Divaina - ලෝකයේ තිබෙන ඉහළම ගුණාත්මයේ පුවක් අප සතුයි... පුස් කෑ කරුංකාවලට උප්පැන්න දී ලංකාවේ පුවක් විනාශ කළ හැටි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

- ඉන්දියාව 100% ක්  ගුල්ලන් ගැසූ  කරුංකාත් ඩයි හදන්න මිලදී ගන්නවා 
- ශාක නිරෝධායන නීති පොත ‘ලොක්ඩවුන්’

n22 1

 
 රත්නපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි ගිලීමලේ යනු අතීතයේදී නොදියුණු පිටිසර පළාතකි. බුලත් හැපීම මෙවැනි පළාත්වල ජනතාවගේ ඉතා සුලභ පුරුද්දක් වූ නිසා ඔවුනගේ දෙතොල නිතරම රත්පැහැ ගැන්වී, දත්වල කහට බැඳී තිබුණේය. එවැනි පළාත්වල වුවත් කිරිසුදු දත් දෙපලක් ඇති අය සිටිනා බව දන්වමින් ‘ගිලීමලෙත් ඇත දත සුද්දෝ’ යන ප‍්‍රස්තා පිරුළ බිහිවූයේ සම්ප‍්‍රදායික සිරිතට පිටින් යන උදවිය ඕනෑම සමාජයක සිටිය හැකි බව හඟවන්නටය. මේ වනවිට ගිලීමලේ තත්ත්වය ඊට වඩා වෙනස් විය හැකි වුවත්, ලෝක ජනගහනයෙන්  10% ක් දෙනා එනම් මිලියන 800 ක පමණ ජනතාවක් තවමත් පුවක් හපති.
 
 ජනාකීර්ණ මුම්බායි නගරයේ සිට සැතපුම් 200 ක් පමණ දුරට යන විට ලෝක ප‍්‍රකට අජන්තා ලෙන් සමූහය හමුවේ. ගල් පර්වතය කපා ලෙන් ගුහා 30 ක් පමණ ඉදිකර ඇති මේවා අතීතයේ සාදා ඇත්තේ වස් වසනා භික්ෂූන්ටත්, වෙළෙන්දන් හා වන්දනාකරුවන්ටත් නවාතැන් ගැනීම සඳහායි. එහි ඇතුළත ඇති අලංකාර සිතුවම් යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් වශයෙන් නම්කර සංරක්ෂණය කර ඇත්තේ එහි ඓතිහාසික වටිනාකම නිසාමය. මෙහි ඇතැම් සිතුවම්වල පසුබිම් දර්ශනතල ප‍්‍රවේසමෙන් විමසා බලන විට පෙනෙන්නේ පුවක් ගසක රූ සටහන් ඇඳීමට චිත‍්‍ර ශිල්පියා සැලකිලිමත් වී ඇති බවයි. ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් ඈත කාලයේදී පවා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය තුළ පුවක් ගසට තිබූ සැලකිල්ල කියාපෑමට අජන්තා බිතු සිතුවම් කදිම සාක්ෂියකි.
 
 ඒ එදා මහාරාෂ්ට‍්‍රයයි. එහෙත් මෑතකදී මහාරාෂ්ට‍්‍රයට අලූත් පුවක් අත්දැකීමක් විඳගන්නට හැකිවූ බව 2018 සැප්තැම්බර් 22 වැනි දින පළවූ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. බහුලව එම පළාතේ පරිහරණය කෙරෙනා ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට, පුවක් කොළවලින් තැනූ කෑම පිඟන්, දීසි යනාදිය මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත වැසියන්ට හඳුන්වාදීමට කටයුතු කරන ඇනින්දීටා චවුද්රි නම් කාන්තාවකගේ තොරතුරු පුවත්පතෙහි පළවිය. වසර කීපයකට උඩදී කුඩා ව්‍යාපාරයක් සේ ඇරඹි ඇයගේ නිෂ්පාදන, මහාරාෂ්ට‍්‍රය ඇතුළු යාබද ඉන්දීය ප‍්‍රාන්තයන් තුළ පවා දැන් අලෙවි කෙරේ. ඇයට ප‍්‍රශ්නයක්ව ඇත්තේ කර්මාන්තය ප‍්‍රසාරණය කිරීමට තරම් පුවක් කොළ හා කොලපත් අවටින් සපයා ගැනීමට ඇති නොහැකියාවයි. එදා අජන්තා ලෙනෙහි සිතුවම් ඇඳි සිත්තරා දුටු පුවක් ගසේ වටිනාකම, චවුද්රි නෝනා විසින් අලූත් රිද්මයකින් මහාරාෂ්ට‍්‍රයට හඳුන්වා දී තිබේ. අපේ රටේ නම් පුවක් ගසට තිබූ එදා වටිනාකම දිනෙන් දිනම වළපල්ලට යමින් තිබේ. කොලපත උඩ වාඩිවූ බාලයාව මිදුල වටා ඇදගෙන යන්නටවත්, ගමේ කොලූ ගැටයාට දැන් විවේකයක් නැත. දෙදෙනාම මුල්ලකට වී දවස පුරාම ෆෝන් එකේ ගේම් ගසති. කෑම කන්නට ප්ලාස්ටික් පිඟනුත්, බත්මුල් ඔතන්නට කීපවරක්ම තහනම් කළ ලන්ච්ෂීට් කොළත් ඇති පදමට අපට තිබෙන නිසා චවුද්රි නෝනා කළ කී දෑ අපට අදාළ නොවිය හැකිය.
 
n22 2 අපේ ගම්වල මෙරටට ආවේනික ‘සිංහල පුවක්’ නමින් හඳුන්වන කුඩා ගෙඩි සහිත ප‍්‍රභේදයට අමතරව ‘රට පුවක්’ නම් ගෙඩි ලොකු ප‍්‍රභේදයක්ද තිබේ. මේ දෙක අතර කලවම් වීමෙන් හටගන්නේ ‘හම්බන් පුවක්’ නමින් හඳුන්වන තවත් වර්ගයකි. රට පුවක් සිටුවීමෙන් බොහෝ විට එම වර්ගයම නොලැබෙන අතර, වැඩි ප‍්‍රවණතාවයක් ඇත්තේ කලවම් වර්ගයක් ලැබීමටය.
 
 ”අපි ඈත අතීතයේ ඉඳලම පුවක් හා කරුංකා භාවිතා කෙරුවනේ. කරුංකා කියන්නේ වේලපු පුවක්. දවස් තිහ හතළිහක් අව්වේ වේලලා තමයි කරුංකා හදාගන්නේ. ඊට පස්සේ දුම් මැස්සට දාල අවුරුද්දක් හමාරක් උනත් තියා ගන්නවා. වර්තමානයේ නම් ගෙවල්වල දුම්මැසි නැති නිසා වියළීම පමණයි කෙරෙන්නේ. හොඳට වෙලූනේ නැත්නම් ඇතුල පුස් කනවා. ගුල්ලො ගහනවා. හොඳ කරුංකා  හදාගන්න නම් පුවක් ගෙඩිය ඇතුලේ තිබෙන සුදු පාට පොල්මද කැබලි වැනි දෑ අඩු පුවක් ගන්න ඕනෑ. ඇතැම් ගස්වල හැදෙන ගෙඩි මේ ගතිගුණය සහිතයි. ඒවායින් හැදෙන කරුංකාත් හොඳයි. ඉතින් මේ ගුණාත්මයෙන් තිබෙන කරුංකාවලට ඉන්දියාවෙන් එහෙම හොඳ ඉල්ලූමක් තිබුණ.”
 
 පුවක් ගැන කතා කරන්නට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයේ දිශානති නිරෝෂා මෙනෙවියත් සමග මා හමු වූ ආචාර්ය සරත්චන්ද්‍ර ධර්මපරාක‍්‍රම මහතා තම විස්තරය ආරම්භ කෙරුවේ එලෙසිනි. හෙතෙම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ මාතලේ තිබෙන මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (පර්යේෂණ) වරයායි.
 
 මඩ පුවක් සෑදීමද වියළීමට අමතරව පුවක් කල් තබාගැනීම සඳහා මෙරට භාවිතා වන ක‍්‍රමවේදයකි. මූලිකව මෙහිදී කෙරෙන්නේ එකතු කරන ලද පුවක් ගෙඩි වතුරේ ගිල්වා තැබීමයි.
 
 n22 3වායුගෝලීය ඔක්සිජන් හා නොගැටෙන බැවින්, ජලය තුළ තිබෙනවිට ඇතුළත පුස්කෑම හෝ මදය ගුල්ලන් ගැසීම හෝ සිදුවන්නේ නැත. කුඹුරු ආශ‍්‍රිතව ජලය රැුස්කළ වළවල් තුළ මඩත් සමගම ගිල්ලා තැබීම නිසා එවැනි නමක් පටබැඳුනා විය හැකිය. දේශීය වෙළඳපොලේ මඩ පුවක්, කරුංකා, අමු පුවක් යන සියල්ලම අලෙවි කෙරේ.
 
 වසර පහකින් පමණ ඵලදැරීම අරඹන පුවක් ගස, එතැන් සිට අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් නොකඩවා අස්වැන්න ලබාදෙයි. අවුරුද්දකට ගෙඩි 1000 ක් පමණ නිපදවන අතර හෙක්ටයාරයක තනි වගාවක් වවන්නේ නම් එයට පුවක්ගස්
 
 1000-1100 ක් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වේ. අස්වැන්න 50% ක් අඩුවෙන් තක්සේරු කළත් වසරකට ගෙඩි ලක්ෂ පහකි. ඉතා අවම මුදලක් වශයෙන්
 
 ගෙඩියක් විකුණුවේ රුපියල
 
 බැගින් යයි සිතුවත්, ආදායම වසරකට රුපියල් ලක්ෂ පහකි. ඇතැම් කාලයට ගෙඩියක් රුපියල් දහයක් පමණ දක්වා මිල නගී. මේ දිනවල වෙළඳපොළ වාර්තා කියාපාන්නේ නම් පුවක් ගෙඩියක මිල රුපියල් 25 දක්වා වුවද ඉහළ නගිනා බවයි. බුලත් විටක් රුපියල් 50 ක් පමණ වෙන්නේ බුලත් පුවක්වලට ලැබෙන මේ අධි තක්සේරුවයි.
 
 ”මේ සියල්ල ශුද්ධ ලාභය වශයෙන් තමයි හඳුන්වන්න වෙන්නේ. වගා නඩත්තුවක්, පොහොර දැමීමක්, කෘෂි රසායන ද්‍රව්‍ය වියදමක් වැනි කිසිවක් නෑනේ. කම්කරුවන් යොදවා පුවක් කැඞීම කරන්නෙත් නැත්නම්, ගහ යට වැටෙන ගෙඩි ටික අහුලගන්න එක පමණයි වැඩකට තියෙන්නේ.”
 
 එසේ පවසන ආචාර්ය සරත්චන්ද්‍ර පුවක් ගස හඳුන්වන්නේ විසිඑක්වෙනි සියවසේ කප්රුක වශයෙන්ය. ඔහු එසේ පැවසුවත් අපට නම් සිතෙන්නේ කප්රුකෙහි අගය සාමාන්‍ය ජනතාව අතරට ගැඹුරට කාන්දු වී නොමැති බවයි. රටේ කෙතරම් රුක් රෝපණ වැඩ සටහන් තිබෙනවාද? පොල් පැල සිටුවනවා කෙතරම් දුටුවත් පුවක් පැලයක් සිටුවනවා රූපපෙට්ටියෙන්වත් දැක තිබෙනවාද? ගසෙහි හටගන්නා පළමු පුවක් වලූ කිහිපයේ තිබෙන්නේ ගෙඩි සුළු ගණනක් බවත් කල්යෑමේදී ලොකු පුවක් වලූ හටගෙන තත්ත්වය හොඳ වන බවත් ගොවියා තේරුම්ගෙන තිබේද?
 
 මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුත්, ඔවුනට අයත් රටපුරා පිහිටි පැළ තවාන්වලිනුත්,
 
 ගොවීනට අවශ්‍ය හොඳ වර්ගයේ පුවක් පැළ නිකුත් කෙරේ. මීට අමතරව වැවිලි සමාගම්වලින් ලැබෙන ඉල්ලීම් වලට අනුව, පැළ සාදාගැනීම සඳහා ඔවුනට ගෙඩි ද ලබා දෙන්නේය. ගොවීන්ට ගෙඩි නිකුත් නොකරන්නේ, තවානක් වෙතට නොගොස් ඒවාහි ඉරණම ගැමියාගේ බුලත් මඩිස්සලයෙන්ම කෙලවරවේය යන සැකය නිලධාරීන් තුළ තිබෙන බැවිනි. ගෙවතු වවමින් කෙටිකාලීන ආහාර බෝග ගැන සමාජයේ උනන්දුවක් ඇතිවී තිබෙන මෙම වකවානුවේ, අඩු වියදමකින් ස්ථාපනය කළ හැකි, නිශ්චිත ඉඩක් පවා වගාබිමෙන් ඉල්ලා නොසිටින, මෙවැනි බෝග කෙරෙහිද අප අවධානය යොමු කළ යුතුය. වාර්ෂික බෝග මෙන් හදිසි කාලගුණ විපර්යාසයන්ට මේවා සංවේදී නොවන අතර, අස්වැනු හානියකට බියවී පුවක් තොගය ලහි ලහියේ කුණු කොල්ලයට විකුණා දැමිය යුතු ද නොවේ.
 
 හෙක්ටයාර් 15000 - 18000 ක පමණ පුවක් වගාවක් මෙරට පවතී. නමුත් ඇත්තේ විසිරුණු වගාවක් වශයෙනි. දේශීය පරිභෝජනයට වැයවෙන ප‍්‍රමාණය අඩු කළ පසු සාමාන්‍යයෙන් අපනයනය කරන උපරිම කරුංකා ප‍්‍රමාණය වසරකට මෙටි‍්‍රක් ටොන් 5000 කට අඩුය. 2012 වසරේදී මෙරටින් අපනයනය කර ඇත්තේ කරුංකා මෙටි‍්‍රක් ටොන් 2121 ක් පමණි. වසරක් ගත වූ තැන එනම් 2013 වනවිට එය 9783 දක්වා හතර ගුණයකින් පමණ වැඩිවී තිබේ. අපේ ගම්වැසියන් වැඬේ හොඳටම හිතට අරගෙන රටපුරා ඇවිදිමින්, පුවක් ගසක් දුටු තැන එය දිගේ බඩගා ගොස් පුවක් කඩා, කරුංකා වියළා ගත්තා සේය. එසේ සිතමින් අප මොහොතකට හිත හදා ගනිමු. 2014 වනවිට රට පැටවූ ප‍්‍රමාණය ටොන් 29509 කි. 2015 වෙත්දී 29513 කි. අවුරුදු දෙකක් ඇතුළත පුවක් අපනයනය මේ පෙනෙන පරිද්දෙන් 14 ගුණයකින් වැඩිකිරීමට නම් ලංකාද්වීපය තුළ දඩිබිඩියේ තුත්තිරි ගස් ගාණට පුවක් ගස් පැළවිය යුතුය. පුවක්වලින් සරු ආදායමක් ලබමින් සිටි පිටිසරයාගේ බඩට වැදුනේ ව්‍යාපාරික නාගරිකයින් දෙතුන් දෙනෙක් එකතුවී කළ මෙම අපනයන විජ්ජාවෙනි.
 
 ඉන්දුනීසියාවේ වනගත ප‍්‍රදේශවල ඉබේ පැළ වුණු පුවක් ගස් ඇති පමණට තිබෙන නිසා කැලෑවට රිංගා වැටී ඇති පුවක් එකතුකර විකිණීම අවට ගම්මුන්ගේ ජීවනෝපායක් වේ. මේවා ඉතා බාල ගුණාත්මයක් සහිත ඒවා බැවින් වෙළඳපොළ වටිනාකම ද අවමය. නිරෝධායන නීති අමතක කරන්නේ නම්, ක‍්‍රියාත්මක වෙළෙඳ ගිවිසුම්වලට පින් සිදුවෙන්නට, ඉන්දුනීසියාවේ කරුංකා, ලංකාව හරහා බදු ගෙවන්නේ නැතිවම ඉන්දියාවට යැවිය හැකිවේ. එහෙත් ලංකාව හරහා නොයා ඉන්දුනීසියාවෙන් සෘජුවම ඉන්දියාවට කරුංකා යැවීමේදී නම් එයට බදු අදාළ වේ. කපටි ව්‍යාපාරික සංවිධානයක් විසින් ඉන්දුනීසියාවෙන් බාල කරුංකා එකතුකර ලංකාවට පැටවීමටත්, මෙහිදී ඒවා ශ‍්‍රී ලාංකික කරුංකා බවට බවුතීස්ම කර ඉන්දියාවට යැවීමටත් මේ අනුව කටයුතු කරන ලදී. ‘කරුංකා ප‍්‍රති අපනයනය’ යනුවෙන් ලස්සන යෙදුමක්ද ඔවුහු නිර්මාණය කරගත්හ. එතැන් සිට ලාංකික කරුංකා වශයෙන් ඉන්දියාවට ගොඩබෑවේ ඉන්දුනීසියානු බාල කරුංකාය.
 
 ඉන්දියාවට ද කරුංකා උවමනා වන්නේ කෑමටම නොවේ. ඔවුහු තීන්ත කර්මාන්තය වැනි ව්‍යාපාරයන් රැසක් කරුංකා සමග පවත්වාගෙන යයි. ඒ සඳහා බාල කරුංකා වුවත් සෑහේ. අවසන් ප‍්‍රතිපලය වුයේ අපනයනකරුවන් විසින් ඔරිජිනල් ලාංකික නිෂ්පාදනයන් පවා අඩු මිලට ඉල්ලා සිටීමය. ඒ කියන මුදලට පුවක් එකතුකිරීමෙන් මහන්සියටවත් මුදලක් නොලැබෙන නිසා මෙරට ගොවීහු අපනයනයට පුවක් සැපයීම අත්හැර දැමූහ. ශාක නිරෝධායන පනතට අනුව තාල වර්ගයට අයත් පැළයක් නොව ගසක කැබල්ලක්වත් මෙරටට ගෙනඒමට තහනම් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලදරුවන් කීප දෙනෙක්ම කලබලවී හඬ තැලූවද, බලධාරීන් චාමර සැලූවේ ජාවා හා සුමාත‍්‍රා ¥පත්වල සිට යාත‍්‍රා කරණා කරුංකා නැවටමය.
 
 අද නම් නිරෝධායනය යනු කුමක්දැයි සැවොම දන්නා කරුණකි. නිරෝධායනය නොවී, රෝගියෙකු රට තුළට දමාගතහොත් සිදුවන විනාශය කොපමණද යන්න කොවිඞ්-19 වෛරසය විසින් අපට ගෙනවිත් දුන් පාඩම් පොතේ තිබෙන එක පරිච්ෙඡ්දයකි. කලකට ඉහතදී ඉහළ ගිය පොල් මිල හමුවේ පිටරටින් පොල් ගෙනෙන්නට තටමද්දීත් කෘෂිකර්මයේ ඇත්තෝ මෙලෙසින්ම කලබල වී කෑ ගැසූහ. වගකිවයුතු එක බලධාරියෙකු ප‍්‍රකාශ කර සිටියේ බාධාව ඇත්තේ පනතේ නම්, පනත වෙනස් කර හෝ පොල් ආනයනය කළ යුතු බවයි. දැන් ඉතින් පනතේ බාධාවකුත් නැති නිසා දඩිබිඩියේ මොනවට ලංකාවට යනවාදැයි සිතා, ක්ෂුද්‍රප‍්‍රාණියා පොල් ගෙඩියෙන් බිමට බැස ඉන්දියාවේම නතර වෙනු ඇතැයි ඔහුගේ පුංචි මොලයට සිතුනා විය හැකිය.
 
  වත්මන් පාලකයින් විසින් ප‍්‍රතිඅපනයන තහනම් කරනා තෙක්ම කරුංකා සෙල්ලම නම් අඩු තීව‍්‍රතාවයකින් හෝ ක‍්‍රියාත්මක වුණි. ඒ 2016 වසරේ සිට ක‍්‍රමික අවරෝහණයක් ද සහිතවය. කෙසේ වෙතත් නිරෝධායන නීතිරීති පයිසෙකටවත් ගණන් නොගන්නා කරුංකා නැව් උදේ හවස කොළඹ පැත්තේ ඇවිත් ගියද ලංකාවට ලෙඩක් පාත් නොවීම නම් ආශ්චර්යයක් සේ හැෙඟ්. කෙසේ නමුත් කලකට ඉහතදී කටකතා පැතිරී ගියේ කල් ගතවෙත්ම නැව් මෙරටට නොපැමිණි බවත්, කරුංකා තොගය ඉන්දුනීසියාවේ සිට කෙලින්ම ඉන්දියාවට යද්දී, ලිපිගොනුව පමණක් මෙහෙ ඇවිත් අපනයන සීල් ගසාගෙන යන බවයි. මේවාහි සත්‍ය අසත්‍ය බව අප දන්නේ නැත. එහෙත් ආනයන වාර්තාවල දැක්වෙන ප‍්‍රමාණයම අපනයන වාර්තාවලින්ද පෙන්විය යුතු බව පොඩි එකෙකුට වුවත් තේරෙන කතාවකි. කටකතාවලට යම් ජීවයක් තිබුණා ද කියා සිතෙන්නේ කරුංකා වෙනුවෙන් මෙම වාර්තා ද්විත්වය එකකට එකක් පෑහෙන්නේ නැති බැවිනි. රෝගකාරක ක්ෂුද්‍රප‍්‍රාණීන් සිටින්නේ කරුංකා ගෙඩිය ඇතුලේ මිස ෆයිල් සමග නොවන නිසා, ලිපිගොනුව ආවත් කරුංකා නොපැමිණීම හේතුවෙන්ම අපේ ගස් ලෙඩ නොවුණා ද විය හැකිය.
 
 ”ප‍්‍රති අපනයනය හරහා දේශීය පුවක්වලට සිදු වූ අසාධාරණය දැන් නැවතිලා තිබෙනවා. ඒ හරහා හොඳ විදේශ විනිමයක් රටට ලැබෙන තරමට මේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. ඉල්ලූම අසීමිතයි. මාතලේ පර්යේෂණ භුමියේ අපි දිවයිනේ විවිධ තැන්වලින් එකතු කළ පුවක් ගස් එකතුවක් තියෙනවා. ඉන් හොඳ ගස් අපි තෝරලා තියෙනවා. පර පරාගනයෙන් ගෙඩි හැදෙන නිසා හැදෙන හැම ගසකම ගතිගුණ කලින් මව් ගසට වඩා වෙනස්. ඒ නිසා හොඳ ගුණාත්මයෙන් යුත් ගෙඩි ලබාදෙන තනි ගසක් තමයි අපි ‘වර්ගය’ ක් ලෙස නම්කරලා තියෙන්නේ. විශේෂ ක‍්‍රමයකට අපි ඒ ගස්වල මල් වෙනත් මල් සමග කලවම් නොවෙන්න සලස්වලා ගෙඩි ලබාගන්නවා.”
 
 අධ්‍යක්ෂවරයාගේ සැලසුමට අනුව වඩාත් ආකර්ෂණීය ප‍්‍රභේද තෝරාගනිමින්, වගාව ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත්තේ එසේය. නව ආර්ථික වගා සොයා යන අප බොහොම පහසුවෙන් කළ හැකි පුවක් වගාව ගැන මෙතෙක් අවධානය නොකළේ මන්දැයි සිතා බැලිය යුතුය. නිශ්චිත භූමියක් මේ සඳහා අවශ්‍ය නැත. වැට මායිම ලෙස වුවද පුවක් ගස් වැවිය හැකිවේ. කඳ දිගේ වැවෙන ගම්මිරිස් වැනි වගාවක් පිහිටුවීමට වුවද පුවක් ගස සුදුසුය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
 
 මගින් සිදුකරන වගා ප‍්‍රවර්ධන කටයුතුවලදී ඔවුනට ප‍්‍රධාන අඩුවක් ලෙස දැනෙන්නේ ගොවීන්ගේ තොරතුරු නොමැතිවීමයි. අපනයනකරුවන් සිටින්නේ අතලොස්සකි. ඔවුන් සතුව තමා වෙත කරුංකා ලබාදෙන වෙළෙඳුන්ගේ තොරතුරු ද තිබේ. එහෙත් තමාට කරුංකා රැුගෙන එන ගම්මුන්ගේ තොරතුරු මෙම වෙළෙන්දන් සතුව නැත. පුවක්අරඹට රිංගන්නේත්, කූඩැල්ලන් කඩමින් පුවක් ඇහිඳින්නේත් ගම්මුන්ය. ලාංකික නිෂ්පාදනයක ඌරුව පවා කෙලසමින් අතලොස්සක් විසින් යටිමඩි ගසා ගන්නා ලද ඩොලර් මල්ල රුපියල්වලට හරවා ගම්මුන් අතට පත්කරන්නට නම් පුවක් ඇහිඳින ගැමියාගේ වගතුග මාතලේට අවශ්‍ය වේ.
 
 * සනත් එම්. බණ්ඩාර

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles