Divaina - ගොවිතැනේ වැඩිම වියදම වල් මර්දනයටලු... පරිසරය නොරිදවා එළවළු ගොවිතැනේ වල් පැළ මර්දනය කරන්න රහසක්!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

- එළවළු අස්වැන්නට වැඩිම බලපෑම  පළමු මාසය තුළ  වගාබිමේ තිබෙන  වල් පැළ

 
nim1 3ලංකාවේ භාවිත කෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය අතරින් පසුගිය කාලයේ වැඩියෙන්ම බැණුම් ඇසූ නිෂ්පාදනය කුමක් දැයි මතක් කළහොත් ඉදිරියටම එන්නේ ග්ලයිෆොසෙට් ය. මේ වනවිටත් නිශ්චිත හේතුව කුමක්දැයි හරියටම හඳුනා නොගත් රජරට වකුගඩු රෝගයේ ප‍්‍රධාන විත්තිකරු වූයේ ද මෙම නිෂ්පාදනයයි. නඩු නොඅසාම ජනතාවගේ යහපත උදෙසා සැකයේ වාසිය පමණක් තබාගනිමින් එය තහනම් කරන්නට ද පියවර ගැනීම අගය කළ යුත්තකි. කෙසේ වෙතත් වැවිලි බෝගයන්හි වල් මර්දනය සඳහා ඇති කම්කරු හිඟය හේතුවෙන්, අස්වැන්න ඉහළින් පවත්වාගැනීමේ අවශ්‍යතාව පෙරදැරිව යම් සීමාවන්ට යටත්ව ග්ලයිෆොසෙට් භාවිතයට යළිත් අවසර ලැබිණ. වැවිලිකරුවන්ගේ ප‍්‍රශ්නය එතෙකින් නිමාවුවද, සාමාන්‍ය ගොවියාට පවා මෙය නැතිවම බැරි ‘බෙහෙතක්’ බවට පත්වී ඇති බව පෙනෙන්නේ හොර පාරෙන් රට තුළට රැගෙන එන ග්ලයිෆොසෙට් තොග අත්අඩංගුවට පත්වීමත් සමගිනි. මේ පිළිබඳ පසුගිය දිනෙක ‘දිවයින’ දිනපතා පුවත්පතට ලිපියක් සපයමින් මා පෙන්වා දුන්නේ මෙහි ඇති අවදානමයි. වඩාත්ම භයානක වන්නේ ග්ලයිෆොසෙට් යනුවෙන් අලෙවිකරණ මේවාහි ප‍්‍රමිතිය ගැන සඳහනක් නොතිබීමයි. නම ග්ලයිෆොසෙට් වුණත් ලේබල් නොමැතිව සංසරණය වන මේවා හරහා මොන දහජරාවක් අපගේ වගාබිම් වලට එනවා දැයි දන්නේ දෙවියන් පමණි. ගොවියා මේ තරමට ග්ලයිෆොසෙට් පසුපස යන්නේ එහි ඇති සංස්ථානික ක‍්‍රියාව නිසාය. එනම් මෙය පත‍්‍රවලින් ශාකයට උරාගෙන මුල් දක්වා පවා පරිවහනය වී මුළු ශාකයම මරා දමනා බැවිණි. ගෑවුන තැන පමණක් ක්ෂණිකව මරා,
 
nim1 1 ගොවියාගේ හිත තාවකාලිකව සනසන අතරතුර හොර රහසේම වල් පැළයේ ජීවිතයත් රැුකදෙන ස්පර්ශ වල් නාශකයන්හි ක‍්‍රියාවට වඩා එය සුපිරිය. දිගුකාලීන විසඳුමක් ද වේ. ගොවිපොළේ බහුල කලාඳුරු, ඇටවරා වැනි භූගත දේහ කොටස් සහිත වල් පැළ අතුගෑවී යන්නේ මෙම ක‍්‍රියාවලිය හේතුවෙනි.
 
 කෘෂිකර්මාන්තයේ ආරම්භය වූවා සේ සැලකෙන්නේ වසර දහස් ගණනකට පෙරාතුව ඇරඹුණු වනගත ශාකයන්ගේ ගෘහස්තකරණයත් සමගය. වල් පැළ වනාහී මෙම බෝග ශාකවලට සමගාමීව වගාබිම තුළම ගෘහස්තකරණයට හසුවූ අනවශ්‍ය පැළෑටි විශේෂයකි. ඒ නිසා ඉන් මිදීමට වගාකරුවන් උපයෝගී කරගනු ලැබූ වල් මර්දන ක‍්‍රමවේදයන් ද කෘෂිකර්මාන්තය සේම පැරණිය. වල් මර්දනය සඳහා එදා සිටම පැවති ප‍්‍රචලිත ක‍්‍රමය වන්නේ මිනිස් ශ‍්‍රමය යොදාගනිමින් සිදුකරන අතින් වල් පැළ ඉදිරීම, ආයුධ මඟින් කපා දැමීම වැනි සරල පිළිවෙත් වේ. ඊට අමතරව ලූණු, දැව අළු ආදී දෑ ඉසීම හරහා ගොවිතැනේ වල් මර්දනය කළ බවට ද ඉතිහාසයේ සාක්ෂි තිබේ. විවිධ යුගයන් පසුකරමින් පැමිණි, මිනිස් ශ‍්‍රමය පාදක වූ මෙම පිළිවෙත් නොවෙනස්ව පැවතුනේ ළමයින් හා කාන්තාවන්ගේ දෑතේ සවිය නොඅඩුව ගොවිතැනට ලැබුණු නිසා බව සිතිය හැකිය. වෙනසක් ඇති වූයේ කාර්මික විප්ලවයත් සමග කම්හල්වල වැඩට දරුවන් හා කාන්තාවන් දෙකොට්ඨාසය යොමුවීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. බිහිවූ ශ‍්‍රම ඌණතාව මඟහරවාගැනීම උදෙසා වල් මර්දන ක‍්‍රමයන්ගේ ද වෙනස්වීම් සිදුවූ බව පෙනේ. මේ හරහා වල් මර්දනය සඳහා වූ රසායන ද්‍රව්‍ය කරළියට පැමිණුනු අතර එතෙක් 1950 වසර පමණ වනතුරු වල් නාශක වෙළෙඳාමට මෙතරම් තැනක් කෘෂිකර්මාන්තය තුළ තිබුණේ ද නැත. මේ ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය ලෙස සලකනු ලැබුවේ 1960 - 70 අතර වූ දශකයයි.
 
 කෙසේ වෙතත් කැනඩාවේ සස්කචවාන් විශ්වවිද්‍යාලයේ විද්වත් දෙපළක් වන හෝම් සහ ජොන්සන් පවසන පරිදි වල් නාශක ව්‍යාපාරයේ අනාගතය නම් ක‍්‍රමයෙන් බොඳවෙමින් පවතින්නේය. සමාගම් මඟින් ලියාපදිංචිය සඳහා එළිදක්වනු ලබන වල් නාශක ප‍්‍රමාණය ද ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතී. මීට හේතු ලෙස ඔවුන් දකිනා ප‍්‍රධාන කරුණු දෙකකි. එකක් නම් ස්වාභාවිකවම සිදුවන ශාක පරිණාමය නිසා වල් නාශකවලට ඔරොත්තු දෙන, නැතහොත් ඒවාට ප‍්‍රතිරෝධී වන වල් පැළ වර්ග බිහිවීමයි. බිහිවන අලූත් මාදිලිවලට ගැලපෙන පරිදි තම නිෂ්පාදනයන්හි සංයුතිය වෙනස්කිරීමට සමාගම් විසින් කරනා පර්යේෂණ අරගලයන්හි කෙළවරක් නොපෙනෙන තැන, ඔවුන් ද වෙහෙසට පත්ව සිටී. අනෙක් කරුණ වන්නේ සමාජය විසින් පරිසරයේ ආරක්ෂාව ගැන සිතනා ප‍්‍රමාණය පෙරට වඩා වැඩි වී වල් නාශක ප‍්‍රතික්ෂේප කිරීමට ඇති නැඹුරුවයි.
 
 nim1 2වල් නාශක ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කෙරුවේ ප‍්‍රධාන වශයෙන් තේ, රබර්, පොල් වැනි වැවිලි බෝග සහිත විශාල වතු හරහාත්, වී වගා කෙරෙන කුඹුරු යාය තුළිනුත්ය. එසේ වුවත් එළවළු වගාවේ නම් බහුලව භාවිත කෙරුවේ අතීතයේම පුරුද්දක් වූ ගොවියාගේ ශ‍්‍රමය පදනම් වූ අතින් කරන වල් මර්දනයයි. වසවිස කතාබහ වැඩිපුරම ඇසෙන්නේ එළවළු හා පලතුරු පැත්තෙන් වුව ද ඒවා බොහෝ විට පදනම් වන්නේ පළිබෝධනාශක යෙදීම මත මිස වල් නාශක සම්බන්ධයෙන් නොවේ. එසේ නම් අද දවසේ කෘෂි විද්වතුන්ගේ වගකීම වන්නේ එළවළු කොරටුවේ
 
 ගොවියා අතට වල් නාශක බෝතලය නොලැබෙන තැනට තවදුරටත් කටයුතු සම්පාදනය කිරීමයි. ඒ සඳහා සම්ප‍්‍රදායික ක‍්‍රමයන් වර්තමානයට ගැලපෙන පරිදි සුසර කිරීම සඳහා පර්යේෂණ කළ යුතුවේ. ලැබෙන ප‍්‍රතිඵල සාධාරණ යැයි සාමාන්‍ය ජනතාවට තේරුම් යන්නේ නම්, අනවසර වල් නාශක පවා හඹා යමින් ඔහු දැලිපිහියෙන් කිරි කන්නට දඟලන්නේ නැත.
 
 එළවළු පර්යේෂණයන්හි මහගෙදර සේ සැලකෙන ගන්නොරුවේ උද්‍යාන බෝග පර්යේෂණායතනයේදී මේ වෙනුවෙන් දැනට වසර දෙකක පටන් කළ පර්යේෂණයක සාර්ථක අනාවරණයක් අපට
 
 දැනගන්නට ලැබී තිබේ. ගෙවත්තේ මිරිස් පැළ හත අටක් සිටුවාගෙන වැඩි සැලකිල්ලට දින හතර පහකට වරක් පාත්තිය උදලූ ගාන ගෙවතු වගාකරුවාට පවා එම සොයාගත් දෑ වටින්නේය. පර්යේෂණය මෙහෙයවා ඇත්තේ වල් පැළෑටි පිළිබඳ විශේෂඥ අනුරුද්ධිකා අබේසේකර හා ඇයගේ සහයිකාව වූ කෘෂිකර්ම උපදේශිකා උදයානි හේරත් ය.
 
 ”ගිරාඳුරුකෝට්ටේ හා පස්යාල යන ස්ථානවල  ගොවිපොළවල් පවා එකතුකරගෙන මූලිකව අධ්‍යයනය කෙරුවේ ගන්නෝරුවේ. එළවළු වශයෙන් මාළුමිරිස්, තක්කාලි, බණ්ඩක්කා, වම්බටු, බෝංචි වැනි වර්ග කිහිපයක්ම අපි භාවිත කළා. ගොවීන්ගේ සාමාන්‍ය පිළිවෙත තමයි බෝගය සිටුවලා කලක් බලා සිටිනවා වල් පැළ මතුවනතුරු. මේ කාලය තුළදී බෝගයේ පැළ මෙන්ම වල් ගසුත් බොහොම පුංචියි. සම්පත් සඳහා එම කාලය තුළදී දෙගොල්ලන්ගේම තිබෙන්නේ කරට කර සටනක්. පරිසරයට තිබෙන වැඩි අනුවර්තන හැකියාවන් නිසා මේ තරගයෙන් වල් පැළ ජයගන්නවා. ළපටි කාලයේදී බෝගය ලබන එම පරාජය ලෙහෙසියකට ප‍්‍රතිපූර්ණය කරගන්න බෑ. ඒ අනුව අපට පෙනී ගියා පළමු මාසය තුළ වල් මර්දනය නොකරන හෝ පමා කරන වගාවල අස්වැන්නට ලොකු බලපෑමක් ඇතිවන බව. පස්සේ කොච්චර උදලූ ගෑවත් ඒ අඩුව පිරිමැහෙන්නේ නෑ.”
 
 ඒ අනුරුද්ධිකා මහත්මියගේ අදහසයි. ”එය ඇත්තක් නම්, මහන්සි වී පොළොව කොටා කැට පොඩිකර, පාත්ති දමා පැළ සිටවූ පසු සතියක් දෙකක් ගොවියා ලබාගන්නා සාධාරණ විරාමය තුළදී බරපතළ හානියක් බෝගයට සිදුවී තිබේ. ඇයගේ අදහස වෙනත් වචනයෙන් කියනවා නම් පළමු මාසය පසුකරන තෙක් වල් පැළ වලින් තොරව වගාව පවත්වා ගන්නේ නම්, ඉන්පසු කාලයේදී වල් මර්දනය යන පදය එතරම් ඔළුවට දමාගත යුතු ද නැත. ඒ කාලයේදී බෝග පාත්තියේ ඉහළට එසවෙන වල් පැළ වලින් බෝගයට ඇතිකෙරෙනුයේ අවම බලපෑමකි. බෝගයේ පැළ ඒ වනවිට හොඳින් ස්ථාපනය වී ඇති නිසා අලූත පැළවන වල්ගස් සමග වූ තරගයෙන් ජයගනු ඇත්තේ බෝගය නිසාය. තක්කාලි වැනි බෝගයක නම් මාසයකින් පසුව වල් උදලූගෑම ඇතැම් විට අස්වැන්න අඩුවීමකට වුවත් හේතුවිය හැකිය. මුල් පද්ධතිය ගැඹුරට නොයන එවැනි බෝගවල නිතර වල් උදලූගෑමෙන් බෝග ශාකවල මුල් කැපීගොස් ගස් ‘බාලවීම‘ සහ මුල් හරහා හානිකර ක්ෂුද්‍රජීවී අසාදන ආදිය සිදුවීම මීට හේතුවයි. පැළ සිටුවන දිනයේ සිටම ගලවන්න කීවාට, අතට හසුවෙන තරමේ වල් පැළ සතියක් හමාරක් යන තෙක් පාත්තියේ නැත්නම් ගොවියා කළ යුත්තේ වල් ගැලවීම නොව, වල් මතුවීම අවහිර කරන්නට කටයුතු යෙදීමයි. එය කළ හැකි ආකාරය ගැන ද පැහැදිලි කිරීමක් ඔවුන්ගේ පර්යේෂණ තොරතුරු වාර්තාවේ ඇතුළත්ය.” අප සමග එය පැවසුවේ කෘෂිකර්ම උපදේශිකා උදයානි ය.
 
 ”හොඳම ක‍්‍රමය තමයි වසුනක් භාවිත කරලා වල් පැළ මතුවන එක මුල සිටම අවහිර කරන එක. පොලිතීන් වැස්මක් භූමියට යොදලා එහි අදාළ තැන්වල සිදුරු හදලා පැළ සිටුවීම ඉතාමත් සාර්ථක ක‍්‍රමයක්. හැබැයි මුලදී වියදම ටිකක් වැඩියි. ඊට අමතරව අපි භාවිත කෙරුවා කාබනික ඇතුරුම් ද්‍රව්‍ය. උදාහරණ වශයෙන් ගිලිරිසීඩියා කොළ, වියළි පයිනස් කොළ, කැපූ තණකොළ, පිදුරු ආදිය. ග්ලිරිසීඩියා ඇතිරූ පාත්තියෙන් තමයි වැඩියෙන්ම අස්වැන්න දුන්නේ. ඊළඟට පිළිවෙළින් අඩුවෙන පිළිවෙළට කැපූ තණකොළ, පිදුරු හා වියළි පයිනස් පත‍්‍ර ප‍්‍රතිඵල ලබා දුන්නා.”
 
 පොලිතීන් වැස්ම මෙන් නොව මෙම කාබනික ඇතුරුම් ද්‍රව්‍ය හරහා අතිරේක වාසියක් ද සැලසෙන්නේය. මන්දයත් පළමු මාසය තුළදී සිදුකෙරෙන වල් මර්දන මෙහෙයුම අවසානයේදී ඇතිරූ ද්‍රව්‍යය ද දිරා එතැනටම පොහොරක් වන බැවිනි. පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගතය අතින් රනිල ශාකයක් වන ග්ලිරිසීඩියාහි පත‍්‍ර ඉදිරියෙන්ම සිටින නිසා වැඩි අස්වැන්නක් ලබාදීමට එය ද හේතුවූවා විය හැකිය. එහෙත් එය වෙනම පර්යේෂණයකින් සනාථ කළ යුත්තක් බැවින් ස්ථිර ප‍්‍රකාශයක් කිරීම අප පසුවට තබමු.
 
 බෝගය සිටවූවායින් පසුව ඉහළට එසවෙන වල් පැළ මැඬලීමට එලෙස ක‍්‍රමෝපායන් සැලසුම් කළ ද මූලික බිම් සැකසීමේදී පවා ගොවියා අතින් සිදුවන අඩුපාඩුකම් කිහිපයක් පෙන්වා දීමට අනුරුද්ධිකා මහත්මිය ඉදිරිපත් වූවාය. ඇත්ත වශයෙන්ම එම මූලික පියවරයන් නිවැරදිව අනුගමනය කෙරුවා නම්, බෝගය සිටුවා පළමු මාසය තුළ වුවත් මෙතරම් දඟලන්නට වෙන්නේ නැත. භූමියේ ආරම්භක වල් පැළ සංචිතය අවම අගයකට පත්කර ගැනීමට ගොවියා පියවර ගත යුතු බව ඇය පවසයි.
 
 ”අපේ ගොවීන් කරන ලොකු වැරද්දක් තමයි යම් බෝගයක අස්වැන්න කන්නය අවසානයේදී ලබාගත්තායින් පස්සේ, කුඹුරේ ඉපනැල්ල අතහැර දානවා වගේ බෝග අවශේෂ කොටසුත් එක්ක ගොවිපොළ අතහරිනවා. ඊළඟ කන්නය පටන්ගන්න තෙක් එතන බරපතළ විදියට තණකොළ හැදෙනවා. මේ කරන්නේ වුවමනාවෙන්ම වල් පැළ බෝකර ගැනීමක්. සමහර වල් ගස් බීජ පවා නිපදවලා පසට දානවා. මේ හැම එකෙන්ම වෙන්නේ පසේ වල් පැළ සංචිතය ඉහළ යාම. එළවළු ගොවියා අන්තිම මොහොත වෙනතුරු ඉන්නවා ඊළඟ කන්නයේ වැඩ පටන්ගන්න. එයා අද දවසේ සී සෑම කරනවා. හෙට කැට පොඩිකරනවා. අනිද්දා පාත්ති දාල හිටවනවා. සී සෑමේදී අර තිබෙන වල් ගස් සේරෝම කෑලිවලට කැඩෙනවා. ඒ හැම එකකින්ම අලූත් පැළයක් හදන්න පුළුවන්.”
 
 අපේ එළවළු ගොවියා වෙනුවෙන් කතාවේ ඉතුරු ටික ඇසුවේ නැතත් කම් නැත. අමුඩය ගසාගෙන ඇත්තේ කඩුල්ලේ හරස් ලීයත් අහුවෙන පරිද්දෙනි. ගැලවීමක් නම් නැත. පුදුමය වන්නේ මෙතරම් කාර්යක්ෂම ඉල්ලාගෙන කෑමක් හමුවේ වගාව නන්නත්තාර වී නොයෑමයි. අත දිගහැර සතුරාට බෝවෙන්නට ඉඩදී, සියලූ අවි අමෝරාගෙන ඔහු වෙත කඩා පනින්නා සේ අප රසායනික වල් නාශක ප‍්‍රහාරයකින් කටයුතු සමනය කරන්නෙමු. පරිසරය වනසන්නෙමු. කෘෂිකර්මාන්තය ඇරඹුණු දා පටන්ම කාලය, ශ‍්‍රමය හා මුදල් වැඩිපුරම වියදම් කර ඇත්තේ අනෙක් ගොවිතැන් මෙහෙයුම්වලට සාපේක්ෂව වල් මර්දනයට බව සැබෑවකි. එළවළු පාත්තියේ වල් මර්දනයේ තීරණාත්මක කාලය කුමක්දැයි සොයන්නට මෑතකදී මෙවැනි පර්යේෂණ කෙරුවත්, කෘෂි විද්වතුන් ගොඩ බෝග වගාවක වල් මර්දනයේ පියවර ගැන කතා කිරීම අරඹා ඇත්තේ නම් අද ඊයේ නොවේ. කුමන හෝ බාධකයක් නිසා මේ උපදෙස් එක්කෝ ගොවියා වෙතට සන්නිවේදනය වන්නේ නැත. නැතහොත් ලැබෙන උපදෙස් ගොවියා ගණන් ගන්නේ නැත.
 
 ”වගාවේ අස්වැන්න ගත් වහාම භූමිය අතහරින්න ඕනෑ පළමු සීසෑම කෙරුවට පසුවයි. එතනදී වල් පැළ කොටසක් මැරෙනවා. ඊළඟ කන්නය පටන් ගනිත්දිත් හැකි තරම් වේලාසනින් පළමු පස පෙරළලා අව්වට නිරාවරණය කරලා සතියක් පමණ තබන්න ඕනෑ. එතකොට තිබෙන වල් පැළ යම් කොටසක් පැළවෙනවා. දැන් මීළඟ බිම් සැකසීමට කලින් රේක්කයක් වැනි උපකරණයකින් වැඩිපුර මුල් ඇදලා නැති එම වල් පැළ ටික එකතුකරගන්න පුළුවන්. එසේ කළ විට අපිට සටන් කරන්න වෙන්නේ බෝගය සිටවූවාට පසු ඊළඟට පැළවෙන වල් පැළ සමග පමණයි. එය පහසු සටනක්.”
 
 අනුරුද්ධිකා මහත්මිය තවදුරටත් අවධාරණය කරයි. ගෙවතු වගාවක් වැනි කුඩා ප‍්‍රමාණයේ ගොවිතැනක් කරන්නෙකුට මෙම ක‍්‍රමවේදය සූර්ය තාප වල් මර්දනය වැනි ක‍්‍රමයක් දක්වා වුවත් ඉදිරියට ගෙනයා හැකිවේ. එහිදී සිදුකරනුයේ පළමු පස පෙරළීමෙන් පසු විනිවිද පෙනෙනා පොලිතීන් කඩකින් භූමිය දින කිහිපයකට වසා දැමීමයි. පොලිතීනය හරහා පසට වැටෙන හිරු
 
 රැුස් මඟින් මතුපිට පස රත්වෙන අතර, තාපය පිටවීමක් සිදු නොවන නිසා මතුපිට ආශ‍්‍රිතව තිබෙන වල් පැළ සියල්ල මැරී යන්නේය. එය ගෙවතු වගාකරුට සහනයකි. රසායන ද්‍රව්‍යයන්ගෙන් තොර ආහාර බෝග නිපදවීමේ උනන්දුවකින් පෙළෙනා ලෝකවාසීන් පරිසර හිතකාමී වල් මර්දන ක‍්‍රමවේදයන්ට අපට වඩා නැඹුරු වී ඇති තත්ත්වයක් ද පෙනෙන්නට තිබේ. ඒ උදෙසා තැනූ මෙවලම් ද ගණනාවකි. එක විස්තරයක මා දුටුවේ වල් පැළ වැඩුණු පසු එහි පත‍්‍ර හා ස්පර්ශ කර උණුසුම් වායු ධාරාවක් මුදාහැරිය හැකි තණකොළ කපන යන්ත‍්‍රයක් වැනි උපකරණයකි. වල් පැළ මතට අනපේක්ෂිතව පතිතවන අධික උණුසුම හමුවේ ක්ෂණිකව ප‍්‍රසාරණය වන ෙසෙලගත අභ්‍යන්තර ජලය නිසා ෙසෙල බිත්ති බිඳීගොස් පටක ව්‍යුහයම කඩා වැටී ශාකය මියයයි. ශාකය පිළිස්සිය හැකි කුඩා ගිනි දැල්ලක් නිපදවන උපකරණය එවැනිම තවත් එකකි. තණකොළ මතට නාභිගත කළ උත්තල කාච පෙළක් සවි කළ වල් මර්දන උපකරණයක් ද මා පසුගිය දිනෙක අන්තර්ජාලයෙන් දුටුවෙමි. ට‍්‍රැක්ටරයකට සවිකළ උපකරණය හොඳට අව්ව පායා ඇති දිනෙක වගාබිම මත සෙමෙන් රැුගෙන යෑමෙන් ළපටි තණකොළ මරන්නේ කාච හරහා තණකොළ මතට නාභිගතවන දැඩි හිරු කිරණ මඟිනි.
 
 වල් පැළ මරන්නට සුදුසු රසායන ද්‍රව්‍ය නිපදවා සොබාදහම පරදවන්නට සිතා ඉදිරියට පැමිණි මිනිසා, ප‍්‍රතිරෝධී වල් පැළ ප‍්‍රභේද බිහිවීම නමැති ප‍්‍රතිප‍්‍රහාරය හමුවේ සටනින් පසුබැස්සේය. ඒ අතර වාරයේ කෘති‍්‍රම විෂ රසායනයන් පරිසරයට මුදාහැරීමේ ආදීනව ද තේරුම්ගත්තේය. අවසානයේදී ඔහු ළංවී ඇත්තේ මෙවලම් හරහා වල් මර්දනය කිරීමේ ආදී මානවයාගේ ක‍්‍රමවේදයන් වෙතටමය. වෙනසකට ඇත්තේ එදා මිනිසා අත තිබුණු කැත්ත, උදැල්ල වෙනුවට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් මෙවලම් ඔහු අත තිබීමයි. සොබාදහමේ මූලධර්මයන් වෙතට එසේ ළංවූ ඔහු, එයින් ද සෑහීමකට පත්නොවී කාබනික කෘෂිකර්මයේ හැඩරුව ගැන ද මේ දිනවලදී වැඩි වැඩියෙන් කතා කරමින් සිටී. ලෝකයම ආපසු යනවා නොවේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඒ යන්නේ සොබාදහමේ ආචාරධර්ම වෙතට නිසා සිදුවන්නේ සුගතියක්මය. අපේ ඇත්තන්ට නම් කොහොමත් කරුණු අවබෝධ වන්නේ ටිකක් කල්වේලා ගොසිනි. පරිසර මිත‍්‍රශීලී මෙවන් කරුණු කාරණා දෝරෙ ගලද්දී තවමත් හොර පාරෙන් ග්ලයිෆොසෙට් ගොඩබාන්නේ ඒ නිසාය.
 
 * සනත් එම්. බණ්ඩාර


 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles