Divaina - ගුණරතන හාමුදුරුවන්ගේ බී‍්‍රෆ් කේස් එක උස්සයි...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


gunarathana26 1

*බොම්බෙ විහාරයේ වෙසක් උත්සවයට ප‍්‍රධාන ආරාධිතා අමුත්තා විදිහට පැමිණියේ එවකට ආණ්ඩුකාවරයා...

* දිල්ලි විහාරයට වඩින බව දැනුම් දුන්නෙ නෑ කියලා ලංකාවට වඩින්න ශ‍්‍රී ලංකා මහාබෝධි සමාගම ටිකට් දුන්නෙ නෑ...

‘ඇයි මනුස්සයො තනියෙන් එන්න එපැ. අර මිනිස්සු එක්ක ආවේ මොකද... දැන් ඉතිං කරන්න දෙයක් නෑ. ඇප්ලිකේෂන් එකක් දෙන්න විදිහක් නෑ...’ අපි ආවාට පස්සෙ පොතුවිල ගුණරතන හාමුදුරුවෝ, ජයසේනට එහෙම කියලා. එයා ඇවිත් ඒ කතාව මට කිව්වා. අන්තිමේ මම නිසා ජයසේනටත් විභාගයට පෙනී ඉන්න බැරි වුණා. පළමු සැරේ මෙටි‍්‍රකියුලේෂන් විභාගය පේල් වුණා. දෙවැනි වතාවට විභාගයට වාඩි වෙන්නවත් බැරි වුණා. නැවත සාංචි විහාරයට ගිහින් ලේකම් ධුරයේ වැඩ කරගෙන ඉන්නකොට, දේවප‍්‍රිය වලිසිංහ මහත්තයා සාංචියට පැමිණියා.

‘කොහොමද පොඩි හාමුදුරුවනේ... සාංචියේ ඉන්න එපා වෙලා වගේ දැනෙනවා නම් නිව් දිල්ලියේ විහාරයට වැඩම කරන්න පුළුවන්...’ වලිසිංහ මහත්තයාගේ යෝජනාවට මම එතරම් කැමැත්තක් දැක්වූවේ නෑ.

‘නිව් දිල්ලි විහාරයේ බංගලාදේශ ස්වාමීන් වහන්සේනමක් වැඩ සිටිනවා. උන්වහන්සේ ලංකාවේ ඉගෙනගෙන සිංහල හොඳට කතා කරන්න පුළුවන්. ඒ වගේම දිල්ලියට තව ස්වාමීන්වහන්සේලා හය, හත්නමක් වඩම්මන්න අපි තීරණය කළා. ඔබවහන්සේටත් නිව් දිල්ලියට වැඩම කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි...’ වලිසිංහ මහතාගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන්න බැරි වුණා. නිව් දිල්ලි විහාරයට වැඩම කරන්න මම තීරණය කළා.

නිව් දිල්ලි විහාරය හදලා පූජා කරලා තිබුණේ මාරිඅම්මා කෝවිල හදපු දුර්ලා නමින් හඳුන්වන මහා ධනවත් පුද්ගලයෙක්. මහා විශාල විහාරයක් නෙමෙයි. පුංචියට ලස්සනට හදලා තිබුණා. ඒ විහාරස්ථානයේ වැඩ සිටිනකොට කිට්ටුව තිබුණු දාස් ගුප්තා විද්‍යාලයට ඇතුළත් වෙලා ඉංග‍්‍රීසි පාඨමාලාවක් හැදැරීමටත් මට අවස්ථාව ලැබුණා. ඒ විද්‍යාලයෙත් නොමිලේ ඉගැන්නුවේ නෑ. මම විදුහල්පති මුණගැහිලා ඉංග‍්‍රීසි ඉගෙනගැනීමට දැඩි කැමැත්තක් තිබෙන බවත්, ඒත් මුදල් ගෙවීමට ක‍්‍රමයක් නැති බවත් පැහැදිලි කර දුන්නා. ඒ විදුහල්පතිවරයත් කරුණාවන්ත පුද්ගලයෙක්. මම කියන දේ තේරුම්ගෙන විද්‍යාලයට ඇතුළත් කර ගත්තා. ඒත් ඒ පාසලේ ඉගෙනගත්ත පන්ජාබ් ළමයි මම එනවට කැමති වුණේ නෑ. ඒත් මම ඔවුන්ගේ විරෝධය ඇඟට ගත්තෙ නෑ. පාසලේ පන්තිවලට සහභාගි වෙලා ඉගෙනීම් කටයුතු කරගෙන ගියා. ටික දවසක් යනකොට මාව පාසලට ඇතුළත් කරගත්තට විරෝධය දැක්වූ ළමයි, මට වඩාත්ම සමීප වුණා.

දාස් ගුප්තා විද්‍යාලයෙන් ඉංග‍්‍රීසි පාඨමාලාව හදාරමින්, දිල්ලි විහාරයේ වැඩසිටිනකොට, බුද්ධගයාවට වඩින්න කියලා මහා බෝධි සමාගමේ ලේකම් වලිසිංහ මහත්තයා මට දැනුම් දුන්නා. ඒත් බුද්ධගයාවේ පන්සලේ වැඩ සිටින්න මම කැමති වුණේ නෑ. ඊට පස්සෙ නැවත මාව බොම්බෙ විහාරයට වැඩම කෙරෙව්වා. බොම්බෙ විහාරස්ථානයේ් පාලි පන්තියක් පටන්ගෙන ඉගෙනගන්න කැමති අයට ධර්මය අවබෝධ කර දුන්නා. පුංචි පුස්තකාලයක් ආරම්භ කළා. ටික දවසක් යනකොට විශාල පිරිසක් පන්සලට එන්න පටන් ගත්තා. පන්සල දියුණු කිරීමටත් ඒ මිනිස්සු හැකි පමණින් උපකාර කළා. ඔවුන්ගේ උදව් උපකාර ඇතිව අති උත්කර්ෂවත් අයුරින් වෙසක් උත්සවයක් පවත්වන්න මට පුළුවන් වුණා. එම වෙසක් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා විදිහට පැමිණියේ එවකට බොම්බෙ ආණ්ඩුකාරවරයා. ඔහුට ආරාධනා කළේ මමයි.

ධර්ම ප‍්‍රචාරක මධ්‍යස්ථානයක් විදිහට විශාල ශාසනික සේවාවක් කරගෙන ගියද, බොම්බෙ විහාරස්ථානයේ අපිට සැතපෙන්න තිබුණේ එක කාමරයයි. ඒ කාමරයේ මාකඳුරේ ධම්මාලෝක නායක හාමුදුරුවොයි, මමයි, දසනායක කියලා ගිහි මනුස්සයකුත් හිටියා. එහෙම ඉන්නකොට දසනායකට වසූරිය හැදුණා. එක දවසට මුළු ශරීරය පුරාම සැරව ගෙඩි ආවා. සැරව ගෙඩි පුපුරලා හැරවා බේරෙනවා. ගිනි මැලයක් වගේ ඇඟ රත් වෙනවා. මමයි, ධම්මාලෝක හාමුදුරුවොයි හැමදාම උදේට, හවසට දසනායකව නාන කාමරයට එක්කරගෙන ගිහින් හොඳට වතුර දාලා, පුළුන් කෑලිවලින් තුවාල සුද්ද කරලා බෙහෙත් දානවා. ඒත් සනීප වුණේ නෑ. දවසින්, දවස සැරව ගෙඩි පිට දාලා උණ වැඩි වුණා. වසූරිය හැදිලා තුන්වෙනි දවස වෙනකොට වේදනාව ඉවසගන්න බැරිව දසනායක මරලතෝනී දීලා කෑගහන්න පටන් ගත්තා. අන්තිමේ අපි පෙරුම්කායන් ගෙනත් දසනායකගේ ඇෙඟ් තැවරුවා. ඒත් අඩු වුණේ නෑ. හතරවැනි දවසෙ මමයි, ධම්මාලෝක හාමුදුරුවොයි කතා වෙලා සුදු රෙදිවලින් දසනායකගේ මුළු ඇඟම වේලාගෙන ටැක්සියක් කතා කරගෙන බෝ වන රෝගීන් ඇතුළත් කරන රෝහලකට අරගෙන ගියා...

‘ඇයි මෙච්චර දවසක් පරක්කු කළේ. දැන් මෙයාට හොඳටම අසාධ්‍යයි... දසනායකව පරීක්‍ෂා කරපු වෛද්‍යවරු අපිට නොසෑහෙන්න බැන්නා.

‘මේ රෝගියාව මැරුණොත් ඔබවහන්සේලා වගකියන්න ඕනෙ’ කියලා අපි මත වගකීම පටවලා තමයි දසනායකව රෝහලට ඇතුළත් කර ගත්තෙ. දසනායකව යොමු කරපු වාට්ටුවේ ඇඳවල් නෑ. සේරම ලෙඞ්ඩු බිම වැතිරිලා හිටියේ. නිරෝගී පුද්ගලයන්ට ඒ වාට්ටුවට යන්න දෙන්නෙ නෑ. ඒත් දසනායකට සනීප වෙනකම් අපි ඒ රෝහලට ගිහින් ඈතින් ඉඳන් බලලා ආවා. ඒ රෝහලේදී දසනායකලාට තුන්වේලටම හරක් මස් කන්න දීලා හොඳට නවලා. වෙන ප‍්‍රතිකාර නෑ. මාසයක් විතර යනකොට සනීප වුණා.

වසූරිය බෝ වන රෝගයක්. අපිට හැදුණෙ නැත්තෙ වසූරිය හැදෙනවට එන්නත් විඳගෙන හිටිය නිසා. දසනායකත් එන්නත් විදගත්තා. ඒත් හැදුණා. ලංකාවේ මිනිස්සුන්ටත් වසූරිය හැදුණා. අපේ රටේ මිනිස්සු ඒ රෝගයට, පැපොල රෝගයට කියන්නෙ දෙයියන්ගේ ලෙඩ කියලා. එහෙම රෝගියෙක් ඉන්නකොට ගෙදර පැත්ත පළාතකට පිළී ජාතියක් ගේන්නෙ නෑ. ලෙඬේ හොඳ වෙනකම් කෑමට දෙන්නෙ එළවළුයි බතුයි. ඉන්දියාවේ එහෙම රෝගීන්ට දෙන්නෙ හරක් මස්. පැහැදිලි වෙනසක් තියෙනවා.

බොම්බෙ විහාරයට පැමිණ මාස කිහිපයක් යනකොට නැවත දිල්ලි විහාරස්ථානයට වැඩම කරන ලෙසට ඉන්දීය මහ බෝධි සමාගමේ ලේකම් වලිසිංහ මහත්තයාගෙන් ලිපියක් ලැබුණා. මම දිල්ලි විහාරයට වැඩම කළා. දිල්ලි විහාරයට පැමිණෙන මිනිසුන්ට ධර්මය අවබෝධ කර දීගෙන, බණ භාවනා කරගෙන වැඩසිටිනකොට, මම ඉන්දියාවට පැමිණ අවුරුදු දෙකත් සම්පූර්ණ වුණා. ශ‍්‍රී ලංකා මහ බෝධි සමාගම හරහා ඉන්දියාවට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන්ට අවුරුදු දෙකකට සැරයක් ලංකාවට යෑමට ගුවන් ටිකට්පතක් සහ ගමන් වියදම් ලබා දෙනවා. මට ඒ අවස්ථාව ලැබුණේ නෑ. ඒ බව දැනුම් දීලා මම ශ‍්‍රී ලංකා මහා බෝධි සමාගමට ලිපියක් යැව්වා. ඊට සති දෙකකට පසුව ශ‍්‍රී ලංකා මහා බෝධි සමාගමෙන් පිළිතුරු ලිපියක් එවලා තිබුණා.

‘ශ‍්‍රී ලංකා මහා බෝධි සමාගමට දැනුවත් කිරීමකින් තොරව ඔබවහන්සේ දිල්ලි විහාරයට වැඩම කර සිටි නිසා, වසර දෙක සම්පූර්ණ වී තිබුණ ද ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පතක් ලබානොදීමට අපි තීරණය කර සිටින්නෙමු...’ එම සිද්ධියෙන් පස්සෙ තමයි මම දැනගත්තෙ දිල්ලි විහාරය පාලනය කෙරෙන්නේ ඉන්දීය මහා බෝධි සමාගමෙන් බව. ශ‍්‍රී ලංකා මහා බෝධි සමාගමෙන් පාලනය කෙරෙන්නෙ සාංචි විහාරය පමණයි. ඒ සිද්ධිය වුණේ 1957 වර්ෂයේදී. ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුව අතහැර දිල්ලි විහාරයේ ධර්ම ප‍්‍රචාරණ කටයුතු කරගෙන ඉන්නකොට මාපලගම විපුලසාර නායක හාමුදුරුවෝ කාශ්මීරයට වඩින අතරේ දිල්ලි විහාරයට වැඩම කළා. එතකොට නිව් දිල්ලි විහාරයට ආනන්ද මීමනගේ කියලා උපාසක මහත්මයෙක් ආවා ගියා. එයා ලංකාවේ කෙනෙක්. ඒත් සිංහල කතා කරන්න අමාරුයි. ඉන්දියාවේ නේරුතුමන්ලා එක්ක ඉන්දීය නිදහස් සටනට වැඩ කරගෙන ඉන්දියාවේ පදිංචි වෙලා හිටියේ. විපුලසාර හාමුදුරුවන්ට, ආනන්ද මීමනගේ සමඟ යම් සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල්ව කතා බහ කරන්න අවශ්‍ය වුණා. එතකොට විපුලසාර හිමියන්ට ඉංග‍්‍රිසී කතා කරන්න අමාරුයි. ඒ සම්මුඛ සාකච්ඡාවේ භාෂා පරිවර්තකයා වුණේ මමයි. ඒ සාකච්ඡාවෙන් පස්සෙ උන්වහන්සේට මා ගැන හොඳ පැහැදීමක් ඇති වුණා.

‘නායක හාමුදුරුවනේ මට ලංකාවට යන්න උවමනාව තියෙනවා. නිවාඩුත් තියෙනවා. ඒත් ශ‍්‍රී ලංකා මහා බෝධි සමාගමෙන් ගුවන් ටිකට් පත් ලබා දෙන්නෙ නෑ. ටිකට් ගන්න මා ළඟ සල්ලිත් නෑ...’ කියලා වෙච්ච සම්පූර්ණ සිද්ධි උන්වහන්සේට පැහැදිලි කළා...

‘ඔන්න ඔය ටිකට් එක අතහැර දාන්න. ඔබවහන්සේට ලංකාවට යන්න මම ටිකට් එකක් දෙන්නම්...’ කියලා ෆස්ට් ක්ලාස් ටිකට් එකක් මට දුන්නා. මම ලංකාවට පැමිණෙන්න සූදානම් වෙලා දිල්ලියේ ඉඳලා දුම්රියෙන් මැඞ්‍්‍රාස්වලට ආවා. ඉන්දියාවේ වන්දනාවේ යන ශ‍්‍රී ලාංකික බැතිමතුන් මැඞ්‍්‍රාස්වල අනිවාර්යෙන්ම නතර වෙනවා. මැඞ්‍්‍රාස්වලදී ලංකාවේ වන්දනා නඩයක් මට මුණගැහුණා. ඒ නඩය අරගෙන ඇවිත් තිබුණේ ප‍්‍රක්‍ද්ක්‍දාසාර කියලා හාමුදුරුනමක්. උන්වහන්සේ මට කිව්වා ‘අපි දුම්රිය පෙට්ටියක් බුක් කරලා තියෙන්නෙ, ඔබවහන්සේට ටිකට්වලට ගෙවන්න ඕන නෑ කැමති නම් අපිත් එක්ක යමු...‘ කියලා. මමත් බොහෝම සතුටින් ආරාධනාව පිළිගෙන ඒ කණ්ඩායමට එකතු වෙලා උන්වහන්සේ බුක් කරලා තිබුණු දෙවැනි පන්තියේ දුම්රිය පෙට්ටියට නැග්ගා. මුළු පෙට්ටියේම සිංහල මිනිස්සු. ටික වේලාවක් යනකොට දෙමළ ගැහැනු ළමයෙක් අපි ඉඳගෙන හිටිය දුම්රිය පෙට්ටියට ආවා...

‘මේ දුම්රිය පෙට්ටිය අපි බුක් කරලා තියෙන්නෙ. අපිට විතරයි යන්න පුළුවන්. ඔය ළමයා වෙනත් පෙට්ටියකට යන්න’ ප‍්‍රක්‍ද්ක්‍දාසාර හාමුදුරුවෝ ඒ ළමයට එහෙම කිව්වා...

‘අනේ මට අපේ කණ්ඩායම අතහැරිලා ඉන්නෙ. ඊළඟ ස්ටේෂන් එකෙන් මම බහින්නම්. එතකම් මේ පෙට්ටියේ මට යන්න දෙන්න...’ ඒ ගෑනු ළමයා හඬා වැළපෙමින් එහෙම කිව්වා. හැමෝම අනුකම්පා කරලා අපේ පෙට්ටියේ යන්න අවසර දුන්නා. ඒ ළමයා කිව්වා වගේම ඊළඟ ස්ටේෂන් එකෙන් බැස්සා. ඒ වෙනකොට හොඳටම රැ වෙලා තිබුණේ. ඒ මහ රැ අර ගෑනු ළමයා බහිනකොට තව පිරිමි කෙනෙක් අපේ පෙට්ටියට ගොඩ වුණා. ඒ කෙනත් කිව්වා ‘ඊළඟ ස්ටේෂන් එකෙන් බහිනවා. මට යන්න දෙන්න’ කියලා. ඒත් තම, තමන්ගේ ගමන් මලූ ගැන විමසිල්ලෙන් ඉන්න කියලා අපේ කණ්ඩායමේ අයව මම දැනුවත් කළා...

මගේ ගමන් මල්ලෙ පාස්පෝට් එකයි, ටිකට් එකයි, සල්ලියි, හොඳ කැමරාවක් තිබුණා. ඒ බඩු බාහිරාදිය සහිත බී‍්‍රෆ්් කේස් එක මත කොට්ටයක් තියාගෙන ඔලූව තියාගෙන මම ඇළවිලා හිටියා. හිතාගෙන හිටියේ නිදාගන්න නෙමෙයි. ඒත් නින්ද ගියා. උදේ නැඟිටල බලනකොට මම ඔලූව තියාගෙන හිටිය කොට්ටය තියෙනවා. ඊට යට තිබුණු බී‍්‍රෆ් කේස් එක නෑ. අර දෙමළ මනුස්සයත් දුම්රිය පෙට්ටියෙ හිටියේ නෑ. මගේ බී‍්‍රෆ් කේස් එකත් අරගෙන මිනිහා බැහැලා ගිහින්. දැන් මට අඳිනකඬේ විතරයි. වෙන කිසිම දෙයක් නෑ. ලංකාවට යන්න විදිහක් නෑ...

මතු සම්බන්ධයි...

තරංග රත්නවීර

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles