Divaina - කාබනික එළවළුත් සමග බඩ පිරෙන්න වසවිස දැමූ ඇට වර්ග කනවා! වසවිස නොදමා ඇට ගබඩා කරන්න රජ කාලේ ක‍්‍රමයක්...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

atta21 3* වෙළඳපොළේ ඇට ගෝනියේ මදි නොකියන්න ගුල්ලන් වනසන වසවිස
*පැරැන්නන් බීජ ගබඩා කෙරුවේ පොලොව යට තැනූ සීල් කළ කුහර තුළ

atta21 1ගොවියාගේත් පාරිභෝගිකයාගේත් යහපත පිණිස රසායන ද්‍රව්‍ය නොයෙදූ ‘වායුරෝධී ගබඩා‘ යෝජනාවක්

පස පෙරළන්නට ආයුධත්, සිටුවන්නට පැළ, ඇට හෝ දඬු කැබලිත් තිබෙන්නේ නම් ඇෙඟ් සවිය ඇති ගොවියාට තවත් වුවමනා වන්නේ කාලගුණයේ අනුකම්පාව පමණි. මේ නිසා පැරණි ගොවිගෙදර කැත්ත උදැල්ල නගුල වැනි දේ තමා සතු මහත් සම්පත් සේ සලකනු ලැබීය. මෙවර අස්වැන්නෙන් කොටසක් මීළඟ කන්නයේ වගාකිරීමට ගබඩා කිරීමද එකල අනිවාර්යයෙන්ම සිදුවුණි.

ලොක්ඩවුන් වී ජනතාව ගෙදරට ගාල් වනවිට ගෙවතු වවන්නට ආණ්ඩුවෙන් ඇට බෙදන්නා වැනි වැඩසටහන් එකල තිබුණේ නැති නිසා, ඇට පැළවුණේ නැතැයි කියමින් නැගෙන ගෝරනාඩු තිබුණේත් නැත. කාලගුණික හෝ වනසතුන්ගේ බලපෑම හේතුවෙන් වූ වගා හානියක් පිරිමහන්නට නැවත සිටුවීම සඳහා හෝ හදිසි ඇට අවශ්‍යතාවක් වූවානම් භාවිතයට ගන්නට වුවත්, අමතර ඇට සංචිතයක් ගොවියා ළඟ තිබුණි. ඒවා කන්නයක් දෙකක් පරණ ඇට වුවත්, පසට ළංකර වතුර දැමූවිට හොඳින් පැළවුනි. අද මෙන් ශීත ගබඩා, ක්ෂුද්‍රජීවී වර්ධය නවතාලන කෘතිම රසායන ද්‍රව්‍ය ආදී ක‍්‍රමවේදයන් නොතිබුණු යුගයකදී ගොවියා තම බීජ මල්ල රැකගත්තේ පරිසරය හා ළඟින් බැඳුණු තම සාම්ප‍්‍රදායික දැනුම සමග උපතින් ලද සහජ බුද්ධිය අපූරුවට සංකලනය කරමින් බව පෙනේ. මේ සිරිත් විරිත් වනාහී කෘෂිකාර්මික ඉතිහාසයක් තිබූ අතීත රජ දවස සිට පරම්පරාගතව පැමිණෙන ගොවිතැනේ දායාදයන්ය. හලාවත පැත්තේ ගොවි මහතෙකුගෙන් අසා දැනගත් මේ සම්බන්ධ තොරතුරක් මා හට පැවසුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වූ කුමාරසිංහ මහතායි. හෙතෙම මෙම ලිපියේ සඳහන් පර්යේෂණ තොරතුර ජනනය කිරීමටද සම්මාදම් වූවෙකි.

”මේ කන්නයේ ලැබූ කවුපි, මුං ඇට වගේ අස්වැන්න කොටසක් ලබන කන්නයට බිත්තර බීජ හැටියට තියාගත්ත ඉතා සරල ක‍්‍රමයක් මේක. බෝතලයක් අරගෙන ඒකෙ කට ළඟටම බීජ පුරවලා වායු රෝධක වෙන තරමට සීල් කරලා මූඩිය වහනවා. ඊට පස්සේ ලනුවක ගැටගහලා බෝතලය ළිඳේ පතුලටම දානවා. මාස ගණනක් ඒක තියෙන්නේ වතුර යට. වගා කන්නය පටන් ගත්තහම බෝතලය ගොඩ අරගෙන බීජ එලියට අරගෙන පැළ කරනවලූ.”

විද්‍යාත්මකව වුවද මෙය විශ්ලේෂණය කිරීම අපහසු නැත. ළිං ජලයේ ගිල්වනවා යනු බීජ ගොන්නෙහි උෂ්ණත්වය පහළ දමා සිසිල් කිරීමකි. එය ජීව්‍යතාවය පවත්වා ගනිමින් ගබඩා කිරීමට උචිත පරිසරයක් වේ. සංවෘත භාජනය හරහා තවත් කාරනා කීපයක්ද සපිරෙන්නේය. ගොවිතැනට අවශ්‍ය බීජ රැුකගත්තා සේම තමාට අවශ්‍ය බීජ නිපදවා ගැනීමටද පැරණි ගොවියා අනුගමනය කෙරුවේ අතිශය විද්‍යාත්මක ක‍්‍රමවේදයකි. බෝගය වගාබිමෙහි පවතිද්දීම හෙතෙම භූමිය පුරා ඇවිදිමින් සරුවට වැඞී ඇති ශාක පිළිබඳව මතකයන් සිතෙහි තැන්පත් කරගනී. පළිබෝධ හානි මගහැරගෙන සරුවට වැඩෙනවා යනු ඒවා පරිසරය ජයගත් ගහකොළ බව හෙතෙම තේරුම්ගෙන තිබුණි. පරම්පරාවේ සිදුවූ ස්වභාවික ජාන වෙනසක් නිසා ලැබූ මේ ජයග‍්‍රහණය බි‍්‍රතාන්‍ය විද්‍යාඥ ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් විසින් ප‍්‍රකාශයට පත්කරන්නට යෙදුනු ස්වභාවික වරණය නමැති පරිනාමීය සිද්ධාන්තයයි. එංගලන්තයේ ලන්ඩන් නුවර එකම එක පාසලකට පමණක් ගිය වොලස් එහි ඉගෙනුම ලැබුවේද අවුරුදු හයක් පමණි. වයස 14 දී පාසල් ගමන අතහැර තම සහෝදරයා වූ ජෝන් සමග ජීවත්වූ ඔහුගේ ඉතිරි අනාවරණයක් සියල්ල ස්වයං අධ්‍යයනයන්ගේ ප‍්‍රතිඵලයන් විය. අපේ පැරණි ගොවියාද වොලස් පවුලේම කෙනෙක් වූවා වැනිය. වගාවේ තිබෙන හොඳ පැළ වලින් නිපදවෙන බීජ ඊළඟ කන්නය සඳහා තෝරා ගන්නට ඔහු ඉගෙන ගත්තේ විදුහල් අධ්‍යාපනයෙන් නම් නොවේ. සොබාදහම සමග ජීවත්වීමෙනි. හොඳ පැළයක් උපදින්නට නම් හොඳ පැළයක බීජයක් පැළකළ යුතු බව ඔහු පිළිගත් දහම විය.

ගොවිතැන සඳහාම පමණක් නොව කෑමට ගන්නා බීජ සඳහාද කල්තබාගැනීමේ අවශ්‍යතාව තිබේ. ආහාර බීජ ගබඩා කරද්දී ගුල්ලන් නොගැසූ බීජ මල්ලක් අවසානයේදී ඉතිරිවීම ප‍්‍රමාණවත් වුවත්, ගොවිතැනට වුවමනා බිත්තර බීජ වලට ගුල්ලන් නොගැසීම පමණක් නොව ඒවාහි පැළවීමේ ශක්තියද නොනැසී තිබීම අවශ්‍යතාවකි. බීජ අලෙවිකරුවන් බොහෝවිට ගොවීන්ගෙන් බැනුම් අසන්නේ ඔවුනට ලැබුණු බීජ තොගයේ ප‍්‍රරෝහණ ශක්තිය හීන වීම නිසා සිටුවන බීජ වැඩිහරියක් පැළ නොවන විටදීය. බීජ පැළ නොවන විටදී ගොවියා කීප ආකාරයකින් අසරණ වේ. පාඩුවේ පළමු කොටස වන්නේ බීජ වෙනුවෙන් වියදම් කළ මුදලෙන් කොටසක් අපතේ යෑමයි. පැළ නොවුන බීජවල අඩුව පුරවන්නට නැවතත් වෙළෙන්දා විසින් බීජ ලබාදුන්නත්, වගා කන්නය ඒ වනවිටත් පසුවී ඇති බැවින් නැවත සිටුවීමට කාලයක් නොමැතිවීම පාඩුවේ දෙවැනි කොටසයි. ඒ නිසා බාහිර පාර්ශ්වයක් වෙතට බරනොවී බීජ අවශ්‍යතාව තමා විසින්ම නිපදවා ගැනීම හැම පැත්තෙන්ම වාසිදායකය. ආරක්ෂිතය.

ඒ ගොවිතැනට අවශ්‍ය බීජ සම්බන්ධයෙනි. කෑමට ගන්නා බීජ කතාවේදී නම් බීජයේ ජීව්‍යතාවය වැදගත් නොවන අතර ගුල්ලන්, පණුවන් ආදී සතුන්ගෙන්ද, පුස් වර්ග වලින්ද තොර වීම පමණක් ප‍්‍රමාණවත්ය. මේ නිසා බොහොමයක් ආහාරයට ගන්නා ඇට වර්ග වෙළඳපොළට නිකුත් කිරීමේදී, ගුල්ලන් වැනි සතුන්ගෙන් ඒවාට හානිවීම වැළැක්වීම සඳහා එක්කෝ ධූමායනය නමැති ක‍්‍රියාවලිය හරහා එහි සිටිනා ජීවීන් වනසනු ලැබේ. නැතහොත් කුඩා සතුන්ට විෂ සහිත යම්කිසි රසායන ද්‍රව්‍යයක් බීජ වලට මිශ‍්‍ර කෙරේ. ධූමායනය කෙරුවත් භාවිත කරන විෂ සහිත සංයෝග යම් ප‍්‍රමාණයක් බීජ තුළට උරාගෙන තැන්පත් නොවන්නේ යැයි සහතිකයක් දීමට කිසිවෙකුට නුපුළුවන. අලූත් පිටම මේවා ආහාරයට ගැනීමෙන් කිසියම් වසවිස මාත‍්‍රාවක් කෑම මේසයටද සැපත්වීමේ හොඳ හැකියාවක් තිබේ. ධූමායනය නොකරන අවස්ථාවලදී, අහවල් දේ එකතුකර ඇතැයි යන සඳහනක් සිල්ලර කඩවල ගොඩගසා ඇති ඇට ගෝනිවල ලියා ඇත්තේද නැත.

atta21 2මේ විෂ රසායනයන්ගේ එකතුකරන මාත‍්‍රාව මිනිසාගේ දෛනික දරාගැනීමේ සීමාව පසුකරන නොයන නිසාත්, ජලයෙන් සෝදා එහි විශාල ප‍්‍රමාණයක් ඉවත්කළ හැකි නිසාත්, කාලය ගතවෙත්ම වසවිස ද්‍රව්‍යයන් වියෝජනය වී අක‍්‍රිය වී යන නිසාත් බැලූ බැල්මටම සිදුවෙන හානියක් නොමැති තරම්ය. ඒ නිසා කල්ගතවී පිළිකා හැදුනත්, අද දවසේ අප යහතින් ජීවත් වන්නෙමු. එසේ සිටිනා අතරතුර, හදිස්සියේ ඇතිවන වසංගතයක් පාලනය කිරීම වැනි තත්ත්වයකදී පළිබෝධනාශක ටැංකිය කරට ගන්නා ගොවියාට දෙහි කපන්නට වීරයන් සේ ඉදිරියට එන පිරිසක්ද සිටී. ඔවුහු කාබනික ගොවිතැන ගැන පොත් රචනා කරති. අතමිට සරු ඇත්තන්ට පමණක් මිලදී ගත හැකි කාබනික එළවළු වෙනුවෙන් සුපිරි වෙළෙඳසල්වල රාක්ක වෙන්කරති. මෙයට සංවේදී පිරිස් දෙගුණයක් මිල ගෙවා මහත් ආඩම්බරයකින් එම එළවළු හා පලතුරු මිලදී ගන්නේ, ගමේ කඬේ එළවළු බක්කියෙන් නොමේරූ බෝංචි කරල් තෝරන පිටිසරයා දෙසට අනුකම්පාවේ බැලූම් හෙළමින්ය. එහෙත් කුඩා සතුන් මැරෙන්නට ධූමායනය හෝ රසායන ද්‍රව්‍ය එකතුකිරීම හරහා සහල්, පරිප්පු, කඩල, මුංඇට ආදී තමාගේ බහුතර පාරිභෝජක සංඝටකවලටත්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි, උළුහාල්, අබ ආදී කුළුබඩු වර්ගයන්ටත් එකතුවෙන අකාබනික වසවිස ගැන, කාබනික එළවළු උසුලාගෙන ගෙදර යන මේ අරුමෝසම් නෝනාවරුන්ට මහත්වරුන්ට අමතකය. මෙය කොරෝනා රෝගියෙකුගේ මුහුණ සිඹ, රෝගය බෝවෙනවාට අත්දෙක සෝදාගන්නවා වැනි වැඩකි. මෙරටෙහි පර්යේෂණ වාර්තා ලෙසද තවමත් වැඩි වැඩියෙන් ඉදිරිපත්වන්නේ එළවළු පලතුරු ආදියේ අවශේෂ විස රසායනයන් පිළිබඳව ලියවුණු තොරතුරු වීම බලවත් අඩුපාඩුවක් බව පෙනේ. මේ තත්ත්වය සමාජයට තේරුම් යනතුරුවත්, ගොවිතැනට අවශ්‍ය බීජ ගබඩා කරන්නටත්, ආහාරයට වුවමනා බීජ කල්තබා ගන්නටත් වසවිස නොමැති පරිසර හිතකාමී ක‍්‍රමයක් බිහිවන්නේ නම් නියම කාබනික රිද්මයේ ආශ්වාදය සැමට සාධාරණ ලෙස විඳගැනීමට හැකි වෙනවා ඇත. බොහෝවිට රෝගය ඔඩු දුවන්නට කලින් කරුණු කාරණා අවබෝධ කරගන්නා දියුණු ජාතීන් යයි අප හඳුන්වන මිනිසුන් නම්, මේ සම්බන්ධයෙන්ද දැනටමත් පියවර රැසක් ගෙන තිබේ. ඔවුහු මේ පාඩම ඉගෙනගෙන ඇත්තේද අපගේම මුතුන්මිත්තන්ගෙන් වීම විශේෂත්වයකි. මෙවැනි ඉගෙනීමකට ඉන්දියාව යනු හොඳ තක්සලාවක් වේ. කර්නාටක ප‍්‍රාන්තයේ ගොවීන් අතරින් 60% කටත් වඩා තවමත් ගොවිතැනට වුවමනා බීජ ගබඩා කිරීමේදී පැරණි සාම්ප‍්‍රදායික ක‍්‍රමයක් අනුගමනය කරන්නේය. ඔවුන් රතු පස්, ජලය සමග අනා පාප්පයක් වැන්නක් සාදාගෙන, එයට බීජ දමා තවරා වායුගෝලයේ වියළා ගන්නේය. ගබඩා කරන්නේ ඉන් පසුවයි. මෙම පස් කවරය නිසා කෘමීන්ට බීජ විදින්නට හෝ ඒ තුළ බිත්තර දමන්නට බැරිය. පස් මගින් බීජ වල තෙතමනය ඇත්නම් තවදුරටත් එයද උරා ගන්නේය. ස්වසනය අඩුවී ප‍්‍රරෝහණ ශක්තියද ආරක්ෂා වන්නේය. මෙවැනි සාම්ප‍්‍රදායික ක‍්‍රම ඉන්දියාවේ නම් තවමත් සුලභව භාවිතා වේ.

වායු හුවමාරුව සිදුනොවන ආකාරයකට සීල් තබනලද භාජන තුළ වියළි අස්වැන්න අසුරා කල්තබා ගැනීමේ පියවරයන්හි ආරම්භය ඉතා ඈත අතීයක් කරා දිවයයි. ක‍්‍රිස්තු පූර්ව 10000 දී පමණ කුඩා එෙඬ්ර කණ්ඩායම් වශයෙන් මිනිසා ගතකල ජීවිතය බොහෝවිට පදනම්ව තිබුණේ එදාවේල සොයාගැනීමේ චාරිත‍්‍රයන් මතය. දිනපතාම කෑමසෙවීමට පිටව යන නිසා විවේකයක් තිබුණේද නැත. සතුන් හා මානවයා අතර එතරම් වෙනසක් නැති තරම්ය. එම යුගය හමාර කරමින්, කෘෂිකාර්මික දිවිපෙවෙතකට අනුගත වූ ජන සමූහයන් බවට ජීවිතය වෙනස්වීමත් සමගම තමා නිපදවන බවභෝගයන් කල්තබාගෙන භාවිතා කිරීමේ අවශ්‍යතාවද මිනිසාට ඇතිවුනි. ඇතැම් දෑ පසු දිනෙක ආහාරයට ගැනීමටය. තවත් කොටසක් ඊළඟ කන්නයේ සිටුවීමට අවශ්‍ය බීජ වශයෙන්ය. මේ වෙනසත් සමග මිනිසාට විවේකයක්ද ලැබුණු නිසා ලෝකුරු වැඩ, මැටි බඳුන් සෑදීම, කලාත්මක නිර්මාණ බිහිවීම වැනි දේද සිදුවිය. මුලදී වියළි බීජ අස්වැන්න කල්තබා ගැනීමට පොළොවේ හාරන ලද වළවල් භාවිත කර තිබේ. ඊජිප්තුවෙන් හමුවී ඇති අඩි දෙක තුනක් ගැඹුරු මෙම වළවල් පිදුරු හෝ වියන ලද උණ පතුරු ආස්තරනයක්ද දැරූ අතර බීජ වලට මතුපිටින් දැමූ වැලි ස්ථරයකින්ද ඒවා සීල් තබා තිබිණ. පසු කලෙක මේ සඳහා විවිධ හැඩයට නිපදවූ මැටි හෝ ලෝහ බඳුන් භූගත ගබඩා ලෙස යොදාගෙන ඇති අතර, කෙණ්ඩියක් හෝ කළගෙඩි හැඩ, බෝතල් හැඩ ආදී බඳුන් ඉන්දියාව, ස්වාසිලන්තය වැනි රටවලින් සොයාගෙන තිබේ. 14 වෙනි සියවසේදී ඔස්ටේ‍්‍රලියාවෙන් සොයාගත් භූගත ගබඩා තවත් නවීකරණය වී තිබුණි. ඒවා හතරැුස් නොගැඹුරු හා පටු ඒවා විය. පොළොවේ වැලලූ අගල් වැනිය. කෘමි සතුන් හා වෙනත් ක්ෂුද්‍රජීවීන්ගේ හානියකින් තොරව සැලකිය යුතු කාලයක් ගබඩාකර තබාගැනීමේ හැකියාව මේ හරහා පැරණි මිනිසුන්ට ලැබී ඇති බව පෙනේ. ‘වායුරෝධී ගබඩාකරණය‘ (Hermetic Storage) නමැති සංකල්පය බිහිවූයේ මෙලෙසිනි. කෙසේ වෙතත් පසුකාලීනව විවිධාකාර රසායන ද්‍රව්‍ය භාවිතය වඩාත් ලාභයට හා පහසුවට කරලියට පැමිණීමත් සමග පරිසර හිතකාමීව පමණක් නොව සෞඛ්‍යය තර්ජනයක් පවා නොමැතිව ක‍්‍රියාත්මකව තිබූ මෙවැනි ක‍්‍රමවේදයන් වෙතින් මිනිසා ක‍්‍රම ක‍්‍රමයෙන් ඈත්වුණි. එසේ වුවත් රසායන ද්‍රව්‍ය යොදා හෝ ධූමායනය කර හෝ වියළි ධාන්‍ය යනාදිය කල්තබා ගැනීමේ ක‍්‍රමවේදයන් වලට සමාජය වෙතින්ම යම් විරෝධයක් ගොඩනැගීමට වැඩි කලක් ගතවූයේ නැත. මෙවන් පසුබිමක් යටතේ නැවතත් වායුරෝධක ගබඩාකරණයකට මිනිසා පිවිසෙමින් සිටී. පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය මගින් වී ඇසිරීම සඳහා ගොවියාට ගැළපෙන ‘සුපිරි මල්ලක්‘ ද 
(Super bag) ද නිපදවා තිබේ. කාම්බෝජයේ ගොවියෙකු පවසා ඇත්තේ ඇමරිකානු ඩොලර් එකක් වියදම් කර ලබාගත් සුපිරි මලූ තුළ තම අස්වැන්න ගබඩා කර තැබීම නිසා බීජවල ප‍්‍රරෝහණ ශක්තිය ආරක්ෂාවීම හේතුවෙන් වැපිරීම සඳහා වෙනදා මෙන් බීජ ප‍්‍රමාණයක් වුවමනා නොවූ බවත්, ඉතිරිවූ වී කිලෝග‍්‍රෑම් 70 ක් විකුණා ඩොලර් 9 ක් උපයා ගත් බවත්ය. එහෙම බලන කල සුපිරි මල්ල වුවත් වරදක් නැත. එහෙත් මේවා කර වටක් අර්බුදයන්හි ගිලී, ණය උගුලකද සිරවී සිටිනා අපේ ගොවියාට මිල අධික යෙදවුම් වේ. එසේම ගොවිගෙදර කෙරෙන රළු පරිහරණය හමුවේ කලක් භාවිත කිරීමටද නොහැකිය. මේ නිසාම ඉපැරණි මූලධර්මය පදනම් කරගෙන, දේශීය තත්ත්වයන්ට ගැළපෙන අයුරින් එයට හඬ කවන්නට කළ පර්යේෂණයක තොරතුරු, කාබනික ආහාරයකට පෙම්බැඳි සමාජයක් වෙනුවෙන් අප මෙවර ඉදිරිපත් කරන්නෙමු. පර්යේෂණය පවත්වා ඇත්තේ පේරාදෙණිය සරසවිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකාබද්ධවය. සරසවියේ කෘෂිකර්ම පීඨයේ ආහාර තාක්ෂණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝහිත ප‍්‍රසාන්ත, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශයේ වැඩසටහන් සහකාර එච්. කේ. එම්. එස්. කුමාරසිංහ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ශාන්ත ඇමිටියගොඩ යන විද්වත් බලඇණියේ සාමූහික ප‍්‍රයත්නයකි මෙය.

atta21 4‘‘කිසිදු රසායනික ප‍්‍රතිකාරකයක් නොදැමූ ඇට ජාති, බොහොම ඉක්මනට ගුල්ලන් වැනි සතුන්ගේ හානියට ගොදුරුවීම අපිට අලූත් අත්දැකීමක් නෙවෙයිනේ. දැනටත් අපේ රටේ ඒ හානිය වළක්වන්නේ රසායනික ද්‍රව්‍ය දමලා. අපි නොහිතන මාර්ගයකින් වසවිස ශරීර ගතවීමක් තමයි අවසන් ප‍්‍රතිඵලය. ඉතින් ලෝකය පුරා අවධානය යොමුවෙලා තිබෙනවා පුරාණයේ තිබූ වායුරෝධ ගබඩාකරණයට. ඒ සඳහා විවිධ මිල අධික ඇසුරුම් පවා හදලා තියෙනවා. අපි මෙතැනදී භාවිත කෙරුවේ කට පුංචි ප්ලාස්ටික් බඳුන්. මේවාහි මිල ඉතාම අඩුයි. ගබඩා කරන ඇට වර්ගය කටින් හපනකොට ‘ටකස්‘ කියන සද්දෙට කැඩෙන මට්ටමට වේලන්න ඕනෑ. ඊට පස්සේ කට ළඟටම එනතුරු භාජනයට පුරවලා හොඳට වායුරෝධක වෙන්න මූඩිය වහන්න ඕනෑ. සීල් කරන ටේප් එකක් වටේට අලවන්න පුළුවන් නම් තවත් හොඳයි. සිසිල් ස්ථානයක ගබඩා කිරීම ප‍්‍රමාණවත්. අවුරුද්දක් වුණත් තියා ගන්න පුළුවන්. හැබැයි සැරෙන් සැරේ මූඩිය අරින්න බෑ. ඇරියට පස්සේ මාසයක් ඇතුළත භාවිත කර අවසන් කරන්නත් ඕනෑ.”

ආචාර්ය ප‍්‍රසාන්ත මා හමුවට පැමිණ පැවසුවේ මහා තාක්ෂණයක ඉතා සරල කතාවකි. ගොවිපොළේදීම වියළා සිසිල් කර අසුරන ඇට තොගයේ කුඩා කෘමි සතුන්, ඔවුන්ගේ බිත්තර, දිලීර බීජාණු ආදිය ඇති තරම් තිබේ. සීල් තැබූ බෝතලය ඇතුළේදී වුවත් මේ සියල්ලෝම රත්වෙන හැලියේ දිය කෙලින කකුළුවන් සේ ටික දවසක් ජීවත්වෙනු ඇත. බීජ මගින්ද, මෙම ජීවී ප‍්‍රජාව මගින්ද ස්වසනය කිරීම හේතුවෙන්, බඳුන තුළ ඔක්සිජන් ප‍්‍රතිශතය ක‍්‍රමයෙන් පහළ යන අතර කාබන්ඩයොක්සයිඞ් අන්තර්ගතය ක‍්‍රමයෙන් ඉහළ නගී. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ඇත්තේ 0.03% ක පමණ සුළු ප‍්‍රමාණයකි. ටික දිනක් ඇතුළත මෙම සාන්ද්‍රණය 3% ක පමණ ප‍්‍රමාණයක් දක්වා ඉහළ යයි. මෙය සිය ගුණයක පමණ වැඩිවීමකි. එය සියලූ ජීවීන්ගේ අවසානයි. ඔක්සිජන්ද හිඟ නිසා ඇතුළත ඇති බීජ ස්වසනය කරන්නේද ඉතා අඩුවෙන්ය. එබැවින් ඒවා සතු සංචිත ආහාර වැයවීමද ඉතා අඩුවෙන් සිදුවේ. මේ හේතුවෙන්ම ඒවාහි ජීව්‍යතාවයද ආරක්ෂා වේ. වගාකිරීමට අවශ්‍ය බීජ ගබඩා කරගෙන සිටින ගොවියාට වුවද මෙය ඉතා උචිත ක‍්‍රමයකි. ඉහත දැක්වූ කාම්බෝජ ගොවියාගේ බිත්තර වී ඉතිරිවූයේ වැඩි බීජ ප‍්‍රමාණයක් නොමැරී තිබුණු නිසාය. 80% ක පමණ පැළවීමේ ප‍්‍රතිශතයක් වසරක් ගෙවී යත්දී වුවත් බීජ තොගය සතුව පවතින බව ඉහත පර්යේෂණයේදී සනාථ වී තිබේ. අවම ඔක්සිජන් අගයක් පැවතීමේ තවත් වාසිද ඇත. බඩඉරිඟු, රටකජු වැනි බීජ තුළ ගබඩා තත්ත්වයන් තුළදී ‘ඇෆ්ලටොක්සින්‘ නමැති විෂ ද්‍රව්‍යයක් නිපදවන්නේය. එය සිදුවන්නේ ඇස්පර්ජිලස් නමැති දිලීරයක් මගිනි. මේ ගබඩා තාක්ෂණය තුළ දිලීර වර්ධනයටත් ඉඩ නැතිවීම නිසා ඇෆ්ලටොක්සින් නිපදවීමද අඩුය. කෝපි, කොකෝවා, බාස්මතී සහල් වැනි ආහාරවල ගුණාත්මක භාවයට සුවඳ පැවතීම ඉතා වැදගත්ය. ඔක්සිජන් ඌන මෙම බීජ ගබඩා තුළ ඇති බීජයන්හි ස්වසනය ඇතුළු පරිවෘත්තීය ක‍්‍රියා ඉතා අවමයෙන් සිදුවීම හේතුවෙන් ඒවාහි ඇති සුගන්ධ සංයෝග ආරක්ෂාවී, ආවේණික සුවඳත් දිගටම හමන්නේය.

‘‘මහා පරිමාන බීජ ගබඩා කිරීමක් සිදුකරන්නේ නම් විශාල ප්ලාස්ටික් ටැංකි මේ සඳහා යොදාගන්න පුළුවන්. ලීටර් 1000 ක ටැංකියකට මුං බීජ කිලෝග‍්‍රෑම් 600 ක් විතර දැමිය හැකියි.”

එසේ සාකච්ඡුාවට එකතු වූයේ කුමාරසිංහ මහතායි. අන් කවරදාකටත් වඩා සමාජය දැන් වසවිස සංයෝග ආහාරයට එකතුවෙන අකාරය ගැන සාකච්ඡුා කරනු ඇසේ. බොහෝ තැන්වලදී කියවෙන්නේ බෝගයට  ගොවිපොළේදී ඉසිනා පළිබෝධනාශක ගැනය. සහල් ඇතුළු ඇටවර්ග කල්තබා ගැනීමේදී ඒවාට එකතුකරන රසායන ද්‍රව්‍ය ගැන බහුතරයකට අමතක වී තිබේ. ගොවියාගේ ජීව්‍ය බීජ අවශ්‍යතාවත්, සමස්ත සමාජයට ඇති වසවිසෙන් තොර ආහාර වුවමනාවත් පිරිමසාලන මෙවන් පර්යේෂණ අනාවරණයන් සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප කරවිය යුතු වටපිටාවකට අප පිවිසෙමින් සිටින්නෙමු.

සනත් එම්. බණ්ඩාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles