Divaina - කැලැත්තෑවේ සොයිසාගේ රේන්ද පොළවල් පවා අපේ තාත්තා වටලා තිබෙනවා.... ප‍්‍රවීණ නළු සනත් ගුණතිලක

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

n27 2සනත් ගුණතිලක යනු සිංහල සිනමාවේ තවත් වැදගත්ම කාල පරිච්ෙඡ්දයකි. ස්වෝත්සාහයෙන් ජීවිතය ගොඩන`ගා ගත් දිරිය මිනිසකු ඔහුගේ ජීවන ගමන් මග විමසන විට හොඳින් ස්ඵුට වෙයි. සනත් තරම් මඩ ප‍්‍රහාරවලට ලක් වූ, චෝදනා ගණනාවකට ලක් වූ වෙනත් නළුවකු නැති තරම්ය. මා එසේ කියන්නේ රන්ජන් රාමනායක සියලූ චෝදනාවලට ලක්වන්නේ නළුවකු හැටියට නොවන බැවිනි.
 
 ‘අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට කාටවත්ම බැරිය’ එසේ කීවේ නීග්‍රෝ ජාතිකයන්ගේ අසහාය නායක කිං මාටින් ලූතර්ය. සනත් සම්බන්ධයෙන්ද ඒ කියමන සනාථ වෙයි. ජනාධිපති මාධ්‍ය උපදේශක, රූපවාහිනී සංස්ථා සභාපති ආදී වශයෙන් කලක් කටයුතු කළද හෙතෙම තමන්ට නොගැලපෙන තැන්වල ගැලපී ඉන්නට දහසින් බැඳි පියළි ලැබුණත් කටයුතු කළේ නැත. අදත් ඔහු ගත කරන්නේ නිශ්ශබ්ද හුදෙකලා ජීවිතයකි. ඒත් කලාවෙන් ඔහු සමුගෙන නැත. ඔහු කලාව වෙනුවෙන් තම තුරුළේ හොවා රැකබලා ගත් තම මාපියන් සමගද, ගැටවර වියේදී ගැටුම් ඇති කර ගත්තත්, සනත් අද ඒ දෙස බලන්නේ උපේක්‍ෂාවෙනි. තම පෞරුෂය ගොඩනඟා දුන් ඒ ආදරණීය පියතුමා ගැන කියන්නට ඔහු අද ‘දිවයින’ ‘අපේ තාත්තා’ මණ්ඩපයට ගොඩවදී.
 
 * අස්ගිරියේ කුලී ගෙයක මුලින් හිටියේ
 
 ‘මාගේ තාත්තා හෙක්ටර් එඞ්වඞ් බෙනඩික් ගුණතිලක. වෘත්තියෙන් එතුමා මුලින්ම සුරාබදු නිලධාරියෙක්. පසුකාලීනව නීතිඥයෙක් හැටියට කටයුතු කළා. ගම ගැන කියනකොට තාත්තලා වත්තල මාබෝලේ. අම්මා නම් හිඳගල. නුවර නගරයට කට්ටුවම. අම්මා දෝන එල්සි ගේ‍්‍රස් ගුණතිලක. මේ දෙන්නා යෝජිත ක‍්‍රමයට එකතු වුණත් ඔවුන් විවාහ වුණාට පස්සේ අම්මගේ පාර්ශ්වයෙන් මේ කුටුම්භයට තරමක කෙණහිලි සිදුවෙලා තියෙනවා. අම්මා පාසල් ගුරුවරියක්. මේ දෙන්නා ඒ දිනවල පදිංචිවෙලා ඉඳලා තියෙන්නේ අස්ගිරියේ කුලී ගෙයක. තාත්තාගේ සහෝදරයෙක් ඉන්නවා. එතුමා වික්ටර් ගුණතිලක. අපේ තාත්තාට පස්සේ එතුමා කසාද බැන්දේ. තාත්තගෙ මේ සහෝදරයත් අම්මගේ බාල මල්ලි (අපි කියන්නේ ඩැනී මාමා කියලා* මේ දෙන්නා තමයි තාත්තයි අම්මයි වෙනුවෙන් ඉඳලා තියෙන්නේ. මට මතක හැටියට අපි පුංචි දවස්වල මහනුවර පුෂ්පදාන බාලිකා ප‍්‍රාථමිකයේ අම්මා උගැන්නුවේ. ඊට යාබද නිවසක තමයි ඒ කාලේ අපේ අම්මගේ අම්මා (ආච්චි) ලොකු මාමයි පදිංචිව සිටියේ. ඊට පස්සේ තමයි තාත්තා මහනුවර පේරාදෙණිය පාරට ගෙවල් හදාගෙන ඇවිත් තියෙන්නේ.
 
sanat333 * අම්මා නොමරා මරාගෙන ඉපැදුණා
 
මුලින්ම අපේ කුටුම්භයට දරුවෙක් ලැබී තිබෙනවා. ඒ දරුවා උපන් ගමන් නැතිවෙලා. ඊට පස්සේ මේ යුවළට දරුවන් අවුරුදු 12 ක්ම ලැබුණේ නෑ. ඒ වන විට අපේ අම්මගේ අම්මා සිල් මාතාවක්. අවුරුදු දොළහකට පස්සේ අම්මාව නොමරා මරාගෙන ඉපදුණ දරුවා මමයි. එතුමියට හරිම අවදානම් සහිත ප‍්‍රසූතියක් සිදුවෙලා තියෙන්නේ. සීසර් සැත්කමක්. ඊට පස්සේ මට නංගි කෙනෙකුත් ලැබුණා. බාලයා මල්ලි කෙනෙක්. එයත් කුසේදීම නැතිවෙලා. මට මතකයි අම්මාව එක්කගෙන ඉස්පිරිතාලෙට යනවා. ඒ ගිහින් දවස් 2-3 කට පස්සේ ගෙදර ආවේ. දුකකදී තම නංගිලා අක්කලා වෙනුවෙන් මාමාවරුන්ටත් කිරි එරෙනවා කියලා ගමේ කතාවක් තියෙනවා. අපේ ගෙදරත් මේ දේ සිදුවුණා. ඒ කාලේ කිරි ටික හදලා පෙව්වේ අපේ ඩැනී මාමා.
 
  * දරුවන්ගේ අභිමානය රැක්කා
 
 අම්මයි තාත්තයි පුදුමාකාර බැඳීමකින් හිිටියේ. බුදුන්ගේ කාලේ හිටපු නකුල මාතා, නකුල පිතා වගේ දෙන්නාට දෙන්නා හරිම ලෙන්ගතුයි. කවරදාවත් අපේ ගෙදර රණ්ඩුවක් මං අහලා නෑ. මං අවුරුදු ගණනාවක් වයස් පරතයකින් ඉපදුන නිසා තාත්තා, අම්මා සමග යාළුවන් වගේ ප‍්‍රශ්න කරන්න බෑ. එතැන පරම්පරා පරතය නිසා එහෙම වෙන්න ඇති. අපට පුදුම මානසික නිදහසක් සහනයක් තිබුණා ඒ ජීවිත පැවැති ආකාරය නිසාම. මා හිතනවා කුලී වැඩ කරලා ජීවත්වන තාත්තා කෙනෙක් වුණත් හිතන්න ඕනෑ දරුවන්ගේ අභිමානයට කැළලක් වන ආකාරයෙන් ජීවත් නොවීමට. මා ඒ නිදහස විඳි නිසා ඒක ගැන අපේ මාපියන් ගැන ආඩම්බරයක් තියෙනවා. අපේ තාත්තා සැර නෑ. එයා බැලූවාම ඇති. අපට තිබෙන්නේ බියමුසු ගෞරවයක්. මාපියන් එහෙම වුණාට දරුවන් විනාශ වෙනවා.
 
 ‘පාලම යට’ ‘වළහා’ බලන්න. මාපියන් නැතුව කුණු බක්කි වලින් කාපු චරිතයක්. ලොකු වුණාම සමාජයටම වෛර කළා.
 
 අපේ තාත්තා කතෝලික. අම්මා බුද්ධාගමේ. අපේ ගෙදරට ආගමික සහජීවනය තිබුණා. අපි අලූත් අවුරුදු චාරිත‍්‍ර, වෙසක් මංගල්ලය, පොසොන්, නත්තල් මේ හැමදේම සැමරුවා. ගෙදර කිරි උතුරවනවා. ගවළෙන හදනවා. පොසොන් එකට මිහිඳු ගුහාව හදනවා. එදා නුවර පේරාදෙණිය පාරේ රේල් පාර ළඟට වෙනකම් දෙපැත්තෙන්ම ගෙවල්. අපි හිටියේ මැද. ඒත් අපේ ගේ තිබුණ තැන බර්ගර්කිං ආයතනය තියෙනවා. මේ ගෙවල්වල දෙමළ, මුස්ලිම්, බර්ගර් අය හිටියේ. සිංහල පවුල් අපිත් එක්කම පවුල් දෙකයි තිබුණේ.
 
 * සමාන ගරුත්වය
 
 ඒ නිසා ජාතීන් අතර සහජීවනය, ආගමික සහජීවනය අපට හොඳටම තිබුණා. අලූත් අවුරුද්දට අපි කැවුම්, කොකිස් ඒ අයට බෙදනවා. ඒ අය තමන්ගේ උත්සව වලදී අපට ඒ අයගේ කෑම ජාති එවනවා. එහෙම සහයෝගීතාවක් තිබුණේ. තාත්තාට මේ මිනිස්සු කවුරුත් කතා කළේ හරිම ගෞරවයකින් ‘මහත්මයා’ කියලා. ඒකට හේතුව තාත්තා මේ හැම කෙනෙකුටම සමාන ගරුත්වයෙන් සැලකීම.
 
 තාත්තාට එදත් ‘මොරිස් මයිනර්’ කාරයක් තිබුණා. එතුමා කතෝලික වුණත් අපිත් එක්ක පන්සල් ගියා. ඒත් මට මතකයි එක් වතාවක් 1959 දී එතුමා අපව දළදා මාළිගාවේ ප‍්‍රධාන වාහල්කඩින් ඇතුළට යවලා එතුමා එතැන නැවතුණා. අපි වැඳ පුදාගෙන එන විට අප නැවත එක්ක ආවා. හේතුව එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමාට වෙඩි තැබීමේ සිද්ධියට භික්‍ෂුවක් සම්බන්ධ වීම.
 
 * අපි පොඩියි තාත්තා ඉගෙන ගන්නවා
 
 ආර්ථික දරිද්‍රතාව දරාගන්නට බැරි තැන තාත්තාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා එතුමා තරුණ කාලේදීම සුරාබදු නිලධාරියෙක් හැටියට රස්සාවට ගිහින් හිටියත් අධ්‍යාපනය ඉහළට ගෙන යාමේ සිහිනය එතුමා තුළ බොඳවී තිබුණේ නෑ. ඒ නිසා එතුමා නීති විiාලයට ඇවිත් නීතිය හැදෑරුවා. එහෙම දිරිය ශක්තියකින් තමයි එතුමා පසුව නීතිඥයෙකු වුණේ. අපි පොඩි දවස් වල එතුමා පන්තිවලට යනවා අපි දකිනවා. තාත්තා 1916 දී ඉපදිලා තියෙන්නේ. සුරාබදු නිලධාරි රස්සාවෙන් විශ‍්‍රාම ගිහින් මේ ඉගෙන ගැනීම කළේ. තාත්තාගේ පන්ති සගයෝ තමයි වාසුදේව නානායක්කාර, ධර්මසිරි සේනානායක.
 
 * කලැත්තෑවේ සොයිසාගේ මරණ වරෙන්තුව
 
 තාත්තා සුරාබදු නිලධාරියා කාලේ මාරවිල, වෙන්නප්පුව පැත්තේ රේන්ද පොළවල් වටලන්න මහත් වෙහෙසක් අරන් තිබුණා. ඒ කාලේ කැලැත්තෑවේ සොයිසා තරුණයි. එයා බරපතළ මිනී මැරුම් ආදියට යන්න කලින් රේන්ද ව්‍යාපාරය (කසිප්පු, රා) තමයි කරලා තියෙන්නේ. තාත්තා මේ ඇල්ප‍්‍රඞ් සොයිසා හමුවුණා. එයාගේ පෙනුම හරිම උපශාන්තයි. බොහොම හෙමින් අහිංසකව කතා කරන කෙනෙක්ලූ. මෙයාගේ ගෝලයෝ ඉන්නා ඉසව්ව ගැන විමසනකොට එතැනට යන්න පාර කියලා තියෙනවා. තාත්තා උපක‍්‍රමශීලීව තමන්ගේ හැඩි දැඩි කාර්යශූර නිලධාරීන් පිරිසක් කලින් එතැනට රහසේ යවලා එතැනට ගිහින් තියෙන්නේ. සොයිසා බලාපොරොත්තු වුණේ එතැනට යන ගමනේදී තාත්තාව මරන්න. ඒත් තාත්තාගේ උපක‍්‍රමශීලී බව නිසා ඒ අයම කොටුවුණා. එහෙම කැපවීමෙන් තීක්‍ෂණ බුද්ධිය මෙහෙයවලා එතුමා වැඩකරලා තියෙන්නේ.
 
 * බෑඟිරි ගසා හැඬීම
 
 මාව සිප් සතරට යැව්වේ මහනුවර කිංස්වුඞ් විදුහලට. තාත්තා තමයි මා එක්කරගෙන ගිහින් මුල් ගුරුතුමාට බුලත් දීලා වන්දලා පන්තියට ගිහින් වාඩි කෙරෙව්වේ. ඒත් තාත්තාට හැරිලා එන්න ලැබිලා නෑ. මං බෑඟිරි ගහලා විලාප තියලා අඬනවා. බොහොම අමාරුවෙන් තාත්තා පන්තියේ මාව තියන්න කටයුතු කරලා තියෙන්නේ.
 
 තාත්තාගෙත් මගෙත් වයස් පරතරය නිසා එතුමාගේ වටිනා දේ මට උකහාගන්න බැරි වුණා කියලා හිතෙනවා. එතුමාට බියමුසු ගෞරවය නිසා ළඟටම කිට්ටු වෙන්නෙ නෑ. එතුමා ද්විභාෂික උගතෙක්. ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ බහුශ‍්‍රැත දැනුමක් තිබුණා. එතුමා තම දැනුම වැඩිකර ගැනීම සඳහා නිතර මහන්සි වුණා. ඉගෙන ගැනීමට වයසක් කාලයක්් නෑ එතුමා එහෙම කීවේ. දැනුම වැඩිකර ගැනීම, ඒ දැනුම සොයා යන විධික‍්‍රම, අන්‍යයන් සමග ඒවා බෙදා හදාගන්න ක‍්‍රමය, සංවරකම ආචාරශීලිත්වය අවශ්‍ය විට එඩිතරකම මේ ගුණාංග මා තාත්තා තුළින් දුටුවේ.
 
 * සල්ලාලයෙක් ඇවිදින්
 
 එක් වතාවක් මාත් නංගිත් අම්මත් එක්කගෙන එතුමා දළදා පෙරහැර නරඹන්න ගියා. පෙරහැර නැරඹීම සාමාන්‍යයෙන් අප පුරුද්දක් වශයෙන් කරනවා. එදා පෙරහැර නරඹමින් සිටි වෙලාවේ බීපු මනුස්සයෙක් ටිකක් අම්මා ළඟට ළංවෙලා පොඩි සල්ලාලකමකට සූදානම් වෙලා තියෙනවා. ඇඟට හේත්තු වෙන්ඩ. අම්මයි නංගියි කෙළවරේ. අප දෙන්නා මේ කෙළවරේ හිටියේ. අම්මා හරිම ලස්සනයි. අම්මා ටික ටික ලැජ්ජාවෙන් මෙහාට වෙනකොට තාත්තා දැකලා තියෙනවා. මං පොඩි එකා. තාත්තා එකපාරට අර මිනිහගෙන් ඇහුවා. ඇයි? මොකද කියලා. ඒ ඇසීම කෙතරම් බරපතළද කියනවානම් අර මිනිහා සෙනඟ අතරින් මාරුවෙලා ගියා.
 
 * පරමාදර්ශි ගුරුවරී
 
 අපේ ගෙදර වෙලාවට බුදුන් වඳිනවා. පිරිත් දානවා. මේවාට අම්මත් තාත්තාත් දෙන්නාම දරුවන් සමග එකතුවෙනවා. තාත්තා පල්ලියට යන වෙලාවක් තියෙනවා. අපේ අම්මා නියම බෞද්ධ පරමාදර්ශී ගුරුවරියක්. එයා චිත‍්‍රපට බලන්න ඒ වගේ දේවලට ආසා නෑ. හැබැයි මට මතකයි සාරවිට, දෙලොවක් අතර බැලූවා. ‘වෙසතුරු සිරිත’ අගය කළා. අපි ටිකක් ලොකුවෙන කොට තාත්තා අපිවත් අරන් සති දෙකකට වතාවක් චිත‍්‍රපටි බලන්න යනවා. ගාමිණි ෆොන්සේකාගේ ‘සූර චෞරයා, සිහිනය, පරසතු මල්’ මේවා තමයි බලන්නේ. තාත්තාගේ සිනමා වීරයා ගාමිණි ෆොන්සේකා. තාත්තයි මායි හරිම කැමතියි කි‍්‍රයාදාම, සටන් දර්ශන තිබෙන චිත‍්‍රපට බලන්න. ‘පරසතු මල්’ චිත‍්‍රපටය බලලා මං ගෙදර ආවේ කිසිම ෆයිට් එකක් නැති චිත‍්‍රපටයක් හැටියට කළ කිරිලා. එය විශිෂ්ට චිත‍්‍රපටයක් කියලා මට තේරෙන්නේ අදයි. ‘පාරා වළලූ’ අපි ආසාවෙන් බැලූවා. ‘චණ්ඩියා’ අත්පොළසන් දිදී බැලූවා. මට එතකොට අවුරුදු 10 යි.
 
 * කැම්පස් යන්න අඩුවුණේ ලකුණු 2 යි
 
 අපේ තාත්තාට අවශ්‍ය වුණේ මා නීතිඥයෙක්, ඉංජිනේරුවෙක්, දොස්තර කෙනෙක් කරන්න. එතුමා අපට අඩුපාඩු කළේ නෑ. අම්මත් එහෙමයි. ඒත් උසස් පෙළ කරලා කැම්පස් යන්ඩ මට ලකුණු 2 ක් අඩුවුණා. මං චිත‍්‍රපට කර්මාන්තෙට කැමති හින්දා තාත්තා කොච්චර කීවත් ඒ පැත්තෙන් ඉහළට එන්නයි උත්සාහ ගත්තේ. තවත් අධ්‍යාපනය කරන්න කැමති වුණේ නෑ. මේ නිසා මට තාත්තාත් එක්ක ගැටුමක් ඇතිවුණා. මං ගෙදරින් පැනලා රත්මලාන සොයිසාපුරයේ අප පවුලම දන්නා චිත‍්‍රපට කර්මාන්තයේ කැමැති පිිරිසක් ඉන්නා නිවසක ඇවිත් නැවතුණා.
 
 * සන් පත්තරේ
 
 ‘සිටු කුමරියො’ චිත‍්‍රපටය ප‍්‍රධාන චරිතය මට ලැබෙන්නේ මේ ගෙදර ඉන්දැද්දී. ප‍්‍රධාන නිළිය මාලනී ෆොන්සේකා. මේ පිළිබඳ විස්තරයක් ‘සන්’ කියන ඉංගිරිසි පත්තරේ ඡුායාරූපත් එක්ක පළ කළා බී.සී. පෙරේරා කියන මහත්මයා. මේක දැකලා අපේ තාත්තා කෙළින්ම මං ඉන්නා තැනට ඇවිත් මට නැවත ගෙදර යන්න කතා කළා. මා කීවා ‘එහෙම යන්න බෑ තාත්තෙ, මට චිත‍්‍රපටයට රුපියල් 1500 ක් ගෙවනවා. මේකට ඇඞ්වාන්ස් 750 ක් මං අරන් තියෙන්නේ කියලා අර චෙක්පත අම්මට දෙන්න කියලා තාත්තා අතට දුන්නා. ‘උඹ මගෙ කළු කෝට් එක ගලවන්නද හදන්නෙ’ කියලා එතුමා මට බැනලා ’ උඹ ආයිත් විභාගේ ගනින්. මං නීතිඥයෙක්. ඒ ගැන මං බලාගන්නම් කියලා තවත් කරදර කළා. මං තාත්තාට කීවා එන්නම බෑ කියලා. එයා තරහවෙලා යන්න ගියා. බයිස්කෝප්කාරයෝ හිඟන්නෝ කියන මතයක් රටේ තිබීමයි හේතුව. ‘ගඟ අද්දර’ චිත‍්‍රපටයට වසන්ති එක්ක ඉන්න රූපරාමු නුවර ඔරලෝසු කණුව වටරවුමේ දැවැන්ත ‘කටවුට්ස්’ විදියට සවිකරද්දී තාත්තාට මේවා පෙනෙනවා. නංගිනම් ටිකක් මේවා දැකලා සතුටුවෙලා තියෙනවා. ඒත් අම්මානම් චුට්ටක්වත් කැමති නෑ. මේ අතරදී විජය ධර්මශී‍්‍ර, මාලිනි ඇතුළු පිරිසක් නුවර ෂූටිං ආ වෙලාවේ අපේ තාත්තලගේ ගෙදර මාත් එක්ක ගියා.
 
 * ඉහලම සංග‍්‍රහය
 
 අනේ මගේ අම්මයි තාත්තයි මේ අයට බොහොම ඉහළින් සංග‍්‍රහ කළා. කතා කළා. පස්සේ කාලෙත් ප්‍රෙඞී සිල්වා, මර්වින් ජයතුංග, ටෝනි රණසිංහ, විමල් කුමාරද කොස්තා මේ නුවර ගෙදර ගියා. ඒ අයටත් අර විදියටම සත්කාර සංග‍්‍රහ අම්මා තාත්තාගෙන්. තාත්තා ඒ දවස්වල වතුකරයේ මිනිසුන්ගේ ප‍්‍රශ්න කතා කරන තොණ්ඩමන් මහත්මයාගේ නීතිඥයෙක්. එයා ඒ සඳහා දෙමළත් ඉගෙන ගත්තා. නුවරඑළියේ ඒ සංගම්වලත් හිටියා. ගඟ අද්දර ‘කටවුට්’ දැකලා තාත්තා තරමක ලැජ්ජාවෙන් ඇඹරෙනකොට (ලක්‍ෂ්මන් කිරිඇල්ල හිටපු ඇමැති තරුණ කාලේ තාත්තගෙ හිතවතෙක්.* එතුමා කියලා තියෙනවා මේ මොන තරම් අවස්ථාවක්ද? මේවා ලැබෙන්නෙ කීයෙන් කී දෙනකුටද? එයා ගමනක් යන බව පෙනෙනවා. ලැජ්ජාවෙන්නෙ මොකටද? ආඩම්බර වෙන්න කියලා. ඒ අය තාත්තාගේ ඔළුව ටිකක් හැදුවා.
 
 * මල්වත්තේ ගීතය
 
 ‘සත්වෙනි දවස’ ෂූටිං නුවර තිබුණ වෙලාවේ මල්වත්තේ ගීතයක් රූපගත කෙරුණා. ඒ වෙලාවේ මාලිනි අතුළු පිරිස අපේ අම්මලගෙ ගෙදර ගියා. මාර සැලකිල්ලක් දුන්නා. ටෝනි අයියා ‘මායා’ ෂූටිං ආ වෙලාවේ අපේ ගෙදර ඇවිත් අම්මලාට පුරුදු විදියේ ලණුවක් දුන්නා.
 
 * පේ‍්‍රම සම්බන්ධයක්
 
 දැන් ඉන්න නිළියො හොයන්නේ සනත්වමයි කියලා යසපාලිත, රවීන්ද්‍ර, ශි‍්‍රයානි මේ වගේ විශාල පිරිසක් අපේ නුවර ගෙදර ගියා. පුදුම ලෙන්ගතු සැලකීමක් අම්මයි තාත්තායි කළා. මං ඉස්කෝලේ යන කාලේදී පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා. ඒකට තාත්තයි අම්මයි විරුද්ධ වුණේ මගේ අධ්‍යාපනය කඩා ගනීවි කියන බයට. ඒක නැවතිලා දැන් කොළඹ ඇවිත් අලූත් ගමනක් යනකොටත් මේ වගේ දේ අහන්න ඒ අය තරමක් බයවුණා. අපේ තාත්තලා ධනය, වත්කම්, කුලය, පරම්පරාව මුල් කරගත් අය නොවේ. ඒ අය හිතන විදිය කියන්න මං එක දෙයක් කියන්නම්.
 
 විලියම් ගොපල්ලව ලංකාවේ ප‍්‍රථම ජනාධිපතිතුමන්ගේ පවුලේ අනුස්කා මැදිවක කසාද බඳින්න මං තීරණය කළාම අපේ අම්මලා තාත්තලා කීවේ ඒ අය අපට වඩා ඉහළයි පුතේ. අපේ පෙළැන්තියෙන් දෙයක් කරගන්න කියලයි.
 
 * මාලිනිගෙන් සත්කාර
 
 1948 තාත්තා ටිකක් ‘පැරලයිස්’ වුණා. ඩැනී මාමා තමයි උදව්වට හිටියේ. මං තාත්තාව ප‍්‍රතිකාර සඳහා කොළඹ ගෙනාවා. මහ රෝහලේ ගෙවන වාට්ටුවක තිබ්බා. මෙය කියන්නම ඕනෑ. ඒ වෙලාවේ මගේ තාත්තා බලා ගත්තේ, කෑම බීම ටික පවා දුන්නේ මාලිනි ෆොන්සේකා. එතුමියගේ සත්කාරය, මනුස්සකම පෙන්වන්නයි කීවේ.
 
 මං අම්මවයි තාත්තවයි බලාගන්න තවත් මනුස්සයෙක් තියලා ගල්කිස්සේ හුළුදාගොඩ පාරෙන් ගෙයක් කුලියට ගත්තා. ගීතා, රෝසි, සබීතා නිතර මගේ මාපියන් බලන්නත් එහෙම එනවා. මගේ ජීවිතේ විශාල රංග පෙරළිය කළ ‘විරාගය’ අරවින්ද චරිතය තිස්ස අබේසේකරයන් මම පුදන්නෙ මේ වෙලාවේ. මං මගේ ශරීරය කෙට්ටු කරගන්න විශාල කැප කිරීම් කරනවා.
 
 * කෙසඟ සිරුරක් හදාගන්න වෑයමක්
 
 ලෝකයේ එවැනි චරිත සඳහා කැපවීම් කළ නළුවන්ගෙ තොරතුරු හොයනවා. මට ‘ගාන්ධි’ කළ බෙන්කිංස්ලි ගැනත් තොරතුරු හම්බ වෙනවා. 1984 සැප්තැම්බර් ඉඳන් 1985 අපේ‍්‍රල් දක්වා මං කෙසඟ සිරුර හදාගන්න කෑම අඩුවෙන් ගන්නවා. වේල් දෙකක්, එකක් කන දවස් තිබුණා. කි‍්‍රම් ක‍්‍රැකර් 2 ක් කාලා දෙහි යුෂ එකක් නැත්නම් ගස් ලබු වීදුරුවක් බීපු දවස් තිබුණා. තාත්තා මගේ වෑයම දිහා බලා ඉන්නවා. අම්මා ටිකක් වැළපෙනවා. හැබැයි තාත්තා ආසාවෙන් ඉන්නවා කියලා මට හිතෙනවා මේ චිත‍්‍රපටය බලන්නත්. කලින් කළ චිත‍්‍රපටිත් එතුමා හොරෙන් බලන්න ඇති. සමහර ඒවා බැලූ බව දන්නවා.
 
 * ජර්මන් ඉගෙන ගන්න පන්ති යනවා
 
 හුළුදාගොඩ පාරේ මේ දෙන්නා නවත්වලා වැඩටත් කෙනෙක් තියලා තාත්තාට ව්‍යායාම කරවන්න (බෙබිල ගහන්න එහෙම තියෙනවානෙ ලෙඬේ හැටියට* ඒකටත් කෙනෙක් නවත්වලා මා විරාගය චරිතයට පුහුණු වන්නේ. මං එළියට ගියාම තාත්තා යනවා ජර්මන් ඉගෙන ගන්න ගල්කිස්සේ තැනකට අමාරුවෙන් කකුලකුත් ඇද ඇද. එයා සංචාරක ව්‍යාපාරේ මොකක් හරි කරන බලාපොරොත්තුවෙන් මේ ජර්මන් ඉගෙන ගන්නේ. බැරිම තැන මං ගාමිණි දිසානායක මහත්මයාගේ මහවැලි අමාත්‍යාංශයේ එතුමාගේ කාර්ය භාරයකට තාත්තාව යෙදෙව්වා. එතකොට අසනීප තත්ත්වයත් තරමක් හොඳයි. ගාමිණි දිසානායක මහත්මයා තාත්තා නැතිවුණාම කීවා මේ තරම් අත්අකුරු ලස්සනට ලියන කෙනෙක් එතුමා දැක නෑ කියලා. අනෙක තමන් වෙත පවරන වගකීම වඩාත් පැහැදිලිව නිරවුල්ව කරන කෙනෙක් තමාට හමුනොවූ බව. මං එතුමාව ඒ රස්සාවට යැව්වෙත් එයා ස්වාධීනව ඉන්න හිතන නිසයි.
 *ඔළුවේ ලේ කැටියක්
 
 තාත්තා ඒ කාලය හරි සතුටින් ගත කළා. ගෙදර එනකොට සාක්කුවේ ටොෆි පුරවගෙන එනවා අනෙත් අයටත් බෙදන්න. අවුරුදු 73 යි ජීවත් වුණේ. මං ‘සසර සැරිසරන තෙක් ඔබ මගේ’ ෂූටිං වලදී මරණය සම්බන්ධව රූපගත කිරීමක ඉඳලා පාන්දර 5 ට දැන් එනවා. තාත්තාව ඉස්පිරිතාලේ ගෙන ගිය බව දැනගෙන රෝහලට ආවා. එතුමාගේ ඔළුවේ ලේ කැටියක් හිරවෙලා අසාධ්‍යව හිටියේ. එහෙත් ඒ දෑස්වල බොඳ බවක් ඇතිවෙලා තිබුණා. මා ඇවිත් අතින් අල්ලාගෙන සිටිද්දීත් එතුමා මට කියනවා. ‘මගේ කොලූවට එන්න කියන්න එන්න කියන්න කියලා. එයාට මම ළඟ ඉන්නවා අන්තිම මොහොතේ පෙනුණෙත් නෑ.
 
 එතුමා මට නිතර කීවේ ඒ කාලේ සුදු අඳින්න. සුදු අඳින්න කියලයි.
 
 * තාත්තාගේ සහතිකය
 
 මට මේ වෙලාවේ තරමක අතීත සිද්ධියක් මතක් වුණා. අපි උසස් පෙළ කරන කාලේ කොල්ලො ටික වැව රවුමෙ පාසල් නිවාඩු දුන් දවසක අරක්කු ටිකක් බීවා. මං හැදෙන වයසෙ තරුණයෙක්. අන්තිමට මට වමනෙත් ගියා. මේක දැකපු කොල්ලෙකුගේ තාත්තා කෙනෙක් පි‍්‍රන්සිපල්ට කාරණය කීවා. පි‍්‍රන්සිපල් අපේ ශිෂ්‍ය නායක ‘බැජ්’ පවා ගැලෙව්වා. තාත්තාට ආරංචිය ආවා. තාත්තා මාව එක්කගෙන ගිහින් ගෙදර තිබුණු පරණ ට‍්‍රන්ක පෙට්ටියක් අරන් ඒකේ සහතිකයක් අතට ගත්තා. මට කියවපන් කීවා. ඒකේ තියෙන්නෙ තාත්තා සුරාබදු නිලධාරි හැටියට විශ‍්‍රාම යන දවසේ ලැබුණු සහතිකය. ඒකෙ තියෙනවා සුරාව දෝරේ ගලන තැනක සුරාව කටේ නොතියපු ඉතාම දුර්ලභ ගණයේ නිලධාරියෙක් බෙනඩික් ගුණතිලක කියලා. මට ලැජ්ජ හිතුණා.
 
 ඊට පහුවෙනිදා උදේ මගේ ඔළුව කැක්කුමයි. මේක වළක්වගන්න මං හංගලා තිබුණු බියර් එකක් බීවා. ඊට පස්සේ තැඹිලි ගෙඩියක් කඩවගෙන බොනකොට අම්මා බැලූවා කවරදාවත් තැඹිලි නොබොන මේකා මේ මොකද තැඹිලි බොන්නෙ කියලා. ඒ වෙලාවෙම මට විශාල වමනයක් ආවා. මං වමනේ දානකොට අම්මා මට කනේ පාරක් ගැහුවා. තරු පෙනුණා ඒ පාරට නම්. ඊට පස්සේ මං බීවේ මාලිනිගේ උපන් දිනයක වයින් ටිකක් විතරයි.
 
 * උදව් කළා නම් වැදුණා
 
 සුනිල් ආරියරත්නයන්ගේ ‘පියාණනි මා නැවත උපන්නොත්’ ගීයට මං ආදරෙයි. තාත්තා පෙන්වපු මනුස්සකම මාත් ඉගෙන ගත්තා. ඒත් ඒ මනුස්සකමට මට ලැබුණේ වරදමයි. අතේ සල්ලි ටික උදුරන් ගිය මිනිස්සු මට හමුවුණා. මං කාටහරි උදව්වක් කළානම් එයාගෙන් මට අනිවාර්යයෙන්ම පහර වදිනවාමයි. මගේ තාත්තා අම්මා තවත් එක ආත්මයකදී මට හමුවෙන්න කියලා මා ප‍්‍රාර්ථනා කරනවා. අපේ තාත්තලා අම්මලා ඔය වගේ ජීවිතේටම රැුවටිලා නෑ. තාත්තාට අම්මාට දොස් කියන එක මනුස්සයෙක් මගේ ජීවිතේදී හමුවෙලත් නෑ. තාත්තා අම්මා බලාගත්ත ඔබව අන්තිම කලේ බලාගන්නෙ කවුද? කියා ඔබ අහනවා. මං මගේ ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙනවා. එක මොහොතක මා හදිසියේ මිය යනවානම් මට ඒක සතුටක්.
 
 * විජය කී දේ
 
 1977 දී ‘නැවත හමුවෙමු’ ෂූටිං කරන කාලේ ඬේසි අක්ක ‘රුක්මණි දේවි’ නැති වුණා. කවුරුත් කම්පා වුණා. ඒ වෙලාවේ විජය කුමාරණතුංග කීවා ඬේසි අක්කා එහෙම නැතිවීම හොඳයි. හිටියා නම් ඇයට තවත් කරදර වේවි කියලා. කවුරුත් විරුද්ධ වුණා. ඒත් ඒ කතාව ඇත්ත.
 
 1988 ජනවාරි 10 දා තාත්තා නැතිවුණා. 1988 ජනවාරි 14 ‘විරාගය’ තිරගත කළේ. තාත්තාට ඒක බලන්න බැරිවුණා. විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16 ඒ විදියටම හදිසියේ නැතිවුණා.
 
 * අම්මාගේ අපූරු වචන
 
 අම්මා තාත්තාගේ මිනී පෙට්ටිය වහන වෙලාවේ එතැන මගේ පිටුපස්සේ ඉඳන් මේ වචන මැතිරුවා ‘අනේ මේ මනුස්සයාව මට ලබන ආත්මෙත් ලැබේවා’ කියලා. මගේ හිත කීරි ගැහිලා ගියා මේ වචන ටිකට. එතුමිය නැති වුණාම නංගි කීවා අම්මා කලින් ලියා තිබූ ලිපියක් ගැන. ඒකෙ ගුණ කථන, මල් වඩම්, කිසිත් එපා. පැය 24 ක් ඇතුළත තාත්තාගෙ මිනීවල තිබෙන ගල්කිස්ස කනත්තෙ ඒ ළඟම එහා පැත්තෙ එතුමිය වළලන්න කියන ඉල්ලීම තිබුණා. අම්මා බෞද්ධ. තාත්තා කතෝලික. ඔහු වළලා තිබෙන ඒ කතෝලික කොටසේ ඇය වළලන එක ප‍්‍රශ්නයක්. ඒත් මං ඒ අභියෝගය ජයගෙන තාත්තා වළදැමූ තැන එහා පැත්තෙම එතුමිය භූමදාන කළා. අරවින්ද විදියට උපේක්‍ෂාවෙන් ජීවිතය දකින්න අද මට පුළුවන්.
 
 උපාලි සමරසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles