂි, ළමා අපහරණ කටයුතු කාන්තා හිංසන, රක්‍ෂණ සහ කල්බදු වංචා වාහන තොරතුරු ආදායම් බදු සහ රේගු බදු අක‍්‍රමකතා රාජ්‍ය රහස් ත‍්‍රස්තවාදී ජාතිවාදී සහ ආගම්වාදී අපරාධ වැනි එකී නොකී ප‍්‍රස්තුථයන් එකසිය විසිපහකට ආසන්න ප‍්‍රමාණයක් ආවරණය වන පරිදි මෙම ආයතනය සේවාවන් සපයයි. පිටරට වලට හදාගන්නට දුන් ශ‍්‍රී ලාංකික දරුවන්(Adopted kids) තේරෙන වයසට පැමිණි කල තම සැබෑ දෙමව්පියන් සොයන්නට සහය පතන්නේද බොහෝ විට මෙවැනි ඒජන්සි තුළිනි. ඒ වෙනුවෙන් ඔවුහු ලක්‍ෂ ගණන් අය කරති. පැය විසිහතර පුරා සති හතේම විවෘතව පවතින ඔන්ලයින් ජංගම දුරකථන සේවාවක්ද මෙම ආයතනය මගින් පවත්වාගෙන අතර උපදෙස් සහ උද්දේශන කටයුතු සඳහා මුදලක් අය නොකරයි. මෙම රහස් ඒජන්සියට වැඩ කරන අය දෙස් විදෙස් බොහෝ දෙනෙක් මා දන්නා අතර ඔවුන් කිසිකලක තම අනන්‍යතාවය කාටවත් හෙළි නොකරති. අප කලින් කී පරිදි අප රටේ ඇති ප‍්‍රධානම තොරතුරු සොයන ඒකකය රහස් පොලීසියයි. යුධ හමුදාවේ සහ වෙනත් සන්නද්ධ අංශවල රහස් තොරතුරු සේවාවන්ට කියන්නේ බුද්ධි අංශ කියාය. සමහරු ඒවාට වෙන වෙන නම් දමාගෙන බළකායන් ලෙස ක‍්‍රියාත්මක වෙයි. කලකට පෙර ජාතික බුද්ධි තොරතුරු බියුරෝව NIB (National Intelligence Bureau) නමින් ආයතනයක් තිබුණු අතර දැන් එය තියෙනවාද නොදනිමි.

මහ රජයට පොලීසියට හමුදාවන්ට වෙන වෙනම බුද්ධි අංශ හෝ තොරතුරු සොයන අංශ තිබෙනවා මෙන් අනෙකුත් රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා මණ්ඩල බැංකුවලද තමන්ටම සුවිශේෂී වූ බුද්ධි අංශ ගවේෂණ කණ්ඩායම් රහස් සොයන නිලධාරීන් සිටින බව සමහර ආයතන එවන් උසස් විධායක මට්ටමේ නිලධාරීන් පවා නොදනිති. සමහර රාජ්‍ය ආයතන තමන්ට අවශ්‍ය තොරතුරු සහ අක‍්‍රමිකතා ගවේෂණය කර ගැනීම සඳහා පෞද්ගලික රහස් පරීක්‍ෂකවරුන්ගේ හෝ එවන් කණ්ඩායම් වල සේවය මිලදී ගනිති.

එවැනි පෞද්ගලික රහස් පරීක්‍ෂකයන්, තොරතුරු සොයන්නන්, ගවේෂණ නිලධාරීන් අද අප රටේ දහස් ගණනක් සිටින බව වැඩි දෙනෙක් නොදනී. අද අප රටේ සිටින බොහෝ සුප‍්‍රසිද්ධ නීතිඥයින් ළඟ මෙවැනි පෞද්ගලික රහස් පරීක්‍ෂකයන් වැඩ කරන බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. නඩු දිනවා දීමට, නඩු විසිකරවා දීමට නිදොස් කොට නිදහස් කර දීමට අතිවිශාල නඩු ගාස්තුවක් අය කරන මෙවන් නීතිඥ මහත්වරු ළඟ මාසික වේතනයට, කොන්තරාත්තු පදනමට හෝ වැඬේට අනුව මුදල් අය කරන බොහෝ
ගවේෂණ නිලධාරීන් හෝ රහස් පරීක්‍ෂකයන් සිටින අතර ඉන් සමහරු ජීවත් වන්නේ මරණ වරෙන්තුව අතේ තියාගෙන ජීවිත පරදුවට තබා බවද කිව යුතුය.

එකල ගොරකානේ සමරවික‍්‍රම නමින් අපේ තාත්තාගේ අති මිතුරු නීතිඥ මහතෙකු ගල්කිස්ස අධිකරණයේ විවිධ නඩු වෙනුවෙන් පෙනී සිටි අතර ඔහු ඔහුට යම් තොරතුරක් හෝ කාටත් සපයන්නට බැරි සාක්‍ෂියක් අවශ්‍ය නම් එය දන්වා සිටියේ එකල නව යොවුන් තරුණයන්ව සිටි මටත් මා මිතුරු කැළටත්ය. රමේෂ්, සජිත්, ටයිනි, මංජුල යන නම් වලින් නිර්භීත බුද්ධිමත් එහෙත් නසරානි මිතුරන් පිරිසක්් මා සමග සිටි අතර සමරවීර අංකල් විසින් අපට පැවරූ වැඩ අප අපේ දිවි හිමියෙන් ඉටු කර දී ඇත.) පසුකලෙක ටයිනි යුධ හමුදාවට බැඳෙන අතර 2005 වසරේදී ත‍්‍රස්ත වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය යන්නේ යුධ හමුදා බුද්ධි අංශයේ අනුත්තර අණ දෙන්නා වශයෙන් රට වෙනුවෙන් අගනා සේවයක යෙදී සිටියදීය.

අපි දැන් නයනානන්ද ගැන කතා කරමු. ඔහු අපූරු චරිතයකි.. පළවෙනි පාර උසස් පෙළ යන්තම් සමත් වී හමුදාවට හෝ පොලීසියට බැඳෙන්නට ආසාවෙන් සිටි මම ගෙදරට වී නිකන් ඉන්නට බැරි නිසාත් අයියා සමග නොරොක් වීම නිසාත් එක්තරා පෞද්ගලික ආරක්‍ෂක සේවා සහ ගවේෂණ සේවා සපයන ආයතනයක් විසින් පළකර තිබූ ආරක්‍ෂක නිලධාරීන් බඳවා ගනු ලැබේ යන දැන්වීමට අනුව නිවසට හොරා කාටවත් නොදන්නවා එය සොයා ගියෙමි. එකල මගේ පෙනුමේ සහ කතා කිරීමේ යම් ගතියක් තිබුණ නිසාදෝ ඔවුන් මට එදිනම රැකියාව ලබා දුනි. මගේ සහතික හැඳුනුම්පත ආදිය නැතිවූ බවට සහ කාත් කවුරුත් නැතැයි ඇත්ත සඟවා බොරු තොරතුරු දී ඉදිරි දිනකදී ඒවා රැගෙන එන බවට පොරොන්දු වීම නිසා ඔවුන් මට දුන්නේ එම ආයතන කාර්යාලයේ ඩියුටි ඔෆිසර් යන තනතුරයි. මට පැවරී තිබුණේ ආයතනයට එන විවිධ දුරකතන ඇමතුම් වලට පිළිතුරු දී ඒවා පොතක ලිවීම සහ රාත‍්‍රී කාලයේ කාර්යාලයේ රැඳී සිටීමයි. මාව නිරීක්‍ෂණය කිරීමට තවත් දෙදෙනෙකු දමා ඇති බවත් මට හොඳටම තේරුණි. ආයතනයෙන් පිට යෑම මට තහනම් කර තිබුණි. ආයතනයේ හිමිකරු විශ‍්‍රාමික උසස් හමුදා නිලධාරියෙකු වූ අතර ඔහුගේ බිරිඳ රූමත් සහ මහත් ගාම්භීර පෙනුමක් තිබුණද ඉතා කරුණාවන්ත මහත්මියකි.

නයනානන්ද මට හමුවන්නේ මෙවන් අවධියකයි. එතරම් උස මහත නැතත් ෆිට් ඇඟක් සහිත නිතර සිනා මුසු ප‍්‍රසන්න මුහුණක් ඇති ඔහු සතියකට දෙතුන් වතාවක් කාර්යාලයට එයි. ඒ බොහෝ විට අළුයම් කාලයේය. සමහරදාට යක්කු ගස් නගින ? මැදියමේය. තවත් දාට කවුළු පියන්පත් වැහෙන සැඳෑ සමයේ කළුවරත් අතින් රැගෙනයි. ඒ කොයි වෙලාවේ ආවත් ඔහුට කාර්යාලයට ඇතුල්වන්නට, තුන්වන මහළේ ඇති විවේකාගාරයට ගොස් ඇඟ පත සෝදා හෝ නා ගෙන තේ එකක් හදාගෙන බී කෙටි නින්දක් දාන්නට ඉහලින්ම අවසර ලැබී තිබුණි. වරෙක ඔහු සරොම් බැනියම් අඳී. තවත් දිනකය එන්නේ මුස්ලිම් මුදලාලියෙක්ගේ වේශයෙනි. තවත් දවසක වැරහැලි කඩමාළු සහිත ඇඳුමකිනි. ඔහු විවිධය, විෂමය, අපූරුය.

නයනානන්ද යනු තොරතුරු ගවේෂණය කරන රහස් පරීක්‍ෂකවරයෙකු බව මට දිනක් කීවේ ආයතන හිමිකරුගේ බිරිඳ වන ඇන්ජලා මැඩම්ය. ඒයි තරුණයා.. අපි තමුන් ගැන ඔක්කොම දන්නවා දැන් ඔබට සඟවන්න කිසිවක් නෑ තමා කැමතිනම් තමුන්ට පුළුවන් නයනානන්ද එක්ක එයාගෙ සහයකයා වශයෙන් වැඩ කරන්න.“Hey young man..! We know all about you..You cant hide anything…if you like you can work with Mr. Nayananada as his assistant..” )

ඇය මෙසේ කියද්දී මට පොළොව පලාගෙන යන තරම් ලැජ්ජාවක් ඇති වුණද සති දෙකක් පමණ ඉතා හොඳින් අවංකව මා එහි සේවය කළ නිසා බයක් දැනුනේ නැත. එවිට එතනට ආ නයනානන්ද...

‘‘මල්ලි උඹෙ අයිය අද උදේ උඹ මෙහෙ ඉන්නව කියල ආරංචි වෙලා මෙහාට හොයං ආවා. බොස්ටයි මැඩම්ටයි සේරම විස්තරේ කියල. උඹට මෙහෙ ආරක්‍ෂාව හොඳයි දැනිල තව ටිකක් කල් හිටපු දෙන් කියල යන්න ගිහින්.’’පසුදා සිට මම නායනානන්දගේ ගෝලයා වීමි. මා ඔහු සමග නොගිය දිහාවක් නැත. ඔහු මා රැගෙන නොගිය දිහාවක් නැත. නැතිවුණ වාහන හොයන්නට සුදු කර පටි සොරුන්ගේ හොර වැඩ අල්ලන්නට දික්කසාද කරන්නට සිටින බිරිඳගේ අනියම් සබඳතා සොයන්නට නැතිවූ තරුණියන් හෝ ගැහැණුන් සහ කෙල්ලන් සොයා දෙන්නට ලොකු පොඩි නඩු වලට සාක්‍ෂි සපයා දෙන්නට වැනි එකී නොකී රහස් ගවේෂණ සඳහා අපි මහන්සි වුණෙමු. වරෙක වැල්ලවත්ත කෝවිල ළඟ හෝ කොටුව දුම්රියපල ඉදිරිපිට සිඟාකන අපි තවත් වරෙක කළු කළිසම් කළු කරපටි කළු කෝට් දමාගෙන අළුත්කඬේ උසාවියේ පෙරකදෝරුවන් ලෙස හැසිර ඇත්තෙමු. පන්සලක් ගාව තැඹිලි කැපීම, කොච්චිකඬේ පල්ලිය ඉදිරිපිට ඉටිපන්දම් අලෙවිය, ඉස්කෝලයක් ගාව අන්නාසි බේසමක් තියාගෙන විකිණීම එකල මට රස්සාවට වඩා විනෝදාංශයක් විය. පොලීසියට හෝ වෙනත් ආරක්‍ෂක අංශ වලට අසුවුණහොත් අපේ ලොක්කාගේ හෝ ලොක්කීගේ එක දුරකතන ඇමතුමෙන් අප දෙදෙනා එළියට එන්නේ ඔවුන්ගෙන් තේපැන් සංග‍්‍රහයක්ද ලබමිනි.

ගොඩනැගිලි ඉදිකරන වැඩ භූමි වල අත් උදව් දීම, කොන්ක‍්‍රීට් දාන්න යෑම, පෙට‍්‍රල් ෂෙඞ් වල තෙල් ගැසීම එකල මට ටොයිස් වැඩ විය.

මෙම ක්‍ෂේත‍්‍රයේම ඉහළ තනතුරක් සඳහා නයනානන්ද වෙන ආයතනයකට ගිය අතර මාස කීපයකට පසු මාත් ඇන්ජලා මැඩම්ගේ අවසරය මත වැඩිදුර ඉගෙනගන්නා ගමන් කළ හැකි වෙනත් රැකියාවකට ගියේ අම්මාගේ දැඩි ඉල්ලීම නිසාය. තවත් වසර කීපයකට පසු මා වෙනත් ආරක්‍ෂක සේවයක ගවේෂණ නිලධාරී වශයෙන් අර්ධකාලීන නොහොත් කොන්තරත්තු පදනම මත සේවය කිරීමට ගිය අතර එහි කටයුතු පවා නොයෙක් වර විදේශගත වීමට පවා සිදුවිය. ගවේෂණ කටයුතු නිසා මම හෝටල් වල පිඟන් සෝදා ඇත්තෙමි. පිටකොටුවේ නාටාමි වැඩ හෙවත් මුට්ට කර ගැසීමි. ගණිකා මඩම්වල සම්බාහන ආයතනවල, කාමර කුළියට දෙන තැන්වල විවිධ රැකියා කර ඇත්තෙමි. කුඩු මුදලාලිලා ගංජා ඞීලර්ලා සමග සමීපව ඇසුරු කර ඇත. මා මෙවන් ආයතනවල වැඩ කළ බව මගේ මව පියා සහෝදර සහෝදරියන් බිරිඳ පවා තවම දන්නේ නැත. විවිධ වේශයන් ගෙන විදේශීය රහස් පරීක්‍ෂකයන්ද අප රටේ සැරිසරයි. මුලින් මුලින් ත‍්‍රස්තවාදී කොටින් බෝම්බ පුපුරවන අපි පාසල් යන සමයේ අප ”වල බහින’’ මරදාන දුම්රය පොළේ එක්තරා උන්මන්තකයෙකු විය. ඔහු ගොළුවෙක් බවට බොහෝ දෙනා සිතුවත් ඔහුට කතා කළ හැකි බව අපි කීපදෙනෙක් පමණක් දැන සිටියෙමු. නමුත් ඔහු කතා කළේ ඉතා සුළු වචන කීපයකි. කළු සමක් ඇති තඩි බඩක් සහිත මූණ පුරා රැවුල වවාගත් උඩු කය නිරුවත් ඔහුව සියල්ලෝම ඇදුන්නුවේ බුම්මා ලෙසිනි. කන්නේ බොන්නේ නිදන්නේ මුත‍්‍රා ඇතුළු සියල්ල ඔහු කරන්නේ දුම්රියපල පරිශ‍්‍රයේය. ඔහු අත පා හිඟා නොකෑවද දුම්රිය ම`ගීන් සහ සේවකයන් ඔහුට කීයක් හරි දෙන්නට මැලි නොවීය.

කොහේ සිටියත් ඔහු මඩකලපුව සිට සවසට කොළඹ මරදානට එන හිජ්රා දුම්රිය එන වෙලාවට හරියටම දුම්රියපලට පැමිණ අදාළ වේදිකාව අසල ගැවසෙයි. වරක් අප සියල්ල මවිත කරමින් ඔහු දුම්රියෙන් බැස්සේ හොඳ හයේ හතරේ පුද්ගලයෙකුව සිය වමතින් බෙල්ලෙන් අල්ලාගෙන අලූත්ම අලූත් බ‍්‍රවුන්රිංග් වර්ගයේ රිවෝලවරයක් සිය දකුණතේ දරාගෙනය. ඒ බුම්මා ඉන්දියන් රහස් පරීක්‍ෂකවරයෙකි. අදාළ පුද්ගලයා අල්ලා ගැනීමට ඔහු මාස ගානක් මරදානේ චාටර් වුණේ අප කාගේත් ඇස් වසමිනි. තම රාජකාරිය අවසන් කර සියරට බලා යන්නට පෙර බුම්මා මාවත්, මා මිතුරු පයිලට් තිස්ස ආනන්ද සහ දුම්රිය පෝටර් කෙනෙකු වන අප මිතුරු රත්නා හෙවත් රත්නපාලවත් අසල ඇති බුහාරි හෝටලයට රැගෙන ගොස් බුරියානි සංග‍්‍රහයක් කලේ අප කීප වරක් ඔහුට කන්න අරන් දී ඇති නිසා එයට කලගුණ සැලකීමටය. මෙවැනි විදේශීය මෙන්ම ලාංකික පෞද්ගලික රහස් පරීක්‍ෂකයන් සිය දහස් ගණනක් අද අප රටේ රහසේ අගනා සේවාවන් ඉටු කරයි. මහ පරිමානයේ සොරකම් වංචා අල්ලා ගැනීමට උපකාර කරයි. නිකරුනේ එල්ලූම් ගස් යන්නට සිටින අහිංසකයන් බේරා ගැනීම සඳහා සත්‍ය සාක්‍ෂි සපයා දෙයි. බොරු චෝදනා මත වන්දි ඉල්ලා දිකක්සාද නඩු දමා ඇති අයව ඉන් බේරා ගැනීමට ඇත්ත තොරතුරු හොයා දෙයි. කුඩා කලම විදේශයන්ට දරුකමට හදා ගන්නට දෙන බිළින්ඳන් වැඩිවියට පත්ව තම සැබෑ දෙමාපියන් සොයද්දී ඒ අය සොයා ගැනීමට තම සේවය ලබා දෙයි.

”සර් මගේ ඩියුටිය ඉවරයි. සර් ජෙනුයින්. මෙන්න සර්ගේ ලිපිගොණුව මං යනවා මං සර්ව රැවැට්ටුවා නෙවේ මං කලේ ඉහළින් මට ආපු ඕඩරේ’’ අන්න එහෙම කියල තමා සකලසූරිය මාමා අපේ තාත්තා අතට ලොකු ෆයිල් කවරයක් දීල දණ ගහල අන්තිම දවසෙ යන්න ගියේ’’මට මෙහෙම කීවේ කුඩා කල් සිට මගේ පාසල් මිතුරෙකු වන භාණුය. ඔහු අප රටේ බතික් කර්මාන්තයේ පියා හෙවත් බතික් රජා යන විරුදාවලිය ඇති අප රටට මහත් කීර්තියක් ලබා දුන් අභාවප‍්‍රාප්ත විපුල ධර්මවර්ධන මහතාගේ මද්දුම පුතාය. භානු කියන අන්දමට එදා එනම් දැනට වසර තිහකට පමණ පෙර ඒ සරම බැණියම අඳින සකලසූරිය මාමා තම පියාගේ බතික් කර්මාන්ත ශාලාවේ සහ ඔහුගේ පෞද්ගලික රියදුරා ලෙස වසර ගාණක් සේවය කර ඇත. බලද්දී ඔහු කර ඇත්තේ සැබෑ රැකියාවක් නොව කුමන හෝ වෙනත් ආයතනයකට රහස් ගවේෂණ තොරතුරු සැපයීම හෝ විපරමෙන් සිටීමයි. සමහරවිට ඒ ආදායම් බදු දෙපාර්තේතුවේ හෝ බැංකුවක උවමනාවකට විය යුතුය.

නයනානන්දලා සකලසූරියලා බුම්මලා වැනි දක්‍ෂ ගවේෂකයන් රහස් පරීක්‍ෂකවරුන් අදටත් සමාජයේ සිටී. ඒ පොත්වල විත‍්‍රපටවල හෝ ටෙලි නාට්‍යවල රඟන කළු අව් කණ්නාඩි දමන ඩෙනිම් හෝ දිගු කළු කබා අඳින පිස්තෝලයක් ඉණෙහි සඟවාගත් කාඞ්බෝඞ් වීරයන් වශයෙන් නෙවේ. සමාජයේ විවිධ තැන්වල ගැවසිය හැකි ඕනෑම තැනකට අනුගත විය හැකි සරල සාමාන්‍ය මිනිසුන් වශයෙනි.

2005 මැයි මස 31 වන කොළඹ නාරාහේන්පිටදී රුදුර වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගිය මෙතෙක් මෙරටින් බිහිවූ හොඳම රහස් පරීක්‍ෂකයා ලෙස මා අවිවාදයෙන් පිළිගන්නා මා මිතුරු ටයිනි හෙවත් ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ බුද්ධි අංශයේ අනුත්තර අණදෙන්නාව සිටි කර්නල් නිසාම් තුවාන් මුතාලිෆ් රණවිරුවාට මෙම ලිපිය උපහාරයක් වේවා.

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles