Divaina - කොරෝනාව මැද දුක් වළඳන වැලිකතරේ මිනිස්සු

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

 

middle
 
 ඉමිටියාස් බාකීර් මාකාර්
 
අපේ රටේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම, අද ජීවිතයත් මරණයත් අතර අරගලයක් බවට පත්ව ඇත. එබැවින් අප සියලූදෙනාගේ පුරවැසි වගකීම වන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, වසංගතය ව්‍යාප්තවීම අවම කිරීමට සහාය වීමයි.
 
 මේ වසංගත රෝගය ලබාදෙන අභියෝග අපේ රටට පමණක් සීමා වී නැත. මේ මොහොතේ අපේ ඇසට පෙනෙන දුරෙන් නොසිටියත්, අපේ හදවත් තුළින් අමතක නොකළ යුතු පිරිසක් ගැන මතක සටහනක් තැබීම යුතුකමක් ලෙසින් සිතමි. ඒ කොවිඞ් - 19 වසංගතය හේතුවෙන් විදෙස් රටවල අතරමංව සිටින ශ‍්‍රී ලාංකික පුරවැසියන් ය.
 
 ලක්‍ෂ සංඛ්‍යාත පවුල් ජීවත් කරවීමටත්, අපේ ආර්ථිකයට පන පොවන්නටත් විදෙස්ගත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් ලබා දී ඇති දායකත්වය අපමණය. මිලියනයකට අධික ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් විදෙස් රටවල සේවය කරති. අපේ රටට විදේශ විනිමය උපයා දීමට බෙහෙවින් ම දායක වන්නේ මේ පිරිසයි. ගිය වසරේ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන හයකට (6) අධික විදේශ විනිමය මෙරටට එවීමට මොවුනට හැකිවිණ. අප රටේ දෙවනුවට වැඩියෙන්ම විදේශ විනිමය උපදවන ඇඟලූම් කර්මාන්තය ගිය වසරේ උපයා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 කට වඩා දෙගුණයක් විදේශ විනිමය ලංකාවට එවීමට විදෙස්ගත ශ‍්‍රමිකයන් කටයුතු කර තිබිණි.
 
 කොවිඞ් - 19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවල සේවය කරමින් සිටි ශ‍්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනකගේ ජීවන මාර්ගවලට දැන් අහිතකර බලපෑම් එල්ල වී තිබේ. මේ පිරිසගෙන් පනස්දහසකට අධික පිරිසක් නැවත තම මව් රටට ඒමට රජයේ සහාය ඉල්ලා ඇත. රැකියාවන් අහිමිව, ජීවත්වීමේ මඟක් නැතිව, බෙහෙත් සහ සෞඛ්‍ය පහසුකම් නැතිව, නිසි ලෙස කෑම බීම නැතිව, ඉතා අසරණභාවයට පත්ව සිටින මේ ශී‍්‍ර ලාංකිකයන්ගේ තත්ත්වය අපි දිනපතාම මාධ්‍ය සහ සමාජ ජාලා මගින් දකිමින් සිටින්නෙමු.
 
 අසරණ භාවයට පත්ව සිටින අපගේම සහෝදර සහෝදරියන් විදෙස් රටවල මහමඟ, පාලම් යට, පොදු උද්‍යානවල නවාතැන් ගෙන සිටින අයුරු අපි දකිමින් සිටින්නෙමු. විදේශයක රටක සේවය කරමින් සිටි තරුණයකු ජනාධිපති, අගමැති. සියලූ ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙත එවා තිබූ ලිපියක මෙසේ සඳහන් වී තිබිණි.
 
 ‘‘මම මගේ වත්මන් තත්ත්වය ගැන කියන්නට කැමතියි. මම දන්නේ නැහැ ඔබ මෙය කියවන විට මම මේ ලෝකේ ඉඳියිද කියලා. අවසානෙදි මට කන්න දෙයක් නැතිව, මා ගැන බලන්න කෙනෙක් නැතිව මම තනියම මැරිලා යයි ද කියලා මට හිතෙනවා. මම මගේ මාතෘ භූමියට නැවත එන්න දැන් මාස ගණනක ඉඳලා උත්සාහ කරනවා. මම ලංකාවේ තානාපති කාර්යාලයට ගියා. මම ඒ නිලධාරීන්ට දොස් කියන්නේ නැහැ. ඒ ගොල්ලො හරිම කරුණාවන්තයි. නමුත් ඒගොල්ලන්ට රජයේ අනුමැතිය නැහැ කියලා කියනවා.
 
 දවසින් දවස මගේ තත්ත්වය පහළට වැටෙනවා. මගේ ඇස් අඳුරුවීගෙන යන්නේ. මගේ අතපය දෙකම දැන් හරියට වැඩ කරන්නේ නැහැ. මට හුස්ම ගන්න අමාරුයි. මට හැෙඟන විදියට මට කන්න බොන්න නැතුව, බෙහෙත් නැතුව මං මැරිලා යාවි කියලා මට හිතෙනවා.’’
 
 ඒ ගොල්ලෝ ප‍්‍රමුඛතාවය දෙන්නේ පොහොසත් උදවියට. දේශපාලන පවුල්වල උදවියට. මම දුප්පත් කෙනෙක්. මට උදව් කරන්න වෙන කෙනෙක් නැහැ. මට මේ ලෝකේ ජීවත් වෙන්න අපහසුයි. මම මැරුණත්, මෙහෙ අසරණ වෙලා ඉන්න අනෙකුත් අය ගැන  බලාගන්න. මම මගේ පණටත් වඩා මගේ රටට ආදරෙයි.
 
 විදෙස් වලදී කොවිඞ් ආසාදිතයන් වීමෙන් ශ‍්‍රී ලාංකිකයන් හැටකට අධික පිරිසක් මියගොස් ඇති අතර අවාසනාවකට මෙන් සියදිවි හානි කර ගැනීම් ද වාර්තා වේ. තම පවුල්, ඥාති මිත‍්‍රාදීන්, සමීපතමයන් කිසිවෙකු නොමැතිව, මෙලෙස අසරණ වූ මොහොතක මොවුන් විඳින වේදනාව අප තේරුම් ගත යුතුව ඇත. මේ ඛේදවාචකයෙන් ඔබෙත් මගෙත් හෘදසාක්‍ෂිය අවදි විය යුතුව ඇත.
 
 මේ අභියෝගාත්මක තත්ත්වයට අප සියලූදෙනා රටක් වශයෙන් මුහුණදිය යුතුව තිබේ. අසරණභාවයට පත්ව සිටින විදෙස්ගත අපේ මෙම සහෝදර රටවැසියන් කෙරෙහි දයාවෙන්, කරුණාවෙන් සහ මනුෂ්‍යත්වයෙන් බැලිය යුතුව තිබේ. මේ පිරිස ඔබෙත් මගෙත් අසල්වාසීන් විය හැක. මිත‍්‍රයන් විය හැක. ඥාතීන් විය හැක. ශිෂ්ට සම්පන්න සමාජයක, සාමාජිකයන් ලෙසින්, මේ අපේම ජනතාවගේ වගකීම අප සතු බව ඔවුන් අසරණව සිටින මොහොතේ අප සිහිපත් කළ යුතුය.
 
 ගැටලූ තිබෙන බව අපි දනිමු. එක රැයකින් මොවුන් මව් රටට ගෙන්වාගත නොහැකි බව ද අපි දනිමු. එහෙත් මේ අය නැවත දිවයිනට ළඟාවන තුරු ඔවුන් අතරමන්ව සිටින ස්ථානවලදී ඔවුන් රැකබලා ගැනීමට කළ හැකි සියලූ දෑ කිරීම අප සැමගේ වගකීමකි.
 
 ශ‍්‍රී ලංකා රජය, අපේ තානාපති කාර්යාලවලට අනුබද්ධ කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් එකසිය පනස්දෙනකු නැවත දිවයිනට කැඳවා ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. මෙම නිලධාරීන් කණ්ඩායම අපගේ විදෙස්ගත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට සේවාවන් සැපයීම ඉටුකළ ඉතාමත් වැදගත් පිරිසකි. මොවුන්ගේ හදිසි නැවත කැඳවීමෙන්, අසරණ වී සිටින පිරිසට සහායවීමේ කටයුතු මෙවැනි මොහොතක බිඳ වැටෙන්නට ඉඩ නොදී ඒ අවශ්‍ය සේවාවන් නිසිලෙස ලබාදීමට රජයේ සැලකිල්ල අප‍්‍රමාදව යොමුවිය යුතුව ඇත.
 
 මේ අතර අසරණභාවයට පත් වූ විදෙස්ගත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගෙන් ඇතැම් ගුවන් සමාගම් අයුතු ලෙස සූරා කෑමක යෙදී සිටින බවට මාධ්‍ය හරහා තොරතුරු ඉදිරිපත්වීම අපි දකින්නෙමු. තෝරාගත් සමාගම් අතලොස්සකට පමණක් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් මව් රටට ගෙන්වීමට අවසර ලබා දී ඇති බවට මෙම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. මෙම සමාගම් අතලොස්ස ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමෙන්, ගුවන් ගමන් බලපත‍්‍ර, පීසීආර්. පරීක්‍ෂණ, නිරෝධායන පහසුකම් ඉතා අධික සහ අසාධාරණ මිලට අලෙවි කරමින් සිටින බවට ද චෝදනා එල්ල වී ඇත. සමාජජාලා ඔස්සේ පැමිණි එවන් එක් පණිවිඩයක කොටසක් උපුටා දක්වන්නෙමි.
 
 ‘‘මේක කියන්නේ තරහෙන් නොවෙයි. අපේ රටේම අය අපට මේ විදියට සලකන එක ගැන අපට ගොඩක් දුකයි. මේ ගොල්ලො අපෙන් ගොඩක් මුදල් අය කළා. අපි ඉල්ලන්නෙ අපට හරියට සලකන්න කියන එක විතරයි. අපිත් මනුස්සයෝ. අපි මේවට ගෙව්වේ ගොඩක් අමාරුවෙන්. රත්තරන්, කනකර උකස් කරලා. අපි ගොඩක් දුක් විඳලා තියෙනවා.’’
 
 ඒ වැලි කතරේ මහමඟ, පාලම් යට, පොදු උද්‍යානවල අතරමන්ව, අසරණව සිටින අපේම උදවියගේ දුක් අඳෙනාවන් කෙරෙහි වගකිවයුත්තන් මෙයට වඩා සංවේදී විය යුතුයි. මේ ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් මුහුණ දෙන්නේ අප සියලූ දෙනා මුහුණ දෙන සෞඛ්‍ය අවදානමට පමණක් ම නොවේ. ඔවුන්ට තම ඥාති හිතමිත‍්‍ර ආදී පවුල්වල අය ඇත්තේ නැත. සැලකිය යුතු පිරිසකට රැකියාවන් අහිමි වී ඇත. එදිනෙදා ආහාරවේල පිළිබඳ ගැටලූව පවතී. සෞඛ්‍ය පහසුකම් නැත. ඉන්න හිටින්නට තැන් නැත. ඇතැමුන් මානසික ආබාධයන්ට මුහුණ දී සිටිති.
 
 රටක් වශයෙන් අප මුහුණ දී ඇති මේ ඛේදවාචකය මධ්‍යයේ, විදෙස්ගත ශ‍්‍රමිකයන් අපේම පිරිසක් බව අප අමතක නොකළ යුතුය. අපේ හෘද සාක්‍ෂිය අවදි විය යුතුව ඇත. අදාළ ජාත්‍යන්තර ආයතනයන් සහ සහන සංවිධානයන් සියල්ල හා එක්ව මේ අයගේ ජීවිත රැකදීම වෙනුවෙන් කළ හැකි සියලූ දෑ කිරීමට වගකිවයුතු සියලූදෙනාගේ ප‍්‍රමුඛ අවධානය යොමුකර පියවර ගත යුතුව ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles