Divaina - නර්තනයේ ශික්‍ෂණය ගැන මට කියා දුන්නේ තාත්තා... අපේ නර්තන රැජන රැජිණි සෙල්වනායගම්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 උපාලි සමරසිංහ

 
 
dance2අපේ නර්තන කලාවට දශක කීපයක් තිස්සේම විවිධ හැඩ තල ඇති ආකර්ෂණීය තරුණියන් බොහෝ දෙනෙක් පැමිණෙති. එහෙත් එසේ පැමිණ ටික කලෙකින්ම ක්‍ෂේත‍්‍රයෙන්ම අතුරුදන් වෙති. ඒ කැපවීම, සතතාභ්‍යාසය, අලූත් අලූත් දේ සොයා ලෝකය සමග නර්තනයේ නව ඉසව් සොයා ගැනීමක් ඔවුන් තුළ නොපිහිටා තිබීම හේතුවෙනි. එහෙත් ඉතා දිගු කාලයක් තිස්සේම නර්තන වින්‍යාස මවමින් අපේ නර්තනයට කුඩා නර්තන ශිල්පීන් බිහි කරමින් කටයුතු කරන නර්තන රැජනක් අපට සිටී. රූපවාහිනී විචිත‍්‍රාංග අතරේද බොහෝවිට පෙනී සිටින මේ රැජින අන් කවරෙකුවත් නොව රැජිණි සෙල්වනායගම් ය. සහජීවනය ගෙදරින්ම උගත් ඇය තමන්ට ජීවිතය සොයාදුන් පියතුමා ගැන කතා කරන්නට අද අපේ පිය වරම ‘අපේ තාත්තා’ සහෘද මණ්ඩපයට ගොඩවන්නීය. කාටවත් නොකී රහස් රැසක් සමග මා සම්මුඛ වන්නට දැන් ඇය මා අභිමුව හිඳී.
 
 ‘මගේ තාත්තා යාපනේ මාවට්ටපුරම් ප‍්‍රදේශයේ ඉපදුණු ද්‍රවිඩ ජාතිකයෙක්. 1921 දී උපත ලද එතුමාගේ නම සභාපති සෙල්වනායගම්. සීනියර් විභාගය ලියලා ප‍්‍රධාන ලිපිකරුවකු ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පත්වීම ලබලා තියෙනවා.
 
 චමරිය
 
 බළන්ගොඩ තමයි මගේ අම්මාගේ ගම. ඇය නම්වර ලබන්නේ බළන්ගොඩ ආරච්චිගේ ඇඞ්ලින් චන්ද්‍රා ලෙසින්. තාත්තාගේ චමරිය (බෝඩිම) අම්මලාගේ මහ ගෙදරට ඉදිරිපිට ගෙදර නිසා නිතර දෙදෙනා ඇස ගැසුණා. අම්මා බොහොම හැඩ කෙනෙක්. තාත්තාත් අම්මා ගැන උනන්දුවෙලා තියෙනවා. ඒ කාලෙ රජයේ රස්සාවක් කරනවා කියන එක ගම්මුන්ට මහා නම්බුවක්. ඒ නිසා අම්මලාගේ පැත්තෙන් යම් සහනයක් ලැබේ යැයි අම්මා සිතුවත් එහෙම දෙයක් වෙනවට වැඩිය සිදුවුණේ දෙමළ- සිංහල බේදය නිසා අකැමැතිවීමයි. ඒත් දෙන්නාගේ ඇසුර නතර වෙලා නෑ. අන්තිමට හිතුවක්කාර ලෙස එකතුවීමක් සිදුවී තිබෙන්නේ.
 
 ඒ අතරදී තාත්තාට කොළඹට මාරුවකුත් ලැබිලා. අම්මා බලන්ගොඩ කුලියට ගත් ගෙදරක නවත්වලා තමයි තාත්ත ඇවිත් තිබෙන්නේ. මුලින්ම අපේ පවුලට එකතු වුණේ ගැහැනු දරුවන් දෙන්නෙක්. ඊළඟටත් පිළිවෙළට ගැහැනු ළමයින්ම දෙන්නෙක්. මං පවුලේ තුන්වැනි දරුවා හැබැයි මං ලැබෙන්න ඉන්නකොට තාත්තා කියාගෙන ගිහින් තිබෙනව අසල්වැසියන්ට ‘මේ පාර නම් මට ලැබෙන්නේ රැජනක්’ කියලා. මොන හේතුවකට එහෙම කිව්වද දන්නෙ නෑ. එතුමා සෑම දරුවකු කෙරෙහිම ඉතාම ළෙන්ගතු ආදරයකින් සිටියත් මා ලැබෙන්න සිටියදී රැජනක් ලැබෙනවා කිය කියා නිතරම සිටි බව දැනගන්නට ලැබුණා. අපේ අම්මා ගොවි පවුලකින් පැවත ආවත් මැහුම් වැඩ නම් හොඳටම දන්නවා. එතුමිය මැහුම් ගුරුවරියක් ලෙසත් කටයුතු කරලා තියෙනවා.
 
 දුසිම් බාගයක් ගැහැනු
dance 
 තාත්තාට දරුවන් හා අපෙ අම්මාව නොබලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා එතුමා පිරිවෙන පාරේ (ගල්කිස්ස) ගෙයක් අරගෙන අපේ පවුලම එහි ගිහින් නවත්වා ගත්තා. ඒ අතර තවත් ගැහැනු දරුවන් දෙන්නෙක් පවුලට එකතු වුණා. දැන් පවුලේ දරුවන් ගැහැනුම දුසිම් බාගයක්. අපි එතකොට ගල්කිස්ස බෞද්ධ බාලිකාවට ගියේ. ඊට ඉස්සෙල්ලා බලන්ගොඩ - පැල්මඩුල්ලෙ ඉන්දෙද්දී මං ගියේ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට. 5 පන්තිය දක්වා ඒ පාසලට ගියා.
 
 දුසිම් භාගයක් ගැහැනු දරුවන් සිටියත් පරම්පරාව ගෙන යන්න පුතෙක් අවශ්‍ය බව තාත්තා කල්පනා කරන්න ඇති. ඒ නිසා එයා තරමක් දුකෙන් හිටියෙ.
 
 7 වැනි වතාවට අම්මා බිහි කළේ පුතෙක්. එදා එතුමා කොයි තරම් සතුටු වුණාද කිව්වොත් මහ රාති‍්‍රයේ එතුමා හිතවත් ගෙවල්වලට තට්ටු කර කර මට මැණිකක් හම්බ වුණා. හම්බ වුණා.. කිය කියා විනෝද වෙලා තිබෙනවා. ඊට පහුවැනිදා උදේම හිතවත් මිනිස්සු ‘මැණික’ බලන්න ගෙදර ආවා. එතුමාගේ මැණික තමයි මගේ මල්ලී අජන්ත ශාන්ත කුමාර්.
 
 පොසොන්
 
 ඊට පස්සෙත් පවුලට එකතු වුණේ ගැහැනු දරුවන්ම දෙන්නෙක්. අපේ පවුලේ අන්තිමයා ‘පොසොන්’. එයාට ඒ නම ලැබුණේ පොසොන් දවසෙ ඉපදුණු නිසයි. පවුලේ ඔක්කොම දරුවො දැන් 10 යි. අපේ අම්මලා තාත්තලා දරුවන් ලැබෙන එක නවත්වන්න කටයුතු කළේ නෑ. ඒ අයට දරුවන් සම්පතක්. එහෙමයි ඒ අය කීවේ.
 
 පවුලෙ දරුවන් වැඩි නිසා තුන්වැනියාව ඉපදුණු මටත් ඒ අය හදනකොට කවන්න නාවන්න ආදී කටයුතු තරමක් නියම වුණා. ඒක තමයි ද්‍රවිඩ සංස්කෘතිය.
 
 අපේ ගෙදර පුදුමාකාර සහනශීලී සහජීවන සංස්කෘතියක් තිබුණේ. ‘පොසොන්’ ලැබුණේ පොසොන් පෙරහැර බලමින් සිටියදී අම්මාට අමාරුවෙලයි. අපිට වෙසක්, පොසොන්, පන්සල වගේම කෝවිල් යෑම තෛපොන්ගල් වගේ දේත් හොඳට තිබුණා. කිසිම වෙනසක් නැතුව මේ දෙන්නා අප මේ හැම අවස්ථාවකටම යොමු කළා.
 
 සහනශිලී පැවැත්ම
 

‘‘පුතේ හොඳ මිනිසුන් වෙන්න එච්චරයි අපේ ආගම දහම. ලෝකෙට වැඩක් කරන්න හොඳට ඉගෙන ගන්න’’ මේක තමයි තාත්තා නිතරම කී මන්ත‍්‍රය. සිංහල අලූත් අවුරුද්දට වැඩිහිටියන්ට බුලත් දීලා වැඳලා අම්මා තාත්තාටත් වඳින්න ඒ අය පුරුදු කළා. කිරිබත් කෑවේ පවුලේ හැමෝම එකට. තාත්තා කර්ණාටක සංගීතයට හරිම ප‍්‍රියයි. එයා හාන්සි පුටුවේ විවේකීව ඉඳලා මේ තනු හම් කරනවා. ඒවායේ සංගීතයට අත පය හොල්ලන්න මාත් පුරුදු වුණේ තාත්තාට අනුව යමින්.
 
 තාත්තාගේ නීතියක් තිබුණා පවුලේ දරුවන් පාසල් ගියත් නොගියත් නිවාඩුදාටත් උදේ 5 ට නැඟිටින්න ඕනෑ. වෙලාවට රාති‍්‍රයට කාලා නිදාගන්නත් ඕනෑ. අපි සියලූ දෙනා මේසයේ පුටුවල වාඩි කරලා පොත් පාඩම් කරන්න පොත් අතට දෙනවා. තාත්තා සරම පිටින්ම ඇවිත් ඔලූවෙ ජටාව එහෙම බැඳලා හැමෝටම පාඩම් කියා දිදී වටේට යනවා. අම්මා අපට කන්න උදේ රැයින්ම නැඟිටලා උයනවා. ඊළඟට උදේ 6.30 ට පමණ උදේ පාතරාසය. අම්මාට අසනීප දවසට තාත්තා තමයි අපි හැමෝගෙම රෙදි පවා සෝදන්නේ.
 
 වසන්ත මාලිගෙයි
 
 හැබැයි? මේ අය කොච්චර අපේ ජීවිත හැඩ ගන්වන්නට උදව් කළත් නැටුම් කරන එක ගැන ඒවාට අඳින ඇඳුම් ගැන පැහැදීමක් තිබුණේ නෑ. අම්මා නම් කැමැතිම නෑ. තාත්තා ටිකක් මධ්‍යස්ථව හිතනවා. පැරණි (සිවාජි ගනේෂන්ගේ චිත‍්‍රපට ගී) ගෙදර වාදනය කරනවා. ‘‘වසන්ත මාලිගෙයි’ වගේ චිත‍්‍රපටවල ගීත. මේවායේ කෑලි මං පැත්තක ඉඳන් ඇහිඳිනවා. අත පය එක එක හැඩතලවලට නටවනවා තාත්තා මේවා බලලා බණින්නේ නෑ. අම්මා තමයි සැර. ‘අයින්දාඩු තෙන්ඩුලේ තුදු සොලාසෝ’ වැනි කෑලිවලටයි මේ නර්තන පාන්නේ. මං එහෙට - මෙහෙට යනවා. තාත්තා සමහර දිනක රාති‍්‍රයකට පොඞ්ඩක් සප්පායම් වෙනවා යාළුවෙක් එක්ක. එහෙම වුණාම මේ සින්දු අහනවා. තාත්තා ටිකක් බලා ඉඳලා කතා කරනවා ‘‘ එන්න දුවේ, දැන් ඉතින්? මේකට නැටුමක් දැම්මා නම් හොඳයි කියනවා. මටත් ඉතින් ඉබ්බා දියට දැම්මා වගේ. මං නැටුවම සතුටුවෙලා ඔළුව අතගාලා රුපියලක් දෙනවා. ඒ කාලේ රුපියලෙන් දරුවකුට කන්න පුළුවන්. තාත්තාගෙන් රුපියලක් ලැබුවත් අම්මා මේ නැටුම් පෑ වෙලාවට කන මිරිකනවා. ‘උඹව නම් හදන්න බෑ. පිරිමි අතරට ගිහින් නටනවා’ කියලා බණිනවා.
 
 තාත්තා දුටු සහන් එළිය
 
 1971 රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයට ළමයින් ඇතුළත් කර ගන්නවා කියලා පත්තරයකින් දැකලා මං තාත්තාට කරදර කළා. හයියෙන් හිනාවෙන්නත්, කකුලක් පිට කකුලක් තබා ගන්නවත් තහනම් කරන අම්මා මේකට විරුද්ධ වුණා. ඒත් තාත්තා මගේ ගමන් මගේ සහන් එළියක් දැක්කා කියලා හිතෙනවා. එතුමා හරියට අවවාද කරලා මට මේකට යන්ට අවසර දුන්නා. ඒ කොළඹ ඉන්න අපේ නැන්දලාගේ ගෙදර ඉඳන්. මේ ස්ථානයට යන්න දවස් තුන හතරක් තාත්තා මාත් එක්කම ආවා. එතුමා එතකොටත් කොළඹ වැඩ කළේ. අන්තිමට එක දවසක් මට තනියම බසයෙන් යන්න කීවා. මං ගිහින් බැහැලා තියෙන්නේ හෝල්ට් දෙකකට එහා. මං දැන් අන්දුන් කුන්දුන්. තැන හොයා ගන්න බැරිව. මං තාත්තා වගෙ වියපත් මනුස්සයෙක් හොයලා දැන් නැටුම් විද්‍යාලය ගැන අහනවා. එතකොටම තාත්තා එතැන. තාත්තා මං පසුපස හඹා ඇවිත් මට හොරෙන්. හරියට යනවද කියලා බලන්න.
 
 ඉඟ පෙනීම
 
 1976 වසරේ තරුණි පත්තරේ මුල් පිටුවේ මගේ නර්තන ලීලාවක් රැගත් පින්තූරයක් පළ වුණා මේක දැකලා තාත්තා පත්තරේ වීසි කළා. අම්මා ඔරවාගෙන හිටියා. හේතුව තරමක් ඉඟ පේනවා කියල. අත් හැට්ට වුණත් දිගට ලස්සනට අන්දවන්නයි ඒ අය කටයුතු කළේ.
 
 දරුවන්ට පොට්ටු තියන්නත් දෙන්නාම ආසයි. ඇස්වහක් වදින්නේ නෑ කියලයි ඒ වෙලාවට ඒ අය කීවේ. ශිව දෙවියන්ට පුද පූජා පවත්වලා කතරගම දෙවියන්ට මුරුතැන් බත් පූජා තියන්න මේ අය කටයුතු කරලා තියෙනවා. මං නැටුම් විද්‍යාලයේ ඉහළට පාස්වෙනකොට.
 
 තාත්තාගේ බත් කට
 
 දෙසැම්බර් 31 ? 12 ට ජනවාරි පළමුවැනිදා වෙනවිට තාත්තා දාන්නේ ජෝතිපාලගේ ගීතයක්. කිරි ඉතිරේවා නව වසරේ අපි ලොකු ළමයි වෙනතුරුම තාත්තාගේ බත් කට කන්න නින්දෙන් හරි එන්න ඕනෑ. තාත්තා සමහරදාට ? වෙලා ගෙදර ආවත් අපිව නැගිට්ටල එයාගේ බත් කට කවලා වතුරත් පොවනවා.
 
 අපෙ අම්මයි තාත්තයි අතරේ පුදුම ආදරයක් තිබුණේ. අවුරුදු 36 ක් හොඳට දීග කෑවා. තාත්තාට අන්තිමට හැදුණා පපුවේ අමාරුවක්. ඒත් එක්කම එයාට ඇඳට වැටිලාම ඉන්නත් සිදු වුණා අවුරුදු 7 ක්. මේ කාලයේ තාත්තා වෙනුවෙන් සියලූ වැඩ කළේ මගේ අම්මා. එතුමිය නියම සහකාරියක්. සහකාරිය කියන එකේ නියම තේරුම ඒකයි කියලා එතුමිය දැන සිටියා.
 
 තාත්තා හරිම සංවේදී කෙනෙක්. දරුවකුට කරදරයක් ආවාම තාත්තා තමයි කම්පා වෙන්නේ. හරිම ගුණගරුකයි. නීතිගරුකයි. අල්ලස් දෙන්නෙත් නෑ. කවදාවත් ගන්නෙත් නෑ. පුතේ, බඩගින්නේ මියගියත් හොරකම් කරන්න එපා. අල්ලස් ගන්න එපා. නරක වැඩ කරන්න එපා. එතුමා දරුවන්ට කීවා.
 
 බොරුවක් කියලා වෙච්ච දෙයක්
 
 මට මතකයි මං බොරුවක් කියලා අහුවෙලා අත්දෙක බැඳලා ගිනි පෙනෙල්ලකින් කට පුච්චන්නත් ගියා. ඒ බය කරන්න මිසක් ඇත්තට නොවේ කියලා අප දැන හිටියා. ඒත් තාත්තාට කරන ගෞරවයක් ලෙස අප කවරදාවත් වැරදි වැඩ කළෙත් නෑ.
 
 තාත්තා පොඩි සන්දියේ ඒ පවුල ගොඩනගලා තියෙන්නේ එතුමාගේ අයියා. පසුව දොස්තර සුන්දරම්. එයා අතින් වතුර දුන්නත් ලෙඩාට සනීපයි කියලා යාපනේ මිනිස්සු කීවේ. මට මතකයි තාත්ත 1983 කලබලවලට ටික දවසකට ඉස්සරදී යාපනේ ආච්චිලයි ගෙදර එක්කගෙන ගියා. මට එතකොට අවුරුදු 20 ක් විතර. හමුදා ජීප් ගොඩාක් ආවා. තාත්තා මාව තල් අතු බැඳලා තිබෙන පොදියක් ඇතුළට දාලා හැංගුවා. ඒ අය ගියාට පස්සේ තාත්තා කීවා ‘‘සමහර අය හරි නරකයි. සමහර පිරිමි අය හොඳයි. සමහරු නරකයි ගෑනු ළමයි දැක්කාම හිරිහැර කරන්න පුළුවන්.’’ කියලා.
 
 පොත් කියවන්නත් රුසියා
 
 අපිට පොත් කියැවීම පුරුදු කළේ තාත්තා. දෙමළ ඉහළම ග‍්‍රන්ථයක් වන ‘සීලප්පදිකාරම්’ පවා තාත්තා අපට කියවන්න කීවා. පරිවර්තන පොත් හරියට ගෙනැත් දෙනවා. ‘කි‍්‍රකට් මැච්’ ඒ කාලේ බලන්න බෑනේ. රේඩියෝවෙන් අහනවා. ඒවාත් පිටරට ගහන ඒවා. තාත්තාගේ මහන්සියේ ප‍්‍රතිඵල අනුව අපේ පවුලෙ ගුරුවරු 5 යි. ඒ අතර ඉංගී‍්‍රසි හා ගණිත ගුරුවරු දෙන්නෙකුත් ඉන්නවා.
 
 තිබුණු යුද්ධය ගැන තාත්තා තුළ ඒතරම් පැහැදීමක් තිබුණේ නෑ. එම පළාත්වල තිබෙන දුක නිසයි ඒ අය එහෙම වෙලා තියෙන්නේ. ඒත් ප‍්‍රචණ්ඩත්වය හොඳ නෑ. තාත්තා ඒ වෙලාවට එහෙමයි කීවේ.
 
 83 කලබල
 
 1983 කලබලයට ඔන්න මෙන්න අපේ මහප්පා දොස්තර සුන්දරම් හොඳටම අසනීපවෙලා බලන්න යන්න කෙනෙක් නැතිව මායි අම්මයි තනියෙන්ම යාපනයට ගියා. තාත්තාත් ඒ වෙලාවෙ අසනීපයෙන්. අපි ගැන යාපනේ තරුණ කොටස් විපරම් කළ බව දන්නෙ ස්ටේෂන් එකේදී තරුණයෙක් අපෙන් ප‍්‍රශ්න කළ විටයි. දොස්තර මහප්පා ගැන කීවාම ඒ අය තේරුම් ගත්තා.
 
 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වැඩ කළ සුභාෂ් මහප්පාගේ පුතා අපව රැගෙන ස්ටේෂමෙන් ගියා.
 
 ජාත්‍යාලය හා කොල්ලය
 
 1983 ජුලි කලබලවලදි තාත්තාට හිරිහැර කරාවි කියල අපි බය වුණා. අපේ අක්කා පොලිසියේ මහත්මයෙක් බැඳලා හිටි නිසා එහෙට තාත්තාව ආරක්‍ෂිතව ගෙන ගියා. අපේ මිනිස්සු හරිම මෝඩයි. වැඩියෙන්ම තිබුණේ ජාත්‍යාලයට වඩා කොල්ලය. එහෙම ගෙන යන්න ඉස්සර අල්ලපු ගෙදර තාත්තාව හැංගුවෙ. ඒ සිංහල මිනිස්සු හරිම කරුණාවෙන් තාත්තාව බැලූවෙ.
 
 ඇයි මිනිස්සු මෙහෙම වෙන්නේ. තාත්තා අහිංසකව බලා හිටියෙ ඒ වචන කියන්නා වගේ. තාත්තා කවරදාවත් ජාතියෙන්, කුලයෙන්, වර්ගයෙන් මොළය හා සිතිවිලි විනාශ කරගත්තේ නෑ.
 
 මං ගුරුවරියක් හැටියට ජීවිතේ ආරම්භ කළේ මාදම්පේ මධ්‍ය මහා විදුහලින්. එහි මං අවුරුදු 5 ක් සේවය කළා. සෞන්දර්ය අංශයේ වටිනාකම් ගොඩක් (දරුවන් සමග) විදුහලට මා රැගෙන දුන් නිසා විදුහල්පතිතුමා මට ඒ විදුහලින් යන්න එපා කියලා තමන්ගේ නිවස දුන්නා තාත්තා හා අනෙක් අය බලාගන්න. ඒත් මං උස්වැටකෙයියාවට මාරුවක් අරන් ආවේ තාත්තාව බලාගන්න.
 
 දරුවො ගොඩාක් දෙවියන් දුන්නා
 
 තාත්තා මට නිදහස දුන්නා කැමැති විදියට විවාහ වෙන්න. මං කතෝලික කෙනෙක් බැන්දෙ. හරීන්ද්‍ර රොඞ්රිගෝ ව්‍යාපාරිකයෙක්. අපට සහජීවනය බේද නැතිව ජීවත් වෙන්න තාත්තයි අම්මයි ආදර්ශයෙන් කියා දුන්නා. දැන් අවුරුදු 31 ක්. අපට දරුවන් නෑ. අප දෙන්නාම හිතන්නෙ දෙවියන් අපට බොහෝ දේ දුන්නා කියලා. මට නර්තන ක්‍ෂේත‍්‍රයේදී දරුවොත් විශාල පිරිසක් දුන්නා. මගේ ගුරුහරුකම් ඇතිව මේ දරුවො රටේ ලෝකෙ බැබළෙනවා. මේ අය අතරින් කීර්තිමත්ම ගෝලයෝ කවුද කියලා ඔබ ඇහුවත් මට එහෙම කියන්න බෑ. ඒත් චන්දන හේරත්, නිහාල් පෙරේරා, අරුණ අමරසේකර ගැන මගේ ප‍්‍රසාදය වැඩියි.
 
 ඔබ විශිෂ්ට නර්තන ශිල්පිනියක වශයෙන් කාන්තාවක් වෙස් බැඳීම සුදුසු නැති බව කියනවා. මේකේ ඇත්ත කතාව කුමක්ද? මා හදිසියේම ඇගෙන් ඇසුවේ තාත්තාගෙන් අම්මාගෙන් ලද ශික්‍ෂණය නිසා එසේ වී දැයි සැක හැර දැන ගැනීමටයි.
 
 ආවරණය නොවූ පපුව
 
 මගේ තාත්තා හා අම්මා අපට දාලා තිබුණු නීති ටිකක් වැඩියි. ඒ අය දත් පෙන්වා සිනාසෙනවාටත් මුලදි කැමැති වුණේ නෑ. ඒත් මේ කාන්තාවන් වෙස් බඳින එකට මාත් විරුද්ධයි. හේතුව අපේ පෞරාණික සංස්කෘතිය බිඳවැටීම. ඒක මගේ තාත්තාත් කැමැති නැති දෙයක්. අත්වල උර මත පෙනුම, ආවරණය නොවූ පපුව අවුල්හරය ආදී දේවල් ප‍්‍රශ්න. නර්තනයත් එක්ක ශික්‍ෂණයත් අවශ්‍යයි පුතේ කියලයි අපේ තාත්තා අපට කීවේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles