Divaina - වවුලන් නැති තැන දූරියනුත් නැතිලූ! අසීමිත අපනයන ඉල්ලූමක්... ලොව දුගඳම පලතුර කියනා සුවඳ හමන කතාව.... මෙරට වැඩිපුර තවමත් තියෙන්නේ මහලූ දූරියන් ගස්...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

durian1* ගුණාත්මයෙන් ඉහළ නව ප‍්‍රභේද පහක් අප සතුයි

 

සමහර උදවිය සිංගප්පූරුව හඳුන්වන්නේ ‘‘ෆයින් කන්ටී‍්‍ර” (Fine Country) යන යෙදුමකිනි. එහි අරුත දෙයාකාරයකින් විග‍්‍රහ කළ හැකි වේ. කදිම හෝ සොභාවත් රටක් යන්න පළමු තේරුමයි. නීතිය අකුරටම රැුකෙන නිසාත්, වැරදි කරන අයට මදි නොකියන්න දඩ ගසන නිසාත් ‘දඩ රටක්’ යන්න දෙවැනි අර්ථයයි. දඩ ගසා දඬුවම් කිරීම සිංගප්පූරුවේදී ඒ තරමටම සුලභ වන අතර අයකරන මුදලද ඉහමොළ රත්වෙන ගණනකි. තත්පරයට ක‍්‍රියාත්මක වන එරට ප‍්‍රධානතම පොදු ගමනාගමන පද්ධතියක් වන උමං දුම්රිය මැදිරියකට ගොඩවෙත්දී බොහෝ මැදිරි තුළදී ඇසට හසුවෙන පුංචි ස්ටිකරයක් තිබේ. එහි දන්වා ඇත්තේ මැදිරිය තුළට දූරියන් රැුගෙන නොඑන ලෙසයි. ඇතැමුන්ට ඔක්කාරය සෑදෙන තරමේ ගන්ධයක් නිකුත් කරන නිසා සිංගප්පූරුව ඇති කලාපයේ රටවල ‘පලතුරු ලොවේ රජු’ ලෙස හැඳින්වුවත්, උමං දුම්රියේ ගමන් බිමන් යෑමට ලොව දුගඳම පලතුරට සිංගප්පූරුවේදී තහනම්ය. ඒ පොදුජන යහපත වෙනුවෙනි. නීතිය කැඩුවොත් ස්ටිකරය නොදුටුවේයැයි කියා බේරී යෑමටද නොහැකිය. ෆයින් රටේ හැටියට ෆයින් එකද පිටිපස්සෙන්ම එන්නේය. එරට පමණක් නොව දූරියන් බහුලව අනුභව කරන මැලේසියාව, තායිලන්තය වැනි රටවල පවා ඇතැම් හෝටල් තුළට දූරියන් වැද්දගන්නේ නැත. පිළිගැනීමේ කවුන්ටරය මත තබා ඇති දැන්වීමක් මගින්ම තහංචිය පනවා ඇත්තේ වහනය වූ ගන්ධය, දූරියන් ගෙඩිය ඉවතට ගියද, පැය කීපයක් නොව ඇතැම්විට දිනක් දෙකක් වුවත් පරිසරයේ රැුඳෙමින් පැමිණෙන අමුත්තන් ආපසු හරවා යැවීමට හේතුවිය හැකි බැවිනි. අනෙකාට දැනෙන අපහසුතාවයක් හෝ හැඟීමක් ගැන සිතා බැලිය යුතු බව මෙරට වෙසෙනා ඇතැම් මිනිසුන්ගේ නම් සිරිත්විරිත් පොත්වල ලියා තිබෙන්නක් නොවේ. පී.සී.ආර්. එකට සාම්පලය ලබාදී ප‍්‍රතිඵල එන ටිකට රට වටා රවුමක් ගසන්නට මිනිසුන් හිත එකඟ කරගන්නේ විනය පැත්තෙන් සිදුව ඇති මෙම පරිහානිය නිසාවෙනි. ජනතාවත් ගණන් නොගන්නා සංචරණ සීමා ඇති රටක් තුළදී දූරියන් ගෙඩියටත් නීති තිබේ දැයි සිහිනෙන්වත් සිතිය යුතු නැත.

durian2දූරියන් යනු අපට ආගන්තුක බෝගයකි. ලෝකයේ තුන්වෙනියට විශාලම හා ආසියාවේ විශාලතම දූපත වන බෝනියෝ හි සම්භවය ලැබුවා යැයි විශ්වාස කරන දූරියන්, 16 වෙනි සියවසේදී මුලින්ම මෙරටට රැුගෙනවිත් ඇත්තේ පෘතුගීසීන් විසින්ය. එහෙත් එදා මෙදාතුර ගෙඩි හැදෙන කාලයට ගහ යට කැරකුනා මිස ඊට වඩා වැඩි යමක් මෙම සල්ලි උල්පතට අපෙන් සිදුවී නොමැති තරම්ය. මෙම ශාක බොහොමයක් අතීතයේදී මිනිසා විසින් ගෙනවිත් සිටවූ ඒවා නොව ඉබේ පැලවී කරදඬු උස්මහත් කරගත් ඒවා වේ. ඒ නිසාම ඇතැම් ඒවා තම ජීවිතය ආරම්භ කර ඇත්තේ වසර සියයක් පමණ නිරෝගීව ජීවත්වීමට සුදුසු භූමියකද නොවිය හැකිය. ජලය හොඳින් බැස නොයන, හිරු එළිය යහමින් පොළොවට නොවැටෙන තැනක ස්ථාපනය වූවානම් වැඩිකල් නොගොස් ලෙඩ රෝගයන්ට පාත‍්‍රවීම සාමාන්‍ය සිදුවීමකි. ෆයිටොප්තරා වැනි දිලීර රෝගයන්ට, මිනිසාගේ අනවධානය නිසා ගස තුළ බින්න බැසීමට හැකිවී ඇත්තේ මේ හේතුවෙනි.

‘‘අපේ වෙළෙඳපොළට තවමත් වැඩිපුර එන්නේ පැරණි දූරියන් ගස්වල හටගන්නා ගෙඩි. බද්ධ පැලවලින් බිහිවුණු ගස් නොවෙන මේවායේ මේ වන විට වයස අවුරුදු පනහ හැට වුණත් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම මෙම ගෙඩිවල ගුණාත්මකභාවයේ ප‍්‍රශ්නයක් තියෙනවා. ඊළඟ කරුණ තමයි මේ ගස් වයස්ගත නිසාම නිධන්ගත රෝග තිබෙන ඒවා. නිහඬ මාරයෙක් වගේ ඒ රෝග ශාකය පුරා ටික ටික පැතිරෙනවා. අන්තිමට ගස මියයෑම තමයි සිදුවෙන්නේ.”

එසේ අදහස් දක්වන්නේ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පලතුරු අභිජනනය පිළිබඳ ප‍්‍රධාන විද්‍යාඥ ඩබ්ලිව්. ඞී. ලෙස්ලි මහතාය. ගෙඩි හැදෙන කාලයට පමණක් පැරණි දූරියන් ගස් කෙරෙහි ඇතිවෙන මේ හදිසි අනුකම්පාව නිසා කෙරෙන විමසීම්වලින් පලතුරු පර්යේෂණායතනය හොඳටම පදම්වී තිබේ. අකාලයට ගෙඩි හැලීයෑම, ගෙඩියේ පොත්ත කළු පැහැ වීම, ගෙඩි පිපිරීම වැනි බොහොමයක් දුක් ගැනවිලිවලට හේතුව වන්නේ මෙම වයස්ගත ශාකවල ඇති නිධන්ගත රෝග බවත්, ප‍්‍රතිකාර මගින් මේවා සුවකිරීමට යන වියදම වගාකරුවන්ට දැරීමට අපහසු වියහැකි බවත් සඳහන් කරන හෙතෙම, යම් තරමකින් රෝගය පාලනය සිදුකළද මුල් තත්ත්වයේ නිරෝගී ශාකයක් ලැබේද යන්න පවා සැක සහිත බවත් පවසා සිටී. දූරියන්වලට ඇත්තේ අසීමිත අපනයන විභවයකි. අප තවමත් මේ ගැන නිවැරදිව තේරුම්ගෙන නොමැතිවීම නම් අවාසනාවකි. එහෙත් තායිලන්තය නම් කල දුටුකල වළ ඉහගෙන හමාරය. අපට මෙන්ම තමාගේ බෝගයක් නොවන දූරියන්වලින් මේ වන විට වැඩියෙන්ම විදේශ විනිමය උපයන්නේ තායිලන්තයයි. බැංකොක් නුවර සිට කිලෝ මීටර් 240 ක් පමණ දුරින් පිහිටි, චන්තබූරී නගරය ලෝකයේ දූරියන් අගනගරය සේ හැඳින්වෙන තරමට දූරියන් තමාගේ කරගෙන ඇත. අපනයනය සඳහා වසරකට දූරියන් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ හතක් පමණ එරට නිපදවෙන අතර, ඉන් භාගයකටත් වඩා යැවෙන්නේ චීනයට සහ හොංකොං වලටය. මැලේසියාව හා ඉන්දුනීසියාව අපනයන ලයිස්තුවේ මීළඟට සිටී.

durian3අපගේ පුරුද්ද තවමත් නතරවී ඇත්තේ පාර අයිනෙන්ම වාහනය නවත්වා දූරියන් ගෙඩියක් පලාගෙන මදුලූ ටික ගිල, ලෙලි ටිකත් එතනම දමා යෑමේ සීමාවේය. එහෙත් ඉහත සඳහන් වූ රටවල් නම් දූරියන් සමග දිගු ගමනක් ඉදිරියට ගොස් තිබේ. පසෙහි සාරය උරාගෙන හිරුඑළිය හා එය කලතා අගනා ආහාරයක් සොබාදහම හරහා ලැබුණු පමණින් ඔවුන් නතර වී නොමැත්තේ ලැබුණු දෙය එලෙසින්ම කා බී අවසන් කරන්නට හය හතර නොදන්නා සතෙකුට වුවත් පුළුවන් කටයුත්තක් බැවිනි. දක්ෂතාවය විය යුත්තේ නෙලාගත් අස්වැන්නට අගයක් එකතු කරමින් ඒ හරහා විවිධ නිෂ්පාදනයක් කරමින් පුළුල් පාරිභෝගික රුචිකත්වයක් ආහාරය වෙත ලබාගැනීමයි. ඒ හරහා දූරියන් මදුලට සිදුව ඇති සාධාරණත්වය විදෙස් රටවලදී නම් මැනවින් දකින්නට තිබෙන්නේය. මදුලූ වෙන්කොට හුරුබුහුටි රිජීෆෝම් දීසි තුල බහා, පොලිතීන්වලින් වැසූ නිෂ්පාදනයන් මග දෙපස ඇති පෙට්ටි කඩවල පවා විකිණීමට තිබේ. මීට අමතරව චොක්ලට්, අයිස්ක‍්‍රීම්, ජෑම්, චිප්ස් ආදී නානාප‍්‍රකාර අගය වැඩිකළ නිපැයුම් රාශියකි. ලොව සුපතල චොක්ලට් වර්ගයක් තම නිල් පැහැති අසුරනයම සහිතව මැලේසියාව වෙනුවෙන්ම දූරියන් රසැති චොක්ලට්ද නිපදවා අලෙවි කරනු ලබන්නේය. මෙරට තත්ත්වය අනුව නම් මෙවැනි කරුණු බොහොමයක් පලතුරු සම්බන්ධයෙන් කතා කළ යුත්තේය. ගහමුල කුණුවී ටොන් ගණනින් අපතේ යන කොස් දෙල් වුවත් අපට නම් හොඳට දැක පුරුදුය. දැනට දූරියන් වවන්නට ඇතැම් පිරිස් පෙන්වන උනන්දුව නිවැරදිව තක්සේරු කරන්නේ නම්, අපනයන ජාලය ශක්තිමත් කිරීමක් හා අගය එකතු කළ නිෂ්පාදනයන් බිහිවීමක් නොවුනහොත් ගොවියාට නැවතත් අත පිසදා ගන්නට සිදුවන්නේ අස්වැන්න අලෙවි කරගත නොහැකිව කෙඳිරිගාමිනි. වගාකරුවන්ට අවශ්‍ය වටාපිටාව සකසාදෙමින් විදෙස් විනිමය දඩයමට රාජ්‍ය අනුග‍්‍රහය උපරිමයෙන් ලැබීම මේ මොහොතේ සිදුවිය යුතුම දෙයක් සේ අප දකින්නේ මේ නිසාය.

durian4වගාකරුවන්ට අවශ්‍ය හොඳ ප‍්‍රභේද බිහිකිරීම වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විටත් විසඳුම් දී හමාර බව පෙනේ. ලෝකයේ නිපදවා ඇති ජනප‍්‍රිය දූරියන් වර්ග හා තරඟ කිරීමට සමත් අපේම ප‍්‍රභේද පහක් දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර ඇති අතර ඒවාහි බද්ධ පැල, රජයේ පමණක් නොව පෞද්ගලික පැල තවාන් මගින්ද මේ වන විට ඇති තරම් නිෂ්පාදනය කරනු ලබයි. කසුන්, අඹතැන්න, හොරණ ගෝල්ඞ්, හොරණ ජම්බෝ සහ ගන්නොරුව ස්වීට් යන නම් සහිත මේ ප‍්‍රභේදවල පලදාව තවමත් බහුලව දේශීය වෙළෙඳපොළ ආක‍්‍රමණය කර නොමැත්තේ පැලයක් සිටවූ පසු වුවද ආර්ථික අස්වැන්නක් දීමට අවුරුදු පහක් හයක් යන නිසා විය හැකිය. කෙසේ වෙතත් ලොව තිබෙනා දුගඳම පලතුර ලෙසට තම උප්පැන්නයේ ලියාගෙන ඇති දූරියන් හා බැඳුණු සුවඳ හමන කතා රාශියක් තිබේ. ඒවා දැනකියාගැනීම දූරියන්

වගාකරුවන්ට මෙන්ම සොබාදහමට ඇලූම් කරන පාඨකයන්ට වුවද නැවුම් අත්දැකීමක් වනු ඇත. ඉහත සඳහන් කළ පරිදි තම වත්තේ තිබෙන දූරියන් ගස වෙත ගෙඩි හැදෙන කාලයට පමණක් යන අයගේ බොහොමයක් ප‍්‍රශ්නවලට වුවත් විසඳුම් මෙම තොරතුරු තුළ රිංගා තිබෙන්නටද පුළුවන. ලෙස්ලි මහතා නැවතත් කතා කරයි.

‘‘දූරියන් වගා කරන අයට අපි දෙන උපදේශයක් තමයි පැල තවානකින් අරගෙන  ගිහින් තනි ගහක් හිටවගන්න එපා කියන එක. හුදකලාව තිබෙන ගහක ගෙඩි හැදෙන්නේ නෑ. හැදුනත් ඒ ඉතාම කලාතුරකින්. හේතුව තමයි දූරියන් මල පරපරාගනය සිදුවිය යුතු මලක්. වෙන ශාක සඳහා නම් පරපරාගනය කියන්නේ වෙනත් මලකින් පරාග අවශ්‍ය වෙනවා කියන එකනේ. මෙතන එහෙම බෑ. වෙන දූරියන් ප‍්‍රභේදයකින් පරාග එන්න ඕනෑ. මේ සඳහා අඩු තරමින් වත්තේ ගස් දෙකක්වත් තියෙන්න ඕනේ. ඒ දෙකත් ජාති දෙකකින් වෙන්න ඕනේ. තමන්ගේ වත්තේ නැත්නම් අඩුගානේ අල්ලපු වත්තේවත් වෙන වර්ගයක දූරියන් ගහක් ළඟපාතින්ම තියෙන්න ඕනෑ.”

නිර්දේශිත ප‍්‍රභේද පහක් දැනටත් අප සතු නිසා දෙවර්ගයකින් ශාක දෙකක් සිටුවා ගැනීමේ ප‍්‍රායෝගික අපහසුතාවයක් නම් නොදැනේ. දූරියන් මල වනාහී පිරිමි සහ ගැහැණු උපාංග දෙවර්ගයම දරන ද්විලිංගික මලක් වුවත් මෙම කොටස් දෙක සක‍්‍රීය වන්නේ දවසේ අවස්ථා දෙකකදී නිසා තමාගේ පරාගවලින් පරාගනය වීම කොහොමටත් සිදු වන්නේ නැත. සවස තුන හතර පමණ වනවිට මල පිපී, වෙනත් මලකින් පැමිණෙන පරාග අලවා ගැනීමට පුෂ්පයේ ජායංගය නොහොත් ස්ත‍්‍රී කොටස සූදානම්ව සිටියත්, කිසිදු දූරියන් ගසකින් යන්තමින් දහවල පසුව ඇති මෙවැනි වේලාවකදී පරාග මුදා හරින්නේ නැත. පරාගධානි මෝරා පරාග මුදාහරින්නේ බිම් කළුවර වැටෙද්දීය. වෙලාව අනුව කියනවා නම් සවස 6.30 හෝ 7.00 පමණ වෙත්දීය. මේ වන විට තවත් ප‍්‍රශ්නයක් ආරම්භ වී තිබේ. මන්දයත් සුළෙ`ගන් පරාග විසිරීමක්ද සිදු නොවන අතර පරාගනය සිදුකරන කෘමි සතුන් යනාදිය රාත‍්‍රිය එළඹෙත්ම පරිසරයේ දක්නට නැත.

‘‘මේ වෙලාවේ මෙතනට එන කිරිවවුලා තමයි පරාගනය සිදුකරන්නේ.”

ලෙස්ලි මහතා පවසා සිටී. ඇතැම් විදෙස් පර්යේෂණ විස්තරවල වවුලන් නැත්නම් ලෝකයේ දූරියන්ද නැතැයි කියනා තරමට වවුලාගේ භූමිකාව ශක්තිමත් වී තිබේ. මේ පිළිබඳව සාර්ථක පර්යේෂණ ප‍්‍රතිපලයක් ජාත්‍යන්තරයට මුදාහැර ඇත්තේ පරිසර විද්‍යාඥවරියක් වන ෂීමා අබ්දුල් අසීස් ඇතුළු කණ්ඩායමක් විසින්ය. මැලේසියාවේ ටියෝමාන් දූපතෙහිදී ලැබූ මෙම නිරීක්ෂණ ඔවුන් විසින් Journal of Ecology and Evolution සඟරාවේ පළකර තිබුණි. ස්වයංක‍්‍රීය වීඩියෝ කැමරා කීපයක් මලින් බරවූ දූරියන් ගස් පෙළක සවිකළ ඔවුනට කිරිවවුල් ක‍්‍රියාන්විතය පිලිබඳ සියලූ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ. වවුලා මලට එන්නේ පැණි බීමට මිස මල ගැබ්ගන්වන්නට නම් නොවේ. පරාගනය නොහොත් මෙම සිද්ධිය වනාහී ශාකය විසින් වවුලාට ලබාදෙන මල්පැණිවල හිලව්වට ගසට ලැබෙන සන්තෝසමක් වන අතර මෙහි පළකර ඇති රාත‍්‍රියේ ගත් ඡායාරූපය උපුටා ගත්තේ ඔවුන්ගේ වීඩියෝවෙන්ය.

‘‘එක ගහක මලක පැණි බොන කිරිවවුලෙක්ගේ ඇෙඟ් තැවරෙන පරාග, එයා තව මලකට ගිය විට ඒ මලේ ස්ත‍්‍රී කොටස් මත තැවරිලා තමයි පරාගනය සම්පූර්ණ වෙන්නේ. ඇඳිරි වැටෙද්දී පරාග අලවා ගැනීමට හැකියාව ලබන ජායාංගය නොහොත් මලේ ගැහැණු ප‍්‍රජනක කොටස් මැදියම් රාත‍්‍රිය වෙනතුරු පවා සක‍්‍රීයව තිබෙන නිසා පරාග ලබාගැනීමේදී ගැටළුවක් වෙන්නේ නෑ. හැබැයි කිරිවවුලාගේ දේහයේ තැවරිලා තිබිය යුත්තේ වෙනත් වර්ගයක දූරියන් පරාග විය යුතුයි. ඒ නිසයි මම කිව්වේ ළඟ පාතකවත් වෙනත් වර්ගයක ගසක් තිබිය යුතු බව.”

ලෙස්ලි මහතා පවසන මෙම කරුණු ඔහුගේ  ප‍්‍රායෝගික අත්දැකීම්ය. දූරියන් මල් පිපෙන වෙලාවට මීයක් ඇවිස්සුණු කල සැරිසරනා බිඟු සමූහයක් විලසින් වූ කිරිවවුල්න්, මල් පොකුරු සමග පොරකමින් පැනිඋරනා බව හෙතෙම නිරීක්ෂණය කර තිබෙන්නේ දූරියන් ගස් සමග රැුය පහන් කරමිනි. අනාගතයේදී උදාකරගන්නා විදෙස් වෙළෙඳපොළවල් ඉලක්ක කරගනිමින් දූරියන් වතු වවන්නට වර්තමානයේ සැලසුම් සාදන මෙරට වැවිලිකරුවන්, වර්ග කීපයකින් පැල තෝරාගෙන මිශ‍්‍රකර සිටුවීමට අමතක නොකළ යුතුය. සිටුවන ගසක අසල්වැසි දූරියන් ශාකය වෙනත් ප‍්‍රභේදයක් වීම වඩාත් සාධාරණය. එසේම පරාග පරිවහනය කරන්නන් වශයෙන් කිරිවවුලන්ද සිටිය යුතු බව අමතක කළයුතු නැත. මාවවුලන්ද මෙතනට පැමිණේ. නමුත් ඔවුන්ගේ සහභාගිත්වය පරාගනයට බලපාන්නේ ඍණාත්මකවය. විශාලත්වයෙන් වැඩි එවන් සතෙක් නිසා පරාගනයට වඩා සිදුවන්නේ පොකුරු පිටින් මල් කඩාවැටී විනාශවී යෑමයි.

කෙසේ වෙතත්, පරාගනයකදී කලංකයේ තිබෙන ඛණ්ඩිකා වැනි කුඩා කොටස් හැම එකකම පරාග හොඳින් තැවරිය යුතුවේ. කිරිවවුලාට තිබෙන හදිස්සිය නිසා එය නිසි පරිදි සිදුවන්නේද නැත. එවිට ගෙඩියේ මදුලූ පිරෙන්නේද බාගෙටය. නියමාකාරයට වර්ධනය නොවුණු ගෙඩි, ඇදවූ ගෙඩි, අසම්පූර්ණ හෝ පුහු ගෙඩි ආදිය වෙළෙඳපොළේදී අපට හඳුනා ගැනීමට ලැබෙන්නේ වවුලා අතින් සිදුවෙන මේ අසම්පූර්ණ පරාගන ක‍්‍රියාවලිය නිසාවෙනි.

‘‘ඇතැම් දූරියන් ගස් හිමියන් නොදැනුවත්කම නිසා වවුලන් එලවන්නට පවා විවිධ උපක‍්‍රම යොදාගන්න අවස්ථා මට වාර්තා වෙනවා. එක තැනැත්තෙක් කිව්වා වවුලන් ඇවිත් මල්ටික සේරෝම පොඩිකරලා යනවා, ඒ නිසා ලොකු දැලකින් මුළු ගහම වැහුවා කියලා. වවුලා ඇවිත් පැණි බොන්න මලෙහි ගැවසෙනකොට පෙති, රේණු වගේ පුෂ්ප කොටස් සියල්ල බිමට වැටෙන බව ඇත්ත. හැබැයි පරාගනය වූ ජායාංගී කොටස ගසේ තිබෙනවා. අනෙක් කරුණ තමයි පරාගනය වූ මල්වල පවා පෙති, මනිපත‍්‍ර, රේණු වගේ පුෂ්ප කොටස් පහුවදා එළිය වැටෙන කොට හැලිලා තමයි තියෙන්නේ. ඒ නිසා වවුලා වැරද්දක් කරලා නෑ. තවත් දෙයක් තමයි එක වතාවකට ගසක මල් දහස් ගණනක් හැදෙනවා. ඉන් වැඩි හරියක් හලා දැම්මේ නැත්නම් ඒ තරම් ගෙඩි සංඛ්‍යාවක් ගසට දරා ගන්නත් බෑ. ඒ නිසා සම්පූර්ණ මල් වුණත් බහුලව හැළී තිබුණාට හිත නරක් කරගන්න අවශ්‍ය නෑ. එක ගහකට දූරියන් ගෙඩි 100 ක් හරියට හැදුනොත් හොඳටම ඇති.”

ලෙස්ලි මහතා ගෙනහැර දැක්වූයේ වගාකරුවන් නොසන්සුන් වෙන ප‍්‍රායෝගික අවස්ථා කීපයකි. කිරිවවුලන් ඇසුරෙන් සිදුකෙරෙන ස්වභාවික  පරපරාගනයේ ඇති අසම්පූර්ණතා නිසා කෘතිම පරාගනයෙන් හොඳට පිරුණු දූරියන් ගෙඩි ලබාගැනීමේ ක‍්‍රමයක්ද හෙතෙම පෙන්වා දෙයි.

එක වර්ගයකින් කඩාගන්නා දූරියන් මල් කීපයක් රැුගෙන වෙනත් වර්ගයක ගසකට ගොඩවන්නේ නම් මේ කර්තව්‍යය ඉතා පහසුවෙන් කළහැකි බව ඔහු පවසයි. කටයුතු සිදුවිය යුත්තේ රාත‍්‍රිය උදාවූ පසුවය. හිස වටා යැවෙන පටියක් ආධාරයෙන් නළල මැදට සවිකර ගතහැකි විදුලි පහනක් ඇත්නම් අත් දෙකම නිදහස් නිසා ඉතා කෙටි කලකින් කටයුතු නිමකර ගසෙන් බැසිය හැකිවේ. කළයුතු වන්නේ තමා අත රැඳී මල, ගසේ තිබෙනා මලට මුහුණට මුහුණ ගැටෙන සේ හොඳින් ස්පර්ශ කිරීමයි. එක මලකින් මේ ආකාරයට මල් දහයක් පහළොවක් වුවත් පරාගනය කළ හැකිවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උපදෙස් දෙන්නේ මීටර් 10-15 අතර උසකට දූරියන් ගස පවත්වා ගන්නටය. බද්ධ පැලයකින් හටගන්නා එවන් ගසක පහළ මට්ටමේ සිටම හරස් අතු තිබෙන අතර ඒවාහිද ඇති තරම් මල් හටහනී.

ගසේ ඉහළ ප‍්‍රදේශයන්හි පිපෙන මල්වල පරාගනය කිරිවවුලන් වෙත වැඩිපුර භාරදී, අත පොවන ඉසව්වක තිබෙන පිපෙන මල් කෘතිමව පරාගනය කිරීම උදෙසා  ගසට නැගීම, සුළු පළපුරුද්දක් ඇති අයකුට වුවත් පහසු කටයුත්තකි. තේ, රබර්, පොල් යනු අපගේ ප‍්‍රධාන විදේශ විනිම උත්පාදන වැවිලි බෝග යැයි පහළ බාලාංශයේදී අප රචනා ලියූවේ දැනට දශක කීපයකට එපිටදීය. ඊට පසුකලෙකදී සමහරුන් කතා දමනවා ඇසුනේ ප‍්‍රධාන විදෙස් විනිම උල්පත ලාංකික මිනිස් ශ‍්‍රමය බව පවසමිනි. ඇඟලූම්වලටද එම ගෞරවයෙන් කොටසක් බැරකරනු පෙනේ. රෙදිටික, නූල් ටික පමණක් නොව ප්ලාස්ටික් බොත්තම පවා පිටරටින් ගෙනැවිත් ඇඳුම් මසා විකුණා උපයනවා කීවත් එසේ අලෙවි කරන්නේද ඇෙ`ගන් ගලනා දහඩියමය. මහපොළොවේ තිබෙන සාරය කලතා වැවිලි බෝගයක් හරහා එය පිටතට ගෙන, එදාමෙන් අලෙවි කර සල්ලි මවන්නට හැකිනම් රටකට ඒ හරහා ලැබෙන්නේ මහත් ආශ්වාදයකි. එහි වෙසෙනා මිනිසුන්ට ආඩම්බරයකි. දුර්ගන්ධ උල්කටු තුළ සැඟවුණු සුවඳැති පණිවිඩය වන්නේ එවන් මෙහෙවරකට සම්මාදම් වන්නට සුදුසුකම් උවමනාවටත් වඩා, දූරියන් මදුලට ඇති බවයි.

සනත් එම්. බණ්ඩාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles