Divaina - මගේ පළමුවැනි ගීතය ගුවන් විදුලියෙන් ඇහෙන්නේ උසස් පෙළ පන්තියේදි... ප‍්‍රවීණ ගී පද රචක ආචාර්ය රත්න ශ‍්‍රී විජේසිංහ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

anuwa1
 
 
 මල් මල් චීත්තය තිත් හැට්ටයකි ගත
 බොල් මුතුපට ගෙලෙහි හිල් කූඩයෙහි අත
 කොල්ලෑවට නැගී පෑවත් සිනහ වත
 කෙල්ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත
 
 මේ හතේ පංතියේ කොලූවෙක් ලියාපු අපූරු කවි පංතියක්. එදා මේ කවි පංතිය අනාගත කවියකුගේ, සාර්ථක ගී පද රචකයකුගේ ප‍්‍රතිභාව පෙන්වන්නට ඇති. අද එය සැබෑවක් වී හමාරයි. විශිෂ්ට කවියෙක්, සාහිත්‍යධරයෙක් සහ ගී පද රචකයෙක් ලෙස අගනා නිර්මාණ රාශියක් ක්ෂේත‍්‍රයට දායාද කළ, සාහිත්‍ය කෘති විශාල ප‍්‍රමාණයක් රචනා කළ
 
 ඔහු ප‍්‍රවීණ ගී පද රචක ආචාර්ය රත්න ශ‍්‍රී විජේසිංහයන්...
 
  * මේ කවියේ අතීතය මතකද?
 
 මම ගමේ ඉස්කෝලෙ ගිහිල්ලා පහේ ශිෂ්‍යත්වය සමත්වෙලා තමයි නගරයේ පාසලකට එන්නේ. ඉතිං නගරයේ පාසලේ නේවාසිකව ඉන්නවා මං තනියම. පාළුව කාංසිය නිසා මං හුඟක් ඔය පොත් කියවන්න පෙලඹෙනවා. තව හේතුවක් තිබුණා මගේ පාළුවට කාංසියට. මගේ අම්මා නැතිවෙනවා මම හුඟක් පුංචිම කාලේ. අම්මා නැති වෙද්දී අවුරුද්දයි දවස් විසි දෙකයි මගේ වයස. තාත්තත් නැති වෙනවා මට අවුරුදු හතේදී. අම්මයි තාත්තයි දෙන්නම නැතුව මං හැදුනේ. ඉතිං එහෙම ළමයෙක් හොස්ටල් එකක ඉන්නවා කියන්නේ තවත් හුදකලා වෙනවා. ඒ නිසාම ඒ කාලේ මම වැඩිපුර පොත් පත් කියවන්න පටන් ගත්තා. ඒ වගේම ලියන්න පටන් ගත්තා. හයේ හතේ පංතිවල ඉඳලම කවි ලිව්වා. ඒ කාලේ ගීතාංජලි කියලා කවි පත්තරයක් තිබුණා. දවස නිවසින් නිකුත් කරන. හැම සතියේම අඟහරුවාදා නිකුත් වෙනවා. සත විසි පහයි මිල. ඔය ගීතාංජලි පත්තරේ තියෙනවා මුල් පිටුවේ පිංතුරයක්. ඒ පින්තුරයට ගැළපෙන කවියක් ලියලා එවන්න ඕන. එකවරක් පළවුණා, ගඟක් අයිනේ කොල්ලෑවක් සහිත ඔරුවක් උඩ කාන්තාවක් ඉන්නවා; චීත්තෙකුයි හැට්ටෙකුයි ඇඳලා, කූඩයක් අතේ තියාගෙන. ඒ පින්තුරේට මට අවුරුදු දොළහක් විතර වයසේදී මං කවියක් ලියලා යවනවා. ඒ කවියට පළවෙනි තැන හම්බවෙනවා, රුපියල් විසි පහක මුදල් තෑග්ගක් එක්ක. ඒ කාලේ ලොකු ගාණක්. ඒ චෙක් එක අපේ කඬේ මුදලාලිට දීලා මාරු කර ගත්තා මං. සත විසි පහක කමිෂන් එකකුත් ගත්තා එයා ඒක මාරු කළා කියලා. ඉතිං විදුහල්පතිතුමා ඕක දැනගෙන උදේ රැුස්වීමට ගෙන්වලා මාව මුළු ඉස්කෝලෙටම අඳුන්වලා දුන්නා. හික්කඩුව ශ‍්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ හිටියේ මං එතකොට. හතේ පංතියේ ළමයෙක් ඒ වගේ දෙයක් කළාම ඒක ලොකු දෙයක්. ඉතිං ඒ දිරිගැන්වීම නිසා දිගටම මම ලිව්වා. එදා ඒ ලියපු කවිය තමයි ඔය. කඩවල බඩු ගණන් ලියන පොඩි පොත් තියෙනවනේ. ඔයින් පොතක් අරගෙන දවසට එක කවියක් ගාණේ මං ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ 1967 මං ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට එනවා. අටේ පංතියට. ඒ ආවට පස්සේ මේ ලිවීම් තවත් වැඩි දියුණු වෙනවා ඉස්කෝලේ බිත්ති පුවත්පත් තිබුණා ඕවාට ලියනවා. ඊට පස්සේ උසස් පෙළ පංතියට ආවට පස්සේ මං දිගටම ලිව්වා.
 
 
 
 * එතකොට ඔබ රචනා කළ  පළවෙනි ගීතය මතකද?
 
 මම උසස් පෙළ පංතියේ ඉගෙනගන්න කාලේ තමයි මගේ පළවෙනි ගීතය ගුවන්විදුලියෙන් ඇහෙන්නේ මට. පටිගත වෙලා නෑ හැබැයි ඒක. සර්පිනාව වාදනය කරමින් කපුගේ සජීවීව ගායනා කළා ලූෂන් බුලත්සිංහල නිෂ්පාදනය කළ යෞවන සමාජය වැඩසටහනින්. ඒක තමයි ඇත්තටම පළවෙනි ගීතය. හැබැයි ඒක පටිගත වෙලා නැහැ ගුවන්විදුලියේ කොහෙවත්. ”තනිවෙලා මා නන්නාඳුනනා දුරු රටක මග නොදන්නා, එන්න අම්මේ පාලූ අහසේ අඳුර අතරින් පායලා” කියන ගීතය. ඊට පස්සේ ඒ අවුරුද්දෙම තව ගීත දෙකක් ගුවන්විදුලියේ නව පද මාලා වැඩසටහනින් තැටිගත වෙනවා. එකක් බණ්ඩාර අතාවුද ගායනා කරන නෙතු පියන් පියා මුතු දසන් වසා කියන ගීතය. අනිත් එක ඒ. එල්. බී. කන්දෙපොල ගායනා කරන බන්ඩි ගොයම බිම පෙරලී ලපලූ දියේ සැලෙනා කුණාටුවක් හතරවටින් කළු කරගෙන එනවා කියන ගීතය.
 
  * කාගේ හරි ආරාධනාවකට ලියවුණු ගීතද මේ?
 
 ඒ කාලේ ආරාධනා කළේ නැහැ කව්රුවත්. මොකද මං ගැන දන්නේ නැහැනේ කව්රුවත්ම. අනික මං කවි තමයි ලිව්වේ. ඒත් මගේ කවි පොතක්වත් පළවෙලා නෑ ඒ වෙනකොට. ඔය ඉස්කෝලේ යන කාලෙනේ. මුල්ම ගීතය එහෙම මම යෞවන සමාජයට ලියලා යවපු ගීත. කිසි කෙනෙක් දන්නේ අඳුනන්නේ නැති කාලේ. කපුගේ ඔය ගීතය ගායන කළාට ඒගොල්ලෝ කව්රුවත් මං දැකලත් නෑ. ඊට අවුරුදු තුනකට විතර පස්සේ ආරාධනා කරලා ලියපූ ගීතයක් තියෙනවා. ඒ අනුලා බුලත්සිංහල ගේ සරල ගී වැඩසටහනකට. ඒක ලූෂන් බුලත්සිංහල මහත්මයා කියලා තමයි මං ලිව්වේ. ”ඉද්ද මල් දෙණිය වත්තෙන් ඉද්ද මල් නෙලා, පිච්ච මල් කඩා කන්දෙන් මාලයක් හදා හැන්දෑවේ මං එනකොට ¥ට ගේනවා, ඉන්න නාඬලා එතකං ඉන්න නාඬලා කියලා. ඒ කාලේ වැඩිපුර ගීත ලියවුණේ නෑ ඇත්තටම. කවි තමයි ලිව්වේ. මගේ පළවෙනි කවි පොත පිටවෙන්නේ 1979. ඉන්පස්සේ තමයි ගීත ලියන්න පෙළඹෙන්නේ.
 
  * සේකරයන්ගේ මගපෙන්වීම ඔබට ලැබුණේ කොහොමද?
 
 මං ඉගෙනගත්තේ විද්‍යා විෂයන්. විද්‍යා විෂයන් කළාට නිතරම කවි ලියලා මහගම සේකර මහත්මයාට යවනවා මං ලියන කවි. එතුමා ඉතිං ඒවා බලලා අඩුපාඩු කියලා එවනවා මට. දුර්වලයි, නීරසයි, ඉතා හොඳයි, හොඳයි එහෙම ලියලා එවනවා. තව ගොඩක් විස්තර ලියලා එවනවා. මට එවපු ලියුම් මගේ ළඟ තාම තියෙනවා. හොඳයි කියන නිසා අහංකාර වෙන්න එපා, හොඳ කවියක් ලියවුණාම මටත් බලන්න එවන්න කියලා ලියලා එවනවා. එහෙම එවපු ලියුම් තියෙනවා මා ගාව. මම දවස් කිහිපයක් ගිහිං තියෙනවා එතුමා හම්බවෙන්න. එතුමාගේ ආශ‍්‍රය මට ලොකු ධෛර්යයක් වුණා දිගටම ලියන්න. ඔහොම තමයි ඉතිං ආරම්භය. මේ කාලේ වෙනකොට කවි සහ ගීත කියලා දෙකක් නං වෙන් කරන් තිබුණේ නැහැ. දෙකම ලියනවා.
 
 
 
 * ඔබ මගේ බිසවුනේ අසාපන් ඇතුළු අගනා ගීත රාශියක් රචනා කරනවා?
 
 ඔය ගීතය විශාරද ගුණදාස  කපුගේ ගායනා කරන්නේ. මම ගුරුවරයෙක් හැටියට ඉන්න කාලේ මාව මාරු කරනවා මොනරාගලට. එතකොට මම විවාහ වෙලා අවුරුදු දෙකක් වගේ වෙන්නේ. ලොකු දුවට අවුරුද්දක් විතර වයස. ගාල්ලේ කොටුවේ තමයි අපි පදිංචි වෙලා හිටියේ ඒ දවස්වල. ඉතිං ඒගොල්ලෝත් එක්ක යන්න බෑනේ ඒ වගේ දුර පළාතකට. ඒ නිසා එයාලව දාලා මම තනියෙන් යනවා මොනරාගල. ඒ කාලෙ පෞද්ගලික බස් තිබුණේ හරි අඩුවෙන්. ගාල්ලෙන් උදේ තුනහමාරට පිටත් වෙන බස් එකක් තිබුණා ආරියසිරි කියලා. ඕකේ යන ගමන් මං ඉතිං තනියෙන් කල්පනා මං මේ හරියට යන්නේ එදා වෙස්සන්තර රජ්ජුරුවෝ වංක ගිරියට ගියා වගේ ගමනක් හරි අසීරු දුෂ්කර ගමනක්. මට ඒක මතක් වෙනවා. ඒ වගේම මට මතක් වෙනවා ඒකත් එක්කම, ජෝන් ද සිල්වාගේ වෙස්සන්තර නූර්තියේ තියෙන ගීතයක්. බොහොම ජනප‍්‍රිය ගීතයක්. ගායක ගායිකාවෝ කිහිප දෙනෙක් ගයලා තියෙනවා. මගේ මන්ද්‍රි නම් බිසෝ ගේ ගීතය. ඉතිං ඔය ගීතය නැවත නැවත මම මතක් කර කර යන ගමන් මම ඔය ආකෘතියට ඔය විරිතටම ඔය ඡුන්දසටම ලියනවා ‘මගේ බිසවුනේ අසාපන් නුඹ මන්ද්‍රි දේවි නොවුණේ දුෂ්කර වූ ඒ පළාතේ මට යන්න දෙන්න දේවි’ ගීතය.
 
 * ඔය නමින් ඔබ ලියූ  කවි පංතියක් තිබුණා නේද?
 
 ඇත්තටම මම ලිව්වේ කවි පෙළක්. වංක ගිරියට මාරුවීම කියලා. ඔය කවි පෙළ ඉරිදා දිවයිනේ පළ වුණා. මං ලියපු හුඟක් කවි ඒ කාලේ පළවෙලා තියෙන්නේ ඉරිදා දිවයිනේ කවි පිටුවේ. ඔය කවියත් පළවුණා. පළවුණාට පස්සේ ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාර මහත්මයා ඕකේ පද ටිකක් එහාට මෙහාට කරලා සමහර කොටස් අඩු කරලා ගීතයක් බවට පත් කරලා කපුගේට දුන්නා කියලා මට ඒ ගීතයේ පිටපතක් එවලා තිබුණා. එනිසා මම නෙමෙයි ඔය ගීතය නිර්මාණය කරලා කපුගේට දුන්නේ. ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාර තමයි මගේ කවි පෙළකින් සංස්කරණය කරලා හදලා තිබුණේ. කපුගේ ඒකට අර වෙස්සන්තර නූර්තිය මතක් වෙන විදියේ තනුවක් යොදලා ගායනා කළා. ඒ කවි පෙළත් හුඟක් ජනප‍්‍රියයි. ඒ කවි පෙළ හුඟ කාලයක් තිස්සේ උසස් පෙළ පංතිවල නිර්දේශ වෙලා තිබුණා.
 
* චන්ද්‍ර මණ්ඩලේ ගීතයත් ඔබේ ජනප‍්‍රිය ගීතයක්?
 
 මම රිච්මන්ඞ් එකට යන කාලේ බෝඞ් වෙලා හිටියේ කොටුවේ ගෙදරක. ඉතිං ඉඳලා ඉඳලා ගමේ යනවා කාලෙකට පස්සේ. අපේ ගම තියෙන්නේ ගාල්ලේ ඉඳන් කිලෝමීටර් විස්සක් විතර ඈත. බොහොම පිටිසර ගමක් තෙල්ලඹුර කියලා. එහෙ යනකොට අපි වැස්සට එහෙම ගොඩවෙන පොඩි වඩු මඩුවක් අපේ ගමේ තියෙනවා. ඒ වඩු මඩුවේ හිටියේ වඩු වැඩ කරන මැදිවියේ පියෙක් සහ ඔහුගේ තරුණ දියණිය. දවසක් එතනට ගියාම මේ තාත්තා හරි දුකෙන් මට කතන්දරයක් කියනවා. බලන්න හරි වැඬේ අපේ කෙල්ල මේ කොහේදෝ ඉඳලා ආව රස්තියාදුකාරයකුට රැුවටිලා එයත් එක්ක පැනලා ගිහිල්ලා කියලා. අපි මුළු ගමම දැනගෙන හිටියා මේ තාත්තා අම්මත් නැතුව මේ ළමයා හදාගන්න කොච්චර මහන්සි උනාද කියලා. ඒ නිසා මේ දුව ගේ හිතුවක්කාරකම ඒ තාත්තට දරාගන්න බැරි කාරණයක් වෙන්න ඇති.
 
 ඉතිං ඕක කාලයක් මගේ හිතේ තිබුණා. ඊටපස්සේ මට කියවන්න හම්බවෙනවා ඔය වගේම අත්දැකීමක් තියෙන රුසියානු කෙටිකතාවක් ඇලෙක්සැන්දර් පුෂ්කින් ගේ. ඔහුගේ තානායම්කරුවා කියන කෙටි කතාවේ තියෙන්නෙත් ඔය වගේම කතාවක්. ප‍්‍රදේශ බද පිටිසර තානායමක් පවත්වාගෙන යන වයසක පියෙක් ඉන්නවා. ඔහුට ඉන්නවා දුන්‍යා කියලා බොහොම ලස්සන දුවක්. මේ තානායමේ ලැගුම් ගන්න එනවා ජේත්තුකාර තරුණ සිටුවරයෙක්. එයා සුමානයක් විතර නතරවෙලා ඉඳලා දුන්‍යා රවටගෙන ඇයත් සමග පැනලා යනවා. ඒ වයසක තාත්තා දුව හොයාගෙන නගරයට යනවා. නමුත් දුව පෙන්නන්නේවත් නෑ. සල්ලි මිටියක් ජනේලෙන් එළියට විසි කරනවා. ඒ තාත්තා ඒ සල්ලි අල්ලන්නේවත් නෑ. ඒ සල්ලි පාගලා දාලා එනවා. ඔහු කියනවා නගරේ ඉඳලා එන ජේත්තුකාරයින්ට රැුවටිලා පැනලා ගිය ඉතිහාසයේ එකම කෙල්ල දුන්‍යා වෙන්න බෑ. ඉස්සරහටත් එහෙම දේවල් වේවි. ඒගොල්ලෝ අද හොඳට සේද ඇඳලා ඉන්නවා. හැබැයි හෙට පාර අතු ගානවා ඇති කියලා. ඉතිං ඔය කතන්දර දෙකම එකතු කරලා තමයි මං මේ ගීතය ලිව්වේ. දැන් ගීතය ලියලත් මං හිතන්නේ අවුරුදු තිස් අටක් විතර වෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට සුනිල් එදිරිසිංහ ගායනා කළා.
 
 * ස්කූටර් කියන වචනය ගීතයක එන පළමු අවස්ථාව ඔබේ අජානීය ස්කූටර් ගීතයේද?
 
 මං හිතන්නේ පළමු වතාවට වෙන්න ඕන. ඉස්සර මගේ වැඩිමල් මිත‍්‍රයෙක් හිටියා කැලණිය විශ්වවිද්‍යාලයේ. ඔහු උපාධිධාරියෙක්. ඒ කාලේ උපාධිධාරීන් හුඟක් රස්සා නැතුව හිටියා. මගේ මිත‍්‍රයා තාවකාලිකව වැඩ කළා රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ. ඒකෙ මාර්ග කම්කරුවෙක්ම නෙමෙයි. කම්කරුවන්ගේ වැඩ මෙහෙයවන වැඩ මූලිකයෙක් විදිහට. උපාධිධාරියෙක් වෙලා ඔහු ඒ වැඩ කළා; නමුත් ඔහුට ගැළපෙන රැුකියාවක් නෙමෙයි ඒක. එයාට විශ්වවිද්‍යාලයේ පේ‍්‍රමයක් තිබුණා. නමුත් ඒ පෙම්වතිය ඔහුට පිටුපාලා ඉහළ පැලැන්තියේ පෙම්වතෙක් හොයාගෙන යනවා. දවසක් මගේ මිතුරා අර පාරක් හදන තැනක වැඩ කරද්දී එයා දකිනවා එයාගේ පැරණි පෙම්වතිය තමන්ගේ සැමියා හෝ අලූත් පෙම්වතා සමග මෝටර් සයිකලයක නැගිලා ඔටුන්නක් වගේ හෙල්මට් එකත් දාගෙන බොහොම උජාරුවට යනවා උරහිසේ එල්ලිලා. මොහු අඳුන ගන්නවා ඇයව. ඇය මොහුව දැකලා අහක බලා ගන්නවා. ඕක තමයි සිද්ධිය. ඔය වගේ සිද්ධියක් තියෙනවා උම්මග්ග ජාතකයේ. සිරි කාලකණ්ණි ප‍්‍රශ්නය. දිසාපාමොක් ළඟ ඉගෙන ගන්නවා පිංගුත්තර කියලා දක්ෂ ශිෂ්‍යයෙක්. දක්ෂතම ශිෂ්‍යයාට හම්බවෙන තෑග්ගක් හැටියට හම්බවෙනවා දිසාපාමොක් ගේ දුව. සාම්ප‍්‍රදායික තෑග්ගක් හැටියට ඔහු භාර ගත්තත් ඔහුගේ ඇයට කිසි ආදරයක් නැහැ. ගමට යද්දී කැලෑව මැද්දෙන් බඩගිනි දැනිලා ගහකට නැග්ගම පලතුරක් කඩන් කන්න, පිංගුත්තර වහා ගහෙන් බැහැලා ඇයට බහින්න බැරි වෙන්න කටු අතු දාලා පැනලා යනවා. ඔතනින් යන වේදේහ රජු ඇය දැකලා තම බිසව කරගෙන, දවසක් දෙදෙනා උයන් කෙළියට යද්දී දකිනවා පාරේ පුරුෂයෙක් වැඩ කරනවා. ඒ තමයි පිංගුත්තර. ඔහු දැකලා ඇයට හිනා යනවා. රජතුමා ඇය නිකරුනේ හිනා වූයේ යයි කිපෙනවා. රාජ උදහසින් ඇය බේරා ගන්නේ මහෞෂධ පඬිතුමා. ඉතිං අර මගේ මිත‍්‍රයාගේ කතාවයි ඔය කතාවයි ගලපලා තමයි ‘අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා’ ගීතය ලිව්වේ.
 
  * කිරුළ මුතු ලිහී ඔබේ සුවිශේෂී ගීතයක්?
 
 මේ අත්දැකීම 89 වගේ කාලේ. ගීතය ලියවෙන්නේ 91, 92 වගේ කාලයේ. ඒ කාලේ බොහොම ප‍්‍රවීණ නර්තන ශිල්පියෙක් හිටියා. එයාට උපහාර උළෙලක් තිබුණා. මට මතක විදිහට 89 දෙසැම්බර් මාසේ වගේ. ඒ කියන්නේ භීෂණ කාලේ. හොඳටම භීෂණය උග‍්‍ර දවස්වල. උත්සවය තිබුණේ සුදර්ශියේ. ඒ ශිල්පියාගේ උපහාර ගීතය ලියන්න කියලා මට ආරාධනා කළා ඒ දවස්වල හිටපු නැටුම් ශිල්පියෙක්, එයාගේ ගෝලයෙක්. ඒ නිසා මං ඒක ලිව්වා. මටත් ආරාධනය තිබුණේ ඒකයි. ඒ නැටුම් ශිල්පියා ඇත්තටම ලංකාවේ හිටපු ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයකුටත් දේශපාලනඥවරියකටත් නැටුම් උගන්වල තියෙනවා. කොහොම හරි ඒ කාලේ හිටපු රාජ්‍ය නායකයා මේ ශිල්පියා ගැන වර්ණනා කරලා එයාට උස්සගන්න බැරි තරම් ලොකු සම්මානයක් දීලා යන්න ගියා. ඇඳිරි වැටෙන වෙලාව. පොද වැස්සකුත් වැටෙනවා. ඉතිං අපි උත්සවේ ඉවරවෙලා පයින් එනවා ඇවිදගෙන බෞද්ධාලෝක මාවත පැත්තට. එනකොට ටිකකට කලින් අර සම්මාන ලබපු ශිල්පියා ඉන්නවා දේකට තුනට නැවිලා උස්සගන්න බැරි සම්මානෙත් උස්සගෙන පොද වැස්සේ තෙමි තෙමි බස් එකක් එනකං ගෙදර යන්න. මම ඔහුට හැබෑම උපහාර ගීතය ලියන්න ඕන කියලා තීරණය කළේ එතකොට. ඒක තමයි ඔය ගීතය. වෙස් තට්ටුවේ මුතු ගැලවිලා වැටෙනවා කඳුළු වැටෙන්න වාගේ. නටනවා නෙවෙයි කකුල් වෙව්ලනවා. නැටුම් ශිල්පියෙක් ගැන මෙතන කිව්වා උනත් හුඟක් කලාකරුවන්ගේ ජීවිත අවසාන කාලය හරි අභාග්‍යමත් විදිහට ගෙවෙන්නේ. ඉන්නකං වර්ණනා කරනවා ප‍්‍රයෝජන ගන්නවා කඬේ යවනවා නමුත් හොයන්නේ බලන්නේ බොහොම අඩුවෙන්. පොදුවේ ඔක්කොම කලාකරුවෝ වෙනුවෙන් තමයි මේ ගීතය මං හිතන්නේ මගේ අතින් ලියැවිලා තියෙන්නේ. මේක ඇත්තටම ගයන්න නියමිතව හිටියේ කපුගේ. කපුගේ ළඟ මේක තිබුණේ. අනූ ගණන්වල මුල කාලේ ගුවන්විදුලියෙදි ඔය ජානක වික‍්‍රමසිංහ එතකොට බොහොම ලජ්ජාශීලී කුලෑටි තරුණයෙක්. මම මොකක් හරි පටිගත කිරීමට ගිහිල්ල එළියට ආවා. එයා ඇඹරි ඇඹරි ඇවිල්ල ලජ්ජාවෙන් මට කියනවා සිංදුවක් ඉල්ලගන්න ආවේ කියලා. මම කිව්වා ජානක මගේ ළඟ මේ වෙලාවේ සිංදු නෑ. එයා කපුගේ අඳුරනවා කිව්ව නිසා මං කිව්වා කපුගේ ගාව තියෙනවා ගීතයක් කැමති නං කපුගේ ගෙන් ඒක ඉල්ලා ගන්න කියලා. කපුගේ දුන්නා ඒක. එච්.එම්. ජයවර්ධන තමයි සංගීතවත් කළේ. ඔහු බොහොම කැමැත්තෙන් නිර්ලෝභීව ඒ ගීතය ජානකට දුන්නා. ගීතය බොහොම ජනප‍්‍රිය වුණා.
 
  * ඔබේ ආදරණීය බිරිඳ, ඔබේ බොහෝ නිර්මාණවල වස්තුබීජය?
 
 මාව මොනරාගලට මාරු කළාට පස්සේ මං හිටිය නවාතැන ඉස්සරහට පේනවා මරගල කන්ද. ඒ කන්ද මීදුමෙන් වැහිලා යනවා. ඒක උඩින් හඳ පායනවා. පොද වැස්සක් වැටෙනවා. මට ඉතිං පරිසරයත් එක්ක මතක් වෙනවා ඇය. නින්ද නැති රැුයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නේ ඇයිද ප‍්‍රථම පේ‍්‍රමයේ. හඳ කඳුළු මීදුමක හැංගිලා අඬනවා. මං කල්පනා කරනවා ඒ ඇය තමයි. ගෙදර තනිකරලා දාලා ආපු ඇගේ ඒ නිල් ඇස් වල එළිය කාන්තිය නිවිලා යනවා. ඒ කියන්නේ අඬන්න සූදානම් වෙනවා. වැහි බිංදු වැටේවි, ඔන්න අඬන්න පටන් ගන්නවා. තොල් සැලෙන්න පටන් ගන්නවා. මාසෙකට විතර සැරයක් ඇවිල්ලා ආයේ ඉක්මනටම මං ආයේ මගේ සේවයට යන්න පිටත් වෙන්න ඕන ආයේ අවදිවෙලා පහුවෙනිදා. අනෙක නෙතු පියන් පියා මුතු දසන් වසා නිදි දැහැන් වැදී කුමරි සිහිනයෙන් වඞී මා ළඟින් ඉඳි මව්පියන් බලා නොඉඳි ගීතය. දෙමාපියන්ගෙන් තමයි පොඩි කරදරයක් තිබුණේ. ඒත් ඇය හීනෙන් එනකොට ඒගොල්ලන්ගෙන් කරදරයක් නෑ කියල තමයි මේ ගීතයේ ලියලා තියෙන්නේ. හුඟක් කවි තියෙනවා එයා අරමුණු වුණු ගීතවලට වඩා. මේක විවාහයට පෙර ලියවුණු ගීතයක්.
 
 
 
 * ”සිංහල සිංදු කියන” ගීතය රසික ආදරය දිනාගත් ජනප‍්‍රිය ගීතයක්?
 
 කපුගේ ගයන ගීතයක් මේ. කපුගේ තමයි අත්දැකීම මට කියන්නේත්. දයාසේන ගුණසිංහ මහත්මයා සඟරාවක් කළා සිව්දෙස කියලා. කපුගේ දවසක් මට රෑ හතට විතර දුරකථනයෙන් කතා කරලා ඇහුවා රත්නේ මේ මාසේ සිව්දෙස කියෙව්වද කියලා. මම කියවල තිබුණේ නෑ ඒ වෙනකොට. එවේලේ එයා මට නම් කළා සිව්දෙස සඟරාවේ ලිපියක්, මේ ලිපිය කියවන්න කියවල. ඒ විතරක් නෙමෙයි ඒක ලියන්න ඕන කියලා. මං හොයාගෙන කියවන කොට ඒකෙ තියෙන්නේ ඔය කතාව. ලංකාවේ දකුණු පළාතේ ඉඳලා කාන්තාවක් පොලිස් නිලධාරිනියක් හැටියට එනවා කොළඹට. කිරුලපනේදී ඇයට මුණගැහෙනවා උතුරෙන් ආව දෙමළ ජාතික පොලිස් නිලධාරියෙක්. දැන ඇඳුනුම්කමක් ඇතිවෙලා ඒක පේ‍්‍රමයක් දක්වා දිවෙනවා. පසු කලෙක පොලිස් සේවයෙන් ඉවත්වෙලා ඔහු ඔහුගේ අලූත් සිංහල මනාලියත් එක්ක උතුරට, ගමට, තල් අරඹට පියඹලා යනවා. ගිනිගත් තල් අරඹට. යුද්ධය පටන් අරං එතකොට.
 
   * ඔබේ ආදරණීයයන්?
 
 මගේ බිරිඳ 2012 අවුරුද්දේ නැතිවුණා. දැන් අවුරුදු අටක් වෙනවා. එයාට අවුරුදු 53 යි වෙන්නේ එතකොට. ලොකු දුව ප‍්‍රාර්ථනා සම්මානි, දෙවැනි දුව පූර්ණිමා සංදීපනී. මේ දෙන්නටම ළමයි දෙන්නා දෙන්නා ඉන්නවා දැන්. මං පුංචිම කාලේදී මගේ අම්මයි තාත්තයි නැතිවුණාට පස්සේ මට හිටියේ පුංචි අම්මලා, මාමා, ආත්තම්මලා, සීයලා.
 
 ඒගොල්ලෝ තමයි මට අවශ්‍ය ආදරය අඩුවක් නැතුව දුන්නේ. ඒගොල්ලෝ එක්ක තමයි මම හැදුනේ. මට වැඩිමල් සහෝදර සහෝදරියෝ නැහැ මං විතරයි. මගේ ජීවිතේ ගොඩක් තියෙන්නේ අහිමිවීම් තමයි මුල ඉඳලා. තාත්තා අම්මගේ ඉඳලා බොහොම ආදරෙන් හිටපු සීයා, ඒ ඔක්කොම නැති වෙනවා. ඒගොල්ලෝ බොහොම ආදරෙන් හිටපු අය. මගේ බිරිඳ මට මුණ ගැහෙන්නේ මම නේවාසිකාගාරයෙන් ඉවත්වෙලා උසස් පෙළ කරනකොට අමතර පංති යන්න හිතාගෙන බෝඩිමක නවාතැන් ගන්නවා. ඒ බෝඩිමේ තමයි ඇය හිටියේ. ඉතිං අන්තිමට බිරිඳත් මට නැති වෙනවා. ඔක්කොම ජීවිතේ අහිමි වීම් තමයි තියෙන්නේ.
 
  යුගන්ති යශෝධරා

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles