Divaina - පාරට බැස්සොත් කොරෝනා එක්ක මගමරුවා... පැය විසිහතරට විතරක් රිය අනතුරු අනූවයි, මරණ නවයයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

තරංග රත්නවීර

 

n24 2

පසුගිය මාසයේ අවසාන දින දහයට පමණක් රිය අනතුරු 527 ක්...
බීමත් රියැදුරන් රැසක් පොලිස් අත්අඩංගුවට...
රිය අනතුරුවලින් මිය යන බහුතරය යතුරුපැදිකරුවන් සහ පදිකයන්...

n23 1නොහික්මුණු රියැදුරන්ගේ නොමනා රිය පැදවීම නිසා සිදුවන අනතුරුවල කිසිදු අඩුවක් නැත. කාලයක සිට අත්විඳිමින් සිටින මේ ඛේදවාචකයට විරාමයක් තැබෙන සේයාවක් හෝ නැත. පසුගිය 03 වැනිදාට ගෙවුණු පැය විසිහතරට පමණක් රට පුරා විවිධ ප‍්‍රදේශවල රිය අනතුරු අනූවක් සිදු වී, මරණ නවයක් වාර්තා වී තිබිණි. එම කාලය තුළදී බීමත් රියැදුරන් දෙසියවිසිඑකක් අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා තිබිණි.

පසුගිය මාසයේ අවසාන දින දහයට පමණක් රිය අනතුරු පන්සිය විසිහතක් සිදු වී තිබිණි. එම දින දහයේදී සාමාන්‍යයෙන් දිනකට රිය අනතුරු පනස්දෙකක් සිදු වී ඇති බව ද වාර්තා වේ. රිය අනතුරු හේතුවෙන් දෙසැම්බර් මස 28 වැනිදා පමණක් පුද්ගලයන් අටදෙනෙක් මියගොස් තිබිණි. මෙරට වාහන ආනයනය කිරීම ආරම්භ කළ දා සිට මේ දක්වා මාර්ග අනතුරු වර්ධනයවීමක් විනා අවමයක් සිදු වී නැත. 2016 වර්ෂය පුරා රිය අනතුරු තිස්නවදහස් දෙසීයක් (39200) සිදු වී ඇත. එම අනතුරු හේතුවෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයන් තුන්දහස්විස්සක් (3020) මියගොස් ඇත. 2017 වර්ෂයේ රිය අනතුරු තිස්හත්දහස් පන්සිය අනූනවයක් (37599) සිදු වී, තුන්දහස් එකසිය පනස්හතරක් (3154) මිය ගොස් ඇත. 2018 වර්ෂයේදී රිය අනතුරු තිස්පන්දහස් අටසිය හතළිස්පහක් (35845) සිදු වී තුන්දහස් එකසිය පනස්එකක් (3151) මිය  ගොස් ඇත. 2019 වර්ෂයේ දී රිය අනතුරු තිස්දහස් හාරසිය හැත්තෑහයක් (30476) සිදු වී දෙදහස් අටසිය පනස්එකක් (2851) මියගොස් ඇත. 2020 වර්ෂයේ නොවැම්බර් මස 30 වැනිදාට රිය අනතුරු විසිහත්දහසක් (27000) සිදු වී එක්දහස් නවසීයක් (1900) මිය ගොස් තිබිණි. 2016, 2017 වර්ෂවලදී රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගල මරණ අටක්, නවයක් සිදු විය. 2018, 2019 වර්ෂවලදී රිය අනතුරු හේතුවෙන් දිනකට වාර්තා වන පුද්ගල මරණ අටකට සීමා වී තිබිණි. 2020 වර්ෂයේදී රිය අනතුරු හේතුවෙන් දිනකට වාර්තා වූ පුද්ගල මරණ හයට වැඩි නොවිණි.

එහෙත් පසුගිය වසරවලට සාපේක්‍ෂව 2020 වර්ෂයේ රිය අනතුරුවල අඩුවීමක් පෙන්නුම් කළ ද එය සතුටට කාරණයක් නොවේ. කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාස කිහිපයක් මුළු රටම වසා තැබිණි. දෙවැනි කොරෝනා රැුල්ල හේතුවෙන් බස්නාහිර පළාතේ විවිධ ප‍්‍රදේශ මෙන්ම, සෙසු පළාත්වල ප‍්‍රදේශ ද විටින් විට වසා තැබුණු බව සැබෑය. එමෙන්ම කොරෝනා මඟ සැරිසරන බැවින් පසුගිය අවුරුද්දේ වැඩි කාලයක් රටේ මිනිසුන් පාරට බැස්සේ අඩුවෙනි. රට නැවත විවෘත වීමත් සමඟ නිවෙස්වල සිර වී සිටි මිනිසුන් නිදහසේ සැරිසරන්නට විය. මිනිසුන් පාරට බැසීමත් සමඟ නැවතත් මහමඟ ඛේදවාචකයක් බවට පත් වෙමින් තිබේ.

නව වසරේ උදාව සැමරීම සඳහා පසුගිය 2 වැනිදා අලූයම සිය යතුරුපැදියෙන් ඥාතීන් සමඟ ගාලූමුවදොර පිටියට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටි 18 හැවිරිදි සිසුවකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එසේ මියගොස් ඇත්තේ පිටකෝට්ටේ, පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවතේ පදිංචිව සිටි උසස් පෙළ හදාරමින් සිටි සිසුවෙකි. ජපන් මිත‍්‍රත්ව මාර්ගය ඔස්සේ කිඹුලාවල හන්දිය දෙසට එමින් සිටියදී මෝටර් රථයක ගැටී අනතුරට පත් වූ එම සිසුවා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන මොහොතේදී මියගොස් සිටි බව පොලිසිය පවසයි. එමෙන්ම පසුගිය 02 වැනිදා සවස හොරණ කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පිළියන්දල, කැස්බෑව 14 කණුව ප‍්‍රදේශයේදී ජීප් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මියගොස් ඇති බව පිළියන්දල පොලිසිය වාර්තා කර තිබිණි. රිය අනතුරකින් පිළියන්දල හැටහතර වියැති පුද්ගලයෙක් මියැදෙන විට හපුතලේ සිට බළන්ගොඩ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් හල්දුම්මුල්ල, වල්හපුතැන්න මහ වංගුව ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි දෙසීයක් පමණ ප‍්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් කුඩා දරුවන් අටදෙනකු ඇතුළු දාහතරදෙනකු බරපතළ තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දියතලාව රෝහලට මාරු කර යවා ඇති බව ද වාර්තා වේ. එම අනතුර සිදු වී තිබුණේ පසුගිය 03 වැනිදා රාත‍්‍රියේය. අනතුරට මුහුණ දී සිටියේ බළන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් හපුතලේ ලිප්ටන් සිටි නැරඹුම් මධ්‍යස්ථානයේ සංචාරය කරමින් ආපසු පැමිණෙමින් සිටින විට මෙසේ අනතුරට පත්ව ඇති බව හල්දුම්මුල්ල පොලිසිය වාර්තා කර තිබිණි.

ඒ වාර්තා වූ රිය අනතුරුවලින් සිද්ධි තුනක් පමණි. ගෙවී ගිය දින කිහිපයේදී මහ මඟ සිදු වූ සියලූ රිය අනතුරුවල කඳුළු කතා ලිවීමට මේ සටහන පොතක් බවට පරිවර්තනය කිරීමට සිදු වේ. මෙරට සෑම විනාඩි පහකට සැරයක්ම මාර්ගයේදී රිය අනතුරක් සිදුවන බව සැබෑය. වර්තමානයේ සිදුවන මාර්ග රිය අනතුරුවලින් බහුතරය සිදු වී තිබෙන්නේ රියැදුරු තැනගේ අපරික්‍ෂාකාරී බව හේතුවෙනි. නොඉවසිලිමත්භාවය නිසාය. අවදානම් සහිත ස්ථානවලින් වාහනය තවත් වාහනයකට ඉස්සර කිරීම, බීමත්කම, අධික වේගයෙන් ධාවනය කිරීම සහ රියැදුරන්ට නින්ද යෑම අනතුරු ඇති කිරීමේ ප‍්‍රධාන හේතු විය.

හදිසි අනතුරක් යනු බලාපොරොත්තු නොවූ හේතුවක් නිසා ඇති වන අසාමාන්‍ය සිද්ධියක් බව සැබෑය. එහෙත් මාර්ගයේ වාහන ධාවනය කරන රියැදුරන්ට අනතුරක් වළක්වාගැනීමේ හැකියාව තිබිය යුතුය. මහ මඟ රිය ධාවනය කරවන්නේ තිරිසනුන් නොව, මොළයක් සහිත මනුෂ්‍යයෝය. එහෙයින් සිත එක්තැන් කරගෙන මනුෂ්‍යයකු ලෙස රිය ධාවනය කිරීමට රියැදුරන්ට සිහිය තිබිය යුතුය. බමන මතින් මන්ද බුද්ධිකයන් ලෙස රිය ධාවනය කිරීම තුළින් මහමඟ මරණ මඟක් වනවා විනා ආරක්‍ෂිත තැනක් නොවේ.

මෙරට මාරාන්තික රිය අනතුරු බහුලව සිදුවන්නේ ඒ 1 මාර්ගයේ කඩවත සිට කෑගල්ල දක්වා නිට්ටඹුව, ගම්පහ සහ වරකාපොළ පොලිස් වසම් තුළදී බව සමීක්‍ෂණයකින් හෙළි වී ඇත. එමෙන්ම කොළඹ පුත්තලම මාර්ගයේ මීගමුවේ සිට පුත්තලම දක්වා මාර්ගය ද අනතුරු බහුල ප‍්‍රදේශයකි. කොළඹ සිට රත්නපුරේ මාර්ගයේ හෝමාගම සිට රත්නපුරය දක්වා මෙන්ම කොළඹ සිට ගාල්ල, මාතර මාර්ගයේ පානදුර සිට ගාල්ල දක්වා මාර්ගය ද නිරන්තරයෙන්ම මාරාන්තික රිය අනතුරු සිදු වන බවට හඳුනාගෙන තිබේ. මෙරට වසරකට වාර්තා වන රිය අනතුරු ප‍්‍රමාණයෙන් 60% කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වන්නේ ඉහත සඳහන් මාර්ග තුළදීය. මේ ප‍්‍රදේශවල රිය අනතුරු වැඩි වීමට ප‍්‍රධාන වශයෙන් බලපා ඇති කාරණය වන්නේ කොළඹ නගරය තුළ මෙන්ම ඊට ආසන්න මාර්ගයන්හි පවතින අධික වාහන තදබදයක සිර වී සිටින හෝ සිරවීමේ අවිනිශ්චිතකමෙන් පෙළෙන රියැදුරන් වාහන තදබදය අඩු නිදහස් මාර්ගවල ‘ඇරියස් කවර්’ කරන්නට අධික වේගයෙන් රිය ධාවනය කිරීමය. මාර්ගයේ ධාවනය වන සෙසු වාහන, පදිකයන් ගැන වගක් නැතිව, මාර්ග නීති තුට්ටුවකට මායිම් නොකර වාහන ධාවනය කිරීමය. විශේෂයෙන්ම පෞද්ගලික බස් රියැදුරන්ය. ඔවුන්ට ලබාදී ඇති ධාවන කාලය අවසන් කිරීමට පෙර තම බස් රථය ගමනාන්තයට ගෙන යෑමට ඔවුහු මාර්ගය ධාවන පථයක් කරගන්නාහ. එමෙන්ම එම ප‍්‍රදේශවල ජීවත්වන ත‍්‍රිරෝද රථකරුවන්, යතුරුපැදිකරුවන් ධාවනය කරන්නේ ‘මේ අපේ ගම... අපට උඩින් කපුටෙකුටත් යන්න බෑ... හැප්පුණොත්  ගහනවා...’ යන ‘ගොං පාට්’ පුහු මානසිකත්වයෙනි. රාත‍්‍රියට, උදෑසනට දුර ගමන් සේවා බස් රථ, ටිපර් රථ ධාවනය කරවන්නේ ද උමතු රෝගීන් ලෙසය.

වාර්තා වන ආකාරයට මාර්ග රිය අනතුරුවලට ප‍්‍රධාන වන්නේ යතුරුපැදිකරුවන්, ත‍්‍රිරෝද රථකරුවන් සහ බර වාහන පදවන්නන්ගේ උමතු වාහන පැදවීමය. වසරකට රිය අනතුරු හේතුවෙන් මිය යන සංඛ්‍යාවෙන් 39% යතුරුපැදිකරුවන්ය. පදිකයන් 30% ක් මියයන විට පාපැදිකරුවන් 9% ක් මිය යන්නේය. එමෙන්ම බරපතළ රිය අනතුරු හේතුවෙන් මාරාන්තික තත්ත්වයට පත් වන සෑම විසිදෙනකුගෙන් එක් අයකුම සදාකාලික අබ්බගාතයන් හෝ අංගවිකල තත්ත්වයට පත්වන්නේය. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන බහුතරය අවුරුදු 50 - 71 වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් බව ද වාර්තා වේ. මේ මිනිසුන් අකාලයේ මිය යෑම සහ ආබාධිත තත්ත්වයට පත්වීම රටේ ආර්ථිකයට විශාල බලපෑමකි. එමෙන්ම රිය අනතුරු හේතුවෙන් බරපතළ තත්ත්වයට පත්වන පුද්ගලයන් සුවපත් කිරීමට මෙරට රජය දරන වියදම අති විශාලය. අනතුරකට පත් පුද්ගලයකුට පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මවලට භාජන කොට දැඩිසත්කාර ප‍්‍රතිකාර සමඟ ප‍්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් රුපියල් ලක්‍ෂ දහයකට වැඩි මුදලක් වැය වන්නේය. එහෙත් හදිසි අනතුරු නිසා තුවාල ලබන රෝගීන්ට ලබා දෙන දැඩිසත්කාර ප‍්‍රතිකාර, ඔවුන්ට ලබා දෙන බෙහෙත් ප‍්‍රමාණය, එම රෝගියාට සිදු කළ ශල්‍යකර්මවල වියදම රජයේ රෝහල්වලදී ගණනය කිරීමක් නොකෙරේ. බොහෝ විට පෞද්ගලික රෝහලකදී ප‍්‍රතිකාර සඳහා වැය වන මුදලට සමාන මුදලක් රජයේ රෝහලකදී ද වියදම් වේ. පෞද්ගලික රෝහලක හෝ රජයේ රෝහලක ප‍්‍රතිකාර සඳහා වියදම් වන්නේ රටේ ජනතාවගේ මුදල්ය. බෙහෙත් සඳහා පිටරටට ගලා යන්නේ රටේ මුදල්ය. මාර්ග අනතුරු නිසා අත් පා අහිමිව ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයන් ආඝාත තත්ත්වයන්ට පත්ව සදාකාලික  රෝගීන් වන පිරිස ඉතිරි ජීවිත කාලයම ගෙවනු ලබන්නේ රටේ ආර්ථික ක‍්‍රියාවලියට දායක නොවන යැපෙන්නන් ලෙසටය. ජීවිත කාලයක් පුරා ඔවුන්ව නඩත්තු කිරීමට රජයට වෙනම පිරිවැයක් දැරීමට සිදු වේ. එහෙයින් මාර්ග අනතුරු නිසා රටේ සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට සිදුවන බලපෑම කිසිදු ලෙසකින් තක්සේරු කළ නොහැකි ය.

එමෙන්ම ‘මරණත්’ වෙළෙඳ භාණ්ඩයක් කරගන්නා ඇතැම් රූපවාහිනී මාධ්‍ය රිය අනතුරුවලට ලක්ව ඔලූකටු කුඩු වී මඟ වැටී සිටින මිනිසුන්ව ද හිතක්, පපුවක් නොමැති ගාණට රස කරමින් ප‍්‍රදර්ශනය කරති. එය මෙරට අනාරක්‍ෂිතභාවය ලෝකයා ඉදිරියේ ප‍්‍රදර්ශනය කිරීමක් බව එම මාධ්‍යවලට නොදැනීම කනගාටුවට කරුණකි. මහමඟ මෙපමණටම අනාරක්‍ෂිත එකක්දැයි තේරුම් ගිය විට අපේ රටේ සංචාරය කිරීමට කැමැත්තෙන් සිටින විදේශිකයකු ද නොඑන බව එම මාධ්‍ය කඩකාරයන් තේරුම් නොගැනීම රටේ කරුමයකි. රූපවාහිනී මාධ්‍ය කොතරම් තලූමරමින් අනතුර සිදු වී ඇති අයුරු රූප පෙට්ටියෙන් ප‍්‍රදර්ශනය කළ ද අපේ රටේ මිනිසුන් කම්පනයට පත්වන්නේ එය දකින විට පමණි. එතැනින් එහාට අපේ මිනිසුන්ට ඒ ගැන අමුතු දුකක් ඇති නොවේ. එසේ වූවා නම් මෙතරම් මාර්ග අනතුරු වැඩි වන්නේ ද නැත. එකම පවුලේ හත් අට දෙනා එක තැන මියැදෙන්නේ නැත. ? තිස්සේ මදාවී රේස් පැද පුංචි මල් කැකුළු මහ මඟ මරා දමන්නේ නැත. පදික වේදිකාවේ ගමන් කරන බඩදරු අම්මලා, කිරිකැටියන් මඟමරු රථවලට යට වී කුඩු පට්ටම් වී යන්නේ ද නැත. අප තේරුම්ගත යුතු යථාර්ථය එයයි.

මහමඟ මේ සිදුවන අනතුරුවලින් ප‍්‍රදර්ශනය වෙමින් පවතින්නේ රටේ මිනිසුන්ගේ නොඉවසිලිමත්කමේ දිග පළලය. විනයක් නැති සමාජයක අනාරක්‍ෂිතභාවයයි. එහෙයින් මහ මඟ සුරක්‍ෂිත තැනක් බවට පත් කිරීමට පවතින රජය විසින් කඩිනමින් ස්ථිර වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය. කොරෝනා ව්‍යසනයෙන් පසුව පැමිණෙන වසන්ත සමයේදී මහමඟ ‘මරණ මඟක්’ බවට පත්වීමට පෙර එම වැඩපිළිවෙළ සමාජයට ඉදිරිපත් කළ යුතුය. එසේ නොකර අරක කරනවා, මේක කරනවා කියා වචන රටට අවැසි නැත. ජනතාව බලාසිටින්නේ ආණ්ඩුව වැඩ කරන හැටිය...

*
 

විශේෂාංග

sikuru

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles