Divaina - තාත්තාගේ එකම බලාපොරොත්තුව මා හොඳින් ඉෂ්ට කළා... පරමාදර්ශය ඞී. එස්.

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක

උපාලි සමරසිංහ

 

thaththa

thaththa4තිස්ස අත්තනායක ගැන හිතන විට මට නිතැතින්ම සිහිවන ප‍්‍රබල කියමන් දෙකකි. ඔහු යහපාලන ආණ්ඩුවේ පළමුවැනි දේශපාලන සිරකරුවාය. එසේම එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් වශයෙන් යූඑන්පියේ අතිදුෂ්කරම කාලයේ රනිල් වික‍්‍රමසිංහ සමඟ අනන්ත දුක්විඳි මහත් කැපවීම් කළ පළමුවැනි පන්තියේ පුරවැසියාය. එහෙත් ඒ වෙනුවෙන් ඔහුට ලැබුණේ වැලිකඩ සිරගෙදර පුංචි සිරකුටියක් හා අවමන් ගොඩක් පමණය. කලින් කී ඒ ප‍්‍රබල කියමන් දෙක දැන් මම ඔබට මතක් කරමි.
 
 * පරාජය අනාථ දරුවෙක්
 
 ‘‘ජයග‍්‍රහණයට පියවරුන් දහස් ගණනකි. පරාජය අනාථ දරුවෙකි.’’ ඇමෙරිකානු ජනාධිපතිවරයකු වූ ජෝන් එන්. කෙනෙඩි මේ කතාව කීවේ කට කහනවාට නම් නොවේ. තිස්ස සම්බන්ධයෙන් ද මේ කියමන ඇත්තම වෙයි. ඔහු ජයග‍්‍රහණය කළ තැන ඒවා කරදුන්නේ අප යැයි කියන්නට ආ පියවරුන් විශාල ගණනක් සිටියහ. එහෙත් ඔහු පරාජය වී හුදෙකලා වූ තැන ඔහු පිළිගන්නට කිසිවෙකුත් සිටියේ නැත.
 
  * බැරලයක් ඇතුළත
 
 ඊළඟ කියමන ප‍්‍රකාශ කරන්නේ ලෝකයේ බුද්ධියවාදී දාර්ශනිකයකු වූ බෙනඩික් ස්පිනෝසාය. ඔහු දෙවියන් කීවේ ස්වභාව ධර්මයට මිස කතෝලික ආගමේ සඳහන් සර්ව බලධාරී දෙවියන්ට නොවේ. ජීවිතයේ අවසාන කාලයේ ඔහු ජීවත්වූයේ බැරලයක් ඇතුළත තනිවමය. අද අපේ මණ්ඩපයට ගොඩවන සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතාගේ පියතුමන් ද බොහෝ විට ජීවත්වූයේ තනිවමය. හුදකලාව පි‍්‍රයකළ එසේම ස්වාධීනතාව ආගමක් ලෙස සැලකූ ඒ මිනිසා ගැන කියමින් තිස්ස අත්තනායක අද ‘අපේ තාත්තා’ මණ්ඩපය විසිතුරු කරයි.
 
 බෙනඩික් ස්පිනෝයා එදා මෙසේ කීවේය. ‘‘විවිධ සිදුවීම් ඇති වේ. යමෙකු ඒවාට කොක් හඬලා සිනාසීමටත් එසේ නැත්නම් ඒවාට වැළපීමටත් උනන්දුවනවා නම් ඒක නිසැකයෙන්ම වැරදිය. ඒවායින් යමක් උගෙනගෙන ජීවත්වීම නිවැරදිය.’’ මේ දර්ශනය හිතට ගත් තිස්ස දැන් මා අභිමුවය.

 

 

tiksaatta33
 
 * සිංහල ගොවි ජනපද
 

මගෙ තාත්තා නම්වර ලබන්නේ මුදියන්සේලාගේ මුතුබණ්ඩා අත්තනායක කියලා. ගලගෙදර වැලිවිට එතුමා උපන්ගම. මගෙ අම්මා සොමිලාවතී අත්තනායක. එතුමිය මිනිපෙ මොරයාය ගමේ. මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මැතිතුමා සිංහල ගොවි ජනපද හදන කාලෙ මිනිපෙ ජනපදයේ පදිංචි කළ මුල්ම පදිංචිකාරයො (1940) අම්මලගේ තාත්තලා. තාත්තා ඒ කාලෙදී රැකියාවක් හොයාගෙන මිනිපෙට ඇවිල්ලා තියෙනවා. මෙතුමා මොනවා හරි රස්සාවක් හොයාගෙන එහෙ පදිංචි වෙලා ඉන්නකොට අපේ අම්මව දැකලා කතා කරලා. ඊට පස්සෙ ඒක යෝජිත ක‍්‍රමයට දෙපාර්ශ්වයේම කැමැත්ත අනුව ඒ විවාහය සිදුවෙලා තියෙන්නෙ.
 
 මිනිපෙ ගම හරිම සුන්දරයි. අඹ, දඹ, නාරං, කෙසෙල්, දෙල් මේ කතාව ඒ ගමට හොඳට ගැලපෙනවා. කමත්, ඕවිටි, ළඳු, නියර, කෙත, කුඹුරු විතරක් නොවේ මේ පලතුරු ගම හැම තැනම තිබුණා. දැන් දඹ කියන පලතුර හොයාගන්නවත් නෑ. දඹ කියන්නෙ දංගෙඩිය වගෙ. ඉතාම කුඩා රස පලතුරක්. ඊළඟට මොර. මේවා කමින් තමයි අපි පාසල් යන්නෙ. බින්න ක‍්‍රමේට තාත්තා අම්මගේ ගමේ බින්න බැහැලා තියෙන්නෙ මේ ගමටත් ආශාවෙන්.
 
  * ගොඩින් 2යි මඩින් 5 යි
 
 ඒ කාලෙ ඞී. එස්. මහත්මයලා මේ අයට ගොඩින් අක්කර 2 යි මඩින් අක්කර 5 යි දීලා තියෙනවා. ගෙවල් පවා හදලා දීලා තියෙන්නෙ අපේ සීයලට ඞී. එස්. මහත්මයාගෙ මේ ව්‍යාපාරයෙන්. උදේට අවදිවෙන්න හැම ගෙදරකටම කුකුළෙක් දීලත් තියෙනවා. කිරි ටික ගන්න වැස්සියකුත් ප‍්‍රදානය කරලා තියෙනවා. තාත්තා අම්මා හදපු කුටුම්භයේ දරවන් 5 යි. ලොකු අයියා
 
 ගාමිණි අත්තනායක. එතුමා ව්‍යාපාරිකයෙක් වුණා. ඊළඟ අයියා ආනන්ද අත්තනායක හඳගනාවෙ පදිංචියි. ඊළඟ දරුවා මමයි. ඊළඟට මල්ලි කුමාර අත්තනායක. පවුලෙ බාලයා දැන් නැතිවෙලා.
 
 
 * කොළ පෑගිල්ල
 
thaththa2මේ මිනිපෙ මොරයාය ගමේ වැඩිදෙනෙක් කළේ කුඹුරු වැඩ. තාත්තාටත් කුඹුරු කොටසක් තිබුණා. පොඩි කාලේ මේ කුඹුරුවල රෑට ගොයම් පාගන වැඩවලට අපිත් යනවා. කොළ පාගනවා. අපට ඒක සැණකෙළියක්. හරක් මඩවන වැඬේදී ගමේ කොල්ලන්ටත් පුදුම සතුටක්. අපේ පවුලෙ දරුවොත් මේවාට ආශාවෙන් යනවා. ඒ කාලෙට ගමේ පන්සලේ ලොකු පින්කම් තියෙනවා. ඒවායේ රසමුසු විකට කෝලම් නාට්‍ය ආදියත් තියෙනවා. අපිට ඉතින්! ඒ කාලය රජ මඟුල් සමයක්.
 
 අපේ පවුලේ බොහෝ දෙනෙක් ගියේ මිනිපෙ සංඝබෝධි විදුහලට. හැතැක්ම දෙකක් විතර ඉස්කෝලෙට දුර. මේ දුර අපි යන්නේ ගඩාගෙඩි කකා පාර දිගට කජු, පේර, පුහුලන් කඩමින්.
 
 
 * තාත්තාගෙ වඬේ රසවත්
 
 ගමේ කෘෂිකර්ම කටයුතුවලට තරමක කැමැත්තක් තිබුණත් තාත්තාගෙ වැඩි කැමැත්ත තිබුණෙ වෙළෙඳාමට. ඒ නිසා එතුමා සුළු ව්‍යාපාරයක් පටන්ගත්තා. මාත් එතකොට හුඟක් පොඩියි. ඒත් මතකයි. තාත්තා වඬේ හදලා කැවිලි හදලා අම්මාත් එක්ක සංචාරක වෙළෙඳාමක් කළා. තාත්තගේ වඬේ මිනිපෙ ජනපදය පුරාම ජනපි‍්‍රයයි.
 
 ඊළඟට එතුමා මොරයාය 2 කණුවෙ පොල් කොට හතරක් දාලා හිටවපු පොඩි පෙට්ටි කඩයක් කළා. අම්මාගෙ තාත්තාගෙ උත්සාහයෙන් මේ සුළු ව්‍යාපාරය ටිකින් ටික නැගිට්ටා. සිල්ලර බඩුත් දැම්මා. තවත් කාලයක් යනකොට පළාතට කෘෂි උපකරණ බෙදා දුන්නේ තාත්තා දැම්ම ඒ කඩෙන්. ඒ කාලෙ කඬේට ලොකු අයියගෙ නමින් ‘ආනන්ද බ‍්‍රදර්ස්’ කියා නමක් ද තිබුණා.
 
 * පරමාදර්ශය ඞී. එස්.
 
 තාත්තාගේ ලොකුම පරමාදර්ශය ඞී. එස්. සේනානායක. එතුමා නැතිවුණාමත් තාත්තා බොහොම කම්පා වුණා. දවස් කීපයක් හරිහැටි කෑමක් බීමක්වත් ගත්තේ නෑ. 1960 ගණන්වලදී මිනිපෙ ගම් සභාවට තාත්තා ඞී. එස්. මහත්මයාගේ එජාපයෙන් තරග කරලත් තියෙනවා. හැබැයි? පරාදයි. එතුමා නැතිවුණාට පස්සෙ තාත්තා හැම බැත්වේලකදීම බත් මිටක් කන්නට කලින් වෙන් කළා. ‘‘ඒක සත්තුන්ට පුතේ, ඞී. එස් මහත්මයාට පින්සිද්ධ වෙන්න.’’ එහෙම තමයි අප ඇහුවොත් කියන්නෙ. තාත්තා පූර්ණකාලීනව එජාප පක්‍ෂිකයෙක්. මට මතකයි 70 මැතිවරණය එනකොට මල් මාලා දාලා බර්නාඞ් මඩුගල්ල මහත්මයා (එජාප අපේක්‍ෂකයා)
 
 පිළිගන්නවා. ශ‍්‍රීලනිපයෙන් ඉල්ලූවෙ නවරත්න මහත්මයා. මං එතකොට 4 පන්තියේ. මට ඒ ආභාසය තාත්තාගෙන් ලැබෙනවා. ඒත් ඒ මැතිවරණයෙන් එජාපය පරාජය වුණා. තාත්තා පැරදුණා. අම්මගේ පැත්තේ සියලූ දෙනා ශ‍්‍රී ලංකා කාරයො. අපේ ලොකු මාමා (අම්මගේ මල්ලී) ප‍්‍රබල ශ‍්‍රීලනිප කෙනෙක්. එයා තාත්තාගේ කඬේට ගල්ගහලා ගේ ඉදිරිපිට හූ තියලා කලබලයක් කරලා තිබුණා. කවරදාවත් මොනම දේකටවත් කම්පා නොවන තාත්තා එදා කම්පාවෙලා හිටියා මතකයි. මොරයාය විහාරයේ දායක සභාවේ සභාපති වෙලත් හිටියා වුණත් එතුමා තමන්ගෙ පවුලගෙ (මගෙ අම්මගෙ) නෑදෑයො කෙරෙහි විශාල වශයෙන් තරහක් ඇතිකරගත්තා. ඒ නිසා හොඳට හිටි මගේ අම්මයි තාත්තයි අතරත් මතබේද ඇති වුණා. බලන්න! එදාත් දේශපාලනය සිදු වූ හැටි.
 
 
 * දුරින් ඉඳන් ආදරෙයි
 
 උඹ කවරදා හරි යූඑන්පියෙන් ඉහළට යන්න පුතේ! තාත්තා එදා මට කීවා. තාත්තා හරිම සැරයි. දරුවන් එක්ක වුණත් වැඩිය කතා කළ කෙනෙක් නොවේ. දුරින් ඉඳන් එතුමා දරුවන්ට ආදරය කළේ. අපට අවශ්‍ය පොත පත, පෑන, පැන්සල හා කෑම ටික කොහොම හරි පිරිමහලා දෙනවා. අඩුපාඩු කළේ නම් නෑ.
 
 දරුවකු වැරැද්දක් කළොත් ගස්වල බැඳලා තළන්නෙ. මටත් එහෙම ගහලා තියෙනවා. දවසක් පාසලේ කොල්ලෙකුට මං ගල්පහරක් ගහලා ඒ ළමයගෙ ඔළුව පැළුණා. ඒ අය පාසලට විතරක් නොවේ. තාත්තා ගාවටත් ප‍්‍රශ්නය ගෙනාවා. එතකොට අපි ගමෙන් පිට ඇවිත් කටුගස්තොට හන්දිය කිට්ටුව තැනක හිටියෙ. තාත්තා මාව පොලිසියට බාරදුන්නා. සමගි මණ්ඩලයෙන් අවවාද කරලා මාව ගෙදර එව්වෙ. අපේ තාත්තා එහෙම දැඩි ප‍්‍රතිපත්ති තිබුණු කෙනෙක්. ඒත් ඒ දැඩිකම යටින් ගලා යන සංවේදිකමක් එතුමාට තිබුණා. දැඩි පුරුෂාධිපත්‍යයක් තිබෙන නිසා අම්මා බොහොම ඉවසීමෙන් හිටියෙ. මං එතකොට 5 හෝ 6 ශ්‍රේණියේ. අම්මගෙ මල්ලිලා නිසා දේශපාලනය නිසා අපේ පවුල දෙදරුම් කෑවා.
 
 
 * කෑම වර්ජනයක්
 
 එතුමා කෑම වර්ජනයක් කළා. ගෙදරින් මාස ගණනාවක්ම කෑවෙ නෑ. කඬේට ගෙනෙන පාන්වල කළුපාට හිස (වාටිය) විතරක් කකා හිටියා. ඒ සල්ලි නැතිවත් නොවේ. අම්මට රිදවන්න වෙන්නත් පුළුවන්. පවුලේ අය කෑම දෙන්න සූදානම් වුණත් එයා කෑවේ අර පාන් වාටියමයි. 1970 මැතිනිියගෙ දේශපාලන විජයග‍්‍රහණය නිසා උදම් වූ ලොකු මාමා නිසා තාත්තා කටුගස්තොටට ආවෙ. ඒ යනවිට තාත්තා ඇහුවා දරුවන් සියලූ දෙනාගෙන් ‘‘තාත්තා ගෙදරින් යනවා කවුද තාත්තා එක්ක යන්නෙ කියලා. මං එකපාරටම කීවා තාත්තෙ මං තාත්තා එක්ක එනවා කියලා. මල්ලිලා දෙන්නත් අපිත් එක්ක එන්න කැමැත්ත පළ කළා. අම්මා සමඟ මොරයාය ගමේ නතර වෙන්න කැමැති වුණේ අයියලා දෙන්නා විතරයි.
 
 තාත්තා ඒ විදියට අප එක්කාගෙන ඇවිත් කටුගස්තොට රණවන වලව්වත්තෙ ගෙවල් හැදුවා. ඊට පස්සෙ මගෙ ජීවිතේ ගලා යන්නෙ එතැන ඉඳන්. මාව තාත්තා ඉගෙනුමට දැම්මෙ ඊට පස්සෙ උඩුවාවිල කනිෂ්ඨ විදුහලට. 6 පන්තියට අපේ මල්ලිලා බාරදුන්නා නුගවෙල සෙන්ට‍්‍රල් එකට.
 
 අම්මා නැතිවුණත් අපේ කටයුතු අඩුපාඩුවක් නැතිව තාත්තා කළා. තාත්තාගේ නංගි කෙනෙක් ඇවිත් අපට උදව් කළා. එතුමා වෙනත් විවාහ ගැන හිතුවෙත් නෑ. අම්මත් දරුවන් හදාගෙන හිටියා. අපට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ.
 
 
 * පිත්තල කෝට්කාරයො
 
 1971 කැරැල්ල කාලෙ අපට පෙනෙනවා පොලිස් ජීප් හඬන`ගාගෙන රණවන මැදවල පාරෙන් කටුගස්තොටින් යනවා. පිත්තල කෝට්කාරයො තුවක්කු දිගු කරන් යනකොට තාත්තා අපව ගේ ඇතුළට කූඩු කරගන්නවා. අපේ ගෙවල් ළ`ග වඩුමඩුවක් කළ කඩවසම් තරුණයෙක් හිටියා. තාත්තා ගමේ අයටත් හිතවත්. මේ තරුණයා හිටිගමන් පොලිසියෙන් අරන් ගිහින්. එයා ජේ. වී. පී කාරයෙක් කියලා අරන් ගිහින් තිබුණෙ. ටික දවසකින් මේ තරුණයා ආයිත් ගෙනැවිත් දාලා තියෙනවා. කොහොම හරි එයාගෙ නිර්දෝශී බව ඔප්පු වෙලා. ඒත් එයාට ඇවිදින්න බෑ. කකුල් අතපය තළලා. පොලිසියෙන් හොඳටම ගුටි ඇනලා. තාත්තා මේ තරුණයාව වෙද මහත්වරුන් ළඟට ගෙන ගිහින් ප‍්‍රතිකාර කළ බව මතකයි. ඒකයි මා කීවෙ එතුමාගේ දැඩිකම යට උතුරා යන සංවේදීකමක් තිබුණා කියලා. මං 7 ශිෂ්‍යත්වය හොඳින් සමත් නිසා ලොකු අයියා එකපාරට ඇවිත් මාව ගෙන ගියා නැවත අම්මා ළඟට.
 
 
 * ශිෂ්‍යාධාරය ගත්තෙ
 
 මාව ඊළඟට ඇතුළත් කළා හඳගනාව මහා විදුහලට. ඕලෙවල් පාස් වුණාට පස්සෙ ඒ ලෙවල් කරන්න දැම්මා. පුංචි කාලෙත් ගිය මොරයාය සංඝබෝධි විදුහලටම. ඒ කාලෙ 7 ශ්‍රේණියේ ශිෂ්‍යත්වෙ පාස්වුණාම එක්කො ඉස්කෝලයක් ලැබෙනවා. නැත්නම් ශිෂ්‍යාධාර ලැබෙනවා. මං තෝරාගත්තෙ ශිෂ්‍යාධාර දීමනාව. මට ධර්මරාජයට යන්න තිබුණා. ඒත් ශිෂ්‍යාධාර රුපියල් 75 මට ගොඩාක් ලොකුයි. 1981-85 දක්වා මා හිටියෙ කැලණිය සරසවියෙ. 1980 දී ්රැඛ හොඳින් පාස්වුණාම මට වාණිජවේදී උපාධිය හදාරන්න ඒ සරසවිය ලැබුණා.
 
 තාත්තා එදාත් හරියට සතුටු වුණා. රේඩියෝ එක පමණයි එදා තාත්තාට තිබුණෙ. ඒකෙන් තාත්තා අගය කළ වැඩසටහන ප‍්‍රවෘත්ති. තමන්ගෙ පුතා විශේෂයෙන් ගොවියෙකුගේ පොඩි මිනිහෙක්ගෙ පුතෙක් විශ්වවිද්‍යාලයට යන එක තාත්තාට මහා ආඩම්බරයක්.
 
 
 * සවන්පත්වල ගැටුණා
 
thaththa3තාත්තා තමන්ගෙ ආශාව මුදුන්පත්වන තුරු බලා ඉන්නවා වගේ මට දැනුණා. ඞී. එස්. ගෙ පක්‍ෂයෙන් උඹ රජවෙන්න ඕනෑ පුතේ. තාත්තා එදා කී කතාව මගේ සවන්පත්වල නැවත ගැටුණා. මට පළමු පත්වීම ලැබුණා. ධීවර වරාය නීතිගත සංස්ථාවෙ විධායක නිලධාරියකු විදියට. ඇමැති පෙස්ටස් පෙරේරා, පක්‍ෂයේ ලේකම්වරු වූ රන්ජන් විජේරත්න, හර්ෂ අබේවර්ධන මහලේකම්වරුන් යටතේ මං පුද්ගලික ලේකම් හැටියට යම්බඳු දේශපාලන ආභාෂයක් ගත්තා.
 
 මෙහෙම ඉන්නකොට 1989 මහ මැතිවරණයට නාම යෝජනා භාරගන්නා බව දැනගන්නට ලැබුණා. තාත්තා මෝදුකළ ආශාව මගේ හිතේ නළියන්න ගත්තා. අම්මගෙ මොරයාය ගම එදා ඉඳන් අඳුරේ තිබුණේ. අපි පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙන්. ඒ ගමට ලයිට් දෙන්නත් පුළුවන් නේදැයි කල්පනා වුණා. මට සිරිකොත තරමක් ඒ වන විටත් පුරුදුයි. මා නාමයෝජනා අපේක්‍ෂක පෝරමය භාරදීලා නැවත රස්සාවට ගියා.
 
 ඒ කාලෙ ටෙලිෆෝන්, ෆැක්ස් මොකුත් නෑ. රේඩියෝ මැසේජ් එකෙන් තමයි දන්වන්නෙ. අහම්බෙන් වගේ මේ නාමයෝජනා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන බව දැනගන්න ලැබුණා. දැන් ජනාධිපති හැටියට ආර්. පේ‍්‍රමදාස මහත්මයා පත්වෙලා. මහ මැතිවරණය තියෙන්නේ. මං පක්‍ෂ මහලේකම් රන්ජන් මහත්මයාට කිට්ටු කරලා මේ ගැන විමසන්න හිතුවා. කතාව ඇත්ත.
 
 
 * පුරප්පාඩුවක්
 
 උඩුදුම්බර ආසනයේ හා යටිනුවර ආසනයේ පුරප්පාඩු තිබුණේ. හේතුව ජනාධිපතිවරණයේදී ඒ ආසන දෙකම යූඑන්පිය පරාදයි. මහනුවර ජනාධිපති මන්දිරයේ තමයි මේ සම්මුඛ පරීක්‍ෂණ තිබුණෙ. පරීක්‍ෂණ කමිටුවේ ගාමිණි දිසානායක, ආරුමුගම් තොණ්ඩමන්, ඒ. සී. එස්. හමීඞ් ඇමැතිවරුන් හිටියා. ගාමිණි මහත්තයා ඇහුවා මාව දැක්ක ගමන් ආසනය දිනාගන්න ඔයාට පුළුවන්ද? කියලා. පුළුවන් නිසා තමයි ඉදිරිපත් වුණේ කියලා මා කීවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් තිබෙනවාද ඇහුවා. මා කීවා ඒ දුෂ්කරතාවන් ජය ගන්න පක්‍ෂය උදව් කරනවා නම් හොඳයි කියලා. එතුමා මාව එතකොටත් ටිකක් දන්නවා. එතුමා ඒ පුරප්පාඩුවට මාව දැම්මා කියල හිතුණා. 1988 දෙසැම්බර් 31 දා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පක්‍ෂයේ සම්මේලනය තිබ්බා.
 
 
 * විශාල පිරිසක් ගේට්ටුව ළඟ
 
 ජනාධිපතිතුමා ඊට පහුවෙනිදා සිරිකොතටත් එන්න කීවා. මාත් ගියා. උඩුදුම්බර ආසනේ හිටපු මන්ත‍්‍රී ඒ. එම්. ආර්. ඒ. අත්තනායක මහත්මයා උඩුදුම්බර විශාල පිරිසක් ගේට්ටුව ළඟ තියලා ඇවිත් හිටියා. මේ අය ඇවිත් තිබෙන්නෙ මට නොමිනේෂන් දෙනවාට විරුද්ධවයි. ඒත් ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා මට එන්න කියලා පණිවුඩයක් පහළට එව්වා. මං දුවලා ගියා අනෙක් පැත්තේ ඒ. එම්. ආර්. ඞී. අත්තනායක මහත්මයා හිටියා. එතුමා දිහා බැලූවා. ‘‘මේක මේ මනුස්සයාට කරන්න දෙන්න. තමුන් උදව් කරන්න ඕනෑ. ගේට්ටුව ළඟ ඉන්න තමුන්ගෙ මිනිස්සු පිටත් කරලා යවනවා. පේ‍්‍රමදාස මහතා මහත් ශබ්දයෙන් කීවා. අර මන්ත‍්‍රී මට උදව් කරලා තියෙනවා. නැතිබැරි වෙලාවට සාක්කුවටත් සුළු මුදලක් දාලා තියෙනවා. මට ලොකු අපහසුතාවක් දැනුණා. තාත්තාගේ ආශාව හා නායකතුමාගේ විධානය නිසා මං මැතිවරණයට සූදානම් වුණා.
 
 තාත්තා මේ කාලෙ හිටියෙ දඹුල්ලෙ කඩයක් කරගෙන. එයා කාටවත් යටත් නැතිව ස්වාධීන ජීවත්වන කෙනෙක්. මං පක්‍ෂයේ මහලේකම් රන්ජන් විජේරත්න මහතාගෙන් මගේ නම තියනවා දැයි බලන්න ‘ලිස්ට්’ එක ඉල්ලූවා. ඔන්න! ඔය මොනවා හරි කරන් ඉන්නවා. තමුන්ගේ නම මේකට මොකටද? කියලා රන්ජන් මහත්තයා ‘ලිස්ට්’ එක බලන්න දුන්නා. මෙන්න! මගේ නම තියෙනවා. මං කීවා මේ තියෙන්නෙ මගේ නම කියලා. රන්ජන් මහත්මයා අහනවා තිස්ස අත්තනායක කියන්නෙ තමුසෙද? කියලා. එතුමා විහිළුවට එහෙම තමා කරන්නෙ.
 
 
 * කඳුළු කැටි
 
 මං තාත්තා බලන්න පහුවෙනිදා දඹුල්ලෙ තැන හොයාගෙන ගියා කතාව කියන්න. තාත්තා පුදුමාකාර ආශාවකින් මගේ කතාව අසා සිටියා. මට ආශිර්වාද කළා පුතා දිනනවාමයි කියලා. ඒ ඇස් දෙකේ කඳුළු දෙකපුල් දිගේ බේරෙනවා මට පෙනුණා. ‘‘පුතේ’’ උඹේ මේ දවස එනකම් මං හරි ආශාවෙන් හිටියේ’’ කියලා කීවා. එතකොටත් තාත්තාට අවුරුදු 70 ක් විතර.
 
 අපේ තාත්තා කිවයුත්ත කෙළින්ම කියනවා. ප‍්‍රතිඵලය බලා වැඩකරන්නෙ නෑ. ප‍්‍රතිඵලය කුමක් වූවත් හරි දේ කරනවා. ඒ ගතිය මටත් ආවා කියලා හිතෙනවා. ඊළඟට එයා මොන තරම් කරදර ආවත් කම්පා වෙන්නෙ නෑ. ඒක මටත් තියෙනවා. මාව යහපාලන ආණ්ඩුව හිරේ දැම්මත් මං ආයෙත් ආවා. ඒ වෙලාවෙ මා උදව් කළ රනිල් මට විරුද්ධව වැඩ කළා කියලා මට හිතෙනවා. අනෙක විඳදරා ගැනීම හරිම ඉහළයි. ඒකත් මට තාත්තාගෙන් ආවෙ. මං උඩුදුම්බර ආසනය දිනලා ආවාම තාත්තා දෙවැනි වර ඇඬුවා. 83-93 අතර කාලෙදී මං මොරයාය දියබුබුල කියන අම්මගෙ ගමට ‘ලයිට්’ දුන්නා.
 
 
 * කිසිම දෙයක් ඉල්ලා නෑ
 
 මං උසස් අධ්‍යාපන ඇමැති කාලෙවත් මගෙ තාත්තා මගෙන් කිසිම දෙයක් ඉල්ලූවෙ නෑ. එයා කාටවත් කරදරයක් නැති කිසිම දෙයක් බලාපොරොත්තු නොවන ස්වාධීන කෙනෙක්. හෘද අමාරුවක් හැදිලා එතුමා 2005 කිට්ටුව නැතිවුණේ. තරුණ ළමයින් ආයුධ අරන් එනකොට තාත්තා හරියට දුක්වුණා. පේ‍්‍රමදාස මහත්මයා කළ ආරාධනාව එතුමාගේ හිතේ තිබුණා. රෝහණ විජේවීරට ආයුධ අත්හැරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට එන්න. ඇමති ධුර 3 ක් දෙන්නම්’’ කී බව තාත්තා හැමදා කීවා.
 
 මෛත‍්‍රීපාලට ජනාධිපති අපේක්‍ෂකම දෙනකොට මං ඒකට විරුද්ධ වුණා. එහෙම දුන්නොත් වෙන්නෙ මේකයි කියලා කලින්ම කීවා. අස්ගිරියෙ අනුනායක වෙඩරුවෙ උපාලි හාමුදුරුවො ඒක එහෙම කීවෙ කොහොමද? කියලා ළඟදී මගෙන් ඇහුවා. ප‍්‍රතිපත්තිගරුකව කෙළින් වැඩ කරන එක තාත්තා මට උගැන්නුවෙ.
 
 
 * සැලසුමක්
 
 තාත්තා කී කතාවක් මට මතක් වුණා. මේක එතුමාත් අහපු කතාවක්. ‘‘වරක් සොල්බරිසාමි සිංහලයන් ඉංග‍්‍රිසි දන්නෙ නෑ. ඒ අය මෝඩයන් ලෙස කියපු කතාවකට ඞී. එස් මහත්මයාගෙ හිත රිදුණා. කලින් කරන ලද සැලසුමක් අනුව ඞී. එස්. මහත්මයා සොල්බරි සාමිව රැගෙන මිනිපෙ පැත්තෙ එනකොට ගොවියො ටිකක් කුඹුරු කොටන තැනකට එක්ක ගියා. ඒ ගියෙත් යන වාහනේ කැඩුණු බව පෙන්වා ඒක හදන තුරු ඇවිදින්න යමු කියලයි. ඇත්තටම කුඹුරෙ හිටියේ ගොවියො නොවේ. අමුඩ ඇඳගත් බුලත් කමින් පිරුපුන් දැනුමක් තිබුණු කොළඹ අලූත්කඬේ නීතිඥවරු පිරිසක්. සොල්බරි සාමි ප‍්‍රශ්න දෙකක් දාලා තියෙනවා ඉංගිරිසියෙන් කෘෂිකර්මය ගැන. අර ගොවියො හැටියට හිටපු නීතිඥයො සොල්බරිසාමිට බරපතළ ලෙස ඉංගී‍්‍රසියෙන් කෘෂිකර්මය, කුඹුරු, බැත, කෙත, නියර ගැන කියා දීලා.’’ මේ වගේ සිද්ධි කියන්න අපේ තාත්තා සූරයා. අපේ තාත්තාට නියම පිළිවෙලට සලකගන්න බැරිවුණා. ඒක තාත්තා ස්වාධීනව ඉන්න ගත් තීරණය නිසයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles