Divaina - මට මගේ තාත්තා මහා ලෝහ ප‍්‍රතිමාවක්... කවි නන්දා සබයට එයි... ළමා පිටියේ හරි ජනපි‍්‍රයයි....

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

- විශාරද නන්දා මාලනී

 

thaththa555

 

බුදු තාත්තෙ බොන්න එපා
බුදු තාත්තෙ බොන්න එපා
එතෙරක දහදුක් විඳ,
අම්මා කාසි - සොයා දෙන්නේ
සුරාසැලේ ඒ සේසත දියකර -
ඔබ ගෙදරට එන්නේ
 
විශාරද නන්දා මාලනීයගේ පියා මිරිහාන ආරච්චිගේ වින්සන්ට් මහතා ‘‘කෝට්’’ මසන්නෙකි. එතුමා කවරදාවත් සුරාපානය කළ අයෙකු නොවේ. ඔහු කවරදාවත් සිගරට් බීඩි ආදිය බීවේ ද නැත. ඒත් නන්දා මාලනිය මේ ගීතය ගැයීමෙන් පසු ඒ අහිංසක තාත්තාට බොහෝ ප‍්‍රශ්න ඇති විය. ගීතය ඇසූ තාත්තාගේ යාළුවෝ ‘‘විනී අන්කල්, අපට බොරු දැම්මට හොඳට අඩි ගහනවනෙ. ඒකනේ, දුව අර ගීතය කියන්නේ’’ එසේ කියමින් ඔවුහු ඒ තාත්තාට කොළොප්පන් කළහ. වින්සන්ට් මහතා ඉන් කම්පා විය. ඇයි? ‘‘දුවේ එහෙම ගීතයක් කීවේ, හෙතෙම දුවගෙන් ඇසීය. එය පොදු ජන ගීයක් බව නොදත් ඒ තාත්තා වඩාත් සංවේදී මිනිසෙකු බව ඉන් ප‍්‍රකට වේ. විශාරද නන්දා මාලනිය ඒ තාත්තා ගැන කතා කරන්නට අද අපේ මණ්ඩපයට ගොඩවදී.
 
  * කරපිංචා කෑල්ලේ සිට
 
 ‘‘අපේ තාත්තා මට මහා ලෝහ පිළිමයක් වගේ . ගෙදර අවශ්‍ය කරපිංචා කෑල්ලෙ ඉඳන් සියලූම දේ සපයන්නේ අපේ තාත්තා. අම්මා ලියනගේ එමලි පෙරේරා. අලූත්ගම වැලිපැන්න ලෙව්වන්දූව ඇගේ ගම. තාත්තා කොටහේන කාසෙට්ටිවත්තේ. අපි හැදුණෙ වැඩුණෙ මේ කාසෙට්ටිවත්තේ පුංචි පැලක් වගේ ගෙයක.
 
 * ලැයිම් ගෙවල් 58 ක්
 
 මේ වත්තේ ලැයිම් ගෙවල් පනස් අටක් (58) තිබුණා. දර මඩුවට ගිහින් දර ගෙනාපු, කීර කොටුවට ගිහින් කීර ටික ගෙන ආපු, බාල්දියෙන් නාපු අහිංසක දරිද්‍රතාවයෙන් පෙළුණු දිවියක් අපට තිබුණා. අපේ පවුලෙ දරුවන් 9 යි. දැන් එක්කෙනෙක් අප අතර නෑ. ට්‍රොලි බස්වල, ට‍්‍රෑම් කාර්වල ගමන් කරන, තට්ටු බස්වල ගමන් කරන නාගරික පරිසරයක් වුණාට අපි ඒ සමාජයේ වෙනත් පවුල්වලටත් වඩා දුප්පත්ම පවුලක්. තාත්තාට බොහෝ අය කීවේ ‘‘කෝට්/ බාස් උන්නැහැ’’ කියලයි. ඒකට හේතුව ‘හයිඩ‍්‍රාමණී’ කොම්පැණිය වෙනුවෙන් කෝට් මැසීම කළේ මගේ තාත්තා නිසයි. අම්මාගේ ගමත් හරිම දුෂ්කරයි. ඒ වගේම සුන්දරයි.
 
 * මිගෙට්ටුවත්තේ හාමුදුරුවන්ගේ පාසල
 
 මට මතකයි මා පාසල් යැවූ පුංචි දවස. කොටහේන ගුණානන්ද විද්‍යාලයට තමයි මාව අකුරු කරන්න තාත්තයි අම්මයි යැවුවේ. පානදුරාවාදය මෙහෙයැවූ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැඩ සිටි බිමේ ඉස්කෝලය පිහිටි නිසා ඒ නම විදුහලට ලැබුණා. උන්වහන්සේ අනුස්මරණය කරන්න. මං පවුලේ දරුවන් අතර තුන්වැන්නා. මට උඩින් අයියයි අක්කයි හිටියා. මගේ මාපියන් කොච්චර දුප්පත්ද කියනවා නම් ඒ අයට අපේ හැකියාවන් තිබුණත් මතුකැර දෙන්න තරම් වියදමක් දරන්න බැරිවයි හිටියේ. ඒ නිසා ඔවුන් ඒ ගැන හිතුවෙත් නැති තරම්. මට මතකයි තාත්තා කෝට් මහලා ඉතිරිවෙන රෙදි කෑලිවලින් පුංචි කලිසම් ‘ෂර්ට්’ වගේ දේ මහනවා.
 
 * අනුන්ගේ මිම්ම අපේ කලිසම
 
 හැබැයි! මේවා මහන්නෙ ලැයිමේ වත්කම් ඇති පවුල්වල දරුවන්ගෙ ඇඳුම්වල ‘මිමි’ ගැන ඉව අල්ලලයි. ඊට පස්සේ හොඳ බොත්තම් කාස එහෙම දාලා ඇඳුම් හරිගස්සලා මට කියනවා දුවේ, මේකෙ හොඳ බොත්තම් අල්ලලා තියෙන්නේ. හොඳට කාස මහලා බකල් දාලා තියෙනවා. එහෙම කියලා අර අහවලාගේ ගෙදර ළමයට නම් ගැළපෙනවා කියලා. අම්මා තමයි මේ ඉව හරියටම අල්ලන්නෙ. ඊට පස්සේ මේ ඇඳුම් අරගෙන යන්නෙ මමයි.
 
 * ගේට්ටුව ඇරෙන්නෙවත් නෑ
 
 සමහර තැන්වල අපට ගේට්ටුව අරින්නෙ නෑ. ගෙට ගන්නෙත් නෑ. ගෙයි පිළිකන්නෙ ඉඳන් අර ඇඳුම් විකුණා ගන්නවා. මුදල් වුණත් ලැබෙන්නෙ තුන් හතර වතාවකට. අම්මා ඉතින් ගෙදර ඉඳන් ලූණු ඇඹුල් ඇතුව කියනවා. කඬේට ගියත් යමක් ගෙනෙන්න වුණත් බොහෝවිට යන්නෙ මමයි. ගෙදර පිළිවෙළ දන්නා නිසා පිරිමහලා ගෙනෙන්න පුළුවන් බව අම්මා හොඳට දන්නවා. කොච්චර නැතිබැරි වුණත් නරක වැඩ, පවු වැඩවලට දරුවන් යවන්න අම්මාත් තාත්තාත් කැමැති නෑ. අනුන්ගෙන් දෙයක් ඉල්ලන්නත් පුරුදු කරන්නෙ නෑ. ලැබෙන රුපියල් දහය ද ඒ දහයෙන් ජීවත්වෙන්න බලනවා.
 
 * ලූනු හොරකම
 
 මං දවසක් පුංචිකමට කඬේ මුදලාලිගෙන් ලූනු ගෙඩි දෙකක් හොරකම් කරගෙන ගෙදර ආවා. ගෙදර ලූනු ටිකක්වත් නැති නිසයි එදා වුණත් මා එම හොරකම කළේ, මුදලාලි දැක්කෙ නෑ. අම්මා ලූනු කොහෙන්ද කියලා ඇහුවහම මං ඇත්තම කීවා. අම්මට එතරම් කේන්ති ගිය දවසක් මට මතක නෑ. ඇය අපට කවරදාවත් නියපිටින් පහරක් ගහලා නෑ. ඒත් එදා අම්මට මහ කේන්තියක් ආවා ‘ගනිං ඔය ලූනු’ කීවා. මාත් ගත්තා. මගෙ අතින් අල්ලාගෙන පාර දිගේ බැණ බැණ මාව එක්ක ගියා කඬේට. මගේ කනත් මිරිකුවා.
 
 * තාත්තා දන්නවා නම් මං ඉවරයි
 
 ‘‘මුදලාලි, සමාවෙන්න. මේ කෙල්ල ලූනු ගෙඩි දෙකක් හොරකම් කරලා. බලන්න මේ දරුවො හැදෙන හැටි’’ එහෙම කියපු අම්මා ලූනු ගෙඩි මගේ අතින් උදුරලා ලූනු පෙට්ටියටම දැම්මා. යන එන මඟ මිනිස්සු බලා හිටියා. මුදලාලිටත් හිනා. කවුරුත් අම්මගෙ මේ කි‍්‍රයාව අගය කළා. එදා මෙදා මා කවරදාවත් අන්සතු දෙයක් හොරෙන් නම් ගන්නේ නෑ. එදා මගේ අම්මා එහෙම නොකළා නම් වැරදි පූර්වාදර්ශයක් ලැබෙන්නෙ. තාත්තාට නම් මේ ආරංචිය ගියේ නෑ. ගියා නම් මං ඉවරයි. අයුක්තියට, වැරැද්දට, හොරකමට තාත්තාත් විරුද්ධයි. අයියා වැරැදි කළා නම් තාත්තා ‘බෙල්ට්’ එක ගලවලයි ගහන්නෙ. මේ වැරද්ද කීවා නම් මටත් පටි පහර. අම්මා කල්පනා කරන්න ඇති වරදට දඬුවම් දුන්නා. තාත්තාට කියන්න අවශ්‍ය නෑ කියලා.
 
 මගේ කලා ජීවිතය පුබුදු කරන්නෙ පාසල, සිල්වෙස්ටර් මාස්ටර් අමතක කරන්න බෑ. එතුමා ප‍්‍රසිද්ධ වේදිකා නාට්‍ය ශිල්පි වික්ටර් වික‍්‍රමගේ මහතාගේ තාත්තා. මගේ මුල්ම කලා හැකියාව කවි ගායනාව. ඊළඟට මං පාසලේ රංගන ශිල්පිනිය. මුලින්ම පාසලේ හදපු ‘වෙස්සන්තර’ නාට්‍යයේ කි‍්‍රෂ්ණජිනා චරිතය රඟපෑවේ මමයි. ඊළඟට විදුර ජාතකයෙ විදුර පණ්ඩිතයාගෙ දුව ලෙස රඟපෑවා. මේවා බලන්නට මගේ රත්තරං තාත්තාට අම්මාට වුවමනාව තිබුණත් ඒ ඒ තැන්වලට එන්නට තරම් ඒ අයට හොඳ ඇඳුම් ඒ වගේම පළඳින දේවල් තිබුණේ නෑ. එවැනි දේවල් ලොකුය කියා ඒ අය සැලකුවේ නෑ. දරුවාට ලැජ්ජවෙයි කියලා බයට. ඉදිරියට ඇවිත් වාඩිවෙන්නෙත් නෑ.
 
 * කවි නන්දා සබයට එයි
 
 මට ඉස්කෝලෙ කිව්වෙ කවි නන්දා කියලා. ලෝවැඩ සඟරාවේ කවි වැඩ දාලා ඉස්කෝලේ රැස්වීමේදී කියනවා. තාත්තා අපි උදේ පාසල් යන විට සත 12 ක් දෙනවා. ඒ කාලේ පාන් කාලක් සත 7 යි. මසල වඬේ එකක් සත 5 යි. ඒකට තමයි අර විදියට සල්ලි දෙන්නේ. අප එදා කොළඹ කොටුවට ආවත් එන්නෙ පයින්. කෙටි පාරවල් අප දන්නවා. ශාන්ත ලූසියා දෙව් මැදුරේ ගීතිකා හඬ අහගෙන මං පාසල් එන්නෙ. තාත්තා අපි 9 දෙනාගේ වැඩ පිරිමහලා දෙන්නෙ සතියේ වැටුප අරගෙන. ඒ නිසා අපත් පිරිමහනවා.
 
 * කට්ටයා එනවා
 
 ‘‘තාත්තා අමාරුවෙන් අරන් දීපු ‘කට්ටා’ සෙරෙප්පු දෙක කාලයක් පාවිච්චි කළ හැකියි. ඒ නිසා මං කවි කියන්ඩ වේදිකාවට නැග්ගත් මේ කට්ටා සෙරෙප්පු වරදින්නේ නෑ. මේ කවි පුහුණු වන හෝ වෙනත් ඕනෑම තැනකට පන්ති සගයෝ රැස්වන තැනට මා එනවිට දුර තියාම කට්ටා සෙරෙප්පු ශබ්දය ඇහෙනවා. අපට සපත්තු ගන්න තරම් සල්ලි නෑ. සමහර යාළුවො මා එනවිට ඈත තියාම කියනවා මට ඇහෙනවා අන්න! කට්ටයා එනවා කියලා.
 
 අපේ වත්ත අපට පාරාදීසයක්. මේකෙ කතෝලික, බර්ගර්, දෙමළ , සිංහල පවුල් හැමෝම සමගියෙන් හිටියා. කරත්තවලින් රසකෑම ගෙනියන වෙළෙන්දෝ, නයිස්කාරයො, සරුවත් කාරයො, බැලූන් කාරයො, විශේෂයෙන් හදන සියනෑ රොටි කරත්ත මෙහි නිතර එනවා. තාත්තගෙ කෝට් සාක්කුවෙ සල්ලි තිබ්බොත් ඉතින් අපට ඒ කෑම වරදින්නේ නෑ.
 
 * පෙනුණත් බලන්නෙ නෑ
 
 සල්ලි නැත්නම් අපි තාත්තගේ මුහුණ දිහා බලනකොට, තාත්තා කියනවා. අනේ පුතේ, අද මා අත සල්ලි නෑ. මුකුත් ඉල්ලන්න එපා කියලා. අපිත් එහෙම තමයි කිසිම දෙයක් එදාට ඉල්ලන්නේ නෑ. අපට තිබුණෙ ලැටිස් ගෙයක්. ඒ අය යනකොට අපට පෙනුණත් අප ඒ දිහා බලන්නේ නෑ.
 
 හැන්දෑවට තාත්තාගේ නියමයක් තිබුණා බුදු පහන තියලා ගාථා කියලා වඳින්ඩ. ඊට පස්සෙයි කෑම රාති‍්‍රයට ලැබෙන්නේ. එක දවසක් අපි බඩගිනි නිසා ගාථා ටික ඉක්මනට කියාගෙන යනවා. මේක බලා හිටපු තාත්තා දවසක් නියම කළා අලූතින් සම්පූර්ණයෙන් ගාථා කියලා වඳින්ඩ කියලා. ඒ නිසා ඊට පස්සේ කවුරුවත් වේගයෙන් ගාථා කියන්න ගියේ නෑ. කුණුහරුප කියනවාට රණ්ඩු කරනවාට තාත්තා සැරයි. අම්මා ඊටත් සැරයි. අයියා දවසක් කුණුහරුප කියලා අම්මට අහුවෙලා කටේ මිරිස් ගෑවා මතකයි. අපේ පවුලෙ එක මල්ලියෙක් ඉපදුණේ දෙසැම්බර් 24. නත්තල් දවසනේ එදාට එයාට වත්තෙ මිනිසුන්ගෙන් හරියට බරට තෑගි.
 
 * දිවේ ගෙඩි ආවා
 
 කුඩා කාලයේ මට හැදිලා තියෙනවා. ‘ඩිස්තීරියා’ කියලා ලෙඩක්. දිවේ ගෙඩි එනවා. කවි කියන්න බැරිවෙයි කියලා තාත්තා කම්පාවෙලා මාවත් අරන් බාරයකට ‘සිරිපාදෙ මහගිරිදඹේ පවා ඔසවාගෙන ගිහින් තියෙනවා. කොහොම හරි ඒ ලෙඬේ හොඳ වෙලා තියෙනවා. ඊට පසු මගේ මුළු ඇෙඟ්ම දදයක් ආවා. තාත්තා ඒකටත් මහ දුකක් වින්දා. කෙසෙල් කොළ කපලා වෙද මහත්තයා දෙන තෙල් ගාලා ඒ මත මාව තියන්න ඕනෑ. තාත්තා තමයි මේවා කළේ.
 
 ආමර්වීදියේ හිටපු ගෙඩි වෙද මහත්මයා මාව සුවපත් කළේ. තාත්තා මට සින්දු අහන්නම රෙඩිෆියුසන් නම් රේඩියෝවක් පවා ගෙනැත් දුන්නා. එතුමා ග‍්‍රැමෆෝනයක් පාවිච්චි කළේ නැති වුණාට ලක්‍ෂ්මී බායි ගායිකාවට හරිම කැමැතියි. ‘අපේ ගෙදර ‘ලයිට්’ නෑ. එක පෙළකට දරුවන් වාඩි වුණාම ගෙයි තවත් ඉඩ නෑ.
 
 * මිහිරි පිඟන් සද්දෙ
 
 අම්මා නොවේ බත් බෙදන්නෙ ලොකු අක්කා. ඇයි? අම්මට බත් ටික බෙදන්ඩ දුන්නොත් බත් මුට්ටියෙ දංකුඩ ටිකවත් තියාගන්නෙ නැතිව දරුවන්ට බෙදනවා. ගෙදර අමාරුකම් නිසාම ලැබෙන ආහාර පත විතරක් ගන්න ඕනෑ. තව ඉල්ලන්න ඉඩක් නෑ. ඉතින් ! අක්කා පිඟන්වලට බත් බෙදනකොට ඒ පිඟන් ගැටෙන සද්දෙ අපේ හිතට නඟන්නෙ පුදුම මිහිරියාවක්. ඇයි! තව ටිකකින් බත් ටිකක් ලැබෙන බව දන්නවනෙ. අපෙ අම්මාටත් හොඳට කවි කීමේ හැකියාව තිබුණා. අම්මගෙ ගමේදී අත්තම් ක‍්‍රමේට ගොවිකම් කටයුතු කරන කොට කියපු කවි ගී අම්මා නිතර සිහිපත් කළා. මං පවුලෙ තුන්වැන්නා නිසා මට පස්සේ හිටි හැමදෙනාම ඉපදිලා නැළවෙන හඬ මට ඇහුණා. ඒ මියුරු ස්වරය අපේ ගේ පුරා රාති‍්‍රයට ලැඟුම් ගත්තා. මටත් මුලින්ම කවි කීමේ අගය වැටහුණේ අම්මාගෙන්.
 
 * ළමා පිටියේ ජනපි‍්‍රයයි
 
 අපේ ඉස්කෝලේ එන්. මාග‍්‍රට් පෙරේරා මිස් මතක් කරන්න ඕනෑ. සමස්ත ලංකා කවි ගායනා තරගවලින් පළමුවැනි ස්ථානය මට ලබාදීලා ඉස්කෝලෙටත් ගෞරවයක් දෙන්න හැකි වුණේ ඒ නිසයි. කරුණාරත්න අබේසේකරයන්ගේ ‘ළමා පිටියෙ’ ගී කියන්න මට අවස්ථාව ලැබුණේ ඞී. ඞී. ඩැනී මාස්ටර් මට අවස්ථාව ලබා දුන් නිසයි. මා එහිදී කී ‘බුදුසාදු’ ගීය අතිශය ජනපි‍්‍රය වුණා. මේ විදියට ගමනක් යනකොට අමරදේව සර් මගේ හැකියාව හඳුනා ගත්තා. එතුමා මා ‘මධුවන්ති’ ‘කෝරස’ කියන්න ගත්තා. ඒ විතරක් නොවේ එතුමා සංගීත අධ්‍යක්‍ෂණය කළ ‘රන්මුතුදූව’ චිත‍්‍රපටයේ ‘ගලන ගඟකි ජීවිතේ’ මානවසිංහයන් ලියූ ගීතය නාරද දිසාසේකර සමඟ ගයන්නත් එතුමා මා තෝරා ගත්තා.
 
 අමරදේව මාස්ටර් මුලින්ම අපේ පුංචි ගෙදරට ආවේ මා රන්මුතු දූව චිත‍්‍ර‍්‍රපටයට ගී ගයන්නට එක්ක එන්නයි. එතුමා එහි පෙර පුහුණුවට මාව එක්ක යන්න කලින් අපේ ගෙදරට ඇවිත් තාත්තාගෙන් අවසර පැතුවා. ‘‘මහත්තයො, ඔයාගේ දුව හොඳට සින්දු කියනවා. මෙයාව පුහුණුවකට එක්ක යන්න අවසර දෙනවද?’’ අමරදේව සර් තාත්තාගෙන් එහෙම ඇහුවම එයා පුදුමයෙන් වගේ බලා ඉඳලා කැමැත්ත පළ කළා.
 
 රාජගිරිය බෝගහ ළඟින් බැහැලා මාස්ටර් එක්ක අපි මුලින්ම ගියේ ශේෂා පලිහක්කාර මහත්මයාගේ ගෙදරට.
 
 * උත්තමයා හා මහත්මයා
 
 මං කිසිම කෙනෙක් හඳුනන්නේ නෑ. සුද්දෙක් හිටියා. පස්සේ හඳුනාගන්නකොට ඒ මයික් විල්සන් මහත්මයා තිස්ස ලියනසූරිය මහත්මයත් හිටියා. තව කොලූගැටයෙක් හිටියා. පස්සේ තමයි දැනගත්තේ ඩොනල්ඞ් කරුණාරත්න. එම කට්ටිය අතරෙ අර දුගී පැලෙන් ආපු මං ඒ ගීතයට සූදානම් වුණා. විජය ස්ටූඩියෝ එකේ ‘ගලන ගඟකි ජීවිතේ’’ පටිගත කළේ. ගීතය පටිගත කරලා මාව වාහනයකින් ගෙදරට එව්වා. තාත්තා ඒ වෙලාවේ හිටියෙ ඇඳුමක් මහමින්. එයා මගේ දිහා බැලූවට ඇහුවෙ නෑ කිසිම දෙයක්. තාත්තා කථා නොකරන එක ගැන මා කුහුලින් විමසුවා තාත්තා කියනවා. ‘‘අනේ, දුවේ මං හිතුවේ අර උත්තමයා මට කතා කළ හැටි. මගේ දිහා බලලා ඒ අමරදේව කියන ඒ උත්තමයා මට මහත්මයා කීවනේ. මගේ තාත්තට කවුරුවත් මහත්මයා කියලා කතා කරන්නෙ නෑ.
 
 * එයාර්ෂිප් තරගය
 
 අද වගේම, එදත් ජනපි‍්‍රය ගුවන් විදුලි වැඩසටහන් තිබුණා. මේ ‘ස්ටාර්’ ලා තෝරන. ඒකෙ නම ‘එයාර්ෂිප්’ ගුවන් නැව සිංහල තේරුම නිවේදකයා වශයෙන් වැඩ කළේ ප්‍රොස්පර් ප‍්‍රනාන්දු ආරියසිරි මිල්ලවිතානච්චි වැඩසටහන් නිෂ්පාදක වශයෙන් කටයුතු කළා මතකයි. ඒ තරගයේ ජයග‍්‍රාහිකාව ලෙස මට ගෞරවය ලැබෙන කොට තාත්තයි අම්මයි කීවා ‘‘දුවේ උඹේ හඬ අද මුළු මහත් ලංකාවටම ඇහෙනවා. අපට හරිම සතුටුයි කියලා. ‘ගලන ගඟකි’ කියන්න ඉස්සෙල්ලා මා පටිගත කළේ ‘බුද්ධ දිවාකරයාණෝ’ ගීතයයි.
 
 * බොම්බායට ටිකට්
 
 මේ තරගයේ දෙවැන්නා වුණේ ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක. වික්ටර් පවා මේක කියා තිබෙනවා. මට එතකොට යන්තම් අවුරුදු 19 යි. මේකෙ ජයග‍්‍රාහකයාට බොම්බායට ගිහින් එන්න ටිකට් එකක් නොමිලයේ ලැබෙනවා. මට මොන බොම්බායද? මට අපේ පුංචි පැලට ‘ලයිට්’ ගන්න එක සිහිනයක්. තාත්තා පිඹ පිඹ රත් කරන පොල්කටු ස්ති‍්‍රක්කය වෙනුවට විදුලි ස්ති‍්‍රක්කයක් ගන්න එක සිහිනයක්. මට හිතුණා මේවා කරගන්ට පුළුවන් නේද? සල්ලි ගත්තා නම් කියලා. මං එදා ඒ ගුවන් ටිකට්පත් නිකුත් කරන කාර්යාලයේ මහත්වරුන්ගෙන් ඉල්ලූවා. අපට පුළුවන් නම් සල්ලි ලබා දෙන්න කියලා. මං මේ අදහස ඒ මහත්වරුනට ඉදිරිපත් කළාම ඒ අය කීවා පැය දෙකක් ඉන්න පුළුවන් නම් එම ගුවන් ටිකට් පත වෙනුවට මුදල් දෙන්නම් කියලා. තාත්තා එක දිගට ම කෝට් මහන කොට අම්මා ගිහින් බොන්නට තේ වතුර එක ළඟින් තියෙනවා. ඒත් තාත්තා ඒක ඇල්වතුර වෙන තෙක් එක දිගටම වැඩ. මට ඒ ගැනත් විශාල දුකක් තිබුණා. සල්ලි ඉල්ලූවේ උණුවතුර බෝතලයක් ගන්නත් එක්කයි.
 
 * සරුවත් බීවේ අමුතු ක‍්‍රමයකට
 
 මේ ආයතනය තිබුණේ රජ ගෙදර ළඟ පිහිටි ඔරලෝසු කණුව ළඟමයි. උදේට හරියට කාලා බීලා නැති නිසා අපට බඩගිනියි. තාත්තයි මායි කතා වුණා දැන් මොකද කරන්නේ තවත් පැය දෙකක් ඉන්ඩ වෙනවා නේද කියලා. තාත්තා කීවා හයිඩ‍්‍රාමනී කොම්පැණිය ළඟනේ. එහෙ ගිහින් මහත්වරුන්ගෙන් යමක් ඉල්ලාගෙන සරුවත් එක්ක බීලා එමු කියලා. ඒ අනුව අප එහෙම ගිහින් මුදලක් ඉල්ලා ගෙන සරුවත් එකක් බීලා වෙලාවට ආවා. මට ලැබුණු මුදල මතක නෑ. කොහොම හරි අපේ දුප්පත් ගෙදරට ලයිට් අරගෙන, තාත්තට ස්ති‍්‍රක්කයක් අරන් උණුවතුර බෝතලයකුත් ගන්ඩ ඒ මුදල සෑහුණා. අම්මගෙයි තාත්තගෙයි උණුසුම් කඳුළු කැට ඒ ඇස් කෙවෙණි තෙත් කළ බව මට පෙනුණා. එදා ඉතිරි වූ සුළු මුදලකින් අම්මට ගවුමකුත් ගෙන ගියා මතකයි.
 
 * ගෑස් පිරවූ බැලූමක්
 
 අලූත් අවුරුද්දට තාත්තා ගෑස් පුරවපු බැලූමක් හැම වතාවෙම ගුවනට පා කරනවා. ඒක ලස්සනට අලවන්නේ අම්මා. මට මතකයි ඒ අවුරුද්දේ ඒ බැලූම ඇලෙව්වෙ ඒ එළියෙන්. 1983 කලූ ජූලියේදී අපේ තාත්තා දෙමළ පවුල් ගණනාවක් මරණයෙන් බේරා ගත්තෙ අම්මයි තාත්තයි. 1989 මාත් රටින් පැන ගියා. මරණ තර්ජනවලට බයේ. මගේ දරුවෝ ටික රැක බලා ගත්තෙ ඒ වෙලාවේ මගේ ශක්තිමත් තාත්තා. ඒ වගේම කරුණාබර අම්මා.
 
 * ලොකුම දර ගොඩ උඩට පනිනවා
 
 කුඩා කාලයේ සිද්ධියක් මතක් වුණා. ගෙදරට උයන්ඩ දර අප ලබා ගන්නේ තොටලඟ ගුණසේකර ලී මෝලෙන්. ඒකේ කැපී ඉතිරි වන කෑලි හැන්දෑවේ 5-6 අතර විකුණනවා. මේකට බොහෝ අය පොරකනවා. මායි මල්ලියි එහි යන්නේ. කෑලි ගොඩවල් වශයෙන් ගොඩ ගහන්නෙ. මායි මල්ලියි අවසර ලැබුණු ගමන් දුවගෙන ගිහින් පනින්නේ ලොකු ගොඩ බදාගන්ඩ ගොඩක් ශත 10 යි. ඒ දර ටික හිස මත තබාගෙනයි මා එන්නේ. මල්ලිත් එහෙමයි. ඒ එනකොට අපට දහදිය දාලා, කොණ්ඩ අවුල්වෙලා. කොණ්ඩයේ ලී කුඩු වැදිලා. මේක දැක්කම තාත්තට දුකයි. තාත්තා රේසර් රෝද හයිකරලා ලෑලි තට්ටුව ගහලා බෝ රේසර් කරත්්තයක් හදලා දුන්නා. අප දෙන්නාට දර ගේන්නම. ඊට පස්සේ දර ගේනකොට අර දරගොඩඋඩ මල්ලිත් නැඟ ගන්නවා. මං තමයි තල්ලූ කරගෙන එන්නේ. මේ විදියට දුක් විඳලා නැඟී හිටපු මට ඒ වත්තේ අය අද බොහොම ආදරෙයි. අපේ ලැටිස් ගේ බාල මල්ලිට තාත්තා දුන්නෙ. එයා ඒ ගේ විකුණුවා. අපේ තාත්තා අවු. 78 ක් ජීවත් වුණා. 1986 දී නැති වුණේ.
 
 * ඇඟ කසන ලෙඩක්
 
 තාත්තාට අන්තිම දවස්වල ඇඟ කසන ලෙඩක් හැදුණා. මං පුළුවන් හැටියට සමුපකාර රෝහලේ පවා නවත්වලා ප‍්‍රතිකාර කළා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයාත් තාත්තාව බැලූවා. ඒ දවස්වල තාත්තගේ සියලූ වැඩ කළේ වත්තේ මිනිස්සු. කැඳ ටික පවා ගේනවා.
 
 තාත්තා නැතිවෙලා කාලයක් ගියාමයි අම්මා නැති වුණේ. ඒ වනවිට මට ආර්ථික ශක්තියක් තිබ්බා. තාත්තාට වඩා අම්මාට කටයුතු කරන්න අපට ලැබුණා. තාත්තාට අවශ්‍ය දේ මොනවාද? කියා අහගෙන ඒවා ඉටු කරන්න එදා අපට පුළුවන්කම අඩුයි.
 
 තාත්තා මළාට පස්සේ බොරැල්ල මැගසින් බන්ධනාගාරය පැත්තෙ වැඩිහිටි නිවාසයකට මා දාන මාන දෙන්නට ගත්තා. දවසක් මෙහෙම දානයක් දුන්නාට පස්සේ එක්තරා වැඩිහිටියෙක් අහලා තියෙනවා. මේ දන්දුන් ගායිකාව අපේ විනී බාසුන්නෑහෙගේ දරුවෙක්ද? එයාටත් ලස්සනට සිංදු කියන දරුවෙක් හිටියා කියලා. බලනකොට එතුමත් අපේ වත්තේ හිටි කෙනෙක්. තාත්තාව දන්නා කෙනෙක්.
 
 * කඩා නොහැලෙන ලෝහ ප‍්‍රතිමාව
 
 මං අවස්ථා ගණනාවක්ම එහි ගොස් තාත්තාව සිහිකරලා එතුමාටත් සැලකුවා. මං නැවත කෑ ගහලා කියනවා මගේ තාත්තා මට අමතක නොවන මහා ලෝහ ප‍්‍රතිමාවක්.
 
 * උපාලි සමරසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles