Divaina - වන විනාශය සහ ඉඩම් කොල්ලය... චෝදනාවල ඇත්ත සහ බොරුව

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 wana


 වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩාර
 
මේ වන විට ශ‍්‍රී ලංකාවේ කිසිදු කාලයක නොතිබූ ආකාරයේ වන විනාශයක් සිදු වන බවට ජනමාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් ලබා දෙමින් ඇත. එහිදී ජනමාධ්‍යවේදීන් හෝ පරිසරවේදීන් යැයි කියා ගන්නා යම් පිරිස් සමාජ මාධ්‍ය මගින් විදේශ රටවල රූප රාමු යොදා ගනිමින් බරපතළ අසත්‍ය ප‍්‍රකාශ සිදු කරන බවට ද සාක්ෂි ඉදිරිපත්වී ඇත. ඒ මගින් සාධාරණව සහ යුක්ති සහගතව පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන්ගේ ගරුත්වයටද අගතියක් සිදුවේ. එසේම ඒ මගින් සැබෑ ප‍්‍රශ්නය යටපත්වී වෙනත් අතුරු සංවාද මතුවීම නිසා වන සංහාරකයන්ට හිස් ගෙඩි වැල්ලේ සඟවා ගැනීමට අවස්ථාවක් නිර්මාණය වේ. ඒ තුළ ජනාධිපතිතුමා විසින් පරිසර සංරක්ෂණය පිළිබඳව නව අර්ථකතන ඉදිරිපත් කරමින් තර්ක ඉදිරිපත් කරන්නට යෙදුනි. ඒ තුළින්ද සැබෑ ප‍්‍රශ්නය පිළිබඳ අවධානයෙන් බැහැර වන බව පැහැදිලිව දක්නට ඇත.
 
 එසේනම් සැබෑ ප‍්‍රශ්නය කුමක්ද? වර්තමාන මාධ්‍ය භාවිතය තුළ බරපතළ අතිශයෝක්තියක් තිබෙන බවට විවාදයක් නැත. එසේම පසුගිය රජය සමයේ දී සිදුවූ බරපතළ පරිසර විනාශයන් අභියස මුණිවත රැකි විපක්ෂයේ දේශපාලන නායකයන් වර්තමාන අර්බුදය පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා ගැනීම විසින් මහජනයා විසින් අනුමත නොකරන බවටද විවාදයක් නැත. උදාහරණයක් ලෙස හිටපු අමත්‍යවරයකු විල්පත්තුවේ රක්ෂිත භූමියක අක්කර දහස් ගණනක් විනාශ කරන විට ඔහුට පක්ෂව කතා කළ යම් දේශපාලන නායකයෝ නිශ්චිත වන විනාශයක් පිළිබඳව සාක්ෂි ඉදිරිපත් නොකර පරිසර විනාශය පිළිබඳ සටන් පාඨ ඉදිරිපත් කරති. එසේම හිටපු ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායකයාගේ දියණිය හන්තාන සංවේදී පරිසර පද්ධතියක අක්කර 30ක ගස් කපා විනාශ කිරීමේදී නිහ`ඩව සිටි පිරිස් එවැනිම සිද්ධියක් වන සිංහරාජ රක්ෂිත භූමියට අයත් පද්ගලික ඉඩමක ගස් කපා දැමීම පිළිබඳව වර්තමාන රජයට චෝදනා එල්ල කරති.
 
 එහිදී රජය පැත්තෙන් සිදුවන ප‍්‍රධාන වරදක් වන්නේ එවැනි නිශ්චිත චෝදනාවක් එල්ල වූ විට කඩිනමින් ඒ පිළිබඳව නීතිමය පියවර නොගැනීමය. සමහරවිට ප‍්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ උවමනාව මත සමස්ත රජයේ ගෞරවය බිල්ලට දීමක් එහිදී සිදුවනවා විය හැක. කෙසේ වුවත් මේ වන විට පසුගිය මාස 15ක කාලයක් තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුවීම් 270 කට අදාළව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තාවේ. එම වන විනාශයන්ට අක්කර 62000ක පමණ භූමි ප‍්‍රමාණයක් අයත්වන බවදට ද පුවත්පත් වාර්තා පළවිය. ඒවා නිවරදි නොවන බවට රජයේ වගකිවයුතු අමාත්‍යවරයකු ප‍්‍රකාශයක් නිකුත්කොට නැත. පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන දත්ත අනුව එවැනි සිද්ධීන් 300ක් පමණ හ`දුනාගෙන ඒවාට එරෙහිව පියවර ගෙන ඇත.
 
 ඒ අනුව පෙනී යන්නේ පරිසර විනාශයට එරෙහිව රජය දැඩි පියවර ගන්නා බවය. එසේම එහිදී පෙනී යන අනෙක් කාරණය වන්නේ පරිසර විනාශයන් සිදු කිරීමේ ප‍්‍රමාණාත්මක වැඩිවීමක් පසගිය කාලයේදී දක්නට ලැබෙන බවය. අප රටේ සිදු කරන පරිසර විනාශයන් අතුරින් දීර්ඝ කාලීනව දක්නට ලැබෙන පැතිකඩක් වන්නේ වන විනාශය බවට විවාදයක් නැත. මහා කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය ගංගාවලට මුදා හැරීම මගින් එම සමාගම් විසින් යම් පිරිවැයක් ඉතිරිකර ගනියි. එහෙත් කැලෑ කැපීමේ මූලික අරමුණ වූයේ දැව විකිණීම මගින් ජාවාරම්කරුවන්ගේ ප‍්‍රාග්ධනය වර්ධනය කර ගැනීමය. එම තත්ත්වය අප රටේ දීර්ඝකාලීනව පවතින තත්ත්වයක් බවට විවාදයක් නැත.
 
 එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන වන විනාශයන් සහ වගුරු බිම් ගොඩ කිරීම වැනි පරිසර විනාශයන් මූලික වශයෙන් බැඳී ඇත්තේ දැව කොල්ලයට අමතරව ඉඩම් කොල්ලය සමගය. ඒ ආකාරයට මෑත කාලීනව ඉඩම් කොල්ලය සඳහා වනය විනාශ කිරීම වැඩි වීමට හේතුව කුමක්දැයි පරිසරවේදීන් විසින් පැහැදිලි කරන්නේ ඉතා මද වශයෙනි. ඊට හේතුව බොහෝවිට ඔවුන් පරිසර විනාශය දෙස හුදකලා ඇසකින් බැලීම විය හැක. ඒ ආකාරයට ඉඩම් කොල්ලය සඳහා වනය විනාශ කිරීම හෝ වගුරු බිම් ගොඩ කිරීම වැළැක්විය හැක්කේ ඒ සඳහා වන ප‍්‍රතිපත්තිමය සහ නීතිමය දිරිගැන්වීම් අහෝසි කිරීම මගිනි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මුතුරාජවෙල තෙත් බිම් රක්ෂිතය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම මගින් සංවර්ධනයේ නාමයෙන් ඒවා ගොඩ කිරීමට වැඩි අවස්ථාවක් ලැබේ. එසේම එමගින් එම බිමි අන්සතු කිරීමේ නීත්‍යානුකූල හැකියාවද ලැබේ. එවැනි පසුබිමක් තුළ එම පරිසර පද්ධතිය විනාශ කිරීමට දිරිගැන්වේ.
 
 එසේ රජයට අයත් සංවේදී පරිසර පද්ධති සහ ගොවීන් අතර බෙදා දිය යුතු කෘෂිකාර්මික ඉඩම් මහා සමාගම් සතු කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ වූයේ පසගිය රජය සමයේ දීය. ඊට අදාළ ඉතා නරකම උදාහරණය වන්නේ 2016 දී මාදුරු ඔය සංවර්ධනය කිරීමේ නාමයෙන් අක්කර 60,000කට ආසන්න භූමි ප‍්‍රමාණයක් බහු ජාතික සමාගමකට පැවරීමය. මහවැලි අධිකාරිය යටතට ගැනෙන එම ඉඩම් ගොවීන්ට බෙදා දිය යුතු වේ. එහෙත් එම මහා සමාගම්වලට වතුර දීම සඳහා දැනට කුඹුරු වගා කරන ගොවීන්ගේ පවා ජල අයිතිය කප්පාදු කිරීමට මහවැලි අධිකාරිය කටයුතු කොට ඇත. ඒ අනුව මහවැලි බී සහ සී කලාප වල යල කන්නයේ වතුර සපයන ගොවි බිම් වලින් වගා කරනු ලබන්නේ 50% කට පමණි. එම මහා සමාගම අක්කර 5,000 ක පමණ වනය විනාශ කළ බවට චෝදනා එල්ල වේ. එසේම ගොවියාගේ ජල අයිතිය උදුරා ගන්නා බවටද එම සමාගමට එරෙහිව චෝදනා එල්ල වේ.
 
 පසුගිය රජය විසින් ආරම්භ කළ ක‍්‍රියාවලියේ දිගුවක් ලෙස එදා හොර රහසේ කළ දේ වර්තමානයේදී පුවත්පත් දැන්වීම් ඵළ කරමින් මහවැලි අධිකාරියේ ඉඩම් මහා පරිමාණයෙන් මහා සමාගම්වලට ලබා දීමේ ක‍්‍රියාවලිය දැන් ආරම්භ වී ඇත. ඊට අමතරව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම්ද මහා පරිමාණයෙන් අන්සතු කිරීම ආරම්භ කොට ඇත. එම ක‍්‍රියාවලිය ඉතා පැහැදිලිවම ඉඩම් කොල්ලයක් ලෙස හැ`දින්විය හැකි අතර ඒ තුළ වන විනාශය දිරිමත්වේ. එම ඉඩම් මහා පරිමාණ යන්ත‍්‍ර සූත‍්‍ර මගින් සකස් කිරීම නිසා ජෛව විවිධත්වය සහ පසටද බරපතළ හානියක් සිදුවේ. මහාපරිමාණ වගාවන් නිසා පසට සිදුවන විනාශයත් අප රටේ බොහෝ පරිසරවේදීන් සැලකිල්ලට ගන්නේ නැත.
 
 කෙසේ වෙතත් අක්කර සිය දහස් ගණනින් මේ ආකාරයට අත්පත් කර ගන්නා ඉඩම් ඵලදායි ලෙස නිශ්පාදනය සඳහා යොදා ගන්නවාද යන සැකයද මතුවේ. ඊට හේතුව එසේ ඉඩම් ලබා ගත් යම් පිරිස් වගාකරුවන් නොවීමය. ගස් ටික කපා විකුණා ගන්නා ඔවුන්ගේ මූලික අරමුණ අනාගතයේදී එම ඉඩම් මහා සමාගම්වලට පැවරීම සඳහා අයිතිය ලබා ගැනීම බව පැහැදිලිව පෙනේ. මේ ආකාරයට රජයට අයත් විශේෂයෙන්ම මහවැලි අධිකාරියට සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් මහාපරිමාණයෙන් බදු දීම සඳහා අවම බදු කාලය වසර 30 සිට 40 දක්වා දීර්ඝ කිරීම මගින් එම ක‍්‍රියාවලිය දිරිගැන්වීම සඳහා වර්තමාන රජය විසින් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව ඉඩම් කොල්ලය දිරිමත් වීම මගින් වන විනාශය දිරිගැන්වීම සඳහා වර්තමාන රජය පසුගිය රජයට වඩා අඩියක් පෙරට තබා කටයුතු කරන බව පිළිගැනීමට සිදුවේ.
 
 මේ ආකාරයට රජයේ ඉඩම් අත්පත් කර ගනිමින් අන් සතු කිරීම සඳහා නාගරික සංවර්ධන පනත යොදා ගන්නා ආකාරයට ඒ සඳහා නව නීතියක් සම්මත කිරීමට ද වර්තමාන රජය විසින් උත්සාහ ගන්නා බව වාර්තාවේ. ඒ අනුව රජයට සහ පෞද්ගලික අංශයට අයත් ඌණ භාවිත දේපල විශේෂයෙන්ම ඉඩම් පවරාගෙන අන්සතු කිරීම සඳහා කොමිසමක් පිහිටුවීම සඳහා නව නීතියක් ඉදිරියේදී සම්මත කෙරෙනු ඇත. ඒ ආකාරයට සංවර්ධනයේ නාමයෙන් මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීම වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වී ඇති බැවින් ඉඩම් කොල්ලයට මඟ පෑදී ඇති බව පිළිගැනීමට සිදුවේ. වර්තමාන ආණ්ඩුව විසින් එක් පැත්තකින් මහවැලි අධිකාරිය සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් බැහැර කිරීමේ ක‍්‍රියාවලිය කාර්යක්ෂම කොට ඇත. අනෙක් පැත්තෙන් රජයට අයත් සෙසු කැලෑ ඉඩම් අක්කර ලක්ෂ 12ක් පමණ මහාපරිමාණයෙන් අන්සතු කිරීම සඳහා එම ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරමින් නිකුත් කළ 5/2001 චක‍්‍රලේඛය අහෝසි කොට ඇත. ඊට අමතරව 2020/09/10 දින නිකුත් කළ අංක 2192/36 දරණ ගැසට් නිවේදනය සහ 2020/16 චක‍්‍රලේඛය මෙන්ම 2020/11/04 දින නිකුත් කළ චක‍්‍රලේඛය මගින් එම අවශේෂ කැලෑ ඉඩම්වල අනවසර අයිතිකරුවන්ට සීමාවකින් තොරව අනවසර නියමානුකූල කිරීමේ ක‍්‍රමවේදයක් හ`දුන්වා දී ඇත.
 
 එම තත්ත්වය තුළ නීති විරෝධීව කැලෑ කපා ගස් විකුණන පිරිස් නීත්‍යානුකූලව කැලෑ කැපීම පමණක් නොව ඉඩම් කොල්ල කෑමටද මහා පරිමාණයෙන් ඉදිරිපත් විය. එම චක‍්‍රලේඛ අනුව වසර ගණනාවක් වගා කළ හෝ අත්පත් කරගෙන සිටි ඉඩම්වලට මෙන්ම චක‍්‍රලේඛ නිකුත් කිරීමෙන් පසුව එළි පෙහෙළි කළ ඉඩම් වලටද බලපත‍්‍ර සහ දීමනා පත‍්‍ර ලබා ගැනීමේ හැකියාව ලැබේ. ඉන් පසුව බිම් සවිය පනත් හෙවත් ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ එම දීමනා පත‍්‍රවලට සින්නක්කර ඔප්පු ලබා ගැනීමේ හැකියාව ලැබේ. මෙම ක‍්‍රියාවලිය ඉඩම් කොල්ලයක් නොවේනම් ඊට සුදුසු වෙනත් නව හැ`දින්වීමක් සොයා ගත යුතුය. එම ක‍්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා වර්තමාන රජය විසින් අදාළ පනත සංශෝධනය කිරීම සඳහා 24/12/2020 දින අමාත්‍යමණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය. ඊට අමතරව ඉහත සඳහන් කළ ප‍්‍රධාන පත‍්‍රවලට වාණිජ වටිනාකමක් ලබා දීම සඳහා ඉඩම් සංවර්ධන පනත සංශෝධනය කිරීමට ද යෝජනා ඉදිරිපත්වී ඇත. මේ සියල්ල මගින් නිදා සිටින හෝ නීතියට බය නිසා දෙවරක් සිතා බලන කැලෑ පාළුවන් සහ ඉඩම් කොල්ලකරුවන් දිරිමත් කරෙන බව පිළිගැනීමට සිදුවේ.
 
 වර්තමාන ආණ්ඩුව මේ වැරදි සියල්ල සාධාරණීයකරනය කරනු ලබන්නේ ගොවීන්ට ඉඩම් ලබා දීමේ නාමයෙනි. නමුත් ගොවීන්ට ඉඩම් ලබා දීම හෝ හේන් ගොවිතැනෙන් පිටමන් කළ ගොවීන් නැවත හේන් ගොවිතැනට යොමු කිරීම සඳහා 5/2001 චක‍්‍රලේඛය අහෝසි කිරීමට අවශ්‍ය වන්නේ නැත. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේදී එම චක‍්‍රලේඛය හ`දුන්වා දුන්නේ අවශේෂ කැලෑ ආරක්ෂා කිරීමට වඩා ලෝක බැංකු උපදෙස් මත හේන් ගොවිතැන අඩාල කොට රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් කිරීම සඳහාය. එහෙත් එම චක‍්‍රලේඛය අහෝසි නොකර එහි පවතින ප‍්‍රතිපාදන යොදා ගනිමින් යම් සීමාවකට යටත්ව කැලෑ නොවන ඉඩම් ගොවීන්ට ලබා දීමේ හැකියාව ඇත. ඒ අනුව සැබෑ ගොවීන් හඳුනා ගැනීමෙන් පසුව ඔවුන් සංවිධානගතකොට හ`දුනාගත් කැලෑ නොවන ඉඩම් ඔවුන්ට ලබා දෙන ලෙස දිස්ත‍්‍රික් ඉඩම් පරිසර කමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කළ හැක. ඒ අනුව මහාපරිමාණ ඉඩම් කොල්ලකරුවන් නොවන සැබෑ ගොවීන්ට යම් සීමාවකට යටත්ව හේන් ගොවිතැන සඳහා ඉඩම් ලබා දීමේ හැකියාව ඇත.
 
 දැන් ආණ්ඩුවට එරෙහිව වන විනාශය සහ ඉඩම් කොල්ලය පිළිබඳ එල්ල වන චෝදනා වලින් ගැළවී සැබෑ ලෙසම ගොවීන්ට ඉඩම් ලබා දීමට අවශ්‍යනම් ගතයුතු ක‍්‍රියාමාර්ග දෙකක් ඇත. පළමුව 5/2001 චක‍්‍රලේඛය නැවත බලාත්මක කොට දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුව හරහා දිස්ත‍්‍රික්කයේ පවතින අවශේෂ කැලෑ, මුඩු ඉඩම්, ‘‘අලි කොරිඩොර්’’ තණ බිම්, වැව් රක්ෂිත සහ කැලෑ, නැවත වගා කළ යුතු ඉඩම් වශයෙන් ඉඩම් හඳුනාගෙන සිතියම් ගත කළ යුතුය. එම සිතියම් මහජනයාට ප‍්‍රසිද්ධ කළ යුතු අතර මුඩු ඉඩම් හැර සෙසු ඉඩම් ගොවීන්ට නිදහස් කළහොත් විරෝධතා දැක්වීමට අවස්ථාව ලබා දිය යුතුය. එසේම කැලෑ නැවත වගා කළ යුතු ඉඩම් හ`දුනාගෙන ගොවීන්, පාසල් සිසුන් සහ ආරක්ෂක හමුදා යොදාගෙන වන වගාව ආරම්භ කළහොත් ආණ්ඩුවේ නැතිවී ගිය ප‍්‍රතිරූපයද නැවත ගොඩන`ගාගත හැක. දෙවැන්න ඉඩම් කොල්ලය හෝ කැලෑ කැපීම පිළිබඳව පැමිණිලි ලබා ගැනීම සහ විනිවිද භාවයෙන් යුතුව ඒවා පිළිබඳව සොයා බලා වැරදිකරුවන්ට ද`ඩුවම් දීම සඳහා යාන්ත‍්‍රණයක් සකස් කිරීමය. එසේ වුවහොත් විපක්ෂයට බොරු කියමින් අයුතු දේශපාලන වාසි ලබා ගැනීමේ ක‍්‍රියාවලිය තව දුරටත් පවත්වාගත නොහැක.

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles