Divaina - කොවිඩ් නිසා හිටි වනම මහ මඟ ඇද වැටී මිය යා හැකිද? හොඳට ඉන්න මිනිස්සු මැරිලා වැටෙන තරම් මේ ලෙඩේ භයානක ද?

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 

covid

 වෛද්‍ය
 ඩැනිස්ටර් එල්. පෙරේරා
 
පහුගිය දින වල සමාජ මාධ්‍ය වල පළවූ පින්තූර නිසා කොවිඞ් වලින් මිනිසුන් මහමග ඇද වැටී මරණයට පත්වන තත්ත්වයක් උදාවී ඇතැයි මතයක් නිර්මාණය විය. එහෙත් රජය නිවේදනය කළේ කොවිඞ් නිසා සිදු වූ එබඳු මහ මග සිදුවූ හදිසි මරණ තිබුණේ එකක් පමණක් බවය. එය එක්තරා යාචකයෙකු ගේ මරණයයි. මේ තත්ත්වය ගැන සමාජය තුළ වැරැදි මතයක් ගොඩ නැගෙන්නට හේතුවක් වී ඇත්තේ කොවිඞ් වසංගතයට පෙර මහමග එබඳු ක්ෂණික මරණ සිදු නොවූ නිසාද? එසේ නොමැති නම් එබඳු ක්ෂණික මරණ මහ මග නොදුටු නිසාද? යන ප‍්‍රශ්න අප ඉදිරියේ තිබේ. එහෙත් මේ හරහා රජයට එරෙහි ජනමතයක් නිර්මාණය කරමින් යම් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන කණ්ඩායම් ද කරළියට එනු පෙනේ. ඔවුන්ගේ අරමුණ වන්නේ රජයේ අසමත් බව නිසා මෙවැනි මිනිසුන් මහමග මියයන තත්ත්වයක් උදාවී ඇතැයි උලූප්පා දැක්වීමය. මේ ආකාරයේ වසංගතයක් ඇති විට හදිසියේ මියයන පුද්ගලයෙකුගේ මරණය සැක උපදවන සුළු වුවත් එය වෛද්‍ය විද්‍යාත්මකව විමසීම අවශ්‍ය වේ. නිගමනයක් දිය යුත්තේ ඉන්පසුව ය.
 
 පසුගිය දිනයක කොවිඞ් ආසාදිත තරුණයෙකු ගෙල වැලලාගෙන මියගිය විට මුලින්ම එය කොවිඞ් මරණයක් ලෙස නම් කොට පසුව එය කොවිඞ් මරණ ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබීය. කොවිඞ් නිසා ඍජුව එම රෝග තත්ත්වය හේතු කොට ඇති වන මරණ සහ කොවිඞ් හේතුවෙන් ඇතිවන වෙනත් තත්ත්වයක් මත සිදුවන මරණ පැහැදිලිවම වෙනස් ලෙස සැලකීම අවශ්‍ය වේ. වරෙක එක්තරා රියැදුරු මහතෙකු තමන්ගේ බස්රථයේ ගමන් කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඞ් ආසාදිතයෙකු බව සොයා ගැනීමෙන් පසු ඇති වූ බිය නිසා ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගත් පුවත ද එසේය. කොවිඞ් වසංගත තත්ත්වය තුළ නිර්මාණය වන සමාජ මානසික ආතතිය නිසා කෙනෙකු ආසාදිතයෙකු නොවීම මරණයට පත් වන්නට ඉඩකඩ තිබේ. මානසික ආතතිය නිසා සිය දිවි හානි කරගැනීම මෙන්ම කලක් තිබූ අසනීප තත්ත්වයක් උග‍්‍ර වීමෙන් ද එවැනි මරණයක් සිදු විය හැකිය. සමහර විටෙක මහමග සිදුවන මරණ වලට හේතුව ද එවැනි අසනීප තත්ත්වයක් නිසා ඇති වන හෘදයාබාධයක් වන්නට ඇති ඉඩකඩ ද බොහෝය.
 
 මෙවැනි වාතාවරණයක් යටතේ කාලීන ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් මෙන්ම වියපත් රෝගීන් හට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ දුෂ්කරතා එමටය. නිසි වෙලාවට ඖෂධ නොලැබීම හෝ වෛද්‍ය ප‍්‍රතිකාර නොලැබීම නිසා ද රෝගය උත්සන්න වී මියයෑමට ඇති ඉඩකඩ වැඩිය. එසේම මේ කාලය තුළ ඇති වන නොයෙකුත් සමාජීය ප‍්‍රශ්න හා ආර්ථික ගැටලූ නිසා ඇතිවන මානසික ආතතිය ද කාලීන රෝග ඇති අයට වැඩි බලපෑමක් ඇති කරන ප‍්‍රබල හේතුවක් වී තිබේ. සංචරණ සීමා, නිරෝධායන නීති, සෞඛ්‍ය රීති ආදී කරුණු නිසා සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළ ඇතිවන වෙනස් වීම දරාගැනීමේ හැකියාව අඩු අය ද මෙවැනි රෝගී තත්ත්වයන් උත්සන්න වීමට ගොදුරු විය හැකිය. එසේම යම් පුද්ගලයෙකු අසනීප තත්ත්වයක් නිසා සිහි මූර්ච්ඡා වී මහමග ඇදවැටුණු විට සහය පිණිස අනෙකුත් අය සමීප නොවීම නිසා ද එවැනි අයෙකුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට ප‍්‍රමාද විය හැකිය. එවිට අනියමින් එම හේතුව නිසාම පුද්ගලයා ගේ ජීවිතය බේරාගැනීමට ඇති ඉඩකඩ අහිමි වනු ඇත. ගියවර කොවිඞ් රැල්ලේ දී දඹුල්ලේ බස් නැවතුමේ මියගිය හමුදා සොල්දාදුවාගේ කතාව ද මේ හා සමානය.
 
හෘද රෝගයක් ඇති පුද්ගලයෙකු යමෙකු ක්ෂණික මරණයකට ලක් වීමට හේතු අතර අතරින් වහිර්කන්තුදාහය (myocarditis) හෝ වහිර්කන්තු අකරණිය (myocardial infarction) නිසා ඇතිවන හෘදයේ රිද්මය වෙනස් වීම (ventricular arrhythmia) මුල් තැනක් ගනී. එසේම පෙනහළු වලට රුධිරය සපයන ධමනියක ලේ කැටියක් සිරවීමෙන් අවහිර වීම (pulmonary embolism) ද හෘදය වස්තුව මුල් කොට ක්ෂණික මරණයක් ඇති කරවන හේතුවකි. මෙවැනි
 
 රෝගියෙකු රෝහලක් තුළ දී මේ තත්ත්වයට බඳුන් වුවහොත් එම රෝගියා ගේ ජීවිතය ආරක්ෂා වීමට ඇති ඉඩකඩ මහමග වැටෙන රෝගියෙකුට වඩා අතිශයින් ඉහළය. එබඳු අවස්ථාවකදී හදිසි ප‍්‍රතිකාර ලබාදීමෙන් රෝගියා මරණයෙන් බේරා ගැනීමට මෙන්ම අවශ්‍ය නම් රෝගියා දැඩි සත්කාර ඒකකයට මාරු කර එහි ජීවිත ආරක්ෂණ උපකරණ වල සහාය ලබා දීම ක්ෂණිකව සිදුවනු ඇත. එහෙත් මහමග වැටී සිටින පුද්ගලයෙකු වෙත කිසිවෙකුත් සමීප නොවන අවස්ථාවක ප‍්‍රමාද වී රෝහල් ගත කරන අවස්ථාවක ජීවිතය අහිමි වීම පුදුමයක් නොවේ. කොවිඞ් වසංගතයට පෙර වුවත් බෝනොවන රෝග නිසා දිනකට පුද්ගල මරණ 600-700 ක් ලංකාවේ සිදුවන බව සංඛ්‍යා ලේඛන අනුව පෙනේ.
 
covid2යම් රෝගියෙකු මියයෑමෙන් පසුව එම පුද්ගලයා කොවිඞ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම එම මරණය කොවිඞ් නිසා සිදුවූ බව නිගමනය කිරීමට හේතුවක් නොවේ. එසේම කොවිඞ් ආසාදිතයෙකු හදිසියේ මරණයට පත් වූ පසු ද එම මරණය කොවිඞ් නිසාම සිදු වූවක් බව නිගමනය කරන්නට බොහෝ හේතු අවශ්‍ය වේ. අපි දැනටමත් දන්නා පරිදි කාලීන රෝග වලින් පෙළෙමින් සිට ආසාදනයට ගොදුරු වීම මෙන්ම ප‍්‍රතිශක්ති පද්ධතිය දුර්වල පුද්ගලයෙකු ආසාදිතයෙකු වීම නිසා මරණය සිදුවීමේ ඉඩකඩ වැඩි බව විද්‍යාත්මකව පිළිගැනේ. එහෙත් කොවිඞ් ආසාදනයෙන් ක‍්‍රමයෙන් උග‍්‍ර වී බරපතළ රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව සයිටෝකීන කුණාටුවක් ඇතිවී පෙනහළු අක‍්‍රිය වී, අනෙකුත් ඉන්ද්‍රියන් හි ක‍්‍රියා අඩපණ වී මියයන රෝගීන් ඉතා පැහැදිලිවම කොවිඞ් නිසාම මිය ගිය රෝගීන් ලෙස නම් කිරීම නිවැරැදිය. මෙවැනි වසංගතයකදී සොයාගනු ලබන මුළු ආසාදිතයින් ගෙන් මිය යන සංඛ්‍යාව හා සුවවෙන සංඛ්‍යාව අඩු කළ විට ලැබෙනුයේ සක‍්‍රිය ආසාදිත හෝ රෝගී පුද්ගලයන් සංඛ්‍යාව වේ. එය මේ වන විට රෝහල්ගත සක‍්‍රිය සංඛ්‍යාව ලෙස වාර්තා කරනු ලබයි.
 
 මරණ අනුපාතය ගණන් බැලීමේදී එය ආසාදිත මරණ අනුපාතය (infection fatality ratio) හෝ රෝගී මරණ අනුපාතය (case fatality ratio) ලෙස ක‍්‍රම දෙකකින් පෙන්වා දෙනු ලබයි. IFR ගණනය කිරීමේදී ආසාදිත සංඛ්‍යාව මරණ සංඛ්‍යාවෙන් බෙදා එහි ප‍්‍රතිශතය බලයි. මෙහිදී ආසාදිත සංඛ්‍යාව අහඹු නියැදි පරීක්ෂාවකින් පසුව අනුමාන ලෙස ගණනය කරනු ලබයි. CFR ගණනය කිරීමේදී මරණ සංඛ්‍යාව තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාවෙන් බෙදා ප‍්‍රතිශතයක් ලෙස පෙන්වයි. ඒ අනුව සමාජයේ තහවුරු නොකළ ආසාදිතයන් සිටීමේ ඉඩකඩ අප පිළිගත යුත්තෙමු. එය මෙවැනි වසංගතයක් තුළ නොවැළැක්විය හැකි තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවිට ආසාදිතයින් නිවෙස් වල රෝගය උත්සන්න වී මිය යාම හෝ වෙනත් රෝග නිසා මිය යාම යනු වසංගතවේදය අනුව නම් සාමාන්‍ය කාරණයකි. එය රජයේ දුර්වලකමක් හෝ සෞඛ්‍ය අංශයේ අකාර්යක්ෂම බව නිසා සිදු වන බව හුවා දැක්වීම නම් කුහක ප‍්‍රයත්නයකි. එහෙත් ආසාදිතයින් ගේ සංඛ්‍යාව ඉහළ යෑම හා පරීක්ෂණ සංඛ්‍යාවට අනුලෝම වශයෙන් ඉහළ යෑමක් නිරීක්ෂණය වන්නේ නම් එය සමාජ සම්පේ‍්‍රෂණය ගැන ඉඟියක් ලෙස සැලකිය යුතුවේ.
 
 නිරෝධායනය අවසන් වී නිවෙසට යමින් සිටි පුදගලයෙකුගේ මළසිරුර මහමග වැටී තිබියදී සොයා ගත් අතර පසුව පී. සී. ආර්. පරීක්ෂණය අනුව ඔහු ආසාදිතයෙකු බව හෙළි විය. එවැනි අවස්ථාවක දී කොවිඞ් ආසාදනය එම මරණයට යම් ආකාරයක හේතුවක් වී ද යන්න සොයා බැලීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළ යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව කොවිඞ් මරණය නිර්වචනය කරනුයේ මෙසේය. ”යම් මරණයක් යනු කොවිඞ් ආසාදනය හා සායනික අනුරූපතාවක් සහිත රෝගතත්ත්වයක් (clinically compatible illness) නිසා කොවිඞ් රෝගය සහිත බවට තහවුරු කළ හෝ විය හැකි අයෙකුගේ මරණය කොවිඞ් වලට සම්බන්ධයක් නොමැති වෙනත් පැහැදිලි විකල්ප හේතුවක් නිසා සිදු නොවුණු හා රෝගය හා මරණය අතර පූර්ණ සුවය ලැබීමක් නොවූ විට එය කොවිඞ් මරණයක් වේ.” කොවිඞ් මරණ සම්බන්ධයෙන් හේතුව සහතික කිරීමේ දී (medical certification of cause of death for COVID-19) ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම නිර්වචනය භාවිතා කෙරේ.
 
 නවදිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය ආයතනයේ විශේෂඥයන් පිරිසක් කියනුයේ කොවිඞ් නිසා හෘදය එකවර ක‍්‍රියාවිරහිත වීමට යම් ආකාරයක රුධිරය කැටි ගැසීමක් නිසා ඇති වන අවහිරතාවක් හෝ නිහඬ අම්ලකර හීනතාවක් (silent hypoxia) හේතු විය හැකි බවය. සමහර යුරෝපීය රටවල තරුණයන් අතර මෙවැනි ක්ෂණික මරණ දක්නට ලැබුණු අතර ඒවා හදවතේ බිත්ති වල මාංශ පේශී ඝන වීමේ රෝගය (hypertrophic cardiomyopathy), හෘත් කන්තුක වාහීනි වල යම් අසාමාන්‍යතා (coronary artery abnormalities) සහ හදවතේ රිද්ම ආබාධ (LongQT syndrome) ආදී ආබාධ හෝ වෙනත් සහජ හෘදගත රෝග නිසා සිදු වූ මරණ බව පෙනී ගොස් තිබේ. සමහර විටෙක එවැනි පුද්ගලයන් එබඳු රෝග තත්ත්ව තමන් හට තිබූ බවක් දැන නොසිටි බව ද හෙළි වී ඇත. එසේම කොවිඞ් වැළඳී සම්පූර්ණ සුවය ලැබීමෙන් පසුව හදිසියේ මිය ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ලැබෙන වාර්තා අනුව ද ඒවා කොවිඞ් නිසා ඇති වූ පසු සංකූලතා නිසා සිදුවූ මරණ ද එසේ නොමැති නම් වෙනත් පරිබාහිර හේතුවක් නිසා සිදුවූ මරණයක් ද යන්න නිශ්චිතව නිගමනය කිරීමට වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි අවශ්‍ය වේ. පසුගිය මාසයේ  නිකුත් වූ මිචිගන් පර්යේෂණ ආයතනයක් මගින් ඇමරිකා එක්සත් ජනපදයේ රෝහල් 68 ක් තුළ රෝගීන් 5000 ක් ඇසුරෙන් සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ දැඩි සත්කාර ඒකකයේ කොවිඞ් රෝගීන් 14% ක් පළමු දෙසතිය තුළ හෘදයාබාධ වලට ගොදුරු වන බවයි. එහෙත් ගැටලූව වන්නේ ඔවුන් ගේ ජීවිත බේරීමේ සම්භාවිතාව ඉතා අඩු බවයි. එහිදී CPR නමින් හඳුන්වන හෘත්පෙනහැලි පණගැන්වීමේ ක‍්‍රියාවලිය (cardiopulmonary resuscitation) හරහා බේරාගැනීමේ හැකියාව තරුණ රෝගීන් හට වැඩි බවත් අවුරුදු 80 ට වැඩි රෝගීන් ගෙන් 3% ක ප‍්‍රතිශතයක් ජීවිත බේරා ගනියි.

එසේම නිරෝගී තරුණ රෝගියෙකු හට කිහිපවරක් වුවත් හෘදයාබාධ ඇති වීමෙන් පසුව වුවත් ජීවිතය බේරා  ගැනීමේ හැකියාවක් ඇතැයි වෛද්‍යවරුන් පවසයි. මෙයින් පෙනී යන්නේ ද මැදිවිය වෙනත් නිදන්ගත රෝග සහිත කොවිඞ් රෝගියෙකුගේ ජීවිත අවදානම වැඩි බවය. එවැනි රටක වුවත් ඉතා දියුණු පහසුකම් සහිත රෝහලක් තුළ වුවත් එබඳු රෝගියෙක් මරණයට පත්වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ඒ අතරතුර බි‍්‍රතාන්‍ය වෛද්‍ය සඟරාව මෙම නිර්වචනයට යම් දිගුවක් එකතු කරමින් ප‍්‍රාථමික, ද්විතීයික හා තෘතීයක කොවිඞ් මරණ යනුවෙන් වර්ගීකරණයක් දක්වා තිබේ. එහිදී කෙළින්ම කොවිඞ් නිසා සිදුවන මරණ වලට අමතරව යම් සුව කළ හැකි රෝග තත්ත්වයක් හෝ සුව කළ නොහැකි රෝග තත්ත්වයක් සඳහා කොවිඞ් නිසා අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර නොලැබී යෑමෙන් මරණයට පත්වීම යන අවස්ථා දෙක ද මේ සඳහා ඇතුළත් කරයි. අපි පසුගිය කාලයේ මහමග දුටුවේ ඒ වර්ගයේ මරණ නම් ඒ සම්බන්ධයෙන් වන සමාජ දැනුවත්භාවය වැඩි කිරීම ඉතා අවශ්‍ය වේ. මේ අවස්ථාවේ දී අවදානම් කලාප වෙන් කිරීම හා සමානවම අවදානම් පුද්ගල කණ්ඩායම් වෙන් කිරීමේ ක‍්‍රමවේදයක් ද හඳුනාගත යුතුය. මේ වන විට ලංකාවේ චිරකාලීන නිදන්ගත රෝග වලින් පෙළෙන බහුරෝගී තත්ත්වයන්ට ගොදුරු වූ බොහෝ පිරිසක් සමාජයේ සිටින බව අමතක නොකළ යුතුය. ඔවුන් නිසි වෛද්‍ය පහසුකම් නොලැබීමෙන් මහමග නොවුණත් නිවෙස් තුළ මිය යන බව ද අවධාරණය කළ යුතුය. සත්‍ය වශයෙන්ම කොවිඞ් නිසාම මිය යන පිරිසට වඩා කොවිඞ් හේතුවෙන් මිය යා හැකි මෙවන් රෝගීන් ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගනු ඇතැයි ඉඳුරාම කිව හැකිය.
 
 කොවිඞ් වසංගතය දෙසට ලෝකයේ සෞඛ්‍ය අංශ වල වැඩි අවධානය යොමු වී ඇති විටෙක එහි බලපෑමෙන් බෝනොවන රෝග ව්‍යාප්තිය හා ඒ නිසා ඇති විය සංකූලතා වැඩි වීම ගැන සැලකිල්ලක් දැක්විය යුතු බව විශේෂඥයින් අනතුරු හඟවයි. එබැවින් කොවිඞ් වසංගතයේ පසු විපාකයක් ලෙස බෝනොවන රෝග වසංගතයක් ද පැමිණෙනු ඇතැයි එයට වඩා ප‍්‍රවේශමෙන් මුහුණ දිය යුතුව ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා තිබේ. එබඳු තත්ත්වයක් යටතේ කොවිඞ් නැතුව වුවත් මිනිසුන් රෝහල් වලින් පිටත මියයන අවදානමක් ඇතිවිය හැකිය. මේ වසංගතය තුළ රෝහල් වලින් පිටත සිදුවන සියලූ මරණ කොවිඞ් ගිණුමට බැර කොට ආණ්ඩුවට දෝෂාරෝපණය කරන ප‍්‍රචාර කිසිසේත්ම අනුමත කළ නොහැක්කේ ඒවාට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති නිසාය. ශ‍්‍රී ලංකාවේ මරණ වලින් 75% කට හේතුව ලෙස පවතින බෝනොවන රෝග ගැන අමතක කොට කොවිඞ් මරණ වලින් රජයට දමා ගසන විට අපි සියලූ දෙනාම සිටින්නේ එම අවදානම අභියස බව අමතක නොකළ යුතුය. එම නිසා දේශපාලන අරමුණු ඇතිව බොරදියේ මාළු බාන අන්දමේ වැරදි මත සමාජගත කිරීම අනුමත නොකරමු.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles