Divaina - රස්සාවට මිනී කපා පෝයදාට සිල් රකිනා ගල්ගමුවේ හේරත් මාමා

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මීනි කැපුවත් පළමු ශික්ෂා පදය කඩා නෑ...

තිස්ස ගුණතිලක
(ඡායාරූප) ආනන්ද කරුණාතිලක - ගල්ගමුව


harak333ඔහු මහ ලොකු උගතෙකු නොවේ. එහෙත් ඔහු සමග කතා කළ අඩ හෝරාව ජීවිතයේ යථා රූපය ඇස් ඉදිරියට ගෙන ඒමට ඔහු සමත් විය. පොතේ පතේ දැනුමැති උගතෙකු සමග කතා කරනවාට වඩා ඒ කතාව රසවත්ය. ඇත්තෙන්ම ඔහුට තිබුණේ බොහෝ දෙනෙකුට නොමැති ජීවිතාවබෝධය නමැති උපාධිය ය. එය ඔහු ලබාගෙන තිබුණේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් නොව රැකියාවෙන් ලද නිරන්තර අත්දැකීම් තුළින්ය. ඒ අත්දැකීම් සම්භාරය කෙටි කාලයකට ලබා ඇති මේ ජීවන යාත‍්‍රාව නිවැරදිව පැද යෑමට කාට වුවද ප‍්‍රමාණවත්ය. ඔහු සමග කතා කරමින් ගෙවුණු සෑම තත්ත්පරයකදීම මට සිතුණේ එහෙමය. ඔහු ගල්ගමුවේ හේරත් මාමාය. හේරත් මාමාගේ රැකියාව මිනී කැපීමය. සෞඛය කාර්ය මණ්ඩලයට අයත් රැකියාවක් වන එය සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ හඳුන්වන්නේ කටර්මන් කියාය. මරණ පරීක්ෂණ සඳහා අවශ්‍ය මිය ගිය සිරුරු විද්‍යානුකූලව කපා පරීක්ෂණවලට ලබා දීම එම රැුකියාවේ ස්වාභාවය වන්නේය. රැකියාව ලෙස මිනී කැපුවද හේරත් මාමා මේ ජීවිතයේ කුරා කුහුඹුවකුටවත් වරදක් කර නැත. මනුස්සකම ඉහ වහා ගිය පුද්ගලයකු ලෙස කා අතරත් ප‍්‍රසිද්ධ හේරත් මාමා මේ රැකියාවට පැමිණ ඇත්තේ 1971 වසර තරම් ඈතකදී ය. එතෙක් මෙතෙක් කාලයේදී මළ සිරුරු ඇසුරෙහි ගෙවූ ජීවිතය තුළින් අපි නොදකින ලෝකය ගැන ඔහු කියන මේ කතාව මිනිසුන් වන කාටත් වැදගත් බව මගේ වැටහීමය.

‘‘මේ වෙනකොට මගේ අතින් මිනී හත් අටදාහක් කපල ඇති.’’ හේරත් මාමා කතාව පටන් ගත්තේ එහෙමය.

‘‘ඉස්සර මේ රස්සාවට තියා රෝහල්වල කසළ ශෝධක රස්සාවට එන්නවත් කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ නිසා අඬගහල කතා කරල තමයි මේ රස්සාවට මිනිස්සු ගන්නෙ. මමත් කසළ ශෝධකයෙක් විදියට රස්සාවට බැඳුනෙ වෙන කරන්න රස්සාවක් නැතිකමට. දැන් වගේ දියුණු ක‍්‍රමයක් ඒ කාලේ තිබුණේ නෑ. හැම එකක්ම අතින් තමා කරන්න තිබුණේ. මුලින්ම හිටියේ රඹුක්කන රෝහලේ. ටික දවසක් රෝහල් වාට්ටු සුද්ද පවිත‍්‍ර කරගෙන ඉන්නකොට දවසක් සිල්වා කියන දොස්තර මහත්තයා ඇවිත් මට මෙහෙම කතාවක් කිව්වා.

‘‘මැහි තෙල් බීලා ගෑණු ළමයෙක් මැරිලා ඉන්නවා. එයාගෙ බොඩි එක කපන්න කව්රුත් නෑ හේරත් කැමති ද මේකට සම්බන්ධ වෙන්න.’’

මහත්තයාගේ ඒ ඉල්ලීමට දෙවරක් නොහිතම මම කැමත්ත දුන්නා. ඉස්සර දැන් වගේ නෙවෙයි. කව්රු හරි එහෙම මැරුණම, මරණ පරීක්ෂණය තියන්නෙ සිද්ධිය වුණ තැනම. දැන් වගේ පහසුකම් නැති නිසා මැස්සක් හරි ගහල ඒක උඩ මිනිය තියල වැඬේ කරනවා. වෛද්‍යවරයයි, පොලීසියයි, කොරනේල් මහත්තයයි මිනිය තියන තැනට යන්න ඕන. මේ ගෑණු ළමය මැහි තෙල් බීලා මැරිල හිටියෙ ගඩොල් පෝරණුවක් ළඟ. ඒක තමයි මිනියක් කැපුව මගේ පළවෙනි අත්දැකීම.

harak222හැබැයි ගිය ගමන් ඒ වගේ සියදිවි හානිකරගත්ත සිරුරක් කපන්නෙ නෑ. ඊට කලින් කරන්න වැදගත් වැඩ කොටසක් තියනවා.’’ හේරත් මාමා අපේ කුහුල අවුස්සමින් කීවේය. ඒ කුමක්දැයි මා ඇසූ විට ඔහු මහත් ඕනෑකමින් කතාව යළි පටන් ගත්තේය.

”මුලින්ම ගිහින් බලන්නෙ මිනිය තිබිච්ච ස්වභාවය. එයා මැරෙන්න කලින් දඟලලාද, තුවාල තියනවද කියල බලල මිනිය මැස්ස උඩින් තියනවා. ඊට පස්සෙ ඇඳන් ඉන්න ඇඳුමේ මොනව හරි පැල්ලම් තියනව නම් ඒවා සටහන් කරගන්නවා. එහෙම බලල ඇඳුම අයින් කරල ශරීරයේ තුවාල කැළැල් තියනවද බලනවා. ඊට පස්සෙ එයාගෙ උස, හිසකෙස්වල දිග. අතේ පයේ ඇඟිලි අඩුද, කටේ තියන දත් ගාණ. ඒවා කැඩිල එහෙම තියනවද, මේ ඔක්කෝම වෛද්‍යවරයට අරන් දෙන්න ඕන. මොකද මෙයා වස බොන්න කලින් එහෙම තුවාල, කටේ දත් කැඩිල වගේ දේවල් තියනව නම් එතන මොකක් හරි ප‍්‍රශ්නයක් තියනවනේ. ඒවා දැනගන්න තමා එහෙම කරන්නෙ. ඊට පස්සෙ වෛද්‍යවරයා කියනවා මිනිය කපන්න කියල.

මිනිය කපන්න පටන් ගන්නෙ උගුරු දණ්ඩෙ ඉඳල. ඉස්සර නම් ඒකට පොඩි කියත් පටියක් පාවිච්චි කළා. දැන් සර්ජිකල් බ්ලේඞ් එකක් හරි සුදු යකඩ පිහියක් හරි පාවිච්චි කරනවා. හම තුනී කරගත්තම කපන්න ලේසි. එහෙම කපල ඉල ඇට කූඩුව පාදගන්නවා. ඒකට ඇලිල තියනවා සුදු පාට තුනී හමක් වගේ කෑල්ලක්. ඒක සයිඞ් එකෙන් අයින් කරගන්න ලේසියි. ඊට පස්සෙ උගුරෙ ඉඳල දිවත් එක්ක පල්ලෙහට තියන සම්පූර්ණ කෑලි ටික එකට ගන්නවා. ඒවා අරන් ඔක්කෝම හෝදල එක එක අවයව වෙන් කරනවා. මුලින්ම ගන්නවා පෙනහළු දෙක. ඊට පස්සෙ හෘදය වස්තුව. ඊළඟට ලිවර් එක. ආමාශය. ඇලදිව, වකුගඩු මේවා එකින් එක අරන් කපල බලන්න ඕන. මැහි තෙල් වගේ වස විසක් බීපු කෙනෙක්ගෙ විශේෂයෙන් බලන්න තියෙන්නෙ පෙනහළු දෙක. මොකද මැහි තෙල් බීපු ගමන් කෙනෙක්ගෙ පෙනහළු දෙකේ සෙම පිරෙනවා. ඒක දැක්ක ගමන් ඉතින් තේරුම් ගන්න පුළුවන් මරණයට හේතුව වස බීපු එකම කියල.’’

ජීවිතයේ කුමන හෝ ගැටලූවකට මුහුණ දීමට නොහැකිව පුද්ගලයෙක් ජීවිතය හානි කරගැනීමට වස විස පානය කිරීමට පෙළඹුණ ද අවසාන මොහොතේදී පවා ඔවුන් ජීවිතය යදින බව හේරත් මාමා කියන්නේ අත්දැකීමෙනි. රෝහල් ගත කරන එවැනි පුද්ගලයින් කොතරම් වේදනාවක් විඳින්නේදැයි දන්නා කෙනෙක් කිසිදින එවැන්නකට නොපෙළඹෙන බව ඔහු කියන්නේය.

‘‘වස බීල රෝහල්වලට ගේන අය විඳවන විදිය දන්නව නම් කවදාවත් කවුරුත් ඒ වගේ මෝඩ තීරණ ගන්නෑ. වස බීපු කෙනෙක් රෝහලකට ගෙනාව ගමන් කරන්නෙ බෝතලයකට වතුර පුරවල එකපාරට අනිත් පැත්ත හරවල බෝතලේ වතුර ටික යවනව වගේ එයාගෙ ආමාශයට බටේකින් වතුර පොවල පිරෙද්දිම අනිත් පැත්තට හරවල වතුර එළියට ගන්නවා. පස් හය පාරක් එහෙම කරල ඔක්කෝම විස එළියට ඇදල අරන් තමා වෛද්‍යවරු ප‍්‍රතිකාර පටන් ගන්නෙ. මම ඒ වගේ වැඩවලට උදව් කරල තියනවා.’’

හේරත් මාමා ඊළඟට කතා කළේ අධික ලෙස මත්පැන්වලට ලොල් වූ මිනිසුන්ගේ සිරුරේ ඇතුළත ස්වභාවය පිළිබඳවය.

‘‘ඔය මත්පැන්වලට ඇබ්බැහි වෙලා මැරෙන අය ඉන්නවා නේද. එයාලගේ ලිවර් එක පොඩි වෙලා කළු වෙලා තියෙන්නෙ. බලන්න කැතයි. මළ සිරුරු කපද්දි මම දැකල තියන සාමාන්‍යයෙන් නිරෝගිමත් අයගේ අක්මාව තනි කරම ලේ කැල්ලක් වගේ තියෙන්නෙ, පිරිසිදුයි. ඒත් නිතර බොන අයගෙ අක්මාවේ කොටස් පිච්චෙන නිසා ඒ වගේ අක්මාවකින් ලේ පිරිසිදු කරල සිරුරට දෙන්න බෑ. ඊට පස්සෙ තමයි ඒ වගේ අය වමනෙ කරත් මුත‍්‍රා කරත් ලේ යන්නෙ. අත පය හීනි වෙලා බඩ විතරක් ලොකු වෙලා සිරෝසිස් රෝගය හැදෙන්නෙ. ඒ වගේ අයගේ ආමාශයත් තියෙන්නෙ හොඳටම තුවාල වෙලා තැම්බිලා. වකුගඩුත් සවුත්තු වෙලා.’’

හේරත් මාමා මේ අත්දැකීම් සම්භාරයෙන් බහුතරය ලබා ඇත්තේ ගල්ගමුව මහ රෝහලේ සේවය කරන විටය. මිනී මැරීමේ සිදුවීම් පවා හෙළි කර ගැනීමට එහිදි ඔහු ලැබූ අත්දැකීම් පසුකාලයේදී ඔහුට ප‍්‍රයෝජනවත් විය. එක්තරා සැමියෙක් තම බිරිඳ ඝාතනය කර එය සිය දිවි නසාගැනීමක් ලෙස පෙන්වීමට ගත් උත්සාහයක් හෙළි කරගැනීමට හේරත් මාමා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සහය වූ කතාවක් ඔහු අපට කීවේය.

‘‘කුරේට කාල කාන්තාවක් මැරිල ඉන්නවා, මිනිය කපන්න එන්න කියල මට පණිවිඩයක් ආවා. අපි ඒ කාන්තාව මැරිල හිටිය තැනට යනකොට ගෙදර හිටිය බලූ පැටියත් මැරිල. ගෙදර මනුස්සයගෙන් ඇහුවාම කිව්වෙ එයාගෙ බිරිඳ කුරේට කාල එහෙන්ම වමනෙ කරා, බලූ පැටිය ඒ වමනෙ කාපු නිසා ඌත් මැරිල කියල. එහෙම කියපු ඒ මනුස්සයා බිරිඳ වමනය කරපු තැනත් අපට පෙන්නුවා. ඒත් කොරනෙල් මහත්තයටත් ඉවෙන් වගේ පොඩි සැකයක් ඇතිවෙලා තිබුණා. මහත්තයා කිව්ව මට මිනිය කපන්න කියල. මම මිනිය අරන් කපන්න බලනකොටම හොඳටම දැක්කා බෙල්ල තැලිල තුවාල වෙලා වගේ තියනවා. මේක නම් කුරේට කාල නෙවෙයි මිනීමැරුමක් වගේ කියල මම ඒ වෙලේම මහත්තයට කිව්වා. ඒක අහපු කොරනේල් මහත්තයත් ටිකක් කලබල වෙල කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයට සිද්ධිය කිව්වා. ඔහු කිව්වා මිනිය වහාම එහෙට ගේන්න කියල. අපි එහෙ ගිහින් මිනිය කපල බලනකොට පිටින් තැලිල තිබුණ බෙල්ලෙ ඇතුල් පැත්තෙ ලේ පැල්ලමක් තියනවා. ඒකෙන් තීරණය වුණා බෙල්ල තැලීමක් වෙන අවස්ථාවේ හුස්ම හිරවෙලා තියනවා කියල. පස්සෙ පොලීසියෙන් මේ මනුස්සයගෙන් ප‍්‍රශ්න කරද්දි හැමදේම ඇත්ත හෙළිවුණා. මනුස්සයා කරල තියෙන්නෙ බිරිඳට ගහල බෙල්ල පාගල මැරුණට පස්සෙ කුරේට ටිකක් බිරිඳගෙ කටේ ගාල. මරණය ගැන කාටවත් සැක නොහිතෙන්න තමයි බලූ පැටියගේ කෑම එකට කුරේට අනල දාල ඌවත් මරල තියෙන්නෙ.’’

හේරත් මාමාගේ ජීවිතය පිරී ඇත්තේ මෙවැනි අද්දැකීම්වලිනි. ඇතැම් විට විහිළු තහළුවෙන් අද දවසේ ඔහු සමග කතා කරමින් සිටි ඥාති හිතවතුන්ගේ ප‍්‍රාණය නිරුද්ධ වූ මළ සිරුරු පරීක්ෂණ සඳහා කැපීමට හේරත් මාමාට සිදුවන්නේය. ඔහු එවැනි අවස්ථාවල සංවේදී නොවී රාජකාරියට බසින්නේ එය තමන් කරන දේවකාරියක් පරිද්දෙන්ය. හේරත් මාමා පවසන්නේ මිනී කැපීමේදී තමන් සංවේදීම වන අවස්ථාව වන්නේ මිය ගිය කුඩා දරුවන් ඉදිරිපිටදී බවය. කොතරම් මිය ගිය සිරුරු කපා තිබුණද කුඩා දරුවකුගේ සිරුරක් කැපීමට ගන්නා සෑම මොහොතකම හේරත් මාමාගේ සිත අදටත් තිගැස්සෙන්නේය. ඒ තිගැස්ම බිය මුසු හැඟීමක් නොව සිරුරේ අභ්‍යන්තරයෙන් එන සිත කම්පාවට පත්කරන වේදනාකාරි රිදුමක්ය. මළ මිනී ඇසුරෙහි ජීවිතය ගෙවුණ ද බිය යන වචනය නම් හේරත් මාමාගේ ශබ්දකෝෂයට කෙදිනකවත් පැමිණ නැත. එහෙත් මේ රැුකියාවේදී එවැනි අභියෝගාත්මක දුෂ්කර අවස්ථාවලට නම් හේරත් මාමා ඕනෑ තරම් මුහුණ දී තිබේ. එවකට ආන්දෝලනාත්මක මරණයක් වූ ශ‍්‍රීපති සූරියආරච්චි මහතාගේ මරණයේදී හේරත් මාමා එවැනි අවස්ථාවකට මුහුණ දුන්නේය.

ශී‍්‍රපති සූරියආරච්චි මහතාගේ මිනිය කැපීමට කටර්මන්ලා පස්ස ගහද්දී හේරත් මාමා ඉදිරිපත් වේ.  (ලබන සතියට)

විශේෂාංග

sikuru

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles