Divaina - රුසියාවේ 'ධවල රාත්‍රිය' පුරාම අවදියෙන් හිටියා...

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



dalai
* මම ලංකාවට ආපු සෑම අවස්ථාවකම ඥාතීන්ව වන්දනාවේ එක්කරගෙන යනවා...
* අම්මගේ අවමඟුල් උත්සවයට ලංකාවේම නායක හාමුදුරුවෝ වැඩියා...
* දලයි ලාමාටත් වඩා ලෝකයේ බුදුදහම ප‍්‍රචලිත කළ සිංහල හාමුදුරුවෝ...


තරංග රත්නවීර

ලොව විශාලතම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කළේ උන්වහන්සේය. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් ඈතින් පිහිටි සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම ලෝකය පුරා ථෙරවාදී බුදු දහම ප‍්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ අතර උන්වහන්සේ පෙරමුණේ සිටිති. ධර්මධර, විනයධර මෙන්ම ශබ්ද ශාස්ත‍්‍රය ද මනා සේ ප‍්‍රගුණ කළ මහා ප‍්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ ප‍්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ඒ උතුරු ඇමරිකාවේ ප‍්‍රාධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය...

අපේ හාමුදුරුවනේ දැන් මට නැඟිටින්න බෑ...’ පොල් ගෙඩි අකුරින් ලියලා තිබුණු ඒ වචන හය ලියන්න අම්මට සතියක් ගිහින් තිබුණා. එක දවසකට එක වචනයයි ලියන්න පුළුවන් වෙලා තිබුණේ. ඒ ලිපිය දැක්කට පස්සෙ මට ඇමරිකාවේ ඉන්න හිත දුන්නෙම නෑ. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සියල්ලම නතර කරලා තමයි ලංකාවට ආවේ...

මම ලංකාවට එනකම් අපේ අම්මා හුස්ම ටික ආරක්‍ෂා කරගෙන සිටීම මහා වාසනාවක්. අම්මගේ අවසාන කටයුතු කෙරුණේ නුවර රණවන ගමේදී. එතකොට ඒ ගමේ ආරච්චි මහත්තයා අපේ මස්සිනා. නංගිගේ සැමියා. ආරච්චි බලයත් පාවිච්චි කරලා ඉතාම හොඳට ආදාහන උත්සවය කළා. එවකට ලංකාවේ වැඩසිටිය සියලූම නායක හාමුදුරුවෝ අපේ අම්මට අවසාන ගෞරව දැක්වීමට වැඩම කළා. ලොකු අක්කා කසාද බැඳලා පදිංචිවෙලා හිටිය ගුණදහ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ හැතැක්ම දොළහක් පයින් වැඩම කරලා මැරෙන්න මොහොතකට පෙර නංගිලාගේ ගෙදරට ඇවිත් අම්මට ධර්ම දේශනාවක් කළා. උන්වහන්සේ වාහනවල ගමන් කළේ බොහෝම අඩුවෙන්. කහ කුඩයක් ඉහළගෙන, බිම බලාගෙන පයින්ම තමයි ගමන්, බිමන් ගියේ. බිමට නැවිලා තියෙන හිස ඉහළට එසවුණේ ගමනාන්තයේදී විතරයි. මම ලංකාවට ඇවිත් ලොකු අක්කලාගේ ගෙදර ගිය සෑම අවස්ථාවකම උන්වහන්සේ බැහැදකින්න පන්සලට ගියා. ඒ වගේම මම ලංකාවට ගිය සෑම අවස්ථාවකදීම වැඩිපුර කළේ වන්දනා ගමන් යෑම. සහෝදර, සහෝදරියෝ, ඔවුන්ගේ දුවා දරුවෝ ඥාති සේරම එකතු කරගෙන බස් එකක් හයර් කරගෙන දින ගණනාවක් වට වන්දනාවේ යනවා. ලංකාව පුරාම බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරන්න යනවා. ඒත් අම්මා බලන්න පැමිණි අවස්ථාවේදී වන්දනා ගමන් යන්න බැරි වුණා. ඒ අවස්ථාවෙත් මාස දෙකක් විතර ලංකාවේ හිටියා. අම්මා සිහිපත් කරලා පින්දහම් කටයුතු කරන්න ඒ කාලය කැප කළා.

මහරගම වජිරඥාන විහාරස්ථානයේ වැඩ සිටිය මඩිහේ පක්‍ද්ක්‍දාසීහ හාමුදුරුවෝ බැහැදකින්න ගිය මොහොතේ බොහොම ඉහළින් පිළිගෙන මාස පෝය දවසට එම විහාරස්ථානයේ ධර්ම දේශනාවක් කරන්න කියලා මට කිව්වා. එම ධර්ම දේශනාව කළාට පස්සේ මාතර මැද්දවත්තේ පන්සලෙත් ධර්ම දේශනාවක් කරන්න කියලා උන්වහන්සේ කිව්වා. ඒ සියලූ ආරාධනා පිළිගෙන ධර්ම දේශනා පැවැත්වුවා. අම්මගේ අවමඟුල් කටයුතු ඉවර වෙලා මාස දෙකකට විතර පස්සෙ තමයි නැවත ඇමරිකාවට යන්න සූදානම් වුණේ.

මම ලංකාවේ හිටිය මාස කිහිපයේදී වොෂින්ටන් බෞද්ධ විහාරයේ හිටියේ දික්වැල්ලේ පියනන්ද හාමුදුරුවෝ සහ උපාලි. ලංකාවේ ඉඳලා නැවත ඇමරිකාවට යනකොට රටවල් කිහිපයක සංචාරය කරගෙන යන්න මට හිතුණා. ලංකාවෙන් ඉන්දියාවටත්, නේපාලයටත් ගියා. මමත් එක්ක ලංකාවේ එකට ඉගෙන ගත්ත නේපාල භික්‍ෂූන්වහන්සේලා කිහිපනමක්ම හිටියා. නේපාල භික්‍ෂූන්වහන්සේ නමක් වන කුමාර කාශ්‍යප හාමුදුරුවෝ විද්‍යාලංකාර පිරිවෙනේ මාත් සමඟ එක පන්තියේ ඉගෙන ගත්තේ. නේපාල ගමනේ ප‍්‍රධාන අරමුණ වෙලා තිබුණේ උන්වහන්සේව බැහැදැකීමට යෑම. උන්වහන්සේ වැඩසිටියේ නෝපාලයේ ආනන්ද කුටි කියන පන්සලේ. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ ගෞරවයෙන් පිළිගෙන අපිත් එක්ක එකට ලංකාවේ ඉගෙන ගත්ත තවත් නේපාල භික්‍ෂූන්වහන්සේලා කිහිපනමක් මුණගැහෙන්න මාව එක්කරගෙන ගියා. අශ්වඝෝෂ හාමුදුරුවෝ, අමිතානන්ද, මහානාම හාමුදුරුවෝ මුණගැහුණා. උන්වහන්සේලාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. උන්වහන්සේලා සේරම එකතු කරගෙන නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදාගන්න යන්න මට අවශ්‍ය වුණා. මගේ යෝජනාවට උන්වහන්සේලත් බොහොම කැමති වෙලා ගමනට අවශ්‍ය, වාහනයක්, නවාතැන් ගැනීමට පන්සල් සියල්ල සූදානම් කරලා වන්දනා ගමන පිටත් වුණා.

දවස් දෙකක් විතර නේපාලය සංචාරය කරනකොට හිමාලයේ කන්ද බලන්න යන්න මට ඕනෑ වුණා. සූදානමක් නැතිව කන්ද නගින්න බැරි වුණාට කන්ද නැරඹීමට යන්න පුළුවන්කම තිබුණා. බුද්ධ එයාලයින් පුංචි ගුවන් යානයකින් හිමාල කන්ද නැරඹීමට අපි පිටත් වුණා. ඒ ගුවන් යානයේ යන්න පුළුවන් අටදෙනාටයි. කන්ද මුදුනට ගියාට පස්සේ කිලෝ මීටරයක් තරම් යානය පහත් කරලා කන්ද වටේම යනවා. එම යානයේ ගමන් කරන මගීන් අටදෙනාටම පාලන මැදිරියට පැමිණ කන්ද නැරඹීමේ පහසුකම් ලබා දීලා තියෙනවා. පාලන මැදිරියට ගිහින් වීදුරුවෙන් කන්ද දෙස බලනකොට හරි ලස්සනට කඳු මුදුන දර්ශනය වෙනවා. පැය ගානක් හිමාලය කන්ද වටේ ගුවන් යානය ගමන් කරනවා. ගහකොළ, ගංගා, දිය ඇලි, වන සතුන් පැහැදිළිව දර්ශනය වෙනවා. හිමාලය නඟින කෙනෙකුටවත් මුළු කන්දම නැරඹීමට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ගුවන් සවාරියේදී හිමාල කන්දම හොඳින් නරඹන්න පුළුවන්. ඒ ගමන අතිශය සුන්දර ගමනක් වුණා. ඒ වගේම හිමාල කන්දේ ගුවන් සවාරිය අවසාන කළාට පස්සේ ‘හිමාලය කන්ද නැරඹුවා’ කියලා සහතික පත‍්‍රයක් ලබාදුන්නා.

සතියකට වැඩි කාලයක් නේපාලයේ ඉඳලා පාකිස්ථානයට ගියා. ඉරානය, ඉරාකය, ග‍්‍රීසිය, ඉතාලිය, ප‍්‍රංශය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය සහ එංගලන්තයටත් ගියා. ලන්ඩන් නුවර බෞද්ධ පන්සලට යනකොට මාපලගම විපුලසාර හාමුදුරුවොත් ඒ පන්සලේ වැඩ උන්නා...

‘මම ලංකාවේ ඉන්නකොට හාමුදුරුවෝ එහේ හිටියා. මෙච්චර ඉක්මනට මෙහේ ආවේ...’ උන්වහන්සේ දැක්ක හැටියේ මට එහෙම කියැවුණා.

‘රුසියාවේ රැස්වීමක් තිබුණා. ඒකට සහභාගි වෙන්න යන්න ආවේ...’ විපුලසාර හාමුදුරුවෝ ආටිස් කෙනෙක්. අවුරුද්දකට තුන්, හතර වතාවක් ලෝකයේ විවිධ රටවල ආටිස්ලාගේ රැස්වීම් තියෙනවා...

‘හාමුදුරුවෝ නිතරම රුසියාවට යනවා. අපටත් රුසියාවට ගිහින්න එන්න අවස්ථාවක් හදලා දුන්නොත් හොඳ නැද්ද...’ මම නිකමට වගේ ඇහුවා.

‘ඔබවහන්සේ රුසියාවට යන්න කැමතිද...’ විපුලසාර හාමුදුරුවෝ හිනා වෙලා ඒ මොහොතේම රුසියාවේ ජීවත් වෙච්ච ස්ටැන්ලි රාජපතිරණ කියලා කෙනෙකුට දුරකථන ඇමතුමක් ලබාගත්තා...

‘ස්ටැන්ලි අපේ හාමුදුරුනමකට රුසියාවට එන්න ඕන කියනවා. වීසා ගන්න ලියුමක් එවන්න...’ විපුලසාර හාමුදුරුවෝ කිව්වේ එච්චරයි. සතියක් යන්න පෙර වීසා ගන්න ලියුම ආවා. ඒ ලියුම අරගෙන රුසියන් තානාපති කාර්යාලයට ගිහින් විදෙස් ගමන් බලපත‍්‍රයත් සමඟ භාර දුන්නා. ඒ ඇවිත් ඉන්නකොට මැලේසියාවේදී හිතවත් වෙච්ච එංගලන්ත ජාතික යුවළක් ඇවිත් එරට බලන්න මාව එක්කරගෙන ගියා. ඒ නෝනයි, මහත්තයි ඔවුන්ගේ මෝටර් රථයේ මාවත් එක්කරගෙන එංගලන්තය පුරාම සංචාරය කළා. එංගලන්තයේ තියෙන සියලූම ඓතිහාසික, විශේෂ ස්ථාන නැරඹුවා. සුන්දර ස්ථාන දැකබලා ගැනීමට ගියා. සති දෙකකට වැඩි කාලයක් ඇවිද්දා. රාත‍්‍රීයට නවාතැන් ගත්තේ ප‍්‍රසිද්ධ, සුපිරි හෝටල්වල. ඒ එංගලන්ත ජාතික යුවළ පුදුමාකාර විදිහට මට සැලකුවා. එංගලන්තය පුරා සංචාරය කරලා ලන්ඩන් පන්සලට එනකොට රුසියාවට යන්න වීසා ලැබිලා තිබුණා. පන්සලේ දවස් දෙකක් ඉඳලා කෙලින්ම රුසියාවට ගියා. මගේ ජීවිතයේ රුසියාවට ගිය පළමු අවස්ථාව. මාව ගන්න ගුවන් තොටුපළට ඇවිත් හිටියේ ස්ටැන්ලි මහත්තයා. බොහොම ගෞරවණීය ආකාරයට පිළිගත් ස්ටැන්ලි මහත්තයා විශාල හෝටලයකට මාව එක්කරගෙන ගියා. ඒ හෝටලයේ කාමර දාහකට වැඩියි. හෝටල් පරිශ‍්‍රය හරිම විසිතුරුයි. මම හෝටලයේ ගත කරන දවස් ගානට අදාළ ගාස්තුවත් ස්ටැන්ලි මහත්තයා ඒ මොහොතේම ගෙව්වා.

ලෙනින් ගාඞ්න් එකට යන්න මට ලොකු ආශාවක් තිබුණා. ඒ බව මම ස්ටැන්ලි මහත්තයාට දැනුම් දුන්නා. ඒ මොහොතේම ස්ටැන්ලි මහත්තයා එම හෝටලයේ ‘ඉන් ටුවරිසම් ඔෆිස්’ එකට මාව එක්කරගෙන ගියා. අදාළ අවශ්‍යතාවය දැනුම් දුන්නම ඊට පහුවෙනිදාම ලෙනින් ගාඞ්න් එකට යන්න අවශ්‍ය පහසුකම් සූදානම් කර දුන්නා.

ලෙනින් ගාඞ්න් එකට යන්න තිබුණේ දුම්රියෙන්. පහුවෙනිදා උදේ පාන්දරම දුම්රියපොළට යන්න ටැක්සියක් සූදානම් කරලා කියලා හෝටලයෙන් මට දැනුම් දුන්නා. මම ගිහින් හෝටල් මිදුලේ නතර කර තිබුණු මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩි ගත්තා. මෝටර් රථයේ රියැදුරු හිටියේ නෑ. ගමන් මල්ල පැත්තකින් තියලා කැමරාව අතට අරගෙන වාඩිගෙන ඉන්නකොට කෙනෙක් ජනේලයෙන් අත දාලා කැමරාව උදුරන්න හැදුවා. මම කැමරාවෙන් අල්ලගෙන. මිනිහා කැමරාවේ පටියෙන් අදිනවා. බේරෙන්න බැරිම තැන මෝටර් රථය ඇතුළේ ඉඳගෙන වැලමිටෙන් ඒ මිනිහගේ නාහයට ඇන්නා. වේගයෙන් වැදුණු පාරට මිනිහගේ අතින් කැමරාවේ පටිය අතහැරුණා. ඒ එක්කම ගාල කඩාගත්ත ගොනෙක් ගානට මිනිහා දිව්වා. ඒ සිද්ධිය වෙලා මොහොතකට පස්සෙ තමයි රියැදුරු මෝටර් රථයට ආවේ.

‘මගේ කැමරාව හොරකම් කරන්න කෙනෙක් ආවා. මම ඒ මිනිහට පහරක් ගැහුවා. ඒ සිද්ධිය හෝටලයට දැනුම් දෙන්න ඕනෑ...’ මෝටර් රථයේ රියැදුරාට මම කිව්වා.

‘කෝච්චිය අද්දන්න තව තියෙන්නෙ පොඩි වෙලාවක්. ඇවිත් කියමු... දැන් යමු...’ රියැදුරා මෝටර් රථය පණගන්වලා වේගයෙන් ඉදිරියට ගියා.

එක පිම්මේ ධාවනය වූ මෝටර් රථය නතර වුණේ දුම්රිපොළේ. මාව බැස්සුවා. ඩයිවර් කාර් එක හරවගෙන ගියා.

‘ඔබ ගුණරතන ද...’ ස්ටේෂන් එකේ නිලධාරියෙක් ඇවිත් මගෙන් ඇහුවා.

‘ඔව්...’

‘මාත් එක්ක එන්න...’ එම නිලධාරියා දුම්රිය පෙට්ටියකට මාව එක්කරගෙන ගිහින් ඉඳගන්න කියලා යන්න ගියා...

‘ඔබ ගුණරතනද...’ තව කෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා...

‘ඔව්...’

‘හොඳයි...’ මේක තමයි ඔබගේ කාමරය. අද රෑට නවාතැන් ගන්න තියෙන්නෙත් මේ කාමරයේම තමයි. ..’ එහෙම කියලා ඒ පුද්ගලයාත් කාමරයෙන් පිට වුණා.

එදා දවස 1976 අවුරුද්දේ ජුනි 22 වැනිදා. එදා රාත‍්‍රීය රුසියාවේ විශේෂ දවසක්. ‘වයිට් නයිට්’ සුදු රෑ... එළිවෙනකම් ඉර පායලා. මුළු රාත‍්‍රීයම දවල් වගේ ආලෝකමත්. ලෙනින් ගාඞ්න් එකට පැය අටක දුම්රිය ගමනක්. මම ඇහැක් පියෙව්වේ නෑ. වීදුරු කවුළුවෙන් එළිය බලාගෙන ගියා. හරිම ලස්සනයි. දෑස්හි රැඳුණේ පුදුමාකාර මනස්කාන්ත බවක්. සුදු රෑ පුරාම ගමන් කරලා පහුවදා හිමිදිරියේ තමයි ලෙනින් ගාඞ්න් එකෙන් බැස්සේ...

මතු සම්බන්ධයි
 

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles