එස්. ඞී. අබේසිංහ - මහරගම
මතට ඇබ්බැහි වී තාරුණ්‍යයේ කෙළිලොල් බව විනාශ කරගනිමින් තමාගේ ශරීරයේ ඇති වටිනා ඉන්ද්‍රියන් විකුණා එයින් ලබා ගන්නා ලද සම්පූර්ණ මුදල් මත්කුඩු සඳහා වියදම් කර එම මුදල නාස්ති වී ගිය පසු සොරකමට පුරුදුව පොලිස් භාරයට පත්වූ තරුණයෙක් පිළිබඳව මහරගම පොලිස් ස්ථානයෙන් වාර්තා වේ.
පසුගිය දිනක රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයෙකුට බද්ධ කිරීම සඳහා වකුගඩුවක් අවශ්‍ය බවට ශ්‍රී ලංකාවේ දිනපතා ජාතික පුවත්පතක පළවූ දැන්වීමක් දුටු මෙම තරුණයා පුවත්පතේ සටහන්ව තිබූ දුරකථන අංකයට අමතා තමාගේ වකුගඩුව ලබා දීමට කැමති බවත් ඒ සඳහා ලබා දෙන මුදල කොපමණ දැයි විමසා ඇත. එම අවස්ථාවේදී දුරකථනයට පිළිතුරු ලබාදුන් රෝගී පුද්ගලයාගේ ඥාතියෙකු විසින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් ලබාදෙන බව පවසා ඇත. ඉන්පසු කොළඹ පෞද්ගලික රෝහලට ගොස් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් අනතුරුව තරුණයාගේ වකුගඩුව රෝගී පුද්ගලයාට ගැළපෙන බව වෛද්‍යවරුන් විසින් පවසා ඇත. ඒ අනුව තමාගේ වකුගඩුව ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළ තරුණයා ඒ වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.
කාලය කෙමෙන් කෙමෙන් ගතවෙද්දී තරුණ පුද්ගලයාගේ වකුගඩුව සැත්කමක් මාර්ගයෙන් වෛද්‍යවරුන් විසින් ලබාගෙන රෝගී පුද්ගලයාට බද්ධ කර ඇති බවත් ඒ වෙනුවෙන් ගෙවීමට ඇති ඉතිරිව තිබූ රුපියල් ලක්ෂ දාහතක මුදලද තරුණයාට ලබාදී ලබා දී ඇති බවද සඳහන් වේ.
වයස අවුරුදු තිස් හයක් වන පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පදිංචි මෙම පුද්ගලයා ඒ වන විටත් තරමක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි අයෙක් බවද වාර්තා වේ.
විශාල මුදල් ප්‍රමාණයක් තමා සන්තකයේ තිබියදී මිතුරන්ද වැඩි වශයෙන් මෙම තරුණයා සමඟ ආශ්‍රය කරන්නට පටන් ගෙන ඇති බවත් මිතුරන් සමඟ මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ මෙම තරුණයා සන්තකයේ තිබූ මුදල් ටිකෙන් ටික අවසන් වීමෙන් පසු සොරකමට ද ඇබ්බැහි වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මහරගම පමුණුව ප්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගය අද්දර අලූයම් කාලයේදී පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදෙන වෙළෙන්දන් විසින් විකිණීමට රැගෙන එන නිමි ඇඳුම් හා රෙදිපිළි තොග පිටින් අතුරුදන් වන බවට පොලිස් ස්ථානයට පැමිණිලි වැලක් ගලා එන්නේය. මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකර රෙදිපිළි වලට කුමක් වන්නේදැයි සොයා බැලීම සඳහා මහරගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතා විසින් සිවිල් ඇඳුමෙන් සැරසුණු විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇත.
මහරගම, පන්සල පාර, දුම්රිය පටුමග ආසන්නයේ සැකකටයුතු පුද්ගලයෙක් සැරිසරන බවට ලැබුණු තොරතුරක් මත මෙම සොරකම් පිළිබඳව සෙවීම සඳහා පත් කර සිටි නිලධාරී කණ්ඩායම වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට ගොස් සැකකටයුතු පුද්ගලයා පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 150ක් හමුවී ඇත. ඒ අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේදී සියලූ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවැසීය.
දිනපතාම අලූයම් කාලයේ පෑලියගොඩින් පිටත්වන මෙම පුද්ගලයා ගාලූපාර ඔස්සේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයට පැමිණ පුද්ගලයෙකුගෙන් මත්කුඩු ලබාගෙන එම ස්ථානයෙන් පිටත්ව මහරගමට පැමිණ මහරගම ප්‍රදේශයේ රහසිගත ස්ථානයකදී හෙරොයින් පානය කිරීමෙන් අනතුරුව සොරකම් කිරීමේ කටයුතු වල නියැළී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය කරගත් බවද පොලිසිය පවසයි.
සැකකරු විසින් මහරගම පමුණුව ප්‍රදේශයේ හා මහරගම හයිලෙවල් මාර්ගය අද්දර වෙළෙඳාමේ නියුතු පදික වෙළෙඳුන් විකිණීමට රැගෙන එන පිරිමින්ගේ හා කාන්තාවන්ගේ මෙන්ම ළමුන්ගෙ නිමි ඇඳුම් හා රෙදිපිළි විශාල වශයෙන් ඇසුරුම් කර ඇති මලූ හොර රහසේ කර මතින් රැගෙන ගොස් කුලී ගමනක් යෑමට ත්‍රීවීල් රථයක් ලබා ගන්නා මුවාවෙන් එම රථයට රෙදි මලූ පටවාගෙන මහරගම ප්‍රධාන බස් නැවතුම් පළට ගෙනගොස් එම ස්ථානයෙන් බස් රථයට පටවා කොළඹ පිටකොටුව ප්‍රදේශයට ගෙන ගොස් ව්‍යාපාරික ස්ථානවලට හා ව්‍යාපාරිකයන්ට විකුණා එම මුදල් වලින් ද හෙරොයින් පානය කර ඇති බවද පොලිසිය සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.
එලෙස සොරකම් කරන ලද පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට හා වෙළෙඳ ව්‍යාපාරිකයන්ට විකුණා තිබූ රුපියල් ලක්ෂ 15 කට වඩා අධික රෙදිපිළි තොගයක් සොයා ගැනීමටත් පොලිස් නිලධාරීන් සමත්වූ බවද පොලිසිය පැවසීය.
සැකකරු සොරකම් කර විකුණා තිබූ රෙදිපිළි අතර ඩෙනිම් කලිසම් හා කමිස, කාන්තා හා පිරිමි නිමි ඇඳුම් තොගයක් තිබූ බවත් සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සොරකම් කරන ලද ඇඳුම් වලින් ඇඳුමක්වත් නොඇඳ ඉතාම අපිරිසිදුව සිටි බවත් පොලිසිය පැවසීය.
සැකකරු 19 වන දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් අසංක, කොට්ඨාස 04 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කුමාර වීරසිංහ මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක චින්තක දසනායක පොලිස් සැරයන්වරුන් වන (8105) රත්නායක, (43672) සුරංජිත්, (55871) ගාමිණී, කාන්තා පොලිස් සැරයන් (5497) දීපානී, පොලිස් කොස්තාපල් (65283) සරත්, (88199) එරංග, (84742) ලක්ෂාන්, (86221) වීරසිංහ යන නිලධාරීන් විසින් පවත්වනු ලබයි.