Divaina - සැෂේ පැකට් තහනම් කිරීම විහිළුවක්...

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප‍්‍රතිචක‍්‍රියකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජයතුංග

polythne
 
 සාකච්ඡා කළේ -
 චමින්ද සිල්වා
 
සිලිබෑග්, පොලිතින්, ප්ලාස්ටික්්, මෙන්ම යෝගට් කෝප්ප, සැෂේ පැකට් සහ කුඩා පරිමාණයේ බෝතල් ද සමාජයට පරිසරයට සිදු කරන හානිය පිළිබඳ කතිකාවත ගොඩනැඟුණේ අද ඊයේ නොවේ. එහෙත් ඒ ඒ ද්‍රව්‍යයන් කෙරෙහි නොයෙකුක් මතවාද පැවැතුණද ඒවාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වුණු සෙයක් දක්නට නොලැබේ. මෑතකදී සැෂේ පැකට් නම් තහනම් විය. එය කොතෙක් කාලයකට දැයි කිව නොහැක. මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම එකී භාණ්ඩ නිෂ්පාදනය කරන්නන් සහ ආනයනය කරන්නන් අතරද ඒ පිළිබඳ විවිධ හැල හැප්පීම් ඇත. ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප‍්‍රතිචක‍්‍රියකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජයතුංග මහතා අපි හමු වුණෙමු. මේ ඔහු සමඟ ‘දිවයන ඉරිදා’ සංග‍්‍රහය කළ සාකච්ඡාවයි.
 
 ප‍්‍රශ්නය: සුපිරි වෙළෙඳ සැල්වලින් වසරකට සිලිබෑග් බිලියනයක ප‍්‍රමාණයක් මුදා හැරෙන බවට අනාවරණය වී තිබෙනවා. එක් භාණ්ඩයකට එක් සිලිබෑගය බැගින් ලබා ගැනීමට පාරිභෝගිකයන් පෙළෙඹී තිබෙන නිසා මේ තත්ත්වය උදාවී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙය ගමේ පරිසරයට තදින්ම බලපානවා. ඔබ,මම වරදේ කොටස්කරුවෙක්ද?
 
 පිළිතුර:- එය අපේ වැරැද්දක් නොවේ. පරිසර අධිකාරිය ගත් වැරදි තීරණයක ප‍්‍රතිඵල තමයි ඔය එන්නේ. 2016 දී පරිසර අධිකාරිය එම වැරදි තීරණය ගත්තේ. ඊට පසුව දැන් වසර 4 1/2 ක් ගෙවිලා තිබෙනවා. ඒ වරද නිවැරදි කරගන්න තරම්වත් ඔවුන් නිහතමානී නැහැ. ඒ වගේම පරිසර ඇමැතිවරයාත් අලූත් තීන්දු තීරණ ගැනීමට පෙර මෙතෙක් සිදු වූ දේවල් පිළිබඳ පසු විපරමක් කළ යුතුයි.
 
 ප‍්‍රශ්නය:- කුමක්ද ඔවුන් අතින් වුණු වරද?
 
 පිළිතුර : නොදිරන ලන්ච් ෂීට් සහ සිලි බෑග් තහනම් කළා. ඒ තීන්දුව හොඳයි. ඒත් ඒක ක‍්‍රියාත්මක වුණේ නැහැ. අද ඒවා ගැන සොයා බලන්නෙ නැහැ. දැන් රට පුරාම නොදිරන ලන්ච් ෂීට් සහ සිලි බෑග් භාවිතා වෙනවා. පසු විපරමක් නැහැ. කාගෙන්වත් අහන්නෙ නැහැ.
 
 ප‍්‍රශ්නය: පරිසර ඇමැතිවරයා තීන්දු තීරණ ගැනීමට පෙර හැම දෙනාගෙන්ම විමසිය යුතුයි කියලද ඔබ කියන්නේ?
 
 පිළිතුරු: ඔව්! පරිසර අධිකාරියේ නිලධාරීන්ගෙන් විතරක් නොවේ කර්මාන්තකරුවන්ගෙනුත් විමසිය යුතුයි. පාරිභෝගිකයාගෙන්, වෙළෙඳසැල් හිමියාගෙන්, විෂය පිළිබඳ දැනුම තිබෙන අයගෙන්, තොග වෙළෙන්දන්ගෙන් මේ හැම දෙනාගෙන්ම මතය විමසිය යුතුයි. ඒ හැම දෙනාවම සම්බන්ධ කර ගත යුතුයි.
 
 ප‍්‍රශ්නය: පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන්ගේ සංගමය ලෙස ඔබට පුළුවන් පරිසර ඇමැතිවරයා මුණ ගැසෙන්න.
 
 පිළිතුර: ඔව්. අපි එතුමාව මුණ ගැහුණා. පරිසර අධිකාරියේ නිලධාරීන් සමගම ඔහුව මුණ ගැසුණේ. එහිදී අදාළ බලධාරීන් ප‍්‍රකාශ කළා දිරන පොලිතින් නිපදවන්න කියලා. ඒවා වෙළෙඳපොළට දෙන්න කියලා. ඒත් ලාභෙට තිබෙන නොදිරන පොලිතින් එක්ක සටන් කරන්න අපට බැහැ. එහෙම නම් ඒ පොලිතින් වැටලිය යුතුයි. එහෙම වුණේ නැති නිසා අපට සිදුවුනේ දිරන පොලිතින්, සිලි බෑග් ලක්ෂ ගණන් මේ පොළොව ඇතුළේ වළ දැමීමටය. මේ වගේ වැඩ නිසා අපට කෝටි ගණන් පාඩු වුණා. ඇමැතිතුමාගෙන්, ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ පනවපු නීති රීති ගැන පසු විපරමක් කරන්න. ඒ නීති ක‍්‍රියාත්මක නොවන්නේ ඇයි කියලා හොයලා බලන්න.
 
 ප‍්‍රශ්නය: ප‍්‍රතිචක‍්‍රීකරණ වැඩ සටහන් රට තුළ නිසි ලෙස ක‍්‍රියාත්මක වෙනවද?
 
polythne2පිළිතුර: කොහෙත්ම නැහැ. කොටින්ම අපට කසළ කළමනාකරණයකුත් නැහැ. කොළපාට, නිල්පාට, කහපාට, රතුපාට බෑග්වලට දැන් කසළ වෙන් කරන්නේ නැහැ. අනෙක පරිසර දූෂණය කියන්නේ මේ පොලිතින් බෑගය පමණක් නොවේ. ලැමිනේටඞ් රැපින් එකත් ඒ වගේමයි. ‘‘සින්ගල් යූස්’’ පාරේ තිබෙන බෑග් එකක් විවෘත කර බලන්න. ඒ ඇතුලේ මොන තරම් පරිසරයට හානි කරන දේවල් තිබෙනවද කියලා පෙනෙයි. යෝගට් කෝප්ප, පැම්පස්, ප්ලාස්ටික් බෝතල්, බිස්කට්, රැපින් පේපර් ආදී නොයෙක් දේ ඒ ඇතුළෙ තිබෙනවා. ඒ කසළ නිසි ලෙස කළමනාකරණය කරනවා නම් පරිසර හානිය අවම කරගන්න පුළුවන්.
 
 ප‍්‍රශ්නය: ඔබ පරිසර අමාත්‍යාංශයත්, අධිකාරියත් විවේචනය කරනවද?
 
 පිළිතුර: එය විවේචනයක් විදිහට ගන්න එපා. අපේ කර්මාන්තය හරි තැනට ගෙන යෑමටයි අපි මේ උත්සායහ කරන්නේ. මේ ආයතන දෙකේම හොඳ නිලධාරීන් ඉන්නවා. පරිසරයට ආදරය කරන නිලධාරීන් ඉන්නවා. ඒත් ඇතැම් පිරිස් වරින් වර එන ඇමැතිවරුන් නොමඟ යවමින් තමන්ගෙ වළ ඉහගන්නට පාර හදා ගන්නවා. මිනිස්සුන්ටත් සාධාරණයක් වන ලෙස පරිසරයටත් අසාධාරණයක් නොවන ලෙස තීන්දු තීරණ ගත යුතුයි.
 
 ප‍්‍රශ්නය: පසුගියදා සැෂේ පැකට් තහනම් කළා. එය ඔබ දකින්නේ කෙසේද?
 
 පිළිතුර: සැෂේ පැකට් තහනම් කිරීම විහිළුවක් ලෙසයි මම දකින්නේ. කර්මාන්තකරුවෙකු හැටියටත්, පාරිභෝගිකයකු හැටියටත් මං එය නොබියව කියනවා. ෂැම්පු සහ හෙයාර් ජෙල් පැකට්නේ තහනම් කළේ. හැබැයි සෝස් පැකට් ආදී කෑම ජාති දාන බොහෝ පැකට් ජාති තිබෙනවා. ඒවායින් පරිසර හානි සිදුවන්නේ නැද්ද? මේ ෂැම්පු පැකට් බහුලවම භාවිතා කරන්නේ අඩු ආදායම්ලාභී ජනතාවයි. එයින් වුණේ ආණ්ඩුවත් අප‍්‍රසාදයට ලක්වීම විතරයි. හිටපු පරිසර ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට වැරදි තීන්දු තීරණ ගන්න උපදෙස් දුන්නු නිලධාරීන්ම තමයි දැන් අමරවීර මහත්තයා ළඟටත් යන්නේ. පරිසරයට සම්බන්ධ ආයතනවල ඉන්න ඇතැම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්ගේ නොමනා ක‍්‍රියා කලාප නිසා රටට පරිසරයක් නැති වෙලා යයි. ඇතැම් දේශපාලකයෝ ජාතිවාදය අල්ලගෙන ගොඩයනවා වගේ සමහර නිලධාරීන්ද පොලිතින් අල්ලාගෙන ගොඩයනවා.
 
 ප‍්‍රශ්නය : ලන්ච් ෂීට් නීතියට මොකද වුණේ?
 
 පිළිතුර: වරදකරුවන් ඇල්ලූවට වැඩක් නැහැ. දඩය 5000 යි. දඩය ගෙවලා ආපසු ඇවිත් පරණ විදිහටම වැඩ කරනවා. පරිසර නිලධාරීන් කියන්නේ ඔවුන්ට බලයක් නැතිලූ කර්මාන්තය නතර කිරීමට. මැෂින් අත්අඩංගුවට ගැනීමට බලයක් නැතිලූ. හරිනම් එම යන්ත‍්‍ර සූත‍්‍ර රාජසන්තක කළ යුතුයි. ඔවුන්ට රුපියල් ලක්ෂ 5 ක 10 ක දඩයක් ගැසිය යුතුයි. වෙළෙඳසැල් හිමියාටත් දඩයක් ගැසිය යුතුයි. කසිප්පු පෙරනවා. ඇල්ලූවම දඟර කම්බි බැරල් ඔක්කොම කුදලගෙන එනවා වගේ මේ අයටත් විරුද්ධව නීතිය කරන්න. බලපත‍්‍රය තහනම් කරන්න. කර්මාන්තයේ විදුලිය විසන්ධි කරන්න. එහෙම නීති රීති ක‍්‍රියාත්මක කරන්න බැරි නම් ගැසට් ගහලා වැඩක් නැහැනේ. අල්ලන දේවල් මාධ්‍ය හරහා ජනතාවට ප‍්‍රදර්ශනය කරන්න. ආයෙත් මේ වැරදි කරන එකක් නැහැ. අපි කියන්නේ නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලයි. සැෂේ නීතිය දාන්න කලින් ඊට පෙර දාපු නීති ක‍්‍රියාත්මක වෙනවාදැයි බලන්න.
 
 ප‍්‍රශ්නය: ඔබට මේ සම්බන්ධයෙන් යෝජනා තිබෙනවද?
 
 පිළිතුර: 2016 වසරෙදි අලූත් නීති රීති ගෙන ඒමට පෙර අපි යෝජනා 16 ක් එදා පරිසර ඇමැතිට, පරිසර අධිකාරියේ සභාපතිට, අධ්‍යක්‍ෂ ජනරාල්ට, පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දුන්නා. ඒත් ඒ එක යෝජනාවක්වත් ක‍්‍රියාත්මක වුණේ නැහැ. නීතිරීති හැදුනේ නැහැ.
 
 ප‍්‍රශ්නය: අයි එහෙම වෙන්නේ?
 
 පිළිතුර:- ඇතැම් නිලධාරීන් පගාව ගන්නවා. හිඟන්නට තුවාලෙ වගේ මේ නීති මෙහෙම තිබෙනකොට තමයි නිලධාරීන්ට පගාව ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි එක් එක් ආණ්ඩු මේ ගැසට් ගහපු විදියටයි, උපදෙස් දුන්නු විදියටයි හැඩ ගැසෙන්න
 ගිහින් අපි කෝටි ගණන් බැංකු වලට ණය වුණා. නොදිරන පොලිතින් වලින්, දිරන පොලිතින් වලට මාරුවීම සඳහා අපි යන්ත‍්‍ර සූත‍්‍ර වෙනස් කළා. දිරන පොලිතින් හැදුවා. ඒවා විකුණගන්න බැරිව වළ දැම්මා. ඒ ණය ගෙවා ගන්න අපිට අවුරුදු 05 ක් කල් දෙන්න. ඊට පසුව අපි මැෂින් ටික යකඩවලට හරි විකුණා ගන්නම්. මේ ක්‍ෂේත‍්‍රයේ 40,000 ක් විතර රැකියා කරනවා. වක‍්‍රව ලක්ෂ 05 ක් පමණ අපිට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ අයගේ නොවේ රටේ සුබසාධනය වෙනුවෙන් තමයි අපි මේ ඉල්ලීම කරන්නේ. එහෙම වුණොත් 2026 දී පොලිතින් නැතිවෙලා මේ රට සුන්දර රටක් වේවි කියලා හිතනවා. පරිසර අධිකාරියේ කට්ටියටත් නිදහසේ රස්සාව කරන්න පුළුවන් වේවි. හැබැයි යථාර්ථය ඒක නොවේ.
 
 ප‍්‍රශ්නය: වර්තමානයේ තිබෙන පොලිතින් ප‍්‍රශ්නයට විසඳුම් ලෙස ඔබ දකින්නේ මොනවාද?
 
 පිළිතුර: ඉවතලන පොලිතින් විදුලි බලය නිපදවීම සඳහා යොදා ගත හැකියි. ඒ වගේම ඉවතලන පොලිතින් ආශ‍්‍රිතව තාර නිපදවා මහා මාර්ග ඉදිකිරීමට යොදා ගත හැකියි. ප‍්‍රතිචක‍්‍රීය කරණය සඳහා යොදා ගත හැකියි. කුණු ප‍්‍රශ්නයට විසඳුම් ලෙස විදුලිබලය නිපදවීම සිදු කරන බව ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර ප‍්‍රකාශ කළා. ඒත් ඒ දේවල් සිදුවුණේ නැහැ. ඒ වගේම මූලිකම දේ තමයි ජනතාව දැනුවත් කිරීම. එය මොන්ටිසෝරි මට්ටමේ සිට කුඩා දරුවාගේ පටන් සිදුකළ යුතු දෙයක්. එය පාසල් විෂය නිර්දේශයටත් ඇතුළත් කළ යුතුයි. ටොෆිකොළය බිමට නොදමන තැනින් අපි පටන් ගත යුතුයි. එතකොට පොලිතින් රටේ හැම තැනම තිබෙන එකක් නැහැ. ජනතාව අතර හොඳ ආකල්ප ගොඩනැගිය යුතුයි.
 
  

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles