Divaina - වෙලේ සුදාගේ බාරයකට එළ ගවයින් 15 ක් නිදහස් කළ කනත්ත චූටි...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


wele

* බන්ධනාගාර නිලධාරීන්ට සල්ලි දෙන්නේ ලැයිස්තුවකට අනුවයි
* ලක්ෂ ගණන් සල්ලි වියදම් කරන්නේ කෙසේ හෝ වෙලේ සුදා බේරා ගන්නයි

 

ලලිත් චාමින්ද


මේ කියන්නට යන්නේ මරණිය දණ්ඩනය නියම වී ඇති මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට භාරයක් ඔප්පු කිරීම සඳහා මරණයට කැපවූ එළ ගවයින් 15කට අධික සංඛ්‍යාවක් නිදහස් කරගත් කථාන්දරයකි. මේ කථාව අනාවරණය වන්නේ වෙලේ සුදාගේ මස්සිනා හෙවත් ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර නොහොත් පහල කනත්ත චුටි නමැති පුද්ගලයාගෙනි. ඔහු ඉකුත් 10 වැනි දින ඉමදුව ඇල්ලලගොඩ ප‍්‍රදේශයේ දි මත්කුඩු මිලිග‍්‍රැම් 1300ක් සමග පොලිස් අත්අඩංගුවට පත්වන්නේය. පොලිසිය විසින් වෙලේ සුදාගේ මස්සිනාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරන්නේය. පසුව ඉමදුව පොලිසිය විසින් වෙලේ සුදාගේ මස්සිනා ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත්කොට අධිකරණයෙන් ලබාගත් දින 07ක රැඳවුම් නියෝගයක් මත ඔහුගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කරන්නේය. එළ ගවයින් නිදහස් කිරීමේ බාරය ගැන තොරතුර අනාවරණය වන්නේ මෙම ප‍්‍රශ්න කිරීමේ දීය. මරණයට කැපවූ එළ ගවයින් ගව ඝාතනාගාරවලින් නිදහස්කොට ගෙන එම සතුන් ඇතිකිරීම සඳහා විවිධ පුද්ගලයින්ට ලබාදීම සඳහා මැදිහත් වී ඇත්තේ වෙලේ සුදාගේ මස්සිනාය.

මරණීය දණ්ඩනයට නියම වී ඇති වෙලේ සුදා ඉන් මුදා ගැනීම ඔහුගේ පවුලේ අයගේ අරමුණයි. ඒ සඳහා එළ ගවයින් 15කට අධික සංඛ්‍යාවකට ජීවිත දානය ලබාදී ඇත්තේය. මේ සඳහා මුදල් වියදම්කොට ඇත්තේ වෙලේ සුදාගේ බිරිඳයි. වෙලේ සුදාගේ මස්සිනා හෙවත් කන්තචුටි මරණයට කැප වූ එළගවයින් 15 කට වැඩි සංඛ්‍යාවක් ඉමදුව ඇල්ලලගොඩ ප‍්‍රදේශයට නිදහස් කරගෙන විත් උත්සවයක් පවත්වා විවිධ පුද්ගලයින්ට ලබාදී ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේය. කොයි කවුරුත් මරණයට බියක් දක්වති. වෙලේ සුදාට ද මරණ බිය දැනී ඇත්තේය. මරණයට කැප වූ එළ ගවයින්ට අභය දානය දී පිංකමක් කරගැනීමට වෙලේ සුදාගේ පවුලේ අය අදිටන් කරගෙන ඇත්තේ මේ ආත්මේ කෙසේ වෙතත් ලබන ආත්මේවත් කරපු පව්වලින් මිදීම සඳහාය.

එළ ගවයින්ට අභයදානය දීමට අමතරව වෙලේ සුදාගේ බිරිඳ විසින් මොහුට කාර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 07ක ට අධික මුදලක් ලබා දී තිබේ. එමෙන්ම වෙලේ සුදාගේ දරුවන් ප‍්‍රවාහනය කිරීම ආදි කටයුතු සිදුකර ඇත්තේ කනත්තචුටි විසිනි. කොටින්ම කිවහොත් කනත්ත චුටි වෙලේ සුදාගේ ඇබිත්තෙකු වශයෙන් ක‍්‍රියාකොට ඇත්තේය. බන්ධනාගාරගතව සිටින වෙලේ සුදාට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත්තේ ද කනත්ත චුටිය. දුරකථන විශ්ලේෂණ වාර්තාවලට අනුව සැකකාර පුද්ගලයා විසින් වෙලේසුදා හා පවුලේ අය සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බව ද පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා ඇතුළු විශේෂ අංශයේ රැඳවියන් කිහිප දෙනෙකුට අවශ්‍ය ආහාර සඳහා ආපනශාලවට ගෙවිම සඳහා වෙලේ සුදාගේ නිවසින් ලැබෙන මුදල් ආපනශාලාවට ගෙවා ඇත්තේ කනත්ත චූටිය.

wele2වෙලේ සුදාගේ ගෙදරින් ලැයිස්තුවක් සමග තමයි මුදල් එවන්නේ. ඒ මුදල් ආපන ශාලාවට ගෙවීම සඳහා තිදෙනෙක් ඉන්නවා. දින තුනකට වතාවත් මමත් ගිහින් ආපන ශාලාවට මුදල් ගෙවනවා වෙලේ සුදා ඌරුජුවා ඇතුළු රැඳවියන් කිහිප දෙනෙකු වෙනුවෙන් සමහරක් දිනවල මම යන්නේ දින ගණනාවක් පරක්කුවෙලා.

බන්ධනාගාරයේ මහත්වරු දුරකථන ඇමතුම් දෙනවා එන්නේ නැද්ද කියලා. කපුටන් වගේ තමයි මම එනකන් බලන් ඉන්නේ කනත්ත චුටි පොලිසිය ඉදිරියේ ඒ අයුරින් පාපොච්චාරණය කළේය.

මෙකී සැකකරු වන ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර නොහොත් පහල කනත්ත චුටි හතලිස්හත් හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙකි. හේ ඉමදුව ඇල්ලලගොඩ පහලින් කනත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටියේය. කනත්ත චූටි ත‍්‍රිරෝද රථ රියදුරකු ලෙස අගනගරයේ රැකියාව කළේය. දැනට බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන ගම්පොළවිදානගේ සමන්තකුමාර නොහොත් වෙලේ සුදාගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරිය සමග මීට පෙර මොහු විවාහ වී සිටියේය. එම විවාහයෙන් ද කනත්ත චුටි නමැත්තාට දරුවන් සිටි අතර මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොහු බන්ධනාගාරගත වීමත් සමග එම විවාහය දෙදරා යනු ලැබීය. 2006 වර්ෂයේ දී පමණ කනත්ත චුටි බන්ධනාගාරගතව සිට යළි පැමිණෙන විට ඔහුගේ පළමු විවාහයේ බිරිඳ වෙනත් කසාදයක් කරගෙන සිටියේය.

ඉන්පසු කනත්ත චුටි ඉමදුව ඇල්ලලගොඩ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමග විවාහ විය. එම කාන්තාව කනත්ත චූටිගේ මවගේ පාර්ශ්වයේ ඥාති දියණියකි. දෙවැනි විවාහයේ වයස අවුරුදු 05ක හා 07 දරුවන් දෙදෙනකු සිටින කනත්ත චූටි අගනගරයේ සිට ගමට පැමිණියේ සතියකට මාසයකට වරක් පමණි. ඒ අතර මොහු ඇල්ලලගොඩ ප‍්‍රදේශයේ නවීන පන්නයේ නිවසක් ඉදිකරමින් තිබුණි. කාර් රථයක් හා ත‍්‍රිරෝද රථ කිහිපයක් හා යතුරුපැදි කිහිපයක්ද මොහුගේ නිවසේ විය. අගනගරයේ ත‍්‍රිරෝද රථ රියදුරකු ලෙස
රැකියාව කරනු ලබන කනත්ත චූටිට මේ අයුරින් වත්කම් එක්රැස් කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ගම්මුන්ටද ප‍්‍රශ්නයක් විය. ඒ විතරක් නොව මොහු ගමට පැමිණිවිට මිතුරන් සමග එක්වී සාද පැවැත්වූ අතර ඒ සඳහා වියහියදම් කරනු ලැබුවේ කනත්ත චූටි විසිනි. ත‍්‍රිරෝද රථ රියැදුරකු වුවද කනත්ත චූටි අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කළේය. ඒ අතරතුර මොහු වෙලේ සුදා සමග ද සමීප සම්බන්ධතා පවත්වාගෙන යනු ලැබීය. එමෙන්ම මොහු තම හිතවතුන්ට ඇති කිරීම සඳහා එළ ගවයින් මිලදී ගෙන දී තිබුණි. ඉමදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා කනත්ත චූටි පිළිබඳ මාස තුනක් තිස්සේ නිරතුරුව විමසිල්ලෙන් සිටියේය. මොහු අසාමාන්‍ය ලෙස මුදල් වියහියදම් කිරීම මෙන්ම මිතුරන් සමග එක්වී මත්පැන් සාද පැවැත්වීම පොලිස් ස්ථානාධිපතිවරයාට ද ගැටලූවක් විය. ත‍්‍රිරෝද රථ රියැදුරකු වූ කනත්ත චූටි සුවිසල් නිවසක් ඉදිකරමින් තිබූ අතර කාර් රථයක් ඇතුළු වාහන කිහිපයක් ද ඔහු සතු විය. මේ අතරතුරේ මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා බූස්ස බන්ධනාගාරයට මාරුකොට තිබුණි. මොහු වෙලේ සුදා සමග ගනුදෙනු කරනවාද යන්න පිළිබඳ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා දැඩි විමසිල්ලෙන් පසු විය. මොහු බූස්ස බන්ධනාගාරයේ සිටින වෙලේ සුදා බැලීම සඳහා අවස්ථා කිහිපයකදීම ගොස් ඇති බව ප‍්‍රධාන පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතා විසින් අනාවරණය කරගනු ලැබීය. ඒ විතරක් නොව මොහු වෙලේ සුදා හා ඌරුජුවා ඇතුළු බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන්ගේ පාරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර සඳහා රුපියල් 5000 බැගින් ආපනශාලාව වෙත ගෙවා තිබුණේය. එමෙන්ම බන්ධනාගාර නිලධාරියකුට වෙලේ සුදාගේ මෙහෙයවීමෙන් විස්කි බෝතල් ලබාදීමේ කටයුතු මොහු විසින් සංවිධානය කොට ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ පිළිබඳව ද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතාගේ අවධානය යොමුවිය.

ඒ අනුව කනත්ත චූටි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා විසින් සැලසුම් කළේය. මොහු අගනගරයේ සිට යළි නිවසට පැමිණ දින වකවානු පිළිබඳ හොඳින් දැන සිටි ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කනත්ත චූටිගේ නිවස වට කරනු ලැබිණි. ඔහු නිවසේ සිටියදි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මොහු සන්තකයේ තිබි හෙරෙියින් මත්කුඩු මිලිග‍්‍රෑම් 1300ක් ද පොලිසිය මගින් සොයාගනු ලැබීය.ඒ අතර කනත්ත චූටිගේ නව නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනකු ද ප‍්‍රශ්න කිරීම සඳහා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් කොහුවල නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වූහ.

කනත්ත චූටි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි රුපියල් 37,500ක මුදලක්, ජංගම දුරකථන 04ක් සිම් කාඞ්පත් 06ක් බැංකු ගිණුමට අදාළ පාස්පොතක් පොලිසිය මගින් සොයාගනු ලැබීය. එමෙන්ම, පොලිසිය විසින් සැකකරුගේ බැංකු ගිණුම පිළිබඳව ද පරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබීය. එම පරීක්ෂාවේ දි 2019 වර්ෂයේ සිටි 2020 ජනවාරි මාසය දක්වා රුපියල් ලක්ෂ 20කට වඩා වැඩිමුදල් ප‍්‍රමාණයක් සංසරණය වී ඇති බව පොලිසිය මගින් අනාවරණය කරගනු ලැබිය. ඇතැම් මාසවලදි මොහුගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩිමුදලක් ගනුදෙනුකොට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු වෙලේ සුදා සමග සමිප සම්බන්ධතා පවත්වා ඇති බව පොලිසිය විසින් කරනු ලැබූ විමර්ශනයේ දී අනාවරණය කරගනු ලැබිය. රැඳවියන් බැලීමට ලබාදෙන අවස්ථාවලදී මොහු බුස්ස බන්ධනාගාරයට ගොස් වෙලේ සුදා හමුවී ඇති බවද විමර්ශනවලදි අනාවරණය වී ඇත.

මේ අතර බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින වෙලේ සුදා, පොඩි ලැසි, කොස්ගොඩ තාරක ඇතුළු රැඳවියන් ඉකුත් 10 වැනි දින ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ආහාර වර්ජනයක් ආරම්භ කරනු ලැබීය. එහෙත් එම ආහාර වර්ජනය සාර්ථක නොවීය. එය ලත්තැනම ලොප් වී ගියේය. ආහාර වර්ජනයේ නිරත එකා දෙනා හෙමින් සීරුවේ ආහාර ගනු ලැබීය. ඒ සමග වෙලේ සුදා ලාගේ ආහාර වර්ජනයට වැඩි ආයුකාලයක් නොතිබුණි.

කොරෝනා සමයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් සඳහා සිය ඥාතින් සමග දුරකථනයෙන් කථා කිරීම සඳහා එක් රැඳවියකුට විනාඩි 05ක කාලයක් ලබා දී තිබුණි. ඉරිදා හා බදාදා යන දින දෙකෙන් ඕනෑම දිනයක මෙම රැඳවියන්ට එම අවස්ථාව හිමිව තිබුණි. කොරෝනා වසංගතය පහව යෑමත් සමග විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් බැලීම සඳහා ඥාතින්ට අවසර ලබාදීමත් සමග දුරකථන මගින් ඥාතීන් සමග කථා කිරිම අවස්ථාව නවතා දමනු ලැබිය. යළි ඥාතින් සමග දුරකථන මාර්ගයෙන් කථා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් මෙකී රැඳවියන් ආහාර නොගනමින් වර්ජනයක නිරතව සිටියහ. මේ අතර ඉමදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් වෙලේසුදාගේ මස්සිනා වන කනත්ත චූටි ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. ඉමදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක උපුල් කුමාර, උ පො ප හේරත්, පො. සැ. 40707 සේනානායක, පො. සැ. 50835 නිශාන්ත, පො කො 91159 ජානක, පො. කො. 89466 චානක යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles