Divaina - රඟපාන්නේ ඕඅයිසී... වරදානෙට හරි ලේසී... රට වටෙන්ම සල්ලි ගරලා!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

oic135ජාවාරම්කරුවන් මුදල් සෙවීම සඳහා එක ක‍්‍රමයක් නොමැති විට තවත් කුමක් හෝ ක‍්‍රමයක් සොයාගන්නේ එහි ඇති බරපතළකම තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. එය ජාවාරම්කරුවන්ගේ හැටිය. මේනිසා අප ජාවාරම්කරුවන් ගෙන් මිදී ඔවුනට හසුනොවී කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව වඩාත් අවධානයෙන් සිටිය යුතුය. විවිධ ජාවාරම්කරුවන්ගේ චාටු බස් වලට රැවටුණු දහස් සංඛ්‍යාත මිනිසුන් අද වනවිට මේ සමාජයෙන්ම අපට දැකිය හැකිය. එලෙස ජාවාරම් කරුවන්ට හසු වූ ඇතමෙක් පොලිස් පොතට පැමිණිල්ලක් ඉදිරිපත් කළද ඇතමෙක් රැවටීමකට ලක්වීම නිසා ඇති ලැජ්ජාව හේතුවෙන් ඒ පිළිබඳව පැමිණිලි තියා වෙන කිසිවෙකුට හෝ නොකියා පාඩුව විඳදරාගෙන සිටින පිරිස් ද වෙති. අද අප ඔබට කියන්නට යන මේ ජාවාරම්කරු සියල්ලන්ටම වඩා වෙනස් ක‍්‍රමයක් භාවිත කළ අයෙකි.
 
 නුවර, අංකුඹුර, ගල්හින්න ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන මෙම ජාවාරම්කරු සිය ජාවාරම මෙහෙයවා තිබුණේ නුවර ප‍්‍රදේශයේ සිට සිය ජංගම දුරකතනය ඔස්සේය. ඔහු තම ජාවාරම ඉතා ක්ෂූක්ෂම ලෙස කලක සිට කරගෙන ගොස් තිබුණේ දිවයිනේ ව්‍යාපාරිකයින් රැසක් ගොනාට අන්දවමිනි.

policess444
 
 දිනය 2020-10-05 ය. වේලාව දහවල් 12 පසවී හමාරය. යක්කු ගස් නඟින මේ වෙලාවේ ව්‍යාපාරිකයින්ද සිය ව්‍යාපාර කටයුතුවල ලහි ලහියේ නිරත වෙමින් සිටින මොහොතකි. වීරකැටිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට දුරකතන ඇමතුමක් ආවේ නාදුනන දුරකතන අංකයකිනි. සිය ව්‍යාපාර කටයුතු අතරේ දුරකතනයට ප‍්‍රථිචාර දැක්වීමට ව්‍යාපාරිකයා අමතක නොකළේය.”හලෝ....ආහ්...මුදලාලි මං වීරකැටිය පොලිසියේ ඕ.අයි.සී’’ නොසිතූ මොහොතක ස්ථානාධිපතිවරයාගෙන් තමන්ට දුරකතන ඇමතුමක් ලැබීම පිළිබදව ව්‍යාපාරිකයා ද තුෂ්ණිම්භූතව ගියේය.”ඔව් සර් කියන්න’’ ව්‍යාපාරිකයා බොහොම ගරු සරු ඇතුව පිළිතුරු දුන්නේය.
 
 ”මුදලාලි මං රාජකාරි ගමනක් ආවා. මගේ කාර් එක කාර්මික දෝෂයකට ලක් වුණා. හදාගන්න පොඩි ගාණක් යනවා. රුපියල් 10,000ක් විතර ගන්න පුළුවන්ද කියලා බැලූවේ’’ යැයි ජාවාරම්කරු කියාගෙන
 
 ගියේ කිසිදු සැකයක් නොසිතෙන පරිදිය. ප්‍රෙද්ශයේ ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීමකට නෑ බෑ කියන්න ව්‍යාපාරිකයෙක් තියා ගමේ ගොඬේ නැති බැරි මිනිහෙක් වුවද පෙළඹෙන්නේ නොමැතිය. තමන්ගේ ව්‍යාපාර කටයුතු අස්සේ ආ මේ දුරකතන ඇමතුමට දෙපාරක් නොසිතූ ව්‍යාපාරිකයා ”හරි සර් කවුරුහරි රාලහාමි කෙනෙක් එවන්න කඬේට එහෙනම්’’ යැයි ව්‍යාපාරිකයා පැවසීය. ජාවාරම්කරුද සිය අභිලාෂය මුදුන් පමුණුවා ගැනීම සඳහා එක එක වර්ගයේ අවිවලින් ව්‍යාපාරිකයාට දමා ගසන්නට ද සමතෙකි.”අයියෝ මුදලාලි ඒක නම් කරන්න බෑ. එහෙම හොඳ නැහැනේ. මගේ රාලහාමිලා මේක දැනගන්න එක හො\ නෑ. මුදලාලිට ඊෂි කෑෂ් එකක් දමන්න පුළුනන් නම් ලේසිය’’ යැයි ජාවාරම්කරු ව්‍යාපාරිකයාට පැවසීය.”හරි සර්..මං එවන්නම්’’ යැයි පැවසූ ව්‍යාපාරිකයා මේස ලාච්චුවෙන් රුපියල් 10,000ක මුදලක් රැුගෙන එය විද්‍යුත් ක‍්‍රමයට ස්ථානාධිපතිවරයාට යැවීමට සූදානම් වූ නමුත් ව්‍යාපාරිකයාටද ගණදෙවි නුවණ පහළ විය. ඇත්තටම මේ ස්ථානාධිපතිවරයා ද නැත්නම් වෙන කවුරු හරිද? කවදාවත් ස්ථානාධිපතිවරයා මීට පෙර මෙලෙස මගෙන් මුදල්ද ඉල්ලා නොමැතිය. මේ නිසා මේ පිළිබඳව ස්ථානාධිපතිවරයාට නැවත ඇමතුමක් දී තහවුරු කරගැනීම නුවණට හුරු බව සිතූ ව්‍යාපාරිකයා ඔහු සතුව තිබූ ස්ථානාධිපතිවරයාගේ වෙනත් දුරකතන අංකයකට ඇමතුමක් ගත්තේය. දුරකතනයට ප‍්‍රතිචාර දැක්වූයේ වීරකැටිය පොලිස් ස්ථානාධිපති කැළුම් සංගීත් මහතාය.”සර් මං මුදලාලි කතා කරන්නේ. සර් මට කතා කරලා සල්ලි වගයක් ඉල්ලූවේ. මං මේ එය දාන්න එනගමන්’’යැයි පැවසීය. මේ අපබ‍්‍රංස කිසිවක් නොදත් වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා ”මොන
 
 සල්ලි ද මුදලාල’’ යැයි නැවත පෙරළා ව්‍යාපාරිකයාගෙන් ප‍්‍රශ්න කළේය.’’ ඇයි සර් දැන් ටිකකට කලින් මට කෝල් කරලා කාර් එක කැඩිලා , ඒක හදාගන්න සල්ලි ටිකක් දමන්න කිව්වේ’’ යැයි පැවසීය. සිදුව ඇති දෑ පිළිබඳව වටහාගත් ස්ථානාධිපතිවරයා ව්‍යාපාරිකයාට කරුණු පැහැදිලිකර දී වහාම පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් දමන ලෙසට ඔහුට උපදෙස් දුන්නේය. සිදුව ඇත්තේ මහා මං මුලාවක් බව දැනගත් ව්‍යාපාරිකයාට ද පොලිස් පොතේ පැමිණිල්ලක් ලියනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නොවීය.
 
 තමන්ගේ නම විකුණා කිසියම් අයෙකු මුදල් ගැරීමේ ජාවාරමක නිරත වී ඇති බව වටහාගත් වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් මහතා සිද්ධිය පිළිබඳව වහාම තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතා දැනුවත් කිරීමට පියවර  ගැනුණි.
 
 ඒ අනුව හුංගම හා වීරකැටිය පොලිස් ස්ථාන දෙකෙහි ස්ථානාධිපතිවරු දෙදෙනා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණි. ඒ අනුව සැකකරු විසින් ව්‍යාපාරිකයන්ට ඇමතුම් ලබා දී තිබූ දුරකතන අංක ඔස්සේ පරීක්ෂණ ආරම්භ කෙරුණි. එහි පතිඵලයක් ලෙස සැකකරු ඉකුත් 15 වැනි දින සවස අත්අඩංගුවට පත් වූයේ නුවර, අංකුඹුර , උඩකිතුල්ගොල්ල, ගල්හින්න ප‍්‍රදේශයේදීය. එහිදී සැකකරු සන්තකයේ තිබී විවිධ ව්‍යාපාරිකයින් රවටා ලබාගත් බව කියූ රුපියල් 50,000ක මුදලක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කලක් තිස්සේ නුවර සිට දුරකතනය ඔස්සේ මෙලෙස විවිධ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නම් භාවිත කරමින් මුදල් ගැරීමේ ජාවාරමේ නිරත වී තිබේ.
 
 අත්අඩංගුවට පත් සැකකරු වීරකැටිය පොලිස් ස්ථානයට රැුගෙන ඒමෙන් පසු සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රැුසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වීය. ඒ අනුව සැකකරු හුංගම,වීරකැටිය ,මොනරාගල,කුළියාපිටිය, අලව්ව, නාවුල, රඹුක්කන, හබරාදුව, තඹුත්තේගම, ගලේවෙල, කැකිරාව, නොච්චියාගම, ,නිකවැරටිය, නොරොච්චෝලේ ඇතුළු ප‍්‍රදේශ රැුසක පොලිස් ස්ථානාධිපතිවරු ලෙස පෙනී සිටිමින් දුරකතනයෙන් කතා කර එම ප‍්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයින් රවටා මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වීය. ජාවාරම්කරුට රැුවටුණු වීරකැටියේ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයින් 02කු වීරකැටිය පොලිසියටත්, හුංගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයින් 06 දෙනෙකු හුංගම පොලිසියටත් පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.මීට අමතරව දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවකටම මේ වන විට මෙම ජාවාරම්කරු පිළිබඳව පැමිණිලි ලැබෙමින් ඇති බවත් අනාවරණය වී තිබේ. සැකකරු විද්‍යුත් ක‍්‍රමයට ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගැනීම කලක සිටම කරගෙන ගොස් තිබේ.
 
 සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී හබරාදුව පොලිස් බල ප‍්‍රදේශයෙන් රුපියල් 10,000ක්, නොරොච්චෝලෙන් රුපියල් 12000ක්, හුංගමින් රුපියල් 20,000 බැගින් අවස්ථා දෙකකදී රුපියල් 40,000ක්, කැකිරාවෙන් රුපියල් 10,000ක්, අලව්වෙන් රුපියල් 50,000ක්, නාවුල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් 40000, 99000, 5000, 4000 බැගින් රුපියල් 148000ක මුදලක්, අඹන්පොළින් රුපියල් 180000ක් හා තඹුත්තේගමින් රුපියල් 5000ක මුදලක්ද ජාවාරම්කරු ඊෂි කෑෂ් ක‍්‍රමයට ලබාගෙන ඇති බව අනාවරණය කරගෙන තිබේ.
 
 අත්අඩංගුවට පත් සැකකරු පසුගිය 16වැනි දින වලස්මුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදි සැකකරු පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද වලස්මුල්ල මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සුරංග මුණසිංහ මහතා එය ප‍්‍රතික්ෂේප කර සැකකරු මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි. සැකකරු පිළිබඳව හුංගම හා වීරකැටිය පොලිස් ස්ථාන දෙකෙහි නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
 
 තංගල්ල කොට්ඨාසභාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී රත්නවීර අඩස්සූරිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලූම් සංගීත්, හුංගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්ත සම්පත් ජයසිංහ, වීරකැටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බෝගොඩ ඇතුළු හුංගම හා වීරකැටිය පොලිස් ස්ථාන දෙකෙහි නිලධාරීන් කණ්ඩායම් දෙකක් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 
 සටහන හා සේයා රූ - මත්තල දිලීප් එන් ජයසේකර

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles