Divaina - අද ගීතය කියන කලා මාධ්‍යයට විචාර කලාවක් නෑ... මං ලබපු අත්දැකීම් තමයි මගේ නිර්මාණවල මතුවෙලා තියෙන්නෙ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- ප‍්‍රවීණ ගේය පද රචක සුනිල් සරත් පෙරේරා
 sunilsarath444



 

 යුගන්ති යශෝධරා
 
මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවත් කොට ගයන ”මගේ රටට දළදා හිමි සෙවණයි” ශ‍්‍රී ලාංකිකයන්ගේ ‘දැයේ ගීතය. ලියූ අපූර්ව මිනිසා ඔහුයි. එමතුද නොව පෙර දිනයක මා පෙම් කළ යුවතිය” ඔබ මා සමග අතිනත ගන්නා දවස” උඩහ ගෙදර රන් එතනා” යසෝදරා” මහ වරුසාවට පසුව නැගෙන සඳ” මනමාල ගිරව්” රා රා බොම්බියේ සහ ළමා ගීත වංශ කතාවේ සුවිශේෂී සලකුණක් සටහන් කළ මනකල් හද විල් තලයේ ගීතය වැනි ඉතා වටිනා” රසවත්” අර්ථපූර්ණ නිර්මාණ රැසක හිමිකරුවා ඔහුයි. සිංහල ගීත ක්ෂේත‍්‍රයේ” රූපක” අතිභාවිතයට පත් කළේද ඔහුයි. අර්ථ කාව්‍ය රචනයේ පෙරගමන්කරු සුනිල් සරත් පෙරේරා සමග කළ කතා බහ” අද” මීවිත ඇසීමක කියවීම විශේෂාංගයෙන්.
 
 සිංහල සාහිත්‍ය වංශයට ඔහු එක්කළ ග‍්‍රන්ථ ගණනාවකි. තුන් පත් රටා” මහ කන්ද” හුදකලා මතකය” මායා මාවත ඒ අතරින් කිහිපයකි. ඉන් ”අර්ථ කාව්‍ය විමංසා” ඔහු අතින් ලියවෙන නවතම කෘතියයි.
 
 හැම හොඳ කලා කෘතියකම කාව්‍යාත්මක ස්වරූපයක් තියෙනවා. සීගිරිය ගත්තොත් සම්පූර්ණයෙන්ම කවියක්. මම ගීතය කියන කලා මාධ්‍යය අද හඳුන්වන්නේ ”අර්ථ කාව්‍ය රචනයක්” කියලා. මා ලියන අලූත් පොතත් ”අර්ථ කාව්‍ය විමංසා”. අද ගීතය කියන කලා මාධ්‍යයේ විචාර කලාවක් නෑ. නූතන ගීතය තියෙන්නේ ප‍්‍රාථමික අවධියේ. ධ්වනි පූර්ණ කාව්‍ය භාෂාවකින් සමන්විත වුණාම තමයි කලාත්මක ගීතයක් බිහිවෙන්නේ. ඒක අර්ථ කාව්‍ය විශේෂයක්. හොඳ ගීතයක් කියලා කියන්නේ අර්ථයයි භාවිකත්වයයි දෙකම සම්මිශ‍්‍රිත දෙයක් සමබරව. කලාත්මක ගීතය කියලා කියන්නේ අර්ථ කාව්‍යය රචනයක්. ඉතිං මේ දවස්වල ලියවෙන මගේ නවතම කෘතිය අර්ථ කාව්‍ය විමංසා.
 
 
 * ගඟ දිය රැලි නළවා පාරුව පැද යනවා
 
 තොටමුණ දෑලේ පළඟැටියන්ගේ මළ පොත කියවෙනවා නාඬන් උලලේනේ නුඹ නාඬන් දුක බිය වැඩිවෙනවා.... ඔබ ලියූ මෙම ගීතය ගුවන්විදුලියේ දුලබ ගනයේ ගීතයක් ලෙස හඳුන්වන්න පුළුවන්?
 
 ඔව්. මර්වින් පෙරේරා ගායනා කරන මේ ගීතය දැන් අලූතෙන් තැටියකට නැගිලා තියෙනවා. තනුව උපාලි ද සිල්වා ගේ. උපාලි ඉතාම දක්ෂ සංගීතවේදියෙක් ගුවන් විදුලියේ. ඔහු නොබෝදා අප අතරින් වියෝ වුණා. මොහු තමයි ආරාධනා වැඩසටහන එහෙම කලින් පටන් ගත්තෙත්. සීමිත තනු ගණනක් කරලා තියෙන්නේ. මේ ගීතය ඔහුගේ ඉතාමත් කදිම” මනරම් තනුවක්. මර්වින් පෙරේරාගේ කටහෙඬ් අපූර්වත්වයෙන් මේ ගීතය තවත් සුන්දර නිර්මාණයක් වුණා.
 
 * පාරු ගැන ඔබට විශේෂ අවධානයක් තිබුණා?
 
 පාරු ගැන මං ලිපි පෙළකුත් ලියලා තියෙනවා. පාරු දැකලා ඉස්සර අපි ලොකු වින්දනයක් ලැබුවා. ඉස්සර කැලණි ගෙඟ් විශේෂයෙන්ම රුවන්වැල්ල පහුකරලා එනකොට උණ වැටි අතරින් බැස යන පාරු ගමන මං දැකලා තියෙනවා. ඒ එක්කම කිරුළපනේ අපේ ගේ පිටිපස්සෙ තිබුණ වැල්ලවත්තේ ඇළ. ඒ දවස්වල කොටින්ම කියනවා නං අනූ ගණන් වෙනකලූත් මේ ඇළේ පාරු ගියා. මං දැකලා තියෙනවා මගේ ගේ පිටි පස්සේ” කිරුළපනේ” පාරු ඇවිල්ලා හිටන් නවත්වනවා. වාඩිලා ගන්නවා ?ට. එතන එහා පැත්තේ ගව පට්ටි තිබුණා. ඒවායේ හරක් බස්සනවා මේ ඇළට. හරි මනරම් දසුනක් හැන්දෑවට. පාරුකරුවෝ පාරුව නවත්වන්නේ ඇළ අයින දිගේ. රිටිවලින් නෙවෙයි ගේන්නේ කණ්ඩායමක් කඹේකින් ඇදගෙන එනවා” පාරුව නවාතැන දක්වා. මේකත් මගේ හිතේ ඇඳිලා තිබුණා. පාරුව පිළිබඳ මං ගොඩක් හදාරලා තියෙනවා. පාරු කවියෙන් මතුවන සමාජ සංස්කෘතිය කියලා ආර්ථික විමසුම සඟරාවටත් මං කාලෙකට ඉස්සර ලිපියක් ලිව්වා. චීන කවියේ තිබෙනවා පාරු ගැන. මං චීන කවිය ගැන උනන්දුවක් දැක්වූවා. මං හිතනවා වඩාත් පෙළඹුණේ මේ ගීතය ලියන්න ඒකත්. චීන කවිවල තියෙන ස්වභාවයක් තමයි චිත‍්‍ර කලාවේ තිබෙන ලක්ෂණය වගේ එක උණ කොළයකින් අදහස් සමුදායක් පළ කරනවා” භාවමය හැඟීම් රාශියක් පළ කරනවා චීන කවියා. පැරණි චීන කවි ග‍්‍රන්ථ කියවීමෙනුත් මං ලබපු ආශ්වාදයක් තියෙනවා. එහි නිතර කියවෙනවා මේ පාරු කවි ගැන. ඒ එක්කම උණ වැටිය ගැන කියවෙනවා. සෙවනැළි අතරින් ගලාගෙන යන පාරු ගැන කතා කරනවා. මේවත් ඉතිං මගේ මනසට බලපාන්න ඇති කියලා මං හිතනවා. ඒ දවස්වල කිරුළපන හන්දියට මෙහා පාලම කිට්ටුව පාරු එහෙම නවත්වනවා. පාලමට මෙහා ලොකු කොස් ගහක් තිබුණා. ඒ රූස්ස කොස් ගහ යට අපේ ගේ පිටිපස්සෙම වගේ පාරුකරුවෝ පාරු නවත්වනවා. ඉතිං අපිට සමහරවිට මං පාරු කවිත් ඉඳහිට ඇහිලා තියෙනවා පාරුකරුවන් ගේ. පාරු බත රසට ඉදෙන බතක්නේ අවට සුවඳ ගහන. ඉතිං ඒවා මා අත්වින්ද අත්දැකීම් හැටියට කියන්න පුළුවන්. නමුත් අර චීන කවියේ තියෙන අපූර්වත්වය චීන කවියේ තියෙන සංකේත භාවිතය මේ වගේ දේවල් මං භාවිතා කරන්න උත්සහ ගත්තා. දැන් හුඟක් ජනාවාස වෙලා. හුඟක් ගෙවල් හැදීගෙන එනවා. අර සුන්දරත්වය දැන් නෑ ඒ ඇළේ තිබුණ. ඒක එකක්. අනික ඔය යටියන්තොට පැත්තේ රුවන්වැල්ල පැත්තේ මං දැකලා තියෙනවා පාරු ගමන් යනවා. ඒවත් ඉතිං මගේ හිතේ ඇඳිලා තිබිච්ච දේවල්.
 
 * ඔබ වරක් ලියනවා ”මගේ රට මට අගෙයි තව්තිසාවට වැඩිය” කියලා?
 
 sunilsarath222මගේ හිත බැඳුනු ගීතයක්. ”පියාසර කරාමි දේශයෙන් දේශයට” මගේ රට මට අගෙයි තව්තිසාවට වැඩිය”. අමරදේව මහත්මයා ගායනා කරන්නේ. ඔහුගේම තනුවක්. ඒ ගීතය ලිව්වේ මං රූපවාහිනියේ සේවය කරන කාලේ. රට ගිහිල්ලා එනකොට මං උදේ එළිවෙන්න දැකපු දසුනක්. ලංකාවට ඇතුල් වෙන්නේ අර මඩකලපුව පැත්තෙන්නේ ගුවන්යානා. එහෙම එනකොට නියමුවා පහතින් ආව නිසා මං දැක්ක දසුනක් තමයි” දළදා මැදුර පැත්තෙන් එනකොට දුහුල් වලාවෙන් මිදුන දළදා මාළිගාව. එලි දල්වලා තිබුණා. ඊට පස්සේ ඒ අතරම ටිකක් වෙලා යනකොට අරුණැල්ල වැටිලා තිබුණා නියැදි වට කෙත්වලට යාන්තමට මීදුම බරවෙලා. ඒ දසුනත් තිබුණා. හැඟීම්බරව මං ලිව්වේ. ඇසෙයි කවි තුන් සරණ” මට ඉතිං මතක් වෙච්ච දේවල් මගේ රට ගැන. රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් කාලේ මං අමරදේව මහත්මයාව ගත්තනේ උපදේශකයෙක් හැටියට. ඊට පස්සෙන්දා මං ඇවිල්ලා වැඩට ගිහිං ඉන්නකොට ඒ කාලේ උදේ පාන්දර ආව ගමන් එතුමා මගේ කාමරේට එබිලා යනවා. එබිච්ච හැටියේ මං කතා කරලා මේක මං පෙන්නුවා. පස්සේ ඔහු මුමුණ මුමුණ ඇඟිලි ගණන් කර කර මගේ මේසේ ඉස්සරහ පිට ඉඳගෙන එහි තනුව නිර්මාණය කෙරුවේ. තුන් සරණ කවි ඇහෙනවා ඇහෙනවා වගේ පසුබිම. අනිත් එක දළදා මාලිගාවේ හේවිසියේ ඈතින් නිකං ඡායාව පේනවා. නාද ඡායාව මොකද අලූයම් දුරේ හේවිසි පද කියනවා දළදා මාලිගාවේ. හේවිසි වාදනය වෙන අවස්ථා තුනක් තියෙනවා. මේ සියල්ල මගේ හිතේ ඇඳී තිබුණා. අමරදේවයන්ටත් මේ නාද රූප මවා ගැනීමේදී ඒ බෙර පදවල නාද රූප මතුවෙන්නට ඇතියි කියලා හිතෙනවා. ඒ ලක්ෂණ” එහි ඡායාව මෙහි තියෙනවා. ඇසේ අලූයම් දුරේ තේවාවේ හේවිසිය යෙදුමක් තියෙනවනේ මෙහි. මං හිතන්නේ මා අතින් ලියවුණු දේශාභිමානී ගීතයක් මෙය.
 
 * ඈත එපිට ගම්මානෙන් මතුවන ගීතය ලියන්න පසුබිම් වුණේ?
 
 මෙය සනත් නන්දසිරි මහත්මයා ගේ තනුවක්. ගයන්නෙත් එතුමා. මේකේ එක යෙදුමකින් හුඟක් දේ හඟවන්න පුළුවන්. වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ. කඳුළ හංගනවා. අර්ථ සංකෝචනය කියන එක මෙහි මැනැවින් පෙන්නුම් කෙරෙනවා. අර්ථය හුඟක් හකුළුවා දක්වන්න පුළුවන් භාෂා උපක‍්‍රමයක් එතන මං පාවිච්චි කරන්නේ. අර්ථ සංකෝචන විධි ක‍්‍රමයක්. එක යෙදුමෙන් හුඟක් දේ හඟවන්න පුළුවන්. ඉතිං හතර කෝරලේ රඹුක්කන කඳුකර ගම්මානවල ගියාම විශේෂයෙන් මගේ බිරිඳගේ නිවහන තිබුණේ හතර කෝරලයට අයිති රඹුක්කන කඳුකර ගම්මානයක. ඉතිං එහේ හැන්දෑවක මං ගිය වෙලාවක එහේ ඇය ඉන්දෙද්දී මං ආවා කොළඹ එන්න. සති අන්තයේ එන්න හිතාගෙන” සතියේ මුල. එනකොට රාත‍්‍රී දුම්රියෙන් ආවේ. රඹුක්කන ඉඳලා එනකොට ඉස්සර ඈත කුප්පි ලාම්පු එලි දැල්වෙනවා. අනිත් එක හතර කෝරලේ ගම්බද හැන්දෑව හරි සුන්දරයි. ඈතින් ඒ කඳුකර ගමේ දෝංකාර නැගෙනවා ගැටබෙර හඬ. ඔය දෑලේ සමහර තරුණයෙක් වාදනය කරන බට ලී හඬ මට ඇහිලා තියෙනවා. ඉතිං මේවා ඔක්කොම සම්මිශ‍්‍රණය වෙලා හිතේ තිබිච්ච සංකල්ප රූප තමයි මට මතුවුණේ. එහෙ ඉඳන් එනකොට මට හුදකලා බවක් දැනුනා. මං හිතන්නේ වියෝවක් වගේ දෙයක් දැනුනා බිරිඳගෙන් වෙන්වෙලා එනකොට. කෝච්චියේ එනකොට රඹුක්කනටත් පොල්ගහවෙලටත් අතරේ දකින්න පුළුවන් ඒ කාලේ කුප්පි ලාම්පු එළි දැල්වෙනවා. හුදකලා ගෙවල්වල” පැල්පත්වල. ඒවත් මගේ හිතේ බලපෑවා. ඒවා ආශ‍්‍රයෙන් තමයි මේක ලිව්වේ. මූලික වින්දන මූලය වුණේ අර කඳුකර ගමක තියෙන සැන්දෑ පරිසරයයි. ඒ එක්කම මා ලබපු බිරිඳගෙන් ඈත්වෙලා එනකොට ගමේ ලබපු ඒ අත්දැකීමයි.
 
 * සැන්දෑ අහසේ ගීතයත් ඔබේ ඉතා ජනප‍්‍රිය නිර්මාණයක්?
 
 සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා දයාරත්න රණතුංග ගයන ඒ ගීතයේ සංගීතයත් එතුමාගේ. ඒ ගීතය ලියවුණේ” ඒ දවස්වල මං ගාලූ මුවදොර හෝටලයේ වැඩ කළේ. පාසලෙන් අහක් වෙච්ච ගමන් මුල් අවධියේ මගේ රස්සාව. උදේ ඉඳන් මගේ අසුනේ වම් පසින් කවුළුවෙන් නිතරම පෙනෙන දසුනක් තමයි මහා මුහුද. උදේ ඉඳන් හැන්දෑ වෙනකන්ම. කවුළු දොරින් හැන්දෑවේ මිය යන හිරු ගේ දර්ශනය” එක වෙලාවකට ඉර බැහැගෙන යන වෙලාවේ වර්ණවත් ආකාසේ. ඒ වගේම පාළුවක් දැනවෙන ස්වභාවයකුත් තිබුණා. අපි කසාද බැඳපු අලූත මේ. ඉතිං ගෙදර එන්නේ කොයි වෙලාවෙද කියලා හිතං ඉන්නේ. මේ ගීතයේ පසුබිම වුණේ ඒ පරිසරයයි. ඒ පරිසරයේ උදේ ඉඳලා හැන්දෑ වෙනකං මුහුදේ විවිධ ලක්ෂණ මං දකිනවා මගේම කවුළුවෙන්. සමහර දවස්වල වාරකන් කාලෙට සැඩ මහා මුහුදත් දකිනවා. ඔරුවක් තනිව යන අවස්ථා මං දැකලා තියෙනවා මුහුදේ හැන්දෑවට. ඒ වගේ පාළුව දැනෙන අවස්ථාවල මුහුදත් එක්ක සම්බන්ධ චිත්ත රූප සමුදායක් මතුවුණා. ඒ එක්කම දයාරත්න රණතුංගයන් මා කරා ආපු දවසක මේ වින්දනය ඔහුත් ලැබුවා. මගේ කාමරේ ඉඳගෙන මේ ගීතයත් එක්ක මං ඈත පෙන්නපුවම මා හිතනවා ඔහුටත් මේ පරිසරය සහ පාළුව” මුහුදේ ඉර බැස යන වෙලාවේ තිබිච්ච ඒ දසුන දැනෙන්න ඇති. වියෝව” ඒ වගේම සෙනෙහස” සියලූ දේ එතන කැටිවෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. පංගුවක් වෙලාවට රූපක භාවිතයෙන් කරපු භාෂාත්මක වික‍්‍රමයක් කියලා කියන්න පුළුවන්.
 
  ”එසැණ” ගී රචනයටත් ඔබ සුවිශේෂී දක්ෂකමක් දැක්වූවා?
 
 මා අතින් ලියවුන එසැණ ගීතයක් තමයි ”ඔබ මා සමග අතිනත ගන්නා දවස”. අමරදේව මහත්මයත්” මාත්” මහාචාර්ය ජේ.බී.දිසානායක සූරීනුත්” සුධර්මන් සිල්වා අනුරාධපුරේ රජරට සේවයේ අධ්‍යක්ෂ ජනරාල් කාලේ අපට කළ ආරාධනාවකට අපි එහෙ ගිය වෙලාවක තමයි මේ ගීතය ලියවුණේ මා අතින්. මේ කාලයේ සාහිත්‍යයට” කලාවට විශාල මෙහෙවරක් ඉටුවෙච්ච තැනක් නේ රජරට ගුවන්විදුලිය. එදා ඒකෙ තිබුණා නිව්ටන් ගුණසේකර මහත්මයා සංවිධාන කරපු වැඩසටහනක්. ඔහු එතකොට එහි පාලකවරයෙක්. ඔවුන් අපිව එක්කං ගියේ කොළඹ හිටන් යාල්දේවි දුම්රියෙන්. යනකොට අපි දැක්ක දසුනක් තිබුණා එළිවෙන යාමෙට. අර මිහින්තලා කඳු වැටි පෙළට තලාව පහු කළායින් පස්සේ ඈත කඳුවලට හිරු රැස් පතිතවෙලා තියෙන කදිම දර්ශනයක්. එයත් මගේ හිතේ තිබුණා. ඉතිං ඒ තියෙන අතරතුර අපි එදා දහවල දිවා භෝජනය ගනිද්දී සුදර්මන් යෝජනා කෙරුවා ගීත රචකයාත් ඉන්නවා. එතනින් ගිහාම ගායකයාත් ඉන්නවා. අපි අලූත් ගීතයක් නිර්මාණය කරමුකෝ කියලා. අපේ තියෙනවා හොඳ ඔකෙස්ට‍්‍රා එකක් රජරට කියලාත් ඔහු කිව්වා. ඒ වෙලාවේදී මං මේක ලියන්න පටන් ගත්තේ. ලියන්නට පටන් ගත්තට පස්සේ යෝජනාවක් ආවා මේ පළාතට ඔබින ගීතයක් ලිව්වොත් හොඳ නේද කියලා. ඊට පස්සේ මං ඒකට ඒක සම්බන්ධ කරගත්තා” පෝෂණය කරගත්තා එහෙ තියෙන දේවල් ඇසුරෙන් රූපක සහ ඒ භාෂාමය යෙදුම්. රජරට කියන්නේ වැව් බැඳි රාජ්‍යය. ඒ ප‍්‍රදේශය වැව් ආශ‍්‍රිත ප‍්‍රදේශයක්නේ. ඉතිං හැන්දෑවට කිරල ගේ වලප නිතර ඇහෙනවා ඔය වැව් ගංවල. පාළුව ලූහුබඳින කිරලා හඬා වැටේ කියන යෙදුමත් ඒ ප‍්‍රදේශයේ තිබිච්ච පරිසරයක් ආශ‍්‍රයෙන් ගත්ත සංකේතයක්. නොකිව් රහස හද උතුරා වාන් දමයි කියන එක අපි දන්නවා හදවතේ තියෙන ආදරයක් කියාගන්න බැරිව මොනතරම් පේ‍්‍රමවන්තයෝ ළත වෙනවද කියලා. වැවක බැරිම තැනනේ වාන උතුරා යන්නේ. දරාගන්න බැරි තැනනේ වැවට. වානෙන් ගලාගෙන යන්නේ දිය දහර. ඒ යෙදුමත් මා දැම්මා. අනිත් එක වා දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි” ඒ ප‍්‍රදේශයේ තිබෙන සොබා දහම පරිසරය මේ විදිහට මා සංකේතවත් කෙරුවා යම් යම් දේවල්වලින්. මේ ගීතයේ සංගීතයත් අමරදේව මහත්මයාගේ. ඒ වෙලාවේම දාපු තනුවක්. ඒ වෙලාවේම ගායන කළා රජරට සේවයේදී. අපි ඒක නම් කෙරුවා මේක ඒ වෙලාවම මේක එසැණ ගීතයක් කියලා. දැන් නම් ඉතිං එසැණ හැම තැනම තියෙනවනේ. නමුත් ඒ වචනය ඉස්සෙල්ලා භාවිත වුණේ එතන.
 
 ”ඇය යන්න ගියා මැකිලා”
 
 ඇය යන්න ගියා මැකිලා මා ලිව්වේ වස්ගමු වනෝද්‍යානය පසුබිම් කරගෙන. ඒ මගේ මනසේ චිත්ත රූප මැවිච්ච තැනක්. ඉස්සර මා යන තැනක් තමයි පරිසර අමාත්‍යංශයේ ඉන්දැද්දී මා රස වින්ද තැනක්. මගේ බිරිඳ එක්කත් ගිය අවස්ථා තිබෙනවා. එතනින් ගියාම මම යනකොට වස්ගොමුව වනෝද්‍යානයේ කඳුරුපිටිය බංගලාවට ගියාම මා දැක්කා වැස්ස වැටිලා වනාන්තරයට කදිම දසුනක්. මළ ඉර බසිනා වේලාව. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට සඳ පෑව්වා. සඳ පෑව්වම ඈත පේනවා නකල්ස් කඳු වැටිය. හඬ නගාගෙන යනවා මට ටිකක් ඈතින් මහවැලි ගඟ. වල් අලින් නිතර ගැවසෙනවා හැන්දෑ වෙනකොට ඒ නිවහන වටා. ඉතිං මේ ඔක්කොම අතරතුර මම දැක්ක දසුනක් තමයි අර වනාන්තරයට වැස්ස වැටිලා ඒ එක්කම හඳ පායන්න පටන් ගත්තා” වැස්ස තුරල්වෙලා. හඳ පායනකොට දැක්ක දසුන” අර කඳු වැටිවලින් රූරා හැලෙන දිය දහර. මේ සියල්ල මුසු කරගෙන මං ඒ ලබපු වින්දනය. මේ ගීතයේ වින්දනයේ මූලය වුණේ ඒකයි. මට හිතුනා මේ සම්පූර්ණ ගීතයම රූපකයක්. අනිත් එක සංකල්ප රූප සම්මිශ‍්‍රණයක් මෙතන තියෙනවා. ඉතිං මේක අර වනාන්තරයේ තියෙන බියකරු බව” සුන්දරත්වය ඒ වගේම වනාන්තරයම සම්බන්ධ කරගෙන වියෝ දුකකුත් මෙහි කියවෙනවා.
 
 * මෙහි තනුව එච්.එම්. ජයවර්ධන මහතාගේද? එහෙමත් නැත්නම් අමරසිරි පීරිස් මහතාගේද?
 
 එතකොට මාලිනී රට ගිහිල්ලා. ඉතිං එච්.එම්.ට මොකක්හරි බැරිකමක් දැනිලා මුල හරිය වැඩ ටික කරලා අමරසිරිට දීලා තියෙනවා ‘අනේ අමරේ මට මේක මීට වඩා කරන්න බෑ මේක පුරන්නෙයි. කියලා. එදා තමයි ඇය අන්ත‍්‍රා වුණේ. ඉතිං ඊට පස්සේ අමරසිරි ඒක සම්මිශ‍්‍රණය කරලා තමයි ඒ ගීතය නිම වුණේ. තනුවේ මූලික ආකෘතිය එච්.එම්.ගේ.
 
 * ”ඔබ ඇසේ මුදු පහස
 මා විඳින හැම දවස”
 
 මා කළ අපූරු අත්හදා බැලීමක් මේ ගීතය. ගයන්නේ මගේ හුඟක් ගීතවලට පණ පොවලා තියන සෝමතිලක ජයමහ. තනුව රෝහණ වීරසිංහ. රූපක මාලාවක් යොදලා හිටන් ඒ අදහස පළ කරන්නේ. කෙනකුට හදාරන්න ඕන තැනක් ඕක. විවිධ වින්දන මූලයන් තියෙනවා මේ නිර්මාණයටත්.
 
 * හින්දි ගීතවලට සිංහල පද රචනා
 කළා නේද ඉස්සර?
 
 මං ලූම්බිණියේ ඉගෙනගන්න කාලේ අතුකෝරළ කියන සර්ගෙන් මං ඇහුවා කොහොමද සර් සිංදුවක් ලියන්නේ කියලා. හරිම උනන්දුවෙන් ඇහුවේ මං. තියෙන එහෙකට වචන ටිකක් දාන්න කියලා කිව්වා. මං ඒක එච්චර හිතුවේ නෑ. සර් ඉතිං හරියටම මට කියලා දුන්නේ නෑ කියලා තමයි මං හිතුවේ. නමුත් මං බැරි බැරි පහේ දැම්මා මහවැලි ගංගා කොමලියේ කියලා දිල් අප්නා ඕර් ප‍්‍රීත් පරායී හින්දි චිත‍්‍රපටයේ ඒ ගීතයට වචන ටිකක්. ඒක ඊට පස්සේ හුඟක් ජනප‍්‍රිය වුණා පාසල තුළ. ඊට පස්සේ දෙවැනි එකත් මට ලියන්න වුණා. එතනින් එහාට මං හින්දි තනුවලට එච්චර ලියන්න ගියේ නෑ. මං ඒ කාලේ කරු අයියගේ ළමා මණ්ඩපයට ලොකු උනන්දුවක් දැක්වූවා. ඒ ගිය වේලාවකදී කරු අයියා කියලා ලිව්වා ගීතයක්. ඒ වෙලාවේම තනුවක් දැම්මා තිලකසිරි ප‍්‍රනාන්දු. අතුල සෝමසිරි ගේ බිරිඳ ලාලනී සෝමසිරිගේ පළවෙනි ගීතය තමයි ඒක. එයත් මා ලියූ එසැණ ගීතයක්.
 
 * ඔබේ ආදරණීයයන්?
 
 මගේ දුවලා හතර දෙනයි. දෙන්නෙක් නිවුන්නු. ලොකු දුව අමිලා සංජීවී” දෙවැනි එක්කෙනා උවිනි පියුමා” තුන්වෙනි එක්කෙනා උදාරා සුදාවිණි ර්‍ණ පොඩි දුව සුසංගතා එරන්දතී. බෑනලා චන්දිම ද අල්විස්” ප‍්‍රසන්න වික‍්‍රමසිංහ” ශාන්ත රත්නායක” අරුණ ප‍්‍රදීප්. ගිය දෙසැම්බර් මාසේ විතර මුනුපුරු මිනිපිරිලා එක්කාසු වුණා” හොඳ වෙලාවට. දැන් ඉතිං හරි අමාරුයිනේ ඒකරාශී වෙන්න. මගේ බිරිඳ සරෝජිනී හේමලතා ඉලංගන්තිලක.
 
 ඇගේ වියෝව හරියට බලපෑවා මගේ ජීවිතේට. පේ‍්‍රම සම්බන්ධයකින් ඇතිවෙච්ච විවාහයක්. මට රස්සාවල් නැතිවුණා. ඒ වගේ අවස්ථාවලදී මගෙත් එක්ක ඇය අකම්පිතව සිටියා. ඇය මට මහා ශක්තියක් වුණා. මෙනෙහි කළ යුතුයි ඒ දේවල්. මගේ දෙමව්පියන් සිහිපත් කළොත් අම්මා සුසියන් ද අල්විස් වෛද්‍යරත්න. තාත්තා එම්. ඇල්බට් පෙරේරා. අම්ම ගේ ගම කිරුළපනේ. අපි ඉන්නෙත් දැන් ඒ අම්මගේ ඉඩකඩම්වල තමයි. ලොකු නංගි පද්මිණි‘ දෙවැනි නංගි නන්දනී. මම පාසල් දෙකකට ගියා බාල කාලේ. ලූම්බිණියට ගිය එක නං මට නිකං හරියට විශ්වවිද්‍යාලයට ගියා වගේ. අනික ලෝකේ හැම තැනම වගේ මට යන්න ලැබුණා. මං ලබපු අත්දැකීම් තමයි මගේ නිර්මාණවල මතුවෙලා තියෙන්නේ.
 
 * ඔබේ ගීත රචනයට
 ඇයත් හේතු වුණා?
 
 ඇගේ අයියත් එක්ක මගේ තිබුණා මිතු දමක්. ඉතිං එක නත්තල් සමයක සීත උඳුවප් මහා දුරුත්තේ එහෙ නිවාඩුවකට ගිය අතරතුර තමයි ඇය දැක්කේ. සමහර ගීතවලට ඇය බලපෑවා. අර ”කන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ” ගීතය එහෙම ඇය නිසයි ලියවුණේ. කඳුකර ගමේ ඒ ගෙදර පල්ලෙහායින් යන ඔයක් තිබුණා. ඇය ඔයට හැන්දෑවට යන ගමන් ලතාව” චලන රූපය තමයි ඒ ගීතයේ රිද්ම රීතිය බවට පත්වුණේ. 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles