Divaina - සිවුරු ඇඳලා වොෂින්ටන් නුවර ඇවිදිනකොට ගල් මුල් වැදුනු අවස්ථා තියෙනවා... බෞද්ධ විහාරයේ දැන්වීම් පුවරුව විවෘත කළේ සිරිමාවෝ මැතිණිය

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

dalai

  දලයි ලාමාටත් වඩා ලෝකයේ බුදුදහම ප‍්‍රචලිත කළ සිංහල හාමුදුරුවෝ - 34
* කැනඩාවේ ප‍්‍රදර්ශනයකට ඉදිරිපත් කරපු අවුකන අනුරුවකුත් අපිට ලැබුණා...

 

තරංග රත්නවීර

ලොව විශාලතම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කළේ උන්වහන්සේය. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් ඈතින් පිහිටි සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම ලෝකය පුරා ථෙරවාදී බුදු දහම ප‍්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ අතර උන්වහන්සේ පෙරමුණේ සිටිති. ධර්මධර, විනයධර මෙන්ම ශබ්ද ශාස්ත‍්‍රය ද මනා සේ ප‍්‍රගුණ කළ මහා ප‍්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ ප‍්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ඒ උතුරු ඇමරිකාවේ ප‍්‍රාධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය...

ලෝකයේ බලවත්ම, පොහොසත්ම රටේ ප‍්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරයේ බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කිරීමට පූර්ණ දායකත්වය ලබාදීමේ භාග්‍යග උදා කරගත්තේ ලංකාවේ දුප්පත් මනුස්සයෙක්. එම පින්කම සම්බන්ධයෙන් මගේ සිතේ පුදුමාකාර සතුටක් ඇති වුණා. සතුට වැඩිකමට බෝපේ විජේරත්නවයි, ප‍්‍රභාත් විජේසේකරවයි බුදුපිළිම වහන්සේ දෙපස තියලා පින්තූර කිහිපයක් අරගෙන පුවත්පත් වාර්තාකරුවකුට දීලා වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ පළ කෙරෙව්වා. ඒ ප‍්‍රවෘත්තියටත් ලොකු ප‍්‍රසිද්ධියක් ලැබුණා. ඒත් බෝපේ විජේරත්න ඒ වැඬේට කැමත්තක් දැක්වූවේ නෑ.

‘ඇයි හාමුදුරුවනේ මගේ පින්තූර පත්තරයක දැම්මේ. මම මේ වැඬේ කළේ පත්තරවල පින්තූර දාගෙන ජනප‍්‍රිය වෙන්න නෙමෙයි, කුසල කර්මයක් කර ගත්තේ. මම මෙහෙම වැඩක් කරන විත්තිය කවුරුවත් දන්නෙත් නෑ. මගෙන් අහන්නේ නැතිව ඔබවහන්සේ පින්තූර පත්තරයක දැම්ම එක වැරදියි...’ බොපේ නොසෑහෙන්න මට දොස් කිව්වා. ඩොලර් පන්සියක මුදලක් වියදම් කරලා, ඊට දෙගුණයක් ශ‍්‍රමය කැප කරලා කරපු සද්ක‍්‍රියාව ගැන ප‍්‍රසිද්ධ කරනවටත් බොපේ අකැමැති වුණා. එහෙම ගුණයහපත් මිනිස්සු ඉන්නේ බොහෝම අඩුවෙන්. බොපේ ඒ මිනිසුන් අතර ඉදිරියෙන්ම සිටියා. ඔය කාලේ කැනඩාවේ ‘එක්ස් පෝ 67’ කියලා ප‍්‍රදර්ශනයක් සංවිධානය කරලා තිබුණා. ජෝර්ජියානේ රණසිංහ කියලා මහත්මයෙක් අවුකන බුදු පිළිමේ අනුරුවක් හදලා එම ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කරලා තිබුණා. එම පිළිමවහන්සේ නිර්මාණය කරලා තිබුණේ ලංකාවේ. ප‍්‍රදර්ශනය අවසාන වෙලා පිළිම වහන්සේ නැවත රැගෙන යන්න හදනකොට අපි කිව්වා වොෂින්ටන් විහාරයට එවන්න කියලා. එතකොට කැනඩාවේ ප‍්‍රදර්ශනය සංවිධාන කමිටුව, තව වසරක් පිළිම වහන්සේ එහි තැන්පත් කර තබන ලෙසට ඉල්ලීමක් කළා. පසුව ඒ අයගේම වියදමින් පිළිම වහන්සේ වොෂින්ටන් විහාරයට රැගෙනැවිත් දෙන බවටත් පොරොන්දු වුණා. පොරොන්දු වූ ආකාරයටම කාලය අවසාන වුණාට පස්සේ ගෞරවාන්විත ආකාරයට පිළිම වහන්සේ වොෂින්ටන් විහාරයට ගෙනත් භාරදුන්නා. ඒ පිළිමයත් අඩි දහයක් උසයි. වොෂින්ටන් විහාරය පිටුපසට වෙන්නට ශක්තිමත් ආසනයක් සකස් කර එහි තැන්පත් කොට ධර්ම ශාලාවේ අලූතින් ඉදි වූ රන් ආලේපිත බුද්ධ ප‍්‍රතිමාවයි දෙකම 1971 අවුරුද්දේ වෙසක් පෝය දවසේ විශාල උත්සවයක් පවත්වලා බැතිමතුන්ගේ වන්දනාමානයට නිරාවරණය කළා. එම උත්සවයේ ප‍්‍රධාන වුණේ ඇමරිකාවේ ප‍්‍රථම බෞද්ධ විහාරයේ ඉදිකරපු බුද්ධ ප‍්‍රතිමාව විවෘත කිරීම. ඒ වගේම එම උත්සවයට බෞද්ධ රටවල සියලූ තානාපති කාර්යාලවල ප‍්‍රධානීන්ට ආරාධනා කළා. මම පෞද්ගලිකව ඒ නිලධාරීන් මුණගැහිලා ආරාධනා කළා. මගේ ආරාධනාව පිළිගෙන ඒ තානාපති කාර්යාලවල සියලූම ප‍්‍රධානීන් උත්සවයට පැමිණ සිටියා. වොෂින්ටන් නගරාධිපති වොෂින්ටන් මහත්මයා පැමිණ සිටියා. වොෂින්ටන් පල්ලියේ ෆාදර් ඇවිත් හරවත් දේශනයක් පැවැත්වූවා. ඒ කතාවත්, වොෂින්ටන් නගරාධිපති කරපු කතාවේ කොටස් සහිතව ‘ඇමරිකාවේ ප‍්‍රථම බුද්ධ ප‍්‍රතිමාව විවෘත වුණා’ කියලා වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඇතුළුව පත්තර, සඟරා කිහිපයක එම ප‍්‍රවෘත්තිය පළ වුණා.

ඒ ප‍්‍රසිද්ධියත් එක්ක පිළිමවන්සේ නැරඹීමට පමණක් ඇමරිකානුවන් පෝලිමේ වොෂින්ටන් විහාරස්ථානයට එන්න පටන් ගත්තා. ඒ වගේම බෞද්ධ විහාරය තුළ නිර්මාණ වූ බුද්ධ ප‍්‍රතිමාවේ පුදුමාකාර ආකර්ෂණිය බවක් දිස් වුණා. ස්මිත්සෝනියම් කෞතුකාගාරයේ කැමරා ශිල්පිනියක් දවස් දෙකක් ඇවිත් ෆිල්ම් රෝල් දෙසීයක් විතර නාස්ති කරලා හොඳම පින්තූර කිහිපයක් අරගෙන ගියා. පස්සේ දවසක එම කෞතුකාගාරයෙන් හොඳම පින්තූරයක් තෝරාගෙන පෝස් කාඞ් එකක් විදිහට හදලා අපිටත් එවලා තිබුණා. ඒ පෝස්කාඞ් එක පිටපත් ගහලා පන්සලට එන බැතිමතුන් විශාල පිරිසකට අපි බෙදා දුන්නා. අපේ පන්සල පිළිවෙළකට අලංකාරවත් අයුරින් ගොඩනැෙඟන විට මට ඕන වුණා පන්සල ඉදිරිපිට ගඩොලෙන් තාප්පයක් බඳින්න.

ගඩොල්, සිමෙන්ති ගෙනත් මේසන් හැන්දක් අරගෙන මම බිත්තිය බැඳගෙන ගියා. එල්ලෙන ලඹ නෑ. මට්ටම් ලී නෑ. ගඩොල් තියලා සිමෙන්තියෙන් බිත්තිය බැඳගෙන ගියා. ටිකක් උසට බිත්තිය බැඳගෙන යනකොට පාරේ යන මිනිහෙක් වාහනය නතර කරගෙන බලා ඉඳලා මට ඇවිත් කිව්වා බිත්තිය ඇදයි කියලා. ඊට පස්සේ නැවත ඒ මනුස්සයා කාර් එකට ගිහින් ඉඩ තියෙන තැනකින් වාහනය නතර කර ඇවිත් මගේ අතේ තිබුණු මේසන් හැන්ද අරගෙන බිත්ති කෙළින් කරලා ලස්සනට හැදුවා. පැය ගාණක් ඒ මනුස්සයා මහන්සි වුණා. අපි දුන්නේ තේ එකක් විතරයි. ඊට පස්සේ මම ඇලූමිනියම් අකුරු ගෙනත් ‘බෞද්ධ විහාරය’ කියලා ඒ තාප්පයේ ගැහුවා. ඒ දැන්වීම් පුවරුව විවෘත කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සුරතින්. වොෂින්ටන් ප‍්‍රධාන පල්ලියේ ෆාදර්, තානාපතිවරු විශාල ආරාධිත අමුත්තන් පිරිසක් එම උත්සවයටත් සහභාගි වුණා. ඒ දිනවල බණ්ඩාරනායක මැතිනිය ඇමරිකාවේ සංචාරයක නිරත වෙමින් සිටියේ. එම සංචාරයේදී කිහිපවිටක්ම එතුමිය වොෂින්ටන් විහාරයට පැමිණ බුදුන් වැඳලා ගියා.

බෞද්ධ විහාරය ආරම්භ කරපු කාලේ ඉඳලා ලංකාවෙන් කවුරු වොෂින්ටන්වලට ගියත් අපේ පන්සලට ඇවිත් වන්දනාමාන කරලා යෑම සිරිතක් වෙලා තිබුණා. ඒ වගේම තායිලන්ත, වියට්නාම්, කම්බෝජ, බුරුම බැතිමතුන් විශාල වශයෙන් විහාරස්ථානයට පැමිණියා. ඇමරිකාවේ තැන, තැන මහායාන විහාරස්ථාන තිබුණට ථෙරවාදී බෞද්ධ විහාරයකට තිබුණේ මේ පන්සල විතරයි. බෞද්ධ, අබෞද්ධ ජනතාව මේ විහාරස්ථානයට පැමිණෙන්න විශේෂත්වය වුණේ ඒකයි. ඒ වගේම බෞද්ධ විහාරයට බැතිමතුන් වැඩි, වැඩියෙන් එනකොට ගල්, මුල් වැදුණු අවස්ථාත් එමට තිබුණා. බෞද්ධ විහාරය පිහිටා තිබුණු මාවතට මඳක් එපිට ප‍්‍රදේශවල ජීවත් වුණේ නරක මිනිස්සු. අපි පාරේ ඇවිදගෙන යනකොටත් ඒ සමහර මිනිස්සු ගල් ගැහුවා. කෑගැහුවා. නොඇසුණු ගාණට, නොවැදුණු ගාණට අපේ ගමන ගියා.

මම ඇමරිකාවට යනකොට සීතලට අඳින උණුසුම් කබා, සපත්තු කිසිම දෙයක් අරගෙන ගියේ නෑ. ඒ සේරම ඇඳුම්, පැළඳුම් ගෙනත් පූජා කළෙත් බෝපේ විජේරත්න. මගේ ජීවිතේට සපත්තු පළඳලා තිබුණේ නෑ. පුංචි කාලේ සෙරප්පුවක්වත් දාලා තිබුණේ නෑ. ධර්මදූත පිරිවනේ ඉගෙනගන්න කාලේ සෙරප්පු දැම්මේ නායක හාමුදුරුවන්ට හොරෙන්. ඒත් ඇමරිකාවේදී මට සපත්තු පළඳින්න වුණා. දෙපාවල ප‍්‍රමාණය දැනගෙන හිටියෙත් නෑ. සපත්තු පළිඳින්න කැමැති වුණේම නෑ. ඒත් සීතල දැඩි වෙනකොට සපත්තු පළඳින්න වුණා. මගේ ඇඟිලි තරමක් විහිදිලා තියෙන නිසා සපත්තු දැම්මට පස්සෙ නොසෑහෙන්න වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. සපත්තු පැළඳගෙන ඉන්නම බැරි වුණා. සමහර වෙලාවට ඇඟිලි හිරවෙලා, කැපිලා ලේ ගලනවා. මට පළඳින්න වුණේ කකුලට ගැළපෙන සපත්තු කුට්ටමක් නෙමෙයි. අන්තිමේ මට සපත්තු පැළඳීම මහ දුකක් වුණා. ඔහොම යනකොට දතේ කැක්කුමකට දන්ත වෛද්‍යවරයෙක් මුණගැසීමට බෙටෙස්තාවලට ගියා. එතකොට මගේ ලොකු අක්කත් බෙටෙස්තාවල නර්සින් හෝම් එකක රැකියාව කළේ. ඒ නිසා බෙටෙස්තාවලට යන්න මගේ පොඩි කැමැත්තක් තිබුණා. දතේ අමාරුවට අවස්ථා කිහිපයක්ම වෛද්‍යවරයා මුණගැහිලා ප‍්‍රතිකාර ගන්නත් වුණ. එක දවසක් වෛද්‍යවරයා මුණගැහෙන්න ගිහින් අක්කත් එක්කත් කතා බහ කරලා ඉන්නකොට මගේ වේලාව එන තෙක් ළඟ තිබුණු සපත්තු කඩයකට ගිහින් කකුළට ගැළපෙන සපත්තු දෙකක් තේරුවා. පැය එකහමාරක් විතර තෝරලා හොඳ සපත්තු කුට්ටමක් තෝරගත්තා. එදා තමයි මගේ දෙපාවල සයිස් එක දැනගත්තේ. ඒ සපත්තු කුට්ටම දෙපාවලට හොඳට ගැළපුණා. ඒ සපත්තු දෙක පළඳිනකම් මට ඉස්පාසුවක් තිබුණේ නෑ. පහුවදා උදේ ඇවිඳින්න යන්න සූදානම් වෙලා හරිම ආසාවෙන් සපත්තු කුට්ටම පළඳින්න ගත්තා. දාන්න බෑ. සපත්තු ඇතුළේ ටැග් එකක් තියෙනවා. ඒ ටැග් එක අපිට ගලවන්න බෑ. සාප්පුවෙන් සල්ලි ගෙවලා සපත්තු කුට්ටම
ගන්නකොට තමයි ඒ ටැග් එක ගලවන්න ඕනෑ. ඒ සාප්පුවේ අයකැමියේ හිටිය කෙනාට ටැග් එක ගලවන්න අමතක වෙලා. අන්තිමේ සපත්තු දෙක පළඳින්න තවත් මාසයක් ඉන්න වුණා. නැවත වෛද්‍යවරයා මුණගැහෙන්න ගිය අවස්ථාවේ සපත්තු සාප්පුවට ගිහින් තමයි ටැග් එක ගලව ගත්තේ. ඒ සපත්තු කුට්ටම තමයි මගේ කකුලට හරියටම ගැළපුණේ.

ඒ සපත්තු කුට්ටම පළඳින්න පටන්ගෙන මාසයක් විතර යනකොට, උපරතන උන්වහන්සේ වැඩසිටිය මේරිලන්ඞ් වීටන් විහාරස්ථානයේ උත්සවයකට සහභාගි වෙන්න වුණා. එදා ? මට ඒ විහාරස්ථානයේ නතර වෙන්න වුණා. පහුවදා උදේ එන්න සූදානම් වෙලා සපත්තු කුට්ටම පළඳින්න බලනකොට තියපු තැන සපත්තු කුට්ටම තිබුණේ නෑ. කවුරුහරි වැරැදීමකින් පැළඳගෙන ගිහින් ද කියලා හොයලා බැලූවා. වැඩිපුර සපත්තු කුට්ටමක් තිබුණෙත් නෑ. එතකොට මට හිතුණා කවුරුහරි සපත්තු කුට්ටම හොරකම් කරගෙන ගිහින් කියලා.

‘සපත්තු කුට්ටමක් නැති නිසා නේ හොරකම් කරගෙන යන්න ඇත්තේ...’ කියලා අරගෙන ගිය මනුස්සයා කෙරෙහි අනුකම්පා කරලා හිත හදාගත්තා. උපරතන හාමුදුරුවන්ගේ විහාරස්ථානයට මම ගියේ හිතවත් මහත්තයෙකුගේ මෝටර් රථයක. ඒ මහත්තයා මාව එක්කරගෙන යන්න නැවත විහාරස්ථානයට පැමිණි මොහොතේ වෙච්ච ඇබ්ද්දිය මම කිව්වා. ඒ මහත්තයා යන අතරතුරේ සපත්තු කඩයක් අසල වාහනය නතර කරලා මගේ කකුලට ගැළපෙන සපත්තු කුට්ටමක් අරගෙන දුන්නා. ඒ සපත්තු කුට්ටම හය මාසයක් විතර දැම්මා. එම සපත්තු කුට්ටම පැළඳගෙන පිටරටවලත් ගිහින් තියෙනවා. ඊට පස්සේ මගේ හිතවතුන් සයිස් එක අහගෙන අලූත්ම මාදිලියේ සපත්තු කුට්ටම් ගෙනත් දුන්නා. සීලතට අඳින ඇඳුම් කට්ටල පිටින් ගෙනත් දුන්නා. ඔය සන්දිය වෙනකොට මම වොෂින්ටන් විහාරයට ගිහින් අවුරුදු හයක් විතර වෙනවා. මේ වෙනකොට වොෂින්ටන් විහාරයට
දාන මාන ඇති වෙන්න ලැබෙනවා. එතකොට අපිට උයා, පියාගෙන කරදර වෙන්න වුණේ නෑ. ඒත් අපි අවුරුදු හයක් කඬේ ගිහින් බඩු ගෙනත් උයා පිහාගත්තා. වත්ත සුද්ද කරනවා. තණකොළ කපනවා. ධර්ම ප‍්‍රචාරයට ලිපි ලියලා ටයිප් කරලා, ප‍්‍රින්ට් කරලා පොත් බැඳලා අපේ දායකයන්ට තැපැල් කරනවා. සමහර අවස්ථාවලදී බොපේ ඇවිත් මට උදව් උපකාර කළා. ඒ සේරම වැඩ කරගෙන ඉරිදා පූජාවේදී බණ දේශනාවක් කළෙත් මමයි.

එතකොට අපි බෞද්ධ විහාරයේ පුස්තකාලයකුත් විවෘත කරලා තිබුණේ. පුස්තකාලයේ රාක්ක හදන්න හැකින්ජර් එකෙන් ලෑලි අරගෙන පන්සලට වෙනකම් මම කර තියාගෙන ගියා. එතකොට වාහන නෑ. කුලී ලොරිවල පටවගෙන එන්න සල්ලි තිබුණේ නෑ. ඒ ලෑලි තුන්වැනි තට්ටුවට කරතියාගෙන ගියෙත් මමයි. වඩු කාර්මිකයෙක් ගෙනත් රාක්ක හදලා ලස්සනට අලංකාර පුස්තකාලයක් හැදුවා...



මතු සම්බන්ධයි

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles