Divaina - 'පින්න මලේ සුද' හරි අපූරු පේ‍්‍රම ගීතයක්...! එඞ්වඞ් නැතිනම් මම කවදාවත් ගීත රචකයෙක් වෙන්නේ නැහැ...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

old1
 
 ප‍්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගී පද රචක
 අමරසේන කංකානම්ගේ
 
 ඇය ගැන හිතලා ලියපු ගීත ඇයවත් දන්නේ නැහැ
 
 
old3ඔහු ඔහුගේ නමින් වඩාත් හොඳින් හඳුනන්නේ ක්ෂේත‍්‍රයේ ඔහු ගේ කිට්ටුවන්තයින් පමණි. එසේත් නොමැති නම් ඔහුගෙන් දැන උගත්කම් ලද ඔහුගේ සිසු පරපුරයි. ඒ සිසු පරපුර ඔහු හඳුනන්නේ විශිෂ්ට ගුරුවරයෙක් ලෙස මිස අන් ලෙසක නොවේ. නමුත් ඔහු ගේ වැඩිමහල්ලන්, ඔහු ගේ සමකාලීනයන්, ඔහුගේ සිසු සිසුවියන් පමණක් නොව ඔහු දත් නොදත් ඔබද ඔහුගේ ගී පද කට පාඩමින් දන්නා බව සහතික වශයෙන් කිව හැකියි. ”පින්න මලේ සුද ඇන්න ගිහින් වද” , ”නිල් නුවන් පෙෙඟන අඳුර ගලා නුරාවෙන් වෙලී”, ”කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලූවොත් දෙසඤ්ඤා”, ”ඉස්සර විදිහට දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ” වැනි රසාලිප්ත, අර්ථ කාව්‍යය රැුසක් රචනා කළ ඔහු, මේ ගී පද එදත් අදත් රැුව් පිලි රැුව් නංවද්දී නිහඬ නිහතමානි දිවි පෙවෙතක අල්පේච්ඡු සුවය විඳිමින් කල්ගත කරයි. මේ ප‍්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගී පද රචක අමරසේන කංකානම්ගේ සමග සිදු කෙරුණු මීවිත කතාබහයි...
 
 * ඔබ ලියූ පළමු ගීතය මතකද?
 
 මට මතක හැටියට මම මුලින්ම ලිව්වේ 82 වගේ. ඒ දවස්වල එඞ්වඞ් ජයකොඩිට ඕනවෙලා තිබුණා රූපවාහිනියේ ගායනා කියන වැඩසටහනට රබන් පද ආශ‍්‍රයෙන් ගීතයක් නිර්මාණය කරන්න; ළමයින්ට. ඒ ගැන මට කිව්වහම ඉතිං මං කිව්වා, අනේ එඞ්වඞ් මම නං සිංදු ලියන්න දන්නේ නෑ, අපි පුස්තකාලෙත් බලලා රබන් පද වලින් මොනවහරි කරමු කියලා. හැබැයි මගේ හොඳ වෙලාවකට ද කොහෙද රබන් පද අවශ්‍ය පරිදි හොයාගන්න බැරිවුණා. ඒක හින්දා මට සිද්ධ වුණා ඔහුට රබන් පද ආශ‍්‍රයෙන් ළමා ගීතයක් නිර්මාණය කරන්න. දැන් ඒ වැඩසටහන නෑ. මට මතක හැටියට ඒක නිෂ්පාදනය කළේ සිසිර කොතලාවල. ඔහුට තමයි හදිසියේ ඕක ඕන උනේ.
 
 * මොකක්ද ඒ ගීතය?
 
 මට මතක හැටියට ඒ ගීතයේ වචන ”අත්තන මල් සේල ඇන්ද, ඉඟ වටකොට හවරි බැන්ද, රබාන සුරතට අරගෙන, වයමු එක්වෙලා.” ළමයි සහ එඞ්වඞ් එකතුවෙලා තමයි ඒ වැඩසටහනේදී මේ ගීතය ගැයුවේ. ඉතිං කොහොමහරි එතනින් තමයි මම සිංදු ලියන්න පටන් ගත්තේ. ඔය ගීතයේ සංගීතය එඞ්වඞ් ගේ.
 
 * මේ කාලයේ එඞ්වඞ් ජයකොඩි කොතරම් ජනප‍්‍රියද?
 
 කැසට් එකක් එහෙම කරලා හොඳ නැගී ගෙන එන ගායකයෙක්. ඔය කාලේ පහුවෙනවත් එක්කම ඔහු හොඳටම ජනප‍්‍රිය වුණා.
 
 එඞ්වඞ් ජයකොඩි මහතා සමග මෙතරම් මිත‍්‍රත්වයක් ගොඩනැගුනේ කොහොමද?
 
 මම කැලණිය ගුරුකුල විද්‍යාලයේ කලා අංශ භාරව හිටියේ. උසස්පෙළ ළමයින්ට සිංහල ඉගැන්නුවේ මම. මට මතක හැටියට ගුරුකුල දිනය යෙදිලා තිබුණ ජුලි පළවෙනිදා පාසලට ආවා ගුරුවරයෙක්. මට කව්රුහරි ඇවිත් කිව්වා අන්න එඞ්වඞ් ජයකොඩි කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවයි කියලා. මං කවදාවත් ඔහුව දැකලා නෑ. පහුවෙනිදා ඒ කියන්නේ ජුලි දෙවෙනිදා උදේ අපේ ඉස්කෝලේ හිටපු ප‍්‍රින්සිපල් රාමනායක මහත්තයා එඞ්වඞ් ජයකොඩි එක්කගෙන ඇවිල්ලා මා ළඟට දුන්නා. මෙන්න ඔයාට සෞන්දර්ය අංශයට හොඳ සංගීත ගුරුවරයෙක් අපි එක්කගෙන ආවා; පුළුවන් තරං වැඩ ගන්න කියලා. එතකොට ගුරුකුලේ තමයි එඞ්වඞ්ගේ මුල්ම රජයේ පත්වීම. මම 76 ඉඳලම ගුරුකුලේ උගන්වමින් හිටියා. එතනින් තමයි අපේ හිතවත්කම ගොඩනැගෙන්නේ. තවමත් ඒ හිතවත්කම ඒ විදිහටම තියෙනවා.
 
 * දැන් එතකොට ඔය පින්න මලේ ගීතය එහෙම ලිව්වේ?
 
  එඞ්වඞ් දවසක් මට කිව්වා ”මේ... අමරේ, මට කැසට් එකක් කරන්න නං ඕනකම තියෙනවා. මට සිංදුවක් හෝ දෙකක් දෙන්න” කියලා. මං ඇත්තමයි එඞ්වඞ්ට කිව්වා අනේ එඞ්වඞ් මං සිංදු ලියලා නං නෑ, කැසට් ඒවා මේවා ගැන මට කිසි අවබෝධයකුත් නෑ කියලා. ඒ ගමන එඞ්වඞ් කිව්වා කමක් නෑ කමක් නෑ ඔයාට ලියන්න පුළුවන්. මං දන්නවා ඔයාට ලියන්න පුළුවන් බව. බැරිඋනොත් අපි හරිගස්සගමු කෝ කියලා, කොහොමහරි සිංදු දෙකක් ලියලා දෙන්න කිව්වා එයාගේ කැසට් එකට. අන්තිමේදී මම සිංදු දෙකක් ලිව්වා. එකක් තමයි පින්න මලේ කියන ගීතය. අනිත් ගීතය තමයි නිල් නුවන් කියන ගීතය. මේ ගීත දෙකේම සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. ගීත දෙකම ජනප‍්‍රිය වුණා.
 
 * ගීතය ලියද්දි නිකමටවත් හිතුනද මෙතරම් ජනප‍්‍රිය වෙයි කියලා?
 
 අනේ නෑ. මොකද මං දන්නේ නැහැනේ ඉතිං ඇත්තටම ගීතයක තියෙන්නා වූ ක‍්‍රමවේදයන් මොකක්වත්. අහපු පළපුරුද්ද විතරයි මට තිබුණේ. කවි ලිවීමේ හැකියාවක් තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. එඞ්වඞ් ආවට පස්සෙවත් මං ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හිතුවේ නෑ. මොකද ඒ වෙනකොට එහේ සෑහෙන ගායකයෝ හිටියා. මර්වින් පෙරේරා, ප‍්‍රියා සූරියසේන, ලීලානන්ද රත්නායක වගේ අය. නමුත් කවදාවත් ඒ කාටවත් මං සිංදු ලියලා දුන්නේ නෑ අනේ මේක කියන්න කියලා. එඞ්වඞ් මගෙන් බලෙන් ඉල්ලා ගත්තා. ඒක හින්දා තමයි බලෙන් මට ලියන්න වුණේ. මං එඞ්වඞ් ගෙන් ඇහුවා මොනවගේ ගීත ද ඕන කියලා. ඔයා නිදහසේ ලියන්න; මට ඒකෙ කිසි ප‍්‍රශ්නයක් නෑ කියලා කිව්වා. පින්න මලේ ගීතය මම එහෙම නිදහසේ ලියපු ගීතයක්. නිල් නුවනුත් එහෙමයි. කෙටියෙන්ම කියතොත් එඞ්වඞ් නැත්නම් මං කවදාවත් ගීත රචකයෙක් වෙන්නේ නෑ.
 
 * පින්න මලේ සුද හරි අපූරු පේ‍්‍රම ගීතයක්?
 
 මං දන්නා ළමයෙක් හිටියා තමන්ගේ ජීවිතේ පිළිබඳ හරිම නොසැලකිලිමත්. හරියට අඳින්නේ නෑ. හරියට හිස පීරන්නේ නෑ. තරුණ ළමයෙක්. නමුත් පසු කාලයකදී මම එයාව දැක්කා බොහොම හොඳට ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. මට හිතුනා ඇත්තටම මේකට මොකක් හරි හේතුවක් තියෙනවා කියලා. මෙයා මොකක් හරි පේ‍්‍රම සම්බන්ධතාවයක පැටලිලයි කියන හැඟීම මගේ ඔලූවට ආවා. මං ඒ ළමයාගෙන් ඇහුවේ නෑ ඔයා මොකද මෙහෙම ඉන්නේ කියලා. නමුත් මට එහෙම හිතුනා. ඒ සිතුවිල්ල තමයි ඔය ගීතයට හේතු වුණේ.
 
 * පින්න මල ගැන නොයෙක් දෙනා නොයෙක් කතා කියනවා?
 
 පින්න මල කියන උපමාව හුඟ දෙනකුට හුරු නෑ. හුඟ දෙනෙක් හිතන්නේ අර කනතුවල අරහේ මෙහෙ තියෙන පින්න මල් කියලා. නෑ එහෙම පින්න මලක් නෙමෙයි මේ. මේක නෙලූම් මලක් වගේ. හරිම සුවඳයි. වෙල් දෙණිවල තමයි මේ මල පිපෙන්නේ. පින්න මල කොයි තරම් සුදු ද කිව්වොත් පෙත්ත වටේ ලා රෝස පාටක් තියෙනවා. හැන්දෑ වෙනකොට ඒක පරවෙනවා. ඒ තරම් ලස්සනයි. මං ඒක තමයි උපමාවට ගත්තේ ඒ පින්න මල. අනික ඒ ගීතය ලියනකොට ගමේ මිනිස්සුන්ගේ සිරිත් විරිත්, ඒවත් මේ ගීතය ඇතුලේ තියෙනවා. ඇවැස්ස නෑකම. ඇවැස්ස මස්සිනා තමයි මේ ගීතය කියන්නේ, නෑනට.
 
 * ”නිල් නුවන් පෙෙඟන අඳුර ගලා නුරාවෙන් වෙලී”.....
 
 ජී.බී.සේනානායකගේ අර නිශ්ශබ්දතාවය වගේ හිතේ තමයි තාමත් එයාගේ ආදරය තියෙන්නේ. මං හදවතේ දොරටුව දැන් ඔබ නමින් විවෘත කරලා තියෙන්නේ. ඒ වුණාට තවම ඔබගෙන් ඒකට කිසිම ප‍්‍රතිචාරයක් නෑ. ඊළඟට මේ පෙම්වතාට කල්පනා වෙනවා මේ ආදරය මොනතරම් පරිසරයත් එක්ක බද්ධ වෙනවද සමපාත වෙනවද කියලා. අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා, පරිසරය කොයිතරන් සශ‍්‍රික වෙලා තියෙනවද? දැන් අඩුවෙලා තියෙන්නේ මේ තරුණියගේ ආදරය විතරයි. ඔන්න ඔහොම ලියනකොට හැබැයි මට පොඩි අදහසක් ඔළුවට ආවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ තියෙනවනේ අර වල්මත් වී හසරක් නොදුටුමි කියලා නවකතාවක්. ඒකෙ එක තැනක තියෙනවා කපක් මුළුල්ලේ මුහුදු දියෙන් සේදුනු සක් පබලූන් සේ යනුවෙන්. අන්න ඒකෙන් තමයි මම ගත්තේ කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින් මගේ හිත ගොළුවෙලා කියන එක. පේ‍්‍රමය කියලා කියන්නේ ජීවිතයට ඉතාමත්ම සතුට දනවන අවස්ථාවක්නෙ. අනික අපි ළඟ ආදරය තියෙනවනේ. කා ළඟද ආදරය නැත්තේ. ඒක හින්දා විශේෂම කාරණයක් නැති නමුත් අපි අවංකව කතා කළොත් ලස්සන තරුණියන් යනකොට බලනවනේ. ඒ තරුණියන් බිම බලාගෙන ගියාට අපි බලනවනේ. ඒකනේ ඇත්ත. ඉතිං අපි ඒ බලන්නේ ඒ සෞන්දර්යය විඳින්න මිස වෙන දේකට නෙමෙයිනේ. එවැනි අවස්ථාවලදී අපේ හිතේ ඇතිවෙනවා නොයෙකුත් සංකල්ප රූප. මං හිතන්නේ එවන් අවස්ථාවක හිතේ මතු වෙච්ච සංකල්ප රූප තමයි මේ ගීතය තුළ තියෙන්නේ.
 
 * ලස්සන තරුණියන් දැකලා ගීත ලිව්වා... ආදරණීය බිරිඳට ගීතයක් ලිව්වේ නැද්ද?
 
 ඇයි නැතුව. ඇය ගැනම හිතලා ලියූ ගීත තිබෙනවා. හැබැයි ඇයවත් දන්නේ නෑ. ඇත්තටම සමහර ගීතවල පද ලස්සන උනත් ඒ ගීත ජනප‍්‍රිය වුණේ නෑ. තිලක් ගුණතිලක කියන්නේ එච්.එම්. ජයවර්ධනයන්ගේ ඥාති සහෝදරයෙක්. ඔහු ගැයුවා මා බිරිඳ ගැන ලියූ ගීතයක්. ”සම්බුලා ඒ ජාතකේ, දුක් වලප කී කුමරියද මේ, මං දන්නේ නෑ මේ කාරණේ දැන් නම් ඇගේ මං පණ වගේ, හැන්දෑ උනොත් හුළු අතු බැඳන්, එලියට ඇවිත් ඈ මන්දිරෙන්, කුස ගින්දරින් ඇස දල්වමින්, දරුවන් එතියි ඇත මග බලං” නමින්. මේ ගීතයේ සංගීතය එච්.එම්. ජයවර්ධනගේ. අම්බපාලි කියලා කැසට් පටයකට මේක නිර්මාණය කළේ. නමුත් ගීතය ජනගත වුණේ නෑ.
 
 * ”ඉස්සර විදිහට දුව පැන යන” ගීතය නම් අදටත් කා අතරත් ජනප‍්‍රියයි?
 
 ඒකත් එඞ්වඞ්ගේ ඉල්ලීමට ලියූ ගීතයක්. දවසක් ඔහු මට කිව්වා පොඩි හාමුදුරු කෙනෙක් ගැන ගීතයක් ලියලා දෙන්න කියලා. මං ඉතිං ඒ කාලේ මට තේරෙන විදිහට ගීතයක් ලියලා දුන්නා. එඞ්වඞ් මොකද කළේ මේක බලලා විසි කරලා දැම්මා මේවා සින්දුද කියලා. මට හරි ලැජ්ජයි. දැන් ඉතිං මට අභියෝගයක් තියෙනවා. මේක හොඳ නිර්මාණයක් කරන්න වෙනවා මෙයාගේ ඉස්සරහා. මේ නිර්මාණය කරන්න බැරි උනොත් මට ලැජ්ජයි. ඒක නිසා මං හිතලා හිතලා පළවෙනි පද දෙක ලියලා, මං හාමුදුරු කෙනෙක් ළඟට ගෙනිහිල්ලා මං ඇහුවා මෙහෙම මේ පොඩි හාමුදුරුවන්ට අවවාද අනුශාසනා දෙනවා නේද කියලා මහණ උනහම. ඔව් එහෙම තමයි කිව්වා. ඊට පස්සේ මම ගීතය නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ ගීතය මං විසි පාරකට වැඩිය ලිව්වා. මොකද අර ලැජ්ජාවෙන් බේරෙන්න ඕන හින්දා. ලියලා ලියලා මගේ හිතට ඇති වෙනකං, කම්මැලිකම කියන එක අයින්කරලා දාලා මම ලිව්වා. ලියලා ලියලා ඉවරවෙලා මේ දැන් ජනප‍්‍රිය වෙලා තියෙන ගීතය මං දුන්නා එඞ්වඞ් ට. ඒක බලලා මුකුත් කිව්වේ නෑ වචනයක්වත් කතා කළේ නෑ එහෙමම නාවලා සාක්කුවේ දා ගත්තා. හැබැයි මට මෙහෙම කතාවක් කිව්වා. මං අපේ හාමුදුරුවන්ටත් දුන්නයි කිව්වා හාමුදුරු කෙනෙක් ගැන ලියන්න කියලා සිංදුවක්. බලමු කිව්වා දෙකෙන් කෝකද හොඳ කියලා. මං කිව්වා ඔව් හොඳ එකක් ගන්න කියලා. කොහොමහරි ඊට මාසෙකට විතර පස්සේ එඞ්වඞ් ඇවිත් මට කිව්වා අන්න සිංදුව කළා; හරි ලස්සනයි කියලා. ඇත්තෙන්ම ඒ ගීතයේ පොඩි හාමුදුරුවන්ගේ පුංචි කාලේ තමන්ගේ ජීවිතයේ තියෙන දහසකුත් දුක් කම්කටොලූ තමයි කියවෙන්නේ. 83 සැප්තැම්බර් මාසේ දහඅට වෙනිදා මේක ලියලා තියෙන්නේ. හරිම ලස්සනට සංගීතය මුසු කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. මේ කැසට් පටයේ නමත් ගීතයේ නමින් ඉස්සර විදිහටමයි.
 
 * අපි මේ අහන්නේ ඔබ ලියූ සාර්ථක වූ ගීතය. එඞ්වඞ් ජයකොඩි විසිකර දැමූ ගීතයේ පද මතකද?
 
 ඒක මතක නෑනේ දැන් මට. හැබැයි මේක ප‍්‍රථම පුරුෂයෙන්නේ ලියන්නේ. අර විසි කරපු එක ලිව්වේ හාමුදුරු කෙනෙක් කියන හැටියට උත්තම පුරුෂයෙන්. ඒක එච්චර රසවත් වුණේ නෑ. ඒකනේ එඞ්වඞ් ඇහුවේ මේවා සිංදු ද කියලා. මට මතකයි මගෙත් එක්ක හිටියා පොඩි හාමුදුරු කෙනෙක්. ඉස්කෝලේ හතරේ හෝ පහේ ඉන්න කාලේවෙන්න ඕන. අති දක්ෂ හාමුදුරු කෙනෙක්. ඒ කාලේ පොඩි හාමුදුරුවරු පන්සලේ ඉඳන් බණ දහම් පොත් කට පාඩම් කරනවා, පාලි හා සංස්කෘත භාෂා වර නගලා කට පාඩම් කරනවා, තාලයට පිරිත් පොත් කියනවා, තාලයට  ගාථා කියනවා, මේවනේ ඒ කාලේ කළේ. ඒ කාලේ ඒ පොඩි හාමුදුරුවොයි මායි ඉස්කෝලේ ඇරිලා ආවම අහල පහල පොඩි පොඩි ලඳු කැලෑවල දන්, කරඳ, බෝවිටියා, කිරිල්ල කඩන් කනවා. මට ඒ පුංචි කාලේත් මතකයට ආවා මේ ගීතය ලියද්දි. අනික අපි දන්නවනේ පොඩි හාමුදුරුවන්ට තනියෙන් වැඩ කර ගන්න බෑ. නහයෙන් අඬ අඬ පොඩි කාලේ ජීවත්වෙන ආකාරය දන්නවනේ. අම්මලා ළඟ හිටියා නං කවදාවත් අම්මලා ඔය තත්ත්වෙට මේ දරුවාව පත් කරන්නේ නෑනේ. අවුරුදු දහහතර පහළොව විස්ස උනත් දරුවන්ගේ සේරම දේවල් අම්මලා කරලා දෙනවා. පන්සලට ගියාම තමන්ම තමයි තමන්ගේ හැමදේම කරගන්න ඕන. ඉතිං ඒක නිසායි ඒ අන්තිම පදේ ලියන්නේ බුදු බණ එතකොට සිහියට එනවද කියන්න පොඩි හාමුදුරුවනේ කියලා.
 
 * ළමා ගී ලියන්න ඔබට තියෙන්නේ සුවිශේෂී හැකියාවක්?
 
 රූං පෙත්ත පෙත්ත කැඩිලා වගේ ගීත මං ලිව්වා දරුවෝ වෙනුවෙන්. මේක පුංචි සිංදු කියන කැසට් ඒකට තමයි නිර්මාණය කළේ. මගේ පෞද්ගලික විශ්වාසයක් තියෙනවා ටියුෂන් දරුවන්ගේ අධ්‍යාපනයට නැත්නම් හොඳයි කියලා. අද තරගෙත් එක්ක ටියුෂන් නැතුව බෑ කියලත් මං පිළිගන්නවා. විභාග පාස් උනාට විතරක් මදිනේ. ළමයින්ට පුළුවන් වෙන්න ඕනනේ පරිසරයත් එක්ක බද්ධ වෙලා රට ලෝකේ දැනගෙන තමන්ගේ අධ්‍යාපනයත් කරගන්න. අනිත් එක අද ළමයින්ට එකට එකතුවෙලා සාමූහිකව වැඩක් කරන්න බෑ. සාමූහිකව ළමයි ඒකට එකතු වෙන්නේ නෑ. ඒ ප‍්‍රධානම හේතුව ළමයි පොඩි කාලේ ඉඳලම ඒකට එකතු නොවීම. ඒක නිසා මට හිතුනා මේ අදහස මේ ගීතයට ඇතුල් කරන්න ඕන කියලා. පොඩි කාලේ කරපු සෙල්ලං තමයි මේ ගීතයේ තියෙන්නේ. ටියුෂන් කියන වචනය නැති උනත් ඒ නිසා ඒ ගැන ලියවෙච්ච ගීතයක් මේක.
 
 * ”කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලූවොත් දෙසඤ්ඤා,”
 
 පස්සේ කාලෙක ගායනා වැඩසටහනට නැවත ගීතයක් ලියන්න වූ අවස්ථාවක තමයි මේ ගීතය ලිව්වේ. සාමාන්‍යයෙන් ඉස්සර සාමුහික ක‍්‍රීඩාවලට ළමයි නිතරම පෙලඹෙනවා. ඉස්කෝලෙදි උනත් ළමයි කාණ්ඬේ එකතු වෙලා ඔය ලේන්සු හංගන ක‍්‍රීඩාව කරනවා. එහෙම නැත්නම් ඔය වෙලේ ගොයම් කපලා පාගලා ඉවර උනාට පස්සේ කට්ටිය එකතු වෙලා ඔය සාමූහික ක‍්‍රීඩා කරනවා. සාමූහික ක‍්‍රීඩා කියන එක විතරක්ම නෙමෙයි මට ඕකෙදි කියන්න ඕන උනේ. ළමයින්ට ඔය ක‍්‍රීඩා ඔක්කොම නැතිවෙලා අලූත් අලූත් දේවල්, තුවක්කු අරවා මේවා තමයි දැන් ක‍්‍රීඩාවලට ළමයි පාවිච්චි කරන්නේ කියන හැඟීම තමයි මට ඒ ගීතයෙන් දෙන්න ඕන උනේ. වෛවාරණ සෙල්ලං බඩු ගමට ඇවිල්ලා කියන්නේ ඒකනේ. අපි පොඩි කාලේ ළමයි එකට එකතුවෙලා ඔය ලේන්සු හංගන ක‍්‍රීඩාව කරලා තියෙනවා. හරි සුන්දර ක‍්‍රීඩාවක්. ඒ ආකෘතිය තුළ ඉඳගෙන තමයි දෙමව්පියන් දරුවන්ට දිය යුතු දේවල් මොනවද නොදිය යුතු දේවල් මොනවද කියන එක මතක් කරලා දෙන්න මං මේ විදිහට ගීතය ලිව්වේ.
 
 * පටිගත වුණත් ජනගත නොවුණු ඔබේ තවත් අපූරු ගීතයක් ”විලංගු මාලය” ගීතය?
 
 ඒක ඇත්තෙන්ම මට දකින්න ලැබුණ සිදුවීමක්. නාලිකාවලින් ප‍්‍රචාරය නොවුණට අපේ රටේ අපේ සමාජයේ වැඩ කරන පංතියේ තියෙන්නා වූ ගැටලූවක් ගැන තමයි මේ ගීතයෙන් කියන්නේ. මං දවසක් ඉස්කෝලේ යනකොට හිරගෙදර ළඟ මනුස්සයෙක් මරලා දාලා හිටියා. බස් එකේ යනකොට මට පේනවා කට්ටිය සෑහෙන්න වටවෙලා ඉන්නවා. මනුස්සයෙක් මරලා දාලා කියලා බස් එක ඇතුලේ මිනිස්සුත් එක එක කතා කිව්වා. තව ටිකක් එහාට යනකොට පෑලියගොඩ පොලිසියෙ ඉන්නවා විශාල ඇතෙක්. ලොක්කෙක් වාගේ එහාට යනවා මෙහාට යනවා. බලනකොට මේ ඇත් ගොව්වා මරලා. එදා කොළඹ නවම් පෙරහැරේ ගියපු ඇතා සහ ඇත් ගොව්වා. මේක තමයි මම දැකපු සිදුවීම මේ ගීතය ලියන්න. ඇතත් මිනිසුන්ගේ නම්බුව රකින්න ගෙනත් තියෙනවා. ඇතා බලන මිනිහත් අර ගෙදර වැඩකාරයෙක්. මේ දෙන්නම වැඩකාරයෝ. අපි දෙන්නා ඇයි මේ ගහ මරා ගන්නේ. අපි දෙන්නම එකම දුප්පත් පංතියේ. තනි නොතනියකට උඹ ළඟ හිටි මට ආඩම්බර ඇයි, මම උඹගේ හැමදේම සියලූම අඩු පාඩුකම් බලාගත්තේ මම, උඹට කන්න දුන්නා, උඹ නෑව්වා, උඹට ආදරේ කළා මේ හැමදේම කළා අන්තිමට මොකද උනේ. ඇයි මට මෙහෙම ආඩම්බර පෙන්නන්නේ. හැබැයි මතක තියාගන්න අපි මැරුනට කවදාවත් අපේ හාම්පුතුන් වැඩකරන අයට කිසිම අයිතිවාසිකමක් දෙන්නේ නැතුව කිසිම දෙයක් නැතුව එයාලගේ වැඩ කටයුතු කරගෙන යනවා දිගටම. ඕක තමයි මට මේ ගීතයෙන් කියන්න ඕන උනේ. එඞ්වඞ් ජයකොඩි ගීතය ගායනා කරන්නේ රෝහණ වීරසිංහ ගේ සංගීතයට.
 
 * ඔබේ ගීත ගැන විතරක් මදිනේ ඔබේ ගෙදර ගැනත් කියන්න ඕන නේද?
 
 දකුණු පළාතේ මාතර අපරැුක්ක කියන ගමේ මම ඉපදුනේ. දැන් ඉන්නේ නාවල. සෑහෙන කලක් වෙනවා නාවල පදිංචි වෙලා. මගේ අම්මා තාත්තා දැන් අපි අතර නැහැ. සහෝදර සහෝදරියන්ගෙන් ඉන්නෙත් මං විතරයි දැන්. මගේ බිරිඳ ලීලා කංකානම්ගේ කොළඹ නගර සභාවේ සේවය කළේ. ඇය දැන් විශ‍්‍රාමිකයි. මමත් විශ‍්‍රාමිකයි. දුව සඳරශ්මිකා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවය කරන්නේ. පොඩි කාලය ගැන කතා කරනකොට අපේ ගම කියන්නේ කලාගාරයක්. හැමදාම මොකක්හරි ගමේ තියෙනවා. එක්කෝ තොවිල් ගෙයක්. එහෙම නැත්නම් පන්සලක නාට්‍යයක්. පෙරහැර, ඒවායේ රබන් ගහන මිනිස්සු ඉන්නවා. රබන්කාරයෝ අපේ ගම්වලට එනවා. අපිත් ඕවා දිහා බලාගෙන ඉන්නවා. මට මතකයි මං පහ වසරේදී මං එක නාට්‍යයක රඟපෑවා සඳ කිඳුරු නාට්‍යයේ. ඒ වාගේ හැමදාම මොනවහරි එකක් ඒ ගමේ තියෙනවා. කවි සිංදු ගීත ඒවායින් පිරිලා තිබුණේ ගම. දැන් නං ඒවා වෙනස් වෙලා. දැන් ඒ මිනිස්සුත් නෑ. මං හිතන්නේ අපි ඒකෙන් තමයි ආභාසය ලබලා තියෙන්නේ. කොයිහැටි උනත් එදා එඞ්වඞ් ඉදිරිපත් උනේ නැත්නම් එඞ්වඞ් ආවේ නැත්නම් එඞ්වඞ් හම්බුනේ නැත්නම් මං ගීත රචකයෙක් වෙන්නෙ නං නෑ.
 
 
 යුගන්ති යශෝධරා
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles