Divaina - වැලිකන්දේ ගැහැනුන්ගේ හරිත සටන... වල් අලි සමග ගැටෙන පිරිමි මහ පොළොව සමග ගැටෙන ගැහැණු..

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 තිස්ස ගුණතිලක
 ප‍්‍රසන්න සිල්වා - දිඹුලාගල


 haritha
පෙර නොවූ ලෙස ගෙවතු වගාවේ වටිනාකම රටට දැනුණේ කොරෝනා වසංගතයත් සමගය. ගෙවත්තේ අස්සක මුල්ලක හෝ පැළයක් දෙකක් සිටවීමේ රැල්ලක් ඒ සමග ඇතිවිය. එහෙත් ඒ රැල්ල පැමිණි වේගයෙන්ම ආපිට ගියේය. ගෙවත්තේ එළවළු සිහිනය බොඳවිය. නමුත් වැලිකන්ද අසේලපුර මහවැලි කොට්ඨාසයට අයත් දිරිය කතුන්ගේ ගෙවතු වගා සංග‍්‍රාමය ඊට හාත්පසින්ම වෙනස්ය. වසරේ වැඩි කාලයක් පවතින වියළි කාලගුණය සමග ඔට්ටුවෙමින් තමන් ජීවත්වන ගම බව බෝගවලින් පිරි හරිත ගමක් කිරීමට ඔවුන් වෙහෙසුණේ කොරෝනා නම ඇසන්නටත් පෙර සිටය. ගෙවත්තේ වගා සංග‍්‍රාමයක් තුළින් ගමම හරිත ගමක් කළ හැකි ඒ අපූරු සංකල්පය ඔවුන්ට ලැබුණේ මහවැලියෙනි. සොබාදහමේ නේක අභියෝගවලට මුහුණ දෙමින් ඔවුන් කළ වගා සංග‍්‍රාමය අද ජයග‍්‍රාහී සංධිස්ථානයකට පැමිණ ඇත.
 
 එම විස්කම් වගාව සිදු කළ අයුරු අපට පැහැදිලි කළේ අසේලපුර මහින්දාගම චන්ද්‍රිකා ජයසිංහ මහත්මියයි. තම සශ‍්‍රික ගෙවත්තේ ඔබ මොබ යමින් ඇය අපට කරුණු කාරණා පැහැදිලි කළාය.
 
 ”මගේ ගම එප්පාවල. මම විවාහවෙලා 2001 වර්ෂයේ වැලිකන්දේ මහත්තයාගේ ගමේ පදිංචියට ආවා. මහත්තයා සිවිල් ආරක්ෂක බළකායේ වැඩ කරනවා. අපිට මහවැලියෙන් පදිංචියට අක්කර භාගයක ඉඩමක් ලැබිලා තිබෙනවා. අපි මේ වත්තේ පදිංචියට එනකොට මේ වත්ත පුරාවට තිබුණේ ඉලූක් කැලයක්. අපි මුලින්ම මේ ඉඩමේ කුකුළු ගොවිපළක් පටන් ගත්තා. එය අතහැරලා කිරි ගවපාලනයට යොමු වුණා. මහවැලි අධිකාරිය ඒ සඳහා මට උදව් කළා. මගේ කිරිගොවිපළ ආදර්ශ කිරිගොවිපළ හැටියට තේරුණා. ගව පාලනයෙන් ලැබෙන ගොම ටික යොදලා කෙසෙල් වගා කරන්න පටන් ගත්තා. එය සාර්ථක වුණා. දැන් මගේ ඉඩමේ කෙසෙල්,ගස්ලබු,විතරක් නොවෙයි, උඩරට පහතරට එළවළු සහ ඉඟුරු, කහ, ගම්මිරිස් වගේ කුළුබඩුත් වගාකොට තිබෙනවා. ඉලූක් වැවී මුඩු බිමක් විදිහට තිබුණු අක්කර භාගයක අපේ ගෙවත්ත අද හැම දෙයක්ම තිබෙන සරුසාර පුංචි ගොවිපළක් කරන්න අපට පුළුවන් වුණා. වගාවේ වැඩට මහත්තයා වගේම දරුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමා ඇතුළු නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගයත් ඉතා ඉහළයි.
 
 haritha2වැලිකන්දේ සැබෑම පුංචි වැලිකතරක් සරුසාර ගෙවත්තක් බවට පත්කොට තිබෙන රසිකා උදයංගනී මහත්මියගේ ගෙවත්තට ද අපි ගොඩ වුණෙමු. විවිධ එළවළු හා පලතුරු වගාවන්ගෙන් යුතු මෙම ඉඩම සංවර්ධනය කිරීමට වූ වෙහෙස මහන්සිය මෙසේ පැහැදිලි කළාය.
 
 ”මගේ ඉඩමෙත් වැලි පසක් තිබෙන්නේ. කාබනික පොහොර යොදලා පස සරු කරගත්තා. අපි දැන් අපේ ගෙදරට අවශ්‍ය එළවළු ටික ගෙවත්තේ වවා ගන්නවා. අතිරික්ක නිෂ්පාදන අලෙවි කරලා අමතර ආදායමක් ගන්නවා. පසුගිය කාලේ ලැබුණ කොරෝනා නිවාඩුවත් එක්ක අපිට ගමන් බිමන් නොයා වැඩි වෙලාවක් වගා කටයුතු සඳහා කාලය යොදන්න පුළුවන් වුණා. දැන් අපේ වගා කටයුතු සාර්ථකව කරගෙන යනවා. අපට මහන්සිවෙලා වගා කරන්න පුළුවන්. නමුත් වගාව වන සතුන්ගෙන් රැක ගැනීම තමයි ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ.
 
 අසේලපුර මහවැලි කොට්ඨාසයේ රණවිරුගම පදිංචි ආර්.එච්. රම්‍යලතා මහත්මිය මෙම ගමනේදී අපට හමුවූ දක්ෂ ගෙවිලියෙකි. ඇය තම සැමියා සහ දරුවන් සමග පූර්ණ කාලීනව වගා කටයුතුවලට යොමුවී සිටින්නීය.
 
 ”රටකජු සහ බටු අක්කර තුනක වගා කළා. ඊට අමතරව පැණි කොමඩු වගා කළා. වගා කටයුතු සඳහා අපට මහවැලියෙන් උදව් ලැබෙනවා. අවුරුද්දේ වැඩි කලයක් වියළි දේශගුණයක් පවතින නිසා වගා කටයුතු කිරීමේදී ජලය සපයා ගැනීම පිළිබඳව ගැටලූ ඇති වෙනවා. මහවැලි අධිකාරිය මැදිහත් වෙලා ඒවාට විසඳුම් ලබා දෙනවා. අපිට ගෙවතු වගාව තුළින් ආර්ථික ශක්තිමත් කරගන්න පුළුවන්. මෙම ගෙවතු වගා වැඩසටහන නිසා අද අපට අපේ දරුවන්ට ආරක්ෂාව ලබා දෙමින් ඔවුන් සමග එකට ජීවත්වන්න අවස්ථාව ලැබිලා තිබෙනවා.
 
 මෙම වගා සංග‍්‍රාමය මෙහෙයවන වයි.එම්.එල්. එස්.බණ්ඩාර මහතාද අප සමග ගෙවතුවලට ක්ෂේත‍්‍ර චාරිකාවට එකතු විය. මෙම වගා කටයුතු පිළිබඳව ඔහු මෙලෙස පැහැදිලි කළේය.
 
 ”අසේලපුර මහවැලි කොට්ඨාසයේ ගම්මානවල දැනට ගෙවතු 34 ක් සංවර්ධනයකර තිබෙනවා. 50%ක දායකත්වයට බීජ ලබා දෙනවා. එළවළුවලට අමතරව ටොම්ජේසී වැනි අඹ වර්ග වගා කිරීමට ගොවි ජනතාව යොමුකොට තිබෙනවා. ඒ වගේම වැඩි දෙනෙක් කිරි ගව පාලනය කරනවා. ඒ නිසා කාබනික පොහොර සකස්කර ගැනීමේ ගැටලූවක් ඇතිවන්නෙ නැහැ. අපේ අරමුණ මේ ගම්මානවල ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් මේ අයගේ පෝෂණ තත්ත්වයත් ඉහළට නැංවීමයි.
 
 මෙම ගෙවතු වගා කටයුතු සිදුවන්නේ කාන්තා කුඩා කණ්ඩායම්වල නායකත්වයෙනි. ස්වාමිපුරුෂයින් වල් අලි සමග ගැටෙමින් වී වගා බිම් ආරක්ෂාකර ගැනීමට වෙර දරන විට කාන්තාවෝ ගෙවතු සශ‍්‍රීක වගා බිම් බවට පත් කරමින් එළවළු පලතුරු සඳහා වෙළෙඳපොළට යන මුදල් ඉතුරු කරති. මෙම වගා ක‍්‍රමයට නිරන්තර මඟ පෙන්වීම් කරන කෘෂිකර්ම නිලධාරිණිය ශ්‍යාමලී සුරවීර මහත්මියය. ඇය තම හිතවත් ගෙවිලියන්ගේ දක්ෂතාවය ගැන මෙසේ හඬ අවදි කළාය.
 
 ”අපි මෙම වැඩ සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහනට සමගාමීව කරගෙන යනවා. මෙම වැඩසටහන කවදාවත් නතර වෙන්නෙ නැහැ. මෙම වගා බිම්වලින් ලැබෙන අස්වැන්න නිවසේ පරිභෝජනයට අරගෙන අතිරික්තය අලෙවි කරනවා. අලෙවි කරන වෙළෙන්දියන් වන්නෙත් අපේ කාන්තා සමිතිවල සමාජිකාවන්මයි. ඉදිරි කාලයේදී අපි වැඩි වශයෙන් බතල වගා කිරීමට සැලසුම්කොට තිබෙනවා.
 haritha3අපේ ගමන් සගයා වූ කොට්ඨාස කළමනාකාර එච්.එල්.ඒ. කැලූම් සුරංජිත් මහතා අපට මෙහි ඇති තවත් සුවිශේෂ කාරණයක් පැහැදිලි කළේය. ”වැලිකන්ද කිව්වම වැඩි දෙනෙක් දන්නේ සමාජ ප‍්‍රශ්න ගණනාවක් ඇති ප‍්‍රදේශයක් විදිහටයි. ඒවා අවම කිරීමට මෙම වැඩසටහන් ප‍්‍රයෝජනවත් වෙනවා. ගෙවතු වගාවට නිවසේ මව යොමු වුණාට පස්සේ දරුවන් ආරක්ෂා වෙනවා. පාසල් ගොස් නැවත නිවසට එන දරුවා මවුපියන්ගේ වගා කටයුතුවලට උදව් කරලා අත්දැකීම් ලබා ගන්නවා. පවුල් ආරවුල් ඇති වන්නේ නැහැ. ඒ වගේම ජනතාවට තමන්ගේ කාලය ඵලදායක දෙයකට යොමු කරන්න පුළුවන්. එළවළු පලතුරු ආදියට වෙළෙඳපොළට ඇදී යන මුදල ඉතුරු වෙනවා. ඒ මුදල් දරුවන්ගේ අධ්‍යාපනයට යොමු කරන්න පුළුවන්.
 
 මහවැලි බී කලාපයේ ගොවිජන ජීවිත නඟා සිටුවීමේ ප‍්‍රමුඛ වගකීම ඇති රාජ්‍ය නිලධාරියා නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහ මහතායි.
 
 කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වන ඒ මහතා මෙම වගා කටයුතු පළිබඳව කරුණු කාරණා ගණනාවක් පැහැදිලි කළේය.
 
 ”රජයේ සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහනට සමගාමීව මෙය ක‍්‍රියාත්මක වෙනවා. තම තමන්ගේ නිවසට පමණක් වැලිකන්ද ප‍්‍රදේශයට පමණක් නොව, රටේ සෙසු පළාත්වලටත් ලබා දෙන්න පුළුවන් විදිහට අවශ්‍ය එළවළු,පලතුරු සහ කිරිටික නිෂ්පාදනය කිරීමට ඉදිරියේදී අපේ ගොවියෝ සහ ගොවිලියෝ කටයුතු කරනවා. අපේ ගෙවතුවල වගා කරන අඹ,ගස්ලබු, අන්නාසි,කොමඩු වැනි පලතුරු සුරක්ෂිතව ආර්ථික මධ්‍යස්ථානවලට යැවීමට කටයුතු කරනවා. පලතුරුවලින් බීම සහ ජෑම් නිෂ්පාදනය කිරීමට ඉදිරි කාලයේ කටයුතු කරනවා. මෙවැනිම තවත් ගෘහ ආශ‍්‍රිත කර්මාන්ත දියුණු කරලා ජනතාවගේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැංවීමට සැලසුම් සකස්කොට ක‍්‍රියාවට නංවා තිබෙනවා.
 
 ඔවුන් මේ හරිත පරිසරයක් ඇතිකිරීමට වෙහෙසෙන්නේ වසරේ වැඩි කාලයක් වැසි නොලැබෙන වියළි දේශගුණයක් පවතින වැලිකන්ද වැනි ප‍්‍රදේශයකය. ඔවුනගේ ධෛර්යය නිසා වැලි කන්දේ කටුක ශුෂ්ක බිම් අද ක‍්‍රමයෙන් සශ‍්‍රීක ගොවිබිම් බවට පත් වෙමින් තිබෙන්නේය. ඔවුන් තමන් ජීවත්වන ගම හරිත ගමක් කරා ගෙනයන්නේ වන සතුන්ගේ අනේක විධ බාධක හිරිහැර මැදය. රට ස්වයංපෝෂිත කිරීමට වෙරදරන මහවැලියේ නිලධාරීන් , ගොවීන් සහ ගෙවිලියන්ගේ මේ උත්සහය අගය කළ යුතුය.

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles