Divaina - මගේ තාත්තා සොළොස් කලා පිරි සඳක්... ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර මාහිමි

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p28 1
සුමුදු කුමුදක් පිපී
පුරුදු සුවඳක් ගෙනේ
සොළොස් කලා පිරි සඳක් සිනාසෙන
මේ රාති‍්‍ර යාමේ
මං බාලේ - හුරතලයේ
රන්දා අනන්ත ආදරයෙන්
දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
පියාණනේ.....

විශාරද ගුණදාස කපුගේ ගයන මේ මධුර ගීය ඔබට මතකද? ‘‘මිනිසුන් වශයෙන් ඉපිද, කාටවත් වැරැදි කරන්න එපා. කාටවත් බය වෙන්නත් එපා. දුක සැප කාටත් උරුමයි. අටලෝ දහමින් කම්පා නොවී ඒවා දරා ගන්නට අප පුංචි දවසේ පටන් පුරුදු පුහුණු විය යුතුයි.’’ ඒ ආදරණීය තාත්තා ආදර්ශයෙන්ම දුන් මේ ඔවදන අප හිමියන් ගේය පද බවට පත් කළේ සීරුවටය. උන්වහන්සේ මෙවැනි ගීත රාශියක්ම අප ගීත ක්‍ෂේත‍්‍රයට එක් කළ විශිෂ්ට ගී පද රචකයෙකි. එමතු ද නොව, පොත් 50 ගණනක් ලියා පළ කළ උසස් ග‍්‍රන්ථ කතුවරයෙකි. මේ රටේ විචිත‍්‍ර ධර්ම කථිකයෙකි; දේශකයෙකි. මේ ආකාරයෙන් රස හව් විඳුනා රසවතුනට ධර්මය අනුසාරයෙන් බොහෝ කටයුතු ද නිබඳව කරන්නෙකි. අනුරාධපුර ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණෝ අද ‘දිවයින අපේ තාත්තා’ මණ්ඩපයට වඩිති. උන්වහන්සේ සමග ඇඳිරිනීතිය හමුවේ බාධක ජය ගනිමින් කළ කතාබහ කටවහර ආඛ්‍යානයෙන් නොව ගත් වහර ආඛ්‍යානයෙන් ලිවීමට මම වෙර දරමි.

* මිදිගම ගම්මැද්දේ

p28 2
p22 5දකුණු පළාතේ මිදිගම ගම්මැද්දේ උපන් ජයසේකර විතානගේ සුගතපාල වරාය කම්කරුවෙකි. මේස් බැනියම් අඳින ගැමියන්ගෙන් හා බුලත් හපමින් දසන් පිරුණු ගොවියන්ගෙන් හා ගෙවිලියන්ගෙන් සැදුම්ගත් මේ ගම්මානයේ බොහෝ දෙනකු ජීවත් වූයේ වී ගොවිතැන් ආදී කෘෂිකාර්මික කටයුතුවලින් හා ස්වයං රැුකියා ආදිය කරමිනි. ඒත් සුගතපාලට අයිති කුඹුරක් තිබුණේ නැත. ඒ කාලයේ කොළඹ  රැකියා කරන සුගතපාලට ගැමියන්ගේ යම්බඳු ගෞරවයක් හා ආදරයක් ද නිතැතින්ම තිබිණ. අප හිමියන්ගේ පියාණන් වූ හෙතෙම හිමියන්ගේ මෑණියන් වූ ගංගොඩ ගමාච්චිගේ සුසිලාවතී මාතාව කැන්දගෙන ආවේද මිදිගමට ම කිට්ටු නුදුරු ගම් පියසකිනි. කිසියම් ඥාති සබඳතාවක් ද මේ පවුල් අතර පිහිටියේය.

හිමියන්ගේ අම්මාගේ නෑයන්ගේ ඉල්ලීම පිට සුගතපාල මහතා කලක් පදිංචිව සිටියේ තම බිරිඳ සුසිලාවතීලාට අයිති ඉඩමක කුඩා නිවසක් සාදා ගනිමිනි. හිමියන්ගේ පවුලේ උන්වහන්සේට වැඩිමල් අක්කා කෙනකු ද බාල මල්ලිලා දෙදෙනකු ද වූහ.

* කරත්ත පාර

මේ ගේ ඉදිරිපිට පාරෙන් ගාල්ල, හබරාදුව හා වෙනත් තදාසන්න නගරවලට බඩු ගෙන යන කරත්ත නිරන්තරයෙන්ම ගමන් ගනියි. ඒ දෙස බලා සිටීම අප හිමියන් පුංචි දවසදී පුරුද්දක් කරගෙන තිබිණ. තාත්තාගේ සවියට යම්බඳු අත්වැලක් දීම මේ පවුලේ දරුවන්ගේ සිරිත විය. සුසිලාවතී මෑණියෝ ද තම නිවසේ කටයුතු නොපිරිහෙළා ඉටු කරන අතර ගෙදරට යම්බඳු ආදායමක් සොයා ගැනීමට වෙහෙසුණාය. කොහු ලණු අඹරා කීයක් හරි සොයාගැනීමට කවුරුත් උත්සුක වූහ. කොහු ලණු අඹරන මැෂින් එකේ ලණු ඇඹරීම (අප හිමියන් පුංචි දවස ගිහි නම) ලාල්ගේ ද ආශාව විය. කොහු කර්මාන්තයේ විවිධ වැඩ කටයුතුවලට අමතරව කොප්පරා වේළීමට ද අම්මා උත්සුක වනවිට ලාල් ද ඊට උදව් කළේය.

කුඹුර, බැත, කෙත, නියර, අම්බරුවන්, වෙල් ඉපණැලි ආදියෙන් පෝෂිත සරුසාර ගමක් වුව ද, සුගතපාලට හෝ සුසිලාවතීට අයිති කුඹුරු ඉඩම් නොතිබූ නිසා ඔවුහු පවුලේ දරුවන් ගොඩනැඟීමට මහත් වෙහෙසක් ගත්හ. පුංචි ලාල් (හිමියන්ගේ ගිහි නම) මුලින්ම අකුරට ගියේ මිදිගම මහා විද්‍යාලයටය. ටික කලකින් මේ පවුල යක්කලමුල්ලේ මලන්දෙණියේ පදිංචියට ගිය පසු ලාල් නවදව මහා විද්‍යාලයට අකුරට යැවීමට මාපියෝ කටයුතු කළහ.

* දරුවන්ට ඉහළම ආදරය

p28 3මේ තාත්තා දරුවන්ට බෙහෙවින්ම ආදරය කළ පියතුමෙකි. අම්මා සඳක් මෙන් දරුවන් වැඩුව ද, මේ පියතුමා හිරු මෙන් පවුල ආලෝකමත් කළේය.‘‘අපේ තාත්තා හරි පුදුම තාත්තෙක්. කොළොම්තොට වැඩ කරද්දී අක්කා අපේ අවශ්‍යතා විශේෂයෙන් වසර අවසාන පොත් ලැයිස්තු වගේ දේවල් ලියා ඇරියාම පෑන, පැන්සල, චෝක් කෑල්ල, ගම්බෝතලය පවා අරගෙන කිසිදු අඩුවක් නැතිව ඒවා අපට ගෙනැල්ලා දෙනවා ඉස්කෝලෙ යන්ට. ඒ වනවිට පලතුරු රසකැවිලි වරදින්නෙත් නෑ. මාකොළ කෙහෙල්පඳුරේ කුලියටත් අප කාලයක් හිටියා. නිවාඩු කාලෙට අප රැුගෙන කොළඹ එන තාත්තා වෙසක්, පොසොන් කාලෙට විශේෂයෙන් ඒ සැරසිලි තොරණ, වෙසක් කුඩු ආදිය පෙන්වනවා. මාත් ඉතින්; විවිධ රූ රටා මවන රතු පාට, කහ පාට, නිල් පාට බැබළෙන විදුලි බුබුළු ආදිය බලන්න ආසයි. මේ කොළඹ රටේ අප එක්කාගෙන යන ගමන් ඒ ඒ තැන්වල වටිනා දේත් අපට පෙන්වනවා. කෞතුකාගාරය, ග‍්‍රහලෝකාගාරය, විහාරමහාදේවි පිට්ටනිය, ඕල්කොට්තුමාගේ පිළිරුව, ඒ. ඊ. ගුණසිංහ කම්කරු සටන් නායකයාගේ පිළිරුව, ටයිට්ස් ගොඩනැඟිල්ල, පරම විඥානාර්ථ සංගමය පිහිටි තැන මේ වගේ දේවල් පෙන්වලා එතුමා අපව දැනුවත් කළා මතකයි’’ ඒ අප හිමියන් මතකය අවුස්සන හැටිය.

* බයිසිකලයේ රවුමක්

සුගතපාල මහතා කොළඹ රටේ ඇවිද රක්ෂාව කර මහන්සියට ගෙදර ආවත් කුඩා දවස ලාල් පුතාගෙන් නම් ඔහුට ගැලවීමක් තිබුණේම නැත. එතුමාට අයිති හම්බර් බයිකලයට නංවාගෙන රවුමක් යෑමට කුඩා දරුවා පෙරැුත්ත කරයි. කොතරම් විඩාපත්ව සිටියත් මේ තාත්තා එය ප‍්‍රතික්ෂේප නොකළේය. පුතා සතුටු වන තරමටම බයිසිකලයේ නංවා පැද්දවීම කළේ එහි අපහසුතා නොතකමිනි. කේන්දර, නක්‍ෂත‍්‍ර, වාස්තු විද්‍යා මේවා ගැන ඒ තාත්තා එතරම් නොපිළිගත්තත් අම්මා සුසිලාවතී නම් දේවාල, පන්සල්, නැකැත් කේන්දර, කිරි දාන, සිල් ගැනීම් බෝධි පූජා ආදිය හිස මත තබාගෙන කටයුතු කරන්නියකි. ලාල් පුතාගේ කේන්දරේ ධර්මකර්මාධිපති යෝගය තිබෙන බව, නැකැත්කරු පැහැදිලි කර කියන විට අම්මාගේ හිත සතුටින් ඉපිල ගියේය. තාත්තාගේ හිසේ ද මලක් පිපිණු ගානය.

* ධර්මකර්මාධිපති යෝගය

ධර්මකර්මාධිපති යෝගය තිබෙන අය ඉහළටම යනවා යන්න. ඒ ගමේ ප‍්‍රචලිත අදහසකි. මේ දෙමහල්ලන් සිතුවේ තම පුතා අනිවාර්යයෙන්ම දොස්තර මහතකු වනු ඇතැයි කියාය. ගමේ මිනිසුන් ඉහළ යෑම ලෙස සිතුවේ එක්කෝ දොස්තර වීමය. නැතහොත් ඉංජිනේරුවරයකු වීමය. ගමේ දෙවොල් මඩු, ශාන්ති කර්ම, තොවිල් මේ හැම කාර්යයකම සුගතපාල ද සිටියේය. ගමේ මිනිසුන්ගේ වැඩවලට ද, පන්සලේ කටයුතුවලට ද එතුමා උදව් කළේය. විශේෂයෙන් මෙවැනි ශාන්ති කර්ම තිබෙන තැන්වලට තම දරුවන් කැටුව යෑම ඔහුගේ පුරුද්දකි. ග‍්‍රැමෆෝන් ගී ඇසීම, නූර්ති, ටීටර් ආදිය ද ඔහුගේ අභිරුචියට හේතු විය.

* අඩු කුලේ කියාලා අසරණයා

හැන්දෑවට අඳුරු තුනී සළු එළන වෙලාවට කොහේදෝ සිට හීන් අඩියක් ගසා සින්දුවක් කියා ගෙන ගෙදර ඒම තාත්තාගේ පුරුද්දය. එදාට වෙනදාටත් වඩා එතුමා නිවුණු සැනසුණු කෙනෙකි. ඒ. ජේ. කරීම් ගායකයාගේ මේ සින්දුව ඒ මුවින් නිතරම කියැවෙයි. ‘‘අඩු කුලේ කියාලා අසරණයා - මැඬලන්නේ මේ ලෝකේ වසලයා......

ගීයෙන් කියැවෙන ආකාරයටම එතුමා කුල, මල, නිල, ජාති, වර්ග කිසිවක් ගණන් ගත්තේ ද නැත. හිමියන්ගේ තාත්තාගේ මුවග රැුඳුණු අපූරු කවියක් උන්වහන්සේ සිහිකරති

කරුවල දහස් පන්සියයකි අඹ රුකකි
ඒ අඹ රුකේ පල ගත්තේ ගෙඩි දෙකකි
ඒ අඹ දෙකේ පණුවන්ගේ තුඩු සැටකි
තෝරන කෙනෙකි අඹ සතරකි නැටි අටකි

මේ කවියෙන් කුළුගැන්වෙන අදහස සංසාරය ගැනය. අටලෝ දහම ගැනය. ආර්යඅෂ්ටාංගික මාර්ගය ගැන නැටි අටකින් උපමා කොට ප‍්‍රකාශිතය.

* හොඳ සූපවේදියෙක්

‘‘අපේ තාත්තා හොඳ සූපවේදියෙක් බව මා දැන ගත්තේ අවුරුදු 10 දී. එක දවසක් මලන්දෙණියේ ඉන්නා කාලෙ අම්මා මහගෙදර කටයුත්කට ගිහින් එන්න පමා වුණා. දරුවන්ට බඩගිනි වෙලා තාත්තාට කියනවා.’’ අම්මා නැති කලට අප්පා කවර කලේ කියා අගෞරව කළාට අපේ තාත්තා උයන්න පටන් ගත්තා. බතක් උයලා එළවළුවක් හදලා මොනවා හරි කරවල ටිකකුත් හැදුවා. මාර රහයි කෑම. හිතා ගන්න බෑ. කවරදාවත් උයපු නැති තාත්තා මේ තරම් රසට කෑම හැදුවෙ කොහොමද කියලා.

* ගුත්තිලයෙ කවි

‘‘අපේ තාත්තා දුර්ජනයන් ගැන අපට කියා දුන්නේ වෑත්තෑවේ හාමුදුරුවන්ගේ ගුත්තිලයෙන්. ලෝවැඩ සඟරාව, සුභාෂිතය වගේ පොත් පවා තාත්තා කියවලා තිබුණා. එක් වතාවක් දුර්ජනයකුගෙන් වැරැුද්දක් වෙලා තාත්තා කීවා ගුත්තිලයෙ කවියක්. හිමියෝ කීහ.

‘‘කොපමණ ගුණ කළත්
දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙන් දෙව්වත්
අඟුරු සුදු වන කලෙක් නම් නැත්’’

කොච්චර ගුණ කළත් දුර්ජනයා යහපත් වෙන්නෙ නෑ. කිරි දියෙන් දෝවනය කළත් අඟුරු කිසිකලෙක සුදු නොවන්නාක් මෙන්ය. මේ එහි තේරුමයි.

* හතේ කැලෑසියේදී මහණකම හිතට ආවා

ලාල් හතේ කැලෑසියේ ඉන්නා විට මුල්ගිරිගල රතනසිරි නායක හාමුදුරුවන් හා තවත් සඟ ගණ පිරිසක් දානයකට වැඩමවාගෙන යන හැටි හිතට වැදී සංසාර පුරුද්ද ඉස්මතු විය. ඔහුට මහණ වීමට සිතුණේය. පුංචි ලාල් අම්මා හමුවට පැමිණ ‘‘අම්මේ මට මහණ වෙන්නට ඕනෑ යැයි කීවේය. අම්මා ඊට පිළිතුරු දුන්නේ ‘‘මල්ලි මහණ කරන්න ඉන්නෙ. ඔයා ගෙදර ඉන්න’’ යැයි කියමින්ය. ඒත් මල්ලි කවරදාවත් පැවිදිකමට නොගියේය. තාත්තා අම්මාගෙන් මේ පිළිබඳව දැනගන්නට ඇත.

* ගොටුකොළ විකුණුවා

‘‘මහණකමට පෙර මං අම්මත් එක්ක කඩපිළේ ගොටුකොළ මිටි බැඳලා විකුණුවා. ශත 10 යි. බොහෝ විට තනියෙන් ගොටුකොළ අතින් කඩලා ගමේ තැන් තැන්වලින් එකතු කර ගන්නවා. සල්ලි දීලා පළා අරගන්නෙ නෑ. අපේ ගේ හදනකොට ගඩොල් පවා කැපුවා. පාතේගම නන්දාරාම හාමුදුරුවෝ (වැලිගම අග‍්‍රබෝධි රජමහා විහාරෙ) අම්මත් එක්ක යනකොට අත අල්ලාගෙන මට කීවා වැලිගම ජඹුරේගොඩ පන්සලට හාමුදුරු කෙනෙක් අවශ්‍යයි. පුතා එන්න මහණ කරන්න කියා. එදා නම් අම්මා කලබල කළේ නෑ. එන ගමන් අම්මා මහ පාරේ එක පාරටම ඇඬුවා. එතුමියට දරා ගන්න බැරිව ඇඬුණා. මං කීවා ‘‘අඬන්න එපා අම්මෙ, මං මහණ වෙලා හොඳින් ඉන්නම්’’ කියලා.

ගිරුවාපත්තුව ගාලූ මාතර දෙපළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත හේනේගම ශී‍්‍ර ඥානරතන නායක හාමුදුරුවෝ ළඟ මේ විදියට මං පැවිදි වුණා. දවස 1980 ජුනි 25 වැනිදා. එදා මං සිවුර දාලා එනකොට මගේ තාත්තාගෙත් අම්මාගෙත් ඇස් දිළිසුණා. ඒ ඇස් කෙවෙණි යට සැඟවුණු ළෙන්ගතුකමේ කඳුළු කැටිය සඟවා ගන්නට ඒ අයට හැකි වුණේ නෑ.

* මා ඕසේතුංට ගරු කළා

අපේ තාත්තා ගරු කළේ චීනයේ මා ඕසේතුං මැතිතුමාට. තාත්තා හොඳ  J. V. P. කාරයෙක්. මාත් එහෙමයි. ඒත් 89 හමුදා පවුල් ඝාතනය කරන්න සූදානම් වෙච්ච වෙලාවෙ ඉඳන් මං ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වුණා. මාව මරන්න පවා ආවා ඒ කාලයෙ. ඉවත් වුණාට පස්සෙත් ඒ කල්ලියෙන් මට ප‍්‍රශ්න ආවා. තාත්තා අන්ත‍්‍රා වුණේ 2004 ජුනි 19 වැනිදා. තාත්තා නැති වුණේ අවුරුදු 69 දී හෘද රෝගියෙක් හැටියට. අපට ඒ කාලේ මුකුත් කරගන්න බෑ. අම්මාව නම් අප දඹදිව වන්දනාවෙ පවා ඇරියා. මං මහාචාර්යවරයෙක් හැටියට බොහෝ දේවල් කර ගන්න පුළුවන් වැටුපක් ලබන්නේ අදයි. ඒත් තාත්තාට අපේ පවුලෙ දරුවොත් ඥාති දරුවොත් පිට දරුවොත් එකයි. තාත්තා ඒ අයට පුළුවන් තරම් උදව් කළා. ආදරය කළා. මං ඒ මෙහෙවර තාත්තා වෙනුවෙනුත් අදත් පවුලේ දරුවන්ට කරනවා. තාත්තාට ලොකුවට සලකන්න බැරි වුණු පශ්චත්තාපය මගේ ජීවිතයේ හිරවෙලා වේදනාවක් වෙලා තියෙනවා. තාත්තා එහෙම බලාපොරොත්තු වුණෙත් නෑ. සංසාරයෙදි ඒ තාත්තා අම්මා මට නිසැකවම හමුවේවි. මං එතෙක් ඉවසගෙන ඉන්නවා.’’

* බද්දරමල්ල ලිපි

ඒ අපේ හාමුදුරුවන් සංවේදී වූ ආකාරයයි. ඊළඟට අප හිමියන්ට තමන්ගේ ගුරු හිමියන් ගැන ද පවසන්නට බොහෝ දේ තිබේ. ඒ හිමියන්ගේ පැවිදි ගුරු තාත්තාය. ‘බද්දරමල්ල’ ‘දිනමිණ’ ලිපි

ගොනුවකට උන්වහන්සේ ලියූ තීරු ලිපි එකතුව ‘නා ගස් මණ්ඩිය’ පොතේ ඒ කරුණු එයි.

අඳුරු ගොම්මන් වෙලාවේ පන්සල අමදිමින් සිටි ඤාණිස්සර පොඩි හාමුදුරුවන්ට ගමේ චණ්ඩියෙක් වූ චන්දරේ අමුතු සමච්චලයක් කරයි. ‘‘පොඩි එවුන් ලවා මේ වෙලාවටත් වැඩ ගන්න හොඳ නෑ’’ ඒ සමච්චලයේ යටි අරුතය. තම ගුරු හාමුදුරුවන්ට අගරු කළ ඒ මිනිසා පසුපස ඉදල් කෙටියත් උස්සාගෙන පන්නාගෙන පහර දීමට ගිය පොඩි හාමුදුරුවන්ට ගුරු හාමුදුරුවන් වූ හේනේගෙම ශී‍්‍ර ඥානරතන නායක හිමියන් පවසන්නේ කවුරුත් බලාපොරොත්තු නොවූ අපුරු කතාවකි. ‘‘ පොඩි නම ඔය දේවල් කරන විට කරේ සිවුරකුත් තිබුණා නොවේද? කියාය. ඉන් ලොකු හාමුදුරුවන්ගේ උපශාන්ත ගුණයක් ධර්ම විනයේ දැනඋගත්කමත් ප‍්‍රකට වෙයි.

* පැණි ආච්චිගෙ වැඩ

ගමේ උවැසියන්ගේ දෙබිඩි පිළිවෙත් ගැන ද ඤාණිස්සර පොඩි හාමුදුරුවෝ ලියති. පැණි ආච්චිගේ පන්සිල් ගැනිල්ල ද රසවත්ය. අදත්තාදානය කරන ඇය ඒ සිල්පදය සමාදන් නොවී ඒ වෙලාවට කාත් එක්ක හෝ පරණ දෙයක් කතා කළාය. පොඩි නම තරමක් ආවේගශීලීය. තම ගුරු භවතුන්ට, පන්සලට අවමානයක් කළ කෙනකු හට පොඩි නම අකැමැතිය. දවසක් ගමේ ලොකු ඉස්කෝල මහත්මයා ලොකු හාමුදුරුවන් හමුවට ආවේය. ඒ පොඩි නම පිරිවෙනකට ඇතුළු කරන්නට මේ කාලය හොඳ නේදැයි? ලොකු හාමුදුරුවන්ගෙන් ඇසීමටය. ලොකු හාමුදුරුවන් ඒ වෙලාවෙ පිළිතුරු දුන්නේ මෙහෙමයි.

‘‘පොඩි නම හොඳට පොල් පත් වන පොත් කරනවා. ඒත් ටිකක් දඟයි. එක දවසක් බෝ මළුව ගාවදී අර චන්දරේට ඉදල උස්සලා. ඌ ගමේම ඉන්නා මහම වසවර්තියා. තවත් දවසක් නාන ළිඳ ගාවදී අර මාතර ගෙදර කොල්ලන් එක්ක ගෝරි දාගෙන. බීරි උන්නැහේටත් (පන්සලේ ඉන්න කෙනෙක්) දවසක් විහාර මළුවේදී ඉදල උළුක් කරලා. මේවා ටිකක් හැදෙන්න ඕනෑ. නායක හාමුදුරුවෝ කීහ.

* සන්සුන් බව වැදගත්

මිනිසුන්ට කරදර කරන්න එපා. කාටවත් බය වෙන්නත් එපා. තාත්තා කියූ කතාව පොඩි හාමුදුරුවන්ට සිහිපත් විය. ඒ නිසා උන්වහන්සේ ඒ අනුව ජීවිතය කලබලකාරීව ගත කිරීමට නුසුදුසු යැයි සිතට ගත්හ.

ලොකු හාමුදුරුවන්ගේ පුස්තකාලය ඇසුරු කිරීම උන්වහන්සේ මෙන් උගතකු වීමට මඟක් යැයි ඤාණිස්සර පොඩි හාමුදුරුවන්ට සිතිණ. ලොකු හාමුදුරුවන්ගේ සිත පහදින ආකාරයට ධර්ම විනය රැුක ගනිමින් ගත කරන ජීවිතයකින් පසු උන්වහන්සේ මාතර අග‍්‍රබෝධි මහා විහාරයේ ඉගෙන ගැනීමටත් මාතර මන්තින්ද පිරිවෙනටත් වැඩියහ. උන්වහන්සේ සරසවි අධ්‍යාපනයට එන්නේ 1990 වර්ෂයේ පමණදීය.

* ධර්ම විනය උගැන්වූ ගුරු හිමි තාත්තා උගත්කමේ මහරු වටිනාකම, ශීලය, ධර්ම විනය රැකීම ලොකු හාමුදුරුවන් වූ පැවිදි ගුරු තාත්තාගෙන් ඤාණිස්සර පොඩි හාමුදුරුවන්ට ලැබුණේය. මහාචාර්යවරයකු දක්වා පැමිණි ඒ ගමනේ සංක්ෂේප කතාව එයයි. මේ ලිපිය අවසන් කරන්නට කලින් පීතෘත්වයෙන් සිටි සිරිපාල මාමා ගැන ද කියන්නට රසවත්ය.

* සිරිපාල මාමා

සිරිපාල මාමා ඔහුටත් දරුවන් සිටියදීම පොඩි හාමුදුරුවන් කෙරෙහි දක්වන පීතෘත්වය උන්වහන්සේට හරි පුදුම සහගතය. උන්වහන්සේගේ හිතුවක්කාරකම්වලදී පවා වුව ද මාමා කිපෙන්නේ නැත. මාමා හොඳට ම තරහ ගිය වේලාවක වුව ද කියන්නේ ‘‘කොල්ලෝ උඹ මොනවයි කරන්නේ’’ කියාය.

අවුරුදු කාලෙට එහෙම පොඩි හාමුදුරුවන් කඩවලට එක්කගෙන යන මාමා ‘‘උඹට ඇති තරම් පලතුරු කාපන් උඹට ඇති තරම් සෙල්ලම් බඩු ගනින්. උඹට ඇති තරම් ඇඳුම් පැළඳුම් ගනින්’’ යැයි කියයි. කොච්චර බඩු ගත්තත් ඔය මදැයි කියා කියන්නේ නැත. ‘ඔය ඇති දැයි’ කියා අසයි. ‘මදිනම් ගනින්’ යැයි කියයි. අවුරුදු දවසට සිරිපාල මාමා ගෙදර සෙල්ලම් බඩු කඩපළක් දමයි. උණු කැවුම් වගේ ඔක්කෝම බඩුමුට්ටු විකිණෙන්නේ නොමිලේය. ඒ දවස්වලට තැඹිල්ලේ හින්නි අයියා, කිරා, පොඩි අම්මලාගෙ ලොක්කා, චූටි මල්ලී ඔය කොයි කවුරුත් සිරිපාල මාමාගේ කඩපළ අසල රොද බැඳී සිටිති. තම සහෝදරියගේ දරුවන් වෙනුවෙන් මාමලාගේ දකුණු අතේ සුළැඟිල්ලට කිරි එරෙනවා යැයි ආත්තම්මා කතන්දර කිය කියා ඉන්නා වේලාවක කීවා පොඩි හාමුදුරුවන්ට මතකය. සිරිපාල මාමාත් ඒ වගේම මාමා කෙනෙක් නේදැයි පොඩි හාමුදුරුවන්ට සිතෙයි. (උපුටා ගැනීම අවසන්) ඤාණිස්සර මහාචාර්ය හාමුදුරුවන් තනන්නට එම පියාණන් සුගතපාල මහතා මෙන්ම සුසිලාවතී මෑණියන් ද මාමාවරුන්ද, ගමේ ඇත්තන් ද පන්සලේ ගුරු හිමියන් ද හේතු වී ඇත්තේ දැයි මට නිකමට සිතේ.

* උපාලි සමරසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles