Divaina - පාහියන්ගල ලෙනට නොදෙවෙනි ගුලවිට ලෙන මතු වූ හැටි... ආරක්ෂාව හෝ සංරක්ෂණ වැඩපිළිවෙළක් තවමත් ක‍්‍රියාත්මක නෑ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

gul666


gg2

 

 

 

යෝධ ගල් තලාවෙන් වැඩි කොටසක් කුට්ටි කර ලොරිවලට පටවා අවසන්ය. තැන තැන ගොඩ ගසා ඇති අලූත කඩන ලද කළු ගල් ගොඩවල්ය. එලෙස ඈතට දිස් වන්නේ ගල් කොරිය තාවකාලිකව තහනම් කිරීම හේතුවෙන් අවතැන් වූ ගල් ගොඩවල් විය හැක. අපගේ ගමනාන්තයට ළඟා විය හැක්කේ එම ගල් කොරිය මැදින් වැටී ඇති දුෂ්කර මගක් තරණය කිරීමෙන් අනතුරුවය. ගල්කොරිය පෞද්ගලික දේපලක් බැවින් ඒ සඳහා අවසර ගත යුතුය. පළමුව අපගේ අනන්‍යතාවය හෙළිකිරීමට සිදුවිය. එවෙලෙහි ගල්කොරිය භාරව කටයුතු කළ පුද්ගලයන් පවසා සිටියේ අප විසින් සඳහන් කළ කරුණු ප‍්‍රමාණවත් නොවන බවත් ගල් කොරියේ හිමිකරු සමග කතාබහ කර විසඳුමක් ලබා ගන්නා ලෙසත්ය. ඉන් අනතුරුව නැවතත් කෙටි දුරකථන කතාබහක්ය. එවර අප හා කතාබහට එක් වූයේ ගල් කොරියේ හිමිකරු යයි කියාගත් පුද්ගලයෙක්ය. කෙටි කතාබහක් ඉන් අනතුරුව අකමැත්තෙන් වුවද ඒ සඳහා කැමැත්ත ඔහුගෙන් ප‍්‍රකාශ විය.

 

gula2

එතැන් සිට ගමන තරමක් දුෂ්කර එකක් විය. ඉහළින් පිහිටි කඳු බඩවතක පිහිටි යෝධ ගල් තලාව පහළ සිදුවෙමින් පවතින දෑ දකිමින් හිඳින නිහඬ යෝධයකු බඳුය. එයට සෙවන පිණිස ඉහළට එසැවුණ තවත් ගල් පියස්සක්ය. එහි දකුණු අන්තයට වන්නට ඉහළ සිට පහළට රූරා වැටෙන සිහින් දිය දහරක්ය. එය යෝධ ගල් පියසට දුක දැනී හෙළන කඳුළු ධාරාවක් යැයි අනුමාන කළද වරදක් නැත. සිදුවීමට නියමිතව තිබූ විනාශය දැක ගල්කුළ ද කම්පා වී ඇති සේය. එම අනුවේදනීය සිදුවීම දකිමින් තවත් මද දුරක් ගිය තැන අපගේ ගමනාන්තයේ නිමාව සටහන් විය. දැන් අප පය ගසා සිටින්නේ මානව ශිෂ්ටාචාරයේ අනුලංඝනීය උරුමයන් රැසක් තම ලෙහි හොවා රැකගත් මහරු ගල් තලාවක් මතටය.

 

gula1

ඉකුත් දින කිහිපය පුරා මහත් කතා බහට ලක්වූ මෙම ගල්තලාව පිහිටා ඇත්තේ කළුතර දිස්ත‍්‍රික්කයට අයත් වලල්ලාවිට ගුලවිට ග‍්‍රාමයේ එක් කෙළවරකය. ඓතිහාසික පාහියන්ගල ලෙනට බොහෝසෙයින් සමාන ගති ලක්ෂණ දැකගත හැකි මෙම ස්ථානයේ පවතින සුවිශේෂී භූ ලක්ෂණ කීපයක්ය. ඒ අනුව අතීත මානවයා මෙ ස්ථානය කේන්ද්‍රකොට ගනිමින් ජීවත් වන්නට ඇතැයි යනුවෙන් මතයක් මේ වන විට සමාජගත වෙමින් පවතින අතර නුදුරේ දිනෙක මෙම ස්ථානයේ සිදු කරන පුරාවිද්‍යා ගවේෂණ ආදියෙන් එහි ඇත්ත නැත්ත තහවුරු කර  ගැනීමට නියමිතය. කෙසේ වෙතත් දැනට හඳුනාගෙන ඇති පරිදි මෙම ඓතිහාසික මෙම ගල් පර්වතය පාමුල ක‍්‍රියාත්මක දැවැන්ත ගල් කොරිය හේතුවෙන් මෙම ස්ථානයට බරපතළ ගැටලූ රැුසක් ඇතිවී තිබෙන අතර අනතුරුදායක ගල් කොරිය් නිෂ්පාදන කටයුතු තාවකාලිකව තහනම් කිරීම පිණිස අදාළ බලධාරීන් විසින් තීරණය කරනු ලබන්නේ මෙම ඓතිහාසික ගල් පර්වතය එම අවදානමෙන් ගලවා ගනු පිණිසය. අපගේ සංචාරයේ එක් අරමුණක් බවට පත්වූවේ ඓතිහාසික ස්ථානයක් ලෙස මේ වන විට හඳුනාගත් මෙම ගල් පර්වතය හා එය පිහිටා ඇති කඳු පාමුල ජීවත් වන ගම්වැසියන් අතර කුමන හෝ සම්බන්ධයක් ඇති දැයි ඇති සැටියෙන් අසා දැන ගැනීමය. ඒ අනුව එම ප‍්‍රදේශයේ පදිංචි ගම්වැසියන් කීප දෙනෙකු සමඟ කතාබහ කිරීමේ අවස්ථාවක් උදා විය. එහිදී පළමුව අදහස් දක්වන්නට වූවේ එච්. ඩබ්ලිව්. ආරියදාස විසින්ය. 83 හැවිරිදි වියපත් පුද්ගලයකු වූ ආරියදාස අදින් වසර පනහකට පමණ එපිට මතකයක් අවදි කරමින් එම කථාබහට එක්විය.

 

gula4

”මට මතක හැටියට නමසිය හැත්තෑ එක නැත්තං 1972 අවුරුද්ද. ඔය කාලය වෙද්දි මම මැදිවියේ පුද්ගලයෙක්. දවසක් අපේ ගමට ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. උන්වහන්සේ පිඬු සිඟා වඩිමින් එහෙම එන අතරේ ගම්වැසියන් වෙච්ච අපෙන් යම් කාරණයක් විමසා සිටියා. මේ පළාතේ ටික කාලයක් වැඩ වාසය කරන්න පුළුවන් ඉසව්වක් තියෙනවද කියන එක තමයි උන්වහන්සේ විසින් විමසා සිටිය කාරණය බවට පත්වුණේ. ඒ වෙද්දි ඔය කියන ගල් ගුහාව ගැන ගම්මු විදිහට අපි දැනගෙන උන්න. ඒ පාර අපි කීපදෙනෙක් එක්වෙලා උන්වහන්සේට කිව්ව එහෙම තැනක් තියෙනවා ඔබ වහන්සේ කැමති නම් පිළියෙල කරලා දෙන්න පුළුවන් කියල. ඒ යෝජනාවට උන්වහන්සේ කැමැත්ත පළ කළා. ඒ පාර අපි මොකද කරේ උන්වහන්සේත් එක්ක ඔය ස්ථානයට ගියා. ඒ පාර උන්වහන්සේ වටපිට බලලා හිටන් කිව්වා ඒ ස්ථානය හොඳයි එතන වැඩ වාසය කරන්න කැමතියි කියල. ඒ පාර අපි කීපදෙනෙක් එකතුවෙලා ගල්ලෙනේ එක පැත්තකට වෙන්න මැටියෙන් පොඩි කුටියක් ඉදිකළා. දැන් උන්නාන්සේ ස්ථානයේ වැඩ වාසය කරනවා දාන ගිලන්පස ආදිය ගම්මු විසින් ගිහින් පූජා කරනව. ඔහොම ටික දවසක් යද්දි උන්වහන්සේ ලොකු දුෂ්කරතාවයකට මුහුණ දෙන බව අපි දකිනව. ඒ ගැටලූව තමයි ජල පහසුකම් නොමැති වීම. ඒ පාර අපි මොකද කරන්නේ ගල්ලෙනේ පිහිටි පොළොව තියෙන පැත්ත බලල අඩි හතරක් පහක් හාරල බලනව වතුර තියනවද කියල. අඩි කිහිපයකට වඩා කපන්න වුණේ නෑ මෙන්න වතුර මතුවෙන්න ගත්තා. අදත් ඔය ස්ථානයේ වතුර පිරුණු ළිං කැටයක් ඇති.

දැනට වසර හතළිහකට පනහකට එපිට අතීතය ආරියදාස විසින් හෙළිකර සිටියේ ඒ ආකාරයටය. දෙවනුව අප සමග අදහස් දක්වන්නට වූයේ එම ගල්වළට මදක් පහලින් පිහිටි ගම්මාන මුල් පදිංචිකරුවකු වූ පී. කේ. සීටින් විසින්ය.

”කාලයක් ඔය ගල් ලෙනේ ස්වාමීන් වහන්සේ පස්සේ පහු වෙද්දි ඔය ස්ථානය අතහැරලා දාලා වෙන කොහේ හරි පළාතකට වැඩම කරනව. ඉන්පසු උන්වහන්සේ කොහේ ගියාද කියලා ගම්මු වෙච්ච අපි කවුරුවත් දැනගෙන උන්නේ නෑ. ඔහොම කාලයක් ගල්ලෙන පාළුවට

ගියාට පස්සේ ගමේම කෙනෙක් වන බුරම්පි මාමා කියලා මනුස්සයෙක් ටික කාලයක් ඔය ගල්ලෙනේ පදිංචි වෙලා හිටියා . ඒ උන්දෑ තනිකඩය. ලී දඬු වලින් හදපු මැස්සක තමයි උන්දෑ රැුය පහන් කරන්නේ. ඔය කාරණා දෙක හැරුණු කොට ගම්මු වෙච්ච අපි මෙච්චර කලක් නොදැන හිටිය රහසක් තමයි මේ ඊයේ පෙරේදා ඉඳලා හෙළිදරව් වෙන්න ගත්තෙ.”

ඉහතින් අදහස් දක්වන ලද්දේ උපන්දා පටන් ගුලවිට පදිංචිකරුවන් වූ වියපත් ගම්වාසීන් දෙදෙනෙක් ය. ඔවුන් විසින් හොඳින්ම දන්නා හඳුනන ගුලවිට ලෙන හා ගුලවිට ගම්වාසීන් අතර පවතින්නේ නොබෙදුනු සබඳකමක් ය. අතීත රහස් රැුසක් සඟවාගෙන සිටින ගුලවිට ලෙන හා වත්මන් පරම්පරාව අතර පවතින ඇයි හොඳයිය පිළිබඳව විස්තර පැවසීම පිණිස ගම්මුන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන් බොහෝ දෙනෙක් පවසා සිටියේ තමන්ගේ යොවුන් විය හා මෙම ලෙන අතර තරමට මිතුදමක් පැවති බවය. එලෙස අදහස් දැක්වූ පිරිස අතරින් එක් අයෙක් වූයේ පේ‍්‍රමතිලක පෙරමුණය. ගුලවිට ලෙන හා ඔහු සතු මිතුදම පහත පරිදිය...

”ඔය දැන් ගල්කොරිය තියෙන භූමියේ ඒ කාලේ තිබුණේ රබර් වගාව. ඒක පුද්ගලික ඉඩමක්. ඒ ඉඩමට මායිම් වෙන්න තමයි ගල්ලෙන පිහිටලා තියෙන්නේ . ඒක රජයේ ඉඩමක්. ඔය ගල්ලෙනට මඳක් පහළින් විශාල කැකුණ ගහක් තිබුණා. ඊට අමතරව දං, හිඹුටු ඇති තරමට ඵල දැරුවා. ඒ කාලේ රබර් වත්ත මැදින් පොඩි අඩි පාරක් තිබුණා. කැකුණ ගෙඩි වැටෙන කාලෙට කැකුණ ඇහිදින්න යන එන එක අපේ පුරුද්දක්.

ගම්මානේ ඉඳලා මහ දුරක් නැති හින්ද අපි ඒක පුරුද්දට කරපු දෙයක් . ඒ යන සෑම වෙලාවකම ගල්ලෙනට ගොඩ වෙන එක, ටික වෙලාවක් ගල් තලාව උඩට වෙලා ගිමන් හරින එක අමතක කරන්නේ නැහැ. ’’

ඉහත සඳහන් කර සිටියේ මෙතෙක් කලක් මහරු ඉතිහාසයක් සඟවාගෙන තවමත් නිරුපද්‍රිතව පවතින ගුලවිට ලෙන පිළිබඳව එම ප‍්‍රදේශයේ ජීවත්වන කිහිප දෙනෙක් විසින් දක්වා සිටි අදහස්ය. ඔවුන්ගේ

ගම්බිම්වලට මඳක් ඉහළින් පිහිටි මෙම ලෙන පිළිබඳව ඉන් එහා පවතින තොරතුරු හෝ ජනප‍්‍රවාද පිළිබඳව වැඩියමක් පැවසීමට ඔවුන් අපොහොසත්ය. මතුගම පැලවත්ත මාර්ගයේ ගොස් මීගහතැන්න

නගරයෙන් දකුණු පසට වන්නට පිහිටා ඇති වලල්ලාවිට මාර්ගය මෙම ස්ථානයට පහසුවෙන් ළඟා විය හැකි මාර්ගය ලෙස හැඳින්විය හැක. වලල්ලාවිට නගරයේ සිට දකුණු පසට විහිදී ඇති වලල්ලාවිට මාර්ගයේ කිලෝමීටර පහකට ආසන්න දුරක් ගිය තැන මෙම ලෙන වෙත ළඟාවිය හැකි පහසුම මාර්ගය මුණ ගැසෙන අතර දැනට ගැටලූවක් ව පවතින්නේ එය පෞද්ගලික දේපළක් මැදින් වැටී ඇති පුද්ගලික මාර්ගයක් වීමය. එමඟ ගමන් කිරීම පිණිස එම ඉඩම් හිමියාගෙන් අවසර ගත යුතුය. දැනට එම මාර්ගය මුළුමනින්ම භාවිතා කරන්නේ එම ඉඩම් හිමියා සතු ගල් කොරියේ ගල් ප‍්‍රවාහනය පිණිසය.

* පුරා විද්‍යා මතය

ඉකුත් දින කිහිපය පුරා මහත් කතාබහට ලක්වූ ගුලවිට ලෙන පිළිබඳව පුරාවිද්‍යා ඇස යොමුවන්නේ අසල පිහිටි ගල් කොරිය හේතුවෙන්ය. එහි හිමිකරුවන් විසින් ඔවුන්ට අයත් ගල්කොරිය පවත්වාගෙන යෑම සඳහා බලපත‍්‍ර අලූත් කිරීම පිණිස කටයුතු කරන ලද අතර ඒ සඳහා එම ස්ථානයට ළඟා වන පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් ඒ සමීපයේ පිහිටි මෙම සුවිශේෂී ගල් ලෙන වෙත ඔවුන්ගේ අවධානය යොමු කරන්නේ ය. එහිදී ඔවුන් විසින් එහි යම් යම් සුවිශේෂීතා කිහිපයක්ම පිළිබඳව අවධානය යොමුකරන අතර ඉන් අනතුරුව එක්තරා සුවිශේෂී පුද්ගලයකුගේ අවධානය ඒ සඳහා යොමු කරන්නේය. ගුලවිට ගල්ලෙන යනු දකුණු ආසියාවේ ඉපැරණිම ශිෂ්ටාචාරයකට උරුමකම් කියන සුවිශේෂී ස්ථානයක් බව තහවුරු කර සිටින්නේ ඔහු විසින් ය. හේ නමින් ආචාර්ය නිමල් පෙරේරා මහතා ය. හිටපු පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන එතුමන් දකුණු ආසියාවේ පුරාවිද්‍යා ශිලා මෙවලම් පිළිබඳව විශේෂඥවරයෙක්ය. ඔහු විසින් මේ වන විට තහවුරු කරගත් කරුණුවලට අනුව ගුලවිට ගල්ලෙන යනු ප‍්‍රාග් ඓතිහාසික මානවයා වාසය කරන ලද ගල්ලෙනක් ය. ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම පිණිස ඔහු සමග සමඟ සම්බන්ධ වීමේ අවස්ථාවක් පසුගිය දිනක උදාවිය. එහිදී අදහස් දැක්වූ විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් පහත සඳහන් අදහස් පළ කර සිටියේය.

”මෙම ගල්ලෙන පිළිබඳව කතා කරනවා නම් දැනටමත් අපි විසින් හඳුනාගෙන තිබෙනවා එය ප‍්‍රාග් ඓතිහාසික වශයෙන් ඉතාමත් ම වැදගත් ගල්ලෙනක් කියලා. මෙය ගල් ලෙනක් ලෙස හඳුන්වනවාට වඩා අගල් ඇඳක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි. ඒ ස්ථානය පරීක්ෂා කිරීමේදී අපට නිරීක්ෂණය වූ වැදගත්ම කරුණු කීපයක්ම කිහිපයක්ම පවතිනවා. එකක් තමයි එහි පිහිටීම. උස් ස්ථානයකට වෙන්න තමයි එය පිහිටා තිබෙන්නේ. ඒ හේතුවෙන් අවට පරිසරය ඒ ස්ථානයේ සිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එය හොඳින් හිරු එළිය පතිත වන ස්ථානයක්. හොඳ වාතාශ‍්‍රයක් සහිත තැනක්. ඒ වගේම ජල පහසුකම් පවතිනවා. ඒ අනුව භූගෝලීය පිහිටීම අනුව ගත්තොත් මෙම ස්ථානයේ අතීතය ජනාවාස පැවති බවට විශ්වාස කරන්න පුළුවන්. මොකද මේ වගේ භූ පිහිටීම් මුල් කරගෙන තමයි

ප‍්‍රාග් මානවයා තමන්ගේ ජනාවාස ඇති කරගෙන තිබෙන්නේ. භූගත ගල් ගුහා ආශ‍්‍රිතව ඒ අය ජීවත් වූ බවට තවමත් සාක්ෂි හමු වෙලා නැහැ. ඊළඟට මේ ස්ථානය කියන්නේ පහතරට තෙත් කලාපයේ වැසි වනාන්තර පද්ධතියක්. එය ඉතාමත්ම වැදගත් කරුණක්. අව්වෙන් වැස්සෙන් ආවරණය වෙන්න පුළුවන් ස්වභාවික පිහිටීමක් මෙම ගල් ඇන්දේ දැකගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ ස්ථානයේ පාංශු ස්ථරය ගත්තත් එහි ජනාවාස අවශේෂ  දැකගන්න පුළුවන්. එහි ආහාර අවශේෂ, ශාඛා අවශේෂ, බෙලිකටු අවශේෂ ඇතුළු ගල් ආයුධවල කොටස් දැකගන්න පුළුවන්. කලූතර දිස්ත‍්‍රික්කයේ පාහියංගල ගල්ලෙන ගත්තොත් දකුණු ආසියාවේ නවීන මානවයාගේ ආරම්භක ස්වභාවය පැවති ස්ථානයක් ලෙස එය හඳුනා ගැනීමට දැනටමත් පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා මා විසින් විශ්වාස කරනවා ගුලවිට ලෙන කියන්නේ ඒ හා සමාන ඉතිහාසයක් පාදා මතු කර ගත හැකි ස්ථානයක් බවට පත්වෙනවා කියලා.” වෘත්තීය පුරාවිද්‍යාඥයකුගේ ‘ඇස’ යනු සියුම් අන්වීක්ෂයක් බඳු දෙයක්ය. ඔවුන් පළමු නිගමනයන් පිණිස එළඹෙන්නේ පියවි දෑසින් දකින සුවිශේෂී කරුණු පදනම් කර ගනිමින් ය. සියුම් ඉසියුම් කැණීම් ආදිය සිදුවන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව ගුලවිට ගල්ලෙන තුළ තවමත් නිරුපද්‍රිතව පවතින සිරිමත් ඉතිහාසය පාදා මතුකර  ගැනීමේ ඓතිහාසික කාර්යභාරය පිණිස මෙතැන් සිට පෙරමුණ ගත යුතුව ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ය. අව් වැසි සුළං ආදියෙන් නිරුපද්‍රිතව පස්සේ යට නිදන සිරිමත් ඉතිහාසයක භාරකාරත්වය පුරාවිද්‍යා විසින් මෙතැන් සිට ඉසිලිය යුතු අතර එම කටයුත්ත නිසි පරිදි ක‍්‍රියාත්මක වන තුරු එම මහරු ඉතිහාසය රැුගත් භූමියේ ආරක්ෂාව පිණිස ද කඩිනම් වැඩපිළිවෙළක් වහ වහා ක‍්‍රියාත්මක විය යුතුය.

ඉකුත් 13 දා අප එම ස්ථානයට ළඟා වන විටත් එහි කිසිදු ආරක්ෂාවක් හෝ සංරක්ෂණ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක ව නොපැවති අතර වරින් වර එහි යන එන පිරිස් ද දැකගත හැකි වූහ. වැලි කැටයකට පවා හානියක් සිදු නොවිය යුතු භූමියක්ම ලෙස දැනටමත් හඳුනාගෙන ඇති එහි පවතින අනාරක්ෂිත බව සංවේගය උපදවන සුළුය.

රුවන් ජයවර්ධන

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles