Divaina - පියාණනී මා නැවත උපන්නොත් අපාරවූ මේ සංසාරේ....

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 -  ප‍්‍රවීණ ගේය පද රචක චිත‍්‍රපට අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නsssss

p22 5

අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළු මහත් විශ්වයම අපොහොසත් යැයි නීග්‍රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලූතර් කිං වරක් ප‍්‍රකාශ කළේය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද එබඳු වූ අවංක මිනිසෙකි. ඔහු කවරදාවත් හෘදසාක්‍ෂියට එකඟ නැති කිසිවක්ම නොකළේය. ගේය පද රචනයෙන් සිනමා අධ්‍යක්‍ෂණයෙන්, සාහිත්‍ය පොත පත රචනයෙන් එමතුද නොව සාහිත්‍ය පර්යේෂණයෙන් ද මහත් කුසලතා පෙන්වූ හෙතෙම ‘යාත‍්‍රා’ ‘පහන් කන්ද ‘පවන’ වැනි ප‍්‍රසංග හා ගීතාවලි හරහා නන්දා මාලනිය හා එක්ව කුණු වූ මේ සමාජය විනිවිද ගොස් එහි වරද නිවරද පෙන්වා, විරෝධාකල්ප මතු කැර යහපත් සමාජයක් පැතුවේය.

ඇතැම් දේශපාලකයෝ ඔහුගේ මේ ගමන් මග වෙනස් කැර ඔහු නිහඬ කිරීමට ඇතැම් මාධ්‍ය ආයතනවල සභාපති පුටු පවා ඔහුට පිරිනැමූහ. දහසින් බැඳි පියලි, විදෙස් සංචාර, විදෙස් තානාන්තර ද ඔහු වෙත දිගු කළහ. එහෙත් ඒ හැම අවස්ථාවක්ම අලූයම ලූ කෙළ පිඬක් සේ විසි කළ මේ අවංක මිනිසා ඒ හැම තැනකම ස්වාධීනව කටයුතු කළ නොහැකි බව හොඳින්ම තේරුම් ගත්තේය. ඒ නිසා එතුමා කවරදාවත් කිසිම මිලකට නොවිකිණින. මේ සත් ව්‍යායාමය වෙනුවෙන් පෙනීසිටි තවත් පිරිසක් (මහාචාර්ය සෝමරත්න බාලසූරිය, නන්දා මාලනී) සමඟ එතුමාට ඉන්දියාවේ සැඟවී සිටීමට පවා සිදුවූයේ මරණ තර්ජන එල්ලවී තිබූ එක්තරා වකවානුවකය. එවන් වූ සැබෑ මිනිසකු අද ‘පියවරම’ ‘අපේ තාත්තා’ සාමීචියට පැමිණෙයි. පිය පුතු අතර තිබූ අව්‍යාජ සබඳතාව අද අපේ කථානායක මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ මෙසේ හෙළි කරති.

 

sunfather

පුදුමය

මේ විශේෂාංගය ගැන ඇහුවාම මට ඇති වුණේ පුදුමයක්. අපේ ජන සාහිත්‍යයේ ඉඳලම හැමතැනම වර්ණනා වෙන්නේ අම්මා ගැන විතරමයි. තාත්තලාගේ මෙහෙවර ගැන අපේ ජන සාහිත්‍යයේවත් කොතැනකවත් නෑ. ගීත සාහිත්‍යය ගැන පර්යේෂණ කළ කෙනෙක් හැටියට මට මතක් වෙනවා එක තැනක විතරක් මෙහෙම. 1940 දී ගේ‍්‍රටා ජෙනට් ද සිල්වා හා සෙල්සියා ද සිල්වා කියන අක්කා නෙඟා් දෙදෙනා

ගයන ‘‘පුංචි නංගි දැන් එයි තාත්තා අපේ’’ - (අක්කයි නංගියි බලා ඉන්නවා) ‘‘ටොෆි සීනිබෝල එයි අතේ එල්ලී’’ ‘‘ඒත් අපට චොක්ලට් තමයි අගේ’’ වැනි ගීයක් අපට ගීත සාහිත්‍යයේදී හමුවෙනවා. අම්මා වගේම තාත්තාගේ මෙහෙවරත් අප සමානව අගය කළ යුතුයි. ඒ නිසා මං ‘දිවයින’ කරන මෙහෙවරට කැමැතියි.

n1 2පියාණනී මා නැවත උපන්නොත් - 
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතුවේවා - ඔබේම පුතු වේවා
ශිල්ප සතර දී සිහසුන හිඳුවා - ඔබට අහිමි ලොව අප රජ කරවා...

මේ සුනිල් ආරියරත්නයන් තම පියා වෙනුවෙන් අපේ ගී සාහිත්‍යයට එක් කළ සුවිශේෂ ගීයයි. පියා ගැන වර්ණිත හොඳම ගීය එය යැයි මම සිතමි. ගායනා කළේ ගායන ශිල්පි අබේවර්ධන බාලසූරිය ය. අපාර වූ සසර යනු - පරක් තෙරක් නැති සසර ය. සමහරු මෙය අසාර ලෙස කියති. ලියති. එය වැරැුදිය.

හාල් මැස්සන් සහෝදරයන්ගෙ පොත

මගේ තාත්තගෙ නම විලියම් කුරු
විට බණ්ඩාර, කෝට්ටේ - රජ මහා විහාරය ළඟ නිවෙසක් තාත්තලගේ මහගෙදර. අම්මා මහරගම ඇරැුව්වල. දෙන්නා එකතුවෙලා තිබෙන්නේ යෝජිත විවාහයකින්. ඒත් ඊට ඉස්සරින් තාත්තා අම්මාව දැකලා තියෙනවා. ඒ අනුවයි යෝජනාව ගියේ. අපේ තාත්තා නිතර කී කතාවක් තමයි. පුතේ, මං නම් කියවලා තියෙන්නේ ‘‘හාල්මැස්සන් සහෝදරයන්ගේ පොත’’ පමණයි කියලා. අපි ලොකුවෙලා හැම තැනම මේ පොත හෙව්වත් කවරදාවත් මේ වන තෙක් හමුවුණේ නම් නෑ. අපේ තාත්තා ගිහින් තියෙන්නේ 2 පන්තියට විතරයි. හැබැයි ! එතුමා ව්‍යාපාරික ඥානයෙන් හරිම ඉහළ තැනක හිටියෙ. අම්මා කැන්දාගෙන එනකොට වුණත් කුලී ගෙවල්වලට යන්න බෑ කියලා අලූතින් ගෙයක් ගංගොඩවිල හදලයි එතුමා අම්මාව කැන්දගෙන ඇවිත් තියෙන්නේ. 1925 දී විතර නුගේගොඩ තිලක උයන මහ මඩවගුරක්. තාත්තට හැමදාම සැලසුමක් තිබුණා. එතුමා කල්පනා කළා, කොළඹට යන පාර අද්දරින්ම ඉඩමක් ගන්න. ඒ අනුවයි තිලක උයන ඉඩම කළුගල් දාලා තළලා මඩවගුර පිළිසකර කරලා හදාගෙන තියෙන්නෙ. තාත්තයි, අම්මයි හැරුණාම අපේ පවුලෙ දරුවො 6 යි. පිරිමි 4 යි ගැහැනු 2 යි. තාත්තා කොයි තරම් හොඳ ව්‍යාපාරිකයෙක් ද කියන්නෙ මේ පිරිමි හතර දෙනාට ගෙවල් 4 ක් හැදුවා. පවුලේ ගැහැනු දරුවන් දෙන්නාට නුගේගොඩ මෙට්රෝ සිනමාහල ළඟ තවත් ගෙවල් 2 ක් හැදුවා. මෙතුමා මුලින්ම කළේ අබලන් වාහන ගෙනත් අලූත්වැඩියා කැර විකිණීම. මා හිතන්නේ ජීවිත කාලෙදි වාහන විශාල ගණනක් හදලා විකුණන්න ඇති.

ශතවර්ෂයක් ජීවත් වීම

1911 දී ඉපදුණු තාත්තා ශත වර්ෂයක් ජීවත්වෙලා 2011 දී නැති වුණේ. බැද්දගානෙ ඉඩමක් අරන් ‘මොරායස් විෂ වෙද රෝහල’ සඳහා අඩු මුදලට විකුණා තිබුණා. අපේ තාත්තට බොහෝ අය කීවේ ‘නුගේගොඩ ආදිවාසියා’ කියලයි.

නුගේගොඩ නගරයට පළමුවැනි කුලී රථය ගෙනැවිත් තිබුණෙත් තාත්තා. මොරිස් මයිනර් කාරයක්. පස්සෙදි තාත්තා රෝලන්ඞ් කම්පැණියෙන් බ‍්‍රෑන්ඞ් නිව් කාර් ගෙනැල්ලා කුලී රථ ගාලක් පවත්වා ගත්තා. ෑඛ 4252ල ෑභ 463 වාහන මට තවම මතකයි.

මසක බිම් කුලිය රුපියල්  20 යි.

අනුන්ගේ බිම් කඩක මේ රථ ගාල පවත්වා ගත් නිසා එක් රථයක් සඳහා මාසයකට රුපියල් 20 ක් ගෙවලා තමයි මේ රථ ගාල පවත්වා ගත්තෙ. අපේ තාත්තාට කලාව, සාහිත්‍යය ගැන එතරම් වටිනාකමක් තිබුණේ නෑ. දරුවො කලාකරුවො වෙනවට තාත්තා කැමැති වුණෙත් නෑ. පාඩම් වැඩ අතර වාහන හදනව වගෙ වැඩක් පිරිමි ළමයි කළ යුතුය කියන හැඟීම තාත්තාට තිබුණෙ. තාත්තාට ඉතා ඉක්මනින් කේන්ති යනවා. අම්මා නම්‍යශීලියි. අම්මාගෙ මැදිහත්වීම මතයි අපේ කලා රසය වැඩුණෙ. මහරගම ඇරැුව්වල නැටුම් ශාන්තිකර්ම ආදියට ළැදි පවුලකින්නෙ අම්මා එන්නෙ. ඒත් කියැවීමේ රසය අපට පුරුදු කළේ තාත්තා. එතුමා උදේ පාන්දර ‘දිනමිණ’ පත්තරේ ගෙනැවිත් නොවරදවාම කියවනවා. මොන වැඩ තිබුණත් ඒක කරලයි වැඩවලට බහින්නෙ. තාත්තා පත්තර බලනකොට ඒකෙ කොටස් ගලවාගෙන කියවනවාට කැමැති නෑ. එතුමාට ඕනෑ මුළු පත්තරයම අතේ තියාගෙන කියවන්න. ලොකු අයියාත් (තිලක් කුරුවිට බණ්ඩාර) මමත් ඒකෙ කොටස් ගලවාගෙන සාහිත්‍ය අතිරේක කියවනකොට එතුමා කියන්නෙ කියවලා ඉවර වුණාම පත්තරේම කියවන්න කියලයි. ඒ තාත්තාගෙ හැටි. හැබැයි ! කියවීම අපට පුරුදු කළා.

දෙකේ පන්තියට ගියත්

දෙකේ පන්තියට ගියත් තමන්ගෙ පුතෙක් සිළුමිණ පත්තරේ මහ පුටුව වෙත යවන්නත් තවත් පුතෙක් සරසවි මහාචාර්යවරයකු කරන්නත් තාත්තාට හැකි වුණා. සල්ලිය බාගෙ කොච්චර තිබුණත් එතුමා අපට පුරුදු කළේ දුක විඳලා අරපරෙස්සම ඇතිව ජීවිතය ගොඩනඟන්නයි. මහ වැසි වැටිලා ගංවතුර ගලලා තිබුණත් තාත්තා නොවෙයි වාහනවලින් අපව පාසලට ගෙන යන්නෙ. ශාන්ත ජෝන් විදුහලට (තරමක් ළඟින් පිහිටි) තාත්තා කීවේ පයින්ම යන්න කියලයි. පාසල දුර පිහිටා තිබුණත් කතාව ඒකමයි. අයියා තිලක් කුරුවිට බණ්ඩාර තමයි මගේ සාහිත්‍ය ලෝකය එකලූ කළේ. අයියයි මමයි කොටුවට ගිහින් ‘ ඕෆ් කට්’ අරන් ඇවිත් අතින් අකුරු අමුණලා ඒ මැටර් එක ප්‍රෙස්එකට අරන් ගිහින් පෝරම දීලා ඒවා නවලා මේ විදිහෙ දිගට යන ව්‍යාපෘතියකින් තමයි මුලින්ම ‘රසික ප‍්‍රකාශන’ නමින් පොත් ගහන්න පටන් ගත්තෙ. තාත්තා මේවාට එකපාරම විරුද්ධ වුණේ නෑ. ඈතින් ඉඳන් බලා හිටියා. පෙලැඹවීමක් කළේ නෑ. බස් එකේ දාගෙන මේ ‘ ඕෆ් කට්’ අරන් එන්න දවසක් අපට සල්ලි නැති වුණා. දෙන්නත් එක්ක හැව්ලොක් ටවුමේ ඉඳන් නුගේගොඩට පයින්ම ආවා මතකයි.

අරපරෙස්සම

අපට තාත්තා පුරුදු කළ වැදගත්ම දේ තමයි අරපරෙස්සම. කෙනෙකුට බත් පිඟානක් කන්න එක මාළු කෑල්ලක් ඇති. හයදෙනාට කෑලි 6 යි. අදත් බත් පිඟානක් කන්න මට මාළු කෑල්ලක් ඇති. ඒක මසුරුකම නොවෙයි අරපරෙස්සම. තාත්තා ඒ වෙලාවට අපට එහෙම කියා දුන්නා. තාත්තාට අවශ්‍ය වුණේ අපට ඉහළටම උගන්වන්න. කලා කටයුතුවලට ගියොත් අධ්‍යාපනය කඩාකප්පල් කර ගනීවි කියන බියක් තාත්තාට තිබුණා. ඒත් අයියා තමයි, මාව කලාවට යොමු කළ තාත්තා. එක වතාවක් මට මතකයි. නාට්‍ය හතක් දවස් 7 ක් බලන්නට පුළුවන් වාර ප‍්‍රවේශ පත‍්‍රයක් අයියා අමාරුවෙන් සල්ලි එකතු කරලා ගෙනැල්ලා තිබුණා. තාත්තාට මේක අහුවෙලා ඉරුවා. එදා තමයි මා දුටුවෙ අම්මා තාත්තා සමග තරමක උණුසුම් අරගලයක් කරනවා. අම්මා දැන හිටියා අප මේ පැත්තෙන් ගොඩනැෙඟන බව.

මගේ චිත‍්‍රපටයක්වත් බලා නෑ

2011 තාත්තා නැතිවෙන කොටත් මා චිත‍්‍රපට 10-12ක් අධ්‍යක්‍ෂණය කරලා තිබුණා. ගීත දහස් ගණනක් ලියා තිබුණා. ඒත් තාත්තා මේ චිත‍්‍රපට එකක්වත් බැලූවෙ නෑ. ගීත ඇහුවෙත් නෑ. අගය කළෙත් නෑ. තාත්තා හිටියෙ ගැඹුරු ලෙස අපට ආදරය කරමින් ටිකක් ඈතින්. තාත්තාගෙන් යමක් ඉල්ලනවා නම් අම්මා හරහා තමයි අප යමක් ඉල්ලන්නේ. තමන්ගෙ පුතා අහවල් තැන අහවල් දේ කරනවා. එහෙම තාත්තා කාත් එක්කවත් කියන්නෙත් නෑ. හැබැයි! ඒවා අගය කළ අවස්ථා අනුන්ගෙන් විශේෂයෙන් ඥාතීන්ගෙන් දැනගත් අවස්ථා තියෙනවා.

අපේ ගෙදරට එන කලාකරුවන්ට තාත්තා කැමැතියි. අමරදේව මාස්ටර්, වික්ටර්, සනත්, නන්දා මාලනී, අබේවර්ධන බාලසූරිය, බුද්ධදාස ගලප්පත්ති, මහාචාර්ය තිස්ස කාරියවසම් මේ හැමෝම සමග හරි හිතවත්. තාත්තා මීවිතට ටිකක් පි‍්‍රයයි. ඒක බීලා නරකට හැසිරෙනවා දකින්න කැමැති නෑ. සනත්ලා, වික්ටර්ලා ආපු වෙලාවක ටිකක් ඒ වගේ අපේ ගෙදර සප්පායම් වෙනකොට මීවිත අඩු වුණොත් අඩුව (බෝතලය) ඉල්ලගන්නෙ

තාත්තාගෙන්. හැබැයි ! ඒ ණය කලින්ම ඊළඟ දවසෙ එනකොට ගෙවන්න ඕනෑ. ඒක තාත්තාගේ විදිහ.

එතුමාගේ පියා කලාකරුවන්ට බෙහෙවින් ම පි‍්‍රය කළ කෙනෙකි. සුනිල් ආරියරත්නයන් කෙළින්ම නොකීවාට මේ ටිකත් නොලියාම බැරිය. මෙය මා ඇසූ සත්‍ය කතාවකි. ‘පියාණනී’ ගීය මිහිරියට ගැයූ අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියා සමඟ හෙතෙම මහත් කුළුපගකමක් නොදැක්වීය. එය මහාචාර්යවරයාට බරපතළ ප‍්‍රශ්නයක් විය. සුනිලූන් තම පියතුමාගෙන් මෙසේ ඇසුවේය. ‘ඇයි?’ තාත්තෙ, තාත්තා ගැන මා ලියූ ගීය රටට ගියේ ඒ ගායකයා නිසානෙ. ඇයි! තාත්තා එයාට කිට්ටු නැත්තේ’’ මහාචාර්යවරයා එසේ අසන විට ඒ පියතුමා කීවේ අපූරු කතාවකි.

‘‘නෑ. මේ මනුස්සයාගෙ වරදක් නෑ. ඒත් අඩියක්වත් නොගහන ඒ මුහුණ බලන්න මා එතරම් ආසා නෑ... විලියම් පියතුමා කීවේය.

එතුමා සුරාසොඬෙකු නොවූවද අඩි ගහන මිනිසුන්ගේ හිත හොඳ බව එතුමා තුළ බලවත් විශ්වාසයක් තිබිණ.

රුපියල් ලක්‍ෂයක්

මගේ ජීවිතයේ එකම එක වරයි මගේ ප‍්‍රතාපවත් තාත්තා අඬනවා මා දැක්කෙ. ඒ මරණ තර්ජන ආපු වෙලාවෙ රටින් පිටවෙන්න මා සූදානම් වෙද්දී. ඒ වෙලාවෙ තාත්තා රුපියල් ලක්‍ෂයක් (නෝට්ටුවලින්) මගේ අතට දීලා කීවා. පුතේ හැංගිලා ටික දවසක් ඉන්න කියලා. ඒ වෙලාවේ මා තාත්තාගේ දෑසේ කඳුළු කැටියක් දැක්කා. අපවත් වී වදාළ මාපලගම විපුලසාර හාමුදුරුවො, මහාචාර්ය තිස්ස කාරියවසම්, බෙල්ලන්විල විමලරතන හාමුදුරුවො තමයි මට උදව් කළේ.

‘හාරලක්ෂෙ’ ජෝන් ද සිල්වාගේ පුතා

අපේ තාත්තා හතර පෝයට සිල් ගන්න උපාසකයෙක් නම් නෙවෙයි. ඒත් එතුමා පිටකෝට්ටේ මහ පන්සලේ දායක සභාවේ සිට මෙහෙයක් කළා. පිටකෝට්ටේ දේවානන්ද හාමුදුරුවො සමග උන්වහන්සේ ගිහි කාලෙ ඉඳන්ම තාත්තා හිතවත්, උන්වහන්සේගේ ගිහි නම පේ‍්‍රමන් සිල්වා. හාරලක්‍ෂය මංකොල්ලයේ මියගිය ජෝන් ද සිල්වාගෙ එකම පුතා මේ පේ‍්‍රමන් සිල්වා. අම්මා බලාගෙන ඉඳලා අම්මා මියගියාම ඔහු මහණකමට ආවා. කතරගම පොල් පහන් පිංකම මේ හිමියන්ගේ වැඩක්. ‘සුසිලෝදය’ නමින් පත්තරයක් කළා මතකයි. පින් බෙහෙත් ශාලාවක් තිබුණා. මේ බෙහෙත් ශාලාවට ඖෂධ වැඩම වන්නේ පෙරහැරකින්. මේ සියලූ පින්කම්වල ප‍්‍රධානතම අර්ථපතියා අපේ තාත්තා කුරුවිට බණ්ඩාර. පේ‍්‍රමන් සිල්වා මහණ වෙන්න යන්න හිත ආවාම අපේ තාත්තාට කියලා තියෙනවා. මගේ අම්මව බලාගන්න පුළුවන්ද? කියලා. තාත්තා ඒකත් භාරගත්තා. ඒත් එහෙම කියලා තුන් මාසයක් යන කොට ඒ අම්මා මැරුණා. පේ‍්‍රමන් ඒ ගෙදර බඩු සියල්ලම එළියට දාලා ඕනෑ කෙනෙක්ට ගෙන යන්න පුළුවන් කියලා මහණ වෙන්න ගියා. තාත්තා ඒ හාමුදුරුවන්ට යෝධ සෙවණැල්ලක්ව හැමදාම හිටියා.

තාත්තා වන්දනා ගමන් යන්නෙත් හදිසියෙම. දැන් කතා වුණා. දැන් යනවා. මාත් අයියාත් ඉතින් පොලඹවනවා. උයලා තියෙන බත් මුට්ටිය කාරයේ ඩිකියට දාගන්නවා. අඩු වැඩිය මගදී ගන්නවා. කතරගම සිතුල්පව්ව මේ කොහේ ගියත් අපි නිස්කලංක තැනක නැවතිලා උයාගෙනයි කන්නෙ. පවුලෙ දරුවො මාපියො එක්ක සතුටුසාමීචියේ යෙදිලා වන්දනා කටයුතුත් කරගෙන ගෙදර එනවා. තාත්තා ළඟ සල්ලි වාහන තිබෙන නිසා ප‍්‍රශ්නයක් නෑ.

පන්සල් මංගල ගමන

පවුලට අලූතින් දරුවකු එකතු වුණාම තාත්තා අම්මාත් එක්කගෙන ඉස්සෙල්ලාම යන්නෙ පන්සලට. අයියා හම්බවුණ වෙලාවෙ ගිහින් තියෙන්නේ බෙල්ලන්විල පන්සලට. මා හම්බවුණු වෙලාවෙ ගිහින් තියෙන්නේ නාගදීපයට. අපේ තාත්තා අවුරුදු චාරිත‍්‍ර හරියට කළා. ජනවාරි 01 දා කිරිබත් උයලා ඉස්සෙල්ලාම තාත්තා යන්නෙ බෙල්ලන්විල පන්සලට. දරුවනුත් මේකට හුරු කළා. එතැන වෙනම සංස්කෘතියක්. මට මතකයි සෝමවීර සේනානායකයන්, ජේ. බී. දිසානායකයන් පවුලේ අය සමඟ ඒ පන්සලට ජනවාරි 01 දා එනවා. අපිත් යනවා. වැඩිහිටි පිළිවෙළට වැඳුම් පිදුම්, චාරිත‍්‍ර මේ හැමදේම අපට පුරුදු කළේ නිරායාසයෙන් ඒ විදියට අපේ තාත්තා කියලා හිතෙනවා.

දේශපාලනය

තාත්තාගේ අමුතු දේශපාලනයක් තිබුණේ නෑ. මුලදි කෝට්ටේ ආනන්ද තිස්ස ද අල්විස්ට හිතවත්ව ඹගභගඡුග යට කැමැත්තෙන් හිටියා. ඊට පස්සේ රොබට් ගුණවර්ධනට වැඩ කළා. ජාතීන් අතර සහජීවනය හොඳට තාත්තා ළඟ තිබුණා. දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු තාත්තා ළඟ වැඩ කළා. ඒ හැමදේකටම වඩා මිනිස්කම තාත්තා බලාපොරොත්තු වුණේ.

මං රටින් පලා ගිය අර බියකරු නිමේෂය තුළ තරුණ දරුවන් ඉන්න තාත්තා කෙනෙක් හැටියට තාත්තා බයෙන් හිටියා කියලා මට පසුව ආරංචි වුණා. ඒ වෙලාවෙ නුගේගොඩ ගෙවල් අත්හැරලා නාවල පාරේ ගේක කූඩුවෙලයි පවුලේ අය ඉඳලා තියෙන්නේ. පුරාජේරු පුරසාරම් කතා තාත්තා කියන්නෙ නෑ. ඒවා අහන්නෙත් නෑ.

තාත්තාට වංචාවක්

තාත්තා දකුණු අතින් දුන් දෙය වම් අත දන්නේ නෑ. තාත්තාගෙ පැත්තෙ දුප්පත් නෑයින් සමහරෙක් ඇවිත් පසුව අපට කියා ඒ ඉඩම අරන් දුන්නෙත් තාත්තා කියලා. හැබැයි? තාත්තා ළඟ සකසුරුවම්කම හැමදාම තිබුණා. මිල අධික සාහිත්‍ය පොත් පත් ගන්නට බැරි හින්දා මං තාත්තාට අවුරුදු 5 ක් පොඩි වංචාවක් කළා. ඒ අවුරුද්දේ අන්තිමට පාසල් පොත් ලැයිස්තුවට ඒ පොත් නම් කිරීම. ඒ විදියට මං මිල අධික පොත් 20 ක් විතර තාත්තාගෙන් හොරාට ගත්තා.

මට පොඩි කාලේ ඉඳන් සිනමාහලක් හදන්න පිස්සුවක් තිබුණා. මං හැමදාම ඒ සඳහා තාත්තාගෙන් උදව් ඉල්ලනවා. බලන්න! කලාවට හිත නොදෙන තාත්තා හයිලෙවල් පාර ළඟින් ගත් පර්චස් 40 කින් පර්චස් විසි දෙකක් (22) මට තෑගි ඔප්පුවකින් ලියනවා. යම්කිසි ප‍්‍රමිතියකට පුටු 800 ක් විතර දාලා දැන් මං සිනමාශාලාව හදනවා. අන්තිමට මේ සිනමාහලට එන පාර නිසා මට එය අනුමත වුණේ නෑ. ඒ පටු පාරෙ වාහන දෙකකට මාරුවෙන්න බෑ. පස්සෙ ඒ

ගොඩනැඟිල්ල කුලියට දුන්නා.

කාලය නිකරුණේ නාස්ති කිරීම, රාති‍්‍ර ගමන් බිමන්, පාප මිතුරු ඇසුර තාත්තා පිළිකෙව් කළ දේවල්. ඒවාට අපට අවවාද දුන්නා

උතුරත් වාසනාවන් හිත මිතුරකුට

මට පළමු කථිකාචාර්ය තනතුර ලැබෙන්නෙ කැලණියට. ඊටපස්සේ මං යාපනය විශ්වවිiාලයට යනවා. තාත්තාට යාපනය හුරුයි. ලංකාවෙ හතර වටේ කරක් ගහපු තාත්තා එහි පසුතලය දන්නවා. ඒ කාලෙ 1980 ගණන්වල මං යාපනයට යන වෙලාවේ දුම්රියපළට වික්ටර් , කේ. ඞී. කේ. ධර්මවර්ධන, පේ‍්‍රමකීර්ති වගේ අය ආවා. සමහරුනට හිතුණෙ මෙය සියදිවි නසා ගන්නට යන ගමනක් විදියට. 1976 දොරේ අප්පා මරලා යාපනයේ තරුණ නැඟිටීම උත්සන්න වෙමින් තිබුණු කාලෙ. ඒත් තාත්තා ශක්තිමත්ව බලා සිටියා. එයා මා දුර්වල කළේ නෑ. පේ‍්‍රමකීර්ති ලස්සන කවියක් ගැලපුවා. අවසන් පාදය මෙහෙමයි. ‘‘උතුරත් වාසනාවන් හිත මිතුරකුට’’ එහෙම තිබුණේ.

රේඩියෝ ග‍්‍රෑම්

මගේ සින්දු කවරදාවත් නොඅහපු තාත්තා රේඩියෝග‍්‍රෑම් කියලා දුර්ලභ රේඩියෝ උපකරණයක් පාවිච්චි කළා. ඒක එක පැත්තක ග‍්‍රෑමෆෝනය. අනෙක් පැත්තෙ තැටි දාන්නත් පුළුවන්. මගේ ‘‘ග‍්‍රැමෆෝන් ගී යුගය’ පොත ලියැවුණේ තාත්තා මට දුන් මේ ග‍්‍රෑමෆෝනය නිසයි.

මෙහි පළවන පවුලේ ඡුායාරූපයට තාත්තාව එක්කරගත්තේ හරිම අමාරුවෙන්. ඒක 1963 වසරේ ‘ජනතා’ පුවත්පතේ පළවුණා. ’ලියන්න කියන්න හපන් පවුලක්’’ කියලා සිරස්තලය. ලිපිය ලිව්වේ සිසිර කුමාර මානික්කාරච්චි. හේතුව ‘අපි ඔක්කොම’ නමින් පවුලේ සියලූ දෙනා එක්වී පොතක් ලිවීමයි. එදා ලේක්හවුසියේ හිටි ප‍්‍රධාන ඡුායාරූප ශිල්පී එල්. එස්. ඞී. සමරරත්න තමයි ඡුායාරූපය ගත්තේ.

සිත කියෙව්වේ නෑ

මට අන්තිමට කියන්න තියෙන්නේ මේ ටිකයි. සංගීතය නොඅහපු තාත්තා මට ග‍්‍රැමෆෝනයක් දුන්නා. එතුමා ග‍්‍රැමෆෝනයක් පාවිච්චි කළා. කලාවට හිතක් නැති තාත්තා මට සිනමාශාලාවක් හදන්න පහසුකම් සියල්ල දුන්නා. ඒත් එතුමා කවරදාවත් මගේ චිත‍්‍රපටයක් බලලාවත් නෑ. මට හිතෙන්නේ අපට අපේ තාත්තාගේ චිත්ත අභ්‍යන්තරය හරියට කියවගන්න බැරි වුණා.

උපාලි සමරසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles