Divaina - පෙම්කළ වරදට මට වධ දෙන්නේ මගේ අත්දැකීමක් නෙමෙයි... මිල්ටන් පෙරේරා නොහිටින්න මං ගීත රචිකාවක් නොවෙන්න තිබුණා...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ගහක් හිටවලා මලක් දකින්න මං පුංචි කාලේ ඉඳලා හරි ආසයි
 

old1 
 
 
 කිවිඳියක සහ ලේඛිකාවක ලෙස ද ප‍්‍රවීණ ගුවන්විදුලි ශිල්පිනියක ලෙස ද දයා ද අල්විස් ගැන මේ රට හඳුනා ගෙන අඩ සියවසකට ආසන්න වෙමින් පවතී. පේ‍්‍රමකීර්ති ද අල්විස් සමග විවාහ වීමෙන් පසු ඔහුගේ සංකීර්ණ ජීවිතයෙහි ප‍්‍රමුඛ කොටස්කාරිය වූ ඇය මේ රටේ පේ‍්‍රම ගීත රචනා කලාවෙහි විශිෂ්ට සලකුණක් ඇති කළාය. ගීත රචනා කලාවට පිවිසි මෙරට පළමුවන කාන්තාවන් දෙතුන් දෙනාගෙන් කෙනකු වූ ඇය එම කලාවට පිවිසීමට අපේක්ෂාවෙන් පසු වූ සෙසු කාන්තාවන්ට අලූත් පාරක් පෙන්වූ පහනකි.
 
 ඇගේ ගීත මෙන්ම ජීවිතය ද ආදරය සහ කඳුළු අතර දෝලනය වූවකි. දයා ද අල්විස් මේ ලිපියෙන් කරන හෘද විදාරණය ඉතා කලාතුරකින් ගැහැනියක වෙතින් අසන්නට ලැබෙන කතාවකි.
 
 
 
 * ගුවන්විදුලියට පැමිණි මුල් යුගය මතකද?
 
 කාලයක් තිබුණා මගේ පළමු සැමියා සෝමපාල රණතුංග නැතිවෙලා මම මේ දැන් ඉන්නවටත් වඩා අන්ත දුකකින් හිටපු. ඒ කාලේ තමයි මට ගුවන්විදුලියේ රස්සාව ලැබුණේ. ගීතවලට මං පුංචි කාලේ ඉඳන්ම හරි ආසයි. ඒ දවස්වල හිතට දැනුන එකම සතුට මේ ගීත ඇසුරේ ජීවත් වෙන්න දවස ගෙවා ගන්න ලැබීම. එවක ගුවන්විදුලියේ මිනිස්සු අඳුනා ගන්න ලැබිච්ච එකත් ලොකු දෙයක්. මිල්ටන් පෙරේරා මහත්මයා ඒ දවස්වල නිතර ගැවසෙනවා ගුවන්විදුලියේ. මං හරි ආසයි ඔහුගේ හඬට. හරි දුක්මුසු හඬක් තිබුණා. විවේකය තියෙන වෙලාවට සමහර වෙලාවට මං ගිහිල්ලා ඔහු සරල ගී හදන හැටිත් බලාගෙන ඉන්නවා. ඔහොම ඉන්නකොට අපි බොහොම හිතවත් වුණා. ඒ හිතවත්කමට දවසක් ඔහු කිව්වා ගීතයක් ලියලා දෙන්නකෝ කියලා. මට ඒ තරං කිට්ටු වුණා. මං කිව්වා අනේ මට ලියන්න තේරෙන්නේ නෑ, අනික ගද්‍ය පුළුවන් පද්‍ය නං පොඞ්ඩක්වත් බෑ කියලා. තව දෙයක්, කවදාවත් මම හිතලා ගීත ලියලා නෑ. දැනටත් මට එහෙම ලියන්න බැහැ. ලියනවා නං බල කිරීමක් ඕන. හරියට බල කරන්න ඕන අනේ ලියලා දෙන්න කියලා. එහෙම නැත්නම් මට ලියන්න ශක්තියක් නෑ. ඉතිං ඔහු කීප සැරයක්ම බල කරලත් මං නොලියා ඉන්නකොට කිව්වා හැමදාම පවතින ආදරයක් ගැන ලියන්නකෝ කියලා. කව්රුත් නැති උනත් ඇති උනත් ආදරය ගැන ලියන්න පුළුවන්නේ. ආදරය ගැන ලියලා දෙන්න කියලා. ඒ දවස්වල වැඩියෙන් වෙළෙඳ අංශයේ ප‍්‍රචාරය වෙන්නේ ආදරය පිළිබඳ ගීත තමයි. ඉතිං මං ගෙදර ඇවිල්ලා එදා බොහොම උත්සහයක් අරගෙන හුඟක් කල් ගිහිල්ලනේ දැන් කියලා හිතලා මං ඔය කඳුළු අතරට සිනා රැුලි ගීතය ලිව්වා. මිල්ටන් පෙරේරා මහත්මයාට මේක දැකලා හරි සතුටුයි. ඔහු කිව්වා වෙන කාටවත් දෙන්නේ නෑ මමම මේකට තනු නිර්මාණය කරනවා කියලා ඔහුම දාපු තනුවකට ඔය ගීතය ගැයුවා. ඒ කාලේ ඒක හුඟක් ජනප‍්‍රිය වුණා. පළවෙනි ගීතය ලියවුණේ එහෙමයි.
 
 * ඉන්පස්සේ ලැබුණු ආරාධනා?
 
 දිගටම ආරාධනා ලැබුණා. අර ගීතය අහපු අය මට කිව්වා ඒ ගීතය ලස්සනයි අපටත් ගීතයක් ලියලා දෙන්නකෝ කියලා. එහෙම ඉල්ලීම් තිබුණා. හුඟක් මග හැර හැර ඉඳලා හොඳටම කල්පනාවක් ආපු වෙලාවට ලිව්වා. ඒ ඇරෙන්න එක පෙළට ලිව්වේ නැහැ ඉල්ලීම් ආවා උනත්. ඔහොම ඔහොම පොඞ්ඩ පොඞ්ඩ ලියන්න පුළුවන්කම ලැබුණා. මම හැමදාමත් කියනවා මට ගීත ලෝකෙට එන්න ඇත්තටම දොරටුව ඇරලා දුන්නේ මිල්ටන් පෙරේරා මහත්මයා තමයි. ඒක බලෙන් කරපු දෙයක්; මං අදත් සිහිපත් කරනවා ආදරෙන්. ඒ ගීතයේ මගේ ජීවිතෙත් පොඞ්ඩක් තියෙනවා. ඇත්තටම මට හොඳ කරපු හැමදෙනාම මගේ හිතේ ඉන්නවා. ඒගොල්ලන්ට තාමත් මං ආදරෙයි.
 
 * ඔබ ලියූ බොහෝ ගීත ජනාදරයට පත්වුණා?
 
 ඔබ මට කතා කළාම මං ? කල්පනා කළා මට විශේෂයෙන් කියන්න පුළුවන් ගීත මොනවද කියලා. නමුත් මොනාද ඉතිං මං ලියලා තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. ගීතයක් ඇතුලේ පොඩි දෙයක් තියෙන්නේ. ඒක තමයි ඔය ටිකක් විශාල කරලා මම ලියන්නේ. මම දන්නේ නෑ අනිත් අය කොහොමද කියලා. මට පුංචි සිතීමක් ඇති. ඒක විකාශනය කරලා ලියනවා. එහෙම ඒවා තමයි තියෙන්නේ. මගේ හිතේ තියෙන ගීත ටික ඔය කියන විදිහට මට කියන්න පුළුවන්. මොකද සමහර ඒවා තියෙනවා නිකං හිතිලා ලියන ඒවා. හිතනවා මෙහෙම උනොත් මෙහෙම නේද කියලා.
 
 * ඔබේ හැම ගීතයකම වගේ සොබාදහම ස්පර්ශ කර තිබෙනවා?
old3 
 මං හිතන්නේ මං හරියට සොබා දහමට කිට්ටුයි. ඒක තේරුණේ ඊයේ ? මං කල්පනා කරනකොට මොනවද මං ලියලා තියෙන්නේ කියලා. මං ලියූ හැම එකකම විශ්ව ධර්මය නැති තැනක් නෑ. මං හුඟක් පුංචි කාලේ ඉඳලම මිදුලට හරි ආසයි. ගහක් හිටවලා, එක ගහක් උනත් කමක් නෑ. ඒකෙ මලක් දකින්න මං හරි ආසයි. කුරුල්ලන්ට ආසයි. හැම ගීයක්ම බැලූවොත් ඒක ඇතුලේ තියෙනවා සොබාදහම හමුවෙනවා. අනිත් අයගේ ඒවායේ නැහැ කියලා කියනවා නෙමෙයි. නමුත් මම හරියට ලියලා තියෙන්නේ ඒවයි කියලා ඊයේ ? තමයි මට ගොඩක් කල්පනා උනේ. ගස් වැල් මල් අහස පොළොව ඒවා නිර්මලයි. හරි ඇත්තයි. ගොඩක් වෙලාවට මගේ ජීවිතේට කිට්ටුවෙලා ඉන්නේ මගේ තනි රකින්නේ මේ විශ්ව ධර්මය තමයි.
 
 * නිරංජලා සරෝජනී ගයන ”ලා සඳ එළියේ” ලියවුණේ?
 
 නෙරංජලාගෙයි අබේවර්ධනගෙයි විවාහයට කිට්ටුව නෙරංජලාට සරල ගී වැඩසටහනක් යෙදුනා. ඉතිං ඇය ඇවිත් මට කිව්වා අක්කා මට සරල ගී වැඩසටහනක් ඇවිල්ලා තියෙනවා මේ පාරත් ගීතයක් ඕන කියලා. ඕක ඉතිං මට කිව්වට පමා වුණා මගේ අතින්. මොකද ගීතයක් ඕන කිව්වට එහෙම දඩස් ගාලා ලියන්න මට බැහැ. පේ‍්‍රමකීර්ති නං එහෙම නෙමෙයි ඒ වෙලාවේම කොලේ ගන්නවා ලියලා දෙනවා. නමුත් මට එහෙම ලියන්න බැහැ. මම ඉතිං ඔහේ හිටියා. ඉන්නකොට දවස් කීපයකට පස්සේ එයාලා ඇවිල්ලා ඒගොල්ලන්ගේ විවාහ ආරාධනා පත‍්‍රය මට දුන්නා. දැන් මට මතක් වුණා මට සරල ගී ලියන්න තියෙනවා නේද කියලා. ඊට ඉස්සෙල්ලා කෙරෙන්නත් එපැයි. එයා කිව්වා ඒක කෙරෙන්නේ විවාහයට දවස් දෙක තුනකට ඉස්සෙල්ලා කියලා. ඉතිං හිතනකොට මට හිතුනා තව දවස් කීපයයිනේ තියෙන්නේ එයා ගේ විවාහයට, ඇයට ලියන්න පුළුවන්නේ විවාහ දිනය ගැන ගීතයක් කියලා. ඕක හිතට ඇවිත් තමයි ඔය ලා සඳ එළියේ ගීතය ලිව්වේ. විවාහ ජීවිතේ රාත‍්‍රිය ගැහැනියකගේ හිතට කොතරම් සම්බන්ධද කියලා හිතලා ලා සඳ එළියේ ගීතය ලිව්වා. මට ඉතිං හරි සතුටුයි මේක ලිව්වහම. ගීත ලියලා අනුමත කරගන්න ඕන පරීක්ෂණ මණ්ඩලයක් තියෙනවා. ඩෝල්ටන් අල්විස් මහත්තයා ඇතුළු කට්ටිය හිටියේ. ඩෝල්ටන් අල්විස් මහත්මයත් ඉතිං අපිත් එක්ක හරි සුන්දර මතකයක් තියෙන මනුස්සයෙක්. ඉතිං ගීතය අනුමත වුණා. හැබැයි දවසක් ඩෝල්ටන් අල්විස් මහත්මයා කිව්වා අම්මෝ දැන් ලියන ගීතවල හැටි නේද කියලා. මට හරි බය හිතුනා මේ ගීතය හරි නැද්ද ගීය හොඳ මදිද කියලා. ඊට පස්සේ ඔහු කීවා නෑ නෑ මේක හරිම
 
 ශෘංගාරය පිරිච්ච ගීතයක් කියලා. නිරංජලාගේ විවාහය දවසේ හරි ඊට පස්සේ දවසේ හරි මේ ගීතය ඒගොල්ලෝ ප‍්‍රචාරය කළා. ලා සඳ එළියේ තියෙන්නේ අපේ යුගයේ ගැහැනියක් පිළිබඳ. අනික නෙරංජලාගේ සිරිතක් තියෙනවා මොනවා හරි වැඩසටහනක් ආවොත් ඒකට මගේ ගීතයක් එයා ඇතුළත් කරගන්නවාමයි. එදා ඉඳන් එයා සිංදු කියන එක අත අරින තුරුම සරල ගී වැඩසටහනක් ආවොත් මගේ ගීතයක් කියනවා.
 
 * ”පෙම්කළ වරදට මට වද දෙන්නේ” ගීතය අදටත් කතා බහට ලක්වෙනවා?
 
 හැමදාමත් කිව්වත් ඒගොල්ලෝ අහනවා ඕකට හේතුව මොකද්ද කියලා. අපේ ඔෆිස්වල හිටියා ක‍්‍රියාකාරී සහායකවරු. ඒගොල්ලෝ නැතුව අපට වැඩ කරන්න බැහැ. ඒගොල්ලෝ තමයි ක‍්‍රියාශීලිව ගීත ඉදිරිපත් කරන්නේ. මගෙත් එක්ක කටයුතු කරපු කෙනෙක් හිටියා. ඔහුගේ හරි දුෂ්කර කාලයක් තිබුණා. එයාට එයාගේ පෙම්වතිය හම්බවෙන්නවත් විදිහක් නෑ. අයියලා පස් දෙනෙක් හිටපු ගැහැනු ළමයෙක්. ඒ ළමයට හරියට ප‍්‍රශ්න ඇතිවුණා මේ පේ‍්‍රමය නිසා. ඉතිං හැමදාම මට ඇවිල්ලා කියනවා මේ ළමයට හරියට වධ දෙනවා ඒක හැෙඟන විදිහට ගීතයක් ලියලා දෙන්න කියලා. ඉතිං ඔහොම ඉන්නකොට දවසක් එයා එහා පැත්තට ආවා උදේ පාන්දර වැඩ කරන්න මාත් එක්ක. ඉතිං හොඳට පුහුණු කෙනෙක් ඉන්නකොට අපට හරිම ලේසියි. ඒගොල්ලෝ වරදන්නේ නැතුව හොඳට වැඩ ටික කරනවා. එදා මෙයා ඇවිල්ලා වැඩ කරගෙන යනකොට මට දෙසැරයක් සමාව ඉල්ලන්න සිද්ධවුණා. එයා කවදාවත් එහෙම කරන්නේ නෑ. මං වැඩසටහන ඉවරවෙලා ඇහුවා ඇයි ඔහොම වුණේ අද කවදාවත් නැතුව කියලා. අනේ මට මං හැමදාම කියන කතාව තමයි කියන්න තියෙන්නේ. අර ළමයට ඊයෙත් ගහලා මට ඉතිං හරි දුකයි කියලා කිව්වා. ඕක මට හරියට හිතේ තිබුණා. පසුව මං ඔය පෙම්කළ වරදට ගීතය ලිව්වා. ඒකට අපට ප‍්‍රතිචාර ලැබුණා හරියට. අපේ අයියට හරියට මිනිස්සු බැන්නා හරි නරකයි කියලා. මගේ අයියා මට කරදර කරලයි කියලා හිතලා. අනේ එහෙම දෙයක් උනේ නැහැ. ඒක මගේවත් ඉන්ද්‍රානි බෝගොඩගේ වත් අත්දැකීමක් නෙමෙයි.
 
 * අතැර යන්නට දෙන්න අවසර?
 
 ඉන්ද්‍රානි විජේබණ්ඩාරගේ අතැර යන්නට දෙන්නට අවසර කැසට් එකකට ලියපු ගීතයක්. ඒක ලිව්වේ පේ‍්‍රමකීර්තිත් මාත් අතර විරසක ගතියක් ඇතිවෙලා, අපි දෙන්නා වෙන්වෙන්න තීරණය කරලා තිබුණා. නමුත් අපි දෙන්නා තරහවෙලා නෙමෙයි වෙන්වුණේ. අපි දෙන්න ගේ බොහෝ පරතර තිබුණා. නමුත් අපි සන්සුන්ව විසඳගත්තා. විසඳගෙන අපි ඈතින් හිටියා. මොකද අපි ඒකට වැඩ කරන්න ඕන ගුවන්විදුලියේ. එයා කරන වැඩසටහන්වලට මාව ඕන වෙනවා එයාට. අපි දෙන්නා අතර කරදරයක් තරහක් තිබුණේ නෑ; මැරෙනතුරුවත්. අපි අවුරුදු අටක් වෙන්වෙලා හිටියා. පසුව උසාවියෙන් වෙන්වෙන්න තීරණය කළා පේ‍්‍රම්ට විවාහ වෙන්න අවශ්‍ය නිසා. අන්තිමේදී උසාවියෙන් වෙන් වෙච්ච දවසේ මහා ලොකු කම්පනයක් නෙමෙයි, නමුත් හිතට දැනුනා පොඩි කම්පනයක්. අවුරුදු ගාණක් වෙන්වෙලා හිටපු එක මට දරාගන්න පුළුවන් උනානේ. උසාවියේදී අපි දෙන්නා වෙන්වෙලා ගියා. පස්සේ ඉන්ද්‍රානි ගීතයක් ලියන්න කිව්වහම මං ඔය ගීතය ලිව්වා.
 
 ඔබ සහ පේ‍්‍රමකීර්ති ද අල්විස් දෙදෙනාම ගී රචනා කළා?
 
 පේ‍්‍රමකීර්ති ගීත ලෝකයේ මැෂිමක් කිව්වා නං හරි. ඒ මොකද ඒ තරම් ඉක්මනට ලියන්න පුළුවන්. මට එතරම් ඉක්මනින් කියන්න නං බැහැ කවදාවත්. කව්රුහරි ඇවිල්ලා කිව්වොත් අනේ ගීතයක් ඕන ඒක ලියලා දෙන්න කියලා කියනවා විතරයි තියෙන කඩදාසිය මොකක් හෝ වේවා පුංචි කොළ කෑල්ලක් හරි අර ගෙන එයා ගීතයක් ලියනවා ඒ වෙලාවේම. ඒක හරි පුදුමයි. ඒවා නොපිහිටන ගති වෙන්න ඕන. කවදාවත් මං දැකලා නෑ එහෙම. නමුත් ඒවා හරිම ලස්සන ගීත. ඒ දවස්වල හැඟීමක් තිබුණා නං පේ‍්‍රමකීර්තිගේ දෛවය ගැන ඒ පුංචි කොළ කෑලි මං එක්කහු කරගන්නවා.
 
 * ඔහු ඔබට ලිව්වද?
 
 මගේ ළඟ තියෙනවා විශාල ගොන්නක් පේ‍්‍රම් ලියූ කවි. ඒවා මට ලියපු කවි. වෙන කාටවත් ලියපු ඒවා නෙවි, මට, මං ගැන ලියපු කවි. මට ලියපු කවි එයා ගේ අත්සන සහිතව මගේ ළඟ තියෙනවා, එයාගේ අත් අකුරින්. අපි ආදරය කරන කාලේ අපි දෙන්නා චිකන් සුප් එකක් ගන්න ඉඩ පහසුකම් ලැබෙන හැන්දෑවක යනවා චීන හෝටලේට. ගිහිල්ලා සුප් එකක් ගන්නවා. ඔය චීන හෝටලේ තියෙනවා තුනී ටිෂු පේපර්ස් වගයක්. එයා ගේ වැඬේ සුප් එක හදලා එනකං අර ටිෂූ කඩදාසිවල කවි ලියනවා. පිංතුර ඇඳලා ගෙයක් ඇඳලා තාප්පයක් ඇඳලා කවි ලියනවා මට. ඔහොම මට ලියලා දීපුවා ගොඩක් තියෙනවා. චීනාගේ චීන පේපරේ කියලා තමයි ඒකට කියන්නේ එයා. කිසිම දවසක මං ලියූ දේකට මේක හොඳ නෑ කියලා නම් කියලා නැහැ. පේ‍්‍රම් ඒවා අගේ කළා. සමහර මං ලියූ දේවල් කියවල පුංචි හිනාවක් ඔහු ගේ මුවගට ආවා. පේ‍්‍රම් කියනවා අන්න අහවලාට ගීතයක් ඉල්ලූවා ලියලා දෙන්න සුමානයක් යනකං ඉන්නේ නැතුව ටග් ගාලා ලියලා දෙන්න කියලා. වික්ටර් රත්නායක මහත්මයටත් ගීතයක් ලියලා දෙන්න කියලා මට අන්තිම කාලේ කිව්වා.
 
 * මගේ පුතු හරි හපනා?
 
 මගේ පුතා පුෂ්ප තරංග ඉතාම හොඳ දරුවෙක්. මාත් එක්ක අතේ එල්ලිලා ගුවන් විදුලියට එනවා. ළමා පරීක්ෂණයෙනුත් සමත්වෙලා කරු අයියගේ වෙළෙඳ දැන්වීම්වලටත් හඬ දීලා තියෙනවා. ඒ කාලේ කුසුම් පීරිස් ලියපු නාට්‍යයක මගේ පුතා හිටියා. පුතාගේ නමත් තරංග. චරිතයේ නමත් තරංග. ඔහොම ඉන්නකොට ජනප‍්‍රිය වෙලා දවසක් මම ගෙදර එනකොට තරංගට ලියුමක් ඇවිත් තිබුණා. කවදාවත් පුතාට එහෙම ලියුම් ඇවිත් තිබුණේ නැහැ. ඉතිං මගේ ටිකක් හිත ගැස්සුනා. ඒ වුණාට මං ලියුම කැඩුවේ නෑ. ? ඇවිල්ලා එයා ලියුම් කඩලා එහෙම්ම දැම්මා මෙසේ උඩ. ඒ ලියුම් කවරය කඩන්න මට හිතුනේ නැත්තේ ගොඩක් ලස්සන මලක් ඇඳලා බඹරෙක් ඇඳලා එතන කඩන්න බැරිවෙන විදිහට ඇඳලා තිබුණා. ඒක තමයි මගේ හිත ගැස්සුනේ. එයා ඒක කඩලා දාලා ගියාට පස්සේ එදා හැන්දෑවේම මං ඒක බැලූවා. ගෑණු ළමයෙක් ලියලා තියෙන්නේ. එයා ගේ රඟපෑම් හරි හොඳයි. පත්තරේ ලිපියත් දැක්කා. ඔයා හරි ලස්සනයි. ඔයත් එක්ක ආශ‍්‍රය කරන්න මං කැමතියි, එහෙම කියලා ලියලා තිබුණා. මට ඉතිං හරි බයයි මේ ළමයාගේ ඉගෙනීම කඩාකප්පල් වෙන තත්ත්වෙකට එයිද කියලා. මේක දිගට යනවට මං බයවුණා. මං ඉතිං ඔය ගීතය ලියලා තිබ්බ මේසේ උඩ. එයා ඒක දකින්න ඇති. රූපා ඉන්දුමතීගේත් ලොකු පුතෙක් හිටියා. ඉතිං එයා මගෙන් ගීතයක් ඉල්ලපුවම මං ඕක දුන්නා. ඒ ගීතය ඉතාම හොඳ ගීතයක් කියලා පත්තරවල පවා ගියා.
 
 * දෑස වසා ගමි ගීතය ලිව්වේ?
 
 ඒකට නං ඇත්තටම අත්දැකීමක් නෑ. හරිම අමාරුවෙන් ලියපු ගීතයක්. ඒ මොකද අන්තිම මොහොතේ පුණ්‍යා තරහා ගිහිල්ලා වගේ ඇවිල්ලා කිව්වා ගීතය ඉල්ලලා හුඟක් කල්නේ දෙන්නේ නැද්ද අක්කා මට කියලා. මගේ වැරැුද්ද. පුණ්‍යා කලින් කියලාත් මං ලියන්නේ නැතුව ඔහේ ඉඳලා ඉඳලා එදා සරල ගීවලට අනුමැතිය සඳහා දෙන්න ඕන අන්තිම දවස. හෙට දුන්නේ නැත්නම් එහෙම මගේ සරල ගීත එක කැන්සල් වෙනවා අක්කේ කියලා ඇය ඇවිත් කිව්වා. එදා ගෙදර ඇවිල්ලා දස අතේ කල්පනා කර කර මොකක් ගැනද ලියන්නේ කියලා හිතුවා. මට හිතට එන්නෙම නෑ. මං එළියට ගියා, පාරට ගියා මොකක් ගැනද ලියන්නේ කියා හිත හිතා. එහෙං සුරංගියි තරංගයි පොඩියි. දෙන්න කෑ ගහ ගන්නවා බොරුවට. ඒගොල්ලන්වත් නිශ්ශබ්ද කරලා දෙන්නටම නිදියන්න කියලා මං ? කල්පනා කළා. ඇස් දෙක වහගෙන මං ඉන්නකොට මට මගේ තරුණ කාලේ මතක් වුණා. තරුණ කාලේදී එක රූපයක් මතකයක් හැම වෙලේම හිතේ තියෙනවනේ. ආ... ඒක හොඳයි කියලා හිතල දෑස වසා ගැමි ගීතය ලිව්වා. ඒ කාලේ හැටියට තරුණ වියක අදහස් පමණයි ඒකෙ ලියවුණේ.
 
 * ”මලක් නැති ගසක් වී” ගැහැනියක ගේ ගීතයද?
 
 මට හිතෙන්නේ හුඟක් වෙලාවට ගැහැනිය ඉපදිලා තියෙන්නේ දුක් විඳින්නද කියලා. ලෝකේ ඉන්න හැම ගැහැනියක්ම දුක් විඳිනවා කියලා මම කියන්නේ නෑ. නමුත් බොහෝ වෙලාවට පිරිමියා ඉන්නේ ගැහැනිය රවට්ටන්න. ගැහැනිය ඉන්නේ රැුවටෙන්න කියලා මට වරෙක හිතුනා. ඔය විදිහට තමයි ජීවිතේ ගෙවෙන්නේ හුඟක් වෙලාවට බැලූවහම මගේ යාළුවන් ගේ, බොහෝ කාන්තාවන්ගේ. ඒ මොකද ගැහැනිය ආදරේ කරන තරමට. එකම එක මලක් වෙලා මං හිටියා, නමුත් ගොඩක් මල් ආවහම එක මල ඇති වැඩක් නෑ. පුංචි පහනත් එපා. පහන නිවුනට පස්සේ තව ගොඩක් තාරකා පිපෙනවා. අන්න එහෙම ලෝකෙකනේ අපි ඉන්නේ. මගේ ජීවිතෙත් සම්බන්ධයි නැහැ කියන්නේ නැහැ මං මේ ගීතයේ. ඒකත් මං ලිව්වේ නිරංජලාට.
 
 * ඔබ ලියූ ගී සෝමපාල රණතුංගයන් ඇහුවාද? දුටුවද?
 
 අනේ ඇත්තටම මට දුකයි ඔහු මං ලියපු එකම ගීතයක් වත් දැකලා නෑ. ඔහු නැති වුණාට පස්සේ තමයි මං ලියන්න පටන් ගත්තේ. ඔහු මට හරියට උදව් දුන්නා. මං පොත් ලිව්වේ ඔහු ඉන්න කාලේ. අපි හම්බුනෙත් මම ඉස්කෝලේ යන කාලේ. කාලයකදී වැඩිදුර ඉගනීමට යන්න බැරි තත්ත්වයක් ගෙදර ඇතිවුණා. ඒ කාලේ මට සිංහල උගන්වපු ටීචර් තමයි මට කිව්වේ නිකං ඉන්න එකේ ලියන්න කියලා. ජනතා හවස පත්තරේට මං කෙටි කතා ලිව්වා. ඉංග‍්‍රීසි ඉස්කෝලෙක මගේ සිංහල භාෂාව ප‍්‍රගුණ කරපු පැටි‍්‍රෂියා ප‍්‍රනාන්දු ගුරුතුමිය මට මතක් කරන්නම ඕන. ලිවීම පටන් ගත්තේ ඇය නිසායි. ඊට පස්සේ මං ගෙදර ඉඳන් කෙටි කතා ලිව්වා. කෙටි කතා පිටුව කළේ සෝමපාල රණතුංග මහත්මයා. එතුමා තමයි පෑන කෙටි කතාවට හුඟක් හුරු කරලා මට පොත් ලියන්න මුලකුරු දුන්නේ. මම එයා ගේ ආශ‍්‍රයෙන් තමයි ලියන්න පටන් ගත්තේ. පත්තර කලාවට සහ මාධ්‍ය කලාවට මම අඩිය තියන්න ඇත්තේ සෝමපාල රණතුංග මහත්තමයා නිසයි. එයා නැත්නම් ඇත්තට මට පොත් ලියන්න බැහැ. එයා තමයි මට ලියන්න උදව් කරලා කෙටි කතා ගුණසේන සමාගමට ගිහිං දීලා හැමදේම කළේ. එයා ඉදිරියේ තමයි ඒවා කළේ. නමුත් එයාට පෙනෙන්න මගේ අත් අකුරින් කවියක් ගීතයක් ලියන්න මට බැරිවුණා.
 
 * ඇයි ගීත ලියන්න පමා වුණේ ඒ කාලේ උනත්?
 
 පද්‍යයට වඩා ගද්‍ය ලියන්න පුළුවන් කියලා මට හිතෙනවා. මං හරියට අගය කරනවා අනිත් ඒගොල්ලන් ලියන ගීත. අලූත් ගීත රචකයෝ උනත් ලස්සනට ලියනවා. මට හිතෙනවා මං ලියන දේවල්වලට වඩා අනිත් අයගේ ගීත ලස්සනයි කියලා.මං ලියූ ගීත අගය කරනවට මං ආසයි තමයි. නමුත් මට ඒවායේ අගයක් පේන්නේ නෑ. අනිත් ඒගොල්ලෝ කියන කොට තමයි මට ඒවායේ අගය පේන්නේ.
 
 * පද්‍ය රචනා කරන්නේ ඔබ පසුකාලයේදී?
 
 අපේ තාත්තා දුම්රිය සේවයේ ගබඩා පාලකවරයෙක් විදිහට සේවය කළා. එයාලා සාමාන්‍ය මිනිස්සු. ඒගොල්ලන්ට එහෙම ගීත ගැන හැඟීමක් තිබුණේ නෑ. අම්මා නං ඉතිං මං කවි කියනවට හරි ආසයි ගෙදර. ලොකු අක්කත් එහෙමයි. පොඩි අක්කා ඉතිං අහගෙන ඉන්නවා. සතුටු වෙනවා. අයියා නං පොඞ්ඩක්වත් කැමති වුණේ නෑ මං සිංදු ලියනවට. එයාට ඕන උනේ මාව මහා ලොකු නෝනා කෙනෙක් කරලා මහා තරාතිරමක හොඳ රැුකියාවක් කරන ගැහැනියක් කරන්න. අයියා මං ලියනවට කැමති වුණේ නෑ. මං ලියනවට අයියා අකමැති බව දැනගෙන අයියා එනවා කියලා දැනගත්තහම මං ඒවා හංගනවා. පියන අරින්න වහන්න පුළුවන් මේසයක් මට තිබුණේ. දවසක් මං ලියූ කවියක් මං ටග් ගාලා අරක ඇතුලට දාලා වැහුවා අයියා එනවා දැකලා. ඩිංගකින් මං බුදුන් වැඳලා එනකොට අයියා අර කවිය කියවනවා. කාටද මේ ලිව්වේ කියලා ඇහුවා.
 
 * ඇත්තටම කාටද ඒ කවිය ලිව්වේ?
 
 මගේ යාළුවෙක් හිටියා දෙමළ. තවමත් මට හරි ආදරෙයි. එයා ඉන්දියාවේ ඉන්නේ දැන්. එයා ලොකු ජපන් පිංතූරයක් ගෙනත් දීලා තිබුණා මට. ඇත්තටම ඒක කැලැන්ඩරයක්. ඒකෙ හිටියා ලස්සන ජපන් නෝනා කෙනෙක්. මලක් අතේ තිබුණා. මං එයා දිහා බලනවා හරි ලස්සනයි ඉතිං. විලක් වගේ එකක් තිබුණා. ඉතිං මං හිතුවා මේකට කවියක් ලියන්න ඕන කියලා. පාසලේ මං කරපු සඟරාවකට මගේ කවියක් දාන්න හිතිලා එදා මං අර ජපන් නෝනා ගැන ලිව්වා. ඒක තමයි මං අයියා එද්දී හැංගුවේ. ඒකෙ තියෙන්නේ හැමදාම මගේ දිහා බලං ඉන්නවා, ඇයි ඔය මල දෙන්නේ නැත්තේ මට. මම ඔය මල දෙනකන් බලං ඉන්නවා කියලා තමයි කවියේ ලියලා තියෙන්නේ. අපේ අයියා මට බැණලා කවිය වීසි කළා. ඕව ලියලා ද විභාග පාස් කරන්නේ කියලා අහලා බැන්නා. හරි අහිංසකව මං බලං හිටියා. අයියට හරි බයයි මං. ඊට පස්සේ මං කවි ලියන එක නැවැත්තුවා. ආයෙත් පද්‍ය ලියන්න පටන් ගත්තේ මිල්ටන් පෙරේරා ගේ බල කිරීමට කඳුළු අතරට සිනා රැුලි ගීතයෙන්.
 
 
 
 යුගන්ති යශෝධරා

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles