Divaina - දෘශ්‍යය, ශ‍්‍රව්‍යය, චලනය සමාග‍්‍රහණය කළ රංගපරම විශිෂ්ටයා මනෝ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

akuru555
 


manos777

 

ආචාර්ය ජයලත් මනෝරත්න ශ‍්‍රී ලංකාවාසී සුවහසක් කලා රසික ප‍්‍රජාව සෝ සයුරේ ගිල්වමින් අපගෙන් වියෝ වී වසරක් සපිරෙන්නේ තවත් දින දෙකකින් එළැඹෙන 12 වන අඟහරුවාදාට ය. වසරක් සපිරෙන දා යනුවෙන් වෙසෙසින් ඔහු පිළිබඳ ස්මරණ ඇවැසි නොවන්නේ ඔහු ජීවත්ව සිටිය දී මෙන්ම ඔහුගේ හඬ නොඇසෙන රුව නොපෙනෙන අද ද ඔහු අප සමගම පෙර පුරුදු සිනාවෙන් සැහැල්ලූවෙන් ජීවත්වනවා යයි හැෙඟන බැවිනි. ජයලත් මනෝරත්න පිළිබඳ , ඔහුගේ කාර්ය සාධනය කෙබඳු දැයි විමර්ශනාත්මකව විමසූ ලිපි සරණියක්, මනෝ රංග තීර්ථ යාත‍්‍රිකයා නමින් 2006 නොවැම්බරයේ දී ප‍්‍රකාශයට පත් වී ඇත. පේ‍්‍රම් දිසානායකගේ රූ රටා විචිත‍්‍රකරණයෙන් හා මුද්‍රණ අලංකරණයෙන් නිමැවුණු මෙම ලිපි සරණිය සංස්කරණය කරන ලද්දේ මනෝගේ සන් මිත‍්‍ර සමාගමයෙහි ප‍්‍රබලයකු වූ බණ්ඩාර ඇහැළියගොඩ විසිනි. ජයලත් මනෝරත්නගේ සරසවි ඇදුරන් වූ (පේරාදෙණිය හා ශ‍්‍රී ජයවර්ධනපුර* කේ.එන්. ඕ.ධර්මදාස, සුචරිත ගම්ලත්, තිස්ස කාරියවසම්, සුනිල් ආරියරත්න, මයිකල් ප‍්‍රනාන්දු ආදී විද්වතුන් ද මනෝගේ නාට්‍ය නිර්මාණ හා සෘජුව සම්බන්ධව සිටි ආචාර්ය හෙන් රි ජයසේන, ආචාර්ය රංජිත් ධර්මකීර්ති, කේ.බී. හේරත්, කපිල කුමාර කාලිංග වැන්නන් ද, ආචාර්ය ධර්මසේන පතිරාජ හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහාචාර්ය සමන්ත හේරත්, මහාචාර්ය ආරියරත්න ඇතුගල ආදීන් ද මනෝ ගේ රංග කාර්යය ප‍්‍රමුඛ බහුවිධ කුසලතා පිළිබඳ විචාරාත්මක ලේඛන සම්පාදනය කරමින් ලිපි සරණියට ගැඹුරක් එක් කොට තිබිණ. මෙකී විද්වතුන්ට අමතරව මනෝගේ භූමිකා පිළිබඳ ලේඛන දායකත්වයෙන් සම්මාදම් වූවන් අතර ජයන්ත චන්ද්‍රසිරි, පරාක‍්‍රම කොඩිතුවක්කු, සුගත් වටගෙදර, ජැක්සන් ඇන්තනි, රත්න ශ‍්‍රී විජේසිංහ, ගාමිණී වේරගම, බුද්ධදාස ගලප්පත්ති, ඊ.එම්.ජී, එදිරිසිංහ, කුසුම් දිසානායක, නවරත්න ගමගේ ආදී සහෘද විචාරක පිරිසක් විය. නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය මැයෙන් දීර්ඝ ලිපියක් සැපයූ මහාචාර්ය තිස්ස කාරියවසම්, ලිපිය අවසන් කොට තිබුණේ මෙසේය. ” මේ ලිපිය අප අතින් ලියැවෙන්නේ හතළිස් වසරක් සිංහල නාටකයෙහි රංගපරම ශ‍්‍රව්‍යය, රංගපරම දෘශ්‍යය, රංගපරම චලනය සමාග‍්‍රහණය කොට ශ්‍රේෂ්ඨ නිර්මාතෘවරයකු බවට ප‍්‍රාප්ත මා මිත‍්‍ර ජයලත් මනෝරත්නට කරන ප‍්‍රණාම පූජාවක් ලෙසයි. ඔබගේ මුල්ම මඩුබැසීමේ සිට අද දක්වා මම ඔබ පසුපසින් සිටියෙමි.” (මනෝ රංග තීර්ථ යාත‍්‍රිකයා - පිටුව 69*

 

manos3
  මනෝගේ සම්පූර්ණ නම කෙසෙල්ගස්පෙ මනතුංග ජයලත් මනෝරත්නය. ඔහු සැබැවින්ම නමෙහි අර්ථයෙන් ම ජය ලද්දෙකු වූ බවට සාක්ෂි අනවශ්‍යය. උපත ලබන්නේ 1948 ජූනි දොළොස්වනදා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ දෙහිපේ නම් ග‍්‍රාමයේය. පියා වෘත්තියෙන් රියැදුරෙකු වූ අතර මව සාමාන්‍ය ගෘහණියක වූවාය. දෙහිපේ ප‍්‍රාථමික මිශ‍්‍ර පාඨශාලාවෙන් හා පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මනෝ 1967 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිස ශාස්ත‍්‍රවේදී උපාධිය දිනා ගනී. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලේඛකත්ව හා ජනසංනිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ද, ශාස්ත‍්‍රපති උපාධිය ද දර්ශනසූරී ඡුයගෘ උපාධිය ද ලබා ගන්නා ආචාර්ය ජයලත් මනෝරත්න අප විසින් කෙසේ හැඳින්විය යුතු ද යන්න ඔහුටම පමණක් සීමා වූ ප‍්‍රශ්නයකැයි සිතමි. ඔහුගේ ජීවිත කාලය තුළ මනෝරත්න විසින් රඟ පා ඇති භූමිකා මොනවාද? වෘත්තීය ජීවිතයෙහි, දී අනියම් ලිපිකරු භූමිකාවෙන් ඇරඹී පසුව ලිපිකරු, සංවර්ධන සහකාර, ප‍්‍රජා සංවර්ධන නිලධාරී, පාලන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සංස්කාරක (ඉසුර සඟරාව*, අධ්‍යක්ෂ (වැඩ සටහන්* ටවර් රඟහල පදනම ආදිය වේ. වේදිකා නාට්‍ය ක්ෂෙත‍්‍රයේ දී ඔහු ප‍්‍රධාන වශයෙන් නළුවාය. නාට්‍ය රචකයා හා නිෂ්පාද භූමිකා ඉන් අනතුරුවය.සිනමාවේදී ද නළු භූමිකාව ප‍්‍රධානය. රූපවාහිනී නාට්‍යයෙහි ඔහු නළුකමින් පටන් ගෙන තිර රචනය, ඒකාංගික හා ප‍්‍රසාංගික නාට්‍ය අධ්‍යක්ෂණය ආදී භූමිකාය. සම්ප‍්‍රවේශක හා නිවේදක භූමිකා තුළ ද අපට මනෝ හමු වේ. ගුවන්විදුලිය ආශ‍්‍රිතව ඔහු ගුවන්විදුලි නළුවාය. සාහිත්‍ය මාධ්‍යය තුළ මනෝ කවියාය. නවකතාව හා කෙටිකතාව ද ඔහුගේ විෂය වේ. ගේය කාව්‍ය රචනය ද විචාරය ද සාහිත්‍යයටම අදාළ අනෙකුත් භූමිකා වේ. කොළඹ විශ්වවිද්‍යාලය (ශ‍්‍රීපාලි මණ්ඩපය *, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ආදී විද්‍යස්ථානයන්හි බාහිර කථිකාචාර්යවරයාය. අප මනෝ හැඳින්විය යුත්තේ ඉහත සඳහන් භූමිකා අතරින් කිනම් භූමිකාවකට අයත් නිර්මාණකරුවකු ලෙසද? එය ඉතා අසීරු ව්‍යායාමයක් වන්නේ ඉහත කී සියලූ භූමිකා තුළ ඔහුටම අනන්‍ය වූ මනෝරත්න සන්නාමයට ඔහු සුදුසුකම් ලබන හා හිමිකම් කියන බැවිනි. රංගන කලාවෙහි දී මනෝ මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ඉතා නිවැරදිව විනිශ්චය කොට තිබූ රංගපරම ශ‍්‍රව්‍යය,දෘශ්‍යය, හා චලනයට හිමිකම් පානා විශිෂ්ටයාම ය. ඔහුගේ රංග පරාසය කෙබඳුද යන්න විමසීමට මහාචාර්ය සරච්චන්ද්‍රගේ වෙස්සන්තර ගීතාංග නාටකයෙහි, පෙමතො ජායතී සොකො දෘශ්‍ය කාව්‍යයෙහි මනෝගේ රංගනය, කේ.බී. හේරත් ගේ මායාදේවී, ප‍්‍රසන්න විතානගේ ද්විත්ව, හෝ මනෝගේම අන්දරේලා හෝ පුත‍්‍ර සමාගම වැනි නාට්‍යයක හෝ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ හෝ ගානා පොකුණ වැනි චිත‍්‍රපටයක රංගනය හා සංසන්දනාත්මක ආවර්ජනයකින් සාක්ෂාත් කර ගැනීමට හැකි වන්නේය. මනෝරත්න පානා මේ දස්කම සිංහල සිනමාවෙහි විශිෂ්ටයන් දෙදෙනකු සතු ව ඇති බව මතකයට  නැගේ. ඔවුන් දෙදෙනා නම් රංගධර ගාමිණී ෆොන්සේකා හා රංගවේදිනී මාලිනී ෆොන්සේකාය. මහාචාර්ය කාරියවසම් විසින් හැඳින් වූ රංගපරම ස්වභාව සියල්ල සතු එකම නිර්මාණකරුවා මනෝරත්නම නොවන්නේද?
 
 manos1ජයලත් මනෝරත්න වේදිකාවෙහි විශිෂ්ටයා වන්නේ රංගනයෙන් පමණක්ම ද? ඔහු වේදිකා නාට්‍ය කලාව තුළ ඔහුගේ නළු සන්නාමය හා සමගාමීව නිෂ්පාදක සන්නාමයට ද හිමිකම් කියයි. ඒ සඳහා සම්මාන ලබයි. ඔහුගේ තල මල පිපිලා ඊට කදිම නිදසුනයි. තල මල පිපිලා, රනබරණා ගේ චරිතය සඳහා හොඳම නළු සම්මානය දිනාගන්නා මනෝ එහි අධ්‍යක්ෂණය හා රචනය සඳහා ද සම්මාන ලබයි. එපමණක් ද නොව තලමල පිපිලා නාට්‍ය රචනය උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලබයි. මේ නම් ආශ්චර්යයක් නොවන්නේ ද? දශක හතරකට වැඩි කාලයක් තුළ මනෝරත්න නම් විශිෂ්ටයාගේ රංග කාර්යය මතු නොව අනෙකුත් කලාංශ රැුසක් සඳහා ඒ සා විශාල ඇගයීමක් ලද එකදු නිර්මාණකරුවකු පිළිබඳ සිහිපත් කිරීම අසීරුය. නාට්‍ය ක්ෂේත‍්‍රය තුළ රංගනය උදෙසා හොඳම නළුවාට හිමි රාජ්‍ය සම්මානය වසර පහක දී දිනා ඇත්තෙකි. රතු හැට්ටකාරී (1974*, පුත‍්‍ර සමාගම (1985*, තල මල පිපිලා (1988* සොක‍්‍රටීස් (1990**, ද්විත්ව (1991*. හොඳම අධ්‍යක්ෂණය හා රචනය සඳහා රාජ්‍ය සම්මන දිනාගන්නේ තලමල පිපිලා නාට්‍යය සඳහාය. ගුරු තරුව හා අන්දරේලා නාට්‍ය ද්වය රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නේ හොඳම නාට්‍ය රචනයටය. ටෙලි නාට්‍ය රංගනය උදෙසා හොඳම නළු සම්මානය, සඳ අමාවකයි හි රඟපෑම සඳහා (සුමති ටෙලි සම්මන උලෙළ* මනෝරත්න සිනමාවෙහි දී හොඳම සහාය නළුවා සම්මාන රැුසක් දිනා ගන්නේ සරසවිය, ධක්‍ෂක්‍ හා ජනාධිපති සම්මාන උලෙළ කිහිපයකදීය. මංගල තෑග්ග, හෝ ගානා පොකුණ ඒ අතර වේ. රාජ්‍ය නාට්‍ය උලෙළ නාට්‍ය කීර්ති සම්මානයෙන් ද රයිගම් ටෙලීස් වෙතින් පිදෙන ප‍්‍රතිභා ප‍්‍රභා ගෞරව සම්මාන ද ජයලත් මනෝරත්නට පිදෙන්නේ වේදිකා නාට්‍යයට හා රූපවාහිනී නාට්‍ය කලාව සඳහා මනෝ ගේ විශිෂ්ට සම්ප‍්‍රදානය වෙනුවෙනි.
 
 ජයලත් මනෝරත්න නම් සාහිත්‍යවේදියාගේ භූමිකාව ද ඔහු ගේ නිර්මාණ කාර්යාවලිය පිළිබඳ ආවර්ජනයක දී අමතක කළ නොහේ. ඔහු කවියාය. කෙටිකතා කරුවාය. නවකතාකරුවාය. ශාස්ත‍්‍රීය නිබන්ධකයාය. වැහි එනතුරු, පියසේන හා කුමාරිකාව (බුද්ධදාස ගලප්පත්ති සමග*, මිනිහට නින්ද යන්න ඇති වැනි කෙටිකතා සංග‍්‍රහ ද දවස තාමත් තාරුණයි නවකතාව ද බුද්ධදාස ගලප්පත්ති, සුනිල් ආරියරත්න හා එක්ව පළ කළ දොළොස් මහේ පහන කාව්‍ය සංග‍්‍රහය ද මනෝගේ සාහිත්‍ය අස්වැන්න තුළ කැපී පෙනෙන නිර්මාණ කෘති වේ. සිංහල නාට්‍යයේ ප‍්‍රාසාංගික කලාත්මක වර්ධනය ජයලත් මනෝරත්න විසින් තම ආචාර්ය උපාධිය සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ශාස්ත‍්‍රීය නිබන්ධයයි. ඒ සඳහා ආචාර්ය උපාධිය ලබා ගත් ජයලත් මනෝරත්නට ඔහු ශිල්ප හැදෑරූ පේරාදෙණිය සරසවියෙන් සාහිත්‍යසූරී සම්මාන උපාධිය ෘගඛසඑඑ පිරිනැමේ.
 
 ජයලත් මනෝරත්නගේ රංගනයට අත්පොත් තැබෙන්නේ පාසල් කාලයේ සිටය. පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සුනිල් ශ‍්‍රියානන්ද ගුරුතුමාගේ සෙවණෙහි වැඩුණු මනෝරත්න ළමා නළුවා 1966 අන්තර් පාසල් නාට්‍ය තරගාවලියේ දී එතුමන්ගේ අස්පගුඩුං හි රඟපෑම සඳහා හොඳම රංගන කුසලතා සඳහා සහතිකයක් ලබා ගනී. එතැනින් ඇරැුඹුණු මනෝගේ රංගන ප‍්‍රතිභාව දළු මල්ඵල දරමින් අනාගතයේ දිනෙක ශ‍්‍රී ලංකාවේ රංගනය පිළිබඳ ජාතික සන්නාමය, බවට පත්වීමේ ශක්තිමත් පදනම වැටෙන්නේ පේරාදෙණිය සරසවියේ දී මහදුරු සරච්චන්ද්‍රගේ ගුරු උපදෙස් සමගිනි. එතුමෝ මනෝගේ රංගන ප‍්‍රතිභාව මනාව හඳුනාගත් පළමු නිෂ්පාදකයා වන්නේය. පෙමතො ජායතී සොකො හි මනෝ උද්දාල චරිතය ප‍්‍රතිනිර්මාණය කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටිය දී ම ය. එතැන් පටන් ඔහු සරච්චන්ද්‍ර ඇදුරුතුමන්ගේ නාට්‍ය රාශියක ප‍්‍රධාන හා සුළු චරිත ද රඟ පෑවේය. වෙස්සන්තර ගීතාංග නාටකයේ වෙසතුරු රජු ලෙස මනෝගේ භූමිකාව ඒ අතර විශිෂ්ටය. පෙමතො දෙවන නිෂ්පාදනය මනෝ ගේ රංගන ජීවිතයේ මෙන්ම පුද්ගලික ජීවිතයේ ද කඩඉමක් විය. නාට්‍යයේ දී උද්දාල බමුණාගෙන් පේ‍්‍රමය ඉල්ලා සිටි ස්වර්ණතිලකා, තමරා ජයන්ති ද සිල්වා මනෝගේ ජීවන සහකාරිය ද වන්නී පෙමතො සමගිනි. ඇදුරුතුමා වන්න මගේ නොදුන් නමුත් ශිල්ප ශාස්ත‍්‍ර ජීවිතයේ ගිරි දුර්ගය නගින්ට අත්වැලක් වෙන්න යයි ඕ ඉන්පසු නොගැයුවාය. මනෝගේ ජීවිතයේ ගිරි දුර්ගය නගින්නට ඈ අත්වැලක් වෙමින් මාතු භාර්යාවක ලෙසින් ඔහු රැුකගත් ඖරු ලොවම දුටුවාය. ඔහු මහාසාර, කදා වළලූ, මනමේ, සිංහබාහු ආදී නාට්‍ය රාශියක සරච්චන්ද්‍ර ඇදුරුතුමන්ගේ ගුරුහරුකම් ලබමින් රඟ පෑවේය. ශ‍්‍රී ලංකාවෙ බිහි වූ විශිෂ්ටතම මහා නාට්‍යකරුවන්
 
 සියල්ලන්ගේම නිර්මාණ සඳහා රංගනයෙන් දායක වන්නට දුලබ වාසනාව ලද එකම නළුවා ජයලත් මනෝරත්න පමණක් ම බව මගේ විශ්වාසයයි. මහාචාර්ය සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන හා දයානන්ද ගුණවර්ධන ඒ විශිෂ්ටයෝ වෙත්. ඔවුන් සියල්ලන්ගේ ඇසුර හා උපදෙස් ලබමින් රංගනය ප‍්‍රගුණ කළ අන් කිසිදු නළුවෙක් නැත්තේය. මේ වාර්තාවට ලං වන්නෙක් වේ නම් ඔහු ජැක්සන් ඇන්තනි පමණක් යයි සිතමි. ගලප්පත්ති, ජයසේන නාට්‍යකරුවන් හැර අන් සැමගේම නිර්මාණ සඳහා ජැක්සන් දායක වී ඇත. මෙසේ ලබාගත් පන්නරය මතින් ඔහු තම නිෂ්පාදන භූමිකාව 1980 දී අරඹන්නේ මහගිරිදඹ තරණය සමගිනි. එදා පටන් ඔහුගේ අවසාන වේදිකා නාට්‍ය නිර්මාණය, හඬ නිහඬ තෙක් මනෝරත්න විසින් සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයෙහි සටහන් කළ නිර්මාණ සංඛ්‍යාව දහය ඉක්මවයි. මේ අතර ස්වතන්ත‍්‍ර හා පරිවර්තිත නිෂ්පාදන වේ. ඒ සියල්ල අතරින් මනෝරත්න සන්නාමය සටහන් වූ නිර්මාණ ලෙස තල මල පිපිලා, අන්දරේලා හා ගුරුතරුව හා පුත‍්‍ර සමාගම වෙසෙසි බවයි මගේ හැඟීම. ස්වතන්ත‍්‍ර නාට්‍ය කලාව තුළ වාර්තා රංග රීතීයෙහි පිහිටා නිර්මාණ කළ දයානන්ද ගුණවර්ධන නාට්‍යකරුවා ගිය මග අනුදත් මනෝරත්න ඒ සම්ප‍්‍රදාය තුළ අත්හදා බැලීම් කළ එකම නාට්‍යකරුවා වූයේය.

manos2මනොගේ දශක හතරක් පමණ වූ රංගනය තුළ ඔහුගේ දායකත්වය ලබා නොගත් නාට්‍යකරුවෙක් සිටීද කියා සොයා ගැනීම අසීරු තරමට ඔහු ප‍්‍රවීණ හා නවීන වැඩිහිටි හා තරුණ නාට්‍යකරුවන් සමග හවුල් වී තම කුසලතා පේ‍්‍රක්ෂකයනට ප‍්‍රදානය කළේය. ධර්මසිරි බණ්ඩාරනායක, හේමසිරි ලියනගේ, ප‍්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, නිමල් ඒකනායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති, කේ.බී. හේරත්, විජිත ගුණරත්න, ලූෂන් බුලත්සිංහල, කපිල කුමාර කාලිංග, අජිත් ජිනදාස, රෝලන්ඞ් ප‍්‍රනාන්දු, පේ‍්‍රමරංජිත් තිලකරත්න, බුද්ධික දමයන්ත, සයිමන් නවගත්තේගම, ගාමිණී සමරකෝන්, එස්.ඒ.පේ‍්‍රමරත්න, නීල් අලස්, ප‍්‍රිට්ස් බෙනවිට්ස් හා ලක්ෂ්මන් ජයසේකර ආදීහු ඒ අතර වෙත්. සංඛ්‍යාත්මකව නාට්‍ය ප‍්‍රමාණය හැත්තෑ පහ ඉක්මවන බව නිසැකය. වේදිකාවෙන් මහා තිරයට මනෝ පැමිණෙන්නේ හඳයා චිත‍්‍රපටයේ සුළු චරිතයක් වූ සහාය නිවේදක ලෙස රඟපාමිනි. එහෙත් ඔහු සැලකිය යුතු චරිතයක් රඟපාන්නේ සුනිල් ආරියරත්නගේ සිරිබෝ අය්යා චිත‍්‍රපටයේය. ජීවිතයෙන් ජීවිතයක්, මුහුදු ලිහිණි, සප්ත කන්‍යා, සිසිල ගිනි ගනී, උමයංගනා, මංගල තෑග්ග, සාරංගා, පුංචි සුරංගනාවී, සුදු කළුවර, ගිනි කිරිල්ලී, සුදු කළු සහ අළු, සූරිය අරණ, සිරි පොද වැස්ස, සමනළ තටු, වලාපටල, භේරුණ්ඩ පක්ෂියා, හෝ ගානා පොකුණ ඔහුගේ නම ඉදිරියේ සටහන් වන අනෙක් නිර්මාණ වේ. මිස් ජෙනිස් දැනට ප‍්‍රදර්ශනය වන අතර සරත් ධර්මසිරිගේ සූවිසි විවරණ හා ඉන්දික ෆර්ඩිනන්ඩුගේ නවතම චිත‍්‍රපටය තිරගත වීමට නියමිත නිර්මාණ වේ. ටෙලි නාට්‍ය රංගනයේ මනෝගේ සන්නාමය අප මතකයට ගෙන එන නිර්මාණ අතර සඳ අමාවකයි, මැණික් නදිය ගලා බසී, ¥ දරුවෝ, බුමුතුරුණු, සෙදෝනා, ආදී ටෙලි නිර්මාණ රැුසකි. සෙක්කු ගෙදර, රංසිරි ගේ සංග‍්‍රාමය, තුන් පත් රටාවක ලස්සන ඔහුගේ
 
 ප‍්‍රාසාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණ වේ. සඳ කඩා වැටී අහසේ වැනි ගීතයක් ඔහුගේ ගේය කාව්‍ය රචනයෙහි කුසලතාව පෙන්වයි.
 
 ජයලත් මනෝරත්න නම් බහුවිධ හපන්කම්, කුසලතා සතු කලාකරුවා මතකයට නැගෙන මේ මොහොතෙහි ඔහු හා අප අතර දශක හතරකට වඩා දීර්ඝ කාලයක් තුළ පැවති අනන්‍ය බැඳීම පිළිබඳ සඳහන් කළ යුතුම යයි සිතමි. අප දෙදෙනාටම පොදු වූ සාධක කිහිපයකි. අප දෙදෙනාගේම පියවරු වෘත්තියෙන් රියදුරන්ය. මනෝ සඳ අමාවකයි ටෙලි නාට්‍යයේ රඟ පෑ රියදුරු චරිතයට හොඳම නළු සම්මානය සුමති උලෙළේ දී ලද පසු සම්ප‍්‍රවේශිකා ඉඳුනිල් දිසානායක මනෝගෙන් විමසූයේ ඒ චරිතය ඒ තරම් හොඳට රඟපෑවේ කෙසේද කියායි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පේ‍්‍රක්ෂකාගාරයෙන් නැගුණු අත් පොළසන් හඬ මැද මනෝ නිරහංකාරව පවසුවේ අපේ තාත්තා හොඳ රියදුරෙක්, ඒ චරිතය මට නුහුරු එකක් නොවේ කියායි. ඩ‍්‍රයිවර්ලාගේ පුත්තු නමින් පසු කලෙක මා විසින් එදවස සොඳුරුමය තීරුවක් ද ලියූ බව මතකය. විශ්වවිද්‍යාලයෙන් පිට වී උපාධියක් ද අතැතිව අප දෙදෙනාම රැකියාව අරඹන්නේ අනියම් ලිපිකරුවන් ලෙසය. මනෝ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේය. මා ජාතික ලූණු සංස්ථාවේය. එහෙත් අප දෙදෙනාම අපගේ වෘත්තිය තුළ යා හැකි ඉහළටම ගිය බව ද කිව යුතුය. ඔහු ටවර් රඟහල පදනම අධ්‍යක්ෂවරයා ය. මා ශ‍්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ය. ඔහු පේරාදෙණියේ ය. මා විද්‍යොදයේය. අප දෙදෙනාම සරච්චන්ද්‍ර මහැදුරුතුමන් ගේ නාට්‍ය නිසා මිතුරු දම් ගොඩනගා ගත්තෝ වූහ. ඔහු නළුවාය. මා ඔහුගේ චරිතයට අවශ්‍ය වේශය නිර්මාණය කරන්නා ය. ඔහු රඟ පෑ වේදිකා නාට්‍ය බහුතරයක අංග රචනා ශිල්පියා මම වීමි. මනෝ හොඳම නළුවා ලෙස රාජ්‍ය සම්මාන දිනූ චරිත පහ අතරින් තුනක දී ඔහු වෙස් ගන්වන්නට මම වාසනාවන්ත වීමි. රතු හැට්ටකාරී (1974*, පුත‍්‍ර සමාගම (1985*, ද්විත්ව (1981* එම ජයග‍්‍රහණ වේ. අපි දෙදෙනා එක්ව කවි ලීවෙමු. මිතුරු සුනිල් ආරියරත්න ද හවුල් කරගෙන 1971 දී දොළොස් මහේ පහන දැල්වීමු. මනෝ හා මා එසමයෙහි පොතට පිටකවරය නිර්මාණය කර ගැනීමට මහගම සේකර කලාකරුවා සොයා ගම්පහ ශ‍්‍රී බෝධි පාරට ගිය ගමන රසවත් කතාවකි. පොතට පෙරවදනක් ලියවා ගැනීමට කථිකාචාර්ය විමල් දිසානායක හමුවන්නට කැලණිය සරසවියට ගිය ගමන ද එසේම රසවත්ය. පොත මුද්‍රණය වූ සමයේ මරදානේ අයිපීබී මුද්‍රණාලයේ එඞ්වින් හේවාකපුගේ ඉස්කෝල මහත්තයා හා සොයුරු සෝමෙ, සෝමපාල හේවාකපුගේ සමග ගෙවුණු කාල වකවානුව කතා සරිත් සාගරයක් වැනිය. කන්තෝරුවෙන් නිවාඩු ලබා ගෙන අප දෙදෙනා මල්ලක කවිපොත් දමාගෙන රුපියලකුත් සත පණහකට දොළොස් මහේ පහනක් අලෙවි කරන්නට කොළඹ බැංකු හා රජයේ දෙපාර්තමේන්තුවල අපගේ කැම්පස් බැචාලා ළඟට ගිය ගමන් කෙසේ අමතක කරන්න ද? පියසේන හා කුමාරිකාව කෙටිකතා පොත මුද්‍රණය ද එවැනිම මිහිරි අත්දැකීමකි. මෙවර ඔහුට පොතේ කර්තෘත්වය අවශ්‍ය වීය. මුල් නම ඔහුගේය, පොතට පිටකවරය ඇන්දේ අප දෙදෙනාගේම මිත‍්‍ර සරච්චන්ද්‍ර සමරක්කොඩිය. මනෝ මෙන් ඔහු ද අද අප අතැර ගොසිනි.
 
 මනෝ සමග හතළිස් වසරක් තුළ ආ ගිය නාට්‍ය චාරිකා, මනෝගේ සමාගමය, නාට්‍යාවසානයේ මධු විත අධික වූ රාත‍්‍රින්හි මනෝගේ ගායන රංගන පමණක් නොව වීදි දිගේ දිව යෑම් ද තර්ක විතර්ක ද ගහ බැණ ගැනීම්වලින් තොරව නිමා වූ අයුරු සිතුවම් පටයක් සේ ඇඳීයයි. ඒ සෑම සිදුවීමකම මනෝ ප‍්‍රධාන නළුවාය. කොළඹින් බැහැර නාට්‍ය ගමනක දී රඟහලට යන තෙක් ද නාට්‍යාවසාන වී කොළඹට එන තෙක් බස් රියේ රාත‍්‍රී ගමන් ද සුන්දර මතක ලෙස අප කණඩායමේ සැම තුළ රැුඳී ඇත්තේ මනෝගේ සැහැල්ලූ විනෝදාත්මක කතා බතා නිසාය. ගායනා හා රඟපෑම් නිසාය. ඒ මතක එක් කොට වෙනම පොතක් වුව ලියන්නට හැකිය. මනෝ වේදිකාවේ දී මෙන් බැහැර ද නළුවාය. 2017 සැප්තැම්බරයේ මගේ පොත් ත‍්‍රිත්වයක් ජනගත වූ උත්සවය අමතා මනෝ කතා කළේ අපගේ ජීවිතයෙන් වසර හතළිහක්ම එකට ජීවත් වූ මිතුරු භූමිකාව පිළිබඳව ය. උත්සවය නිමාව ළඟා වී තිබුණේ
 
 රෑ බෝ වී වුවත් පේ‍්‍රක්ෂාගාරය
 
 නොනැගිට මනෝගේ විනෝදාත්මක දේශනයට සවන් දී සිටියේ විස්මිතවය. ඔහු එදා කළ කතාවෙහි වීඩියෝවක් ඹ එමඉැ හි සංසරණය වේ. යුවරජු ලූම්බිණියේ දී අප්පුහාමි වූ හැටි නරඹා ඇති පේ‍්‍රක්ෂක සංඛ්‍යාව 2021.01.04 දිනට හැත්තෑතුන් දහස ඉක්මවා තිබීම පවසන්නේ මනෝ යනු අපගේ අප‍්‍රමාණ ආදරය දිනූ සුන්දර චරිතයක් බවය. ඔහු අපේ කාලයේ විශිෂ්ට නළුවාය. අප හද බැඳගත් මිතුරාය. සොඳුරු මිනිසාය. අප හද තුළ සදාකල්හි ම ජීවත්වන සුන්දර මිනිසාය.
 

බුද්ධදාස ගලප්පත්ති
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles