Divaina - කහ පාටින් හොඳි කන දවස ඈතට යයිද...? දේශීය කහ තුළ කර්කියුමින් උපරිමයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කහ ආනයනය නවත්වන්න රටට නිදහස ලැබෙන්නත් පෙර සිටම සිහින දැකලා....


* හදිස්සියේ ලපටි කහ ගැලෙව්වොත් ස්වයංපෝෂණය  කල් යාවි
* ඩයි එකක් පමණක් නොවේ, සිරුර තුළත් ලොකු වැඩක් කරනවා
* ගම්මිරිස් එක්ක එකතු වුණොත් සිරුර තුළට පහසුවෙන් ඇතුල්වෙනවා

ad
සමාජ මාධ්‍යජාල අතර සංසරණය වෙමින් තිබියදී මා හට පසුගියදා දකින්නට ලැබුනේ අපූරු දැන්වීමකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් එය මුද්‍රණය කර ප‍්‍රසිද්ධකර තිබුණේ 1941 අවුරුද්දේ මුල් භාගයේදීය. දැන්වීමක් කිව්වාට ඇත්තටම එය ජනතාවට කළ ආරාධනාවක් විය. කෘෂිකර්ම ප‍්‍රදර්ශනයක් නරඹන්නට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට පැමිණෙන ලෙසට කළ ඇරයුමකි ඒ. 1941 අපේ‍්‍රල් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වෙන එම ප‍්‍රදර්ශනයේදී ඉඟුරු සහ කහ වියළා සකස්කරනා ආකාරය ගැන පුහුණුවක් ලබා දෙන බවත් ප‍්‍රදර්ශනයේ අදහස් ලැයිස්තුවේ අංක 7 යටතේ සඳහන් කර ඇත. වඩාත්ම සිත්ගන්නා සුළු ප‍්‍රකාශය වන්නේ දැන්වීමේ අවසාන වැකියයි. ‘‘ඉඟුරු සහ කහ ගෙන්වීමට මුදල් පිටරට නොයවමු” යනුවෙන් එහි ලියා තිබේ. කරුණු එසේනම් ඉඟුරු සහ කහ ආනයනය කිරීමට මුදල් වැයකිරීම යන හිතේ අමාරුව, බොහොම පැරණි නිදන්ගත රෝගයක් බව පැහැදිලිය. සුළු කාලයක් නොව වසර 80 ක් පමණ තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පවා සම්පේ‍්‍රෂණය වෙමින් පැමිණි පැරණි රෝගයකි. නිසි බෙහෙතක් නොලද බැවින් ඔඩුදුවන ලද මේ අසනීපයට ප‍්‍රතිකාර කරන්න පටන් ගත්තේ මෑතකදීය. ඉඟුරු කෙසේ වෙතත් කහ ආනයනය වෙනුවෙන් ප‍්‍රතිකාර අරඹා තවම ගතවූයේ අවුරුද්දකි. පිටරට ගොවියා වෙතට සිදුවන මේ මුදල් ගලනය නතර කිරීම සඳහාවූ පිළියම වශයෙන් කළයුතු දෑ නිවැරදිව තේරුම්ගත් වත්මන් රජය කහ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී. සුළුවෙන් භාවිතා වුවත් අවශ්‍යතාවය කෙතරම්දැයි ඇඟට දැනෙන්නට පටන්ගත්තේද එවිටය. කෝටි ගණන් වටිනා කහ තොග ඉන්දියාවෙන් ගෙනවිත් හොර රහසේම මෙහි  ගොඩබාන්නට පටන් ගත්තේත් ඒ නිසාය.

පසුගිය වසරේ මුල් භාගයේදී මෙරට වැවිය හැකි යැයි පිළිගත් බෝග වර්ග දහසයකට රජය මගින් යම් තරමකට ආනයන සීමා පණවන ලදී. එතැන අන්තර්ගත වූ සුදුලූනු ගැන නම් විද්වත් ප‍්‍රජාව අතරද යම් මතභේදාත්මක තත්ත්වයක් නැතුවාද නොවේ. ලංකාවේ සුදුලූනු වැවිය හැක්කේ එයටම අනුකූල වෙන පාරිසරික තත්වයන් සහිත ඉතා සීමිත ප‍්‍රදේශයක වීම මීට හේතුවයි. විදේශීය ප‍්‍රභේද පවා ගෙනැවිත් සුදුලූනු  වගාවේ ප‍්‍රවර්ධනයක් කරන්නට මීට දශක හතරකට පමණ එපිටදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පර්යේෂණ පවා පවත්වමින් උත්සාහ දරා තිබේ. බණ්ඩාරවෙල කහගොල්ල, රහංගල වැනි ප‍්‍රදේශ පාදකව සේවය කරමින් ඒවාට උරදුන් නිලධාරීන්ද බොහෝ දෙනෙක් දැන් මියපරලොව ගොසිනි. එහෙත් ඔවුන් විසින් ලියූ වාර්තා නම් තවමත් සොයාගන්නට තිබේ. එපමණක් නොව එකළ විදෙස් රටවලින් හඳුන්වාදුන් ඇතැම් සුදුලූනු ප‍්‍රභේද ගොවීන් විසින්ම තෝරාගෙන සුළු ප‍්‍රමාණවලින් වගාකරන්නට පුරුදුවී සිටි බව එම වාර්තාවල ලියැවී තිබේ. අදටත් කැප්පෙටිපොල, වැලිමඩ වැනි ප‍්‍රදේශයන්හි මෙවැනි වගා කීපයක් දකින්නට පුළුවන. එහෙත් ඒ කුඩා ප‍්‍රමාණයන්ගෙනි. මෙම ප‍්‍රභේදයන් සැර සුවඳකින් යුක්ත අඩු අස්වැන්නක් ලබාදෙන ප‍්‍රභේදයන් වනවාට අමතරව එම පරිසරයෙන් ඔබ්බට ඒවාට වගා විභවයක්ද නැත. මේ නිසා රතු පරිප්පු සේම සුදුලූනුද පාරිභෝජනය කරන්නේ නම්, ඉදිරියටත් ඒවා පිටරටින් ගෙන්වාගෙනම කෑ යුතුවේ. රතු පරිප්පු වෙනුවෙන් ඇතැම් දේශීය විකල්ප ආහාර බෝග යෝජනා වී තිබුණත් සුදුලූනු සඳහා විකල්පයක් නම් පෙනෙනතෙක් මානයේවත් නැත.

ඉහත සඳහන් කළ පරිදි සීමා පණවන ලද බෝග අතර පිහිටි උඳු සහ කහ යන දෙවර්ගය සඳහා නම් ආනයන නීති හොඳටම තද විය. උඳු බෝගය වපුරා මාස තුන හතරකින් අස්වැන්න ගත හැකිවුවත් කහ සිටුවා අල ගැලවීමට අවුරුද්දකට ආසන්න කාලයක් ගතවන්නේය. මේ නිසා පසුගිය වසරේ වැඩි කාලයක් මුළුල්ලේ ජනතාවට කන්නට කහ තිබුණේ නැත. සුළුවෙන් භාවිතා කෙරුවත්, තම කෑමවේලට මෙහි අවශ්‍යතාවය වැඩි වැඩියෙන් ජනතාවට දැනුනේ වෙළෙඳපොළේ කහකුඩු හිඟ වෙද්දීය. සුවඳ එන්නට කහ කැබැල්ලක්ද දමා, කහ පරිප්පු, හාල්පිටි ආදිය අඹරා මදිපාඩුවට රෙදි පාටකරන ඩයි ටිකකුත් දමා කහකුඩු මවන ස්ථාන කීපයක්ද බලධාරීන් විසින් වටලනු ලැබූ බවට වාර්තාද පළවුණි. තත්ත්වය මැනෙවින් කියවා බැලූ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීය කහ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සාර්ථක වැඩසටහනක් දියත් කරනු ලැබීය. ගෙවතු මට්ටමේ පමණක් නොව, හිස් පොහොර උර දෙකක් යොදා සාදාගන්නා බඳුන් දෙකක කහ පැල තුනක් බැගින් සිටුවා ගන්නේ නම් හතර දෙනකුගෙන් යුත් පවුලකට අවුරුද්දටම කන්නට කහ සාදා ගතහැකි බව ඔවුහු ජනමාධ්‍ය ඔස්සේ පවා පෙන්වා දුන්හ. රජයේ තීරණය නිසා මතුවූ කහ හිඟය ආශීර්වාදයක් වන බව ඇස් පනාපිටම පෙනෙන්නට විය. 1941 දී සුද්දාගේ පාලන කාලයේ සිටම මෙරට ජනතාවට කළ ආයාචනයෙන් කොටසක්වත් මල්ඵල ගන්නේය යන බලාපොරොත්තුව දලූ ලියලා වැඩෙමින් තිබේ. අපේ කහ සිහිනය සැබෑවෙන්නේ කවදාද? අප ඒ පිළිබඳව විමසුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කහ වගාව පිළිබඳව පර්යේෂණ හා ප‍්‍රවර්ධන වගකීම උසුලන විද්වතෙක්ගෙන්ය. ප‍්‍රසාද් ඉඩමේකෝරාල වන හෙතෙම මාතලේ පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වේ.

sd25 28 1”පසුගිය යල කන්නයේදී රටේ ජනතාව වැඩි උනන්දුවකින් කහ වගාකළ බව ඇත්ත. ගෙවතු මට්ටමෙනුත් හොඳ උනන්දුවක් තිබුණි. මේ වගාවේ අස්වැන්න එන්නේ මේ පෙබරවාරියේදී පමණය. ඒ අස්වැන්නත් සම්පූර්ණයෙන්ම පාරිභෝජනය කරන්න අපට ඉඩ නෑ. එයින් සැලකිය යුතු කොටසක් බීජ ලෙස වෙන්කරගෙන 2021 අපේ‍්‍රල් ඇරඹෙන යලට හිටවන්න වෙනවා. ඒවා

ගැළවෙන්නේ 2022 මේ කාලෙට. අන්න එතකොට නම් අපේ දේශීය අවශ්‍යතාවය සම්පූර්ණ වෙයි. ගෘහාශ‍්‍රිත වගාවක අස්වැන්නකුත් මේකට එකතු වෙනවනේ.”

හිටෙව්වානම් දැන් තියෙන්නේ ගලවාගෙන කෑම පමණකැයි අප සිතා සිටියාට විද්වත් සැලසුම ඊට වඩා ක‍්‍රමානුකූල බව පෙනේ. දේශීය වියළි කහ අවශ්‍යතාවය වාර්ෂිකව ටොන් 7000 ක් පමණය. 1941 සිට පෝස්ටර් ගසා තිබුණත් මේ වනතෙක් අප නිෂ්පාදනය කර තිබුණේ මෙයින් තුනෙන් පංගුවක් පමණ ප‍්‍රමාණයකි. ඉතිරිය පිටරටිනි. වර්තමාන රජය යටතේ කහ ආනයනය තහනම් කරනවිට ඉන්දීය ගොවියා කුලප්පුවී කෑ ගසනවා යැයි අපට පසුගියදා අසන්නට ලැබුනේද මේ නිසාය. එහෙන් ගෙනා කහ වුණත් මෙහෙන් ගලවනා කහ තරම් කහපාට නැත. මෙහි ඇති කහපාට සංයෝගය හඳුන්වන්නේ කර්කියුමින් ලෙසයි. ඉන්දීය කහවල කර්කියුමින් තිබෙන්නේ 3% ක් පමණ සුළු ප‍්‍රමාණයක් වුවත් මෙරට ඇතැම් ප‍්‍රදේශවල වවන කහවල 7% ක පමණ කර්කියුමින් ප‍්‍රමාණයක් තිබේ. මෙම දීප්තිමත් භාවය නිසා අපේ කහ වලට යුරෝපීය රටවලින් හා ජපානයෙන් හොඳ ඉල්ලූමක්ද ඇත්තේය. ඒ නිසා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්වත් මතයට කීකරුවෙමින් හා ඉවසීම ප‍්‍රගුණ කරමින් 2022 මුල් භාගයේදී කහ වලින් ස්වයංපෝෂණය වෙන්නටත්, ඉන් ඔබ්බට තවදුරටත් කහ වගාව ව්‍යාපාරික මට්ටමක් දක්වා ගෙනගොස්, එය අපනයන බෝගයක් බවට පත්කර ගන්නටත් අඩිතාලම දමාගන්නට මේ උදාවී ඇත්තේ කදිම අවස්ථාවකි. නමුත් අපගේ ස්වයංපෝෂණ ඉලක්කයන් එහා මෙහා වියහැකි සිදුවීම්ද දකින්නට නොතිබුණා නොවේ. අප එසේ කියන්නේ නොවැම්බර් මාසයේ අග භාගයේ සිටම මහාමාර්ග අයිනේ පවා අමුකහ ගොඩගසාගෙන විකුණනවා දුටු බැවිනි. කොවිඞ් පැතිරීමට සමගාමීව මහමග අයිනේ වෙළෙඳාමේ සංස්කෘතියද සරුවට ව්‍යාප්ත වී ගියේය. පළමු රැුල්ල සමයේදී බිත්තර පමණක් නොව ඇතැම් තැන්වල කුකුල්මස්ද පාර අයිනේ අලෙවි විය. මේ වන විට අමුකහ තොග පවා පාර අයිනට පැමිණ තිබේ.

sd26 2”ඒ දවස්වල ගලවල තිබ්බේ නොමේරූ කහ. නියම තරමට පසුගිය වගාව මෝරන්න නම් ජනවාරි අග හෝ පෙබරවාරි මුල විය යුතුයි. වගාකරුවෝ හදිස්සියට ලපටි කහ ගලවලා කිලෝව රුපියල් 700 ක් වගේ ගණනකට විකුණුවා පාර අයිනේ දාගෙන. අපේ සැලසුමට ලොකු හානියක් තමයි සිද්ධ වුණේ”

ප‍්‍රසාද් මහතා කතාකරන්නේ කනස්සල්ලෙනි. ඔහු පෙන්වාදෙන ආකාරයට මෙම නොමේරු කහවලින් නියම ගුණාත්මක කහ නිපදවන්නට බැරිය. සාමාන්‍යයෙන් වියළි කහ කිලෝවක් හදන්නට අමුකහ කිලෝ හයක් පමණ වුවමනා වුවත්, මේ ලපටි කහ නම් කිලෝ  10ක් පමණ අවශ්‍යය. ගානට මෝරා නැති බැවින් එසේ ලැබෙන කහකුඩුවල නියම පාටද නැත. බරපතළම අපරාධය වන්නේ මෙම ලපටි කහ, බීජ අල ලෙස භාවිතා කරන්නටද නොහැකි වීමයි. 2021 යල කන්නයට සිටුවන්නට සැලසුම් කරගත් වපසරිය මේ හමුවේ අඩුවී ගියහොත් අපගේ අනාගත කහ සිහිනය බොඳවී කළුවී යන්නේය. 2022 වසරේදීත් කිරිහොදි කන්නට සිදුවන්නේ සුදු පාටටය.

කෑමට ගන්නවාට අමතර යමක් කහ වලින් ලබාගන්නටත් ආසියාතිකයන් පුරුදු වී තිබුණේ අද ඊයේ නොවේ. ක‍්‍රිස්තු පූර්ව 3000 දී පවා ඉන්දියාවේ කහ වගාකර ඇති බවට තොරතුරු දකින්නට ඇත. එහි ඖෂධීය ගුණය ක‍්‍රිස්තු පූර්ව 250 දීද හඳුනාගත් බවට පවා සාක්ෂි තිබේ. ඊශ‍්‍රායලයේ කෘෂිකර්ම සංවිධානයේ ආචාර්ය වික්ටර් රොඩොව් පවසන ආකාරයට නූතන සමාජයට දැඩි අවශ්‍යතාවයක්ව පවතින ‘හරිත’ ආහාර සංරක්ෂකයක් වශයෙන් කහ වලට කළ හැක්කේ අමිල මෙහෙවරකි. සංරක්ෂකයක් යනු ආහාර කල්තබා ගැනීම සඳහා එකතුකරන ද්‍රව්‍යයකි. ඔහුගේ ගණනය කිරීම්වලට අනුව ලෝකයේ නිපදවන ආහාරවලට ක්ෂුද්‍රජීවීන් එකතුවීම නිසා ඍණ ආචරණ දෙකක් ඇතිවෙන්නේය. එකක් නම් ආහාර නරක්වී විනාශවී යෑමයි. ලොව සමස්ත ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් පංගුවක ඉරණම එවන් අවසානයකි. අනෙක් අහිතකර සිදුවීම නම්, හානිකර ක්ෂුද්‍රජීවීන් ආහාරයට මුසුවීමෙන් ආහාර පනම්වූ රෝගාබාධ රැුසකට මුහුණදීමට අපට සිදුවීමයි. වසරකට මෙවැනි රෝග නිසා 420000 ක ජනතාවක් ලොවපුරා මරණයට පත්වේ. ආහාර ආරක්ෂණ ක‍්‍රමවේදයන් වැඩි වැඩියෙන් සමාජය තුළ පැතිරී යන්නේ මේ තත්ත්වය යම් තරමකින් හෝ සමනය කරගැනීමටය. ශීත කිරීම පහසු මෙන්ම සාර්ථක ක‍්‍රමවේදයක් වුවත් සිසිලස විඳදරා ගතහැකි ක්ෂුද්‍රජීවීන්ට ඉන් බාධාවක් නැත. ඒ නිසා පැස්ටරීකරණය, විවිධ රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම ආදියට සමාජය නැඹුරුවී තිබේ. නමුත් රසායන ද්‍රව්‍ය යොදා වැඬේ කරනවාට දන්නා කියන අය වැඩිපුර කැමති වන්නේත් නැත. වස විෂ මාතෘකාව වුවමනාවටත් වඩා වැඩියෙන් ඇතැම් තැන්වලින් එළියට පැන ඇති බැවිනි. අනෙක් අතට රසායන ද්‍රව්‍ය එකතු කළවිට ආහාරයේ තිබිය යුතු ස්වභාවක ගතිගුණ පවා ඇතැම්විට වෙනස්වීමත්, විෂ ද්‍රව්‍යයන්ගේ මාත‍්‍රා සුළුවෙන් හෝ සමූහගතවීමත් සිදු නොවන්නේ යැයි සහතික කරන්නට කෙනෙක්ද නැත. මේ නිසා බොහෝ දෙනා යොමුවන්නේ පාරිභෝගික හිතකාමී ස්වභාවික ආහාර සංරක්ෂක ද්‍රව්‍ය වෙතටයි. ‘හරිත’ සංරක්ෂක ලෙස නමකුත් හදාගෙන ඇත්තේ මේවා වෙනුවෙන්ය. පාට කහ වුණත් හරිත සංරක්ෂක චරිතයට පණ දෙන්නට වුවමනාවටත් වඩා සුදුසුකම් කහ වලට තිබේ. මෙහි ඇති කර්කියුමින් ගැන ලොවෙහි අවදානය යොමුවන්නේ මෙවන් පසුබිමකයි. දකුණුදිග ආසියාතිකයන් වන අපි විෂබීජ නාශකයක් ලෙස අවට පරිසරයට කහ දියර ඉසින්නටත්, යමක් පිරිසිදුව සෝදා ගන්නට කහවතුර යොදාගන්නටත් පුරුදු වූයේ අද ඊයේ නොවේ. ආයුර්වේදයේ හා චීන වෙදකමේදී වන, දද, කුෂ්ඨ ආදී තුවාල ප‍්‍රතිකාර සඳහාත්, ප‍්‍රදාහ තත්ත්වයන්, පිළිකා යනාදිය සමනය කිරීම සඳහාත් කර්කියුමින් භාවිතය ඉතිහාසගත තොරතුරකි. කහ පඳුරට ඇති පිළිගැනීම ලොව පුරා කෙතරම් වේගයෙන් පැතිරෙනවාද කියනවා නම් 80 දශකයේ මුල් භාගයේදී වසරකට 100-150 ක් පමණ ලියවෙමින් ඇරඹුණු කහ ගැන සඳහන් පර්යේෂණ පත‍්‍රිකා ගණන, 2017 වසර වන විට 21000 ක් තරම් සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී තිබුණි.

ගොවීන්ව උසිගන්වමින් කුමක් හෝ මායාවක් පිටුපස හඹා යන්නට සලස්වා තමාගේ යටිහිතේ තිබෙන වෙනත් අභිමතාර්ථයක් මුදුන්පත් කරගන්නට උත්සාහ කරන අවස්ථාවාදීන්ගෙන්ද අපට අග හිඟයක් නැත. නොවැම්බරයේ සිටම අඩු වයසෙන් හෝ කහ ටික ගලවා විකුණාගන්නට දඟලන ජනතාවට සත්‍ය තත්ත්වය පහදා දෙනවා වෙනුවට මෙම පාර්ශ්වයන් වෙතින් ප‍්‍රචාරය කරනවා ඇසුනේ කහ වවන්න කීවාට ඒවා තම්බා වේලාගන්නා ආකාරය කියා නොදුන්නේය යන නෝක්කාඩුවකි. එයද සත්‍යයෙන් තොරය. මෙවර ගලවාගන්නා මුළු කහ තොගයම වේලා කුඩුකරන සැලැස්මක් විද්වතුන් අතර නොතිබුනත්, පාරිභෝජන කෝටාවවත් පිළිවෙළකට තම්බා වේලා, සකස් කිරීමේ ක‍්‍රමවේදය යල කන්නයේ කහ සිටුවීම ඇරඹුණු දා පටන්ම අප විසින්ද ඇති තරමට ප‍්‍රචාරය කරන ලදී. එතරම් සංකීර්ණ ක‍්‍රමවේදයක් එතැන තිබුණේද නැත. කළයුතු වූයේ සෝදා පිරිසිදු කරගත් අමුකහ, මෙලෙක් වෙන තරමට විනාඩි 30 ක් පමණ ජලයේ බහා තැම්බීම පමණි. කහ කැබැල්ල දෙකට කඩා දෙපසට අදිනා විට නූල් ඇදෙන තත්ත්වයක් වැන්නක් පෙනෙන්නේනම් හෝ සිහින් කූරක් පහසුවෙන් කහ කැබැල්ල තුළට ගිල්විය හැකිනම් හෝ ප‍්‍රමාණවත් තරමකට තැම්බී තිබෙන බව තීරණය කිරීමට එය හොඳටම ප‍්‍රමාණවත්ය. අනතුරුව මඳ පවනේ දින දෙක තුනක් වේලාගැනීමෙන් පසු තද හිරුරැුස් යටතේ අවශ්‍ය තරමට වේලාගත හැකි අතර යහපත් පරිසරික තත්ත්වයක් පවතින්නේ නම් දින 10 කින් පමණ වියළීම අවසන් කරගත හැකිවේ.

අස්වැන්න ලැබෙන්නටත් කලින් වුවද, කහ සැකසීමේ ක‍්‍රමවේදයන් අප විසින් කෙතරම් සක‍්‍රීයව ප‍්‍රචාරය කෙරුවාද කියනවා නම් මෙරට තිබුණු කහ උණුසුම විදෙස්ගතව වෙසෙන ලාංකිකයන්ටද තරමක් දැනී තිබුණි. දශක තුනකටත් වඩා කාලයක් එක්සත් ජනපදය තම වාසස්ථානය කරගෙන ජීවත්වන මගේ හිතවතෙක් විමසා තිබුණේ තැම්බීම අත්‍යවශයෙන්ම කළයුතුද යන්නයි. තම ගෙවත්තේ වවන කහ, වියලූම් යන්ත‍්‍රයක දමා වේලා ඉතා පහසුවෙන් වියළා කුඩුකරගන්නා බවත්, තැම්බීම පසුපස කිසියම් රහසක් ඇති දැයි සොයාබලනා ලෙසත් හෙතෙම දන්වා එවා තිබිණි. නැවතත් මා යොමුවූයේ විද්වතුන් සිටිනා ඉසව්වටය. නමුත් මෙවර සම්බන්ධ කරගත්තේ ආහාර තාක්ෂණය පිළිබඳ හසලයෙකි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ පර්යේෂණායතනයේ පසු අස්වනු තාක්ෂණ අංශයේ අංශ ප‍්‍රධානී, සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ* තුෂාරි ලියනගේ මහත්මිය සතුව, තම්බා වියළීමේ වාසිය පැහැදිලි කිරීමට සාධාරණ පිළිතුරක් තිබිණ.

”නොතම්බා වුණත් කහ වියලන්න හා කුඩුකරන්න පුළුවන්. අපි ඩයි එකක් හැටියට කහ භාවිතා කරනවානම් එහෙම කෙරුවාට කමක් නෑ. ඒත් ඊට වඩා යමක් ව්‍යංජන වලට දමන කහ වලින් අපිට ගන්න පුළුවන්. ලෝකය පුරා පර්යේෂණ කරලා තියෙනවා කහ වල තිබෙන ප‍්‍රධාන සංයෝගය වන කර්කියුමින් පිළිබඳව. එය ඩයි එකක් වෙනවාට අමතරව ප‍්‍රතිඔක්සිකාරකයක්, ප‍්‍රතිප‍්‍රදාහ සංයෝගයක් හැටියට මිනිස් සිරුර තුළ ලොකු වැඩකොටසක් කරන බව සනාථ වෙලා තියෙනවා. මේ අනුව ඇඟ ඇතුළේදී කර්කියුමින් මුක්ත ඛණ්ඩ සමග සටන් කර ඒවා උදාසීන කරනවා. පිළිකා, හදවත් රෝග ආදිය මේ නිසා මගහැරෙන්න පුළුවන්. ප‍්‍රශ්නය තියෙන්නේ කහ තුළ තිබෙන සුළු කර්කියුමින් ප‍්‍රමාණය අපතේ නොයවා සිරුරට අවශෝෂණය කරගැනීමට නිසි පරිසරයක් සකස්කර දිය යුතු වීමයි. කර්කියුමින් අණුවට තියෙන්නේ ලොකු ව්‍යුහයක්. වතුරේ ද්‍රාව්‍යතාවයත් අඩුයි. කහ රයිසෝමයේ මැද හරියේ ස්ථානගතවෙලා තිබෙන කර්කියුමින්, තැම්බීමේදී සිදුවෙන සරල බිඳවැටීම නිසා සමාකාරව පටක පුරා විසිරෙනවා. ඒ වගේම අනුක ව්‍යුහයේ ප‍්‍රතිසැකසීමක් වෙලා සිරුරට උරාගත හැකි තත්ත්වයකට පත්වෙනවා. තම්බලා වේලන එකේ වාසිය ඇත්තේ එතනයි. තැම්බූ පසු වියළීමට ගතවන කාලයත් අඩුයි. තම්බා වේලූ කහ, කුඩු කිරීමත් පහසුයි. ඒ තවත් වාසියක්”

අපගේ පැරැුන්නන් කහ වියළීමට පෙර තැම්බීම අනුගමනය කෙරුවේ මෙම ප‍්‍රතිලාභයන් පිළිබඳව තිබූ අවබෝධය නිසා විය හැකිය. කෙසේ වෙතත් කල්යෑමේදී සිරිත පමණක් ඉදිරියට පැමිණියත් සිරිතට හේතුව නිසියාකාරව පරම්පරාගතව සම්පේ‍්‍රෂණය වී නැති බව පෙනෙන්නේය. දැන් ඒ බව දැනගන්නට ලැබෙන්නේ විද්‍යාත්මක පර්යේෂණයන්ගෙනි. බොහෝ විට කහ තුළ කර්කියුමීන් ඇත්තේ 3% ක පමණ සුළු ප‍්‍රමාණයකින්ය. එසේ නමුත් මෙරට ඇතැම් ප‍්‍රදේශයන්හි වවනු ලබන කහ තුළ 7% ක් පමණ අගයක් දක්වා කර්කියුමින් අන්තර්ගත වන බව වාර්තා වී තිබේ. ඒවා අපනයනය අතින්ද වැඩි වටිනාකමක් දරයි. කර්කියුමින් ශරීරයට උරාගැනීම දිරිමත් කරන තවත් තත්ත්වයන් ගැනද තුෂාරි මහත්මිය පෙන්වා දෙන්නීය. කළු ගම්මිරිස් වල තිබෙන සංයෝගයක් වූ පයිපරීන් සමග එකතු වූ විට කර්කියුමින් අවශෝෂණය ඉතා විශාල ලෙස ඉහළ යන බව පවසන පර්යේෂණ වාර්තා ඇති බව ඇය පවසා සිටී. මීට අමතරව ජලයේ අඩුවෙන් දියවෙන කර්කියුමින්, තෙල් වර්ග තුළ ඊට වඩා දියවීමෙන්ද සිරුර තුළට උරාගැනීම තවදුරටත් තහවුරුවනු ඇත. එසේනම්, ගම්මිරිස් මාත‍්‍රාවකුත් සහිතව කිරට පිසින ව්‍යංජනයකට දැමූ කහකුඩු ඇබිත්තට ශරීර සුවතාවය සම්බන්ධයෙන් ඇත්තේ, කුස පුරවන බත්පතට නොදෙවෙනි වගකීමකි. අපට උරුමව තිබෙන දේශීය කෑම රටාව හරහා මෙවැනි ප‍්‍රතිලාභයන්හි ආශ්වාදය විඳින්නට අපව පුරුදු පුහුණු කර ඇත්තේ බොහොම කලකට පෙරාතුවය. දන්නා නොදන්නා හැමතැනකටම ‘දේශීය’ යන පදය පටලවාගෙන කෙරෙන වචන හරඹයට වඩා, දේශීය සිරිතේ සැඟවුණු මෙවන් විද්‍යාත්මක පසුබිම විමසා බලන්නට කවුරු කවුරුත් උනන්දු වන්නේ නම්, දේශීයත්වයත් සමග මේ වන විට අප බොහෝ දුර ගමනක් ගොසින්ද අවසානය.

* සනත් එම්. බණ්ඩාර

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles