Divaina - කොළඹ එළවළු හෙට්ටුවට කොරටුවේ එළවළු තුට්ටුවට... සූරියවැව කෙසෙල් කුණු වෙනවා... රාජාංගනයේ එළවළු කිලෝවක් රුපියල් තිහකට දීගන්න බෑ...

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



elawalu

* අපේ ප‍්‍රශ්න කතා කරන්න ජනාධිපතිතුමාවත් එන්නෙ නෑ...

* එළවළු වෙළෙඳපොළේ මිල ආර්ථික මධ්‍යස්ථානවලට පාලනය කරන්න බෑ...

* නුවරඑළියේ එළවළු මිල බින්දුවටම වැටිලා...

* තෙල් බෙහෙත් ප‍්‍රශ්නයට විසඳුමක් නොලැබුණොත් එළවළු වගාව විනාශයි...

* රාජාංගනයේ එළවළු කිලෝවක් රුපියල් තිහකට දීගන්න බෑ...

* සූරියවැව කෙසෙල් කුණු වෙනවා...


තරංග රත්නවීර

අපේ රටේ විසඳුම් නොමැතිව කුණු වන ප‍්‍රශ්න අතර එළවළු මිල ගැටලූව ඉදිරියෙන්ම තිබෙන බව සැබෑය. කාලයක් තිස්සේ සිට අසරණ ගොවීන්ව සහ පාරිභෝගිකයන්ව සූරාගෙන කන කාලකණ්ණි කළු කඩ අතරමැදි වෙළෙන්දන්ව කිසිදු රජයකට පාලනය කරගැනීමට නොහැකි විය. ගෝඨාභය රජය පත්වන විට කරුමයක් වූ එළවළු මාෆියාව සුණුවිසුණු කර දමයි කියා මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වූහ. එහෙත් දැන් පෙරටත් වඩා ජයටම අතරමැදි කළුකඩ වෙළෙන්දෝ පාරිභෝගිකයන්ව සහ අසරණ ගොවීන්ව සූරාගෙන කති. එහෙත් එළවළු මාෆියාව ඉදිරියේ අදාළ බලධාරීහු සහ නිලධාරීහු තවමත් මුණිවත කරති. එවැනි පසුබිමක පැතිරී යන කොරෝනා වසංගතයත් සමඟ එළවළු වෙළෙඳපොළ ගැන සොයාබැලීම අපගේ අදහස විය.

සිංහල අලූත් අවුරුද්දෙන් පසු එළවළු මිල පහත වැටීම සාමාන්‍යයකි. මෙවර කොරෝනා තුන්වැනි රැල්ල දරුණු ලෙස රට පුරා ව්‍යාප්තවීමත් සමඟ උඩරට, පහත රට එළවළු මිල අධික ලෙස පහත වැටී ඇති බව එම පළාත්වල ගොවිහූ අපට කීහ. මේ ලිපිය සටහන් තබන පසුගිය 05 වැනිදා වැලිමඩ කැප්පෙට්ටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල මෙසේ විය. කැරට් කිලෝව රුපියල් 80 - 90 අතර මිලකට අලෙවි විය. ලීක්ස් කිලෝව රුපියල් 40 - 45 අතර මිලකට අලෙවි විය. බෝංචි කිලෝව රුපියල් 80 - 90 අතර මිල විය. ලංකා අල කිලෝව රුපියල් 100 - 110 අතර මිල විය. ගෝවා කිලෝව 50 - 55 ට මිල විය. බීට් කිලෝව රුපියල් 45 - 50 අතර මිල විය. රාබු කිලෝව රුපියල් 20 - 30 ට මිල විය. තක්කාලි කිලෝව රුපියල් 80 - 100 අතර මිල විය.

‘‘ආර්ථික මධ්‍යස්ථානයේ මේ විදිහට මිල ප‍්‍රසිද්ධ කරලා තිබුණට තොග වෙළෙන්දෝ අපේ බඩු මේ මිලට ගන්නෙ නෑ. තව අඩු කරනවා. ඒ මිනිස්සු බලන්නෙ රුපියල් පහක්, දහයක් අඩු කර ගන්නමයි. අන්තිමේ එළවළු කිලෝවකින් අපිට රුපියල් දෙකක්වත් නෑ. අද මාර්කට් එකට අලූතෙන් එන වෙළෙන්දා අවුරුද්දක් යනකොට ලොරිත් අරගෙන, තට්ටු ගෙවලූත් හදනවා. අපි ජීවිතෙන් බාගයක් වගා කරලා තවම කාමර කෑලි දෙකක් හදාගන්න බැරි වෙලා තියෙනවා. අපේ ප‍්‍රශ්න කතා කරන්න ජනාධිපතිතුමාවත් එන්නෙ නෑ මහත්තයෝ...’’ බණ්ඩාරවෙල එළවළු ගොවියෙක් වූ බණ්ඩාර ඒ වචන ටික අපට කීවේ දැඩි කළකිරීමෙනි. කැප්පෙට්ටිපොළ ආර්ථිකයේ එළවළු මිල ගණන් පහළ වැටී එම ප‍්‍රදේශවල ගොවීන් අන්ත අසරණ තත්ත්වයට පත් වී සිටින පසුබිමක දුරකථනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වූ කෘෂිකර්ම උපදේශකවරයෙක් වූ මංජුල මහතා නුවරඑළියේ කොරටුවල එළවළු මිල ගණන් මෙසේ විස්තර කළේය.

‘‘ලීක්ස් කිලෝව රුපියල් 35 = 40 යි. කැරට් කිලෝව රුපියල් 100 = 105 යි. අල කිලෝව රුපියල් 100 යි. ගෝවා 40 = 50 යි. රාබු කිලෝව රුපියල් 40 = 45 යි. බෝංචි කිලෝව රුපියල් 100 = 110 යි. නුවරඑළියේ එළවළු ගුණාත්මක බවින්, රසයෙන් වැඩි නිසා මිලත් වැඩියි. නුවරඑළියේ එළවළු දවස් තුන හතරක් තියාගන්නත් පුළුවන්. වැලිමඩ, බණ්ඩාරවෙල ප‍්‍රදේශවල එළවළු කල් තබාගන්න අමාරුයි. රසත් අඩුයි. ඒ නිසා වැලිමඩ, බණ්ඩාරවෙල එළවළුවලට වඩා නුවරඑළියේ එළවළු කිලෝවක මිල රුපියල් විස්සකින් විතර වැඩි වෙනවා. ඒත් මේ දිනවල නුවරඑළියේ එළවළු මිල ගොඩක් අඩු වෙලා. කොරෝනා වසංගතය තව වැඩි වුණොත් එළවළු මිල තවත් පහත වැටෙනවා. දැනටත් එළවළු වෙළෙන්දෝ නුවරඑළියට එන්නෙ අඩුවෙන්. ලොක්ඩවුන් කරපු ගම්මානවල එළවළු කොරටු වේලීලා යනවා. ඒ ගොවියො නන්නත්තාරයි. එළවළු මිල ගැටලූවටත් වඩා දැන් උග‍්‍රව තියෙන්නෙ තෙල්, පොහොර නැති ගැටලූව. සමහර වෙළෙන්දො හිතූ, හිතූ මිලට තෙල්, පොහොර විකුණනවා. අද වන විට වැඩි මිලටවත් තෙල් බෙහෙත් ගන්න නෑ. මේ ගැටලූව උග‍්‍ර වුණොත් නුවරඑළියේ එළවළු වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා...’’ මංජුලගේ කතාවෙන් කියැවෙන්න ඉදිරියේදී කොවිඞ්වලට වඩා දරුණු තත්ත්වයක් නුවරඑළියට පැමිණීමට නියමිත බවය. තෙල් බෙහෙත්, පොහොර ගැටලූව වෙනම කතා කළ යුත්තකි. එහෙයින් නුවරඑළියෙන් පහළට බැස, රාජාංගනය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ගොවි මහත්මයකු සමඟ එම ප‍්‍රදේශයේ එළවළු වෙළෙඳාම ගැන දුරකථනය ඔස්සේ අපි කතාබහ කළෙමු. ඔහු ගාමිණීය. මේ ගාමිණී කියන කතාවය.

elawalu2‘‘රාජාංගනයේ කැරට්, ලීක්ස් නැතිව හැම එළවළුවක්ම වගා කරනවා. වම්බොටු, බණ්ඩක්කා, පතෝල, කරවිල, මෑ කරල්, අළු කෙසෙල් විශාල වශයෙන් වගා කරනවා. මේ දවස්වල කිසිම එළවළු කිලෝවක් රුපියල් තිහකට දීගන්න බෑ. කැකිරි, පිපික්‍ද්ක්‍දා කිලෝව රුපියල් 10 යි. ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 30 යි. සීනි කෙසෙල් 35 යි. කෝලිකුට්ටු රුපියල් 100 යි. කොමඩු රුපියල් 30 යි. මේ මිලට දෙන්න පුළුවන් පාරට අරගෙන ගියොත් විතරයි. තඹුත්තේගම, රාජාංගනය, කුරුණෑගල පාර දිගටම මිනිස්සු එළවළු, පළතුරු තියාගෙන විකුණනවා. තඹුත්තේගම ආර්ථිකයට වෙළෙන්දො එනවා අඩුයි. ගම ඇතුළට වෙළෙන්දො එන්නේම නෑ. මේ මිලට පිට පළාත්වලට අරගෙන ගියොත් ලොරි වියදමවත් හොයාගන්න බෑ. අනුරාධපුර පොළට යන්නත් බයයි. ඒ අස්සෙ එළවළු පොහොර ගැටලූව තදේටම ඇවිත්. හිටි හැටියේ තෙල්, පොහොර ගෙන්වීම නතර කිරීමත් එකක් කඩවල පොහොර, තෙල් බෙහෙත් මිල වැඩි කරලා. ගොවීන් තවත් අසරණ වෙලා. මේ තෙල්, පොහොර ගැටලූවට විසඳුමක් නොලැබුණොත් අපිට ලොකු ගැටලූවකට මුහුණ දෙන්න වෙනවා...’’ නුවරඑළියෙන් ඇසුණු තෙල් බෙහෙත්, පොහොර ගැටලූව රාජාංගනයේදීත් ඇසිණි. ගාමිණීට අප කතා කළේ පසුගිය 05 වැනිදාය. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේදී එදිනවත් ඔවුන්ගේ එළවළුවලට සාධාරණ මිලක් නියම වී නොතිබිණි. අනුරාධපුර රාජාංගනයෙනුත් පහළට ගොස් හම්බන්තොට සූරියවැව ප‍්‍රදේශයේ එළවලූ මිල ගණන් විමසා බැලීමට එම ප‍්‍රදේශයේ ගොවි මහත්මයෙක් වූ රංජිත්ට අපි කතා කළෙමු. මේ ඔහු කියන කතාවය.

‘‘කොටුවලට වියදම් කරපු මුදලවත් හොයාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. වට්ටක්කා කිලෝව රුපියල් විස්සට දීගන්නත් බෑ. වම්බොටු කිලෝව රුපියල් තිහයි, තිස්පහයි. බටු කිලෝව රුපියල් 20 යි. 30 යි. අළු කෙසෙල් කිලෝව දහයටත් දෙන්න බෑ. මෑ කරල් 20 යි. 25 යි. කරවිල කිලෝව රුපියල් 70 යි. වැටකොලූ 40 යි.

50 යි. තක්කාලි කිලෝව රුපියල් 30 ට දීගන්නත් බෑ. සූරියවැව අවට ගම් එළවළු වගාවට වගේම කෙසෙල් වගාවටත් ප‍්‍රසිද්ධයි. ඒත් දැන් ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 15 ට විස්සටවත් දෙන්න බෑ. සීනි කෙසෙල් කිලෝව රුපියල් 30 යි. කෝලිකුට්ටු කිලෝව 90 යි 100 යි. ගස්ලබු කිලෝව රුපියල් 15 යි - 20 යි. මේ මිල ගණන්වලට දීලා වගාවට වියදම් කරපු මුදලවත්
පියවගන්න බෑ. මටත් කෙසෙල් කොටුවක් තියෙනවා. මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බෑ. ගොවීන්ගේ එළවළු, පළතුරු රජයෙන් අරගෙන පාරිභෝගිකයන් අතර බෙදා දෙන වැඩපිළිවෙළක් සකස් කරනවා නම් අපිට යම් සැනසීමක් තියෙනවා...’’ රංජිත්ලා සිතන ආකාරයට රජය නොසිතීම මෙරට ගොවීන්ගේ සහ පාරිභෝගිකයන්ගේ කරුමයකි. එමෙන්ම සූරියවැව කෙසෙල් ගොවියෙක් වූ රංජිත් පඹ ගාලක පැටලී සිටින බව ඔහුගේ කතාවෙන් අපට වැටහිණි.

මෙරට එළවළු වගා කරන බොහෝ ප‍්‍රදේශවල පවතින එළවළු මිල ගණන් පෙළගැසෙන සටහනට අපි ඇතුළත් කළෙමු. එමෙන්ම මෙරට එළවළු වගා කරන ප‍්‍රදේශවලින් සීයට හැත්තෑවකට වැඩි ප‍්‍රමාණයක එළවළු තොග රැගෙන එනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටය. මෙරට සියලූ නගරවල එළවළු තොග වෙළෙන්දන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සමඟ දෛනිකව ගනුදෙනු කරන බව සැබෑය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දෛනික වෙළෙඳාම එළවළු කිලෝ ලක්‍ෂ 30 ට වැඩිය. එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ගැනුම්කරුවන් එළවළු තොග වෙළෙඳුන්ය. ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මෙරට එළවළු වෙළෙඳපොළේ ප‍්‍රධාන මිල තීරකයා කීවොත් අප නිවරැදිය. එහෙත් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා අසාධිතයන් වාර්තාවීමත් සමඟ දින කිහිපයක් වසා තබා පසුගිය 05 වැනිදා නැවත විවෘත විය. ඒ උදේ 5 සිට සවස 5 දක්වා පමණක් බව රංගිරි දඹුලූ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ
සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර මහතා අප සමඟ පැවසුවේය.

‘‘අප‍්‍රියල් 10 වැනිදා ඉඳලා 28 වැනිදා දක්වා පී.සී.ආර්. 1384 ක් කරලා 86 ක් පොසිටිව් වෙලා තිබුණා. ඒ කාරණය මත පසුගිය 25 වැනිදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැහුවා. ආර්ථික මධ්‍යස්ථානයට අගුළු වැටීමත් සමඟ මෙරට එළවළු ගොවියෝ අතිශය අපහසුතාවයට පත් වුණා. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථානය වැසීමත් සමඟ ලංකාව පුරා එළවළු ගොවියෝ දඹුල්ලට බඩු රැගෙනැවිත් පාර දිගට තියාගෙන විකුණුවා. තැරැව්කාරයො ගොවීන්ව සූරගෙන වෙළෙන්දන්වත් අපහසුතාවයට පත් කරලා තිබුණා. ප‍්‍රදේශයේ මිනිසුන්ගේ ආරක්‍ෂාවත් බින්දුවට වැටිලා තිබුණා. ඒ වගේම අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් නොතකමින් වෙළෙඳාම් කටයුතු කරගෙන ගිහින් තිබුණා. එම මධ්‍යස්ථානවල පී.සී.ආර්. පරීක්‍ෂණ සිද්ධ වුණෙත් නෑ. ඒත් යම් පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කොරෝනා මරමස්ථානයක් විදිහට පෙන්වන්න හදනවා. මේකෙන් අසරණ වෙන්නෙ ගොවියො. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ගැන ගොවීන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හැර මෙරට ආර්ථික මධ්‍යස්ථාන දහඅටක් තියෙන බව ඇත්ත. ඒ සියලූ මධ්‍යස්ථාන පසුකරගෙන ගොවියෝ තම නිෂ්පාදන දඹුල්ලට රැගෙන එන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කෙරෙහි තැබූ විශ්වාසය මතයි. ලංකාව පුරා වෙළෙන්දෝ දඹුල්ලට පැමිණෙන්නෙ ලාබෙට එළවළු, පළතුරු තොග රැගෙන යන්න. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. ආර්ථික මධ්‍යස්ථානය ආරම්භ කරපු කාලේ ඉඳලා වෙන දෙයක්. ඒ වගේම මේ දිනවල ගොවීන්ගේ විකුණුම් මිල 60% කින් අඩු වෙලා තියෙනවා...’’ ඔහුගේ ඒ කතාවට මගේ සිතේ ප‍්‍රශනයක් මතු විය.

‘‘ගොවීන්ගේ විකුණුම් මිල 60% න් අඩු වුණාට වෙළෙඳපොළේ එළවළු මිල අධිකයි...’’

elawalu3‘‘ලංකාවේ එළවළු වෙළෙඳපොළේ තොග මිල සහ සිල්ලර වෙළෙඳාම අතර විශාල වෙනසක් තියෙනවා. ඒක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටවත්, වෙනත් ආර්ථික මධ්‍යස්ථානයකටවත් විසඳුම් දෙන්න පුළුවන් ගැටලූවක් නෙමෙයි. අපි උත්සාහ කරන්නේ මේ රටේ ගොවියට සාධාරණ මිලක් අරගෙන දීලා ඔවුන්ව ආරක්‍ෂා කරන්න...’’ රංගිරි දඹුලූ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උත්සාහය අපි අගය කරන්නේමු. එමෙන්ම උඩරට, පහත රට කොරටුවලින් අලෙවි කරන එළවළු මිල ගණන්, ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන දෙකේ එළවළු මිල ගණන් සහ එළවළු මිල පහත වැටීමත් සමඟ ගොවීන්ට මුහුණදීමට සිදු වී ඇති ගැටලූ ගැන දීර්ඝව අපි සාකච්ඡා කළෙමු. මේ පෙළගැසෙන්නේ නගරයේ සුපිරි වෙළෙඳසලේ සහ එළවළු කඬේ විකිණෙන එළවළුවල මිල ගණන්ය.

ලංකා අල ග‍්‍රෑම් 250 රුපියල් 45 කි. ගෝවා ග‍්‍රෑම් 250 රුපියල් 40 කි. බෝංචි ග‍්‍රෑම් 250 රුපියල් 40 කි. කැරට් ග‍්‍රෑම් 250 රුපියල් 50 කි. ලීක්ස් ග‍්‍රෑම් 250 රුපියල් 40 කි. බීට් අල ග‍්‍රෑම් 250 රුපියල් 35 කි. තක්කාලි ග‍්‍රෑම් 250 රුපියල් 35 කි. වට්ටක්කා ග‍්‍රෑම් 250 රුපියල් 30 කි. වට්ටක්කා වර්ග අනුව මිල වැඩි වේ. පිපික්‍ද්ක්‍දා ග‍්‍රෑම් 250 රුපියල් 30 කි. බටු ග‍්‍රෑම් 250 රුපියල් 30 කි. වැටකොලූ ග‍්‍රෑම් 250 රුපියල් 35 කි. වම්බොටු ග‍්‍රෑම් 250 රුපියල් 35 කි. කරවිල ග‍්‍රෑම් 250 රුපියල් 50 කි. අළු කෙසෙල් ග‍්‍රෑම් 250 රුපියල් 25 කි. මෑ කරල් ග‍්‍රෑම් 250 රුපියල් 40 කි. විවිධ ප‍්‍රදේශවල එළවළු කඩ කිහිපයක එළවළු මිල ගණන් අපි විමසා බැලූවෙමු. රුපියල්, හතරක, පහක වෙනසක් වුවද එම කඩවල සෑම එළවළු ග‍්‍රෑම් 250 ක්ම සැලකිය යුතු මිල වැඩි වීමක් තිබිණි. එලවළු කඩවල මිල ගණන් පරීක්‍ෂා කරගෙන සුපිරි වෙළෙඳසලට ඇතුළු වූ අපි එහි එළවළු මිල විපරම් කර බැලූවෙමු.

ගෝවා ග‍්‍රෑම් 100 රුපියල් 26 කි. ලංකා අල ග‍්‍රෑම් 100 රුපියල් 28 කි. බීට් ග‍්‍රෑම් 100 රුපියල් 16 කි. කැරට් ග‍්‍රෑම් 100 රුපියල් 24 කි. ලීක්ස් ග‍්‍රෑම් 100 රුපියල් 12 යි ශත 20 කි. බෝංචි ග‍්‍රෑම් 100 රුපියල් 24 කි. බටර් බෝංචි ග‍්‍රෑම් 100 රුපියල් 35 යි ශත 60 කි. කරවිල ග‍්‍රෑම් 100 රුපියල් 20 කි. පිපික්‍ද්ක්‍දා ග‍්‍රෑම් 100 රුපියල් 11 කි. වට්ටක්කා ග‍්‍රෑම් 100 රුපියල් 10 කි. වම්බොට් ග‍්‍රෑම් 100 රුපියල් 22 කි. බටු ග‍්‍රෑම් 100 රුපියල් 15 යි ශත 60 කි. බණ්ඩක්කා ග‍්‍රෑම් 100 රුපියල් 14 කි. දඹල ග‍්‍රෑම් 100 රුපියල් 31 කි. අළු කෙසෙල් ග‍්‍රෑම් 100 රුපියල් 12 කි. මිරිස් ග‍්‍රෑම් 100 රුපියල් 14 කි. තක්කාලි ග‍්‍රෑම් 100 රුපියල් 14 කි. ඒ සුපිරි වෙළෙඳසලේ එළවළු මිලය. එළවළු ප‍්‍රවාහනය කිරීම සඳහා වැය වන වියදම, අපතේ යෑම්වලට අගය එකතු කරමින් ව්‍යාපාරයෙන් යම් ලාභයක් තබාගත යුතු බව සැබෑය. අල්ල ලේව කන්න මී කඩන්නේ නැත. විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් මී කඩන්නේ මුට්ටි පිරෙන්න පැණි ගැනීමටය.

එහෙයින් උඩරට, පහත රට එළවළු කොරටුවල කුණුකොල්ලයට අලෙවි වන එළවළු මිල ගණන්, නගරයේ සුපිරි වෙළෙඳසලේ ‘සුපිරි මිල’ සහ නගරයේ එළවළු කඬේ, ගමේ සිල්ලර බඩු කඬේ එළවළු මිල සස`දමින් පුදුම නොවන්න... අතරමැදි එළවළු ව්‍යපාරිකයන්ට කළුකඩකාරයන් කියා බැනවඳිමින් ලේ කෝප කරගැනීම ද අනුවන ක‍්‍රියාවකි. මේ ලැබෙමින් පවතින්නේ රටේ ජනතාව වැපූරු බීජවලට පමණටත් වඩා අස්වැන්නකි. ගොවීන්ට සහ පාරිභෝගික ජනතාවට අසාධාරණයක් නොවන ආකාරයට මේ රට තුළ කෘෂි නිෂ්පාදන බෙදාහැරීමට නොහැකි, අතරමැදි ව්‍යාපාරිකයන් පාලනය කරගැනීමට නොහැකි වූ රජයකින් සංවර්ධනයේ අරුණලූ දැකීම දවල් හීනයක් පමණි. සරළව කියන්න තියෙන්නේ එපමණකි.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles