Divaina - මගෙ තාත්තත් දෙමළ, මාත් දෙමළ... ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂක නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

dharma555
 
 
ධර්මසිරි බණ්ඩාරනායක 70 දශකයේ අග භාගයේදී අපේ සිනමාවට පිවිසි හිතුවක්කාරයෙකි. වසන්ත ඔබේසේකර, පරාක‍්‍රම සිල්වා, තිස්ස අබේසේකර හා ධර්මසිරි ද මේ හිතුවක්කාර කල්ලියේ ප‍්‍රමුඛයෝ වූහ. ඔවුහු ඇත්තටම සිංහල සිනමාවේ විෂය ක්‍ෂේත‍්‍රය දශමය දශමය හෝ පුළුල් කළ බව සැබෑවකි.
 
ධර්මසිරි මේ අය අතරින්ද විශේෂ කෙනෙකි. ඒ ඔහු නාට්‍ය ලෝකයේද පෙරළිකාරයකු බැවිනි. ‘ඒකාධිපති’, ‘ධවල භීෂණ’, ‘මකරාක්‍ෂයා’, ‘ට්‍රෝජන් අශ්වයෝ’ හරහා මිනිස්කම මානව දයා කුළු ගැන්වීම උදෙසා මේ නාට්‍ය වැල අතිශය මෙහෙයක් කළේය. ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය ‘තුන්වෙනි යාමය’ අපේ සිනමාවේ වෙනසක් සනිටුහන් කළ නිර්මාණයකි. ඔහුගේ හංස විලක්, සුද්දිලාගේ කතාව, බව දුක, බව කර්ම සිනමා නිර්මාණද වෙනස් මඟක්ම ගත්තේ පේ‍්‍රක්‍ෂකයන් ඒ නිර්මාණ මත රොද බඳවමිනි.
 
 ශ‍්‍රී ලාංකේය කලාවට, නාට්‍ය ක්‍ෂේත‍්‍රයට, සිනමාවට එසේම ශ‍්‍රී ලාංකේය සමාජ ප‍්‍රගමනය උදෙසා කරන ලද සුවිශාල සේවාව වෙනුවෙන් ලන්ඩන් නුවරදී මැන්චෙස්ටර් සරසවියෙන් ආචාර්ය උපාධිය ලැබීමට මේ කලාකරුවා මේ මොහොතේ සූදානම්ව සිටී. එම සරසරවියේ ජේම්ස් තොම්සන් උප කුලපතිවරයා හා දෙමළ මහාචාර්යවරුන් රැුසක් මේ ආචාර්ය උපාධිය එතුමා සඳහා නිර්දේශ කර තිබේ. මීට පෙර ධර්මසිරිට අමෙරිකාවේ පුරවැසිභාවයද පිරිනමා ඇත්තේය.
 
 * විඳීම හා දරා ගැනීම
 
 ‘‘ශ‍්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් කලා මෙහෙවරක් කරමින් ඇත්තටම මට ලැබුණේ මගේ අම්මා තාත්තා මා ගොඩනගා ඇති පසුබිම තුළයි. ඕනෑම දෙයක් විඳගන්න දරාගන්න ඔවුන් මට උගැන්නුවේ නැත්නම් මට මේ තරම් දුරක් එන්න බෑ. ඒ අහිංසක තාත්තා හා අම්මා මට මේ මොහොතේ සිහිපත් වෙනවා. ඒ වෙලාවෙම මගෙ තාත්තා ගැන කතා කරන්න ලැබීමත් සතුටක්.’’ එසේ කියමින් අද දිවයින ‘අපේ තාත්තා’ මණ්ඩපයට ගොඩවදින්නේ ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකය.
 
 * ඔරලෝසු අලූත්වැඩියාව
 
 ‘‘මගේ තාත්තාගේ නම බණ්ඩාරනායක කළුකපුගේ කරුණාරත්න පේ‍්‍රරා. මුලින්ම අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක්. පසු කාලයක ඔරලෝසු අලූත්වැඩියා කරන්නෙක්. කිරිබත්ගොඩ තමයි එතුමාගේ උපන් නගරය. ඒත් අපේ ඥාතීන් ජීවත්වූයේ තලවතුහේන්පිට දකුණ ප‍්‍රදේශයේ. අම්මා ගමගේ විමලාවතී පෙරේරා. වෑවිට බණ්ඩාරගම ඇගෙ ගම. අම්මගේ පියා අපේ සීය වංශවත් ව්‍යාපාරිකයෙක්. එතුමා කළේ පාරු වෙළෙඳාම. කළුගෙඟ් අත්තක සිට කැලණිය, මීගමුව, පුත්තලම කලපුව දක්වා යන පාරු සීයාට තිබුණා.
 
 * ලොකුම රෙදි සාප්පුව
 
 අම්මගෙ පවුලෙ 4 වැනි දරුවා බඩපිස්සිය මගෙ අම්මා. අම්මයි තාත්තයි එකතුවෙලා තියෙන්නෙ මඟුල් තුලා කතා කරන කපු මහත්මයෙක් මගින් යෝජිත ක‍්‍රමයට. 1940 දශකයේ කිරිබත්ගොඩ තිබුණ ලොකුම රෙදි සාප්පුව තිබුණෙ අපේ තාත්තාට. මාකොළ පැත්තට හැරෙන තැනම මේ ව්‍යාපාරය පැවතියෙ. තාත්තාට කාර් 10 ක් විතර තිබුණා. පුංචි කාලෙත් අප පදිංචිවෙලා හිටියෙ මේ රෙදි සාප්පුව තිබෙන ගොඩගැනඟිල්ලේ යට කොටසෙ. ගමේ මිනිස්සු තාත්තාට කතා කළේ ‘රෙදි කඬේ මහත්තයා’ කියලයි.
 
 අම්මගෙයි තාත්තගෙයි පවුල් ජීවිතය එක්තරා දුරකට ඛේදවාචකයක්. මහා ශෝකාන්තයක් ඒ යට දැවැටී තිබුණා. තාත්තා අනවශ්‍ය වැරදි වැඩ කිසිත් නොකළත් එතුමා තුළ තිබෙන අහිංසකකම අවංකකම නිසාම එයා රැුවටිලි ආදියට හසුවෙලා ටිකෙන් ටික කඩා වැටුණා. අපෙ පවුලෙ ලොකු අයියයි මායි මල්ලියි දරුවන් හැටියට හිටියෙ. එක දරුවෙක් කුසේම නැති වුණා. දරුවන් රැුකබලා ගන්න දෙන්නාම වෙහෙසුණා. ඒත් මවගේ අපේක්‍ෂාවන් සාර්ථක කරන්න තාත්තා උනන්දු නෑ කියන එකයි ගැටුමේ මූලික හේතුව. ස්ත‍්‍රියක් හැටියට ජීවිතයේ දිනාගන්න බලාපොරොත්තු වන යම් යම් ඉලක්ක තිබෙනවා. ඒවා ඉටුකර දෙන්න තාත්තා මහන්සි ගත්තේ නෑ කියලයි අම්මා නිතරම කීවෙ. ‘‘ඔබ බිස්නස් කරන්නේ අනුන්ගේ සල්ලි වලින්. මගෙ තාත්තා එහෙම නොවේ. එයා පාරු වෙළෙඳාමෙන් සරුවට තමන්ගෙම මුදල් සකසා ගන්නවා’’ මේ වගෙ වචන වලින් තාත්තාට දමා ගහන සිරිතක් අම්මාට තිබුණා. කොහොම නමුත් දෙන්නා අතර අඩදබර තිබුණා. ඒකට හේතුව අම්මට මානසික ව්‍යාධිගත තත්ත්වයක් තිබුණු නිසාය කියලයි අපට පෙනුණෙ. එතුමිය හරි ඉක්මනට කෝපයටත් පත්වෙනවා. ඒත් දරුවන් විෂයයෙහි හරිම හැඟුම්බරයි. සංවේදීයි දෙන්නාම. අම්මව 1940 කාලෙත් විශේෂඥ වෛiවරුන්ට පෙන්නුවා මේ මානසික ප‍්‍රශ්නයට.
 
* ණය නිසා ඉඩකඩම් විකුණුවා
 
 දිනමිණ පත්තරේ හිටපු කර්තෘ කේ. ඒ. එස්. පෙරේරා තාත්තගේ සහෝදරයෙක්. බණ්ඩාරගම වෑවිට සොයිදාහාමි මගෙ ආච්චි. අම්මගේ අම්මා. අපෙ අම්මටත් වැඩිය එතුමිය මට ආදරෙයි. හරිම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. සීයාගෙ වෙළෙඳාමේ පාරුවල ලී, ලෑලි පටවලා පුත්තලම දක්වා ගෙනියනකොට ආච්චිගෙ රබර් ඉඩම් වල ඵලදාව ගත්තෙ ආච්චි. කුඹුරුත් තිබුණා. ඒවා අඳේට දීලා තිබුණෙ. අපේ තාත්තාගේ ණය තුරුස් ගෙවන්න වරින්වර ආච්චිගෙ මේ ඉඩකඩම් විකුණන්නත් ගත්තා. පුංචි කාලෙ තාත්තගෙ පවුලෙ සහෝදරයන්ව බලාගෙන තිබෙන්නෙත් තාත්තා. එයාගේ අවංකකම අහිංසකකම නිසාමයි එතුමා පහළට වැටුණෙ. තාත්තාගේ සහෝදරියකගේ ස්වාමිපුරුෂයාගෙන් පවා ණයක් ගෙන තාත්තා ඒවාට පොළී ගෙවනවා. එහෙම කරන්න බැරිවුණොත් අර මස්සිනා නඩු දානවා. මෙහෙමත් කාලයක් තිබුණා. අපේ තාත්තා අවුරුදු 12-15 විතර කාලෙ නුවර පළාතට පිටමංවෙලා ඉතා හොඳ මහත්මයකු යටතේ ඔරලෝසු අලූත්වැඩියා උගෙන ගෙන තිබෙනවා. ඒක සියුම් කර්මාන්තයක්. මටත් ටික වේලාවකින් කැඩුණු ඔරලෝසුවක් හදාදෙන්න පුළුවන්. ඒක තාත්තාගෙන් මා උගත්තෙ. ඔරලෝසුවේ කුඩා ඇණයක් බිම වැටුණාම හොයාගන්න මොන තරම් අමාරුද? ඒ වගේ ජීවිතය හොයන කාලයක් තාත්තාටත් මටත් තිබුණා.
 
 * නොසිඳෙන ආත්ම ශක්තිය
 
 මේ රටේ ජීවත්වන දූෂිත දේශපාලනඥයන් බොහොමයකට වැඩිය අපේ තාත්තා අවංකයි. එතුමා ඔරලෝසු හැදුවෙ ජීවත් වන්න මුදලක් හොයාගන්න විතරයි. කොළඹ ඩබ්ලිව්. ඒ. ද සිල්වා සමාගමේ එතුමා කටයුතු කළ කාලයේත් පිරිසිදු සේවයක් ඉටුවුණා කියලා අදත් සමහරුන් කියනවා. තාත්තාගේ මේ ඔරලෝසු සාප්පුව කිරිබත්ගොඩ, කළුතර, නුවර මේ තැනින් තැනට ගෙන ගියා මතකයි. කිරිබත්ගොඩ නගරයේ ලොකුම රෙදි සාප්පුව කාලයක් කළත් පසුව ඒ නගරයේම පොඩි ඔරලෝසු හදන තැනක් පවත්වා  ගන්නත් තාත්තාට පුළුවන් වුණේ නොසිඳෙන ආත්ම ශක්තිය නිසයි. අනෙක ‘‘තවදුරටත් ණය වෙන්නත් බෑ ගැරහීමට ලක්වෙන්නත් බෑ. මේ ඔරලෝසු සාප්පුව මට ඇති’’ කියලා එතුමා කීවා මතකයි.
 
* සීයාගේ නැටුම මගෙ තාත්තාගේ තාත්තා අපේ සීයා කපු මහත්මයෙක්. එතුමාට මාකොළ දේවාලයක් තිබුණා.
 
 ගම්මඩුවල ඉතාම කලාත්මක නර්තන ලාස්‍යයෙන් යුතුව ඉදිරිපත් කරන්න සීයා දක්‍ෂයි. සීයා ලස්සනට නටන විට අපිත් පොදි කකා බලනවා. මගේ ‘බවදුකේ’ එන පේදුරු චරිතය මේ සීයාගේ චරිතය ඇසුරින් ලියා තිබෙන්නෙ. 1963 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබූ හොඳම කෘතිය ‘බවදුක’ ට ඒ චරිතය සකසා ගන්නේ කේ. එස්. පෙරේරා. මගේ බාප්පා. හැබැයි එතුමා ඒ පොත ලියන්නෙ කාශ්‍යප යන අන්වර්ථ නමින්. ඒ නැටුම අපේ පවුලෙ උරුමයක් කියලා හිතෙනවා. ‘මනමේ’ කුමාරයාගෙ චරිතයට මා රඟ පෑ කාලයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් මගේ නැටුමේ අලංකාරය ගැන බොහෝ ප‍්‍රශංසා කළා මතකයි. බවදුකේ පේදුරු චරිතය පවුල් සංස්ථාව ඇතුලේ පුදුම අපහසුකම් මැද ජීවත්වන්නේ. අපේ ආච්චි හරිම අකාරුණිකයි. පොඞ්ඩ වැරදුණොත් බනින එකමයි වැඬේ. අපෙ තාත්තත් තාත්තගෙ තාත්තත් එකම විදියේ ජීවිතවලට මුහුණ දුන් බවයි මගේ හැඟීම. ඒත් තාත්තා දේවාල, දෙවියන් මේවා පසුපස
 
 ගියේ නෑ. මේවා මිථ්‍යාවන් විදියට එතුමා දැක්කා. ඒවා අද දවසෙත් බොහෝදුර ගිහින් කොරෝනා වලටත් පැණි විසඳුම් හොයනවා නේද? මිනිස්සුන් මිථ්‍යාවට කැඳවලා සල්ලි හොයනවාට වඩා ඔරලෝසුවක් හදලා ජීවත්වන එක සතුටුයි කියලා තාත්තා කීවෙ.
 
 * අපි දෙමළු
 
 අපේ පරම්පරාවම දෙමළ. අපි දෙමළු කීවොත් ඔබ පුදුම වෙයි. මල්ලි ඇත්තටම අපි දෙමළ. කළු කපුගේ කියන්නේ ‘නීල පෙරුමාල්’ කියන එකයි. මාකොළ දේවාලය, නවගමුව දේවාලයේ ප‍්‍රධාන කපු මහත්වරුන් බලන්න. ඒ ගොල්ලො නීල පෙරුමාල්ලා. ඒක තමයි යථාර්ථය. ඔය බණ්ඩාරනායක කියන්නෙත් ඉන්දියාවෙන් ආපු දෙමළ අය. අපේ මුළුමහත් ගෙදරම, ගමම විස්මයට පත්කළ අපේ සීයාගේ නැටුමත් එය මේ තරම් නම්‍යශීලිව ජන විඥානයේ කලාත්මක රස භාව අවදි කිරීමට සමත්වුණෙත් ඒ නෑකම නිසයි.
 
 මට මතකයි තාත්තා මාව මුලකුරට ගෙන ගියේ කිරිබත්ගොඩදි ඊරියවැටිය මහවිදුහලට. 2 පන්තිය වෙනකම් එහි සිටියා. ඊට පස්සෙ අම්මගේ ගමේ වෑවිට ගල්තුඬේ විදුහලේ. ඒ වගේම ගල්තුඬේ මහා විහාරයේ ප‍්‍රධාන හාමුදුරුවන්ගෙනුත් මං අවුරුදු 2 ක් ඉගෙන ගත්තා. හොරණ විiාරතනයට ඇතුළු වුණේ උසස් පෙළ පන්තියේදී.
 
 * සියුම් සංයමය
 
 තාත්තාගේ ජීවිතයේ ඉවසීම කියන ගුණාංගය හොඳට තිබුණා. අවීචි මහ නරකාදියට දැන් යනවා කීවත් එතුමා කම්පාවෙන්නෙ නෑ. අම්මා අසනීපෙන් තාත්තට බැණ වැදුණත් ඔහු කලබල වන්නේ නෑ. කාරුණිකව බලනවා. එතුමා තුළ ඉතා සියුම් සංයමයක් තිබුණා. දුප්පත්කමින් පෑගෙන මේ රටේ මිනිස්සු ගැන එතුමා කනගාටුවෙන් හිටියා. ඒ අයටත් වඩා යහපත් ලෝකයක් හැදෙනවා නම් කියන ඔහුගේ කල්පනාව තාත්තාගේ කරුණාව සංකේතවත් කළා.
 
 කළුතර නගරයේ ඔරලෝසු සාප්පුව තාත්තා කරන කාලෙ (1983* ජුලි කෝලාහලය මේ පැත්තටත් කළු පැල්ලමක් මතු කරමින් ගලා ආවා. තාත්තා දෙමළ මුස්ලිම් කොයි කා සමගත් හිතවත්. එතුමා තුළ ජාති බේද නෑ. මේ කඩවීදියේ තාත්තාගේ කඬේට ටිකක් එහායින් යාපනේ මුදලාලි කෙනෙකුගේ සුරුට්ටු කඩයක් තිබුණා. රට පුරා කෝලාහලය නැගී එද්දී අර මුදලාලි අපේ තාත්තා ළඟට ඇවිත් ඉල්ලීමක් කරලා තියෙනවා.
 
 * අනේ අපව බේරා ගන්න
 
 අනේ! මුදලාලි මාවයි අපේ දරුවොයි බේරා දෙන්න කියලා. තාත්තා කියලා තියෙනවා ඒ අයට අපේ ඔරලෝසු කඬේ ඇතුළට ඇවිත් ඉන්න කියලා. ඒ මනුස්සයාවයි පවුලයි අපේ කඬේ ඇතුළට දාලා කෑම බීම ආදිය සප්පායම් කරලා අපේ තාත්තා පානදුර පැත්තට බස් එකක් බලාගෙන බස් ස්ටෑන්ඞ් එකට ඇවිත්. ඒ වෙලාවෙ මැරයො ඇවිත් සුරුට්ටු කඬේ වහලා එමින් සිටි මුදලාලිගේ ලොකු පුතා අල්ලාගෙන හොඳට ගුටි ඇනලා උස්සලා පොළොවේ ගැහුවලූ. වැටුණු ඒ දරුවාගෙ ඔළුවට කොන්ක‍්‍රීට් ලෑල්ලක් උස්සලා මුහුණට වට්ටවලා මරලා. මේක බලාසිටි මගෙ තාත්තාට දරුණු හෘදයාබාධයක් හැදුණා. එතුමා පානදුර ඉස්පිරිතාලෙට ගෙන යද්දී මැරුණා. මං ඒ කාලෙ රබර් පාලක දෙපාර්තමේන්තුවෙ වැඩ. මැරෙනකොට තාත්තාට ලොකු වයසක් නෑ.
 
 * පළමු පේ‍්‍රම සම්බන්ධය
 
 මගෙ ජීවිතේ පළමු වැනි විවාහය සිදුවුණේ පේ‍්‍රම සම්බන්ධයකින්. එතකොට මට අවුරුදු 20 යි. පානදුර වඳුරාමුල්ලෙ තරුණියක් සමඟ වූ මේ විවාහය ගැන තාත්තා කීවෙ මෙහෙමයි. තව වයස තියෙනවා පුතේ, දැන්ම කලබල ඇයි? කියලා විතරයි කීවෙ. (මගෙ රංග පුතාගේ හා මගෙ විශාඛා දුවගෙ අම්මා*
 
 ඒ විදියටයි මගෙ බිරිඳ වුණේ. එයාට ලොකු බලාපොරොත්තු නෑ. ධනය පරම්පරාව කුල මල කිසිවක් හෙව්වෙ නෑ.

 
 * භික්‍ෂුවකට වඩා ගුණ සම්පන්නයි
 
 අපේ පියා තුළ පැවැති හික්මීම, ඉවසීම, උපශාන්ත ගුණය අපේ රටේ බෞද්ධ භික්‍ෂුවකටත් වඩා ඉහළින් පිහිටියා. සිවුරක් පොරවන ලද අයගෙන් සිදුවන අවැඩක් අපේ තාත්තා කවදාවත් කළේ නෑ. හරිම සාමකාමීයි. යුක්තිගරකයි. එතුමා 1940 ගණන් වල ජේ. ආර්. ජයවර්ධනට වැඩ කළ කෙනෙක්. කැලණිය ආසනයේ තාත්තාට ලොකු තැනක් තිබුණා. ජේ. ආර්. තාත්තාට පෞද්ගලිකව ලියූ ලිපි ගෙදර තවමත් තියෙනවා. 1956 දී තාත්තා බණ්ඩාරනායක මහතාට සහය දුන්නා කියලා දැන ගන්නට තිබෙනවා. 1959 සැප්තැම්බරයෙහි බණ්ඩාරනායක මහතා ඝාතනය කළ වෙලාවෙ රටේ ජනතාව කම්පා වුණා. එතුමා වෙනුවෙන් ජනතාව භික්‍ෂුවකට බසයක ආසනයක් දෙන්න මැළිවන තත්ත්වයක් ආවා.
 
 මේ ඝාතනය දවසෙ මං හිටියෙ වාද්දුව මහ විහාරෙ. අපට යමක් කියා දෙමින් සිටි පෙමිනෝනා මහත්තයා පන්සල ඇතුළට ගිහින් ප‍්‍රවෘත්ති අහලා ඇවිත් ‘බණ්ඩාරනායක මහත්මයා මරලා පුතේ’ කියමින් ඇ`ඩුවා. මං කලබල වෙලා ගෙදර එනකොට මගේ තාත්තා ඉකි ගගහා අඬනවා මේ ඝාතනය ගැන අහලා. එයා කිසිම දවසක ඇඬුවෙ නැති මනුස්සයෙක්.

 * තිලක්ගේ පිටපත
 
 සිරිමාවෝ මැතිනිය සමඟ, අනුර සමඟ, බණ්ඩාරනායක අගමැතිතුමාගේ රියැදුරා සමඟ සාකච්ඡුා කරලා තිලක් ජයරත්න ලියූ ප‍්‍රබල සිනමා පිටපතක් මා ළඟ තියෙනවා. ඒ දවස්වල කරන්න හිතට හයිය ආවත් නියම විදියට කරලා රට යන්නයි මා හිතා හිටියෙ. හොඳ නිෂ්පාදකයෙක් ලැබුණොත් ‘බණ්ඩාරනායක ඝාතනය’ ගැන චිත‍්‍රපටයක් කරන්න මා සූදානම්. ඒ අපේ රටේ පහළවූ වැදගත්ම ජන නායකයා එතුමා නිසයි. මං ‘ඒකාධිපති’ කරන්න මුදල් නැතිව හොයනකොට අපේ තාත්තා නාට්‍ය කරන්න මුදල් දීලා තියෙනවා. ‘මකරාක්‍ෂයා’ කළාම තාත්තා ඒ ගැන ආඩම්බරයෙන් කතා කළ බව ගැමියන් මට කීවා.
 
 * පඩිය රුපියල් 20 යි
 
 තාත්තගෙ ඔරලෝසු කඬේ මං කාලයක් ඔරලෝසු හැදුවා. මාසික පඩිය රුපියල් 20 යි. මට පොඩි කාලේ සිද්ධියක් හදිසියේම මතකයට ආවා.
 
 මං සාමාන්‍ය පෙළ කරන කාලෙ පානදුර සද්ධර්මාකර පිරිවෙනේ කලක් ඉගෙන ගත්තා. පානදුරේ ‘ජයමිණි’ හෝල් එකේ ‘මංගලිකා’ චිත‍්‍රපටය බලන්න සල්ලි නෑ. යාළුවොත් එක්ක චිත‍්‍රපටය බලන්න මං තාත්තගෙ වටිනා රොලැක්ස් වර්ගයේ ඔරලෝසුව හොරකම් කරලා රුපියල් 100 කට වික්කා. තාත්තා පහුවෙනිදා අපෙන් ඇහුවා මේ ඔරලෝසුව ගත්තද කියලා. මල්ලිටත් අයියටත් ඉස්සරින්ම මං පැනලා නෑ කීවා. තාත්තා මේ ගැන කළකිරීමෙන් හිටියෙ. එයා කඬේට නිතර එන ගේ‍්‍රරෝ සර්ට මේ ගැන කීවම එතුමා කීවා මාතලේ තැනක් තියෙනවා හොරකම් ගැන කියනවා අපි ගිහින් බලමු කියලා.
 
 * නැතිවූ බඩුවක්
 
 දැන් මේ ගමනත් යන්නෙ මායි ග්‍රෙරෝ සර් විතරයි. උදෙන්ම එහෙ ඉන්න ඕනැත් කී නිසා අරුණ වැටෙනකොටම අපි එතැනට ගියා. බුලත් හා පඬුරු තිබ්බාම අර ශාස්ත‍්‍ර කියන ගැහැණු මනුස්සයා ආවේෂ වුණා. පිරිමි ගොරෝසු හඬකින් කීවා ‘ආවෙ නැතිවුණු බඩුවක් ගැන බලන්න’ කියලා. අපිට පුදුමයි. ඒත් බුලත් තියපු හොරා වූ මා ගැන මුකුත් නෑ. ඊළඟට කීවා ඒක දැන් ගෙදර ළිඳ පතුලේ කියලා. දැන් ශාස්ත‍්‍රයේ විස්තර අහපු තාත්තා ළිඳ ඉහින්න ඊට පහුවෙනිදාම දාගත්තා. දැන් මාත් කි‍්‍රයාශීලිව වැඩ. එතකොට සැකකරන්නෙ නෑනෙ. ළිඳ ඉහගෙන ඉහගෙන මඩ තට්ටු ගොඩ  ගන්නවා. ඔරලෝසුව නෑ. මා ඉතින් මේ මිථ්‍යාව ගැන හිනා වෙනවා. අන්තිමට ළිඳ උඩින්ම කඩා වැටුණා. ඊට පස්සෙයි හෑරිල්ල නතර වුණේ. මිථ්‍යාව පිළිබඳ වැදගත්ම දේ මට ඒත්තු ගියේ ඒ සිද්ධියෙන්. ඊට පස්සෙ මා නම් මිථ්‍යා දේවල් පිළිගන්නෙම නෑ.
 
 * ධනය තමයි වටිනාකම
 
 අපේ තාත්තාට ලොකු දේශපාලනයක් තිබුණෙ නෑ. ඒත් යුක්තිගරුක ලෝකයක් පැතුවා. බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති අගය කළා. නිදහස් රටක් තවම අපට නෑ. ඒ කම්පාව තාත්තාටත් තිබුණා. මේ සමාජ ක‍්‍රමය ඇතුළේ ධනය තමයි හැමදාම වටිනාකම. අපෙ මල්ලි අරක්කු බීමට ඇබ්බැහි වෙලාම නැති වුණා. මගෙ ලොකු අයියා තවමත් කළුතර ඔරලෝසු අලූත්වැඩියා කරනවා. මටත් මේ සියල්ලම අත්හැරලා හෙට ඔරලෝසු හදන්න පුළුවන්.
 
 මගේ කලා භාවිතාව ජනවිඥානය පුබුදු කරන්නට යොදා ගන්නට මා හැමදා වෑයම් කළා. ඒකට හරසර පුදන්නට ලෝකය වෑයම් කරන වෙලාවෙ මගෙ අහිංසක තාත්තා පෙන්වා දුන් ඉවසීම මට මතක් වෙනවා. ඒ ඉවසීම නිසයි මා අද වනතුරු සිටින්නේ.
 
 * සල්ලි වලට ගන්න බෑ
 
 මගෙ තාත්තා සල්ලිවලට ගන්න බැරි මිනිහෙක්. එයා කොච්චර කරදර ආවත් සල්ලි හොයන්න නරක දේ කළේ නෑ. පුළුවන් තරම් නරක දෙයින් දරුවන් ඈත් කළා. සල්ලි ඉස්සරහ මළ පෙරේතයන් වන, බලයටම කෑදර නායකයන් එයා පිළිකුල් කළා.

 * ආදරය හා නිදහස
 
 අද සිද්ධ වෙන්නෙත් මේකමයි. රටට ආදරය කරන මිනිහෙක් බිහිවෙනවා නම් ඒ මිනිහාට මේ රට තුළ නිදහස හොයාගන්න ලැබෙන්නේ නෑ. අපේ තාත්තා ජීවිතයෙන්ම මට පරමාදර්ශයක්. එතුමා තරම් ඉවසන්න මට බැරිවෙන්න පුළුවන්. ඒත් ඒ මිනිස්කම මං මතු කරන්න හැමදා උත්සාහ ගන්නවා.
 
 ඊළඟට අපේ තාත්තා අපට හරිහැටි ජීවිතය මෙහෙයව ගන්න කියාදුන් අණ දෙන්නෙක් කියලා මට හිතෙනවා. එහෙත් ඒ අණදීම රෞද්‍ර විදියට නොවේ කළේ. ඉතාම කාරුණිකව. කුළුණුබරව. මගෙ පරම්පරාව දෙමළ. ඒ දෙමළ පරම්පරාවෙ ‘නීල පෙරුමාල්’ ලා අපි. බණ්ඩාරනායකලාත් ඉන්දියාවෙ ඉඳන් මෙහෙට ආපු දෙමළ මිනිස්සු. ඒක ගෞරවයක්. මං නැවතත් ඒ ටික ඔබට පැහැදිලිව කියනවා. විශාරද නන්දා මාලනිය ලෝහමය ප‍්‍රතිමාවක් ලෙස තමන්ගේ තාත්තාව දැක්කා. එක් එක්කෙනා තමන්ගෙ තාත්තා දකින්නෙ ඒ විදියටයි.
 
 ඒත් මගෙ තාත්තා තරම් අවංක මිනිහෙක් ආයිත් මට නම් හම්බවෙන්නෙ නෑ. එයා තමා කරන කාරියට වගේම තමා ජීවත්වන ලෝකයටත් අවංක වුණා. කවරදාවත් සල්ලි වලට විකුණුනේ නෑ. මේ ආත්මයේ විතරයි මා ඉපැදුණේ. මට ආයිත් ඉපදීමක් නෑ. මගෙ තාත්තා විශ්වාස කළෙත් ඒ ටිකම වෙන්න ඇති. ස්වර්ණ මට ලබාදුන් මගෙ දුවටත් මගෙ තාත්තා අනෙක් මුණුබුරන්ට වගේම සැලකුවා. උපන් දිනයට පන්සල් එක්ක ගිහින් එතුමා දුවට ආශිර්වාද පින්කම් කළා.

 * උපාලි සමරසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles