Divaina - දෙපාරක්ම ෆේල් වෙලා යළි නැඟිටින තෝර පරිප්පු... රජරට පැත්තෙන් හමනා සුළෙඟ් තෝර පරිප්පු මල් සුවඳ......

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


parippu

* අතමිට සරු ඉන්දියානුවන් කන පරිප්පු වර්ගය ලංකාවේ හොඳට හැදෙනවා
* සුදුසුම එක තෝරා ගන්නට ප‍්‍රභේද සියයකට වඩා වැඩියි

 

සනත් එම්. බණ්ඩාර

ලංකාවේ ප‍්‍රභූ පැලැන්තියට තෝර මාළු සීමාවී ඇති ආකාරයෙන් ඉන්දියාවේ අතමිට සරු උදවිය වැඩිපුර අනුභවයට ගන්නේ තෝර පරිප්පුය. කරල් පිටින් මෙරටට ගෙනැවිත් පසුව පියළිකර කෑමට ගන්නා මයිසූර් පරිප්පු නොහොත් රතු පරිප්පු ඉන්දියාවේදී නම් වැඩිපුර ගැවසෙන්නේ සල්ලිය බාගේ නැති පිරිස් අතර බව එරට වාර්තා පෙන්වා දෙයි. ලංකාවේදී නම් රතු පරිප්පුවලට එවන් භේදයක් නැත. දුප්පත් පොහොසත් තරාතිරමක් නොමැතිව හොඳ පරිප්පුවක් කෑමට සැමදෙන සැදී පැහැදී සිටී. සියල්ල නැත්තටම නැතිවූ කල බතුයි සම්බෝලෙයි කාලා ඉන්නවා කියන්නා සේ පානුයි පරිප්පුයි සුසංයෝගයත් ජනවහරේ පැවතුනද, පාන් පරිප්පු දෙකම එන්නේ පිටරටින් නිසා දේශීය ආහාරයක් තරමට ස්ථාවර සුරක්ෂිත බවක් එහි තිබෙන්නේද යන්නත් ගැටලූවකි. එසේ වුවත් එක්තරා කලෙකදී නම් අපගේ බත් කෑම වුවත් ආවට ගියාට කරන්නට බැරි තත්ත්වයක තිබුණු බව මෙරට වෙසෙනා ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන්ට තවමත් මතක තිබේ. ලක්ෂ හැට හැත්තෑවක් පමණවූ සමස්ත ජනගහනයෙන් තුනෙන් පංගුවකටවත් කෑමට ප‍්‍රමාණවත් සහල් ප‍්‍රමාණයක් එකළ ගොවීන් අතර තිබූ පැරණි වී වර්ග මගින් නිපදවා ගන්නට නොහැකිවූ සමයක මදිපාඩුව පුරවන්නට ඉතිරි තුනෙන් දෙකටම කන්නට හාල් ගෙනාවේ අහල පහල රටවලින්ය. පිටරැටියන්ට සල්ලි ගෙවා රැගෙන ආ හාල් ටික ජනතාව අතර බෙදාහැරීමේදී එදා අනුගමනය කළ සංවරශීලී පිළිවෙත් ගැන ඇසීම පවා වත්මන් තරුණ පරපුරට අරුමයක් වන බවටද සැක නැත.

රටින් ගෙනා මිල්චාඞ් හා චීන සුදුහාල්, සහනදායී මිලකට ජනතාවට බෙදුවේ රටපුරා විසිරුණු සමූපකාර වෙළෙඳසල් මගිනි. මහජනතාවට ‘හාල්පොත’ නමින් හඳුන්වන වටිනා ලියැවිල්ලක් ලබා දී තිබිණ. කපා වෙන්කළ හැකි කුඩා කූපන් රැසක් අන්තර්ගතව මුද්‍රණය කර තිබූ හාල්පොත වනාහී උප්පැන්න සහතිකයටත් වඩා වටිනා එකකි. පුද්ගලයාගේ වයස හෝ රැකියා ස්වභාවය අනුව හාල්පොත් වර්ග හතරක් තිබුණු අතර සතිපතා සමූපකාරයෙන් හාල් නිකුත්කරනු ලැබුවේ හාල්පොතේ තිබූ කූපනයක් කතුරකින් කපා පෙට්ටියකට දමාගැනීමෙන් පසුවයි. හාල්පොත් වර්ග හතර වූයේ ළදරුවා, ළමයා, සාමාන්‍ය හා කම්කරු වශයෙනි. පොතෙහි වර්ගය අනුව සතියකට ලැබෙන සහල් සලාකයද වෙනස්වූ අතර උපරිම ප‍්‍රමාණය වූ සේරු දෙකක් ලැබුනේ ‘කම්කරු’ වර්ගයේ පොතක් හිමි අයටයි. යමෙකු විදෙස්ගත වන්නේ නම් බැහැරවීමේ අවසරපත නමැති ලියැවිල්ලක් අවශ්‍ය වූ අතර එය නිකුත් කෙරුවේද හාල්පොත රජයට භාරදුන් පසුවය. පදිංචිය වෙනස් කරන්නේ නම් පුද්ගලයාත් සමග හාල්පොතත් අදාළ ප‍්‍රදේශයට මාරුකර ගතයුතු අතර දරුවෙක් පාසලේ නේවාසිකාගාරයට යන්නේ නම් වුවද හාල්පොත පාසලට පැවරිය යුතුවිය. කෙටියෙන් හෝ මෙම මතක් කිරීම කෙරුවේ දේශීයව තමන්ට අවශ්‍ය දෑ ඇති පමණට නිපදවා ගන්නට අසමත් වන රටක ජනතාව පත්වෙන අසහනකාරී තත්ත්වය වත්මන් පරපුරට පෙන්වා දෙන්නටයි. එකළ හාල් ප‍්‍රශ්නය උත්සන්නවී ආණ්ඩු පවා කඩා වැටුණි. නිසි ක‍්‍රමවේදයකට වී අස්වැන්න හසුරුවා ගන්නට බැරිව හාල් මාෆියාවක් ගැන කතාකරන්නට පමණක් නොව බහුතරයකට සම්බෝල සමග කන්නටවත් අද දවසේ දේශීය සහල් තිබේ. කන්නයෙන් කන්නයට ගොවියාගේ අතිනත ගැවසෙමින් අඩු අස්වැන්නක් දුන් වී වර්ග වෙනුවට කෘෂි විද්වතුන් නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් ඉහළ වී ප‍්‍රභේද නිපදවූයේ ස්වභාවික පරිසරය තුළම තැන තැන විසිරී සිටි වී ප‍්‍රභේදයන් සතුවූ හොඳ ලක්ෂණ, විද්‍යාත්මකව තෝරා ගනිමින් හා ඒවා නිසි මාත‍්‍රාවකට කලවම් කිරීමෙනි. සමහරුන් කියන පරිද්දෙන් මේවාහි ඇති ජාන විද්වතුන් විසින් වෙනස් කරන්නට ගියානම් වී කරල් වෙනුවට කුඹුර මැද ගොයම් ගස්වල වම්බටු පලදරන්නට වුවත් ඉඩ තිබුණි!! ශක්තිමත්ව තිබුණු කෘෂිකර්ම පණිවිඩ සේවය විසින් නව වී වර්ගයන්ගේ තොරතුරු ගොවි ගෙදරටම මුදාහැරිය අතර රජයේ ගොවිපළෙන් ලබාදෙන පිරිසිදු බිත්තර වී සමග ගොවියාද ‘එකපයින්’ කුඹුරට බැස වගාකළ නිසා හාල්පොත අස්ථානගතවූ බව, මැදිහත් සිතින් ඉතිහාසය පිරික්සන ජනතාවට අමතක නොවේ. දේශීය බතට සම්බෝලය මුසුවී කෑමවේල ප‍්‍රාණවත්වී ආවේ එලෙසිනි.

අපගේ කාසි විදෙස් ගොවියාගේ සාක්කුවට හලන පිටින් ගෙන්වාගෙන කෑමේ රටාව, සහල් වෙනුවෙන් නම් මේ අනුව නතර වී තිබේ. ඉබාගාතේ යන්නට මුදාහල විවෘත ආර්ථිකය හරහා කැටපෝලය, සරුංගලය, හඳුන්කූර පමණක් නොව දෙහි බෑය මිරිකන ප්ලාස්ටික් කැබැල්ලටත් ඩොලර් වියදම්කර හතිවැටී ඇති අප, ආනයනය හැකිතාක් අඩුකරමින් ආහාර බෝග දේශීයව නිපදවා ගන්නටත්, මෙරට නොවැවෙන ආනයන බෝග වෙනුවට විකල්ප දෑ සොයායෑමටත් පිවිස සිටින්නෙමු. දෙවරක්ම උත්සාහ කර අසාර්ථක වූ තෝර පරිප්පු නමැති බෝගය යළි කරලියට පිවිසෙන්නේ මෙවන් පසුබිමකදීය. මයිසූර් පරිප්පු භාවිතයේ යම් ප‍්‍රතිශතයක් දේශීය පරිසරයේ හොඳට වැවෙන තෝර පරිප්පුවලට භාරදෙන්නට හැකිවෙතැයි කෘෂි විද්වතුන් විශ්වාස කෙරුවේ අද ඊයේ නම් නොවේ.

පරිප්පු ගෙනෙන්නට වාර්ෂිකව වැයවෙන විදේශ විනිමයද විශාල ප‍්‍රමාණයකි. බැරි බව කියා නිකම්ම අතහරින්නේ නැතිව 80 දශකයේ මුල් භාගයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පාන්පිටි සෑදීම සඳහා ලංකාවේ තිරිඟු වගාකිරීමට ඇති හැකියාව ගැන පවා පර්යේෂණ කළ අතර, ලියුම්කරුද තරුණ පර්යේෂණ නිලධාරියකු වශයෙන් එකළ සිටියේ තිරිඟු වගා පර්යේෂණ නඩයේ ඉදිරි පෙළකය. වසර කීපයක් අවෑමෙන් උත්සාහයන් අසාර්ථක වූ නිසාම වැඩසටහන අතහැර දමන ලදී. දැන් ඉතින් අපට ඉතිරිව ඇත්තේ දේශීයව ලබාගත හැකි වෙනත් පිටි වර්ගයන් තිරිඟු පිටි හා හැකි තරමට කලවම් කර තිරිඟුපිටි පාරිභෝජනය අඩුකර ගැනීමයි. සහල්පිටි, මඤ්ඤොක්කා පිටි, කුරක්කන් පිටි වැනි දෑ පමණක් නොව මිශ‍්‍ර කරනවානම් ගන්නට කොස් හෝ දෙල් පිටි වුවත් මෙරට තුළින්ම සාදාගත හැක. ප‍්‍රශ්නය වන්නේ දේශීයත්වය ගැන කෙස් පැලෙන තරමට කතා කෙරුවත් පාලක පාලිත පන්ති දෙක තුළින්ම විද්‍යාත්මක මෙන්ම ප‍්‍රායෝගික නැඹුරුවක් ඒ වෙතට යොමු නොවීමයි. පරිප්පු වල කේන්දරයද මීට දෙවෙනි නැත. අපට දේශීයව පරිප්පු වවන්න බැරි වුවත් අප ලෝකයටම පරිප්පු සපයන්නා වන්නෙමු. මන්දයත් ලෝකයේ විශාලතම ඇට පියළි කරන කම්හල ඇත්තේ කොළොම්පුරයේ නිසාය. රතු පරිප්පු හැරුණුවිට අපේ ජනතාව අතර තවත් ආදේශක පරිප්පු කීපයක්ම භාවිතා වෙනු පෙනේ. ඒ අතරින් ප‍්‍රධාන තැන ගන්නේ ‘වටානා’ නමින් හැඳින්වෙන පියළි වර්ගයයි. දශක කීපයකට ඉහතදී වඬේ සාදන්නට පවා යොදා ගැනුනේ රතු පරිප්පු වුවත් මේ වන විට ඒ සඳහා ගන්නේද වටානා ය. මෙය ඇතැම්විට කඩල පරිප්පු හෝ තෝර පරිප්පු ලෙසද ඇතැමුන් වරදවා තේරුම් ගනී. රතු පරිප්පු වලට විකල්පයක් ලෙස කඩල පරිප්පු, වටානා වැනි කුමක් භාවිතා කළත් මේ සියල්ල ආනයනික ආහාරයන්ය. මුං පියළි ගත්තද තවම අප මුංඇට වලිනුත් ස්වයංපෝෂිත නැත. රතු පරිප්පු ලාංකික ජන ඇසුරෙන් මුළුමනින්ම ඉවත්කිරීම යථාර්ථයක් නොවූවත්, විකල්ප පරිප්පුවක් මේ පොළොවේම වවාගන්නට ලැබේනම් වර්තමානයේ උත්සන්නවී ඇති දේශීය බෝග ප‍්‍රවර්ධන වැඩසටහනටද එය හොඳ සපෝට් එකක් වේ. ඉන්දියාව වැනි රටවල අංක එකේ පරිප්පු වර්ගය ලෙස සැලකෙන තෝර පරිප්පු වගාව මෙරට ප‍්‍රචලිත කළහොත් වියළි කලාපීය ගොවියාගේ ආර්ථිකයටත්, ශ‍්‍රී ලාංකික පරිප්පු පාරිභෝජනයටත් කැපී පෙනෙන වෙනසක් ඇතිකළ හැකිබව සැඟව තිබෙනා සත්‍යයයි.

”හැටේ හැත්තෑවේ කාළේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තෝර පරිප්පු බෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කරලා තියෙනවා. එම්. අයි. 1 කියලා ප‍්‍රභේදයකුත් නිදහස් කරලා තියෙනවා. ඒත් වැඩසටහන සාර්ථක වෙලා නෑ. කරල් විදින පනුවාගේ හානිය හමුවේ වගා විනාශ වීමයි ඉදිරියට නොයෑමේ හේතුව. හැබැයි වියළි කලාපයේ ගොවිබිම්වල ගෙවතු මට්ටමෙන් යම් ප‍්‍රමාණයක් තෝර පරිප්පු ගස් ඉතුරුවෙලා තිබුණ. ඒ අය මේවා කෑමටත් ගත්ත. මේ අනුව දෙපාර්තමේන්තුව දෙවෙනි උත්සාහය ගත්තේ 1984/85 සමයේදී. ඉන්දියාවේ ක‍්‍රියාත්මකවූ ආසියානු ධාන්‍ය රනිල ජාල ව්‍යාපෘතිය යටතේ අපි සම්බන්ධතා ඇතිකරගත්ත. ආචාර්ය සැක්සිනා කියලා විශේෂඥයකුත් එහෙන් ඇවිත් අපිත් සමග මහඉලූප්පල්ලමේ නතර වුණා. ඉන්දියාවෙන් තෝර පරිප්පු ප‍්‍රභේද ගණනාවකුත් ගෙනාවා. අයි.සී.පී.එල්. 2 කියන වර්ගය අපි එතනින් තෝරාගෙන ගොවීන් සඳහා නිර්දේශයකුත් කෙරුවා.”

තම තරුණ වයසේදී ව්‍යාපෘතියේ සම්බන්ධිකාරක ලෙස එකළ කටයුතු කළ මහඉලූප්පල්ලම ආයතනයේ පර්යේෂණ නිලධාරියකු වූ ආචාර්ය සුමිත‍්‍ර ජයසේකර තෝර පරිප්පු වෘතාන්තයේ අතීතයට යමින් පැවසුවේ එවැන්නකි. පසු කලෙක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට බැඳුනු හෙතෙම, එහිදී මහාචාර්යවරයකු සේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති බවට පත්ව, අවසානයේ සරසවියේ උපකුලපති තනතුරද හොබවා මේ වන විට එයින්ද විශ‍්‍රාම ගොසිනි.

ඔහු පවසන ආකාරයට ගැඹුරු ස්ථානයකින් වුවත් ජලය හා පෝෂණ ද්‍රව්‍ය අවශෝෂණය කිරීමට පවා සමත්වෙන ශක්තිමත් මූල පද්ධතියක් දරන තෝර පරිප්පු ශාකය, නිසරු පසක් සහිත ස්ථානද ඇතුළත් මෙරට සමස්ත වියළි කලාපයටම ගැළපෙන අපූරු සම්පතකි. රනිල බෝගයක් නිසා මුල් ආශ‍්‍රිතව වෙසෙන බැක්ටීරියා ආධාරයෙන් වායුගෝලීය නයිට‍්‍රජන් උරාගෙන විවිධ සංයෝග සාදා පසට එකතුකරනා බැවින් තෝර පරිප්පු වවන විට නයිට‍්‍රජන් පොහොර යහමින් දමන්නටද අවශ්‍ය නැත. පසේ ඉතිරිවෙන මෙම නයිට‍්‍රජන් පදාර්ථය, තෝර පරිප්පුවලින් පසුව වවන වගාවකට වුවද ප‍්‍රයෝජනවත් වේ. බෝගය මගින් භූමිය හොඳින් වසා ගනී. ඒ නිසා වැස්සෙන් සිදුවෙන පාංශු ඛාදනය මෙන්ම තණකොළ මතුවීමද අඩුය. වරක් පැලකළ ශාකය වසර කීපයක් පවතිනා බැවින් දෙවැනි කන්නයේදී වර්ෂාවත් සමග ලියලා එන ‘නිරි වගාවෙන්’ ද සැලකිය යුතු අස්වැන්නක් ලබාගත හැකිවේ. ඒ නිසා කන්නයක් පාසා කළයුතු බිම් සැකසීම අඩුවීමෙන් ගොවියාගේ විවේකයත්, පසුම්බියේ අන්තර්ගතයත් රැකෙන්නේය. එවන් පලදායී වගා ව්‍යාපෘතියක් නිසි පළිබෝධනාශකයක් නොමැතිව පණුවෙක් හමුවේ දණගසා නතරවීම, එකළ සිදුවූවාට අදට නම් සාධාරණ නොවේ. ‘පනුවා’ උපදින්නේ සලබයෙක් හෙළනා බිත්තර තුළිනි. මරුකා ටෙස්ටියුලාලිස් (Maruca testulalis) නමැති මේ සලබයා බිත්තර දමන්නේ තෝර පරිප්පු මල් පොකුර මත හෝ ලපටි කරල් මතය. බිත්තර පුපුරා පිටවන කීටයින් ලපටි කරල් විදගෙන ඇතුළට ගොස් වැඩෙන බීජ ආහාරයට ගනිද්දී පිටතින් බලා හානිය දැකගැනීමටද නොහැකිය. පිටතින් ඉසින පළිබෝධනාශක කරල් තුළ සිටින සලබ කීටයාට නොවැදීමද තාක්ෂණික ගැටලූවකි. තවමත් කරල් පවතින්නේ ඉතා ලපටි අවධියේ බැවින් ශාකයට උරාගෙන සතුරා වෙසෙනා ඉසව්වට යැවෙන සංස්ථානික පළිබෝධනාශකයක් ඉසීම ප‍්‍රායෝගික විය හැකි අතර ඒ තීරණයද විද්‍යානුකූලව ගත යුත්තේ කෘෂි විද්වතුන් විසිනි. තෝර පරිප්පු බෝගයේ මල් පිපෙද්දී හෝ ඉතා ලපටියට කරල් හටගනිද්දී කෙරෙන මෙවන් රසායනික ප‍්‍රතිකාරයක් පිලිබඳව මා ලියනා අදහසට දැන් ඉතින් කලබල වී කෑ ගසන්නටත් පිරිසක් සිටිය හැකිය. මුහුදෙන් එපිට දේශයන්හි රතු පරිප්පු වවද්දී කෘමි උවදුරු මගහරින්නේ කට්ටකුමංජල් අල්ලමින් නොවන බව කෑගසන්නන් තේරුම්ගත යුතුවේ. ඒ පරිප්පුව මෙරටට රැගෙනවිත් පියළිකර ඇසිරීමේදී ධූමායනය හෝ වෙනයම් රසායනික ප‍්‍රතිකාරකයක් මගින් කෘමීන් හා උන්ගේ බිත්තර නසනා බවද ඔවුන් දැනගත යුතුය. පරිසර හිතකාමී ලෙස සේනා දළඹුවා මර්දනය කරනා පිළිවෙල කටපාඩම් කරවා තිබියදීත්, කිරි කරලින් බරවූ බඩඉරිඟු යායට වස දියර ඉසින්නට කෘෂිකර්මයේ නොවන ඇත්තන්ගෙන් උපදෙස් ලැබෙද්දී මීක් ශබ්දයක් පිටනොකළ උදවිය, බීජ ලෙස අස්වැන්න නෙළාගන්නා බෝගයක ආරක්ෂාව උදෙසා මල් පිපෙන අවධියේදී ඉසින පළිබෝධනාශකයක් ගැන බඬේ අමාරුවක් සාදාගත යුතු නොවේ. ඊයේ ‘බෙහෙත්’ ගැසූ බඩඉරිඟු කිරිකරල හෙට පාන්දරින් කඩා තම්බාගෙන කෑම ඊට වඩා බොහොම භයානකය.

”තෝර පරිප්පු වෙළෙඳපොළට යවන්න සකස් කළ යුතු වන්නේත් ටිකක් සංකීර්ණ ක‍්‍රමයකට. කරලෙන් වෙන්කරගන්නා ඇට මුලින් හොඳට වේලලා අනතුරුව පැය 4 - 6 ක් විතර කාලයක් වතුරේ පොඟවන්න වෙනවා. ඊට පස්සේ දිනක් හෝ දෙකක් තද අව්වේ වේලන්න වෙනවා. එතකොට තමයි ඇටයේ පොත්ත පියළි වලින් නිදහස් වෙන්නේ. දැන් පොතු ඉවත්කිරීම හා පියළිකිරීම පහසුයි. ඒකාලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්ම මේ වැඬේට අගනා යන්ත‍්‍රයක් පවා හැදුවා. ඒකෙන් තෝර පරිප්පු විතරක් නෙවෙයි කව්පි, මුංඇට වගේ දේ වුණත් පියළි කරන්න පුළුවන්. නමුත් ගොවීන්ගේ තෝර පරිප්පු අස්වැන්න මිලදී අරගෙන, විශාල පරිමාණයෙන් පියළි කරලා වෙළෙඳපොළට යවන තරමට ජාලගතව කටයුතු සංවිධානය වුණේ නෑ. තෝර පරිප්පු පිසින ක‍්‍රමයත් රතු පරිප්පු තරමටම සරල නෑ. ඒ තොරතුරුත් නිසි වෙලාවට ජනගත වුණේ නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔබ්බට වගකීම් ගන්න තවත් ආයතන හා සංවිධාන මෙතනදී අත්වැල් බැඳගත යුතු වෙනවා.”

පළමුව කරල් විදින පනුවෙකුට පරාජය වීමත්, දෙවැනි උත්සාහයේදී අස්වනු සැකසීම හා පාරිභෝජන රටා ක‍්‍රමවේදයන් නිසිකලට සුසර කර නොගැනීමත් නිසා තෝර පරිප්පු ව්‍යාපෘතිය අසමත්වූ බව කියවෙන මහාචාර්ය ජයසේකරගේ ප‍්‍රකාශය වත්මන් විද්වතුන් මනාව ග‍්‍රහණය කරගත යුතුවේ. තව පාරක් ෆේල් නොවන්නේ පාර දැනගෙන ගමන යන තරමටය. රජරට පැත්තේ අව්වට කරවෙන උස්බිම් යායේ දළුලන නිල්ලෙන් හමන තෝර පරිප්පු මල් සුවඳ දිගටම දැනෙනු ඇත්තේද එවිටය.

”දේශීයව වගාකළ හැකි බෝගවලට වර්තමානයේදී තරමටම රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබෙන අවස්ථාවක තමයි අපි කල්පනා කෙරුවේ පිටරටින් ගෙනෙන පරිප්පු වර්ගවලට යම් තරමකින් හෝ විකල්පයක් සපයන බෝගයක් සෙවිය යුතුයි කියලා. ඒ 2019 අවුරුද්ද. වියළි කලාපයේ ගොවීන් ළඟත් තැන තැන තෝර පරිප්පු ප‍්‍රභේද තිබුණ. ඊට අමතරව කලින් අතරමග නතරවුණ වැඩසටහන්වලදී භාවිතා කළ ප‍්‍රභේද ගන්නෝරුවේ පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ සංරක්ෂණය කරලා තිබුණා. අපි ඒවා අරලගංවිල පර්යේෂණායතනයට අරගෙන ඇවිත් වැඩ පටන්ගත්තා. මුල් වැඩ සටහන අතරමග නතර වෙලා තිබුණේ පාලනය කරගන්න බැරි තරමට හානියක් කල කරල් විදින පනුවා නිසා. දෙවැනියට ගත් උත්සාහයට අලෙවිය, ආහාර රටාව නියමාකාරයට ජනගත නොවීම වගේ බාධක ඇවිත් තිබෙනවා. මේ සියල්ල අපේ පාලනයට යටත් කරගත හැකි කරුණු. ඒ හැම එකක්ම ඇතුළත් පැකේජයක් සමගයි මේ පාර ගමන යන්නේ...”

ඔහු අරලගංවිල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ප‍්‍රධානී කෘෂි විද්‍යාඥ ඩබ්ලිව්. ඒ. විජිතවර්නයි. සීමිත නිලධාරි මණ්ඩලයක්ද සමගින් තෝර පරිප්පු වගාවට පිවිසි ආකාරයත්, එහි ඉදිරි සැලැස්මත් විස්තර කරමින් හෙතෙම අදහස් පළකෙරුවේ එසේය. පසුගිය මාස් කන්නය වෙනුවෙන් තම පර්යේෂණ ඉඩමේ අක්කර පහක වපසරියක් පුරා පැතිරුණු තෝර පරිප්පු යාය දෙස බලමින් කතාකරන විජිතවර්ණ මහතා මුල් අවධියේදී වගා දර්ශ සියයකට වඩා පරීක්ෂාකර ඉන් 26 ක් තෝරාගත් බවත්, ඒ අතරිනුත් හොඳ ප‍්‍රභේද පහක් තෝරාගෙන ඉදිරියට යන බවත් සඳහන් කරන්නේ මහත් බලාපොරොත්තු සිත් තුළ රඳවාගෙන බව පෙනේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාන්ත‍්‍රීකරණ ඒකකයන් හා එකතුවී, අස්වැන්න නෙළීම හා සැකසීම සඳහා යන්ත‍්‍රසූත‍්‍ර සුසර කරන්නටත්, පෞද්ගලික වගාකරුවන් හවුල්කරගෙන විශාල වගා පිහිටුවන්නටත්, පාරිභෝජන රටාවන් ජනතාවට හඳුන්වා දෙන්නටත් යනාදී වශයෙන් එකවර වැඩ ගොඩක් කරන්නට ඔහුගේ කණ්ඩායම මේ වනවිටත් පියවර ගනිමින් සිටී.

අලූත් බෝග හඳුන්වා දෙනවිට, වගා පිහිටුවීමේ සිට අලෙවිය හරහා පාරිභෝජනය දක්වා වූ සමස්ත පැකේජයම ඉදිරිපත් කිරීමට අපහසුවීමෙන් සිදුවූ ‘අත පුච්චාගැනීම්’ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අලූත් අත්දැකීම් නොවේ. දෙවරක් අසාර්ථකවූ තෝර පරිප්පු වැඩසටහන පමණක් නොව අතරමගදී ඇනහිටි සෝයා බෝංචි ව්‍යාපෘතියත් මෙයට උදාහරණයන්ය. මයිසූර් පරිප්පු පිසගැනීම තෝර පරිප්පුවලට සාපේක්ෂව ඉතා පහසු කටයුත්තකි. එපමණක් නොව එයින් ග‍්‍රෑම් 100 ක් උයාගත්විට ලැබෙන ‘ව්‍යංජන අස්වැන්න’ තෝර පරිප්පු ග‍්‍රෑම් 100 කින් ලැබෙන්නේද නැත. තෝර පරිප්පුවල ඇට ‘බෙරි වී’ ව්‍යංජනයේ දියරය හා යහමින් සංකලනය නොවීම මීට හේතුවයි. එසේ නමුත් ‘පරිප්පු වඬේ’ වැනි වෙනත් කෑම වර්ග සෑදීම සඳහා අංක එක වන්නේද තෝර පරිප්පුය. ක්ෂණික පිලියෙලකිරීම් පාදක වූ පරිභෝජන රටාවක් ඔඩුදුවා ඇති සමාජයක් තමා තරණය කළයුතු බව අවබෝධකරගෙන හා ඒ ගැන සිත යොමුකරමින් තෝර පරිප්පු පර්යේෂකයන් වැඩට බසින්නේනම් අපේම පරිප්පුවකට යම් ඉඩක්
වෙන්කරගැනීම එතරම් අපහසු අභියෝගයක්ද නොවනු ඇත.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles