Divaina - කවුරුන් හරි ඇහුවොත් කොහෙද? ගියේ කියලා කියන්න පුළුවන් තැනකට යන්න කියලයි තාත්තා උගැන්නුවේ...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

- කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ

 

බිළිඳු තොලක කිරි පවස නිවන්නයි
 ළමැද දෙතන පුඩු උඩට හැරෙන්නේ
 කුසෙහි පුතුට නිදි යහන සදන්නයි
 පළල උකුල පටු ඉඟට ලැබෙන්නේ
 
n25 1
 මේ ගුණසේන ගලප්පත්තිගේ ‘මුහුදු පුත්තු’ නාට්‍යයේ එන රසාලිප්ත ගීයක කොටසකි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ නම් වූ ඒ තරුණ ගැටයා කොළඹ හැව්ලොක් ටවුමේ ලූම්බිණි රඟහලේදී මේ නාට්‍යය බැලූවේය. ඔහුගේ හිත ආස්වාදයෙන් මත්විණ. එහි එන අයියා මල්ලී දෙදෙනාගේ එකම බිරිඳක් අරබයා සිදුවන මානසික විග‍්‍රහය ඔහුගේ හිත තදින් ඇද බැඳ ගත්තේය.
 
 * දියෝනිස්-තේගිරිස් සරාගේ කියුම්
 
 රාති‍්‍රයේ නින්ද සොයා ඇඳට ගියත් නින්ද තමා අසලට නොඑයි. ඒ වෙනුවට දියෝනිස් හා තේගිරිස් හා සරාගේ දෙබස් කියුම් ඔහුගේ මනසේ හොල්මන් කරයි. හේ නැඟිට ලියන මේසය ළඟ නිඳා ගත්තේය. නිඳිවරා රාති‍්‍රය පුරා නාට්‍යයක් ලියුවේය. ඒ ‘අත්තික්කා මල්’ය. එය අතිශය විශාල ප‍්‍රසාදයකට පත්විණ. ඊළඟට හෙතෙම ඉන් නොනැවතී ‘මාතර ආච්චි’ නම් චිත‍්‍රපටයක්ද නිර්මාණය කළේය. අද ප‍්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ (සතිස්ගේ මල්ලී) හා හා පුරා කියා ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ ගීය ගයමින් කලඑළි බැස්සේද මාතර ආච්චි චිත‍්‍රපටයෙනි. ගීතය ලියා ඇත්තේ මේ රටේ තවත් විශිෂ්ට රංගධරයකු වූ වොලී නානායක්කාරය. ‘බකතපස්, සොක්කාණෝ රජාණෝ’ වැනි නාට්‍ය හරහා වේදිකාව දිග්විජය කළ සතිස් අද සිනමා, ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකි. නළුවෙකි. එමතුද නොව අපේකම දේශීයත්වය හරහා ඔහු නඟන හඬ, මඟ පෙන්වීමද ප‍්‍රබලය. තාත්තා අනුව යමින් හෙතෙම අද දේශකයෙක් ද වෙයි.
 
 තමා අද ඉන්නා තැනට ඔසවා තැබූ ඒ ආදරණීය පියතුමා ගැන කියන්නට කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අපේ මණ්ඩපයට ගොඩවදී.
 
 * මාස්ටර්
 
 n26 2‘අපේ තාත්තා උත්තුංග දේහධාරී උසට සරිලන මහතක් තිබූ පුද්ගලයෙක්. පිළියන්දල මාම්පේ තාත්තාගේ ගම. නම පැටිකිරිගේ එදිරිසිංහ. තාත්තාගේ මුල්ම රැුකියාව ගුරුකම. ගමේ අසල්වැසියන් ඔහුට කතා කළේ ‘මාස්ටර්’ කියලයි. ගුරුකම වෘත්තිය හැටියට නොවේ, එතුමා සැලකුවේ. ඒක සේවයක් හැටියට සැලකූ පැරැුණි ගුරුවරයෙක් තාත්තා. අවුරුදු 59 යි ජීවත් වුණේ. ඒ අවුරුදු 59 ට අපට මෙතෙක් කරන්නට බැරි වැඩ කොටසක් එතුමා කළා. මියගියේ 1904 දී මාතර හෝටලයකදී හෘදයාබාධයකින්. ඒකත් දේශනයක් අවහරවෙලා පැමිණ අඩ හෝරාවකින්. ඒ කථිකත්වය කරුණු පැහැදිලි කිරීම මටත් ඒ වගේම පිහිටියා යැයි නිහතමානීව කිව හැකියි.
 
 * ‘කොහු කර්මාන්තය’ ගැන පොත් 2 ක් ලීවා
 
 තාත්තා මුදලට මුල් තැනක් දුන්නේම නැහැ. නොදන්නා දෙයක් කෙනෙකුට කියා දෙන්නත් ආසයි. සිංහල ඉංගිරිසි භාෂාද්වය හොඳින් දැන සිටි නිසා ගුරු සේවයේ සිටියදීම තාත්තාට රජයේ උසස් තනතුරක් ලැබුණා. එම තනතුර ගෘහකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පරීක්‍ෂක ධුරයක්. කොහු කර්මාන්තය නඟසිටුවන්නට එතුමා තම කඳුළ, ශ‍්‍රමය දහඩිය වැය කළේ පුදුමාකාර විදියට. ඉන්දියාවේ ට‍්‍රවත් කෝරළයේදී කොහු කර්මාන්තය ගැන විශාල දැනුම් සම්භාරයක් ලබා පැමිණි අපේ තාත්තා ‘කොහු කර්මාන්තය’ ගැන ලියූ පොත් දෙකක් අදත් සමාජයේ භාවිත කරනු මා දැක තිබෙනවා. තාත්තා ලියූ මේ පොත්වලට චිත‍්‍ර සටහන් ඇඳ දුන්නේ මගේ පොඩි අක්කා, කුමාරි එළිසබෙත්. එතුමියත් අද විශ‍්‍රාමික පුහුණු ඉංගිරිසි ගුරුවරියක්. දක්‍ෂ චිත‍්‍ර ශිල්පිනියක්. මේ පොත්වලට ඡුායාරූප ලබාදී තිබෙන්නේ විල්සන් හෑගොඩ, ප‍්‍රවීණ කැමරා ශිල්පියා, තාත්තාගේ රැකියාව අනුව එතුමාගේ ඇඳුම යුරෝපීය වුණා. රෙද්දයි කෝට් එකයි ඇන්ද අවස්ථාත් තිබුණා. රජයේ මුද්‍රණාලය වර්ණ සංයෝජන යන්ත‍්‍ර ගෙනාවෙත් මේ පොත් මුද්‍රණයටයි.
 
 * කොට්ටඋර මෝස්තර
 
 අපේ අම්මා උස්හෙට්ටිගේ එළිසබෙත් පෙරේරා. එතුමිය තාත්තාට හමුවන්නේ කෑගල්ලෙදී. තාත්තාට ලොකු පන්සල් ආශ‍්‍රයක් තිබුණා. කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර, කොටහේනේ පඤ්ඤාකිත්ති වගේ මහා යතිවරුන් එතුමා දැන සිටියා. සර් ඞී. බී. ජයතිලක මහත්මයාගේ ඉතාම කිට්ටුවන්තයෙක්. එතුමා උසස්ම කෘතහස්ත නායකයෙක් බව කවුරුත් දන්නවා. අන්තිමට එතුමාගේ ලේකම් වශයෙන්ද කටයුතු කළා මතකයි. මේ පන්සල් ආශ‍්‍රය නිසාම කෑගල්ලේ පන්සලක සල්පිලකදී කොට්ටඋර දෙකක් වෙන්දේසියෙන් අරගෙන එහි මසා තිබූ මල් මෝස්තරයට හිත ගිහින් සොයා බලා තිබෙනවා. කවුද මැහුවේ කියලා. අම්මා ඒ වෙලාවේ එතුමියගේ ලොකු අයියා විවාහ වෙලා හිටපු කෑගල්ලේ ගෙදර ඉඳලා තියෙන්නේ. එහෙදී තමයි අර ලස්සන කොට්ටඋර මැහුවේ. අම්මගේ ගම නම් කැලණිය නුංගමුගොඩ.
 
 * ආධ්‍යාත්මික ගුණ වගාව
 
 කොහොම හරි තාත්තාගේ හිත ගියා. විවාහය සිදුවුණා. අම්මා කතෝලික. එතුමිය තාත්තාට හරිම ආදරෙයි. පසුව බුද්ධාගම වැළඳ ගත්තා. පෑලියගොඩ විiාලංකාර පිරිවෙන එතුමාගේ ආගමික හා ආධ්‍යාත්මික ගුණ වගාවේ කේන්ද්‍රස්ථානය වුණා. තාත්තාට යථාවාදී තථාකාරී කරන දේ කියන කියන දේ කරන ගතිය ආවේ එතැනින්. ජයතිලක මහතා විiාලංකාරයේ ප‍්‍රධාන දායකයා. කළුතර ගම් සභාවේ ව්‍යවස්ථාව සකස් කළේ ඞී. බී. ජයතිලක මැතිතුමා. ඒක රෝනියෝ කිරීමට අත්පිටපත සකස් කළේ අපේ තාත්තා. එතුමාගේ අත් අකුරු හරිම ලස්සනයි.
 
 * ආකල්ප වර්ධනය
 
 අපේ තාත්තා වැඩිය කතා කරන කෙනෙක් නොවේ. තමන්ගේ හැසිරීමෙන් දරුවන්ට උගන්වනවා. පන්සලේ නායක හාමුදුරුවන්ගේ පුටුවේ කවුරුවත් වාඩි වෙන්නේ නෑ. ඊළඟ උස පුටුව තියෙන්නේ පොඩි හාමුදුරුවන්ට. ඊළඟට බංකු ලෑල්ලේ තාත්තා වාඩි වෙනවා. මං වාඩිවෙන්නේ බිම. පොඩි හාමුදුරුවන් සමග කතා කරමින් සිටින කොට ලොකු හාමුදුරුවන් වඩිනවානම් පොඩි හාමුදුරුවන් නැඟිටිනවා. තාත්තාත් නැඟිටිනවා. මාත් නැඟිටිනවා. ඊළඟට උන්වහන්සේ අසුන් ගත්තාම ආයිත් වාඩිවෙන්නේ පරණ පිළිවෙළට. තාත්තා සමග අප සමව අසුන් ගන්නෙත් නෑ. මේ ආකල්ප සංවර්ධනය එතුමා තේරුම් කළේ ඒ විදියටයි.
 
 අපේ ලොකු අයියා ධර්මසිරි එදිරිසිංහ. එතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා සමග අවුරුදු 28 ක් වැඩ කළා. ඒ තාත්තා කියාදුන් මේ පිළිවෙළ නිසයි. ඊළඟට අපේ පවුලේ ටෙක්ලා සඳසීලි, ප්ලොරිඩා කැතරින්, බර්සියා සිරිමා, මේරි එළිසබෙත් නමින් සොයුරියන් හතර දෙනෙක්. මේ සමහරුන්ගේ නම්වලට කතෝලික නමක කෑල්ලයි සිංහල නමක කෑල්ලයි එකතු කළේ අම්මා. මුලින් කතෝලික නිසා වෙන්න ඇති. එතුමාට ගැඹුරු ජීවිත පරිඥානයක් තිබුණා. මේරි එළිසබෙත් සම්පූර්ණ කතෝලික නමක්. ඒ දැම්මා වගේම එතුමිය කතෝලිකයන්ට වඩා කතෝලික බැතිමතියක් වුණා. තාත්තා ඒක කලින් දුටුවාද කියලත් හිතෙනවා. ඊළඟට සතිස්චන්ද්‍ර මම. ඊළඟට නිමල් රංජිත් එදිරිසිංහ. කලක් දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායකගේ සම්බන්ධීකරණ කළමනාකාවරයෙක්ව සිටියා. පවුලේ බඩ පිස්සා සුනිල් ජයපි‍්‍රත් එදිරිසිංහ. අද ප‍්‍රසිද්ධ ගායකයා. අද ජයපි‍්‍රත් කෑල්ල පාවිච්චි කරන්නේ නෑ.
 
 * සිගරට්ටුවක් කළ ජංජාලයක්
 
 දිනක් වැඩිහිටි සිසුවෙක් මටත් සිගරට්ටුවක් බොන්නට බල කළා. මට එක්වරම මතකයට ආවේ තාත්තා. අනෙක අයියා සිගරට් එකක් බීලා හසුවූ දවස. තාත්තාට ආරංචිය ගියාම එතුමා අයියාගෙන් ඇහුවා. ඇයි? සිගරට් බිව්වේ කියලා. අයියා කීවේ ‘තාත්තා බොන නිසයි’ කියලා. එතුමා සිගරට්ටුවක් බොන සිරිතක් තිබුණා. ඒ වෙලාවේම තාත්තා තීන්දු කළා මේ කළ එකම වරදත් නවත්වන්න. ‘පුතේ මීට පස්සේ මං බොන්නෙ නෑ. ඔයත් බොන්න එපා. එතුමා කී විදියටම ආයිත් කවරදාවත් සිගරට් බීවේ නෑ.
 
 ලොකු ළමයින්ගේ පෙරැුත්තය තාත්තාට ඇති ආදරය මොහොතකට අමතක කළා. මං සිගරට්ටුව උරමින් ඉඳිද්දී නිමල් මල්ලී කඩයට ආවා. මල්ලී මේ නඩුව ගෙදර ගෙන ගියා. හැන්දෑවට ගෙදරට ගොඩවන තාත්තාට මුහුණ දෙන්නේ කෙලෙසකදැයි මා කල්පනා කරමින් සිටියා. තාත්තා කොළඹ ඉඳන් හැන්දෑවේ එන විට සතියකට පමණ සෑහෙන්න මාළු, එළවළු ඇතුළු බොහෝ කළමනා ගෙන එනවා. ගෙදරට ආපු ගමන් බඩු මලූ අම්මාට භාරදීලා එතුමා කාමරයට ගිහින් කෝට් එක ගලවා නියමිත තැන තබනවා. ඊට පස්සේ සැහැල්ලූ සරමක් දාගෙන මුහුණ කට සෝදාගෙන කෙළින්ම එන්නේ නැවත කාමරයට. මුලින්ම කරන්නේ (එදා සවස නිකුත් වන) ඔබ්සර්වර් පත‍්‍රය කියවන එකයි.
 
 * ඔබ්සර්වර් පත‍්‍රය කියැවීම
 
 අම්මා තේ කෝප්පයක් රැගෙන ඇවිත් අපේ ප‍්‍රශ්න කතා කරන්නේ ඒ වෙලාවටයි. ඔන්න අද පොඩි උන්නැහැ (ඒ මගේ ගෙදර නම) සිගරට් බීලා. අම්මා කීවාය. කවුද දැක්කේ? තාත්තා අසයි. රාළහාමි (ඒ කාලේ මල්ලීගේ ගෙදර නමය) රාළහාමිට එන්න යැයි  නියෝගයකි. කොයි වෙලාවේද දැක්කේ... විවේක කාලේ මල්ලි කියයි. ඇයි? විවේක කාලේ ගෙදර ආවේ. තාත්තා අසයි. මල්ලී මට දඬුවම් ලබාදෙනු රිසිව කියන්නට ඉස්පාසුවක් නැතිව විවේක කාලයේම ගෙදර ඇවිත් අම්මාට ඒ ගැන කියා තිබිණි.
 
 ඒක කියන්න තිබුණනේ. පාසල අහවරවෙලා ඇවිල්ලා (යනවා ඇඳ යටට... විධානයකි. මල්ලී නිශ්ශබ්දව ඇඳ යටට රිංගයි. වරදක් කළ විට ඇඳ යටට රිංගවීම තාත්තාගේ දඬුවම් ක‍්‍රමයකි. තාත්තාගෙන් මේ දඬුවම ලැබෙන බව දැනගත් විට මා පළමුව කරන්නේ ඇඳ යට අතුගා පිරිසිදු කර තැබීමයි. අම්මාගේ දඬුවම් ක‍්‍රමය වෙනස්ය. ඇය ගේ ඉදිරිපස තිබුණ ‘ෆාම්ස්’ ගසෙන් අතු තුනක් කපා ගනී. එක කෝටුවකින් එක බැගින් පස්ස පැත්තට තළයි. එක පහරකින් එක් කෝටුවක් කැඬේ. කෝටු තුනක් ගන්නේ පහර තුනකින් දඬුවම නිමා කරන්නටය.
 
 * කලිසමක් යටට තබා සරම ඇඳීම
 
 අම්මා මේ පහර දෙන්නේ පස්සා පැත්තට නිසා දඬුවමට පෙර කාටත් නොකියා යටට කාකි කොට කලිසමක් ඇඳ ඊට උඩින් සරම ඇඳගැනීම මගේ පුරුද්දයි. නිමල් මල්ලීට දඬුවම දුන් තාත්තා නැවතත් නිසොල්මනේ පත්තරය කියවයි. ඊළඟට මල්ලීට ඇඳ යටින් එන්නට නියෝගය ලැබුණේ පැය භාගයක් පමණ ගෙවුණු කලය. තාත්තා මට අඬගසයි.
 
 පොඩි උන්නැහේ, සිගරට් බිව්වා කියන්නේ ඇත්තද?... මා නිහඬය . යනවා ඇඳ යටට... මටත් විධානය ලැබිණ. පැය භාගයකට පසු තාත්තා නැවත කතා කළේය. මා එළියට එන විට තාත්තා ඇඳේ හිඳගෙනය. පොඩි උන්නැහැ. දවල් මොකද කළේ? සිගරට් බිව්වද? නැවතත් අසයි. මම මුව පොව්වකු මෙන් ගැහෙමින් සිටිමි. මගේ නිහඬ බව තාත්තාට ඇල්ලූවේ නැත. නැවතත් ඇඳ යට පැය භාගයක් ගත කළෙමි. තෙවැනි වර එළියට පැමිණ මා නැවතත් නිහඬ වී සිටිද්දී තාත්තා මගේ හදවතේ මේ වචන බරව තැන්පත් කළේය.
 
 * මේ වචන හිතට තදින්ම ගන්න
 
 කවුරු හරි උඹෙන් ඇහුවොත් කොහෙද ගියේ කියලා කියන්න පුළුවන් තැනකට යන්න. මොනවද? එහෙදි කළේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කරන්න. එතැනදි මොනවද කතා කළේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කතා කරන්න... මේ වචන ටික කියූ තාත්තා ඒවා ඊයම් බරු සේ මගේ හදවතේ කිඳා බැස්සවීය. මෙවැනි දෙයක් සිද්ධ වූ දාට අපට ද තවත් බියය. තාත්තා කෑම මේසයට මා කැඳවයි. මල්ලි ද අහිංසකව පුටුවක වාඩි වී සිටී. තාත්තා මාරුවෙන් මාරුවට මල්ලිගේත් මගේත් පිඟන් බත් මාළුවලින් පුරවයි. රස පලතුරු ද ගොඩකි ඒවා ද අපටය. ඒ තාත්තාගේ අපූරු සෙනෙහසය.
 
 * මහා පුරුෂයකුගේ ලක්‍ෂණ
 
 අපේ තාත්තා ඞී. බී. ජයතිලක මහතා සමග වරක් එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිතුමා හමුවීමට ගියේය. ඒ වළව්වේ ඉදිරිපස පුටු 16 ක් තිබේ. මේ පුටුවල වාඩි වී සිටින්නේ රජයේ නිලධාරීහු වෙති. අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, ආහාර, ජලසම්පත්, වැවිලි කර්මාන්ත මේ ආදී වශයෙන් එක් එක් අමාත්‍යාංශ නියෝජනය කරන නිලධාරීන්ය. බණ්ඩාරනායක මහතා එක් එක් නිලධාරියා දෙස බලා කළ යුතු දේ පිළිවෙළට කියා දෙන්නේය. එය හරියටම කැසට් 16 ක් වැඩ කරන්නාක් මෙනි. ව්‍යක්තව නිරවුල්ව උපදෙස් ලැබෙයි. මේ කතා තාත්තා අපට කියා දෙන්නේ වැඩකරන මහා පුරුෂයකුගේ ලක්‍ෂණ අප තුළ මතු කරමිනි. ඒවා අගය කරමිනි.
 
 * ඔළුවට අත සේදීම
 
 අපේ අම්මාටත් ඒ නුවණ තියෙනවා. ගෙදර ඇවිත් ගියාම යහළුවො ගැන කියනවා. කියපු කතා හරිම නිවැරදියි. ”ඔය ළමයා ඒ ළමයා සමග තිබෙන ආශ‍්‍රය නවත්වන්න කවදාහරි නැත්නම් එයා උඹගෙ ඔළුවට අත හෝදනවා” එහෙම කියපු අවස්ථා හරි ගියා.
 
 * තාත්තාගේ සමාජ තොරතුරු
 
 ළමයින්ගේ විවාහ ගැන ස්වාධීනව කටයුතු කළා. අක්කා කෙනෙක්ට විවාහයක් සඳහා ඒ මනාල ගෙදර යනකොට කාරය පදවගෙන ගියේ මම. ඒ වෙලාවෙ තාත්තා කියනවා යන ගමන් (කැලණියේ ඉඳන් පිළිමතලාවට) මඟ දෙපස වටිනා සමාජ තොරතුරු. පුතේ මෙතැන තමයි සියනෑ කෝරළය ඉවර වෙන්නෙ. අතන තමයි සරදියෙල් හිටියෙ. මේ හරියෙත් මේ වගේ ව්‍යසනයක් වෙලා තියෙනවා. මේ වගේ විස්තර. තාත්තා ඒ ගෙදර ගිහින් නැවත එනකොට වචනයක්වත් කතා නොකර ඇවිත් කාමරයට වැදුණා. අක්කාට කතා කරලා ඇහුවා ඔය ළමයාට ඔය විවාහයම අවශ්‍යද? කියලා. අක්කා ”ඔව්” කීවා. කරගන්න දුන්නා. ඒ වගේම අක්කා හරියට දුක් වින්දා. ඒ මහත්මයා වැරැුදි නෑ. එයා කළ මෝඩකමක් නිසා. ගේ හදන්න බැංකුවෙන් ගත් සල්ලි මුලදීම කොන්ත‍්‍රාත්කාරයාට දීලා කොන්ත‍්‍රාත්කාරයා පැන ගිහින්. තාත්තා අක්කා දුක්විඳිනවා කීවෙ මොන ජීවිත පරිඥානයෙන් ද කියලා මට තේරෙන්නෙ නෑ.
 
 අපේ තාත්තාට හොඳට සහජීවනය තිබුණා. මඩකලපුවේ නාගරත්නම් කියන කාන්තාවට තාත්තා හරියට උදව් කළා. එතුමිය අම්මත් එක්කත් සුහදයි. අපේ තාත්තා නුංගමුගොඩ අන්‍යොන්‍යාධාර සමිතියේ සභාපතිව හිටියා. එතුමා චීත්ත, ගවුම් රෙදි, සරොම් ආදිය ගැමියන්ට ඒ සමිතිය හරහා බෙදා දුන්නා. එම්. ජේ. බස් සමාගම් හිමිකරු හා මුදළිඳු මුදන්නායක මේ වැඩපිළිවෙළට උදව් කළා.
 
 * එළකිරි හෝටලයේ තිබුණෙ නෑ
 
 මගේ තාත්තා අවුරුදු 59 දී නැති වුණේ. ? මාතර හෝටලයකදී. එතුමා කොහු කර්මාන්තය ගැන දෙසුමක් පවත්වලා ආව වෙලාවේ හදිසියේ පපුවෙ කැක්කුම ආවා. පපුවෙ ලේ කැටියක් හිරවුණා. ගෙදරදි නම් මෙහෙම ආවාම අම්මා එළකිරි ගෙනෙනවා. බැබිල මුල් තම්බනවා. තාත්තා ඒ ලෙඬේට පාවිච්චි කළ බෙහෙත් ගුලිය එළකිරිත් එක්කයි බොන්න ඕන. ඒ අමාරුවට ඒක ප‍්‍රත්‍යක්‍ෂයි. ගෙදරදි හැදුනම ඒක බීවාම හරි ගිහින් තියෙනවා. ඒත් මාතර හෝටලයේ එළකිරි තිබුණෙ නෑ. එළකිරි හොයනකොට තාත්තා නැතිවෙලා.
 
 * පොල් පර්යේෂණයට වත්තේ ගස් කැපුවා
 
 අපේ වත්තෙ පොල්ගස් විශාල ප‍්‍රමාණයක් තිබුණා. මේ ගස් සියල්ල කැපුවෙ පර්යේෂණ පවත්වන්න කීවොත් පුදුම වේවි. ඒක ඇත්ත. තාත්තා වියළි පොල් ලෙල්ල, කොහු මේවා පිළිබඳ විශේෂඥ දැනුම නිසා පර්යේෂණ කරන්නම පොල් ගස් ටික කැපුව.
 
 * පොල් ගෙඩි 18
 
 මට පස්සෙ පවුලෙ හිටියා නංගියෙක්. ඒ නංගිට අවුරුදු 7 යි. බෝනික්කියක් වාගෙ ලස්සනයි. ළිඳ ළඟ එකම එක පොල් ගහක් අම්මගෙ ඉල්ලීමට තාත්තා ඉතිරි කර තිබුණා. මේ නංගී ගල් කූරෙන් යම් යම් දේ ලියනවා. එක වෙලාවක ”මට පෙට්ටියක නිදාගන්න ආසයි” කියලා ලියලා තිබුණා. තව වෙලාවක ”සමනලයෙක් වෙන්න ආසයි” කියලා ලියලා තිබුණා. මෙය අර ගල් ලෑල්ලෙ පොල් ගෙඩි 18 යි කියලා වරක් ලීවා. ඒ පොල්ගෙඩි 18 කියලා 18 සැරයක් ලියූ තැනට පල්ලෙහා පොල් ගෙඩි... පොල් ගෙඩි... පොල් ගෙඩි කියා තුන් වරක් ලියා තිබුණා. එතකොට ඔක්කොම පොල් ගෙඩි කියලා ලිවීම 21 වරයි. පුදුමය! දෛවයේ හැටි.
 
 * තාත්තා එනකම් මැරුනෙ නෑ
 
 මේ පුංචි නංගී අර ළිඳ ළඟ සෙල්ලම් කරද්දී එකම  ගහේ තිබුණු එකම පොල් වල්ල ඇගේ හිස මත වැටුණා. පොල් වල්ලේ ගෙඩි 21 ක් තිබුණා. අම්මාගේ විලාපය මැද්දේ නංගිව කොළඹ මහ රෝහලට සියලූ දෙනා එක්ව ගෙන ගියත් තාත්තා එනකම් නංගි ඇස් පියෙව්වේ නෑ. තාත්තා දුර ගිහින් ආවෙ සිද්ධියට පහුවදා කෙළින්ම රෝහලටයි. ”චූටි තාත්තා ආවා” කියලා කෙනෙක් කීවා. තාත්තා කියලා ඇස් ඇරලා බැලූවා. දෑස් පියාගත්තා. අර විදියට ලියා තිබූ ගල් ලෑල්ල පසුව අපට හමුවුණේ ඇගේ මෙට්ටය යට තිබිලයි.
 
 උපාලි සමරසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles