Divaina - තාත්තාගෙ මළගමේ ශෝකය සඟවාගෙන මා ‘සුපර් ස්ටාර්ස්’ ප‍්‍රසංගයට ආවා... ප‍්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

sd24 1නවා තවදුරටත් අපේ සංගීත ක්‍ෂේත‍්‍රයට නවකයෙක් නම් නොවේ. පුරා පස් විසි වසක් පමණ විශිෂ්ට නිමැවුම් කළ ප‍්‍රවීණ සංගීතඥයෙකි. එහෙත් ඔහු අදටත් අලූත් පිරිස සමග වැඩ කරන්නට බොහෝ කැමතිය. සුමති ටෙලි නාට්‍ය උළෙලේ 1996 හොඳම සංගීත අධ්‍යක්‍ෂ සම්මානයේ සිට මේ දක්වා ටෙලි නාට්‍ය, සිනමාව හා ඒකල ගීයේ සම්මාන බොහොමයක් දිනා සිටින නවා දෙදරු පියකුව සිටියදීත් තාත්තාගෙන් යැපුණේය. ඒ සොඳුරු තාත්තාට තමාගේ පුතාගේ දස්කම් හා ඉසුරුබර ජීවිතය දකින්නට ලැබුණේ නැත. එතුමා සිතා සිටියේ තමාගේ පුතාට ජීවිතය පිළිබඳ ගැඹුරු වැටහීමක් නොතිබුණු ගාණටය. තමාගේ පෞරුෂ්‍යය ගොඩනඟන්නට එතුමා නොකළ මෙහෙයක් නැතැයි ‘නවා’ කියන්නේ කෘතවේදීවය. ඒ තාත්තාගේ කතාව අද අපි ප‍්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ හෙවත් කවුරුත් කතා කරන ‘නවා’ ගෙන් අසමු.
 
 රජයේ රැකියාව
 
 ”මගේ තාත්තා පාඩිගමගේ විල්සන්. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෙක්. අපෙ අම්මා සෝමාවතීගේ දොන් සීලවතී. ගාල්ල - හබරාදුව තල්පෙ තමයි තාත්තාගෙ ගම. ඒ පවුලෙ බඩපිස්සා තාත්තා. එදා සමාජය තුළ රජයේ රැුකියාවක් කරනවයි කියන එක හරිම වටිනාකමක්. අපේ ලොකු තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවෙ. ලොකු තාත්තා ඉංගිරියේ ඉඳන් තමයි කොළඹ වැඩට ඇවිත් තියෙන්නෙ. ලොකු තාත්තාගෙ ගෙදර ඉඳන් තාත්තාවත් එක්කගෙන කොළඹ වැඩට යන විට නිතර යනවා. ඒ අපේ තාත්තාටත් රස්සාවක් හොයාදෙන්න. මේ ලොකු තාත්තා සමග ඒ ගමන්වල යන එන විට අපේ අම්මාවත් දැකලා තියෙනවා. මුලින් දැන හැඳුනුම්කමක් ඇතිවෙලා පස්සෙ අපේ අම්මා තරුණ සුන්දර යෞවනිය කාලෙ එතුමියට ඉංග‍්‍රීසි උගන්වන්නත් තාත්තාට භාරවෙලා තියෙනවා. එතකොට තමයි දෙන්නා යාළුවෙලා තියෙන්නෙ. මුලින් පේ‍්‍රම සම්බන්ධය පස්සෙ යෝජනාවක් වෙලා දෙපාර්ශ්වයේ කැමැත්තෙන් දෙන්නා යුග දිවිය අරඹලා තියෙනවා.”
 
 පුංචි කඩය
 
sd24 3 අපේ කුටුම්භයෙ වැඩිමලා මමයි. ඊළඟට මල්ලිලා 3 යි. නංගිලා දෙන්නයි. මල්ලිලා පිළිවෙළින් සරත් පාඬිගම, විමල් පාඬිගම, ගාමිණි පාඬිගම ලෙසයි නම්වර ලබන්නේ. නංගිලා ලක්මාලී හා රංජනී ලෙසින්. ගංගොඩවිල දෙල්කඳ හන්දියේ තට්ටු දෙකේ ගෙයක අපි මුලින් පදිංචි වුණා. තාත්තා ඒකෙ යට තට්ටුවේ පුංචි ව්‍යාපාරයක් (කඩයක්) කළා මතකයි. තාත්තා දියුණු වන්නට හරියට උත්සාහ කළ කෙනෙක්. තාත්තා තැපැල් දෙපාර්තමේන්තු රැුකියාව
 
 
වගේම මේ පුංචි කඩයත් දියුණු කර ගත්තා. හරිම සදාචාරවත් පියෙක්. සිගරට්, අරක්කු මේ කිසිවක්ම පාවිච්චි කළේ නෑ. ඒ කාලෙ 3 ශ‍්‍රී මොරිස් මයිනර් කාරයක් ද එතුමාට තිබුණා.
 
 ගමේ මළ ගෙවල්
 
 තාත්තා මෙහේ හිටියට ගමේ මිනිසුන්ගෙ මළ ගෙවල්වලටත් නිතර සහභාගි වුණා. මට තාත්තා කියන්නෙ ලොකු පුතා වුණත් ‘රත්නෙ’ කියලා කෙටි නමක් ද ගෙදර භාවිතා වුණා. හැන්දෑවට ලොකු පුතා ලෑස්තිවෙන්න ගමේ යන්න කියලා ඉඳහිටලා කියනවා. මාවත් එක්කගෙන එතුමා ගාල්ල, හබරාදුව තල්පෙ යන්නෙ රාත‍්‍රී කෝච්චියෙන්. ගමේ මිනිස්සු අතර තාත්තාට ලොකු
 
 පිළිගැනීමකුත් තිබුණා. ඒකට හේතුව රජයේ රස්සාව, ගමේ හැම මළ ගෙදරකටම, පිරිතට, තොවිලයටත් සහභාගි වන නිසා වෙන්න ඇති. ගංගොඩවිලත් තාත්තාට මිනිස්සු හිටියා. එයා ඕනෑම කෙනෙකුට අත දිගහැරලා කන්න බොන්න දෙන හිත හොඳ මනුස්සයෙක්.
 
 අඳුරු සෙවණැලි
 
  මේ ගමට අපි ගිහින් බහින්නේ මහ රාත‍්‍රියේ කීවනේ. මුහුදුබඩ අද්දරයි මහ ගෙවල් (ආච්චිලගෙ) තිබුණෙ. පොල් රුප්පා මැදින් හුළුඑළි පත්තු කරගෙන අප යන්නෙ. ඒ කාලෙ හැම ගැමි ගෙදරකම පවුලේ කනත්තක් තිබුණා. කරදිය සුළඟ විඳගෙන අර සුදුපාට කනතුවල ඉදිකිරීම්වල දිගු ගූඪ දසුන් මට පෙනෙනවා. මාව රේල්පාර දිගේ එක්කගෙන යන්නෙ. අර හුළුඑළිය වනනකොට ඇතිවෙන පුංචි එළිය පමණයි විහිදෙන්නෙ. රැුැහැයියන්ගෙ හඬ, කෑලි කපන අඳුර, අර හුළුඑළිය අතරින් මං රේල් පාරෙ පියගැට බස්සවනවා. තාත්තා රේල් පාරෙන් මා එක්කගෙන එන්නෙ අනෙක් පැත්තෙන් යනකොට කෘමි සත්තු ඉන්න නිසයි. සමහර විට සර්පයොත්. මේ ගුඪත්වය, අඳුර පිළිබඳ මුල්ම පාඩම. නැත්නම් කරදිය සුළඟ, මේ හැම දෙයක්ම මගේ ජීවිතයට ඇතුළු කළේ තාත්තා කියලා හිතෙනවා. මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ කොග්ගල ගම අපට කිට්ටුයි. ඒ පොත්වල තියෙන දේ මා ඇස්පනාපිටම දකින්නෙ තාත්තා නිසා.
 
 ආච්චිගෙ කලේබරය
 
 දහවල් කාලයට මා විසින්ම කොග්ගල ගිහින් වික‍්‍රමසිංහ මහත්මයා ලියා තිබෙන දේවල් බලනවා. රාස්සිගෙ ගල, මඩොල්දුව එහෙම බලපු තැන්. මේ පොත් කියවන්න අපේ ලොකු නැන්දාගෙනුත් යම්බඳු මෙහෙයක් වුණා. මට එතකොට යාන්තම් අවුරුදු 13 - 14 ක් ඇති. අපේ මහගෙදරත් (තාත්තලාගේ ගෙදර) හරියට වික‍්‍රමසිංහ මහත්තයා විග‍්‍රහ කරන ගෙයක් වගේ. මං මුලින්ම දැක්කෙ අපෙ ආච්චිගෙ මළ ගෙදර. මහ අඳුරෙ එදත් මං තාත්තත් එක්ක ගියේ. පොල්තෙල් පහනක් දෙපැත්තෙන් තියලා ආච්චිගේ කලේබරය පෙට්ටියක තැන්පත් කරල තිබුණ මට අද වගේ මතකයි. හාත්පස අඳුර, විදුලි එළිය නෑ.
 
 වැඩවසම් බලය
 
 ඒ පැත්තෙ තිබුණා කුරුඳුවත්තෙ බංගලාව කියලා එකක්. ඒකෙත් හිටියෙ ගමේ ප‍්‍රභූවරයෙක්. ගමේ ප‍්‍රධාන තැපැල් මහත්මයා. ඊළඟට තල්පෙ මහත්මයා. ගමේ නායක හාමුදුරුවෝ. මේ අයට ගමේ විශාල බලයක් තිබුණා. ඒ ප‍්‍රභූත්වය, නායකත්වය ගැන තාත්තා මට වැටහීමක් ලබාදුන්නා. ඉංග‍්‍රීසි දන්නා, ගමේ ප‍්‍රජා වැඩවල නායකත්වය ලැබූ මේ අය ගැන මටත් ආශාවක් ඇති කළේ තාත්තා. ඒත් තාත්ත ඒ වැඩවසම් බලයට විරුද්ධයි. එයා සමාජවාදය ඇදහුවේ. හැමෝම සමානයි. ඒ අය බක්කි කරත්තෙන් එන විට අහිංසක ගැමියො පාරෙ අයිනට බහින්නෙ බයාදුව, ඔලූවෙ තියෙන ජටාව ගලව  ගන්නවා. ඒ අය හරිම තේජසින් ගමන් යනවා. මේවා පෙන්නලා තාත්තා මට දැනුම් දුන්නේ සමාජ වෙනස. ඒ සමාජ ඥානය තමයි එතුමා ලබාදුන්නෙ කියලා හිතෙනවා. පන්ති රචනය පිළිබඳ පාඩමක් මං ඉගෙන ගත්තා. ගුඪත්වය අඳුර හරහා එතුමා පාළුව, හුදෙකලාව කියා දුන්නා වගේම මේ පන්ති වෙනසේ මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් එතුමා සීරුවට මගෙ හිතෙත් තැන්පත් කළා. තාත්තා ඒ වැඩවසම් දේවල් ගණන් ගන්නෙ නෑ.
 
 සමාජවාදය
 
 එතුමා ගමේදිත් සාමාන්‍ය අහිංසක කෙනෙක්. හරිම ප‍්‍රගතිශීලියි. තමන් නිදාගත්ත ඇඳ පවා කෙනෙකුට දීලා එයා බිම නිදාගත්තා. මේ සමාජය යහපත් විය යුතුයි කියන දහමයි එතුමා තුළ තිබුණෙ. දුප්පත් මනුස්සයාට වගේම ඉහළ ප‍්‍රභූවරුන් ආශ‍්‍රය කළා. ඒක තාත්තා පිළිගත් සමාජවාදී දේශපාලනය. හැබැයි එයා අපේ සංස්කෘතියට හරියට ආදරය කළා.
 
 ගමේ දෙල්කඳ හාමුදුරුවෝ, ඉත්තදෙමළියේ වනරතන හාමුදුරුවෝ තාත්තා ළඟින් ආශ‍්‍රය කළා. නීතිඥ ස්ටැන්ලි තිලකරත්න එතුමාගේ මල්ලි වර්නන් තිලකරත්න වගේ මහත්වරු තාත්තා ඇසුරු කළා. සුසිල් පේ‍්‍රමජයන්ත මහත්මයාත් තාත්තා එක්ක සමාජවාදී ව්‍යාපාරයේ හිටියා. සිරිසේන පෙරේරා බණ්ඩා අන්කල් තාත්තාගේ ඒ වගේම ළඟ යාළුවො. තාත්තාගෙ මේ යහපත් සමාජය උදාකිරීමේ උත්සාහයේදී සමහර විට අපේ ගෙවල්වල 25 - 30 ක් කන්නට ඉන්නවා. ඒකෙන් ඒ අයට ලැබුණු අමුතු වරප‍්‍රසාද මුකුත් නෑ.
 
 පොලිසි ගිහින්
 
 ආගමට ලැදිකමක් තිබුණාට එතුමාට ඇදහිලි, දෙවියෝ, භූතයෝ ගැන කතා කරනවාටත් කැමති නෑ. ඒවා උපහාසාත්මකව බැලූවෙ. ගමේ මනුස්සයෙක් අසාධාරණයට ලක්වුණාම තාත්තා කට පියාගෙන නිශ්ශබ්දව ඉන්නා මිනිහෙක් නොවේ. වරදට කතා නොකරන, වරද පෙන්වා නොදෙන මිනිසුන් නිශ්ශබ්ද මිනිසුන් සමාජයට විපතක් කරන අයට වඩා බලවත් විනාශයක් සමාජයට කරන බව තාත්තා කීවෙ. එයා එක් වතාවක් මනුෂ්‍යයෙක් එහෙම අසාධාරණයකට ලක්වෙලා පොලිසියට ගෙන ගියාම ඒකට විරුද්ධව පොලිසියටත් ගිහින් කතා කරලා තියෙනවා.
 
 ඞී. ආර්. ගෙ පෙනුම
 
 තාත්තගේ ඇවතුම් පැවතුම් කතාබහ, පෙනුම මට නිතරම මතක් කරන නළුවෙක් හිටියා. ඞී. ආර්. නානායක්කාර හරියට තාත්තා වගේමයි. තාත්තා අනුන්ගේ බර කරට අරන් තනිවම කල්පනා කරන කෙනෙක්. එහෙම වෙලාවට අම්මා ඇහුවාම ”බලන්න අර මනුස්සයාට වෙලා තියෙන දේ” වගේ දේ කියනවා. ආවේගශීලී ලෙස කටයුතු කරන්නෙ නෑ. ඒත් දක්‍ෂිණාංශික අදහස්වලට විරුද්ධයි. වාමවාදී දේශපාලනය මා උගත්තේ තාත්තාගෙන්.
 
 තොප්පිය දාගන්නද? ගලවන්නද?
 
 එක්වරක් තාත්තා අහපු ප‍්‍රශ්නයකින් අපි සියලූ දෙනා නිරුත්තර වෙනවා. විශේෂ අවස්ථාවලදී ලියුම් බෙදීමට තාත්තා උසාවියටත් යනවා. එහෙම ගිහින් ලියුම් බෙදලා ආවාම වරක් උසාවියෙන් තැපැල් දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා අහවලා උසාවි භූමියට ‘තොප්පිය’ දාගෙන ආවා කියලා. තාත්තා ඉහළ නිලධාරීන්ට කියා තිබෙන්නේ ”මේ මගේ රාජකාරී ඇඳුම. රාජකාරී තොප්පිය, ඒක ගලවන්න දෙන එකක්ද? එහෙම නැත්නම් පැළඳගෙන ඉන්න කියලා දෙන එකක්ද?” කියලා. සාමාන්‍යයෙන් මේ රාජකාරී තොප්පිය ගලවන්න බෑ. ඒක හරියට වන්නිලඇත්තෝ පිටරටක සමුළුවට ගියත්, ඉස්පිරිතාලෙට ගියත්, උසාවියකට ගියත්, ගුවන් යානයක ගියත් කෙටේරිය උරහිසින් ගලවන්නෙ නෑ වගේ වැඩක්.
 
 වෙඩි තැබීම
 
 තාත්තාට, දෙමළ, මුස්ලිම්, ක‍්‍රිස්තියානි මේ බේද නෑ. එයා අපට කියා දුන්නෙ සමානාත්මතාව පිළිබඳ පාඩම. 1971 දී තරුණයො ඝාතනය වෙනකොට තාත්තා කම්පා වුණා. එයා හයිලෙවල් පාරට නුදුරුව ඇඳිරි නීතිය වෙලාවෙ මේ ගැන කම්පාවෙන් කතා කරලා තිබුණා. පොලිසිය තාත්තාට වෙඩි තියනවා කියලා තර්ජනය කරලත් තිබුණා.
 
 නඩරාජා
 
 1983 සිද්ධියක් මට හොඳට මතකයි. අපේ ගමේ හිටියා නඩරාජා කියලා වැදගත් දෙමළ මනුස්සයෙක්. එතුමා විනාකිරි බෝතල් ව්‍යාපාරයක් කළේ. බඳින්න බැරිවුණු වැන්දඹු, පිළිසරණක් නැති කාන්තාවන්ට එතුමා එහි රස්සාව දුන්නෙ. තාත්තාගෙත් හිතවතා. ගමේ එහෙම අය අපේ ගෙදර නැවතිලා එතැන රස්සාව කරලා කීයක් හරි හොයාගත්තා. 1983 ජූලි කලබලවලදී ඒ මනුස්සයාව ජාතිවාදීන් මරලා දැම්මා. එයා බැඳලා හිටියෙ සුදු කාන්තාවක්. එයාවත් ගින්නෙන් පුළුස්සා දැම්මා. තාත්තා මේවා ගැන හරියට කම්පා වුණා. ලැවිනියා හෝල් එක ළඟයි එතුමාගේ වැඩපළ තිබුණේ. කන්න බොන්න  ගියාමත් තාත්තා දෙපාරක් බෙදාගන්නෙ නෑ. බත්වලට දංකුඩ දුන්නත් ශබ්ද නැතිව කනවා. තරුණ කාලේ ඉංගී‍්‍රසි උගන්නපු නිසාදෝ අම්මා හැමදාම තාත්තාට කතා කළේ ‘මාස්ටර්’ කියලයි. තාත්තා කතා කළේ ”ඒයි මේ ඇහුනද?” වගේ වචනවලින්
 
 රස්සාව නැති වුණා
 
 අපේ විවාහවලදිත් තාත්තා අනවශ්‍ය බේද බැලූවෙ නෑ. දෙන්නා අතර අවබෝධයක් තියෙනවාද? කියල නම් හොයා බැලූවා. ඒත් කිසිම බලපෑමක් නෑ. ගමනක් යන්න පවුලක් හැටියට උඹලට පුළුවන් නම් එකතුවීමයි වැදගත් කියන මතයේ තාත්තා හිටියෙ. මං කසාද බැඳලා වෙනම ගෙයක හිටියත් මට දරුවන් දෙන්නෙක් ලැබිලා දෙදරු පියකුව සිටියදී මා කලම්බු කමර්ෂල් ආයතනයේ රස්සාවෙන් ඉවත් වුණා. ඒකට හේතුව එතැන හිටපු ඉංජිනේරු මහත්මයෙක්. මට හිත රිදෙන වචනයක් කීමයි. එතුමා හොඳ කෙනෙක්. ඒත් හිත රිදෙන විදියට මට දවසක් කතා කළා. මං රස්සාවෙන් අස්වුණා. අම්මා මේක දන්නවා. සති 2 ක් විතර යනකම් තාත්තා දන්නෙ නෑ. ඒ නිසා අම්මා තාත්තාට කියනවා ”ලොකු පුතාට හාල්, පිටි, සීනි ටිකක්වත් ගිහින් දාන්න!” කියලා. තාත්තාත් ඒක කරනවා. අන්තිමට ගෙදර කුලිය ගෙවාගන්න බැරිව මං අම්මලාගේ ගෙදරට අපේ පවුලත් අරන් යනවා. අපේ, මගේ ළමයි, නෝනා හා මාව නඩත්තු කරන්නෙ තාත්තා.
 
 සිත රිදෙව්වේ නෑ
 
 තාත්තා කල්පනා කළා රස්සාව නැති කරගත්තා. මේකාට වගකීමක් නෑ කියලා. ඒත් එයා නිහඬවම සියල්ල දරාගෙන අපට උදව් කළා. මගේවත් නෝනාගෙවත් හිත රිදෙව්වේ නෑ. දරුවන්ටත් අවශ්‍ය දේවල් කළා. 1994 දී රස්සාව නැති වුණේ. ඊට පස්සෙ මගෙ ලෝකය හදාගන්න මා වෑයම් කළේ තාත්තා පවුලේ බර කරට ගත්ත නිසයි. මම සංගීත ක්‍ෂේත‍්‍රයේ වැඩවලට බැස්සා. වැඩමුළු, නාට්‍ය, දේශන මේවාට සම්බන්ධ වුණා. අවුරුදු 2 ක් යනකොට මට පාර හසුවුණා. තාත්තා සමාජයට නැඹුරු කෙනෙක්. අම්මා පවුල ගැන බැලූවෙ. තාත්තා උදව් කළත් මේ පවුලේ ඒ වෙලාවෙ යම් යම් වෙනස්කම් වෙනකොට ඒවා සරිකර ගත්තෙ මගෙ නෝනා ප‍්‍රීති ජයසේකර. එයා තමයි පවුලෙ හැමෝම එකට තියාගත්ත සංවේදී ගැහැනිය. එයා අම්මාටත්, තාත්තාටත් නැතිව බැරි වුණා. ඇම්බැක්ක දේවාලයේ තනි ඇණයෙන් සියල්ල දරාගත් කැණිමඬල වගේ මගේ නෝනා. මට සංගීත ගමන සඳහා අවශ්‍ය කටයුතු සකස් කර ගත් කාලය මට ලබාදුන්නෙ මගේ මාපියො. ඒ නිසා 1996 වනවිට මට යම්බඳු ස්ථාවරත්වයක් ලැබුණා.
 
 ‘ඇත්ත පත්තරේ’
 
 මම ගියේ ශ‍්‍රී රේවත මහ විදුහලට. මට එහා පැත්තෙ හිටි ශිෂ්‍යයා විජයදාස රාජපක්‍ෂ. අපි ටිකක් වාමාංශිකයි. තාත්තලා නිසාම. ගංගොඩවිල දෙල්කඳ කෙසෙල්කන් මුදලාලි අපේ පවුලේ හිතවතෙක්. එතුමා තමයි මටත් ණයට බඩු දෙන්නෙ. ඒ කඩයට එහා පැත්තෙ තිබුණේ අබයදීර මුදලාලිගේ කඬේ... එතැනට තමයි ‘ඇත්ත’ පත්තරේ එන්නෙ. අමරසිරි ගමගේ මහත්මයා කොමියුනිස්ට් පත්තර සියල්ලම මෙතැනට ගෙනෙනවා. අබයදීර මුදලාලි නිහඬවම මේ කොමියුනිස්ට් ව්‍යාපාරයට උදව් කළ බව පෙනෙනවා. අප ඒ පත්තර කියවන්නෙ එහිදී. රංජි, සිරිපාල, අශෝකා, බණ්ඩාර වැනි යාළුවො සමග මෙහිදී බරපතළ සංවාද ඇතිවෙනවා. මෝඩ රැුඩිකල් අදහස් තිබුණු අය නොවේ මෙතැන රැුඳුනේ.
 
 සමාජ ඥානය
 
 අපේ තාත්තාට රේල්වේ වරන්ට් තිබුණු නිසා එතුමා අප සියලූ දෙනා රට වටේ ගෙන ගියා. මුතියංගන, මහියංගණ, අනුරාධපුර මේ හැම තැනම. අපේ සංස්කෘතිය, අක්මුල්. පුරාවස්තු මේවා ගැන එතුමා අප දැනුවත් කළා. එයාගේ සමාජවාදය අපට බලෙන් ගිල්ලූවෙත් නෑ. අපේ තාත්තාගෙන් මා කෙළින්ම ලැබුවෙ සමාජ ඥානය. අම්මාගෙන් තමයි කලාව, සංවේදීකම, ආදරය වගේ දේවල්.
 
 වැරදි වැටහීම
 
 තාත්තා මා පිළිබඳව වැරදි වැටහීමක හිටියා කියලා මට හිතෙනවා. එතුමා සියල්ල කළේ රස්සාවෙන්. රස්සාව නැතිකර ගත් එකට තාත්තා හිතෙන් දුක් වුණා. එහෙත් මගේ දරුවන් කරේ දාගෙන හැදුවා. ඒත් තාත්තා මගේ සංගීත ගමන දැක්කෙ නෑ. ගීත දහස් ගණනක් හැදුවත් තාත්තා ඒවා ඇහුවාද කියලා දන්නෙත් නෑ.
 
 මං දියුණුවෙලා නුගේගොඩ චැපල් ලේන් එකේ තට්ටු
 
 3ක ගෙයක් හදලා පදිංචි වුණත් වාහන ගත්තත් වෙනත් අය ඒවා මගේ කීවත් තාත්තා පිළිගත්තෙ නෑ. තාත්තාට කලා ලෝකෙ ගැන වැටහීමක් නෑ. එතුමා බණ ඇහුවා, ප‍්‍රවෘත්ති ඇහුවා. ගීත අහනවාවත් මට මතක නෑ.
 
 වියදම්
 
 හැබැයි මා දරුවන්ට කරන වියදම්, ගෙදරට කරන වියදම් බලලා ගණන් හදලා තියෙනවා. මේවා කොහොමද? කරන්නෙ කියලා. මට නවරත්න කියන නම තාත්තා දාලා තියෙන්නෙ මා ‘තෛපොංගල්’ දවසෙ ඉපදුණු නිසයි. රත්න නවයක් කියන අදහසයි අරන් තියෙන්නෙ. දෙමළෙන් ඒක නවරත්නම්. මගේ ලෝකය හොයාගෙන යන්න මේ අය කළ උදව් නිසා මට ගමනක් හැදුනා.
 
 තාත්තා නැති වෙන්නෙ වයස අවුරුදු 86 දී. මුලින් උගුරේ තයිරොයිඞ්ස් අමාරුවක් ආවෙ. පස්සෙ ඒක පිළිකාවකට හැරුණා. අම්මාත් පිළිකාවෙන් තමයි නැති වුණේ. තාත්තාගෙත්, අම්මාගෙත් සම්බන්ධය හොඳයි. දෙන්නා රණ්ඩු වුණේ නෑ. ඒත් අම්මා කීවෙ තාත්තා සමාජයට ආදරෙයි. සමාජය සකස් කරන්න යනවා. පවුල වෙනම ඒකකයක් කියලා හිතන්නෙ නෑ කියලා. තාත්තා අදහස් කළේ පවුල කියන්නෙත් මේ සමාජයේම කොටසක් හැටියට. ඒත් පවුලට අඩුපාඩු කළෙත් නෑ. සුරාව, සූදුව කළෙත් නෑ. හැම සතයක්ම අපට දුන්නෙ.
 
 ඉහළම දොස්තරවරු
 
 තාත්තාව මා ඉහළම දොස්තර මහත්වරුන්ට පෙන්නුවා. මුලින්ම ස්නායු රෝග වෛi විශේෂඥ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහත්තයාට. අපේ තාත්තා ආරියසිංහල ඇඳුම ඇන්ඳෙ. ඒක ඕනෑම තැනකට ගැලපෙනවා. තාත්තා බේරගන්න අප කොච්චර මහන්සි වුණත් එතුමා පිළිකාවෙන් නැති වුණා.
 
 සුපර් ස්ටාර්ස්
 
 තාත්තා නැතිවෙනකොට මං ‘සුපර් ස්ටාර්ස්’ 2 ප‍්‍රසංගය භාර අරන් බරටම වැඩ. නිලේන්ද්‍ර දේශප‍්‍රිය මේ වැඩසටහනෙත් අධ්‍යක්‍ෂ. තාත්තා නැතිවුණේ මේ ප‍්‍රසංගය පවත්වන්නට පෙර දවසේ. පැය ගාණයි තියෙන්නෙ. මම තමයි සංගීත අධ්‍යක්‍ෂ. මගෙ ඔලූව දෙලෝ රත්වුණා. මං හතර වටේ දිව්වා තාත්තාගේ මරණයට. නංගිලාගෙන් ඇහුවා මොකද? කරන්නෙ හෙට ප‍්‍රසංගය කියලා. ඒ අය කීවා අයියා කැමති විදියට තාත්තාගේ කටයුතු කරන්න කියලා.
 
 මං අවශ්‍ය සියලූ කටයුතු ලහි ලහියේ සංවිධානය කළා. තාත්තාගේ කටයුතු චාම් විදියට ඒත් අවශ්‍ය සියලූ දේ ඇතිව කරලා මං ප‍්‍රසංගයට ඊට පහුවෙන්දා යනකොට තරමක් පරක්කුයි. නිලේන්ද්‍ර කලබල වෙලා හිටියා. ඒත් එයා පසුව දැනගෙන තිබුණා මේ එන්නෙ තාත්තාගේ මළගමේ කටයුතු කරලයි කියලා. එයා මුකුත්ම කීවෙ නෑ.
 
 අවසර පත් විසි කළා
 
 නිලේන්ද්‍ර මගෙ කරට අත දාගෙන එක්කගෙන ගියා. ප‍්‍රසංගය සූදානම්. එයා අතේ ‘පාස්’ ගොඩක් තිබුණා. ඒවා මට දීලා කීවා ඇතුළට එන්න බැරි මිනිසුන්ව ගන්න තාත්තා වෙනුවෙන් මේ අවසරපත් වීසි කරන්න කියලා. මා ඒක කළා.
 
 මගේ තාත්තා, අම්මා වෙනුවෙන් මා අවශ්‍ය පිංකම් කරනවා. මගේ බිරිඳ ප‍්‍රීති හා පවුලෙ අනෙකුත් අය මා වටේ ඉන්නවා. තාත්තාට මාගේ ගමනේ ඉසුරුකම පෙන්වන්න බැරිවුණා. තාත්තා මා පිළිබඳ හිතා සිටි විදිය මට වෙනස් කර ගන්න ලැබුණා නම් හොඳයි කියලා හිතෙනවා.
 
 උපාලි සමරසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles