Divaina - අපේ තාත්තා කළේ රජ පාට් එක - මහාචාර්ය සෝමරත්න බාලසූරිය

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

nim28 1‘‘මේ සිතුවිලි මැද ඔහුට ගොනා සිහි විය. ඔහුගේ පිත්තල අං කොපු දිලිසෙන සේ මැනිය යුතු බවත් ගෙවී ගිය ලාඩම් ගැසිය යුතු බවත් ඔහු කල්පනා කළේය. ලාඩම් ගැසීමට ගොනා පෙරළා වධ දිය යුතුය. ලාඩම් නොගැසුව හොත් ලිස්සා ගොස් කකුල අතපය කැඬේ. මේ යෝග දෙකින්ම මිදීමට කිසිවකුට පුළුවන්කමක් නැත. තට්ටයට ගෙවෙන තෙක් බලා සිට ලාඩම් ගැසීම හැර වෙන කළ හැකි දෙයක් නැත.’’
 
 
මේ මහාචාර්ය සෝමරත්න බාලසූරිය රාජ්‍ය සම්මානයෙන් පුද ලද ‘කරත්තය’ නම් කෙටි කතා සංග‍්‍රහයේ එම කෙටි කතාවෙන්ම උපුටා ගත් කොටසකි. රාජ්‍ය සම්මාන ලත් ‘වප් මඟුල’ වැනි විශිෂ්ට නවකතා ලියූ ‘බාලා’ නමින් මහාචාර්යවරුන් අතර ප‍්‍රසිද්ධ මේ විද්වතාගේ ‘‘පඳුරු ගසා කිරි වැදිය’ වැනි කෙටිකතා පාඨක ජනතාව ආදරයෙන් හද බැඳ ගත්තේය. වීමංසා හා සරච්චන්ද්‍ර උපහාර අංකයේ ද සම සංස්කාරක වන එතුමා ලියූ ඇල්බෙයා කැමුගේ’ ‘පිටස්තරයා’ පරිවර්තනය ඉතා විශිෂ්ට පරිවර්තනයක් විය.
 මහාචාර්ය සෝමරත්න බාලසූරිය අද දිවයින ‘අපේ තාත්තා’ මණ්ඩපයට ගොඩවදින්නේ තම ආදරණීය පියතුමා ගැන ඔබට යමක් කියන්නටය.
 
 * ගමේ වැව් 12 ක්
 
 අපේ තාත්තා නම්වර ලැබුවේ බාලසූරිය මුදියන්සේලාගේ මුදලිහාමි කියලයි. තාත්තා උපන්නේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ එළතලව කියන ග‍්‍රාමයේ. ගම් අතරත් එය විශාල ගමක්. එනිසාම මේ ගම ඉහළ හා පහළ වශයෙන් කොටස් දෙකකටත් බෙදී තිබුණා. ගමේ සියලූදෙනාම පාහේ කෘෂිකර්මයෙහි යෙදුණු අතර විශේෂයෙන් වී ගොවිතැන ඔවුනගේ ජීවනෝපායයි. මේ ගමේ වැව් 12 ක් තිබුණා. මේ වැව් ඉදිවීම පිළිබඳ නිශ්චය වශයෙන් කිව නොහැකි වුවත් වෙල්යායක වටකුරු ගලක කොටා ඇති සෙල්ලිපියක බ‍්‍රාහ්මීය අක්‍ෂරවලින් පෙනෙන්නේ අනුරාධපුර යුගයේ හෝ ඒ ආසන්නයේ මේ වැව් ඉදිවූ බවයි. ජනශ‍්‍රැතිය අනුව පඬුවස්දෙව් රාජ යුගයේ මේ ගමට ප‍්‍රාදේශීය නායකයෙක් පත් කැර තිබුණු බව කියනවා. ඒ නායකයා තමයි මේ වැව් කරවලා තිබෙන්නේ. දියමලංකාව, මහවැව කුඹුක්ගහවැව මේ අතරින් කීපයක්. අපේ අම්මා පුංචිහාමි. එතුමියව අපේ තාත්තා කැඳවාගෙන ඇවිත් තියෙන්නේ ඉහළ එළතළව ඕලූපැලියාවෙන්.
 
nim28 2* වැවිලිකරුවෙක්ට වඩා ගොවියෙක්
 
මේ ගම වැව්, වෙල්යායවල්, සුන්දර ලඳු කැලෑ රොදවල් නිසාම අතිශය සුන්දර බවක් පෙන්නුවා. අපේ තාත්තාට තිබුණේ ගොඩඉඩම්වලට වඩා මඩ ඉඩම්. එහෙයින් එතුමා වැවිලිකරුවකුට වඩා කෘෂිකර්මයෙහි යෙදෙන්නෙක් කීවොත් නිවැරැුදියි. අපගේ කුඹුරු සියල්ලම වගා කළේ පියා යටතේ වැඩ කළ ගොවියන්. ඔවුන් පිටස්තරයන් නොවේ. අපගේ ඥාති පවුල්වලට අයත් වූවන්මයි. ඒ නිසා කුඹුරුවල කටයුතු නිතිපතා සොයා බැලීමේ අවශ්‍යතාවක් තාත්තාට මතුවුණේ නෑ. තාත්තාට ගමේ පොදු කටයුතු සඳහා කාලය තරමක් ඉතිරි වුණේ ඒ නිසයි. එතුමා එළතලව රජ මහා විහාරයේ ප‍්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්. පන්සල නඩත්තු කිරීීම පින්කම් උත්සව ආදිය සංවිධානය සඳහා කාලයක් ගත කළා.
 
 * බටුවාපිටිය පවුල
 
 කුමන කාරණයක් නිසා හෝ අප පවුලට ‘බටුවාපිටිය පවුල’ යන නමක් ද පටබැඳී තිබුණා. තාත්තා බාලසූරිය මුදියන්සේලාගේ මුදලිහාමි වුවත් ගමේ බොහෝදෙනා කීවේ ‘බටුවාපිටියේ මුදියන්සේ’ කියලයි. එකල (1950) සමාජ සංවිධානය බෙහෙවින්ම වෙනස්. එකල ගමකට සංගම් රාශියක් තිබුණා. ග‍්‍රාම සංවර්ධන සමිතිය, ප‍්‍රජා මණ්ඩලය, සාම මණ්ඩලය, අමද්‍යප සංගමය ආදිය පිරිමින්ටත්, ගැහැනු උදවිය සඳහා මහිලා සමිතියක් ද තිබුණා. මේ සියලූ රැස්වීම් පැවැත්වූවේ අපේ වත්තේ සාදන ලද ශාලාවලයි. ගම මධ්‍යයේම පිහිටි බැවින් මේ ශාලා අප ඉඩමේ පවත්වාගෙන ගිය අතර ලාබාල වියේ සිටි අයට ප‍්‍රජා මණ්ඩලයේ පොත් කියවීමටද, රේඩියෝව ඇසීමටද, කී‍්‍රඩා කිරීමටද මහඟු අවස්ථාවක් ඉන් උදා වුණා. කුඩා වියේදීම ඩබ්ලිව්. ඒ. සිල්වා, පියදාස සිරිසේන ආදී නවකතාකරුවන්ගේ නවකතා කියැවීමට ද කොළඹ කවීන්ගේ කවි කියවීමටද අපට අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ අවස්ථාව මගේ අධ්‍යාපනයේ හැඩ තල මතු කරන්න මුල් බිජුවට වපුල බව කිව හැකියි.
 
 * දැකුමට තල
 
 එළතලව කියන නම අපේ ගමට ලැබුණු හැටි අපූරුයි.
 
 ගමේ අය වසරකට වරක් අනුරාධපුරයේ මහ රජ්ජුරුවන් දැකීමට ‘දැකුම්’ අරගෙන ගිියාලූ රජ කාලෙදි. ඒ යනකොට තල වේලා කොටා සුදු පාට තල සකස් කරගෙනයි රජ හමුවට ගියේ. ඒ නිසා මේ ගම ‘එළතලව’ වුණා කියනවා ජනශ‍්‍රැතියෙ. අපේ තාත්තා තරමක උපේක්‍ෂාශීලී කෙනෙක්. තාත්තාගේ පියා අපේ ආතා ඒ ගමේ රාළහාමි වුවත්, ඔහුගෙන් පසු තාත්තා ඒ තනතුර අපේක්‍ෂා කළේ නෑ. ඔහු අධ්‍යාත්මික නැඹුරුවක්ද තිබූ කෙනෙක් නිසා එතුමා පන්සලේ දායක සභාවේ සිට සියලූම සංගම්වල නිලතල දැරුවා. හොඳ කථිකත්වයක්ද තිබුණා. අපගේ අධ්‍යාපනය ගැන විශේෂයෙන් කැපවන්නට තාත්තා උත්සාහ කළේ නැත්තේ අප පොඩි දවසේ සිටම තමන්ගේ කටයුතු කරගෙන යන බව එතුමා තුළ විශ්වායක් තිබූ නිසයි. වසරකට වරක් පොත් ලැයිස්තු රැුගෙන ගුණසේන සමාගමට තාත්තා සමඟ එන ගමන මට හරිම ආස්වාදජනකයි. ඒ ගිහින් එන විට නොයෙක් රසකැවිලි ගෙදර රැුගෙන ආ සැටිත් මට මතකයි. ඒ අලූත් පොත්වල සුවඳ තවමත් මට දැනෙනවා. වත්තේ පවත්වන හැම රැුස්වීමක් ම අවසන් වුණාම ඒ සියලූදෙනා අපේ මහගෙදරට ගොඩවෙලා තේ කෝප්පයක් බීලා සාමීචියේ යෙදිලයි යන්නේ. සමහර ගැමියන් විටක් කන්න එන්නේ තාත්තා ළඟට.
 
 * නිදහස අගය කළ කෙනෙක්
 
 nim28 3තාත්තා නිදහස අගය කළ කෙනෙක්. ඒ නිසා කවුරුවත් අපේ නිදහසට බාධා කළේ නෑ. මං එළතලව රජයේ පාසලටයි 5 පන්තිය දක්වා ගියේ. ඊට පස්සේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට එනවා. තාත්තා එක්ක සති අන්තයේ පොළට යන එකට මං කැමැතියි. ගමේ හැමෝටම හරක් හිටියා. අපටත් ගව පට්ටි තිබුණා. එළවළු වගා කළා. පොළෙන් ගන්න ඕනෑ මිරිස්, තුනපහ ටික විතරයි. වී, පොල් අතිරික්තය කරත්තවල පටවාගෙන ගිහින් මුදලාලිට බාර දෙනවා. වත්තේ කෙසෙල්කන් ටිකක් පොළට යවනවා. මං පොළට යන්න ආසා පොළේ කවිකාරයො ඉන්නවා. දේශකයො ඉන්නවා. විජ්ජාකාරයො ඉන්නවා. ඒ අය තැන් තැන්වල නොයෙක් වැඩ කරනවා. තාත්තා මට රුපියලක් දීලා පොළ වටේ රවුමක් ගහලා බලන්න. අවශ්‍ය දෙයක්  ගන්න කියනවා. මාත් ගිහින් අර ශාස්ත‍්‍ර කියන මිනිස්සු කියන කරන දේවල්, විජ්ජාකාරයො කරන දේවල් බලා ඉඳලා අන්තිමේදී සරුවත් එකක් බීලා පී. බී. අල්විස් පෙරේරා මහත්මයාගේ කවි පොතක් ගන්නවා. තාත්තා බුලත් සිටුවීමත්, එළවළු වගා කිරීමත් කළේ එම  ගොවිතැන් කටයුතු කරන අතරේමයි. බොහෝ විට වගාවන්ට වතුර වක් කළේ මා ඇතුළු පවුලේ දරුවන්. මං පවුලෙ බඩපිස්සා. ලොකු අක්කා සෝමාවතී. ඊළඟට ලීලාවතී, තුන්වැනියා අයියා කුරුණෑගල කෘෂි නිලධාරියෙක් ලෙස හිටියා.
 
 * පොර පොල් ගැසීම- අං ඇඳීම ගොයම් වැඩ අවසන් වන කාලෙට ගමේ හැමෝටම තරමක නිවාඩුවක් ලැබෙන්නෙ. අපේ තාත්තා ඒ විවේක කාලයේදී තමයි අප සමඟ වන්දනාවක යන්නේ. නාඩගමක් නැටැවීමත් තාත්තා මේ අවස්ථාවේදී කරන දෙයක්. පොර පොල් ගැසීම. අං ඇදීම වැනි කී‍්‍රඩාවක්  ගමේ අය සමග පී‍්‍රීතිමත්ව කරන්නටත් තාත්තා කැමැතියි. වෙල්යාය හිස්වෙලා පිට්ටනියක් වගේ (කි‍්‍රකට්) බෝල  ගැහීමට වැඩිහිටි තරුණ කවුරුත් එකතු වෙනවා. ළමයින් රොද බැඳ මෙහි සෙල්ලම් කරන අතරේ තාත්තාත් එනවා. තාත්තාට බෝල ගැසීම එතරම් හුරු නැති බැවින් ළමයින් හිනාවෙනවා. තාත්තාත් පොඩි ළමයින්ට එකතුව එයත් හිනාවෙනවා.
 
 * රජ්ජුරුවන්ට මුදියන්සේ කියලා
 
 ගමේ තරුණ පිරිස වරක් නාඩගමක් නටන්නට පොල්කොට සිටුවා හරහට ලෑලි දමා වේදිකාවක් සකස් කළා. අපේ තාත්තා මේකෙ රජ පාට් එකක. එයා බොහොම තේජස් ලීලාවක් පාගෙන ඇවිත් ඇලූමිනියම් ගා පාට කළ ලී කඩුව උජාරුවෙන් ගෙන දෙවරක් කරකවා බොහොම තදින් යමක් කියා ඇමැතියාට අණක් දුන්නා. ඔහු බයෙන් වෙවුලමින් දණ නමා හිසත් නවාගෙන ‘‘එහෙමයි මුදියන්සේ මාමෙ’’ කීවා. සියල්ලෝම ඔල්වරසන් දී සිනාසුණා. පොර පොල්  ගැසීම හා අං ඇඳීම කී‍්‍රඩාවෙදිත් අපූරු දේවල් වෙලා තියෙනවා. දවස් දෙක තුන පිට පළාත්වල ඇවිදලා මේ පොර පොල් හොයාගත්තෙ. මේ පොල් කෙළිය දෙවියන් උදෙසා පවත්වනවා වුණාට මිනිසුන්ට හරිම පී‍්‍රතිදායකයි.
 
 * කැති පහරින් බෙරය බිඳෙයි
 
 උත්සවය පටන් ගන්නේ සියල්ලනට කිරිබත් දානයක් දීලයි. අවසානයේ උඩුපිල යා යටිපිල දෙකෙන් එකක් දිනනවා. එදා දින්නේ උඩුපිල. උඩපිලේ පිරිස යටි පිලේ සාමාජිකයන්ගේ ගෙවල් ගානේ යමින් බෙර
 ගසමින් නටමින් විහිළු තහළු කරනවා. ඒ වෙලාවෙ ඉන් කිපුණු යටිපිලේ මිනිසකු තමාගේ මිදුලේ නටමින් පිටි පිරිස දෙසට කැත්තකින් දමා ගැසුවා. ඒ කැති පහරින් ශබ්ද නඟන බෙරය බිඳී ගියා. විහිළුව ඉන් නතර වුණා. පසුවදා දෙපිරිසෙ අය අතර විරසකයක් තිබුණෙ නෑ. තාත්තාට අවශ්‍ය වුණේ මේවාට අපත් සහභාගී කර ඒ සංස්කෘතිය අපට කියා දෙන්න. ඒ ගැමි සමාජය ප‍්‍රචණ්ඩකාරී නෑ. අහිංසක විහිළු පමණයි. මේවා අපට නොකියා උගැන්වීමයි තාත්තා කළේ කියා හිතනවා. අපේ තාත්තාට අයිති හරක් පට්ටි තිබුණ බව මා කලින් කීවා. එතුමා සතුනට හැදෙන රෝග ගැන දන්නවා. ඒවාට කරන බෙහෙත් ද දන්නවා. 1953 විශාල ජල ගැල්මක් ඇවිත් අපේ ගම් පාළු වුණා. හරක් පට්ටි පිටින් වතුරට ගහගෙන ගියා. මුළු වයඹ පළාතම මේ ගංවතුරින් විනාශ වුණා. තාත්තා දරුවන් වගේ හදාපු හරක් වතු-රට ගහගෙන ගිය වෙලාවෙනම් මේ තාත්තා කම්පා වුණා කියලා හිතෙනවා. වස්සාන කාලය එළැඹුණාම අපේ කට්ටියම ගංවතුරට ගහගෙන ගියාම ඇතිවන කම්පාව ඔබට සිතා ගත හැකියි නේද?
 
 * ලූල්ලූ මිදුලේ බඩ ගානවා
 
 මේ වැසි සමයේම සිදුවූ තවත් සිදුවීමක් මට මතකයි. දිනක් අපේ ගේ අසලම තිබූ විශාල පොකුණේ (පතහෙන්) තරමක ලූල්ලූ තුන්දෙනකු ගොඩගසා සිටියා. මා ඔවුන් එක එකා ඇදගෙන ගොස් මිදුලේ දාලා බලාගෙන හිටියා. ලූල්ලූ ඒ මේ අත බඩගාමින් යනු දුටු තාත්තා කිසිත් නොකියා ගෝනියක් රැගෙන විත් ඒ මාළුන් තිදෙනා යළි පතහටම ගෙන ගොස් දැම්මා. ‘මා මස් මාළු කන්නේ නෑ.’ ‘බ‍්‍රාහ්මණ කුලයේ කෙනෙක් අපේ ගෙදර ඉපදිලා ’යැයි අම්මා කියන්නේ ඒකයි. තාත්තා මාළු පතහට යළි ගෙන ගොස් දැම්මා මිසක මට බැන්නේවත් නෑ. තාත්තා එසේ කළේ මා මාළු නොකන නිසාද? නොඑසේ නම් මී ගවයන් මිය යෑමෙන් ඇතිවූ කනගාටුව නිසා දැයි මට මේ මොහොතේත් සිතාගත නොහැකියි.
 
 * කරත්තයෙන් උසාවියට
 
 ‘‘අපේ තාත්තා දීර්ඝ කාලයක් වෙහෙස මහන්සිව වැඩ කළ කෙනෙක්. එතුමාගේ පවුලේ පිරිමි සහෝදරයන් අකාලයේ මියයෑම නිසා බූදල් වූ ඉඩකඩම් කුඹුරු ඒ සහෝදරයන්ගේ ළමා ළපැටින්ට ලබාදීමට අපේ තාත්තා ඒ දරුවන් ද සමඟ කරත්තයෙන්ම කුරුණෑගල උසාවියට ගියා මතකයි. තාත්තා එසේ කළත් ඒ පවුල්වල දූ පුතුන් අපේ තාත්තාට ගරුසරු කළේ නෑ. තාත්තා අමාරුවෙන් නඩු කියා බේරා පවරා දුන් ඉඩකඩම් කොටස් කුඹුරු ඒ අය පිටගම්කාරයන්ට රහසේ විකුණා තිබුණා. පොල් වගා කිරීමට බාරදුන් ඉඩකඩම් ආපසු බේරා ගැනීමට උනන්දුවක් ගත්තෙත් නෑ. කුඹුරු බලා හදාගෙන වැඩ කිරීමට ගෙන්වාගත් ඥාතීන් ද කලකදී බීමට ඇබ්බැහි වුණා.
 
 ගොවිතැන් ඕනෑවට එපාවට කිරීමෙන් අසාර්ථක වුණා. බලා හදා ගැනීමට දුන් ගවයන් පවා රහසේ විකුණලා තිබුණා. මේවාට හේතුව මේ වැඩ කිරීමට වෙනත් පිරිමියකු නොසිටීමයි. මා ඉගෙනීමේ කටයුතුවලට වෙන්වීමයි. තාත්තා උපේක්‍ෂාවෙන් මේවා විඳ දරාගෙන ‘පුතේ, ඉහළටම ඉගෙන ගන්න’ කියලා විතරයි කීවේ.
 
 * දියමලංකාවට කරණමක්
 
 තාත්තා ලබා දුන් නිදහසින් මා වැරදි වැඩ කළේ නෑ. මගේ ගමන ටිකින් ටික සකස් කරගත්තා. ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම ගමේ කොල්ලො එක්ක දියමලංකාව වැවට නම් නාන්න යනවා. ඒ වැව මැද හරියෙ කුඩා කුඩා දූපත් තියෙනවා. මේවාට පීනන්නත් ආසයි. ඉස්සෙල්ලාම කරන්නෙ අර වැව අයිනෙ තිබෙන කුඹුක් ගහක නැඟීමට කජු ගහක මාර ගහක මුදුනටම නැඟලා වතුරට පිනුමක් ගහන එක. ඉහළම අත්තක ඉඳන් පිනුම ගහන්නෙ වීරයා. ඊළඟට අර දූපතකට පිහිනීම. ඒ කාලේ මානසිකත්වය එහෙමයි.
 
 * සොකඩයෙන් සුව
 
 අපේ තාත්තා හොඳ ගැමි පශු වෛද්‍යවරයෙක්. එයාට පශු වෛද්‍ය සහතික නැති වුණාට ඕනෑම ගව කුර ලෙඩක් සතාගේ බෙල්ලේ එල්ලන සොකඩයකින් සුව කරනවා. බෙහෙත් වර්ගත් කරනවා. පොඩි පොඩි මන්ත‍්‍රත් මෙතුමා දන්නවා. කවරදාවත් ගවයෙක් මසට වික්කේ නෑ. ‘පිං’ කියලා කොටවලා පිනට ඇරීමයි කළේ.
 
 1967 වසරේ මං විශ්වවිද්‍යාලයට ඇතු-ළු වන්නේ විද්‍යෝදයට. ගුණරත්න මාවුනාව පසුකාලයක (බිංගිරියේ හිටපු ගම් සභාපති) එයාගෙ කාරයෙන් තාත්තයි මාවයි ගෙනැවිත් ඇරලූවා. ඕනෑ කරන දේවල් සියල්ල අරන් දීලා. සල්ලිත් අවශ්‍ය තරමට දීලයි තාත්තා බාර දීලා  ගියේ. තමන්ගෙ දරුවා විශ්වවිද්‍යාලයට යනවා කියන අභිමානය තාත්තාට තිබුණා ද මා දන්නේ නෑ. ඒත් ඒකෙන් එයා උදම් වුණේ නෑ. පශ්චාත් උපාධි හදාරන්න 1971 දී ප‍්‍රංශයේ ‘සෝබෝන්’ යද්දි නම් තාත්තා හරියට සතුටු වුණා. එයාගෙ දිලිසෙන ඇස් මට කීවේ ඒ ටිකයි.
 
 * හොඳ කෑම වේලක්
 
 ඊට පෙරදා රාති‍්‍රයේ තාත්තා අසල්වැසියන් නෑදෑයෝ ගෙන්වලා හොඳ කෑම වේලක් දුන්නා. ඒ සතුට ට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මට හමුවන්නේ යාළුවෙක් විදියට සෝබෝන්වලදි. එයාගේ නරකක් මා දැක්කෙ නෑ. කවුරුත් සමඟ සුහදව එකම පංතියේ හිටියා. මට භාෂා ඉගෙනුමටත් ආශාවක් ආවා. ඒක එන්නේ තරමක පුංචි කාලෙ ඉඳලයි. මගෙ අම්මගෙ තාත්තා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. භාෂා කීපයක් දන්නවා. හුඟාක් සංචාරය කළ දැනුම් තේරුම් ඇති කෙනෙක්. ඒ බලපෑම මටත් ආවා වගෙයි. අපේ තාත්තා එළතලව රජමහා විහාර පන්සලේ ප‍්‍රධාන දායකයෙක් වුණා. පසු කාලයක එතු-මා කළකිරීමකට පත්වෙලා ගමට අලූත් විහාරයක් පවා හැදෙව්වා. ඒ භික්‍ෂූන් වහන්සේලා ගිහියන්ගෙ ගණයට ළංවෙමින් ධන ධාන්‍ය රැුස් කරමින් සුඛෝපභෝගි ජීවිතයට ළං වන බව ගමේ පිරිසක් සමග සාකච්ඡුා කිරීමෙන් පසුවයි. මුලින් ගම දෙකට බෙදී දායකයන් දෙපිලක් වුණත් පසුව මේ අලූත් පන්සලත් ගමේ පන්සලත් ශාසනික සේවයටම කැප වුණා.
 
 * ඉහළ පෙළැන්තිය හා පහළ පෙළැන්තිය
 
 එස්. ඩබ්ලිව්. බණ්ඩාරනායක මහත්මයාට තාත්තාගේ ලොකු ගෞරවයක් තිබුණා. ඉහළම පැළැන්තියේ ඉඳලා පහළ පැළැන්තියට ගමන් කිරීම වැදගත් බවයි. තාත්තා කියා සිටියේ. බණ්ඩාරනායක මැතිතුමා එහෙම කෙනෙක්. දැන් පහළ ඉන්නා මිනිස්සු ඉහලට එසැවෙන යුගය කියලා තාත්තා සතුටු වුණා. පී. බී. අල්විස් පෙරේරා, ටී. බී. තෙන්නකෝන්, ටී. බී. ඉලංගරත්න, වන්නිනායක වැනි චරිත ගැනත් තාත්තාට පැහැදීමක් තිබුණා. එතුමා 1959 මරා දැම්මාම මගේ තාත්තාත් මහත් කම්පාවට පත් වුණා. මා රටේ නමක් දිනාගෙන පොත්පත් ලියන බව දන්නවා වුණාට එතුමා ඒ ගැන කතා කළේ නෑ. ‘වප්මඟුල’ ‘කරත්තය’ මේ පොත්වලට ඇගයුම් ලැබෙනකොට තාත්තා සතුටු වන්නට ඇති.
 
 * වී කොළ කඳු
 
 අවුරුදු 85 ක් එතුමා ජීවත් වුණා. අවසන් කාලයේ තමන්ගේ ඉඩම්කඩම් කුඹුර මේ හැමදේ ගැනම එතුමා තුළ වූයේ උදාසීන බවයි. එක කන්නයක වී කොළ කඳු අනෙක් කන්නය දක්වා පරණ වෙමින් කමත්වලම තිබුණැයි කියනවා. පැරැුණි ගොවියන් රෝගාතුරව වයස්ගතව සිටියා. කුඹුරුවල කොටස් කොටස් වෙනත් අයවලූන් අල්ලා ගෙන ගොවිතැන් කරන්නට ගත්තත් අපේ තාත්තා උපේක්‍ෂාවෙන් ඒ දිහාත් බලාගෙන සිටියා.
 
 * නෑයින් ආවෙත් නෑ
 
 වසරකට සාමාන්‍යයෙන් දෙවරක් හෝ තෙවරක් පැමිණි නෑදෑයෝ ද ඔවුන් බැලීමට අපගෙ යෑම් ද බොහෝ අඩු වුණා. ගව සම්පත සම්පූර්ණයෙන්ම නැතිව ගියා. තාත්තා ගවයන් මසට වික්කේ නම් නෑ. තාත්තා ශාරීරිකව නම් දුබලව සිටියේ නෑ. (1989) දවසක් රාති‍්‍රයේ නාන කාමරයට යද්දි එතු-මා ලිස්සා වැටී තිබුණත් ඒ ගැන කිසිවෙකුටවත් කීවේ නෑ. නමුත් ඇවිදීමේ දුෂ්කරතාවක් ආවා. සිංහල වෙදකම් කළා. තරමක් සුවය ලැබූ පසු එතුමා විවේකයෙන් ටික දවසක් කල් ඇරියා. මේ අතර දවසක් මං ගෙදර එනවිට තාත්තාගේ ආයු කාලය දිගු එකක් නොවන බව මට තේරුණා. මා එතුමාව කොහේ හරි එක්ක යන්ට හිතා හලාවත යමු දැයි ඇහුවා. වෙනදා උදාසීනව මෙවැනි යෝජනා ඉවත ලන තාත්තා එදා සතුටු වුණා. මා ඔහුත් රැගෙන උදේ රැයින්ම හලාවත ගියේ බොහොම සතුටකින්. ඒ යන ගමනේ දෙපස දසුන් බලා සිටි තාත්තා හලාවතට යන පාරේ වැව් පිටි බලා සිටියේ උනන්දුවකින්. අවසානයේ මුන්නේශ්වරමට එක්ක ගිහින් මල් වට්ටියක් පූජා කොට පොල් ගෙඩියක් ද ගසා හලාවත රෙස්ට්හවුසියේදී අප කෑම කෑවා. මේ ඔක්කොමටත් වඩා සතුටු එතුමා මුහුදු රළ පෑගීමට කැටුව යෑමයි. ඇති වෙලාවක් එතැන ඉන්ට හැර දැන් දහවල් වී ඇති බැවින් රා ටිකක් බීමට කැමැති දැයි මා ඇසුවා. තාත්තා සතුටු වුණා. (අපි පම්බල ගමේ රා පොළට ගොස් රා පොල් කටු හතර පහ බැගින් බීවෙමු.) මා තාත්තා ඉතාම පී‍්‍රතිමත්ව සිටි දිනයක් ලෙස ඒ දවස දකිනවා.
 
 * රිදුම් දුන් වදන් කස පහර
 
 ඊට පස්සේ මාස දෙකක් යනතුරු මට තාත්තා බැලීමට යන්නට බැරි වුණා. හදිසියේම මට ගෙදරින් පණිවුඩයක් ලැබුණා. තාත්තා අන්ත‍්‍රා වුණා... ඒ වදන් කස පහර මට රිදුම් දුන්නා. අපේ ගෙදර අය සමග සරත් විජේසූරිය මහාචාර්යතුමත් ඒ ගමන ආවා. බොහෝ වේලා කල්පනා කර වත්තේ කෙළවර වෙළක තුනැස්සක් මත (නියර තුනක් යාවන තැන) මත දර සෑය තබා ලස්සනට සැකැසුවා. ඒ උඩින් මී හා කොහොඹ ගස් යට විශාල (වී බිස්සෙන් හැදූ ගල්) බිහි ගල් තබා ඒ දර සෑය බැඳෙව්වා. සියලූ ආගමික චාරිත‍්‍ර මනාව ඉටු කළා. අප පවුලේ සියලූ දෙනා ඥාති මිත‍්‍රාදීන් එක්ව දේහය අතින් අත මාරු කරමින් ගෙන ගොස් දර සෑයේ තබා ගිනි දැල් වූවා.
 
 * පිලිස්සෙන දේහය
 
 පාන්දර තුන හතරට විතර සරත් විජේසූරිය දේහය පිලිස්සෙන තැනට යමු දැයි මට යෝජනා කළා. ගිනි දැල්වෙමින් තිබුණ ද එහි ශේෂව තිබූ යමක් පෙනුනේ නැහැ. එහෙත් සියල්ල දැවී ගොසින් නැත. තාත්තා පිළිබඳ මතකය මගේ සිතින් දවාලන්නට කාටවත් බැරි බව මට හිතුනා. දර සෑය ගැසූ විශාල නියර මත අපි අරුණාලෝකය වැටෙන විටත් කතා කරමින් සිටියෙමු.
 
 *උපාලි සමරසිංහ
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles