Divaina - පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි....! මාගේ තාත්තා මළත් එයා මා ළඟ තවමත් ඉන්නවා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 - කෘතහස්ත නිළි නීටා ප‍්‍රනාන්දු
  magethaththa555
 
 උපාලි සමරසිංහ
 
රෙද්දක් හැට්ටයක් ඇඳ රබර් යායක මේ හැඟුම්බර ගීය ගයමින් ‘වාසනා’ චිත‍්‍රපටය සඳහා සුන්දර නැටුමක් පෑ ඒ යුවතිය ඔබට මතකද? දඟකාර යෞවනයෙන් සපිරි ඒ කාලේ (1970 දශකයේ) ‘ළසඳ’ චිත‍්‍රපටය සඳහාත් ඇය කුඩයක් කරකවමින් ‘කං කං බූරු හා හා හා සිං සිං නෝරු’ යැයි ගයමින් නැටුවාය. එදා ඒ සුන්දරිය නීටා ප‍්‍රනාන්දු අපේ මතකයේ රැඳුණේ එලෙසිනි.
 
 ජෝ අබේවික‍්‍රමයන් ‘වැලිකතර’ ගෝති‍්‍රක චරිතයෙන් එතෙක් රගෑ පෑ විකට මුද්‍රාසෙන් මිදී චරිතාංග නිරූපණයට පැමිණියා සේ ඇය කැනඩාවේ සිට යළි මෙරට පැමිණි තම දෙවැනි රංගන ජීවිතය පටන් ගන්නාවිට මහා චරිතාංග නිළියක වූවාය.
 
 පේ‍්‍රමය තේමාවයි
 
 පේ‍්‍රමය තේමා කරගත් නිර්මාණ හරහා ඇයගේ රංගන දිවිය දිදුල බව මට සිතේ. ‘දුහුළු මලක්’ චිත‍්‍රපටයේ ස්වාමියා හා අනියම් පෙම්වතා අතර පේ‍්‍රමය ඉස්මතු කරන ඇය ඕ. සී. අයි. සී හොඳම නිළිය වූවාය. ‘පාංශු’ චිත‍්‍රපටයේ බබානෝනා චරිතාංග නිරූපණයේදී ඇය ප‍්‍රංශයේ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල හා ඉන්දියාවේදී ලෝකයේ හොඳම නිළි සම්මානයෙන් පුද ලැබුවේ ‘දාරක පේ‍්‍රමය’ කැටපත් කර පෙන්වමිනි. ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‘පවුරු වළලූ’ චිත‍්‍රපටයේදී ඇය ‘වයලට්’ චරිතයෙන් ප‍්‍රභාමත් රංගනයක් කැර සිංගප්පූරු 11 වැනි ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලදී හොඳම නිළිය වූවාය. එහිදී නිරූපණය සිදුවූයේ පළමු පෙම්වතා ඇය සොයා පැමිණි ගමන ඉස්මතු කිරීමය. ඒ නිසා ඇය පේ‍්‍රමය ඉස්මතු කැර දිදුල මහා නිළියයි.
 
 ඒ මහා නිළිය නීටා ප‍්‍රනාන්දු දැන් මා අභිමුවය. ඒ ඇගේ තාත්තා හා ඇති අපයෝජනීය සබඳතාව අපට හෙළිකරන්නටය.
 
 ගුරු පරපුරක්
 

 මගේ තාත්තා පෝරුතොටගේ හියුබට් ප‍්‍රනාන්දු. කටුනේරියේ ගුරු පරම්පරාවකින් පැවැත එන්නේ. අපේ තාත්තගේ පැත්තේ බොහොම දෙනා ගුරුවරු. තාත්තා මුල්ගුරුවරයෙක් හැටියට වැඩකළා. අපේ සීයා බොහොම වත්කම් තිබුණු කටුනේරියේ ඉහළ ප‍්‍රභූවරයෙක්. පෝරුතොටගේ ඔස්වල්ඞ් ප‍්‍රනාන්දු. එතුමාගේ ගුරුවරයෙක්.
 
 හොඳම ශිෂ්‍යාව සහේට ගත්තා
 
 අපේ තාත්තා ගුරු අභ්‍යාස විද්‍යාලයේ උගන්වන කාලේ අම්මාව හමුවෙලා තියෙන්නෙ. එයා තමන්ගේ හොඳම ශිෂ්‍යාව සමඟ යාළුවෙලා විවාහයට ආවෙ. අම්මලා ඒ තරම් පෝසත් නෑ. ඒ නිසා මුල් කාලෙ ටිකක් විරුද්ධ වෙලාත් තියෙනවා සීයලා. ඒත් තාත්තා තමන්ගෙ පේ‍්‍රමය කොහොම හරි ජයගෙන අම්මාව කසාඳ බැඳලා මාදම්පෙ කුලී ගෙයකට ගිහින්. සීයා තාත්තාව අත්හැර දාලා තියෙනවා මේ නිසාම. ඉතාම අමාරුවෙන් කට්ටක් කාගෙන මේ අය ජීවත්වෙලා තියෙන්නෙ. අම්මටත් ගුරුවරියක් හැටියට මතුවෙන්න ඉඩකඩ තිබුණත් ඇය පසුව තාත්තාගේ කීමට ගෙදර නැවතිලා. මං ලැබිලා තියෙන්නෙ ඒ කුලී ගෙදරදී. පස්සේ මට සහෝදරයන් දෙන්නෙකුයි නංගි කෙනෙකුයි ලැබෙනවා. මං පුංචි කෙල්ල ලැබුණාට පස්සෙ සීයා ආයෙත් තාත්තාව කටුනේරිය ගෙදරට ම භාරගත්තා.
 
 වයලීන වාදන
 
 වෙන්නප්පුවේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට තමයි මුලින්ම මා අකුරට ගියේ. ඊට පස්සේ මාදම්පෙ සෙන්ට‍්‍රල් එකට. අපේ තාත්තා ගුරුවරයා වුණාට එයාට සංගීත දැනුමක් ඉහළින්ම තිබුණා. ගෙදරදී වයලීන වාදනය කරනවා. ඒ වගේම හොඳ චිත‍්‍ර ශිල්පියෙක්. මං පුංචි කාලෙ මට තිබුණෙ නැටුම් ගුරුවරියක් වීමේ බලාපොරොත්තුව. තාත්තා මේකට උදව් කළා. උඩරට නැටුම් ඉගෙන ගන්න මාව කටුනේරියේ කලායතනයකටත් දැම්මා.
 
 මල්ලිලා ලැබෙන්න ඉස්සරින් මා පවුලෙ එකම දරුවා නිසා තාත්තා මං කියන ඕනෑම දෙයක් කරනවා. වඩාගත්තම කකුල් බිම ගෑවුණත් නිදාගන්නකම් තාත්තා මාව වඩාගෙන ගෙදර එහෙට මෙහෙට සක්මන් කරන්න ඕනෑ. ඒ වෙලාවට තාත්තා කතා කියනවා. මේ කතාවල වීරයෝ, මගේ හිතේ තැන්පත්වන ආකාරයෙන් අභිනය දාලා කියන්නෙ. පුදුම නිර්මාණාත්මක හැකියාවක්. පරිකල්පන ශක්තියක් තාත්තාට තියෙන්නෙ.
 
 බොරු මවා කීම
 
 මේ කතා ඔක්කොම එයා හදලා කියන්නෙ. අම්මා හොරෙන් කියනවා ඔය බොරු පුතේ. හරි ගස්සලා කියන්නෙ කියලා. ඒත් දරුවා වෙනුවෙන් කරන කැපවීම් මවලා පණ පිහිටුවලා චරිත මවන එක එතුමාගේ පුදුම දක්‍ෂතාවක් කියලා අද මට හිතෙනවා.
 
 හොඳට හැන්දෑවට අඩි ගහනවා. කට්ටිය ගෙදර ගෙන්නගන්නෙ නෑ. සමහර විට එයාගෙ මස්සිනා කෙනෙක් එනවා.
 
 අපේ කම ගැන පාඩමක්
 
  අපේ කම, ඉතිහාසය ගැන එතුමාට තිබුණෙ පුදුමාකාර හැඟීමක්. ඒ වගේම දැනුමක්. අපේ රජවරුන් ගැන එයා කියනවා. ඒවා නම් ඇත්ත. පොත් කියවීමට මා හුරු කළේ තාත්තාමයි. එයා ළඟ තරමක පුස්තකාලයක්ද තිබුණා.
 
 පුතේ අපේකම රැකගන්න. මොන රටක ජීවත්වෙන්න ගියත් අපි ශ‍්‍රී ලාංකිකයෝ කියන එක අමතක කරන්න එපා. තාත්තා නිතරම කී කතාවක්. මං තරමක ගැටිස්සි කාලෙ මට ‘ළඳක මහිම’ කියන චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය ලැබෙනවා. මාලනීට ‘පුංචිබබා’ මුල්ම චිත‍්‍රපයේ ජෝ අයියා (ජෝ අබේවික‍්‍රම) ලැබුණා වගේම මේ චිත‍්‍රපටයෙත් ප‍්‍රධාන චරිතය ජෝ අයියා කළේ. මේක සඳහා සුදුසුදු කියන පරීක්‍ෂණ සිදුවුණේ දිය ඇල්ලක් ළඟ ජෝ අයියා එක්ක රඟපාන දර්ශනයකින්මයි. ‘සතුටයි කඳුළයි පැතුව විලස මා එදා’ ගී ජවනිකාවෙ කොටසක්. දියඇල්ලක් ළඟ සුදු සාරියක් ඇඳලා රඟපෑවෙ. මං පරීක්‍ෂණයෙන් සමත්. චිත‍්‍රපටය ලැබුණත් මේකට අම්මා විරුද්ධයි.
 
 ළිඳේ පනිනවා
 
 එයාගෙ බාල දරුවො බලන්නයි එයා ඇතිකරන හරක්, කුකුල්ලූ, එළුවො ටික බලාගන්නයි තිබෙන හින්දා මා සමඟ දර්ශන තලයට එන්නත් බැරි හින්දා විරෝධය වැඩියි. මං තාත්තාට කිට්ටු වුණා. තාත්තෙ, මට මේකට යන්න බැරි වුණොත් මා ළිඳේ පනිනවා. මං කීවා. තාත්තා මගෙ ඔළුව අත ගාලා එහෙම කරන්න ඕනෑ නෑ. මං අම්මට කතා කරන්නම් කියලා මගෙ හිත සනසලා අම්මට කීවා. ‘අපි එකකට විතරක් අරිමු. කෙල්ලගෙ ආශාවනෙ’ කියලා. තාත්තාගෙ වචනයට අම්මත් අන්තිමේ ඇහුම්කන් දුන්නා. චිත‍්‍රපටය ජනපි‍්‍රය වුණා. ‘පික්පොකට්’, වාසනා, ළසඳ, ශාන්ති මේ විදියට චිත‍්‍රපට 40 ක් එකදිගට ම රඟපාන්න ලැබුණා.
 
 පාසල් පේ‍්‍රමයක්
 

 චිත‍්‍රපටවලට යන්න ඉස්සරින් මට අවුරුදු (17) දී විතර පාසල් පේ‍්‍රමයක් තිබුණා. මං ඒ ළමයා ගැන අම්මට කෙලින්ම කරුණු කීවා. තාත්තාට මේ ගැන අම්මා කීවා. බලනකොට තාත්තාලා ඒ ළමයගෙ පවුල ගැන හොඳට දන්නවා. වැදගත් පවුලක්. මාපියොත් හොඳයි. අම්මලා කීවා අහිංසක විදියට නියම කාලෙ වෙනකම් ඉන්න අපි කරදෙන්නම් කියලා. චිත‍්‍රපටවලට යන්න හදනකොට ඒ කොල්ලා විරුද්ධ වුණා.
 
 ඊලියන්ගේ පැමිණීම
 
 චිත‍්‍රපටවලට ගියොත් මාව අත්හරිනවයි කිව්වා. ‘‘මට උඹවත් ඕනෑ නෑ. මං චිත‍්‍රපටවලට යනවා’’ කියලා ඒක අත්හැරියා. චිත‍්‍රපට විශාල ගණනක් රඟපාලා ඉවරවෙනකොට තමයි ඊලියන් විවාහයට එන්නෙ. ඊලියන් ඉතා හොඳ කෙනෙක් බව අම්මලා දන්නවා. එයා මගෙ කලාවට ඉඩදුන්නා. එයා මා කසාද බැඳලා කැනඩාවට එක්ක යන්නයි හදන්නෙ. අම්මගෙ පෙරැත්තයට මං ඒකටත් කැමැති වුණා. මං එතකොට චිත‍්‍රපට 40 ක් රඟපාපු නිළියක්. තාත්තා කීවා. පුතේ, ආශාවට රඟපෑවනෙ. පස්සෙ මෙහෙ ආවාම මහත්තයාගෙ අවසරය අරන් රඟපාන්න පුළුවන්නෙ. යන්න කියලා. ඒත් මං ගෙදරින් පිටවෙලා වෙනත් රටක පදිංචියට යනවා කියන එක තාත්තාට දරාගන්න බෑ. එයා මහා ප‍්‍රතාපවත් මිනිහෙක්. කවරදාවත් අපිට පෙනෙන්න කඳුළක් හැළුවෙ නෑ. ඒත් හදවතේ ඒ කඳුළු තියෙන්න ඇති. මං බැඳලා පිටරට යනකොට තාත්තා ජනේලය ළඟ ඇතුළු පැත්තෙ ලෝහ පිළිමයක් වගේ මගෙ දිහා බලා හිටියා. එළියටවත් ආවෙ නෑ. කාරෙක වත්තෙන් එළියට ගන්නකොට එයා මා දිහා බලා සිටි දසුන දැනුත් මට පෙනෙනවා. ඒක හරිම හැඟුම්බරයි. තාත්තා ඉඳහිට සුරුට්ටුවක් බොනවත් මා දැක තිබෙනවා. මල්ලිලා මට කරදර කළාම මං ඒ අයගෙන් පළිගත්නෙ තාත්තා හරහා.
 
 මල්ලිලාගෙන් පළිගැනීම
 
 තාත්තා දවල්ට පොඞ්ඩක් නිදියනවා. වත්තෙ පල්ලෙහා මඩවළක් තියෙනවා. මං මල්ලිලාට කියනවා උඹලට බෑනේ, කොච්චර වීරයෝ වුණත් මඩවළේ පීනන්ඩ කියලා. අනේ, මේ මෝඩයෝ ඇඳුම් ගලවලා අර මඩවළේ දියබරියො වගෙ පීනනවා. ඒ වෙලාවට මං තාත්තාව ඇහැරවලා. අන්න අර දෙන්නා මඩවළේ නානවා’ කියනවා තාත්තා නැඟිටලා ඇවිත් දෙන්නාටම හොඳට සබ්බුව දෙනවා.
 
 මේවා සියල්ල ම මට අර මොහොතේ තාත්තා ජනේලයෙන් බලා ඉන්නා විටත් මතක් වුණා. ඊලියන් හා මා කැනඩාවේ මොන්ටි‍්‍රයොල් නගරයේ පදිංචි වුණා. එදා මං කැනඩාවට යනවිට කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්මයා ශාස්තිලේඛා මහත්මිය ගුවන්තොටුපළටත් ආවා. ඒත් මගෙ තාත්තා එයාට දරාගන්න බැරි නිසා ආවෙ නෑ.
 
 ලෝක ගෝලය ඇඳලා
 
 පස්සෙ එයා තනිවම කාමරයට වෙලා හිටියලූ. එයා චිත‍්‍ර ශිල්පියා නිසා ලෝක ගෝලය හතරැස් කොටුවකට ඇඳලා කෙලින්ම මෙහෙ ඉඳන් කැනඩාවෙ මා හිටි මොන්ටි‍්‍රයෙල් නගරයට එන හැටි සටහන්් කරන්න පටන් අරගෙන. එයා ඒක ලස්සනට පාට කරලා මගේ දුව බලන්න මෙතැනට යන්න ඕනෑ කිය කියා නිතර කී බව අම්මා මට පස්සෙදි කීවා. මං ඒ රටේ මොන්ටි‍්‍රයෙල් රජයේ රෝහලේ රස්සාවක් කළා. පිළිගැනීමේ නිලධාරිනි. අවුරුදු 18 ක් එහි සේවය. තාත්තවයි අම්මාවයි දෙන්නාවම එකවර මං එහි ගෙන්වා ගත්තා. ඒත් ඒ කාලෙ තාත්තාට දියවැඩියාව හැදිලා. කෙලෙස්ටරෝල් හැදිලා. එහෙ තියෙනවා සුවිශේෂ මත්පැන්. තාත්තා බොන්න ආසා වුණත් එයාට ඒ වෙලාවෙ ඒක හරි යන්නෙ නෑ. ඊලියනුත් විශේෂ මත්පැන් බෝතලයක් තාත්තා වෙනුවෙන් අරන් තිබුණා. මං ඒකෙන් ටිකක් වීදුරුවකට දාලා දෙන්න හදනකොට අම්මා කීවා. පුතේ තාත්තාව එක්ගෙන ආවෙත් ඉස්පිරිතාලෙ ඉඳලා. බොන්න දෙන්න එපා කියලා. තාත්තාට ඒ කතාව ඇහුණා. එතුමා කීවා ඒක තමයි දුවේ. මං පරක්කු වුණා වැඩියි නේද? කියලා.
 
 රතු වයින් හා අරිෂ්ට
 
 ඊලියන් යෝජනාවක් කළා. කොලෙස්ටරෝල් කපා හරින විශේෂ රතු වයින් වීදුරුවක් දෙමු කියලා. ඒකට කවුරුන් විරුද්ධ නැති නිසා ඒක දුන්නා. ඒක බොන්න කටට අරන් ‘තුප්’ කියා විසි කළා. මේවා මේ ලංකාවෙ අරිෂ්ටෙ වගේනේ පුතේ. එයා කීවෙ එහෙමයි. මං තාත්තාව ඒ රටේ ලස්සන තැන් පෙන්වන්න ගියා. ඒ වෙලාවෙත් තාත්තා කීවෙ මේවා ලස්සනයි තමයි. ඒත් අපේ රට මීට වඩා කොච්චර ලස්සනද? කියලයි. ඒක මමත් පිළිගන්නවා. විජය කුමාරතුංග අපේ පවුලට නෑකමක් තියෙනවා. එයා මැරුණෙ 1988 පෙබරවාරි 16 වැනිදා. ඒ දවස්වල තාත්තාට අමාරු වෙලා මං ලංකාවට ඇවිත් ඉඳලා ගියා විතරයි මේ වෙඩි තැබීමයි තාත්තාගෙ මරණයයි දෙකම සිදු වුණේ. තාත්තගෙ මළගම 14 වැනිදා තිබුණෙ . අපි ඇවිත් තාත්තාගෙ ලෙඩ දුක බලලා සති දෙකක් විතර ඉඳලා ගියාම තාත්තා මෙහෙ මැරුණා. ආයිත් එන්න බෑ. ඒ රස්සාවල හැටියට. ඒ පශ්චාත්තාපය මට හැමදාම තියෙනවා.
 
 විජය මැරෙන්නට පෙර ඇවිත්
 
 ඒත් විජේ අයියා මැරෙන්න දවස් දෙකකට ඉස්සෙල්ලා මගෙ තාත්තාගේ මළගමට ආවා. ඇවිත් අවසන් ගෞරව දක්වලා ගිහින් තිබුණා.
 
 තාත්තා තමන් පිළිගත් ආගම කතෝලික දහම හරියටම ඇදහුවා. උදේ 5.30 ට නොවරදාවම පල්ලි යනවා. එහෙම වුණත් රටේ බෞද්ධ සිද්ධස්ථාන අපට පෙන්වා පැහැදිලි කරලා ඒකෙ අතීතයන් කියා දීලා තියෙනවා. අපේ ශරීර සෞඛ්‍ය ගැනත් තාත්තා හරියට කල්පනා කළා. අම්මා සෞඛ්‍යමය ආහාර දුන්නත් තාත්තා මෝර තෙල් ගුලි විටමින් වර්ග අපට කවනවා. එතුමා වැඩි කාලයක් ජීවත් වුණේ නෑ. අවුරුදු 65 යි හිටියෙ. දොස්තර දිසානායක මීගමුවෙ එතුමා තමයි තාත්තාව බැලූවෙ.
 
 දුවේ උඹ ගැන ආඩම්බරයි
 
 මං කතෝලිකයෙක් වුණත් බුද්ධාගම පිළිගන්නවා. බුද්ධාගමේ එන පුනර්භවය පිළිගන්නවා. ඒත් මගෙ තාත්තා මා ළඟ ඉන්නවා. මං ‘පවුරු වළලූ’ ලෝක නිළිය වෙච්ච වෙලාවෙ එතුමා මට ස්වප්නයෙන් කීවා, දුවේ, මට උඹ ගැන ආඩම්බරයි කියලා. ඒ වගේම ජීවිතයේ අභියෝගාත්මක හැම අවස්ථාවෙම තාත්තා මා ඒවායින් බේරාගෙන තිබෙනවා. මං ප‍්‍රාර්ථනා කරනවා සංසාරෙදී ඒ තාත්තා මට නැවත හමුවෙන්න කියලා. අම්මත් එහෙමයි. මගෙ මහත්තයා ඊලියනුත් ලැබෙන්න ඕනෑ. එයා තමයි ආයිත් මාව නිළියක් කළේ. ‘පවුරු වළලූ’ නිෂ්පාදනය කළේ මගේ මහත්මයා. එයා මැරුණ් 2000දී. කටුනේරියේ අපේ දේපළ තාත්තා මට පැවැරූ බව දන්නෙ පස්සෙයි. මට දියවන්නාවෙ ලස්සන ගෙයක් තියෙනවා. මහත්තයත් නැතිව. අම්මත් නැතිව. තාත්තත් නැතිව මං තනි වෙලා කියලා මට හිතෙන්නෙ නෑ.
 
 දරුවෙක්
 
 ඒ අය මා අතහැර ගිහින් නෑ. මා බලා ගන්නවා. දරුවෙක් නැතැයි කියලා තාත්තා දුක් වුණා ද කියලා මා දන්නෙ නෑ. අම්මත් ඒවා එළිපිට කතා කළේ නෑ. ඒත් මං සහෝදරයන්ගෙ දරුවන් බලනවා. ඒ අයත් මා බලාවි.
 
 මං ඔස්ටේ‍්‍රලියාවෙ මගෙ යාළුවෝ හම්බ වෙන්න ගිය වෙලාවක අපූරු වැඩක් වුණා. එහෙ ඉන්නවා එඞ්ගා කේසි ජිනා සර්මිනාරා, ජින් ඩික්සන් වගේ අය. එහෙම කෙනෙක් මා ගැන බලන්න කීවාම ටික වෙලාවක් ඇස් දෙක වහගෙන ඉඳලා කීවා.
 
 සුරුට්ටු කතාවක්
 
 ඔයාගෙ දකුණු ඇලයෙ පිටුපසින් තාත්තා හිටගෙන ඉන්නවා මට පෙනෙනවා. එයා කියනවා. මේ රටේ සුරුට්ටු හරි නෑ. රස නෑ ලංකාවේ සුරුට්ටු වගේ කියලා. ඒ මනුස්සයා අපේ තාත්තා සුරුට්ටු බීපු කෙනෙක් කියලා දන්නෙවත් නෑ. ඒ රටටත් ආවෙ අසනීපයෙන්. සුරුට්ටු බොන කාලයක නොවෙයි. මං පුදුම වුණා.
 
 මට තාත්තා ගැන තිබෙන දුක තමයි එයාගෙ මරණයට ඉන්න බැරි වීම. ඒ විතරක් නොවෙයි එයා ආසා කරන දේ දීලා සතුටු කරන්නට බැරි වීම. එයාගෙ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැතිව තිබුණු නිසයි එහෙම වුණෙ. මගෙ තාත්තා මගෙ පිටුපස්සෙ තවමත් ඉන්නවා.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles