Divaina - භාවනානුයෝගීව වැඩසිටින අතරේ උන්වහන්සේගේ සිවුර තුළ පොළොන් ස්ත‍්‍රියක් පැටව් දාලා...! මහ කැලයේ බවුන්වඩා බුදුන් දුටු ඩෙන්මාර්ක් හාමුදුරුවන්ගේ අපූරු කතාව...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


denmark


* තුන් සිවුරයි පාත්තරයයි ඇරෙන්න වෙන කිසිවක් භික්ෂුවකට අවශ්‍ය නැහැ... එදා පේ‍්‍රමදාස ඇමැතිතුමාට උන්වහන්සේ  වදාළේ එලෙසයි...
* අලි පැටවකුට පෑගී තුවාල වී ක්‍දාණදීප හාමුදුරුවන්ගේ කකුලත් කොට වුණා
* අවට ගම්වාසීන් ක්‍දාණදීප හාමුදුරුවන්ව හඳුන්වා ඇත්තේ මහ වැස්සෙ කුඩයක් ඉහලන්නැතිව සිවුර නොතෙමී වඩින සුදු හාමුදුරුවෝ කියාය...
* සෑම වසරකම නවම් පෝය දින ලක්කල වන මැද ධර්ම සාකච්ඡා මෙහෙයවා ඇත්තේ ඤාණදීප හාමුදුරුවෝය


තරංග රත්නවීර

denmark2වනවාසී භික්‍ෂුන් වහන්සේනමක් සහ අඩවි වන නිලධාරිවරයකු අතර සුහද කතාබහක් ඇති විය. එම කතා බහේදී වනවාසී භික්‍ෂුන් වහන්සේ අදහාගත නොහැකි කතාවක් කීහ. ඒ අපේ රටේ මහා වනාන්තරවල සිංහයෝ ජීවත් වන බවය.
 
 ‘ඔබවහන්සේ කෙසේ කීවත් මෙරට වනාන්තර තුළ සිංහයෝ වාසය කරන බව නම් පිළිගන්න බෑ...’ වනවාසී භික්‍ෂුන් වහන්සේගේ කතාව අඩවි වන නිලධාරිවරයා එකහෙළා ප‍්‍රතික්‍ෂේප කළේය.
 
 ‘මහත්තයා... කාය ජීවිත අපේක්‍ෂාව අතහැර අභීතව වන මැද බවුන් වඩමින් අප‍්‍රමාදීව උතුම් ධර්මාවබෝධය සඳහා වෙහෙසෙන භික්‍ෂුන් වහන්සේ මෙරට වනාන්තර තුළ ශේෂ වූ අවශේෂ කේසර සිංහයන්...’ උන්වහන්සේගේ කතාවට අඩවි වන නිලධාරිවරයා නිරුත්තර විය.
 
 වනවාසී භික්‍ෂුන් වහන්සේ වදාළ අප‍්‍රමාදී වීම නම් වූ කුසල මූලයෙහි පිහිටා පිරිසිදු නිවන් මගෙහි බොහෝ දුර ගෙවා ගිය මෙරට වනවාසී වීරියවන්ත ශ‍්‍රමණ පරපුරක මහ සිංහ රාජයකුගේ ජීවන පහන පසුගිය දිනක නිවී ගියහ. ඒ පුරා වසර පනහකට වැඩි කාලයක් සම්බුද්ධ ශාසනය ඒකාලෝකවත් කළ අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප අපේ හාමුදුරුවන්ගේ අපවත්වීමෙනි.

 1950 දශකයේ අග භාගය හා 60 දශකයේ මුල් අවධිය මෙරට සම්බුද්ධ ශාසනයේ සැබෑ අරුත සොයාගත් වනගත මහා යතිවරුන්ගේ යුගයක් විය. ඇමරිකන් ජාතික කෝවිධ හිමි, බි‍්‍රතාන්‍ය ජාතික ඤාණවීර හිමි, ජර්මන් ජාතික ඤාණවිමල හිමි මෙන්ම මෙරට සුපේශල ශික්‍ෂාකාමී සඟ පරපුරේ පරමාදර්ශය වූ මාතර ඤාණාරාම හිමි, කඩවැද්දුවේ ශ‍්‍රී ජිනවංශ හිමි, මාවතගම ගුණානන්ද හිමි සහ නාඋයනේ අරියධම්ම හිමි එම යුගයේ සුවිශේෂී භික්‍ෂුන් වහන්සේ වූහ. බුදු සමයේ මෙන් උගත්, බුද්ධිමත්, වංශවත් ප‍්‍රභූ තරුණයන් පවා ජීවිතයේ යථාර්ථය සොයන්නට උක්ත හිමිවරුන්ගේ ශ‍්‍රමණ භාවිතාව උත්තේජනයක් කර ගත්හ.

 
 
denmark3ඇමරිකන් ජාතික කෝවිධ හිමි ජීවිතාන්තය දක්වා ලග්ගල මහ වන මැදත්, බි‍්‍රතාන්‍ය ජාතික ඤාණවීර හිමි බූන්දල වනෝද්‍යානය ඇසුරෙහිත් හුදකලාව වැඩ සිටි අතරේ අනපේක්‍ෂිත අයුරින් තරුණ වයසේදීම උන්වහන්සේ අපවත් වූහ. පසු කාලීනව ජර්මන් ජාතික ඤාණවිමල හිමි මෙන්ම මාතර ඤාණරාම හිමි සහ කඩවැද්දුවේ ශ‍්‍රී ජිනවංශ හිමිවරුන්ගේ අපවත්වීමත් සමඟ 90 දශකය අග භාගය වන විට මෙරට ආරණ්‍යවාසී මහා සඟ පරපුරෙහි පරමාදර්ශයන් අතර ජ්‍යෙෂ්ඨතම භික්‍ෂුව වූයේ ඩෙන්මාර්ක් ජාතික ඤාණදීප හාමුදුරුවෝය.
 
 ලොව ඉහළම ජීවන තත්ත්වයක් සහිත බටහිර යුරෝපීය කලාපයට අයත් ධනවත් ඩෙන්මාර්ක් පවුලක උපත ලද උන්වහන්සේ තරුණ වියේදීම ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ධර්මය අවබෝධ කරගැනීමේ අටියෙන් තායිලන්ත ථෙරවාදී මහ තෙරුන් වහන්සේගේ මඟපෙන්වීම මත උතුම් පැවිදි දිවියට ඇතුළත් වූහ. අනතුරුව උන්වහන්සේ අධි ශික්‍ෂාකමී උපසම්පදාව ද ලබා ගත්හ. අසාමාන්‍ය වීරියත්, සැසඳිය නොහැකි තරම් වූ සරල ජීවන රටාවත්, කිසිවකු අපහසුතාවට පත් නොකොට ජීවත් වූ උන්වහන්සේට බොහෝ් ශ‍්‍රමණයන් වහන්සේ මහත් ගෞරවයෙන් සැලකූහ. එමෙන්ම හුදකලා ආරණ්‍යවාසීව වැඩ සිටීමට ලොව නන් දෙසින් උන්වහන්සේට ඇරයුම් ලැබුණු බව ද වාර්තා වේ. ඒ සියලූ ඇරයුම් පසෙකලා 1960 දශකයේ මුල් භාගය තුළ අතිශය දුෂ්කර වූ ලග්ගල පල්ලේගම ගම්මානය දෙසින් මහා වනාන්තරයට ඇතුළු වූ උන්වහන්සේ සාමාන්‍ය පුද්ගලයකුට ළඟා විය නොහැකි අතිශය දුෂ්කර අලි-ඇතුන්, කොටි, වලසුන් ගහන විෂඝෝර සර්පයන් සහිත ගණ වන ලැහැබේ වැඩ සිටියහ.
 
 වස්ගමුව ජාතික වන උද්‍යානයට පහළ ලග්ගල මහ වන මැද වැඩ සිටි උන්වහන්සේ විටින් විට අසල්වාසී ගම්මානවල පිඬුසිඟා වැඩිය ද බොහෝ විට පිණ්ඩපාතය පිණිස වැඩම කර ඇත්තේ පල්ලේගම දිළිඳු ගම්මානයටය. එම ගම්මානයට වඩින්නට උන්වහන්සේ තරමක් උනන්දු බවක් පෙන්නා ඇති බව ද ප‍්‍රදේශවාසීන්ගේ අදහසය. එමෙන්ම එම ගම්මානවල ගැමියන් උන්නාන්සේව හඳුන්වා ඇත්තේ ‘මහ වැස්සේ කුඩයක්වත් නැතිව සිවුර නොතෙමී පිඬු සිඟා වඩින කැලේ මැද සුදු හාමුදුරුවෝ’ යනුවෙනි. එමෙන්ම උන්වහන්සේ මහ වන මැද සිට පිණ්ඩපාතය වැඩියේ පා ගමනින්ද, නැති නම් වෙනත් ක‍්‍රමයකින්දැයි ප‍්‍රදේශවාසීන්ට අදටත් අභිරහසකි. පිණ්ඩපාතය කරගෙන නැවත වැඞීමේදී, පෙනෙන දුර හැර උන්වහන්සේ වඩින මගක් සොයාගත නොහැකි වීමද ප‍්‍රසිද්ධ රහසකි. එවැනි ආශ්චර්යමත්, අද්භුත කතා රාශියක් ඩෙන්මාර්කයේ ඤාණදීප හාමුදුරුවන්ගේ පැවිදි දිවි පෙවෙත තුළ සැඟව ඇති බවද සැබෑය.
 
 එමෙන්ම ඤාණදීප හාමුදුරුවන් ගැන නිරන්තර විමසිල්ලෙන් පසු වූයේ පල්ලේගම ගමේ පුංචි බණ්ඩාය. දවසක්, දෙකක් පිඬු සිඟා වැඩියේ නැති අවස්ථාවල පුංචි බණ්ඩා මහා කැලය පීරමින් උන්නාන්සේව සොයා ගිය අවස්ථා බොහෝය. ඥානදීප හාමුදුරුවෝ සති ගණන් භාවනානුයෝගීව වැඩසිට පල්ලේගම ගමට පිඬු සිඟා වැඩිය අවස්ථාවල ගැමියන් විසින් විශේෂයෙන් ප‍්‍රනීත දානය පිළිගැන්වීම් සිදු කළ විට දොස් අහන්නේ ද පුංචි බණ්ඩාය.
 
 ‘‘පුංචි බණ්ඩා... මම කැමති ගමේ මිනිස්සු අනුභව කරන්න පිළියෙළ කරගත් ආහාරවලින් කොටසක් පූජා කරනවට විතරයි. මේ විදිහට දුප්පත් මිනිස්සු කරදර වෙමින් දානය සකස් කරනවා නම් ආයෙත් මේ ගම්මානය තුළ මාව දකින්න ලැබෙන එකක් නෑ...’’ ඤාණදීප හාමුදුරුවෝ කිසිවෙකුගෙන් විශේෂ සැලකිලි ලැබීමට අකැමැති වූහ. ගිලන්පස බෝතලයක් පිළිගැන් වූ විට එය නොපිළිගන්නා උන්නාන්සේ අවශ්‍ය ප‍්‍රමාණය බඳුනකට පිළිගත්හ.
 
 ඩඞ්ලි සේනානායක රජයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රණසිංහ පේ‍්‍රමදාස මහතා වරෙක ඩෙන්මාර්කයේ ඤාණදීප හාමුදුරුවන් බැහැදකින්නට ලග්ගල මහ වන මැදට ගියේය. උන්වහන්සේ සමඟ බොහෝ වේලාවක් කතාබහ කළ පේ‍්‍රමදාස මහතා ඔබවහන්සේට අවශ්‍ය මොනවාදැයි විමසා ඇත.
 
 ‘‘කිසිම දෙයක් අවශ්‍ය නෑ. තුන් සිවුරයි, පාත්තරයයි ඇරෙන්න වෙන කිසිවක් භික්‍ෂුවකට අවශ්‍ය නොවන බව බුදු වදනෙත් සිහිපත් කරලා තියෙනවා...’ ඤාණදීප හාමුදුරුවන්ගේ පිළිතුරෙන් වික්ෂිප්ත වූ පේ‍්‍රමදාස මහතා තවත් බොහෝ වේලාවක් උන්වහන්සේ සමඟ ධර්ම කරුණු ගැන සාකච්ඡා කර ඇති බවද දැනගැනීමට ලැබේ.
 
 මහ වන මැද සිට දුරකතර ගෙවාගෙන උදෑසනට පිඬුසිඟා වැඩිය ද මේ මහ ශ‍්‍රමණයන් වහන්සේ කිසිදු බිමක උන්වහන්සේ වෙනුවෙන් ස්ථිර කුටි සෙනසුන් ඉදිනොකරන ලෙස ගිහි පැවිදි දෙපාර්ශ්වයම දැනුවත් කර සිටියහ. එහෙත් මහ වැසි මැද ගස්, ගල් යට වැඩ වාසය කරන ඤාණදීප හාමුදුරුවෝ දැක ලග්ගල, වස්ගමුව, බලංගොඩ, ටැංජන් තැන්න ආශ‍්‍රිත දිළිඳු ගම්මානවල වැසියන් තම ගම්මාන ආශ‍්‍රිත මැටියෙන් කුටි සෙනසුන් ඉදි කළහ. ඒ අනුව ලග්ගල මුළු වනාන්තරය පුරා කිලෝමීටර් 10 ත් 15 ක් වැනි පරතරය සහිතව උන්වහන්සේ වෙනුවෙන් ඉඳි වූ කුටි සෙනසුන් හතළිහකට ආසන්නය. එම කුටි සෙනසුන් අතර ලෙල්ඔය අසළ ඉදි වූ කුටි සෙනසුන, මදුමාන කුටිය විශේෂය. ඒ කුටි නිර්මාණය කර ඇති ස්ථානවලට යෑම අතිශය දුෂ්කරය. එම කුටි තුළ ද කෙටි කාලයක් වැඩ වාසය කරන ඤාණදීප හාමුදුරුවෝ ඒ සියලූ කුටි අනෙකුත් වනවාසී වීරියවන්ත ශ‍්‍රමණයන් වෙත ලබාදී උන්නාන්සේ වන ලැහැබක සුපුරුදු සරල ශ‍්‍රමණ ජීවිතය ගත කළහ. එමෙන්ම කිසිදු හේතුවක් මත කවර ගිහි දායක පවුලක් සමඟවත් ළෙන්ගතු නොවූ උන්වහන්සේ පනස් වසරකට අධික කාලයක් තුළ කිසිදු ගිහි උපාසක, උපාසිකාවකගෙන් අත්‍යවශ්‍ය වූ දෙයක්වත් ඉල්ලා සිටිය බවට කිසිදු තොරතුරක් නැත.
 
 බලංගොඩ උඩවලව ජලපෝෂක ප‍්‍රදේශය තුළ පිහිටි ටැංජන් තැන්න තුළද එවැනිම මහා ශ‍්‍රමණයන් වහන්සේගේ පාරාදීසයක් බවට පත් වූයේ ඩෙන්මාර්කයේ් ඤාණදීප හිමියන් ගත කළ පරමාදර්ශී ශාසනික පැවිදි දිවි පෙවෙත නිසාය. අද වන විට ටැංජන්තැන්න අවට වර්ග කිලෝමීටර් සියයකට ආසන්න වන ගහනය තුළ හුදකලා ශ‍්‍රමණයන් වහන්සේ සිය පැවිදි දිවියේ අර්ථය සොයා යන්නේ ඤාණදීප හිමියන් විසින් ලබාදුන් විවිධාකාර වූ ප‍්‍රායෝගික ආදර්ශයන්ට අනුවය. එහෙත් බොහෝ සඟ පිරිසකට ධර්මාචාර්යවරයෙක් වූ උන්වහන්සේ ගුරුවරුන්ට ද ගුරුවරයකු වීමේ සුදුසුකම් තිබුණද කිසිදු ගෝලයකු පැවිදි කර නැත. එමෙන්ම සෑම වසරකම නවම් මස පොහෝ දින ලග්ගල මහ වනය මැද සිදු වන වනවාසී භික්‍ෂූන්ගේ ධර්ම සාකච්ඡාවේ මුලසුන ගෙන කටයුතු කර ඇත්තේ ද ඤාණදීප ස්වාමීන් වහන්සේය. වනවාසී භික්‍ෂුන් වහන්සේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම ධර්ම සාකච්ඡාවට ද ගිහි කිසිදු දායකත්වයක් නොගන්නා බවද දැන ගැනීමට ලැබේ.
 
 සෑම විටම තරුණ ශ‍්‍රමණයන් වහන්සේට අප‍්‍රමාදී වීමේ අර්ථය පිළිබඳ අවබෝධ කර දුන් ඥාණදීප ස්වාමීන් වහන්සේගේ මඟ යමින් විදේශීය වනවාසී හිමිවරුන් මෙරට බුද්ධ ශාසනය තවදුරටත් ශක්තිමත් කරමින් වනාන්තර තුළ බවුන් වැඞීමට පැමිණ සිටින බව ද සිහිපත් කළ යුතුය. නවසීලන්ත ජාතික ගුත්තසීල හිමි, එංගලන්ත ජාතික කාශ්‍යප හිමි, නෙදර්ලන්ත ජාතික අමිතසිරි හිමි ඇතුළු මහා ස්ථවිරයන් වහන්සේ ඊට නිදර්ශන ලෙස දැක්විය හැකිය. සැබෑ බුද්ධ පුත‍්‍රයකු සතු වූ සියලූ සත්ත්වයන් කෙරෙහි පවත්නා කරුණාව, දයාව ශ‍්‍රමණයන් වහන්සේගේ ආරක්‍ෂක මෙවලම බව සඳහන් කර ඇත්තේ ද ඩෙන්මාර්කයේ ඤාණදීප හාමුදුරුවෝය. එමෙන්ම උන්වහන්සේ ලාංකීය සම්බුද්ධ ශාසනය තුළ ව්‍යවහාර වූ පාලි හා සිංහල භාෂාව පිළිබඳ විශේෂ හැදෑරීමක් ද කර ඇත්හ. පාලි භාෂාව පිළිබඳ මූලික දැනුම කටුකුරුන්දේ ක්‍දාණානන්ද හිමියන්ගෙන් ලබාගත් ඤාණදීප හාමුදුරුවෝ පසුව තනිවම අධ්‍යයනය කරමින් ආචාර්ය, මහාචාර්ය පදවි මට්ටම්වලට පාලි භාෂාව දැනුමෙන් පෝෂණය වී ඇති බවද සැබෑය. උන්වහන්සේගේ මවු භාෂාව ඉංග‍්‍රීසිද, පාලි ද යන්න අසන්නෙකුට සැක උපදවන සුලූය. ත‍්‍රිපිටකයෙහි ඉතිහාසය ගවේෂණය කළ උන්වහන්සේ ධර්මයත්, ධර්ම සාහිත්‍යයත් වෙන් කර හඳුනාගත්හ. උන්වහන්සේගේ ඒ දැනුම අතිශයින්ම පුදුම දනවන්නකි.
 
 සෑම විටම ශ‍්‍රී ලාංකීකයන් සමඟ සිංහල භාෂාවෙන් කතා කළ උන්වහන්සේ ජීවිතාන්තය දක්වා වන ලැහැබින් බැහැර කිසිදු විශේෂ උත්සවයකට හෝ පින්කමකට සහභාගි නොවීම ද විශේෂත්වයකි. මහා වනාන්තරය මැද අලි ඇතුන්, දිවියන්, වලසුන් සමීපයේ නිතැතින්ම ගත කළ ඒ සුන්දර පැවිදි ජීවිතය තුළ අපට අසන්නට ලැබෙන භයානකම කතාව වන්නේ භාවනාවට සමවැදී සිටින උන්වහන්සේගේ සිවුර මත පොළොං වර්ගයේ ගැහැනු සතෙකු පැටවුන් බිහි කළ කතාවයි. එමෙන්ම 1990 වර්ෂයට ආසන්න කාලයේදී පිඬු සිඟා වඩින විට නොදැනුවත්ව උන්නාන්සේට හිතවත්ව සිටි වන අලි පැටවකු ඇෙඟ් දැවටී, වැටී වම් පාදය අලියාට පෑගී දැඩි සේ තුවාල සිදු වී දින කිහිපයක් වනය මැද ගිලන්ව සිට ඇත. උන්නාන්සේ ගැන විමසිල්ලෙන් පසු වන ගැමියන් මහා කැලෑව පීරමින් සොයාගෙන රෝහල්ගත කර ඇත. අනතුරුව ශල්‍යකර්මයක් ද සිදුකර සුපවත් කළ ද අනතුරට පත් උන්නාන්සේගේ වම් පාදය තරමක් කොට වී ඇත.
 
 ‘දැන් ඔබවහන්සේ මහ වනයට වඩින්න එපා... ආරණ්‍යයක වැඩ සිටින්න. අපි උපස්ථාන කරන්නම්...’ බොහෝ වනවාසී භික්‍ෂුන් වහන්සේ එසේ ඉල්ලීම් කර සිටිය ද ඤාණදීප හාමුදුරුවෝ නතර නොවූහ. සැරයටියකින් සහ විශේෂයෙන් සකසන ලද රබර් පාවහන් යුගලකින් ආබාධිත පාදයට වාරු ගෙන උන්නාන්සේ ඝණ වනාන්තරයට නැවත වැඩම කළහ. එපමණක් නොව ගම්මානවලට පිඬු සිඟා වැඞීම ද සිදු කළහ. උන්නාන්සේ මහ කැලයට දැක්වූයේ පුදුමාකාර ළෙන්ගතුකමකි. කිසිදු දිනක වනාන්තරයේ ගහට, කොළට සතා සීපාවාට හිරිහැරයක් නොවන ආකාරයෙන් ජීවත් වූ උන්වහන්සේ මහා ඇදුරෙකු ලෙස අපට පෙනෙන්නේ වර්තමානයේ මිනිසා විසින් වනයට සිදු කරන මහා වන විනාශය දකින විටය. එමෙන්ම මේ වන විට මෙරට සෑම වන ලැහැබක්ම සහ ඒ තුළ ජීවත් වන සත්ව වර්ගයාගේ නිල නොවන ආරක්‍ෂකයා බවට පත්ව සිටින්නේ ඤාණදීප ශ‍්‍රමණ වහන්සේ වැනි වනවාසී භික්‍ෂුන් වහන්සේ විනා කොළඹ සිට මොර දෙන රාජ්‍ය නොවන සංවිධානවල ඊනියා ජාතික උරුමය ආරක්‍ෂකයන් නොවේ.
 
 විදේශීය භික්‍ෂුවක් වශයෙන් මේ ධර්මද්වීපයේ වනවාසීව බවුන් වඩමින්, සසරෙන් එතෙරවීමට ජීවිතය කැප කළ ඩෙන්මාර්ක් ජාතික ඤාණදීප හාමුදුරුවන්ගේ ගුණ වර්ණනා කර ඉවර කළ නොහැකිය. උන්වහන්සේගේ ආශ්චර්යවත් දිවිපෙවත ගැන පොතක් නොව පොත් රාශියක් ලිවීමට තරම් කරුණු කාරණා ඇති බව ද සැබෑය. අඛණ්ඩව දශක පහක් මුළුල්ලේ එකම ප‍්‍රතිපදාවකින් පටන් ගත් වීරියෙන්, ශික්ෂණයෙන් ජීවිතාන්තය දක්වා ගමන් කරමින් ශාසන චිරස්තියට රුචි ජනයාට අඛණ්ඩව ශක්තිය ලබා දුන් ඩෙන්මාර්ක් ජාතික ඤාණදීප හාමුදුරුවෝ අනාගතයට ද ගුරුහරුකම් සපයන ප‍්‍රායෝගික භාවිතාවෙන් යුත් යතිවරයෙකි. එමෙන්ම මෙරට මහා ප‍්‍රභූන්ගේ, දේශපාලන බලවතුන්ගේ ගෞරව බහුමාන, අභිවාදන හමුවේ කුසල් සිත රැකගැනීමේ අභියෝගය ජයගත් මෑතකාලීන සඟ පිරිස අතරේ මහා මාණික්‍යයක් බඳු වූ මේ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් මෙරට කිසිදු නිශ්චල, හෝ චංචල දේපළක් එක්රැස්කර නොගත්තා සේම බිම් අඟලක්වත් තමන්ට හිමිකර ගැනීමට වෙරවීරිය දැරුවේ නැත.
 
 ජීවිතයේ අවසාන කාලයේදී 2016 වර්ෂයේදී බලවත් සේ රෝගාතුරවීමත් සමඟම මහ වන මැද සිට කත්නොරුව ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයට වැඩම කළ ඤාණදීප හාමුදුරුවන්ට උපස්ථාන කර ඇත්තේ එම ආරණ්‍ය සේනාසනාධිපති ක්‍දාණවීර නායක හාමුදුරුවෝය. එමෙන්ම උන්නාන්සේගේ ජීවිතයේ විටින් විට ගිලන් වූ අවස්ථාවල උපස්ථාන කළ භික්‍ෂුන් වහන්සේ අතර මහරගම සෝනුත්තර හිමි, අලව්වේ අනෝමදස්ස හිමි විශේෂය. එහෙත් මෙවර ඩෙන්මාර්ක් ඤාණදීප හාමුදුරුවන් සුවපත් කරගැනීමට වසවර්ති මාරයා ඉඩ ලබා නොදුන්නේය. සියලූ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය ලොවට පෙන්වා දෙමින් පසුගිය 12 වැනිදා උදෑසන ඉමහත් ශ‍්‍රද්ධාවෙන් දෙඅත් වැඳගෙන උන්නාන්සේ අපවත් වී වදාළහ. සැදැහැවතුන්ට වන්දනා කිරීම සඳහා උන්වහන්සේගේ
 ශ‍්‍රී දේහය ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර තබා පසුගිය 14 වැනිදා මළහිරු බැස යන සැන්දෑවේ ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේදීම ආදාහන පූජෝත්සවය සිදු කරනු ලැබිණි.
 
 සිනාමුසු මුහුණින් යුක්තව ජීවිතයෙන් සමුගත හැක්කේ අතිශය අල්ප වූ පිරිසකට පමණි. අති පූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප හාමුදුරුවෝ අපවත් වූයේ ද ළෙන්ගතු වූ සිනාව අතරින්ය. එහෙයින් උන්වහන්සේ ප‍්‍රාර්ථනා කළ නිවනට වැඩම කර ඇති බව නම් සැබෑය. එමෙන්ම උන්නාන්සේගේ අල්පේච්ඡතාවට දෙවියෝද, බ‍්‍රහ්මයන් ද වන්දනා කරන බව නොකිවමනාය. උන්නාන්සේ්ට අපගේ නමස්කාරය වේවා!

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles