Divaina - මදූෂ් දණ ගැහුවද?කෙලින් ඉඳන් වෙඩි කෑවද?

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

madush4
 
 හේමන්ත රන්දුණු
 
madush3‘‘ඩැනී මහත්තයගෙ පැත්තෙ උන්ගෙන් අපට බේරිලා ඉන්න හම්බවෙන්නෙ නැහැ. මේ කරදරවලින් බේරෙන්න අපි දෙන්නා කොහෙ හරි වෙන පළාතකට යමු. එහෙම නොවුණොත් මේ ප‍්‍රශ්න කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ....’’
 
මධුෂ් තම ආදරණීය බිරිඳ මුතුමාලිට කීවේ ඇතිවෙමින් තිබෙන භයානක තත්ත්වය ඉවෙන් මෙන් තේරුම් ගනිමින්ය. එහෙත් මුතුමාලි ඊට කැමැති නොවූවාය.‘ඔයාට පිස්සුද අපි මොකටද මේ අපේ දේපළ අතඇරලා දාලා යන්නෙ. අපි වැරැද්දක් කරන්නෙ නැත්නම් කාටවත් බය වෙන්න ඕනෙ නැහැනෙ.’’
 
 මධුෂ්ගේ යෝජනාවට මුතුමාලි විරුද්ධ වූවාය. 2002 වර්ෂය වනවිට දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ මේ දකුණේ ප‍්‍රකට දේශපාලනඥයකු වූ ඩැනී හිත්තැටියගේ මහතා ය. මධුෂ්ගේ පියාට අයත් ඉඩම් කීපයක් ඩැනී හිත්තැටියගේ මහතා විසින් රජයට පවරා ගැනීමට කටයුතු කරමින් සිටියේය. මේ ඉඩම් ප‍්‍රශ්නය නිසා මධුෂ්ගේ පවුලේ සාමාජිකයන් සහ ඩැනී හිත්තැටියගේ මහතාගේ පවුලේ සාමාජිකයන් අතර පැවතියේ අවුල් සහගත තත්ත්වයකි. ඩැනී හිත්තැටියගේ පවුල සමඟ පැවැති ආරවුල් තම ජීවිතයේ හැරවුම් ලක්‍ෂය වනු ඇතැයි මධුෂ් සිතුවේ නැත. සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත උපත ලබන්නේ 1979 වර්ෂයේ පෙබරවාරි 24 වැනිදාය. කඹුරුපිටියෙන් බැහැර ගතාර නම් ග‍්‍රාමයේ උපත ලැබූ මධූෂ් අධ්‍යාපනය ලැබුවේ කඹුරුපිටිය මහ විද්‍යාලයෙන් සහ කරන්දෙණිය ජාතික පාසලෙන්ය. මධුෂ්ගේ පියා සමරසිංහ ආරච්චිගේ ලක්‍ෂ්මන් ය. කැටයම් ශිල්පියකු වූ ලක්‍ෂ්මන් කඹුරුපිටිය ගතාර ග‍්‍රාමයේ ජිවත් වූ බොහොම සාමකාමී පුද්ගලයෙකි. මධුෂ්ට එක් සොහොයුරියක් සහ සොහොයුරකු සිටි අතර ඔවුන්ද පාසල් අධ්‍යාපනය ලබමින් සිටියහ.
 
 මධුෂ්ගේ මෑණියන් වූයේ මාලනී සමරසිංහයි. ඇය එවකට ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරී සාමාජිකාවක වූවාය. 88/89 භීෂණ සමය මධූෂ්ගේ ජීවිතයට අමතක නොවන සිදුවීම් මාලාවකට මුහුණ දුන් කාලසීමාවක් විය. 1989 වර්ෂය වනවිට මධූෂ් යන්තම් දසවන විය සම්පූර්ණ කර සිටියේය. මධුෂ් තම මෑණියන්ට දැඩි ලෙස ලෙන්ගතුව සිටි අතර ඇය යන එන තැන්වල පසුපසින් යන්නට පුරුදුව සිටියේය. 88/89 භීෂණ සමයේ රජයේ ආරක්‍ෂක අංශ ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාකාරීන් ලූහුබැඳගොස් ඔවුන් ඝාතනය කිරීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කර සිටියහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1989 වර්ෂයේ ජුලි මස 21 වැනිදා කඹුරුපිටිය ප‍්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණ රැලියක් ඉලක්ක කර ආරක්‍ෂක අංශ ප‍්‍රහාර එල්ල කළහ.
 
 එම රැළියට පැමිණ ආපසු නිවස බලා යමින් සිටි මධුෂ්ගේ මෑණියන් වූ මාලනී සමරසිංහ ඝාතනයට ලක්වූවාය. සිය මවගේ අකල් මරණය මධුෂ් දැඩි ලෙස කම්පනයට පත් කිරීමට සමත් විය. ඒ වනවිට පාසල් යන වයසේ සිටි තම සොහොයුරියත් බාල සොහොයුරාත් සමඟ අසරණ වූ මධුෂ් දෙලොවක් අතර අතරමං වූවේය. දරුවන් තුන්දෙනා ලොකු මහත් කර යහපත් පුද්ගලයන් ලෙස සමාජ ගත කිරීමට මධුෂ්ගේ පියා වූ ලක්‍ෂ්මන් ට ඒ තරම් උවමනාවක් තිබුණේ නැත. ඒ වනවිට අන්ත අසරණ තත්ත්්්වයට පත්වී සිටි මධුෂ් හා ඔහුගේ සොහොයුරා සහ සොහොයුරියගේ පිිහිටට ආවේ පුංචි අම්මා ය. ‘‘මට උඹලා තුන්දෙනා ලොකු නැහැ. මං කොහොම හරි උඹලව හදා ගන්නම්. උඹලා නිකන් විනාශ වෙලා යන්න දෙන්න බැහැ. මධුෂ්ගේ පුංචි අම්මා සහ මිත්තනිය ඔවුන්ට රැකවරණය දීමට ඉදිරිපත් වූහ. ගුරුවරයකු වූ මධුෂ්ගේ පුංචි අම්මා හැකි අයුරින් ඔවුන්ට අධ්‍යාපනයක් ලබාදී ලොකු මහත් කිරීමේ භාරදූර කටයුත්ත ඉටු කළාය. මේ කාලසීමාව මධුෂ්ට මෙන්ම ඔහුගේ සොහොයුරා සහ සොහොයුරියට ඉතාම දුක්බර දැඩි සුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවූ කාලසීමාවක් විය. ආර්ථික අපහසුකම් මැද්දේ ඔවුන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූවේය. අධ්‍යාපන කටයුතුවලට හපන්කම් දැක්වූ මධුෂ් අපොස සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වුණේය. පැවැති ආර්ථික අපහසුතා නිසාම ඉහළට ඉගෙන ගැනීම අතරමග නතර කර දැමූ මධුෂ් ජීවිත සටනට මුහුණ දෙන්නට සූදානම් වුණේය. විජේතුංග ගමගේ දයානි මුතුමාලි මධුෂ්ගේ පාසලේ එකම පංතියේ අධ්‍යාපනය ලැබූ තරුණියකි. පාසල් යන කාලයේ පටන් දයානි සහ මධුෂ් අතර පැවැතියේ සමීප මිතුදමකි.
 
 අඩි පහකුත් අඟල් හයක් උසින් යුත් සිහින් සිරුරක් ඇති මධුෂ් පාසලේ ශිෂ්‍යාවන් බොහෝ දෙනකුගේ සිත්ගත් ශිෂ්‍යයකු වුණේය. එහෙත් මධුෂ් තම ප‍්‍රථම පේ‍්‍රමය පුද කරන්නේ දයානි මුතුමාලි වෙතය. මධුෂ් මුතුමාලි පේ‍්‍රමයට වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබුණේ නැත. හරිහමන් රැකියාවක් නොමැති හොඳ අධ්‍යාපනයක් ද නොලබා කඹුරුපිටියේ කරක්ගසමින් සිටි මධුෂ්ට තම දියණිය විවාහ කර දෙන්නට මුතුමාලිගේ වැඩිහිටියන් කොහෙත්ම කැමැති වුණේ නැත. ඔයා හොඳ රස්සාවක් හොයා ගන්නකො. එතකොට සේරම හරියයි.’’
 
madushමුතුමාලි මධුෂ්ට මේ ගැන කියූ වාර අනන්තය. මධුෂ්ට ද අවශ්‍ය වී තිබුණේ හොඳ රැකියාවක් කරගෙන මුතුමාලි සමඟ විවාහ වී යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමටය. එහෙත් අධ්‍යාපනයක් නොලැබූ නිසාම මධුෂ්ට උසස් රැකියාවක් ලබා ගැනීමේ අවකාශ හිමිව තිබුණේ නැත. මධුෂ් මුල්ම රැකියාව ලෙස තෝරාගත්තේ ට‍්‍රැක්ටර් රියැදුරකු ලෙස වැඩ කිරීමටය. කඹුරුපිටිය බස් නැවතම්පළට යාබදව ට‍්‍රැක්ටරයක් තබාගෙන කුලී රියැදුරු රැකියාවක් කරමින් ජීවිතය ජයගන්නට මධුෂ් උත්සාහ කළේය. එහෙත් ට‍්‍රැක්ටර් රස්සාව මධුෂ්ගේ සිත් ගත්තේ නැත. පසුව ට‍්‍රැක්ටරය අත හැර දැමූ මධුෂ් ති‍්‍රරෝද රථ රියැදුරකු ලෙස රැකියාව කරන්න පටන් ගත්තේය. ති‍්‍රරෝද රථ රියැදුරු රැකියාව ද වැඩි කල් නොගොස් අතහැර දැමීමට ඔහුට සිදු විය. මිතුරකුගේ මාර්ගයෙන් සමන්තුරේ නගරයේ පිහිටි නිහාල් මෝටර්ස් ආයතනයේ රැකියාවක් ලබා ගත් මධුෂ් මාස කීපයක් වැඩ කළේය. ඒ රැකියාවද අතහැර දැමූ මධුෂ් ආපසු රත්මලාන ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ අමරසිංහ මහතා යටතේ සේවය කළේය. වැලි ප‍්‍රවාහන ලොරියක රියැදුරකු ලෙස මාස කීපයක් වැඩ කළ මධුෂ් ඒ රැකියාවට ද පයින් ගසා ආපසු ගම රට බලා ආවේය. ‘‘මේ එක රස්සාවක්වත් හරියන්නේ නැහැ. මට ඕනෙ යහමින් සල්ලි ටිකක් ලැබෙන රස්සාවක් කරන්න. ඒත් කෝ ඒකට වාසනාවක්. මේ ප‍්‍රශ්න නිසා අපි දෙන්නට එකතුවෙන්න තියෙන දවස ටිකෙන් ටික පස්සට යනවා.
 
 මධුෂ් කතා කළේ දැඩි ශෝකයෙන් යුතුවය. මමත් රස්සාවල් කීපයකට ම ඇප්ලයි කළා. බලමුකෝ ඒවයින් හොඳ රස්සාවක් හම්බ වුණොත් අපිට යහතින් ජීවත් වෙන්න පුුළුවන් මුතුමාලි මධුෂ්ගේ සිත සනසමින් කීවාය. මාකඳුර කඹුරුපිටිය අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක රියැදුරු රැකියාව කරමින් එදිනෙදා ජීවිතය ගත කිරීමට මුදලක් උපයාගත් මධුෂ් සිය සොහොයුරාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට උත්සාහ කළේය.
 
 මේ වැඬේ හරියන්නේ නැහැ. අපි දෙන්නා කසාද බඳිමු. එහෙම නොවුණොත් ඔයාව වෙන කාට හරි බන්දලා දෙයි. අන්තිමේදී මට ඔයාවත් නැති වෙනවා...
 
 මධුෂ් තම පෙම්වතිය වූ මුතුමාලිට යෝජනා කළේය. මධුෂ්ට දැඩි ලෙස පේ‍්‍රම කළ මුතුමාලි ඔහුගේ යෝජනාවට එකපයින් කැමැති වූවාය. 1998 වර්ෂයේ මධුෂ් මුතුමාලි විවාහ වනවිට ඔවුන් යන්තමින් දහ නවවැනි විය සම්පූර්ණ කර සිටි ලාබාල වයසේ පසු වූහ. විවාහයෙන් පසු මධුෂ් සිය බිරිඳ සමඟ කඹුරුපිටිය ගතාරේ පිහිටි නිවසේ පදිංචියට ආවේය. ඒ වනවිට මධුෂ්ට සහ මුතුමාලිට මාතර රෝහලේ සාත්තු සේවක රැකියාවක් ලැබී තිබිණි. දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටියගේ මහතාගෙන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් මධුෂ්ගේ පවුලට විවිධ බලපෑම් එල්ල කරන්නට පටන් ගත්තේ මේ කාලවකවානුවේදීය.
 
 2002 වර්ෂය වනවිට මධුෂ් පියකු- බවට පත්ව සිටියේය. මධුෂ්ට දාව මුතුමාලි පිරිමි දරුවකු බිහි කර සිටියාය. එහෙත් මේ දරුවා යම්කිසි ආබාධිත තත්ත්වයකින් පෙළෙමින් සිටියේ මධුෂ් දැඩි ලෙස කම්පනයට පත් කරමින්ය.
 
 මධුෂ් තම කුළුඳුල් දරුවාට දැඩි ලෙස ආදරය කළේය. හැකි හැම වෙලාවකම දරුවා සුරතල් කිරීමට මධුෂ් අමතක කළේ නැත. මේ අතර ඩැනී හිත්තැටියගේ මහතාගේ ඥාතියකුගෙන් මුතුමාලිට විවිධ අයුතු යෝජනා එන්නට පටන් ගෙන තිබුණේය. මුතුමාලි මුලදී මේ සියලූ බලපෑම් මධුෂ්ට නොකියා සිටියද අවසානයේ ඇය ඒ සියල්ල හෙළි කළාය.
 
 ‘‘ මම ඕකුන්ව තියන්නේ නැහැ. මට යහතින් ඉන්න දෙන්නෙ නෑනෙ මේ කාලකණ්ණි රැල.
 
 මධුෂ් දැඩි ලෙස කෝපයට පත්ව සිටියේය. ඩැනී හිත්තැටියගේ මහතා මුතුමාලිගේ ළඟ ඥාතියකු ද විය. එහෙත් මේ පවුල් දෙක අතර කාලයක පටන් ඇයි හොඳයිකමක් පැවතුණේ නැත.
 
 පළමු දරුවා ප‍්‍රසූත කිරීමෙන් පසු මුතුමාලිට සිය මවුපියන් බැලීමට යෑමට ඉඩකඩ ලැබී තිබිණි. පරණ කෝන්තර අමතක කළ වැඩිහිටියන් මුතුමාලි මෙන්ම මධුෂ්ව ද සිය නිවසට ගෙන්වා ගැනීමට කටයුතු කළහ. එතැන් පටන් මධුෂ් සහ මුතුමාලි මාකඳුරේ නිවසේත් කඹුරුපිටිය ගතාරේ පිහිටි මධුෂ්ගේ මහගෙදරත් ගත කිරීමට පුරුදු වූහ. හිත්තැටියගේ පවුල්වලින් එල්ලවන තර්ජන හිරිහැර හමුවේ දැඩි ලෙස කෝපාවිෂ්ටව සිටි මධුෂ් කිසියම් තීරණයකට ආවේය.
 
 මුන්ට පාඩමක් ඉගැන්නුවේ නැත්නම් මටවත් මගේ ගෑනිටවත් දරුවටවත් යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ. මධුෂ් ඩැනී හිත්තැටියගේ මහතාගේ මස්සිනා කෙනකු වන උපනන්දට පාඩමක් ඉගැන්වීමට තීරණය කළේය. උපනන්දගෙන් ද මධුෂ්ගේ පවුලට නිතර නිතර හිරිහැර එල්ලවී තිබුණේය. 2002 වර්ෂයේදී මධුෂ් කඹුරුපිටියේදී උපනන්දට වෙඩි තබා ඝාතනය කරන්නේ හිත්තැටියගේ පවුල්වලට අභියෝගයක් එල්ල කරමින්ය. උපනන්ද මරා දැමීම මධුෂ්ගේ අපරාධ චාරිකාවේ මුල්ම අපරාධය ලෙස ඔහුගේ අපරාධ වාර්තා පොතට එක් වන්නේ 2002 වර්ෂයේදීය.
 
 ‘‘මට දැන් උඹල එක්ක ඉන්න බැහැ. මං මිනීමරුවෙක් ටික කාලයක් මං හැංගිලා ඉන්නවා. වෙලාවක් ආවම මං උඹවයි දරුවවයි බලන්න එනවා. මධුෂ් තම ආදරණීය බිරිඳ මුතුමාලිගෙන් සමුගෙන කඹුරුපිටියෙන් පලා ගියේය. පොලිසිය මධුෂ් පසුපස පන්නන්නට පටන් ගත්තේය. පොලිසියට හසුවුවොත් තමාට කිසිම ගැලවීමක් නොවන බව තේරුම් ගෙන සිටි මධුෂ් මීගමුව ප‍්‍රදේශයට පලා ආවේය.
 
 උණතුරුපේ ශාන්ත නමැති අපරාධකරු මධුෂ් දැන හඳුනාගෙන සිටියේය. කඹුරුපිටියෙන් පලා ආ මධුෂ් ශාන්ත හමුවී සිදුවූ සියල්ල හෙළි කළේය. උඹ මා එක්ක වැඩ කරපං මම උඹව බලා ගන්නම්. ඔය කුලී රස්සාවක් කරලා මිනිස්සු වෙන්න බැහැ. එකපාරට අතට ගාණක් එන දෙයක් කරන්න ඕනෙ. උඹට ඉක්මනින් පෝසතෙක් වෙන පාර කියන්නම්. මධුෂ් උණතුරුපේ ශාන්තගේ කල්ලියට සම්බන්ධ වූයේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් වෙමින්ය. උණතුරුපේ ශාන්ත සමඟ එක්ව රට පුරා මුල්‍ය ආයතන ලීසිං සමාගම් කොල්ලකන්නට පටන් ගත් මධුෂ් වැඩි දවසක් යන්නට පෙර ඔහු පොහොසතකු වුණේය. මීගමුව, කුලියාපිටිය, ගාල්ල ප‍්‍රදේශවල ලීසිං සමාගම් සහ මූල්‍ය ආයතන දහයකට වඩා වැඩි ප‍්‍රමාණයකට සන්නද්ධව කඩා වැදී රුපියල් කෝටි ගණනක මුදල් කොල්ලකා උණතුරුපේ ශාන්ත මධුෂ් ඇතුළු කල්ලිය පොලිසියටද අභියෝග කරමින් සැඟව සිටියහ. 2006 වර්ෂය වනවිට  පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වූයේ පි‍්‍රයන්ත ජයකොඩි මහතා ය. (වර්තමානයේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති.) පොලිස් දෙපාර්තමේන්තුවට මහත් කැළලක් වෙමින් තිබෙන ලීසිං සමාගම් සහ මූල්‍ය ආයතන එක දිගට කොල්ලකෑම නතර කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඒ වනවිට උද්ගත වී තිබුණේය. පි‍්‍රයන්ත ජයකොඩි මහතා සිය නිලධාරීන් සමග එක්වී මේ කොල්ල කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට මාස කීපයක් තිස්සේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබුණේය.
 
madush2ඒ විමර්ශනවල ප‍්‍රතිඵලයක් ලෙස අවසානයේදී උණතුරුපේ ශාන්ත මධුෂ් ඇතුළු කොල්ල කල්ලිය කොටු කර ගැනීමට හැකි විය. වාරියපොල ප‍්‍රදේශයේ කැලෑවක පිහිටි ගල්ලෙනක සැඟවී සිටියදී පොලිස් නිලධාරීන් අල්ලා ගත් මේ කොල්ල කණ්ඩායම පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත ගෙනැවිත් ප‍්‍රශ්න කළහ. ඒ වනවිට මධුෂ් ඒ තරම් ප‍්‍රසිද්ධ චරිතයක් නොවීම නිසාත් කඹුරුපිටියේ පදිංචිකරුවකු වීම නිසා ඔහු කඹුරුපිටියේ මධුෂ් ලෙස ප‍්‍රකටව සිටියේය.
 
 සර් මාව මේ තත්ත්වයට ඇදලා දැම්මේ ඩැනී හිත්තැටියගේ. මම කවදා හරි එයාව පරලොව යවනවා. මිනිහා නැති කරන කල් මට නින්ද යන්නේ නැහැ. පි‍්‍රයන්ත ජයකොඩි මහතා මධුෂ්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරද්දී ඩැනී හිත්තැටියගේ මහතා සමඟ ඇති වෛරය පිළිබඳව ඔහු හෙළි කළේය. මධුෂ් කිසියම් දිනක රටේ දරුණු අපරාධකාරයකු වන බව පි‍්‍රයන්ත ජයකොඩි මහතාට තේරුම් ගොස් තිබුණේය. එමෙන්ම කිසියම් දිනක ඩැනී හිත්තැටියගේ මහතා මධුෂ් විසින් නිසැකවම ඝාතනය කරන බව ද පි‍්‍රයන්ත ජයකොඩි මහතාට තේරුම් ගොස් තිබුණේය.
 
 ඒ පිළිබඳව ඩැනී හිත්තැටියගේ මහතා දැනුවත් කිරීමට පි‍්‍රයන්ත ජයකොඩි මහතා කටයුතු කළේය. එහෙත් ඒ දැනුවත් කිරීම් අනතුරු ඇඟවීම් ඩැනී හිත්තැටියගේ ගණනකට ගත්තේ නැත. මධුෂ් ඇතුළු අපරාධකරුවන් බන්ධනාගාරගත කෙරිණි. මීගමුව බන්ධනාගාරයේ සිටි මධුෂ් දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විනාශ කිරීමට සැලසුම් සකස් කරන්නට පටන් ගත්තේය. ‘‘ඩැනී හිත්තැටියගේ පරලොව යවන කල් මට නින්ද යන්නේ නැහැ. ඌ තමයි මගේ ජීවිතේ විනාශ කළේ. මාව මේ තැනට ඇදලා දැම්මේ.......
 
 මධුෂ් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහු සමඟ සබඳතාවක් ගොඩනඟාගත් බව නිශ්ශංක සමඟ කීවේය. නිශ්ශංක යනු යුද හමුදා කොමාන්ඩෝ බළකායෙන් පලා ආ සෙබළෙකි. අපරාධ කීපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි නිශ්ශංක ඩැනී හිත්තැටියගේ ඝාතනයට සුදුසුම පුද්ගලයා බව මධුෂ් ඒ වනවිට තේරුම් ගෙන සිටියේය. මාරක ළිඳේ යතුරුපැදි පැදවීමේ දක්‍ෂයකු මෙන්ම අති දක්‍ෂ වෙඩික්කරුවකු වූ නිශ්ශංකට තම අවශ්‍යතාව කියා ඒ සඳහා කි‍්‍රයාත්මක කිරීමට කළ සැලසුම ද මධුෂ් ඉදිරිපත් කළේය. ‘ඔය වගේ උන් සමාජෙන් අයින් කරලා දාන්න ඕනේ. මං උඹට උදව් කරන්නම් අපි මේ වැඬේට බහිමු.
 
 දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඝාතනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව භාරගත් නිශ්ශංක එය ඉෂ්ට කර දෙන බවට මධුෂ්ට පොරොන්දු වූවේය. නිශ්ශංකට ඇප තැන්පත් කිරීමට පුද්ගලයන් කීපදෙනෙකු සොයා දුන්නේද මාකඳුරේ මධුෂ් විසින්ය. ඇප ලබා ගෙන මීගමුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි නිශ්ශංක ඩැනි හිත්තැටියගේ මරා දැමීමේ සැලසුම අදියරෙන් අදියර කි‍්‍රයාත්මක කරන්න පටන් ගත්තේය. 2006 වර්ෂයේ ජුනි මස 11 වැනිදා මාකඳුර නගරයේ පිහිටි ඩැනී හිත්තැටියගේ නිවස ඉදිරිපිටට පැමිණි නිශ්ශංක සහ තවත් පාතාල සගයකු ඔහුට වෙඩි තබා ඝාතනය කර පලා ගියහ. ඩැනී හිත්තැටියගේ ඝාතනයෙන් දකුණු පළාත පමණක් නොව මුළු රටම හෙල්ලී ගියේය. ඩැනී හිත්තැටියගේ ඝාතනය දේශපාලන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස මුලින් සැක පහළ කළද පසුව එහි සත්‍ය හෙළි වුණේය. ඩැනී හිත්තැටියගේ ඝාතනය වෙනුවෙන් මධුෂ් නිශ්ශංකට රුපියල් තුන් ලක්‍ෂ පනස් දහසක මුදලක් ද ගෙවා තිබුණේය. ඒ වනවිට මධුෂ්ගේ නම පාතාල ලෝකය පුරා කුප‍්‍රසිද්ධියට පත් වෙමින් තිබුණේය. කඹුරුපිටියේ උපන් නිසා කඹුරුපිටියේ මධුෂ් ලෙස මුලින් ඔහුට නම පටබැඳී තිබුණ ද, මාකඳුරේ මධුෂ්ගේ බිරිඳගේ නිවසේ බින්න බැසීම නිසා මාකඳුරේ මධුෂ් ලෙස ප‍්‍රසිද්ධ වූයේය. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී මධුෂ්ට විවිධ අපරාධකරුවන් දැන හඳුනා ගන්නට ලැබුණේය. පාතාල අපරාධකාරයන් මෙන්ම එල්ටීටීඊ යට සම්බන්ධ අපරාධකාරයන් ද ඒ අතර විය.
 
 අයිස් මංජු නමැති එල්ටීටීඊ සාමාජිකයා මධුෂ්ගේ සමීපතම මිතුරෙක් වී සිටියේය. මේ කාල සීමාව වන විට එල්ටීටීඊ ය ඉතාම ප‍්‍රබල ස්ථානයක පසුවිය. එල්ටීටීඊ සංවිධානය එවකට ජනාධිපතිපතිවරයා ව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා විනාශ කිරීමට සැලසුම් සකස් කරමින් සිටියහ.මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයකට ඔවුන්ගේ සහය ලබා ගැනීමට එල්.ටී. ටී. ඊ. ය සැලසුම් කළේය. ඒ සැලසුම සකස් කරන්නේ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි අයිස් මංජු විසින්ය. මේ කුමන්ත‍්‍රණයට සහය දීම සඳහා මධුෂ් එල්. ටී. ටී. ඊ. යෙන් රුපියල් පනස් ලක්‍ෂයක මුදලක්ද ලබාගත් බව කියැවිණි. කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාට අනතුරක් කිරීමට කළ සැලසුම සාර්ථක වුණේ් නැත.
 
 මීගමුව බන්ධනාගාරය තුළ අවුරුදු පහක් තිස්සේ ලැග සිටි මාකඳුරේ මධුෂ් ඇප මත නිදහස් වන්නේ 2011 වර්ෂයේදීය. ඒ වනවිට මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතන සැලසුමක් පිළිබඳව එල්.ටී. ටී. ඊ. කළ සැලසුමට අදාළව පුළුල් විමර්ශනයක් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය විසින් ආරම්භ කර තිබුණේය. මේ කුමන්ත‍්‍රණය සඳහා මධුෂ්ගේ සහාය ලබා ගැනීමට එල්. ටී. ටී. ඊ. ය සැලසුම් කර තිබූ බවද ත‍්‍රස්ත විමර්ශන ඒකකය අනාවරණය කරගෙන සිටියේය. බන්ධනාගාරයෙන් නිදහස ලබා මාකඳුරට පැමිණ වැඩි දවසක් සිටීමට මධුෂ්ට ඉඩ ලැබුණේ නැත. ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් මධුෂ් නැවත අත්අඩංගුවට ගත්තේය. වසර එකහමාරක කාලයක් මධුෂ්ට ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරයේ ලගින්නට සිදු වුණේය. ජනාධිපති ඝාතන තැතට අදාළ කුමන්ත‍්‍රණ පිළිබඳ හෙළිදරව් කර ගැනීමට නොහැකි වීම නිසා මධුෂ්ට නිදහස ලැබුණේය. නිදහස ලැබුූ මධුෂ් කොළඹ පාතාල මිතුරන් කීපදෙනකු සමග දින කීපයක් ගත කළේය. පසු කලෙක තම ජීවිතයේ කල්‍යාණ මිතුරන් දෙදෙනා මධුෂ්ට හමුවන්නේ මේ අතරතුරදීය. කොළඹ හෙරොයින් ජාලයේ ප‍්‍රබලයන් බවට පත්ව සිටි මාළිගාවත්තේ කංජිපානි ඉම්රාන් සහ කොටහේනේ ටිප්ඩොන් දැන හඳුනා ගැනීම මධුෂ්ගේ ජීවිතය වෙනස් මගකට යොමු කරවීමට සමත් වුණේය.
 
 මංකොල්ලකාල ගෙවල් කඩලා කන්ට‍්‍රැක් මර්ඩර් දීලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙලා වැඩක් නැහැ. හොඳ සල්ලිකාරයෙක් වෙන්න මොනවා හරි ලොකු බිස්නස් එකක් කරන්න ඕනේ. මධුෂ් තම මිතුරන් බවට පත්ව සිටි කංජිපානි ඉම්රාන්ට සහ රිප්බොන්ට කීවේය. උඹ අපිත් එක්ක හෙරොයින් බිස්නස් එකට එකතු වෙයන්. ඒක තමයි ඉක්මනින් ලොකු- සල්ලිකාරයෙක් වෙන්න තියෙන හොඳම බිස්නස් එක. කංජිපානි ඉම්රාන් මධුෂ්ට කීවේය. එතැන් පටන් මධුෂ් ද හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුණේය. ඒ වනවිට මධුෂ්ට විරුද්ධ පාතාල කල්ලි කීපයක් කි‍්‍රයාත්මක වෙමින් තිබුණේය. ආරක්‍ෂක අංශවලින් ද මධුෂ්ට දිිගින් දිගටම බලපෑම් එල්ල වන්නට පටන් තවදුරටත් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටීම බරපතළ ප‍්‍රශ්නයක් විය හැකි බව තේරුම් ගත් මධුෂ් රටින් පලා යන්නට තීරණය කළේය.
 
 ‘‘මෙහෙ හිටියොත් එක්කො මාව පොලිසියෙන් මරණවා. නැත්නම් එගෙන්ස් පාතාල ටීම් එකක් මාව නැති කරනවා. කොහොම හරි පැනගෙන මේ බිස්නස් එක කරන ගමන් අන්ඩර්වර්ල්ඞ් එකත් රන් කරන්න ඕනෙ.’’
 
 මධුෂ් තම කල්‍යාණ මිතුරන් බවට පත්ව සිටි රිස්ඛාන්ට සහ කංජිපාන ඉම්රාන්ට කීවේය. ඒ වන විට රිස්ඛාන් ඩුබායි රාජ්‍යයේ සෑහෙන සම්බන්ධකම් ගොඩනඟාගෙන සිටියේය. කංජිපාන ඉම්රාන් ද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රබලයන් කීපදෙනෙකුම දැන හඳුනාගෙන සිටියේය. රිස්ඛාන්ගේ සහ ඉම්රාන්ගේ සහාය ඇතිව ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් සකස් කරගත් මාකඳුරේ මධුෂ් හොර රහසේම ඩුබායි රාජ්‍යයට පැන ගත්තේය. ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කීපදෙනෙකු මධුෂ්ට සම්බන්ධ කර දී එහි නවාතැන් ගැනීමට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කරදීමට කටයුතු කළේ රිස්ඛාන් සහ කංජිපාන ඉම්රාන් විසින් ය.
 
 ‘‘උඹලා දෙන්න මේ කරන උදව් මම ජීවිතේට අමතක කරන්නෙ නැහැ. උඹලා වෙන ජාතියක උන් දෙන්නෙක් වුණත් උඹල මගේ සහෝදරයො වාගේ....’’
 
ඩුබායි රාජ්‍යයට පැමිණි මධුෂ් තම කල්‍යාණ මිතුරන් දෙදෙනා බවට පත්ව සිටි රිස්ඛාන්ට සහ කංජිපාන ඉම්රාන්ට දුරකථනයෙන් කථා කර ඔවුන්ට ස්තුති කළේය. ඒ වන විට මධුෂ් දකුණේ පාතාලයේ ප‍්‍රධානම කෙලිකාරයා බවට පත්ව සිටියේය. ඩුබායි රාජ්‍යයේ සිට මධුෂ් දකුණේ පාතාලය මෙහෙයවන්න පටන් ගත්තේය. තම ගෝල බාලයන් යොදාගෙන දකුණු පළාතේ මෙන්ම රටපුරා විවිධ අපරාධ කරන්නට මධුෂ් කටයුතු කළේය. ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ කෙලිකාරයන් කීපදෙනෙකු සමීපව ඇසුරු කළ මධුෂ් ඔවුන්ගේ උදව් උපකාර ලබාගෙන ශ‍්‍රී ලංකාවට ටොන් ගණනින් හෙරොයින් පොම්ප කරන්නට පටන් ගත්තේය. ටික කලක් යද්දී මාලිගාවත්තේ කංජිපාන ඉම්රාන් ද ඩුබායි රාජ්‍යයට ආවේය. ඔහුද මධුෂ්ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුණේය. කංජිපාන ඉම්රාන්ගේ සම්ප‍්‍රාප්තිය මධුෂ්ට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය. මධුෂ්ගේ හෙරොයින් ජාවාරම දෙගුණ තෙගුණ වන්නට පටන් ගත්තේ ඉන් පසුවය. ශ‍්‍රී ලංකාවට පමණක් නොව මාලදිවයින, මලයාසියාව, තායිලන්තය වැනි රටවලට ද හෙරොයින් තොග පිටින් යැවීමට මධුෂ් ඇතුළු කල්ලිය සමත් වූහ. හෙරොයින් ජාවාරම හරහා රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් ගලා එද්දී මධුෂ් ඒ මුදල් රිසිසේ වියදම් කරමින් මෙරට පාතාලයේ අගරජ වීමට අවශ්‍ය පරිසරය සකස් කර ගන්නට පටන් ගත්තේය. සිය පාතාල සාමාජිකයන්ට අත දිගහැර මුදල් ලබා දුන්නේය. මධුෂ් පාතාලයට මුදල් පොම්ප කිරීම නිසා මෙරට පාතාලයේ බහුතරයක් මේ පාතාල නායකයා සෙවණේ පෝෂණය වන්නට පටන් ගත්තේය. වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ කැරැල්ලකින් කළු තුෂාර නමැති පාතාල නායකයා මරුමුවට පත් වුණේය. කළු තුෂාරගේ සුරූපී බිරිඳ කාලයක පටන් මධුෂ් සමඟ හිතවත්කමක් ගොඩනගා ගෙන සිටියාය. තුෂාර මරුමුවට පත්වීමෙන් පසු තනිකඩව සිටි ඔහුගේ සුරූපි බිරිඳ ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගන්නට මධුෂ් කටයුතු කළේය. එතැන් පටන් මධුෂ්ගේ දෙවැනි බිරිඳ වූයේ කළු තුෂාරගේ නීත්‍යනුකූල බිරිඳය. මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙන්ම අනෙකුත් බොහෝ ක‍්‍රියාවන් සඳහා ඇය සහාය දැක්වූවාය. ඩුබායි රාජ්‍යයේ සිටියද මධුෂ් තම පළමු විවාහයේ බිරිඳ මුතුමාලි මෙන්ම ආබාධිත දරුවා පිළිබඳව සොයා බැලීමට අමතක කළේ නැත. ඔවුන්ගේ සියලූ වියදම් අවශ්‍යතාවන් සඳහා මුදල් එව්වේ මධුෂ්ය. වරක් තම ආබාධිත පුත‍්‍රයා සිංගප්පූරුවේ ඉහළම රෝහලකට යවා ඔහුට ප‍්‍රතිකාර ලබා දීමට ද මධුෂ් කටයුතු කළේය. මුතුමාලි සමඟ සිංගප්පූරුවට පැමිණි දරුවා පසුව ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීමට ද මධුෂ් පියවර ගත්තේය.
 
 ‘‘මං දරුවව බලා ගන්නම්. මේ දරුවට සියලූ සැප සම්පත් මට දෙන්න පුළුවන්. ඔයා ආපහු ලංකාවට යන්න.’’
 
 තම කුළුඳුල් දරුවා ඩුබායි රාජ්‍යයේ රඳවා ගත් මධුෂ් මුතුමාලි ආපසු ශ‍්‍රී ලංකාවට පිටත්කර යැවීමට කටයුතු කළේය. මෙරට පාතාලයේ වාර්තා වූ දරුණුම අපරාධවලින් වැඩි ප‍්‍රමාණයක් පිටුපස සිටි මහමොළකරු වූයේ මාකඳුරේ මධුෂ්ය. ඒ අපරාධ සියල්ල සිදුවන්නේ මධුෂ්ගේ අවශ්‍යතාව මතය. ඒ සියලූ අපරාධ ඉතාම සූක්‍ෂම ආකාරයට සැලසුම් සහගතව නිවැරදිව ක‍්‍රියාත්මක කිරීමේ ශක්තිය හැකියාව මධුෂ්ට තිබුණේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ‍්‍රී ලංකාවේ කිලෝමීටර් දහස් ගණනක දුර රටක සිට මෙරට අපරාධ ඉතාම සූක්‍ෂමව මෙහෙයවා ඒවා නිවැරදිව සිදු කිරීමය. මේ ක‍්‍රියාව සාමාන්‍ය මිනිසෙකුට කිසිසේත්ම කළ නොහැක්කකි. මෙරට පාතාල කල්ලි විසින් සිදුකළ දරුණුම අපරාධවලින් එකක් ලෙස සැලකෙන්නේ කළුතර එතනමඬල ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප‍්‍රහාර එල්ල කර එහි සිටි සමයං නමැති පාතාල නායකයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමය. මේ ප‍්‍රහාරයට නායකත්වය දුන්නේ අංගොඩ ලොක්කා වුවද ප‍්‍රහාරය සඳහා අවි ආයුධ සැපයීම, ප‍්‍රහාරයට නිශ්චිත ස්ථානයක් තෝරා ගැනීම, ඒ සඳහා අවශය කරන වාහන ලබාදීම, ප‍්‍රහාරයට අවශ්‍ය පාතාල සාමාජිකයන් කණ්ඩායමක් සොයාදීම, ප‍්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්කා සහ ලඩියා ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීම ඇතුළු සියලූ සැලසුම් සකස් කරන්නේ මාකඳුරේ මධුෂ් විසින් ය. අංගොඩ ලොක්කා සහ රණාලේ සමයං අතර බද්ධ වෛරයක් පවතින්නේ වසර ගණනාවකට පෙර සිටය. ඔවුන් අතර මේ ගැටුම්
 හටගන්නේ පාතාල බලය බෙදා ගැනීම සහ හෙරොයින් අධිපත්‍යය තමන් අතට ගැනීම සඳහා වූ සටනේ ප‍්‍රතිඵලයක් ලෙසය. මාකඳුරේ මධුෂ් සමයං ඝාතනය සඳහා සම්බන්ධ වන්නේ ප‍්‍රධාන හේතු දෙකක් මුල්කර ගෙනය. ඉන් එක් හේතුවක් වුයේ මධුෂ්ගේ සමීපතම පාතාල සගයකු වූ හර්ෂ නමැත්තා රාජගිරියේ ඔබේසේකරපුරයේදී සමයං විසින් වෙඩිතබා ඝාතනය කිරීමත් සමයං සහ මධුෂ් අතර ද කලක පටන් ආරවුල් පැවති නිසාත්ය. වරක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී සමයංගේ බිරිඳ ඝාතනය කිරීමට මධුෂ් උත්සාහ කර තිබුණේය. ඒ ප‍්‍රහාරයෙන් වැරදීමකින් වෙනත් ගැබිණි මාතාවක් මිය ගියාය. මේ සිද්ධියෙන් සමයං දැඩිලෙස කෝපයට පත් වූ අතර ඔහු මාකඳුරේ පදිංචිව සිටින මධුෂ්ගේ බිරිඳ සහ දරුවා ඝාතනය කිරීමට සැලසුම් කළේය. මේ සැලසුම පිළිබඳ සියලූ තොරතුරු මධුෂ් දැන ගත්තේය.
 
 සමයං කියන්නේ තිරිසනෙක් වගේ මිනිහෙක්. ඌට ඉස්සර වෙන්න දුන්නොත් අපි සේරම කම්මුතුයි. ඒ නිසා අපි ඉස්සර වෙන්න ඕනෙ. සමයං මගේ ගෑනිවයි ළමයවයි මරන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. ඊට ඉස්සර අපි ඌව නැති කරන්න ඕනේ. කළුතර එතනමඬලදී බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කර සමයං ඝාතනය කිරීමේ සැලසුම කඩිනම් කරන්නේ මධුෂ්ය. මධුෂ් සැලසුම් කළ ආකාරයටම ඒ ප‍්‍රහාරය සිදු වුණේය. ප‍්‍රහාරයෙන් පසුව අංගොඩ ලොක්කා සහ ලඩියා කල්පිටිය ප‍්‍රදේශයෙන් මුහුදු මාර්ගයක් ඔස්සේ ඉන්දියාවට ගෙන්වා ගැනීමට මධුෂ් කටයුතු කර තිබුණේය. සිය ජාත්‍යන්තර හෙරොයින් ජාලයේ සාමාජිකයන්ගේ සහාය ඇතිව අංගොඩ ලොක්කා සහ ලඩියා ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගන්නට මධුෂ්ට හැකි විය. ප‍්‍රහාරයේ අවසන් අදියරද සාර්ථකව ඉෂ්ට කර ගැනීමට මධුෂ් කටයුතු කළේ තම තීක්‍ෂණ පාතාල බුද්ධිය පාවිච්චි කරමින්ය. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට හෙරොයින් ටොන් ගණනින් යවා මහා ධන කුවේරයකු බවට පත්ව සිටි මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාර කීපයකටම මුදල් ආයෝජනය කර සිටියේය.
 
 ඩුබායි රාජ්‍යයේ තරු තුනේ කාමර හැටක හෝටලයක් මධුෂ් විසින් මිලදී ගෙන තිබුණේ ඉන්දීය ජාතිකයකුගේ නමටය. මධුෂ් ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් පාවිච්චි කරමින් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටීම නිසා මේ හෝටලය ඔහුගේ නමට මිලදී ගැනීමට නොහැකි නීතිමය තත්ත්වයක් උදා වී තිබිණි. හෝටලය ඉන්දීය ජාතිකයාගේ නමට මිලදී ගෙන තිබුණේ ඒ නිසාය. ඊට අමතරව විශාල වාහන  අංගනයක් ද මධුෂ් සතුවිය. හෙරොයින් ජාවාරම්වලින් ඉපයූ රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් සමීප හිතවතුන්ගේ බැංකු ගිණුම්වල මධුෂ් තැන්පත් කර තිබුණේය. මේ අතර මධුෂ් තම සොහොයුරා ලෙස සැලකූ මොහොමඞ් රිස්ඛාන් කොටහේනේදී ඝාතනය වුණේය. තමන්ට ඩුබායි රාජ්‍යයට පැමිණෙන්නට උපකාර කළා මෙන්ම හෙරොයින් ජාවාරම දියුණු කර ගැනීමට සියලූ සහාය දුන් රිස්ඛාන්ගේ ඝාතනය මධුෂ්ට එල්ල වූ මරු පහරක් බඳු විය. ඒ වන විට රිස්ඛාන්ගේ මෙරට ව්‍යාපාර කීපයක් සඳහා ද මධුෂ් රුපියල් විසිකෝටියකට අධික මුදලක් ආයෝජනය කර තිබුණේය.
 
 මාකඳුරේ මධුෂ්ට රිද්දවීමට ඇති එකම මාර්ගය රිස්ඛාන් ඝාතනය කිරීම බව තේරුම් ගත් කඩුවෙල පාතාලය ඔහු මරා දැමීමට සැලසුම් සකස් කළහ. කඩුවෙල සිට යතුරුපැදියකින් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු අළුත්කඬේ අධිකරණයට ආසන්නයේ පිහිටි කාර්යාලයට කඩා වැදී රිස්ඛාන්ට වෙඩි තබා ඝාතනය කර පලා යෑමට උත්සාහ කළහ. ප‍්‍රහාරය සඳහා පැමිණි එක් පාතාල සාමාජිකයකු ප‍්‍රදේශවාසීන් එල්ල කළ ප‍්‍රහාරයකින් මියගොස් තිබුණේය. මේ ප‍්‍රහාරයට සම්බන්ධ වූවන්ගෙන් ඉතිරිව සිටියේ අංගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ බොස් සරත් නොහොත් කොස් මල්ලී නමැති තරුණයකු පමණි.
 
 ‘‘කඩුවෙල පාතාලෙ උන්ට උණ ගැනෙන විදිහේ වැඩක් මේ කොස් මල්ලි කියන එකාට දෙන්න ඕනෙ. මුළු රටම හෙල්ලිලා යන විදිහට මේ වැඬේ කෙරෙන්න ඕනෙ.’’
 
 ඩුබායිහි සිටි මධුෂ් මෙරට පාතාල ජාලයට අවශ්‍ය උපදෙස් ලබා දී කොස් මල්ලී පරලොව යැවීමට අවශ්‍ය සැලසුම ලබා දුන්නේය. කොස් මල්ලී පැහැරගත් මධුෂ්ගේ අළුගෝසුවන් ඔහු අඟුණකොලපෑලැස්සේ කැලෑබද හේනකට රැගෙන ගියහ. එහිදී මධුෂ් වට්ස් ඇප් වීඩියෝ දුරකථන මාර්ගයෙන් කොස් මල්ලීට කතා කළේය.
 
‘‘උඹලා මගේ සහෝදරයා මරාගත්තා. ඒකට දඬුවම් විඳින්න ලෑස්ති වෙයන්. මේකට ගෑවිච්ච හැම එකාවම මරණවා.’’ මධුෂ් කෝපයෙන් කෑ ගැසුවේය. ජීවිත දානය ඉල්ලා කොස් මල්ලී මධුෂ් ඉදිරියේ හඬා වැටුටෙණ්ය. එහෙත් මධුෂ්ගෙන් ඊට සමාවක් ලැබුණේ නැත.
 
 වට්ස්ඇප් වීඩියෝ දුරකථන මාර්ගයෙන් මධුෂ් බලා සිටියදීම ඔහුගේ අළුගෝසුවන් කොස් මල්ලී ඝාතනය කර ඔහුගේ හිස කඳෙන් වෙන් කළහ. පසුව දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මෝටර් රථයකින් කොස් මල්ලීගේ හිස කොළඹ අධිකරණ සංකීර්ණය අසලට යැවීමට මධුෂ් කටයුතු කළේය. කොස් මල්ලී ඝාතනය කර ඔහුගේ හිස අධිකරණ සංකීර්ණය අසලට ගෙන ගොස් දැමීම මෙරට පාතාලයේ වාර්තා වූ ම්ලේච්ඡුම ඝාතන වලින් එකක් ලෙස ඉතිහාසයට එක් වුණේය.
 
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු වූ නියොමාල් රංගජීව සහ මධුෂ් අතර කාලයක පටන් වෛරයක් පැවතුණේය. මේ වෛරය පුපුරා යන්නේ පිළියන්දලදීය.
 
 ‘‘මධුෂ් තම ගෝල බාලයන් පිරිසක් යොදවා නියොමාල් රංගජීව ඝාතනයට සැලසුමක් සකස් කළේය.
 
 නවාස් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයකු විය. රංගජීව ඝාතන සැලසුම සඳහා මධුෂ් නවාෂ්ගේ සහාය ලබා ගත්තේය. නවාෂ් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඔත්තුකරුවකු ලෙස යෙදවීමට මධුෂ් ඉතාම සූක්‍ෂම ලෙස කටයුතු කළේය. මුලින් මුලින් මත්ද්‍රව්‍ය වැටලීම් කීපයක් සඳහා නිවැරදිව ඔත්තු ලබාදීමට කටයුතු කළ නවාෂ් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගත්තේය. පසුව පිළියන්දලදී හෙරොයින් තොගයක් රැගෙන එන ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව ඔත්තු ලබා දුන් නවාෂ් රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසක් එහි ගෙන්වා ගැනීමට කටයුතු කළේය. පිළියන්දල මෙහෙයුම මධුෂ් විසින් ඇටවූ උගුලක් බව නොදත් රංගජීව ඇතුළු නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීමට පිටත්ව ගියහ.
 
 එහිදී පිළියන්දල නගරයට කඩාවැදුණු පාතාල කණ්ඩායමක් රංගජීව ඇතුළු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ප‍්‍රහාරයක් එල්ල කර නිරුපද්‍රිතව පලා ගියෝය. මේ ප‍්‍රහාරයෙන් රංගජීව බරපතළ තුවාල ලබා ජීවිතය බේරා ගත්තද මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියකු සහ මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නොමැති මහපාරේ ගමන් කළ හත් හැවිරිදි අහිංසක දැරියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. මධුෂ් පොලිස් නිලධාරීන් නොමඟ යවා තමන්ට අවශ්‍ය ස්ථානයට ගෙන්වා ගෙන පාතාලය විසින් ප‍්‍රහාරයක් එල්ල කිරීම මෙරට පොලිස් ඉතිහාසයේ වාර්තා වූ මුල්ම සිද්ධිය විය.
 
 මේ සියලූ තිරිසන් ක‍්‍රියාවන්ගෙන් මාකඳුරේ මධුෂ් මෙරට පාතාලයේ ප‍්‍රබලම අපරාධකරු බවට පත්ව සිටියේය. මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූයේ මේ වන විට ජීවතුන් අතර නැති නාවල නිහාල් ය. නාවල නිහාල්ගෙන් පසු මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වුයේ මාකඳුරේ මධුෂ්ය. ඒ තරමටම මේ පාතාල මැරයා සූක්‍ෂම ලෙස මෙරට පාතාලය පාලනය කළේය. මේ අතර කඹුරුපිටියේ ගතාරේ සිටි මාකඳුරේ මධුෂ්ගේ පියා ලක්‍ෂ්මන් මිය ගියේය. පියාගේ මරණයට මධුෂ්ට සහභාගි වීමට හැකියාවක් තිබුණේ නැත.
 
 ‘‘පුංචි කාලේ අපි ගැන බැලූවෙ නැති වුණාට ඒ මගේ තාත්තා. මුළු රටටම පේන්න තාත්තගේ අවමඟුල බොහොම ඉහළින් ගන්න ඕනෙ. තාත්තගෙ මිනිය ලංකාවෙ තියෙන වටිනාම මිනී පෙට්ටියක තියන්න ඕනෙ. අවමඟුල් පෙරහැරකින් මිනිය ගෙනියන්න ඕනෙ. ලොකු සෑයක් ගහලා මිනිය ආදාහනය කරන්න ඕනෙ. ඒ වෙලාවට හෙලිකොප්ටරයකින් තාත්තගෙ මිනියට පිච්චමල් ඉහින්න ඕනෙ.’’
 
 තම පියාගේ අවමඟුල රාජ්‍ය ගෞරව සිදු කරන ප‍්‍රභූවරයකුගේ ආදාහන උත්සවයක් කරන ආකාරයෙන් සිදු කිරීමට මධුෂ් සැලසුම් කළේය. අහිංසක පියවරුන් සිය ගණනක් ඝාතනය කර දරු පවුල් විනාශ කර දමා මධුෂ් නමැති නරුමයා තම පියාගේ ආදාහනයට ගුවනින් පිච්ච මල් ඉසීමට කටයුතු කළේ තම බලය මුළු රටටම පෙන්වීමටය. ශී‍්‍ර ලංකාවේ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම වටිනාකමක් ඇති මංකොල්ලය සිදු කරන්නේ ද මාකඳුරේ මධුෂ් විසින් ය. රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තියක් කොල්ලකෑම මෙරට ඉතිහාසයේ වාර්තා වූ විශාලතම වටිනාකමක් ඇති දේපළ කොල්ලකෑම විය. මධුෂ් මේ කොල්ලය සැලසුම් කරන්නේ මාස ගණනක සිටය. මහරගම ඇරැව්වල ප‍්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයකු සතුව මේ වටිනා දියමන්තිය තිබුණේය.
 
 දියමන්තිය විකිණීමට ව්‍යාපාරිකයා අවස්ථා කීපයකදීම සැලසුම් කළ ද එය සාර්ථක වූයේ නැත. මහරගම ඇරැව්වල දියමන්තිය පිළිබඳව තොරතුරු මධුෂ්ගේ කන වැකෙන්නේ මේ අතරතුරදීය. මධුෂ් මේ දියමන්තිය කොල්ලකැමට සැලසුමක් සකස් කළේය.
 
 සැලසුම සඳහා ඔස්ටි‍්‍රයා ජාතිකයකු ද යොදා ගත්තේය. දියමන්තිය මිලදී ගැනීමට ඔස්ටි‍්‍රයා ජාතිකයා සහ තවත් කීපදෙනකු මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට යැවීමට මධුෂ් කටයුතු කළේය. ඔස්ටි‍්‍රයා ජාතිකයා ඇතුළු පිරිස දියමන්තිය පරීක්‍ෂා කරමින් සිටියදී මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ලෙස වෙස් ගැන්වූ තම පාතාල කල්ලියේ සාමාජිකයන් පිරිසක් මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට යැවිමට මධුෂ් කටයුතු කළේය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ලෙස කඩාවැදුණු පාතාල කණ්ඩායම එහි සිටි ඔස්ටි‍්‍රයන් ජාතිකයා ඇතුළු පිරිස පැහැරගෙන රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තිය ද කොල්ලකෑහ. දියමන්තිය කොල්ලකෑවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් නොව මධුෂ්ගේ ගෝලබාලයන් බව පොලිසිය සොයා ගන්නා විට සියල්ල සිදුවී හමාරය. මධුෂ් ඉතාම සූක්‍ෂම ලෙස රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තිය ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත්තේය. ඒ ඔස්ටි‍්‍රයන් ජාතිකයා මාර්ගයෙන්ය. මේ කොල්ලය සිදුවී මාස කීපයකට පසුව මධුෂ්ගේ ගෝලයකු වු කැලූම් නොහොත් කැවුමා සතුව තිබී පොලිසිය සොයා ගත්තේ නියම දියමන්තිය නොව ව්‍යාජ එකකි.
 
 කොල්ලකන ලද දියමන්තිය මධුෂ් විකුණා දැමුවේය. එම දියමන්තිය විකිණීමෙන් මධුෂ්ගේ කොටස ලෙස රුපියල් කෝටි 400 ක් ඔහුට ලැබීමට නියමිතව තිබුණේය. මධුෂ් ඩුබායි පොලිසිය භාරයට පත්වන්නේ ඒ දියමන්තිය විකිණීමෙන් ඔහුට ලැබීමට නියමිතව තිබූ රුපියල් කෝටි 400 ලබා ගැනීමට පෙරය. මධුෂ් ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් කීපදෙනෙකුගෙන් එකකු විය. මෙරට ප‍්‍රධාන පෙළේ අනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූයේ මොහොමඞ් සිද්ධික්, වෙලේ සුදා, අන්නාසි මොරිල්ය. මේ ජාවාරම්කරුවන් සියලූදෙනා මධුෂ්ගේ පරම සතුරන්ය. වෙලේ සුදා සහ සිද්ධික් බන්ධනාගාරගතව සිට හෙරොයින් ජාවාරම මෙහෙයවුවද අන්නාසි මොරිල් සිටියේ ඩුබායි රාජ්‍යයේ ය. අන්නාසි මොරිල් ද ටොන් ගණනින් හෙරොයින් එවූ ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකි. වරක් අන්නාසි මොරිල් මෙරට දකුණු වෙරළ තීරය වෙත එවූ රුපියල් කෝටි 600 ක් පමණ වටිනා හොරොයින් තොගයක් මධුෂ් සිය පාතාල කල්ලියේ සාමාජිකයන් යොදවා කොල්ල කෑහ.
 
 මේ හෙරොයින් කොල්ලය නිසා මොරිල් සිටියේ මධුෂ් කෙරෙහි දැඩි වෛරයෙන් ය. කොයි මොහොතක හෝ මධුෂ් විනාශ කර දැමීමට මොරිල් උත්සාහ කළේය.
 
 මධුෂ්ගේ සිඟිති දියණියගේ උපන් දින උත්සවය ඩුබායි හෝටලයක උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව තොරතුරු මොරිල්ට ලැබෙන්නේ මේ අතරතුරදීය. මොරිල් ඒ වන විට ඩුබායි පොලිසියේ ඉහළ නිලධාරීන් කීපදෙනෙකුම සමීපව ඇසුරු කරමින් සිටියේය. මේ උපන් දින සාදය සඳහා කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ගෙන එන බව ද මොරිල් දැන සිටියේය. මොරිල් මේ පිළිබඳ සියලූ තොරතුරු ඩුබායි පොලිසියට ලබා දුන්නේය. අවසානයේ හෝටලය වැටලූ ඩුබායි පොලිසිය මධුෂ් ඇතුළු පාතාල සගයන් මෙන්ම මෙරට ජනප‍්‍රිය කලාකරුවන් වූ අමල් පෙරේරා, නදිමාල් පෙරේරා, රයන් වැන්රෝවන් ඇතුළු පුද්ගලයන් සියදෙනකු පමණ අත්අඩංගුවට ගත්හ. මේ පිරිසට ඩුබායි පොලිසියේ මෙන්ම සිරගෙවල්වල මාස ගණනක් ලගින්නට සිදුවිය.
 
 ශ‍්‍රී ලංකා රජය සහ පොලිසිය මාස ගණනක් තිස්සේ කළ ඉල්ලීම්වලින් පසු අවසානයේදී මධුෂ් නමැති පාතාල නායකයා ශ‍්‍රී ලංකාවට භාරදීමට ඩුබායි රාජ්‍යය කටයුතු කළේය. ඩුබායි රාජ්‍යය වෙත ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මධුෂ් රැගෙන ආවෝය. අවසානයේ රැඳවුම් නියෝග මත මධුෂ්ට වසර එකහමාරක කාලයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ලගින්නට සිදු වුණේය.
 
 මධුෂ්ට එරෙහිව ඇති අපරාධ කීපයක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම් සඳහ ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දෙන්නේ මේ අතරතුරදීය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. ජේ. නන්දන, සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන්, කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගෙනගොස් දින දෙකක් ගත වන්නට පෙර මධුෂ් ලබාදුන් තොරතුරු මත කොළඹ කොටිකාවත්ත ප‍්‍රදේශයේ සඟවා තිබූ රුපියල් කෝටි 10 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින්  තොගයක් සොයා ගත්තේය. මධුෂ්ගේ ජීවිතයේ අවසන් දින කීපය ගෙවී යන බව ඔහුට සිහිනයකින් හෝ සිතුණේ නැත. කිසියම් දිනක නැවත නිදහස ලබා කඹුරුපිටියේ ගතාරේ ගමට යන්නට මධුෂ් සිහින මැව්වේය.
 
 මේ අතර මධුෂ් සඟවා ඇති තවත් හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීමට පොලිසිය දිගින් දිගටම විමර්ශන පැවැත්වූහ. මධුෂ් මාර්ගයෙන් ලබාගත් තොරතුරු ඔස්සේ මාලිගාවත්ත ලක්‍ෂිත සෙවන නිවාස සංකීර්ණය වෙත ඔහු රැගෙන යන්නේ තවත් හෙරොයින් තොගයක් සොයා ගැනීමටය. එහෙත් මරායා ඔහු එන මඟ රැක සිටියේය. මාලිගාවත්ත ලක්‍ෂිත නිවාස සංකිර්ණයේ පළමු මහලේදී මධුෂ්ට මාරයා මුණ ගැසුණේය. කඹුරුපිටියේ ගතාරේ නමින් හැඳින්වු හද්දා පිටිසර ගමෙන් පැමිණ මුළු ශ‍්‍රී ලංකාව ම බියවද්දා මෙරට කුඩුපුරයක් බවට පත් කළ මාකඳුරේ මධුෂ් නමැති අපරාධකාරයාට දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දුන්නේය. මිනිසුන් සිය ගණනකගේ හිස් පසාරු කරගෙන යන්නට පාතාලයන්ට නියෝග ලබා දුන් මධුෂ්ට ඒ ආනිසංසයම භුක්ති විඳින්නට සිදු වුණේය. මධුෂ්ගේ හිස පසාරු කරගෙන ගිය උණ්ඩයකින් ඔහු අවසන් ගමන් ගොස් සිටියේය. කඹුරුපිටිය ගතාර ග‍්‍රාමයේ සිට විසි වසරකට පෙර ආරම්භ කළ මාකඳුරේ මධුෂ්ගේ අපරාධ චාරිකාව මාලිගාවත්ත ලක්‍ෂිත මහල් නිවාසයේ සිමෙන්ති පොළොව මතින් නිමාවට පත් වූයේ ඒ අයුරින්ය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles