Divaina - වැඩිම රෝගීන් පිරිසක් රෝහල් වෙත රැගෙන ගිය... බෝවන කොරෝනාවට බය නැති රියැදුරුට සම්මාන

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 ලලිත් චාමින්ද
 ambulance



 
ගිලන් රථ රියදුරකු වූ සුදේෂ් වරුණශාන්ත කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් රැගෙන සිය ගිලන් රථයෙන් කාත්තන්කුඩි රෝහල දක්වා ගමන් කරමින් සිටියේය. ගිලන් රථය විදුලි වේගයෙන් මොණරාගල අම්පාර මාර්ගය දිගේ ධාවනය වෙමින් තිබුණි. මාර්ගය දෙපස දක්නට ඇත්තේ ඝන කැලෑවකි. මාර්ගයේ තැනිත් තැන සිට අලි රංචු ද මග හරිමින් සුදේෂ් ගිලන් රථය ධාවනය කරමින් සිටියේය. ඒ වනවිට හතේ කණිසමද පසුවී තිබුණි. ගිලන් රථයේ පිටුපස සිටි කොරෝනා ආසාදිත තරුණියක් ගිලන් රථයේ රියදුරු අසුනට පිටුපසින් ඇති දොරට තඩිබාන්නට විය. ‘අයියේ අම්මා කෙනෙකුට ගොඩක් අමාරුයි. ඉතා අමාරුවෙන් හුස්ම ගන්නේ’ තරුණිය එසේ කියමින් කෑගසන්නට වූවාය. ගිලන් රථයේ කොරෝනා ආසාදිත ඇඟලූම් සේවිකාවන් සිව් දෙනෙකු හා වයස්ගත කාන්තාවන් තිදෙනෙකු සිටියහ. කුමක් කරන්නේද යන්න සුදේෂ් කල්පනා කරන්නට විය. ‘අපි සර්ට කථා කරලා කියමු’ සුදේෂ් තම ගිලන්රථ සහායක දිනේෂ් අපරැක්කට කීවේය. ඒ අනුව සුදේෂ් ගාල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජීවරත්න මහතාට දුරකථන ඇමතුමක් ගෙන මේ ගැන කීවේය. සුදේෂ් ළඟම තියෙන මූලික රෝහලට රෝගියා අරගෙන යන්න. කොරෝනා රෝගියකු කියලා රෝහලේ ඉන්න දොස්තර මහත්තයාට කියන්න. සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලැබුණි. ඒ වනවිට මූලික රෝහලකට යෑම සඳහා තවත් කිලෝමීටර් 70ක් පමණ ගමන් කළ යුතු විය.
 
 සුදේෂ් පවනට බඳු වේගයෙන් ගිලන් රථය ධාවනය කරන්නට විය. කොරෝනා ආසාදිත මව ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් ජිවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් සිටියාය. සුදේෂ් ගිලන් රථය මාර්ගයේ පසකට වන්නට නතරකොට මීටරයක පරතරය තබා ගනිමින් ගිලන් රථයේ දොර විවෘතකොට ආසාදිත මවට කථා කළේය. ‘අනේ පුතේ මට ටිකක් හාන්සිවෙන්න ඕන.’ මව කීවාය. ගිලන් රථයේ සිටි අනිකුත් රෝගින් දෙපසට කළ සුදේෂ් මවට හාන්සිවීම සඳහා ඉඩකඩ ලබා දීමට කටයුතු කළේය. විනාඩි 10 ක් පමණ ගතවිය ‘දැන් කොහොමද අම්මේ’ සුදේෂ් මවගෙන් විමසන්නට වූවාය. ‘පුතේ දැන්නම් හුස්ම ගන්න පහසුයි. ටිකක් හොඳයි’ මව හීන් ස්වරයෙන් කීවාය. අඩ හෝරාවකට පසු සුදේෂ් ගිලන් රථය පණගන්වාගෙන කාත්තන්කුඩි රෝහල දක්වා කොරෝනා රෝගීන් නිරුපද්‍රිතව රැගෙන යනු ලැබීය. ‘පුතා හින්ද තමයි මගේ පණ බේරුණේ’ මව සුදේෂ්ට දෑත් එක්කොට ආචාර කළාය. සුදේෂ්ට ඇතිවූයේ සියුම් ආඩම්බරයක් මෙන්ම දැඩි සතුටකි. මේ සුදේෂ් මුහුණදුන් අත්දැකීමකි.
 
ambulance2අපේ කතානායකයා වන නානායක්කාරවසම් ගොඩකන්ද ආරච්චිගේ සුදේෂ් වරුණශාන්ත (34) උණවටුණ රෝහලේ ගිලන්රථ රියදුරකු ලෙස සේවය කරන්නේය. කොරෝනා ආසාදිත රෝගීන් රෝහල් හා වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සුදේෂ්ගේ ප‍්‍රධාන රාජකාරියයි. සුදේෂ් අනිකුත් ගිලන් රථ රියදුරන්ට වඩා විශේෂ වූ ගිලන්රථ රියදුරෙකි. මක්නිසාදයත් කොරෝනා වසංගතය ආරම්භ වූ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී සුදේෂ් විසින් සිය ගිලන් රථයෙන් රෝහල් සඳහා රැගෙන ගිය කොරෝනා ආසාදිත හා සැකසහිත රෝගීන් සංඛ්‍යාව 1250කි. ඊට අමතරව පී.සී.ආර් පරීක්ෂණ සඳහා සුව වූ රෝගීන් කොරෝනා මධ්‍යස්ථානවල සිට නිවෙස්වලට රැගෙන ඒමත් සුදේෂ් විසින් සිදුකරන්නේය. දකුණු පළාතේ වැඩිම කොවිඞ් හා සැකසහිත රෝගින් සංඛ්‍යාවක් රෝහල් වෙත රැගෙන ගොස් ඇත්තේ සුදේෂ්ය. මේ කාලය තුළදී සුදේෂ් විසින් කොරෝනා ආසාදිත රෝගීන් 400ක් පමණ සිය ගිලන් රථයෙන් කොරෝනා වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.
 
මීපාවල පෝද්දල පදිංචි සුදේෂ් තම රාජකාරිය දේවකාරියක් ලෙස සැලකු ගිලන්රථ රියදුරෙකි. හේ මීපාවල අමරසූරිය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි. එක් දරු පියකු වන සුදේෂ්ගේ බිරිඳ රුවිනි සුනේත‍්‍රා කරාපිටිය රෝහලේ හතර කාමරයේ රෝහල් සේවිකාවක් ලෙස සේවය කරන්නීය. මව ඒ. සඳලතා කරාපිටිය රෝහලේ සුළු සේවා පාලකවරියකි. පියා විශ‍්‍රාම ගොස් ඇති අතර ඔහුද ගිලන් රථ සහායකවරයකු ලෙස සේවය කළ අයෙකි. මේ අනුව බලනවිට සුදේෂ්ගේ මුළු පවුලම සුවවිරු පවුලකි. සුදේෂ් 2014 වර්ෂයේ දී ගිලන් රථ රියදුරකු ලෙස රැකියාවට එක්වී ඇත.
 
 කොරෝනා වසංගතය ආරම්භ වූයේ මාර්තු මාසයේය. කොරෝනා ආසාදිත රෝගින් රැගෙන යන්න ගිලන් රථ රියදුරන් කැමති වුණේ නැහැ. ගොඩක් අය බිය වුණා. ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජීවරත්න සර් මට කීවා කොල්ලෝ මේ වැඬේ භාරගන්න කියලා. මුලදී බියක් ඇතිවුණා. නමුත් සර්ගේ කීම අනුව මම වැඬේ භාරගත්තා. මට ආරක්ෂිත ඇඳුම් කට්ටල හමු වුණා. වෙනත් රෝහලකින් අලූත් ගිලන් රථයක් ගෙනවිත් දීමට ජීවරත්න සර් කටයුතු කළා. මාර්තු මාසයේ 20 වැනි දින තමයි ගිණිමැල්ලගහ සිට පළමු කොරෝනා රෝගියා ගිලන් රථයෙන් අයි.ඞී.එච් රෝහලට රැගෙන ගියේ. එදා බියෙන් තමයි ඒ කටයුත්ත කළා. කොටින්ම කිවහොත් වෙවුල වෙවුලා තමයි ගියේ. රෝගියා ඇරලවා ඇවිත් මාත් මගේ සහායකයත් එදා පස්වතාවක් විතර නෑවා. මුල්ම කොරෝනා රෝගියා ගෙන ගිය දින ඉඳලා දින 24ක් නිවසටවත් යන්නේ නැතිව එකදිගට වැඩ කළා. සමහරක් දිනවල කෑම ගත්තේ එක වේලයි.. සුදේෂ් අප සමග කථාවට වැටෙමින් කීවේය.
 
 කොළඹ අයි.ඞී.එච්. නෙවිල් ප‍්‍රනාන්දු. යාපනය ඉරණවිල. කොළඹ මාළිගාවත්ත. කාත්තන්කුඩි මඩකළපුව වැලිකන්ද. බිඳුණුවැව. කඹුරුගමුව. හික්කඩුව. හම්බන්තොට. දර්ගා නගරය ආදි ප‍්‍රදේශවල පිහිටි රෝහල් සඳහා කොරෝනා ආසාදිත රෝගින් සුදේෂ් විසින් ගිලන් රථයෙන් ප‍්‍රවාහනය කොට ඇත්තේය. වෙනත් රාජ්‍ය සේවකයින් මෙන් සුදේෂ්ලාට උදේ රැකියාවට ගොස් හවසට යළි නිවසට පැමිණීමට නොහැකිය. පැය 24 තුළම අවශ්‍ය ඕනෑම අවස්ථාවක සිය සේවාව ලබාදිය යුතුය. කොරෝනා ආසාදිත රෝගීන් රැගෙන යෑමේ දී සුදේෂ් සතු අත්දැකීම් රාශියකි. ඇතැම් අත්දැකීම් ඉතා සංවේදි ඒවාය. බිය හා ත‍්‍රාසය මුසු අත්දැකීම් ද ඒ අතර වේ.
 
ambulance3එදා හම්බන්තොට ගිහින් ඇවිත් ගොඩක් මහන්සියෙන් තමයි හිටියේ. රාත‍්‍රි 11.00 විතර ඇති. සර්ගෙන් දුරකථන ඇමතුමක් ආවා. කොල්ලෝ මේ වැඬේ උඹට විතරයි කරන්න පුළුවන්. බැහැ නොකියා වැඬේ කරන්න ඕන කීවා. මම ඇසුවා මොකක්ද සර් කියලා. ගාල්ල නගරයේ පුද්ගලික රෝහලකට පැමිණි මවකට හා කුඩා දරුවකුට කොරෝනා වෛරසය ආසාදනය වෙලා බාබාට හුස්ම ගන්න අමාරුයි. අපිට පැයභාගයක විතර කාලයක් තමයි තියෙන්නේ දරුවා නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ගෙනියන්න පැය භාගයක් ඇතුළත. කරාපිටිය රෝහලේවත් ඒ බබා දමන්න ඇඳක් තිබුණේ නැහැ. පස්සේ මම ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන විනාඩි කිහිපයක් ඇතුළත ඒ බබා සහ මවත් ගිලන් රථයට නංවාගෙන විනාඩි 37කින් කොළඹ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට රැගෙන ගියා. ඒ බාබා මුස්ලිම් දරුවෙක්. දරුවාගේ මවටත් මම කීවා අම්මේ භය වෙන්න එපා කියලා. කොහොම හරි දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකිවුණා. අදටත් ඒ දරුවාගේ තාත්තා මට උදේට කථා කරලා ඒ සිද්ධිය සිහිපත් කරලා ස්තුති කරනවා. තමන් මුහුණදුන් ත‍්‍රාසජනක අත්දැකීමක් විස්තර කරමින් එසේ කීවේය.
 
 සුදේෂ් ලා වැනි ගිලන්රථ රියදුරන් කරනු ලබන්නේ භාරධූර කාරියකි. දුරබැහැර ප‍්‍රදේශවලට කොරෝනා රෝගීන් රැගෙන යන අවස්ථාවලදී ඔවුන් රාත‍්‍රිය ගත කරන්නේ ගිලන් රථය තුළයි. හරියකට කෑමක් නැත. නින්දක් නැත. එවැනි ගමනකදී වියහියදම් සඳහා ලැබෙන්නේ රුපියල් 700ක මුදලකි. ඒ මුදල නම් කිසිසේත්ම ප‍්‍රමාණවත් නැත. සුදේෂ් මෙන්ම ඔහුගේ සහායක දිනේෂ් අපරැක්ක ද තමන්ට ලැබෙන දීමනා ගැන වැඩි අවධානයක් යොමු නොකරති. තමන්ට පැවරී ඇති වගකීම අකුරටම ඉටුකිරීමට ඔවුහු කටයුතු කරති.
 
 ගිලන් රථය තේ කඩයක් ළඟ නතර කරලා තේ එකක්වත් බොන්න විදියක් නැහැ. කඩයකට ගිහින් කෑම කන්න බැහැ. ගිලන් රථය නතර කරනවිටම ඒ අය දන්නවා කොරෝනා රෝගීන් අදින ගිලන් රථයක් කියලා. දුරබැහැර ප‍්‍රදේශවලට ගියපු දිනවලට රාත‍්‍රියට ගිලන් රථය නතර කිරීමට විහාරස්ථානයකින් වත් ඉඩක් ලැබෙන්නේ නැහැ. පොල්ගොල්ලේ ගිය එක් දිනක මමයි ගෝලයයි විහාරස්ථානයක වැලිමළුවේ නිදාගත්තා. ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අපිව ඇගයීමටත් ලක්කරලා තියෙනවා. කොවිඞ් වසංගතයේ හොඳට වැඩකරන සෞඛ්‍ය සේවකයින් අගයන්න වැඩපිළිවෙළක් තිබුණා. ඒ ඇගයීමේ දී මට ලකුණු 100න් 100ම ලැබුණා. දින දෙකක් පවුලේ අය සමග යාල සිනමන් හෝටලයට ගොස් විනෝදවෙලා සැහැල්ලූවෙන් ගත කරන්න අවස්ථාව ලැබුණා. ඒ සියලූ වියහියදම් දැරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින්. ඇත්තටම මේ අවස්ථාවේ දී මාව නිරන්තරයෙන් දිරිමත් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා. වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි සර් ඇතුළු සියලූ කාර්යමණ්ඩලය මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතු බව සුදේෂ් කීවේය.
 
  

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles