Divaina - විකුණගන්න බැරි තරමට රටකජු හැදිලා! සිසිල් ගබඩා නැතිව රටකජු කල් තබා ගන්න බෑ... දේශීය අවශ්‍යතා ඉලක්ක පසුකරන තවත් අතිරේක බෝග රැසක් හෙට අනිද්දාට වෙළෙඳපොළේ

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 සනත් එම්. බණ්ඩාර - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ratakau500

* ඉලක්කය පහු කෙරුවොත් අඬන්න වෙන ගොවිතැන
* සිසිල් ගබඩා නැතිව රටකජු කල්  තබාගන්න බෑ,
* අස්වැන්න අනතුරේ
* දුප්පත් රටවල සාදන එළවළු පලතුරු  40% ක් ගබඩා නැතිව අපතේ
* දේශීය අවශ්‍යතා ඉලක්ක පසුකරන තවත් අතිරේක බෝග රැසක් හෙට අනිද්දාට වෙළෙඳපොළේ

ඉදිරි අවුරුද්දක කාලයකට වුවත් කා නිම කරන්නට අපහසු වෙන තරමේ වී අස්වැන්නක් ලැබී තිබුණත් මෙරට වෙළඳපොළෙහි ඇතැම් කාලයට මිලදී ගන්නට සහල් නැත. නිතරම ඇසෙන්නේ සහල් මාෆියාව වැනි වචන දෙකකි. සිසිලි දූපතෙහි 19 වෙනි සියවසේදී බිහිවූ සංවිධානාත්මක අපරාධ කල්ලියක් මාෆියා නමින් හැඳින්වූ බව දැනසිටියත්, ලංකාවේ වී ගොවියා වෙනුවෙන් කතාකරන දෙපාර්ශ්වයක් සමග එවන් අපරාධ කතා පුවතක් ගැට ගසන්නේ කෙසේදැයි කල්පනා කිරීමත් හිසරදයකි. මන්දයත් මේ දෙපාර්ශ්වය දෙපැත්තට බෙදී මාෆියාවක ඇති නැති භාවය පිළිබඳව වචන හරඹයක යෙදී සිටින නිසාය. ගොවියා ළඟද කෑමට තබාගත් වී මල්ල හෝ දෙක හැරුණුවිට වෙනත් අස්වැන්නක් නැති පසුබිමක, කාලයකට වෙළඳපොළේ සහල් නැතිවී, ටික දිනකින් යළි ඇතිවීමේ විජ්ජාවක් දකින්නට තිබෙන්නේ ගොවි ගෙදරින් නික්මෙන වී ගෝනිය කුමක් හෝ අලකලංචියකට හසුවෙන නිසා බව නම් කාහට වුවත් තේරුම් යන්නේය.

දේශීය වී නිෂ්පාදනය කෙතරම් ඉහළ ගියත්, තවමත් බලධාරීන් විසින් කරන්නේ වී ගොවියාව දිරි ගැන්වීමකි. ඉතාමත් සොච්චම් මුදලකට සපයමින් තිබූ රසායනික පොහොර මල්ලට අයකරන මුදලත් අතහැර දමන්නට පසුගියදා තීරණය කෙරුණි. පුරන් කුඹුරු අස්වද්දන්නට කෙරෙන උනන්දුකිරීම්වල ද කෙළවරක් නැත. සහල් අතිරික්තය වෙනත් රටකට විකුණා දැමීමට ද හැකියාවක් නැත්තේ පිටරට මිනුම් දඬුවලට ගැලපෙන සහල් තොග තවමත් අප අතින් නිපදවෙන්නේ නැති බැවිනි. ඒ නිසා කළයුත්තේ හදන තරමක් මෙහිදීම පරිභෝජනය කිරීමයි. ඊට සම්පාතව ආනයනය කෙරෙන තිරිඟු ප‍්‍රමාණය අඩු කළ හැකි බැවින්ද, ග්ලූටන් රහිත සහල් පිටි අනුභවය ශරීර සුවය පැත්තෙන් බලන කල වඩාත් සාධාරණ බැවින්ද, බ්රේක් නැතිව පල්ලමේ ගමනක් යන වී ගොවියා තමා ඉදිරියෙන් ඇති අලෙවි අවදානමක් ගැන බිය විය යුතු නොවේ. මාෆියා තිබුණත් නැතත් බඩ පිරෙන්නට තුන්වේලම බත් නොකෑවොත් නින්ද නොයනා බහුතරයක් සිටිනා රටක, වී ගොවියාට යන්තමින් හෝ ජාම බේරා ගන්නට ඉදිරියටත් හැකි වන්නේය.

මේ ආශ්වාදය ඉක්මනින් නරක් වන බෝග කාණ්ඩ දෙකක් වූ එළවළු හෝ පලතුරු වගාකරන ගොවියාටත් ලැබෙන්නේ නැත. ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන ආකාරයට ලෝකය පුරා සංවර්ධනය වෙන රටවල නිපදවන එළවළු හා පලතුරු ප‍්‍රමාණයෙන් 30% - 40% ක් අතර ප‍්‍රමාණයක් නිසි ගබඩා පහසුකම්, සැකසුම් කම්හල් සහ ප‍්‍රවාහන පහසුකම් නොමැතිව මිනිස් පරිභෝජනය වෙත ලං නොවී විනාශයට පත්වේ. අතිරේක ක්ෂේත‍්‍ර බෝග ගණයට වැටුණත් රටකජුවල ඉරණම විසඳී ඇත්තේද එළවළු පලතුරු ආකාරයටම බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. පසුගිය දිනකදී එක්තරා පුවත්පත් වාර්තාවක පළවී තිබුණේ වැල්ලවාය ප‍්‍රදේශයේ තොග වෙළෙන්දන් සතුව ගොවීන්ගෙන් මිලදී ගත් රටකජු ටොන් 400 ක් පමණ ගොඩගැසී අලෙවි කරගත නොහැකිව ඇති බවයි. වැඩි දෙනෙක් නොදන්නා වුවද තමා සතු තොගවල ඉරණම ඉවෙන් මෙන් හඳුනාගත් වෙළෙඳුන්, බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පුවත් පතෙහි සඳහන්ව තිබුණේ හැකි ඉක්මනින් මේවා මිලදීගෙන තමන්ව නිදහස් කරන ලෙසයි. රූපවාහිනී ප‍්‍රවෘත්තියක ඔවුන් කළ උද්ඝෝෂණයක් ගැන ද කියැවුණි.

රටකජු භෝගය ඇතුළු අතිරේක භෝග 16 ක් ප‍්‍රවර්ධනය කිරීම උදෙසා රජය විසින් සුභවාදී පියවර රැුසක් පසුගිය සමයේදී  ගන්නා ලදී. අරමුණ වූයේ මෙරට මහපොළොවේ වැවෙන භෝග හැකිතාක් දුරට අප විසින්ම වගාකොට පරිභෝජනය කිරීමයි. මෙය රටක් විසින් ගතයුතු ඉතා වටිනා පියවරකි. මෙය තවත් දිරිගැන්වීම උදෙසා කහ, උඳු වැනි දෑ සඳහා පූර්ණ ආනයන තහනමක්ද ක‍්‍රියාත්මක කෙරුණි. පසුගියදා වාර්තා වූයේ කහ තහනම නිසා ඉන්දීය ගොවියාට අහිමි වූ කෝටි ගණනක මුදල් ප‍්‍රමාණය හේතුවෙන් ඔවුන් කනස්සල්ලෙන් ඔළුව කහමින් සිටිනා බවයි. අපගේ ඉන්දීය කහ පරිභෝජනය මත ඔවුන් පෙරදා ලැබූ සැනසිල්ල තේරුම් ගැනීමට මෙය හොඳටම ප‍්‍රමාණවත්ය. දේශීය වාර්ෂික කහ අවශ්‍යතාවය වන මෙටි‍්‍රක් ටොන් 7500 ක පමණ ප‍්‍රමාණයෙන් තුනෙන් පංගුවක් පමණ අප සාමාන්‍යයෙන් නිපදවමින් සිටියෙමු. ඉතිරි අවශ්‍යතාවය වශයෙන් 2018 දී මෙටි‍්‍රක් ටොන් 5386 ක් ආනයනය කර තිබුණි. මෙම ආනයන සීමා හේතුවෙන් පිටරට ගොවියා අතට යන මුදල් කන්දරාව අපේ පිටිසරයාගේ ඔඩොක්කුවට වැටී ගැමි ආර්ථිකය දියුණු වන්නේය. අනෙක් ප‍්‍රතිලාභය වන්නේ ඉන්දියාවෙන් ගෙනවිත් අඹරා සාදන උළුඳු වඩය උනත් දැලි පිහියෙන් කන තත්ත්වයට පත්ව ඇති අප ඉන් නිදහස් වීමයි. අප එසේ පවසන්නේ මෙරටට වැඩියෙන්ම අතිරේක බෝග ගෙන්වන ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල්, බෝග නිෂ්පාදනයේදී අනුගමනය කෙරෙන ලිහිල් කෘෂි රසායන ප‍්‍රතිපත්ති නිසාය. මෙරටදී උග‍්‍ර වස යයි තහනම් කර තිබෙන කෘෂි රසායන ද්‍රව්‍යයන් ඉන්දියාවේදී සිල්ලරට අලෙවි කරන්නේය. නූගත් ගොවියා කිසිවෙකුගේ අධීක්ෂණයකින් තොරව වගා බිමට ඒවා හලන්නේය. ඒවාහි ඇමිණී විෂ අවශේෂයන් කොපමණ තිබෙන්නේදැයි අප සොයා බලන්නේත් නැත. උළුඳු වඩය පවා දැලිපිහියෙන් කන තත්ත්වයට පත්වූයේ අපගේ උඳු වගාව දේශීය අවශ්‍යතාවයට පිරිමැසුනේ නැති බැවිනි. කහවලට දීප්තිමත් පැහැයක් ගන්නට ලෙඞ් ක්‍රෝමේට් නමැති ඊයම් ලවණය එකතුකිරීමෙන් බංගලි වැසියන්ට වූ ඛේදවාචකය ගැන ලිපියක් ටික කලකට ඉහතදී මෙම පුවත්පතටම මා විසින්ම ලියන්නට යෙදුනේ ගෙන්නාගෙන කෑමේ අවදානම තවදුරටත් තහවුරු කරන්නටය. කෙසේ වෙතත් මේ කුමන භෝගයකටවත් අදාළ නොවන ආකාරයේ අලෙවි හදිස්සියක් රටකජු අස්වැන්න හා ඈඳී ඇත්තේ කෙසේදැයි මීට වඩා සැලකිලිමත්ව බලධාරීන් විසින් කල්පනා කළ යුතුව තිබේ.

ලංකාවේ රටකජු අවශ්‍යතාවය වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 28000 ක් පමණ වේ. එසේ තිබියදී යම් ප‍්‍රමාණයක් රටකජු අප පිටරටින්ද ගෙන්වන්නේය. ඉන් වැඩි ප‍්‍රමාණයක් ජම්බෝ පීනට් වශයෙන් හැඳින්වෙන ඇට ලොකු ප‍්‍රභේදයයි. මේ අනුව 2019 වසර තුළදී ආනයනය කර ඇති රටකජු ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 4300 කි. වැයකර ඇති මුදල රුපියල් කෝටි අටකට ආසන්නය. එම වසරේදීම දේශීය ගොවියාගේ රටකජු නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 26922 ක් වූ අතර වගාකර තිබූ බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 14528 ක් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එසේනම් අප ජම්බෝ පීනට් කතාව මොහොතකට අමතක කළහොත් ලංකාව තිබී ඇත්තේ සාමාන්‍ය රටකජු සඳහා ස්වයංපෝෂණ සීමාව ආසන්නයේය. පොඩි තල්ලූවක් දුන්නා නම් අපේ බයිට් එක අපේ පොළොවෙන්ම ගොඩදා ගන්නා තත්ත්වයට පත්වන්නේය. රටකජුවල අනෙක් සංරචකය වන ජම්බෝ පීනට් වෙනුවෙන් කෝටි ගණනින් සල්ලි චීනය හා ඉන්දියාවට ගලනා අයුරු නරඹමින් කෘෂිකර්මයේ පර්යේෂකයින් අත්තටු හකුලාගෙන සිටි බවක්ද නොපෙනේ. අඟුණකොළපැලැස්ස මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් 2015 වසරේදී ‘ලංකා ජම්බෝ’ නමින් ප‍්‍රථම ඇට ලොකු ප‍්‍රභේදය නිපදවා නිදහස් කර තිබේ. මින් සෑහීමකට පත් නොවුණු පර්යේෂකයින් තත්ත්වයෙන් තවත් උසස්, කෙටි කාලයකින් ලොකු අස්වැන්නක් දෙන දෙවන ජම්බෝ වර්ගය ද ඒ.එන්.කේ.ජී.එන්. - 3 (ANKGN-3) වශයෙන් නම්කර 2019 වසරේදී නිදහස් කරන්නට සමත්වී තිබේ. නිල වශයෙන් නිර්දේශය ලැබීමෙන් එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ නිෂ්පාදන අංශය වෙත යැවෙන අතර, මේ අනුව අලූත් ජම්බෝ දැන් සිටින්නේ බීජ ගොවිපොළවල් තුළයි. නොබෝ දිනකින් මෙහි බීජ ගොවීන් අතර බෙදාහැරීමට හැකිවෙනු ඇත. එවැනි අනාගතයකදී ජම්බෝ පීනට් අවශ්‍යතාවය ද අපටම සාදාගත හැකිවෙනු ඇත.

සංචිත තෙල් අධික බීජ වර්ගයක් වන රටකජු අඩු උෂ්ණත්වයක් යටතේ ගබඩාකිරීම වැනි විශේෂ තත්ත්වයන් අනුගමනය නොකළේ නම් බීජයේ ප‍්‍රරෝහණ ශක්තිය ඉක්මනින් නැසී යයි. ඒ නිසා වෙනත් බෝග බීජ තොගයක් මාස ගණනක් ගබඩා කරගෙන තබා ගන්නවා වැනි ක‍්‍රියාවකට රටකජු බීජ අවනත නොවේ. මේ නිසා ඊළඟ කන්නයට අවශ්‍ය රටකජු බීජ ප‍්‍රමාණය ගබඩාකර තබාගන්නට හුදකලා ගොවියාට නුපුළුවන. ලැබෙන අස්වැන්න අනුභවයට හෝ කර්මාන්ත සඳහා විකුණා දැමීමේ විකල්පය වෙතට ගොවියාට යන්නට සිදුවන්නේ එබැවිනි. තෙල් නිස්සාරනය වැනි කර්මාන්ත ද මෙරට සුලභ නැති බැවින්, පරිභෝජන විකල්පයේ අපට ඉතිරිව ඇත්තේ බැදගෙන හෝ තම්බාගෙන රටකජු කෑම පමණි. මගතොට මිනිසුන්ගේ සංචරණය ද අඩුවී ඇති මොහොතක් නිසා පාරදිගේ කෙරෙන රටකජු අලෙවිය ද දැන් සිදුවෙන්නේ ඉතා සීමිත වීම තවදුරටත් උණ උත්සන්න වීමක් සේ පෙනේ.

කෑමට ගැනීමට හෝ රටකජු කල් තබා ගන්නට අපහසුය. මේ බීජ තුළ ඉතා පහසුවෙන් අස්පර්ජිලස් ෆ්ලේවස් (Aspergillus flavus) නමැති දිලීරය වර්ධනය වේ. ඒ මගින් පිටතට හෙලන විෂ ද්‍රව්‍යයක් ඇෆ්ලටොක්සින් සේ නම්කර ඇති අතර එය පිළිකා කාරකයක් ය. ඒ නිසා කජු කන්නට ලේසි උනාට පුස් හැදුන රටකජු කෑවොත් ලේසි වන්නේ නැත. එසේනම් වෙළෙඳුන් පවසන පරිදි ඔවුන් සතුව පවතින රටකජු ටොන් හාරසියයට කරන්නේ කුමක්ද? මේ තොරතුරු එක පළාතකින් පමණි. මුළු රටේම දත්ත එළියට ගතහොත් මීටත් වඩා අයහපත් චිත‍්‍රයක් මැවෙන්නට පුළුවන. මෙම නිෂ්පාදනය අපතේ ගියහොත් ඇරඹී ඇති මහ කන්නය තුළින් නිපදවෙන අස්වැන්න ගන්නට පවා වෙළෙඳුන් ඉදිරිපත් නොවිය හැකි අතර එවිට අස්වැන්න ඉතිරිවන්නේ ගොවි ගෙදරමය. ඊළඟ කන්නයේදී  ගොවියා ද වෙන අතක් බලා ගන්නවා ඇත. චක‍්‍රය කඩා වැටෙන්නට ගතවන්නේ වසරක පමණ සුළු කාලයකි.

”රටකජු වගේ ඉක්මනට විනාශවෙන අස්වැන්නක් ආරක්ෂා කරගන්න ශීත ගබඩා වැනි දේ අත්‍යවශ්‍ය වෙනවා. ගොවීන්ට තනියෙම තමාගේ ගබඩා හදාගෙන නඩත්තු කරගන්න ශක්තියක් නෑ. ඒ නිසා මෙතනදී බාහිර පාර්ශවයක සහභාගිත්වය අවශ්‍ය වෙනවා. රාජ්‍ය නොවන ආයතන හෝ සංවිධාන වැනි පෞද්ගලික ආයතන වලටත් ඉදිරියට එන්න අවස්ථාව තිබෙනවා. ආසියාවේ වෙනත් කෘෂිකාර්මික රටවල කෙරෙනවා වගේ රාජ්‍ය පෞද්ගලික සහයෝගීත්වයෙන් කෘෂිකාර්මික ප‍්‍රදේශවල කුඩා පරිමාණයෙන් හරි මෙවැනි ගබඩා ඉදිකර පවත්වාගත යුතුයි. පළාතේ ගොවීන්ට එය පොදු ගබඩාවක්. තම අස්වැන්නේ ප‍්‍රමාණය හා ගබඩාව භාවිතා කරන කාලය අනුව සාධාරණ මුදලක් ඔහු විසින් ගෙවාවි. ඒ හරහා ඔය කියන පසු අස්වනු හානිය විශාල වශයෙන් අඩු කරන්නත්, ගොවියාට වසර පුරාම සාධාරණ මිලක් ලබාගන්නත් හැකිවෙනවා.”

එසේ ප‍්‍රකාශ කරන්නේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය ජීවනී දිද්දුගොඩ මහත්මියයි. අඟුණකොළපැලැස්ස මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ රටකජු අභිජනන වැඩසටහන මෙහෙයවන්නේ ඇය විසිනි. ඒ ප‍්‍රකාශයත් සමග අපේ මතකයට එන්නේ පසුගියදා කියවන්නට ලැබුණු විදෙස් පුවත්පත් වාර්තාවකි. බංගලාදේශයේ පළවෙන ‘ඬේලි ස්ටාර්’ නම් පුවත්පතෙහි පළවී තිබුණු එහි උද්ධෘතය වූයේ

”ගොවියාට සිදුවන විපත්තිය ශීත ගබඩා මගින් වැළකීමට හැකිවීම” වැනි අදහසකි. කොවිඞ් 19 වසංගතය හමුවේ මාර්තු 26 වැනිදා රට වසා දැමීමත් සමග, නිපදවූ එළවළු අස්වැන්න බොහොමයක් ගොවිබිම්වලම සිරවී තිබේ. පන්චගාර් දිස්ත‍්‍රික්කයේ දෙල්වාර් හුසේන් නම් ගොවියෙක් පවසා තිබුණේ තම පිපිඤ්ඤා අස්වැන්න කිලෝව ටකා 6 ක් වැනි අඩු මුදලකට විකුණා දැමූ බවයි. (මෙය රුපියල් 12 ක් වැනි සොච්චම් මුදලකි.) නමුත් රටේ හැමතැනම මෙය සිදුවූයේ නැත. රාජ්‍ය නොවන පෞද්ගලික සංවිධාන මගින් කුඩා පරිමාණයේ ශීත ගබඩා ඇතැම් පළාත්වල දැනට ඉදිකර ඇති අතර ඉතා වේගයෙන් එම ව්‍යාපෘතියේ පැතිරීමද රටපුරා සිදුවෙමින් පවතී. රාන්ග්පූර් පළාතේ ඉදිකරන ලද ටොන් පහක ධාරිතාවක් ගබඩා කළ හැකි කුඩා ශීත ගබඩාවක හිමිකරුවකු වූ මොහොමඞ් ෂා අලාම්, පුවත්පතට පවසා තිබුණේ තම ගබඩාව තුළ වට්ටක්කා සහ තක්කාලි පිළිවෙලින් මාස තුනක් හා මාසයක් යන කාලයකට සාර්ථකව ගබඩාකර තැබූ බවයි. අමුමිරිස් හා වම්බටු ද සති තුනක් ඉක්මවෙනතුරු සාර්ථකව මෙහි ගබඩා කර ඇත. මේ හරහා ගොවීන්ට මහත් ප‍්‍රතිලාභ ලැබුණු බවත්, ගබඩා තොග වෙනුවෙන් තමා ගොවීන්ගෙන් අයකළ මුදල ඉතා සාධාරණ බවත් හෙතෙම පෙන්වාදී තිබුණි.

අපේ රටේ නම් තවමත් ගොවීන් සනසන්නට කරන්නේ අතිරික්ත අස්වැන්නක් වේ නම් රජයේ වියදමින් මිලදීගෙන එහාට මෙහාට බෙදන්න හැකි තරමක් බෙදා දමා කුණුවී ඉතිරිවෙන ටික විසිකර දැමීමයි. මේ නිසාම අස්වැන්න විකුණාගැනීමේ යම් ගැටලූවක් මතු වූ කල ගොවියා ද පුරුද්දට මෙන් කෑ ගසන්නේ රජය මගින් මෙම තොගය මිලදී ගත යුතුයි කියාය. වඳින්නට වෙනත් දේවාලයක් නැති බැවින් ඒ ගැන අප අහිංසකයාට අවලාද නොනගමු. එදාවේල විසඳුම් ලබාදෙමින් ලිස්ස ලිස්සා සදහටම ඉදිරියට ඇදෙන ප‍්‍රශ්න ගණනාවක් ගොවිතැන සම්බන්ධයෙන් අප සතුව තිබේ. වියළි කලාපයේ අලි මිනිස් ගැටුම තවත් හොඳ උදාහරණයකි. ‘කටු උණ’ නමැති ශාකය අලි වැටක් ලෙස සිටුවා වසර කීපයකින් සාදා ගත හැකි ජීවී අලි වැටක් ගැන අප කලකට පෙරදී විද්වත් මතයකට අනුව මෙවැනිම ලිපියකින් පෙන්වා දුන්නෙමු. ඒ තායිලන්තය වැනි රටවල මෙය අත්හදා බලා ලැබූ සාර්ථක ප‍්‍රතිපල ද උදාහරණ ලෙසද ගනිමිනි. දැනට පවතින විදුලි වැට එසේම තිබියදී මායිම දිගේ කටු උණ පැල සිටුවා, ගස් හැදෙන තෙක් බලාකියා ගන්නට කොටස්වලට බෙදා ගමේ ජනතාවටම භාර දුන්නා නම් වසර කීපයක් ඇවෑමෙන් අලින්ට පනින්න බැරි තිරසාර බාධකයක් සෑදෙන්නේය. එහෙත් වගකිව යුත්තන්ට මේ අදහස වැදගත් වූ බවක් පෙනෙන්නට නැත. ඇතැම්විට කටු උණ අලි වැට සෑදුන පසු අලින්ට වැට පනින්න නොහැකිව ප‍්‍රශ්නය නිට්ටාවටම සුවවෙන නිසාත්, ජීවී වැට නඩත්තුව වැනි දෙයට වාර්ෂිකව ප‍්‍රතිපාදන වෙන්කිරීමක් වැනි දෙයක් සිදුකළ නොහැකි නිසාත්, බලධාරීන්ට මෙය නෑසුනා වන්නටද පුළුවන.

පසු අස්වනු හානිය අවම කිරීම උදෙසා ප‍්‍රාදේශීය වශයෙන් ශීත ගබඩා ඉදිකිරීමේ යෝජනාව තවත් එකකි. මෙයට පූර්වාදර්ශයක් සපයමින් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙන් ලැබූ අරමුදලක් ප‍්‍රයෝජනයට ගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්ම පසුගිය කාලයේදී ගොවි ක්ෂේත‍්‍රයන්හි පිහිටන ‘ප‍්‍රජා ජාන බැංකු’ නමින් හැඳින්වෙන ඒකක කීපයක් පිහිටුවන්නට කටයුතු යොදා තිබේ. නමුත් ඒ ආහාරයට ගන්නා බීජ ගබඩා කරන්නට නොව, ගොවීන්ට තම තමාගේ බිත්තර බීජ ඊළඟ කන්නය තෙක් ගබඩා කර තබන්නටය. ඒ පිළිබඳ විස්තරයක් ද අප විසින් කලකට ඉහතදී පළ කරන්නට යෙදුනි. නේපාලය, බංගලාදේශය වැනි රටවල ද ක‍්‍රියාත්මක වන මෙම ක‍්‍රමයේ ලාංකික පිවිසුම සනිටුහන් කරමින් බණ්ඩාරගම මිල්ලනියේ ජාන බැංකු දෙකක්ද, මහනුවර දිස්ත‍්‍රිකයේ එක ජාන බැංකුවක්ද, කුරුණෑගල ගිරිබාවේ තවත් එකක්ද වශයෙන් මෙම ගබඩා කාමර ඉදිකර ඇති අතර, විශේෂ විජලකාරක ද්‍රව්‍යයක් යොදාගනිමින් කාමරයේ තෙතමනය පහත හෙළමින් ගොවීහු තම තමාගේ බිත්තර බීජ ආරක්ෂා කරගනිති.

දේශීය නිෂ්පාදනය දිරිගැන්වීමට හවුල්කාරී වන ප‍්‍රධාන පාර්ශ්වකරුවා වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සුවිසල් කාර්යභාරයක් දැනටමත් සිදුකරමින් සිටින බවට විවාදයක් නැත. ඔවුහු නව ප‍්‍රභේද නිපදවමින්, ඒවාහි බීජ හා රෝපණ ද්‍රව්‍ය සාදමින්, තාක්ෂණය සුසර කරමින් හා එය ගොවීන් අතර ප‍්‍රචාරය කරමින් ලබාදෙන දායකත්වයට තව ටිකක් එකතුකර, අස්වැන්න වෙළෙඳාමත් ඔවුන්ගේම කරමත පැටවීම නම් සාධාරණ නොවේ. අපට මේ බව සිතුනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රටකජු ටොන් 400 මිලදී ගතයුතු යයි ගොවීන් පවසන බව මුලින් සඳහන් කළ පුවත්පත් වාර්තාවේ තිබුණු බැවිනි. කිලිටි රෙදි ටික සෝදා දෙන්නට පුළුවන. අව්වේ වනා වේලා දෙන්නටත් පුළුවන. බබා නාවන වැඬේට ලාවට හෝ උදව් කරන්න හිත හදා ගන්නටත් පුළුවන. බබාව පිසදා පවුඩර් දමා අලූත් ඇඳුම් අන්දන්නට නම් බැරුවා වාගේය. මන්දයත් ගොවියාව ගොඩදාන්නට දම්වැලේ පුරුක් වශයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන තවත් ආයතන ගණනාවක් තිබෙන බැවිනි. නාස්තිවෙන අස්වැන්න රැුකගැනීම සඳහා අලූත් පිම්මක් පනින්නට අවශ්‍ය මූල්‍ය හා මිනිස් බලය යනාදී සියල්ලමත් ඔවුන් සතුවේ. හැමදාම උදේ හවා දුවන බස් එකට අලූතින් ටයර් සෙට් එකක් දමා, අපි අලූත් බස් එකක් පාරට දැම්මා කියමින් පාලකයින් වෙතින් ලකුණු දාගැනීම උදෙසා ප්‍රෝග්‍රෙස් රිපෝර්ට් නොලියා ඔවුන් කළ යුත්තේ බස් දුවන්නේ නැති පාරකට අලූතින් බස් එකක් දමා පයින් යන මිනිස්සුන්ගේ ඇඟට දැනෙන වෙනසක් ඇතිකිරීමයි. බලධාරිනුත් දම්වැලේ තැන තැන තිබෙන මෙවැනි කොහුලනු වළලූ පුරුක් ගලවා යකඩෙන්ම දම්වැල තනන්නට උත්සාහ ගත යුතුය. හෙට අනිද්දා වනවිට පසුගියදා ඇරඹුණු භෝග ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ වගාකළ කහ, උඳු, කුරක්කන්, කව්පි, තල කොල්ලූ ආදී මෙකී නොකී බෝග රැසක් එළියට එනවිට අලෙවි ප‍්‍රශ්නය ඔඩුදුවා කඳුළු පෙරන ගොවියාව ගොඩට ඇද, හිනාවෙන තුරු කිතිකැවිය හැක්කේ එවන් සවිමත් දම්වැලක් අතැතිව සිටිනා බුද්ධිමත් පාලකයකුට පමණය.

විශේෂාංග

sikuru

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles