Divaina - තාත්තා කිවේ එක පුතෙක් විතරක් සාසනයට දුන්නාම ඇති කියලයි... සිංගප්පූරුවේ ප‍්‍රධාන සංඝනායක බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

sd25 1සිංගප්පූරුවේ ප‍්‍රධාන සංඝනායකයාණන් වහන්සේ ලෙස එරට බෞද්ධ ප‍්‍රබෝධය වෙනුවෙන් අමිල මෙහෙයක් කළ බෙල්ලන්විල රජමහා විහාරාධිපති අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමිපාදයාණන් වහන්සේ අද අපේ පියවරම ‘අපේ තාත්තා’ මණ්ඩපයට වඩිති.
 
 මගේ තාත්තාගේ ශීලාචාරකම මට මහා ආඩම්බරයක්. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ගිහි මෙන්ම පැවිදි සහෝදරයා ද වන උන්වහන්සේ ඕනෑම නායකයකුට කිවයුත්ත කෙළින්ම කියන යුක්තිය වෙනුවෙන් හැමදා කටයුතු කරන විශිෂ්ට හිමිනමකි. බෙල්ලන්විල විමලරතන ස්වාමිපාදයාණන් වැඩ බලාගෙන සිටි බෙල්ලන්විල රජමහා විහාරය තවදුරටත් නඟාසිටුවන්නට නිබඳ වෙහෙසෙන ධම්මරතන හිමියෝ සිංගප්පූරුවේ බෞද්ධ කටයුතු තම ශිෂ්‍ය නමකට පවරා අපේ දෙස, බස, රැස වෙනුවෙන් අද මහ මෙහෙයක් කරති. මේ උන්වහන්සේගේ අව්‍යාජ හඬය. පියා පිළිබඳ අකලංක කැමැත්තය.
 
 x ලි
පිකරුවෙක්
 
 මගේ තාත්තා ඕමත්තගේ පෝල් පෙරේරා. රජයේ ලිපිකාර සේවයේ කටයුතු කළ හොඳට ඉංගිරිසි උගත් මහත්මයෙක්. අවසාන කාලෙත් එතුමා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම ලිපිකරුවෙක්. තාත්තා ජීවත් වුණේ අවුරුදු 52 යි. ඒත් ඒ කෙටි කාලය තුළ එතුමා කළ මෙහෙවර හරිම උසස්. මගේ අම්මා දෝන බුත්සලිනා ද සිල්වා. මේ විවාහය සිදු වෙලා තියෙන්නේ යෝජනාවක් අනුවයි. අම්මලාගේ පවුලේ වෙනම මඟුල් කපුවෙක් ඉන්නවා. එතුමා තමයි මේකත් කළේ.
 
 බණ්ඩාරගම ගමේ රාළහාමි මගේ ආතා. ඒ කියන්නේ අපේ අම්මගෙ තාත්තා. එතුමාගේ බාල දුව තමයි රාළහාමිගේ ලේකම් වගේ කටයුතු කරලා තියෙන්නේ. අම්මටත් යම් දැනුමක්, උගත්කමක් තිබුණා. මඟුල් කපුවා යෝජනාව ගේන කොටම කියා තිබෙනවා. ඔන්න! රාළහාමිගෙ දුව දෙනවා කීවේ එහෙ බින්න බහින කෙනෙකුට විතරයි කියලා. තාත්තා ඒ අනුව තීන්දු කළා ඒ ගමේ රාළහාමි ගෙදරම බින්න බහින්න. අම්මා තාත්තා හැ¥ කැදැල්ලේ දරුවන් 6 යි.
 
 x පිරිමි දරුවොම 6 ක්
 
 පළමුවැන්නා ඕ. ඔලිවර් පෙරේරා එයාට කවුරුත් කීවේ ඩබල් ඕ කියලයි. ඕමත්තගේ එකක්, ඔලිවර් තවත් එකක්. ඒ අනුව ලියන කොට ඕ අකුරු දෙකයිනෙ. එතුමා රේඩියෝ (ට‍්‍රාන්සිස්ටර්) ඉංජිනියර් කෙනෙක්. දෙවැන්නා ඕ. ටී. පෙරේරා එතුමා විද්‍යා ගුරුවරයෙක්. පවුලේ තුන්වැන්නා මමයි. මගේ ගිහි නම ඕ. එච්. පෙරේරා, එච් කීවේ හර්බට් කියන එකට. ඊළඟට තමයි විමලරතන හාමුදුරුවෝ. ගිහි නම ඕ. ජී. පෙරේරා. ජී කියන්නේ ගිල්බට් කියන එකට. පස්වැන්නා ඕ. ඊ. පෙරේරා ඊ කීවේ එඞ්මන් කියන එකට. දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක්. ඒ කාලෙ අපේ අම්මලටත් තාත්තලටත් ඔය ඉංගී‍්‍රසි නම්වලින් බේරෙන්න බැරි වෙලා තියෙනව. ඒ කාලෙ සමාජයෙ නම් වැටුණු පිළිවෙළ ඒකයි. සමාජ මානව විද්‍යාත්මකව මේ ගැන හදාරන කොට මේ නම් පිළිවෙළ පසු කාලයක ක‍්‍රමයෙන් අපේ සිංහල නම් බවට පත් වෙනවා. බලන්න පවුලේ බඩපිස්සා ඕ. කේ. පෙරේරා. එතුමා බැංකු නිලධාරියෙක් කේ කියන්නෙ කපිල කියන එක. අන්න! දැන් තරමක් නම වෙනස් වුණා.
 
 x අඳුරින් මතුවන තාත්තාගෙ රූපය
 
p31 1 අපේ තාත්තා තරම් දරුවන්ට ආදරය කළ තාත්තෙක් මා දැකලාම නෑ. අරුණත් සමගම ගෙදරින් පිටවෙන තාත්තා බණ්ඩාරගමින් බසයෙන් පානදුරට ඇවිත් එතැනින් දුම්රියෙන් කොළඹ යන්නෙ. එන්නෙත් ඒ විදියටමයි. ඉතින්! දරුවන් සමඟ රැඳෙන්න වේලාව අඩුයි. ඒ ටික වේලාවෙදිත් එතුමා දරුවන් සමගමයි ඉන්නෙ. රා, අරක්කු, සිගරට් මේ මුකුත් පාවිච්චියක් නෑ. රාති‍්‍ර 6.45 - 7.00 විතර වෙනකොට අපට පෙනෙනවා බණ්ඩාරගම මහගෙදර ලොකු වත්තේ කෙළවරින් මතුවන තාත්තාගේ රූපය. තාත්තා වත්තට ඇතුළු වුණාම පොඩි උගුර පාදන සද්දයක් දානවා. අපි දරුවෝ ඔක්කොම දුවගෙන ගිහින් තාත්තාගේ අතේ එල්ලෙනවා. ඒ ආදරයටම විතරක් නොවේ. අතේ තියෙන පාර්සලය දිහා බලාගෙන. ඒකෙ දරුවන්ට මිදි, ඇපල්, කෙසෙල්, මුද්දරප්පලම් මොනවා හරිම ඔතලා තියෙනවා. ඉස්සෙල්ලම කරන්නෙ ඇඟපත සෝදා ගන්නත් කලින් දරුවන් එක පෙළට වාඩි කරවලා අර ගෙනා දේවල් බෙදල දෙන එක.
 
 x පන්සල් පරිසරය
 
 තාත්තා බුදු දහමට හරිම ලැදියි. අම්මත් එහෙමයි. සතියකට වතාවක් හරි පන්සල් යනවාමයි. ගෙදරට පන්සල් පරිසරයක් තිබෙනවා, අප මහණ වෙන්නත් පෙර සිටම. බෙල්ලන්විල සෝමරතන නායක හාමුදුරුවෝ අපේ තාත්තාගේ මල්ලි කෙනෙක්. බෙල්ලන්විල පන්සල අපට කිට්ටුයි.
 
 x හේවිසි හඬක්
 
 හාමුදුරුවන් සමඟ සාමීචිය මොහොතකට නතර කර මතකයට නැෙඟන අසිරිමත් යමක් ලියමි. බෙල්ලන්විල රජමහා විහාරයේ අධිපතිව වැඩ විසූ නායක හාමුදුරුවරුන් හත් අට නමකට පෙර මේ පන්සල සොයා ගත් ආකාරය ජනශ‍්‍රැතියේ මෙන්ම මූලාශ‍්‍ර ග‍්‍රන්ථවල ද විග‍්‍රහ කර ඇත්තේ අපූරු ආකාරයකටය. ඉංගී‍්‍රසි ආණ්ඩු කාලයේ මේ විහාරයේ වැඩ වසන බෝධීන් වහන්සේට එහායින් තිබෙන කුඹුරු යාය අයිනෙන් රිදී දිය දහරාවෙන් යුත් තරමක දොළක් තිබිණ. මේ විහාරයේ මුල් හිමිනම මේ දොළ පාරේ ඔරුවකින් ගමන් ගත්තේ සවස බුද්ධ පූජාවට මල් කඩමිනි. හිටි ගමන් නොනැවතී ඇසෙන මහා ශබ්ද පූජාවකි. එය දළදා තේවාව පරදන කර්ණ රසායන හේවිසි හඬක් බැවින් ඒ හිමිනම සෙමින් සෙමින් ඒ දෙසට ඇදුණේය. හේවිසි හඬ දිගින් දිගටම පැවැතියත් මේ බෝධීන් වහන්සේ (කුඩා අවදියේ) ඒ අසලට කිට්ටුවත්ම ඒ හේවිසි හඬ නැවතිණ. මේ අසිරිය නිසාම එතැන ඓතිහාසික බෙල්ලන්විල විහාරය ගොඩනැඟිණ.
 
 x වෙස්සන්තර රජ්ජුරුවෝ
 
 මේ ඓතිහාසිකත්වය බෙල්ලන්විලටම අභිමානයක්. අපේ තාත්තාත් බෙල්ලන්විල ගමේ. ඒ බෙල්ලන්විල ඓතිහාසික විහාරයේ නායක හිමිනම තමන්ගේ මල්ලී වීම ගැන තාත්තාට යම්බඳු ආඩම්බරයක් ඇති කළා වෙන්න ඇති. අපේ තාත්තාත් වෙස්සන්තර රජ්ජුරුවෝ වගේ දන් දීම කළ කෙනෙක්. බණ්ඩාරගම රාළහාමි ආතා නැති වුණාට පස්සෙ තාත්තා කල්පනා කළා දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න නම් බෙල්ලන්විලට පැමිණිය යුතුයි කියලා.
 
 ඒ වනවිටත් බණ්ඩාරගම ගමේ අම්මට ඉඩම් තිබුණා. රබර් වතු, කුඹුරු, හරක් පට්ටි, එළවළු කොටු මේ හැම දෙයක්ම තිබුණා. වැඩිමල් පුතා ඉංජිනේරුවෙක් කරන්නයි දෙවැන්නා දොස්තර කෙනෙක් කරන්නයි පැරැුණි ගැමියන් තුළ තිබූ සිහිනය තාත්තාටත් තිබුණු බව මා අහලා තියෙනවා. තාත්තා අම්මත් සමග එකතු වෙලා අර ඉඩම් කොටස් කුඹුරු ආදිය විකු-ණලා බිම් අඟලක්වත් නැතිව බෙල්ලන්විල ගමට කිට්ටුව කුලියට ආවා.
 
 x ඉංගිරිසි බස
 
 ඒ ආවෙ දරුවන්ට උගන්වන ඒකායන පරමාර්ථයෙන්මයි. ඒ කාලෙ පානදුර ශාන්ත ජෝන්ස් විදුහල ඉංගිරිසි භාෂාවට මුල්තැනක් දුන් විදුහලක්. තාත්තා පවුලෙ ලොකු දරුවෝ තුන් දෙනා මේකෙ විභාගයකට තිබ්බා. ලොකු අයියා සමත්. අපි දෙන්නා අසමත්. ඒ නිසා ශාන්ත තෝමස් විදුහලට එක් කෙනෙකුත් අනෙක් කෙනා ‘ක‍්‍රයිස්චර්ච්’ විදුහලටත් දැම්මා. තාත්තාගේ තාත්තත් ගමේ යම්බඳු වටිනාකමක් ඇතිව ජීවත් වූ කෙනෙක්. එතුමාගෙන් තාත්තාට හිමි වූ ඉඩම් කොටස් පවා තාත්තා නෑයින්ට බෙදලා තිබුණා. එක්කෙනෙක් මහණකමටත් ගියානෙ. ඒ කොටසුත් තාත්තාගේ ඉඩම් කොටස් 2 කුත් දීලයි නැන්දාව විවාහ කරල දීල තිබුණේ. තාත්තට අම්මගෙ ඉඩම් තියෙනවනෙ එහෙම තමයි ඒ අය කියා තිබුණෙ.
 
 x පොලියට සල්ලි දෙන අය
 
 අපේ තාත්තාගෙ බාලම නංගි (අපේ නැන්දා හා එයාගෙ මහත්මයා) මේ හැමෝම සල්ලි පොලියට දෙන අය. තාත්තා විකුණපු ඉඩම්වල සල්ලි අතේ තිබෙන බව දැනගෙන එතුමිය අපූරු යෝජනාවක් ගෙනාවා. එතුමියට අයිති බෝකුන්දර ගෙයක ඉන්න කියලා ඒ සල්ලි අපට දෙන්ට. අප පොලී කරලා සල්ලි හොයන්නම්. එතකොට අයියා මේ ගෙදරට කුලියක් ගෙවන්නත් ඕනෑ නෑ. අතටත් මුදලක් දෙනවා. මේ වගේ කතා කියමින් තාත්තාගෙ සල්ලිත් අරන් අන්තිමේ කලකට පස්සෙ ඒ ගෙදර ඉන්නවා නම් සල්ලි ඕනෑ, හිටපු කාලෙට ගත්තු සල්ලි කැපිලා ගියා කියලා ආයිත් ඒ ගේත් ඉල්ලූවා.
 
 x බං බොලන් වචන
 
 අපේ තාත්තා මොනම දේකින්වත් සැලෙන්නේ නෑ. අපට මුල් කාලයේ ගෙදර වැඩ කරන්නට පවා මිනිසුන් හිටියා. ඒ එක් අයකුටවත් යකෝ, තෝ, බං බොලන් වචන කීවෙ නෑ. අවකැපෙන කතා කීවෙ නෑ හරිම සදාචාරවත් විදියට කතා කළේ. ඒ නිසා මිනිස්සුත් තාත්තාට ආදරෙයි. මෙහෙම හැදුණ තාත්තගේ හොඳ හිත නිසා කර ගත්ත දේවලට තැවුණෙත් නෑ. රණ්ඩු වුණෙත් නෑ. බැණ ගත්තෙත් නෑ. එයා හරියට පිළිගත් දෙයක් තමයි බෞද්ධකම ශීලාචාරකම. ඒවා පෙනෙන විදියට ඇඳුම් අඳින්නයි අපටත් කීවෙ.
 
 x ගම්මඩුවක් නැටුවා
 
 තාත්තා අපේ කේන්දර බැලෙව්වා. සමහර විට ගමට පවුලට ශාන්තිය සඳහා ගම්මඩුවකුත් නැටෙව්වා. ඒවා සිද්ධ වුණේ බණ්ඩාරගමදී. හොරකම, වංචාව තාත්තා පිළිකෙව් කළා. වරදක් වුණාම තදින් කතා කරනවා. දරුවන්ට නිමක් නැති ආදරයක් තිබුණත් සැර කරලා හදනවා.
 
 ඒත් කෝටුව පෙන්වනවා මිස කෝටු පාර දෙනවා මට මතක නෑ. තාත්තා ඉංගිරිසි භාෂාවෙන් හරිම පොහොසත්. බණ්ඩාරගම වගේම බෙල්ලන්විල බෝකුන්දරදිත් මිනිස්සු එනවා තාත්තාට කියලා නොයෙක් රජයේ කාර්යාලවලට ඉංගිරිසියෙන් ලිපි ලියවා ගන්න. පෙත්සම් ලියවා ගන්නට.
 
 දැන් දුන්නු මුදල ඉවරයි. ගෙය දීලා යන්ට කියලා නැන්දා කීවාම අම්මයි තාත්තයි ඉවසගෙන වාද කර ගත්තෙ නෑ. බෝකුන්දර ගේ භාර දීලා බෙල්ලන්විලට ආවා. අන්තිමේ අම්මා තමයි ගෙපැළක් කපාගෙන කොහොම හරි පවුලත් අරන් ඉඩම් කොටසක පදිංචි වුණේ. ඒවා හරිම දීර්ඝ කතා. තාත්තා ගැනනෙ අප කතා කරන්නෙ.
 
 x මා පැවිදි කරවන්නැයි ඇරයුමක්
 
 බෙල්ලන්විල සෝමරතන හාමුදුරුවන් පන්සලට එන අපේ පවුලේ දරුවන් ගැන ඇස ගසාගෙන ඉඳලා දවසක් මාව පැවිදි කරවන්න දෙන්න කියලා අම්මට කීවා. අම්මා කැමැතියි. ඒත් තාත්තා එක වතාවෙම කැමැති වුණේ නෑ.
 
 ‘‘මට මේ දරුවන්ට කන්ට අඳින්න දෙන්න පුළුවන්. හාමුදුරුවෝ නිකා ඉන්ට.’’ තාත්තා ලොකු හාමුදුරුවන්ට එහෙම කියලා තියෙනවා. ඒත් සාංසාරික පුරුද්දකටදෝ මටත් හිතුණා මහණ ජීවිතය හොඳයි කියලා. මං තාත්තාගෙන් අවසර ඉල්ලූවා. තාත්තා අසරණ වෙලා වගේ මා දිහා බැලූවා. අම්මා දිහා බැලූවා. ඒ දෑසේ කඳුළක් නැඟුණා. ‘‘කරන දෙයක් හරියට කරන්න පුතා’’ තාත්තා කීවා. මා මහණ වුණේ ඒ විදියටයි.
 
 x නංගිට වලිප්පුව
 
 අයියා කොහොම හරි රේඩියෝ (ට‍්‍රාන්සිස්ටර්) ඉංජිනේරුවෙක් වුණා. තාත්තාගේ දෑසෙ මීට ඉස්සරින් කඳුළක් නැඟුණු දවස මට මතකයි. එතුමා හරිම සංවේදියි. අපේ පවුලෙ කොල්ලො හය දෙනාට පස්සෙ එක නංගි කෙනෙක් ඉපදුණා. හරිම ලස්සනයි. හරියට බෝනික්කියක් වගේ. මාස 08 ක් විතර වෙනකොට මෙයාට මහ ?ට වලිප්පුව කියන ලෙඬේ හැදෙනවා. බණ්ඩාරගම ඉඳලා පානදුර රෝහලට එන්න වාහනවත් නෑ. හරිම අමාරුවෙන් වාහන සොයා ගන්නෙ. ඒ කාලෙ හැමෝටම වාහන නැහැනෙ. මාස 8 දී වලිප්පුව හැදිලා ඒ පොඩි නංගි මැරුණු දවසෙ තාත්තා ඇඬුවා.
 
 x පැතුම ඉටු කළා
 
 අප මුලින්ම අකුරට ගියේ බණ්ඩාරගම මිශ‍්‍ර සිංහල පාසල වෑවිට මහා විද්‍යාලයට. අපේ තාත්තා අප දිහා බලලා කියනවා මේ දරුවන්ට මං කොහොමද? ඉංගිරිසි උගන්නව ගන්නෙ කියලා. ඒක එයාගෙ ලොකුම පැතුමක් වුණා. අද මට හොඳට ඉංගිරිසි පුළුවන්. ඒක තාත්තාගේ පැතුම ඉටු කිරීමක් කියලා හිතෙනවා.
 
 1948 - 1949 කාලෙ තාත්තා ඞී. එස්. සේනානායක මහත්මයාගෙ වැඩපිළිවෙළ අගය කළා. ඇෆ්. ආර්. සේනානායක, සර් ඞී. බී. ජයතිලක අගය කළා. එතුමා අවුරුදු 52 දී ජීවිතයෙන් සමුගත් නිසා ජරාජීර්ණ ඇතැම් දේශපාලනඥයෝ දැක්කෙම නෑ. තාත්තා මියැදෙන්න ඉන්නා කාලෙ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ පුනරුදයේ ලකුණු සමාජය තුළ බෙහෙවින් පෙනෙන්නට තිබුණා. තාත්තාත් කීවා මේ රට භාර ගන්න ඕනෑ මීළඟට බණ්ඩාරනායකයි කියලා.
 
 x නොකිළිටි බෞද්ධකම
 
 අපේ තාත්තාට නොකිළිටි බෞද්ධකමක් වගේම අධිරාජ්‍ය විරෝධී හැඟීම් ද නොතිබුණා නොවේ. සිංහල විරුවන් ගැන සිංහලේ විමුක්ති සටන් ගැන එතුමා කතා කළ අවස්ථා තිබෙනවා.
 
 තාත්තාට දියවැඩියා රෝගය උත්සන්න වුණා. සිංහල බෙහෙත් තමයි කළේ. කොතලහිඹුටු කොහෙන් හෝ  ගෙදරට ගෙනෙනවා. ලොකු අයියා සරසවි පිවිසුම් පෙළ විභාගයට ඉන්නකොට තාත්තා අප දාලා ජීවිතයෙන් යනවා. පවුලට දරිද්‍රතාව නැවත ගලා එනවා. එහෙත් අම්මා පවුල ධෛර්යයෙන් රැුක ගන්නවා. මට සිංගප්පූරු විහාරය භාර වෙන්නෙත් ඒ කාලෙමයි. චීන අය පවා ඇවිත් අප සමග හොඳින් කටයුතු කරනවා.
 
 x බෙල්ලන්විල හාමුදුරුවෝ
 
 බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ට කවරදාවත් මහණ වෙන්න ලැබෙන්නෙ නෑ තාත්තා ජීවතුන් අතර සිටියා නම්.... එක පුතෙක් ශාසනයට දුන්නා ඇති. මට මේ දරුවෝ ඕනෑ. තාත්තා එහෙමයි කියා සිටියේ.
 
 එහෙත් තාත්තා නැති වුණාට පස්සෙ සෝමරතන නායක හාමුදුරුවෝ මල්ලිවත් මහණකමට ගෙනාවා. අපි කොයි තැන්වල සිටියත් තාත්තා බලාපොරොත්තු වූ ඉංගිරිසි දැනුම දියුණු කරන්න මහන්සි ගත්තා. අපි හැමෝම එහෙමයි. තාත්තාට ඒ ගැන සතුටක් තියෙන්න ඇති.
 
 x ආඩම්බරය වටිනවා
 
 අපේ තාත්තාගේ පිරිසිදු ඉංගිරිසිය මටත් පිහිටියා. එතුමා කී දේ කළා. කළ දේ කීවා. තාත්තාගේ ඒ යථාවාදී තථාකාරී ගුණය මාත් ඉගෙන ගත්තා. දුරාචාර නැති සදාචාරවත් පියවරු අද සමාජයේ විරලයි. අපේ තාත්තා කාටවත් කැත විදියට කතා කළේ නැති ශීලාචාර කෙනෙක්. ඒ අභිමානය මට හැමදාම තියේවි. හාමුදුරුවරුන් වුණත් එහෙම කතා කරන කි‍්‍රයා කරන අවස්ථා මා දැක තිබෙනවා. ඒත් මගේ තාත්තා පිරිසිදු ශීලාචාර මිනිහෙක් වීම ගැන මා නැවතත් ආඩම්බරයි.
 
 x උපාලි සමරසිංහ
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles