Divaina - රටක් වටින '99' ක්....!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ratawal
 කමල් බෝගොඩ 
 
පස්වන වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමග මෙරට ඉතිහාසයේ පළමුවරට ලකුණු 200 බැගින් ලබාගත් දූ දරුවන් දස දෙනෙකු වාර්තාවීම පිළිබඳව විද්්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය මහ ඉහළින් වාර්තා කළේය.
 
 එහෙත් ඒ සියල්ල අභිබවා යමින් ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල හා බැඳුණු මානුෂික වටිකමක් ඇති පුවතක් සමාජමාධ්‍ය ඔස්සේ ශීඝ‍්‍රයෙන් හුවමාරු විය.
 
 එම පුවතේ විජයග‍්‍රාහී කිරුළ පලන් කුමරා වූයේ රමල් ක‍්‍රිස්ටෝපර් ය. ඔහු දැනට ළමුන් තිස් දෙදෙනෙකු පමණක් අධ්‍යාපනය ලබන, භෞතික හා මානව සම්පත් ඌනතාවයෙන් දැඩිව පීඩා විඳින පිළියන්දල, අධ්‍යාපන කලාපයේ කරගම්පිටිය විජය විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකි. ඉකුත් දා නිකුත් වූ ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අනුව ඔහු ලකුණු 99 ක් ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ව ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලැබූ අයෙකු ලෙස තේරී පත්විය.
 
 ලකුණු 99 ක් ලබාගත් සිසුවෙකු ශිෂ්‍යත්ව විභාගය සමත් වූයේ කෙසේ දැයි බොහෝ දෙනකුට ගැටලූවක් වනු ඇත. රමල් එම විභාගයට පෙනී සිටියේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ කාණ්ඩය යටතේය. එම කාණ්ඩයෙන් පෙනී සිටි සිසුවෙකු ලැබූ ඉහළම ලකුණු ගණන වන ලකුණු 99 ක් ලබාගත් රමල් වාර්තාගත චරිතයක් වන්නේ එහෙයිනි.
 
 බාහිර සමාජයට රමල් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු වුවත් ඔහුගේ දෙමාපියන් වන සහබන්දු හා වර්ණාට තම පුතණුවන් සුවිශේෂී දරුවෙකු විය. කුමන ශාරීරික අඩුපාඩු තිබුණත් තම සි`ගිති පුතු දෑස මෙන් රැකබලා ගනිමින් පෝෂණය කිරීමට එම දෙපළ සෑම විටම කටයුතු කළහ. රමල්ගේ පියා ස්ථීර රැකියාවකට නොගියේ ද සිය පුතණුවන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු නිසාය.
 
 රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය සමන්මලී සුමනසේන මහත්මියගේ අධීක්‍ෂණය යටතේ රමල් භෞත චිකිත්සක ප‍්‍රතිකාරවල නිරත වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහු ටිකෙන් ටික ක‍්‍රියාකාරී දරුවෙකු බවට පත් වෙමින් සිටියේය. මහාචාර්ය සමන්මලී මහත්මියගේ අදහස වූයේ රමල් ශාරීරික වශයෙන් අඩුපාඩු සහිත දරුවෙකු වුවත් ඔහුගේ මනස හොඳින් වැඩෙමින් පවතින බවයි. එසේ හෙයින් ඔහු හැකිතාක් සාමාන්‍ය දරුවන් සමග ක‍්‍රියාකාරකම්වල නිරත කළ යුතු බවයි, ඇයගේ නිර්දේශය වූයේ.
 
 රමල් පාසල් යැවීමේ වයස එළඹෙත්ම ඔහුට පාසලක් සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ඔහුගේ දෙමාපියන්ට සිදුවිය. ප‍්‍රදේශයේ බොහෝමයක් පාසල්වලට ගොස් සිය දරුවා පාසලට ඇතුළත් කරගන්නා මෙන් ඉල්ලීම් කළත් ඒ සෑම පාසලකින්ම දැක්වූ ප‍්‍රතිචාරය වූයේ සාමාන්‍ය දරුවන් සමග එක් පන්ති කාමරයක රමල්ට අධ්‍යාපනය ලබා දිය නොහැකි බවයි.
 
 මෙසේ් ප‍්‍රදේශයේ පාසල් ගණනාවකට ගොස් අවසානයේ කරගම්පිටිය විජය විද්‍යාලයේ විදුහල්පති බණ්ඩාරකුඹුක්වැවේ ශාන්තිදේව හිමිපාණන් ඉදිරියේ පෙනී සිටි රමල්ගේ දෙමාපියෝ තම දරුවා එම විද්‍යාලයට ඇතුළත් කර ගන්නා මෙන් ආයාචනා කළහ. මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරියෙකු වූ උන්වහන්සේ රමල්ව සියුම් පරීක්‍ෂණයකට ලක්කළ අතර එහිදී උන්වහන්සේට අවබෝධ වූයේ රමල් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු වුවත් ඔහු විශේෂිත හැකියාවන්ගෙන් පෝෂිත අයෙකු බවයි. එසේ හෙයින් ඔහු තම පාසලට ඇතුළත් කර ගැනීමට කැමැත්තක් දැක්වූ විදුහල්පති හිමියන් ඒ සඳහා පන්තිභාර ගුරුතුමියගෙන් විමසා අදහස් ලබාගෙන රමල් විජය විද්‍යාලයේ 3 වන ශ්‍රේණියට ඇතුළත් කර ගත්තේය.
 
 රමල් සමග ඔහුගේ දෙමාපියෝද පාසල් ආහ. විශේෂයෙන්ම රමල්ගේ මව නිරන්තරයෙන්ම ඔහුට මඟ පෙන්වමින් ඔහු වෙනුවෙන්ම කැප වුණාය. පන්ති කාමරේදී ද රමල් අසලම රැඳෙමින් ගුරුතුමිය කියා දෙන පාඩම ඔහුට අවබෝධ කර දීමට ඇය සමත් වූවාය. එවැනි උපක‍්‍රම හරහා සිය දරුවා පන්තියේ සෙසු දරුවන්ටත් වඩා බුද්ධිමත් දරුවෙකු බවට පත්කර ගැනීමට ඇය නිරන්තරයෙන් මහත් වෙහෙසක් ගත්තාය. පාසලේ වාර විභාග ආදියේදී සෙසු ළමුන්ට වඩා වැඩි ලකුණු ප‍්‍රමාණයක් ලබා ගනිමින් රමල් සිය හැකියාව පෙන්වන්නට සමත් විය.
 
 මේ අතර රමල් ගේ පන්ති භාර ගුරුතුමියන් විටින් විට මාරු වූ අතර ඔහු 4 වන ශ්‍රේණියට සමත් වන විට පන්තිභාර ගුරුතුමිය ලෙස පළමු පත්වීම ලැබ පැමිණ සිටි අරන්දර ගුරු මහත්මිය රමල්ගේ අභියෝගය භාර ගත්තේ ඉතා කැමැත්තෙනි. ඔහුගේ මානසික මට්ටම මනාව අවබෝධ කරගත් ඇයට ඔහු තුළ වූ සැඟවුණු දක්‍ෂතා මතුකර ගැනීමට වැඩිකලක් ගතවූයේ නැත. පස්වන ශ්‍රේණියට සමත් වූ රමල් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරවීම ගුරු මහත්මියගේ අභියෝගය විය. රමල් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට තරම් හොඳ දැනුමක් සහිත දරුවෙකු වුවත් ඔහුට කතා කිරීමට හා ලිවීමට හැකියාවක් නැති නිසා ශිෂ්‍යත්ව විභාගයට ඔහු මුහුණ දෙන්නේ කෙසේ දැයි ගැටලූවක් විය.
 
 රමල්ගේ දෙමාපියන් විභාග දෙපාර්තමේන්තුවේ පිහිට පැතුවේ මේ අතරතුරය. තම දරුවාට කෙසේ හෝ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට අවස්ථාව සලසා දෙන ලෙස ඔවුන් විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර කොමසාරිස්වරයා මෙහිදී සානුකම්පිතව රමල්ගේ ගැටලූවලට සාධාරණයක් ඉටු කිරීමට පියවර ගත්තේය. රමල් වැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් තරග විභාගවලට සහභාගී කරවීම සුදුසු නොවන බව විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණත් රමල්ගේ දෙමාපියන්ගේ බලවත් ඉල්ලීම නිසා ඔහුව විශේෂ පරීක්‍ෂණයකට ලක්කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
 
 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය උදාවිය. රමල්ට විභාගයට මුහුණ දීමට සිදු වූයේ දෙහිවල ෆ්‍රෙස්බෙටීරියන් විද්‍යාලයේදීය. තමාට නුහුරු පාසලකදී විභාගයට මුහුණ දීම රමල්ට තරමක ගැටලූකාරී තත්ත්වයක් උදාකරවන්නක් විය. එහෙත් කලින් ලබාගත් අවසරය මත රමල්ගේ මවද ඔහු ආසන්නයේ සිටි නිසා ඔහු සන්සුන් කරගැනීම අපහසු නොවීය. රමල් වෙනුවෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණ නිලධාරියෙකු පැමිණ සිටියේය.
 
 විභාග ශාලාවේ පරීක්‍ෂකවරයෙකු විසින් රමල් වෙනමම පන්ති කාමරයක රඳවා ඔහුට ප‍්‍රශ්න පත‍්‍රයේ ඇති ප‍්‍රශ්න එකින් එක කියවද්දී ඔහු සිය මව විසින් සකස් කර දුන් ඉලක්කම් කාඞ්පතක් ඇසුරෙන් එම ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. කෙසේ වෙතත් පිළිතුරු ලිවීමට ඇති ප‍්‍රශ්න අතහැර දැමීමට රමල්ට සිදුවූ අතර එම ප‍්‍රශ්න සඳහා ද පිළිතුරු සැපයීමට හැකි ක‍්‍රමවේදයක් සලසාගත හැකි වුවානම් මීට වඩා ඉහළ ලකුණු ප‍්‍රමාණයක් ලබාගන්නා බව විදුහල්පති හිමියෝ පැවසූහ.
 
 ඒ කෙසේ වෙතත් රමල් මේ වන විට මෙරට අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය නව සංධිස්ථානයකට රැගෙන ගිය දරුවෙකු බවට පත්ව හමාරය. විභාග දෙපාර්තමේන්තුවේ පොදු තරග විභාගයකට මුහුණදී වැඩිම ලකුණු ප‍්‍රමාණයක් ලබාගත් විශේෂ අවශ්‍යතා සහිත දරුවා ලෙස රමල් වාර්තාවක් පිහිටුවා ඇත.
 
 රමල් වැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සාමාන්‍ය දරුවන් සමග එක පංතියක රඳවා ගෙන අධ්‍යාපනය ලබාදීම සඳහා නිර්භීත තීරණය ගත් කරගම්පිටිය විජය විද්‍යාලයේ විදුහල්පති බණ්ඩාරකුඹුක්වැවේ ශාන්තිදේව හිමිපාණන්ටද, රමල් වෙනුවන් කැපවූ ඥානවතී, හිරුණි හා කුෂානි යන ගුරුතුමියන්ටත් විශේෂයෙන්ම අරන්දර ගුරුතුමියටත් රමල්ගේ ජයග‍්‍රහණයේ ගෞරවය හිමිවිය යුතුය.
 
 මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ දූ දරුවෝ රටපුරා විසිරී සිටිති. ඔවුන්ගේ ජයග‍්‍රහණය කිසිසේත් සුළුපටු නොවේ. ඒ සියලූ දෙනා අතරින් විශිෂ්ටතමයා රමල් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මන්ද රමල් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ සෙසු බොහෝ දරුවන්ට හිමිව තිබුණු ශාරීරික හැකියාවන් අහිමි වූ දරුවෙකු ලෙසිනි.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles